Thursday, 2 October 2025

 ‘බත්කූරා’, අරුම පුදුම කෘමියෙකි. 


බොහෝ අයගේ අවධානයට ලක් නොවන, පෙනුමෙන් තරමක්  භයානක ස්වරූපයක්  සහිත,  පොදුවේ ‘බත්කූරා’ යන නමින් සඳහන්වන  Dragonfly, සමහර අවස්ථා වලදී “මකර මැස්සා” යන නමින්ද හැඳින්වේ. මොවුන්ගේ ශරීරය හිස, උරස සහ උදරය යන කොටස් වලට බෙදී තිබීම ප්‍රධානතම කෘමි ලක්ෂණයයි.  හිසෙහි ඉතාමත් විශාල සංයුක්ත අක්ෂි යුගලයක් සහ මුඛයේ දත් සහිත යටි හනු, තිබීම විශේෂත්වයකි. උරස ප්‍රදේශය සන්ධිපාද යුගල තුනක් සහ විනිවිද පෙනෙන, බොහෝවිට  වර්ණවත් පියාපත් සතරක් සහිතය, කොටස් වලට බෙදී ඇති උදරය සිහින් දිගටි කූරක් මෙනි.   

වසර මිලියන 300 ටත් වඩා වැඩි කාලයක සිට නැතහොත් ඩයිනොසෝරයන්  මිහිපිට බිහි වීමටත් පෙර සිට, බත් කූරන් ජීවත්ව සිටින්නට ඇති බවට සාක්ෂි සොයාගෙන තිබේ. සත්ත්ව වර්ගීකරණයේදී,  Arthropoda වංශයේ,  Insecta  වර්ගයේ,  Odonata  ගෝත්‍රයට අයත්වන   බත් කූරන්, ඉතාමත් පෞරාණික කෘමි විශේෂයක් වන අතර,  ඔවුන්ටම ආවේණික  ජීවන රටාවක් සහ ගති ලක්ෂණ පෙන්නුම් කරති. මොවුන්ගේ තීව්‍ර  දෘෂ්ටිය,  අද්භූත   ජීවන චක්‍රය සහ භෝජන විලාසයත්,  සිත්ගන්නා සුළු පියාසැරි ක්‍රමවේදය ආදිය වෙනත් කෘමින් අතර දකින්නට නොලැබෙන ඉතාමත් සුවිශේෂී  පාරිසරික අනුවර්තන ලෙස සැලකිය හැකිය. මොවුන් අයත් වන කෘමි ගෝත්‍රය Odonata, යන නමින් හැඳින්වෙනුයේ, ග්‍රීක් භාෂාවෙන්  “දත් සහිත කෘමීන්”  යන  අර්ථය ඇතිවය. බත්කූරන්ගේ භෝජනය වන්නේ මදුරුවන්, මැස්සන්, කෝඳුරුවන් වැනි ඉතා කුඩා කෘමීන් සහ තරමක් විශාල කුරුමිණියන්, මකුළුවන්  වැනි සතුන්ය. මොවුන්ගේ ඉතාමත් විශාල සංයුක්ත අක්ෂියක,  කුඩා අක්ෂිකා (ommatidia)  30,000 පමණ තිබෙන අතර, මෙම අක්ෂි යුගලයට අංශක 360 කට  ආසන්න   දර්ශන පථයක ඇති දේ, මැනැවින් දැකගත හැකිය. මොවුන්ට පාරජාම්බූල ආලෝක කිරණ (ultra  violet rays) ඔස්සේ පෙනීමද තවත් වාසියකි. මෙම ලක්ෂණත් සමග  තියුණු දත් සහිත හකුපාඩ, කුඩා සතුන්  ඩැහැ ගැනීම සඳහාම සකස්වූ, පාද ආදිය  සහිත බත්කූරා, කුඩා සතුන්ට ‘මකරෙකු’ (Dragon)  ලෙස පෙනෙනු ඇතැයි යන උපකල්පනය මත,  මෙම කෘමියා Dragonfly ලෙස නම්කර තිබෙන බව විශ්වාස කළ  හැකිය. සමහර අවස්ථාවලදී  බත්කූරාගේ බිහිසුණු  පෙනුමත්, දඩයම්කාරී භෝජන විලාසයත් නිසා,   ‘මකර මැස්සා’ යන අන්වර්ථ නාමයද ඔවුන්ගේ ජීවන රටාවට මනාව ගැලපේ. පැයකට කිලෝමීටර් 30 පමණ වේගයෙන් ඉතාමත් අක්‍රමවත් රටාවන් අනුව පියාසර කරන බත්කූරා, එක් දිනකට  මදුරුවන්   සිය ගණනක් දඩයම් කර ගන්නා නිසා, මදුරුවන් මගින් බෝවෙන, මැලේරියාව සහ ඩෙංගු වැනි රෝග පැතිරීම අඩු කිරීමට  උදව් කරන කෘමියෙකු ලෙසද හැඳින්විය හැකිය.

සත්ත්ව වර්ගීකරණයේදී  බත්කූරන් අයත්වන  Odonata ගෝත්‍රය,  ඉතාමත් සාර්ථක කෘමි ගෝත්‍රයක් ලෙස නම්කර තිබේ. එහි ඇති විවිධ ගණ (Genera) සියයකට ආසන්න සංඛ්‍යාවක, විශේෂ (Species) 3000 ක් පමණ වාර්තාවී තිබේ. මේ නිසාම, අධි ව්‍යාප්ත  ජෛව විවිධත්ව නිර්ණායකයක් වන,   ඉහල සංඛ්‍යාත්මක අගයක් සහිත විශේෂ සමූහයක්  සිටීම ද මොවුන්ගේ සාර්ථකත්වය කෙරෙහි බලපාන  සාධකයකි. මෙම  ව්‍යප්තිය නිසාම, ඇන්ටාක්ටිකා මහාද්වීපය හැර ලෝකයේ අන් සියලුම රටවල පාහේ බත්කූරන් දකින්නට ලැබේ. 

බත්කූරාගේ ජීවන චක්‍රය සහ භෝජන විලාසය                

බත්කූරාගේ ජීවන චක්‍රය ඉතාමත් සරල වේ. මෙහි ඇත්තේ ජීවියාගේ ‘සුහුඹුල්’ අවස්ථාව  සහ ‘කීට’ අවස්ථාව පමණකි. මේ නිසා මොව්හු අසම්පූර්ණ රූපාන්තරණ  (incomplete metamorphosis)  අවස්ථාවක් සහිත කෘමීහු වෙති. සුහුඹුල් බත්කූරා, ජලජ පරිසරයක ඇති ශාක කොටසක් මත දමන බිත්තර වලින් හටගන්නා කීටයා,  ‘ශිෂුවා’ (nymph) ලෙස නම් කෙරේ. බිත්තර පුපුරා පිටතට එන ශිෂුවා කීටයා ද කුඩා කෘමියෙකුගේ හැඩරුව ගනී. කීටයාගේ ශරීරයද, හිස, උරස සහ උදරය යන කොටස් වලට බෙදී තිබෙන අතර, උරස් කොටසේ පාද යුගල තුනක්ද තිබේ. මොවුන්ට පියාපත් නොමැත. ජලයේ ජීවත්වන නිසා ස්වසනය කරනුයේ, මත්ස්‍යයෙකු මෙන් ජලක්ලෝම (gills) මගිනි.   වසර හතරක පහක  දිගු කාලයක  ජලජ ජීවිතයක් ගතකරන ශිෂුවාද කුඩා ජලජ කෘමීන්, මදුරු කීටයින්, කුඩා මත්ස්‍යයින් සහ ඉස්ගෙඩියන් ආහාරයට ගන්නා උග්‍ර මාංශභක්ෂකයෙකි. මදුරු කීටයින් කාදමන නිසා මැලේරියාව සහ ඩෙංගු මර්දනය සඳහා අනියමින් සහභාගී වීම මගින් ශිෂුවා කීටයෝ  පරිසර සංරක්ෂණ  මෙහෙවරක්ද කරති. සුහුඹුල් බත්කූරා මෙන්ම ශිෂුවා කීටයාද, කුඩා ජලජ ජීවීන් දඩයම්  කරගැනීම සඳහා ඉතාමත් කාර්යක්ෂම යාන්ත්‍රණයක් උපයෝගී කර ගනියි. ශිෂුවාගේ මෞඛ උපාංගයක් වන යටිහණුව  අග්‍රයේ, ඉදිරියට මුදාහැර  ක්ෂණිකව ආපසු ඇද ගත හැකි, දිවක් වැනි ව්‍යුහයක් තිබේ. මදුරු කීටයෙකු වැනි කුඩා ජලජ ජීවියෙකු වෙත මෙම ‘දිව’ එල්ල කර ආපසු ගත්  විට, එම ජීවියා එක්  වරටම මුඛය තුළට ඇදී යයි. මෙය ගොදුරක් දඩයම් කර ගැනීමේ ඉතාමත් කාර්යක්ෂම යාන්ත්‍රණයකි. කීට කාලය අවසන් වූ පසු සුහුඹුල් බත්කූරා ජලයෙන් පිටවී, වායව කෘමියෙකු  ලෙස ජීවිතය  ආරම්භ කරයි. 

සුහුඹුල් බත්කූරාට, පියාසර කරන වෙනත් කුඩා කෘමියෙකු හඹාගොස් සාර්ථකව තම ග්‍රහණයට හසුකර ගැනීමේ ප්‍රවණතාව, 95% වඩා වැඩි බව පර්යේෂකයින්  විසින් ගණනය කර තිබේ.   පියාසර කරන අතරම,  අත්තටු චලනය කරමින් එකම ස්ථානයක නතරවී, ගොදුරක් බලාපොරොත්තුවෙන්  තම මකුළුදැල මැදට වී  සිටින මකුළුවෙකු හෝ ශාක පත්‍රයක් මත සිටින කුඩා කුරුමිණියෙකු,  එක වරටම ඩැහැ ගැනීමේ සූක්ෂම හැකියාවක්ද  බත්කූරන්ට තිබේ.    

M

In     

පියාසර කරමින් එකතැන නතරවී                                                                                                            කුඩා කුමියෙකු අල්ලා ගැනීම                                          

බත්කූරාගේ ප්‍රජනන ක්‍රියාවලියද ආශ්චර්යමත්ය.

වාතයේ පියාසර කරමින්, කුඩා සතුන් දඩයම් කර ගැනීමේ විවිධ හරඹ  දැක්වීමේ අති දක්ෂයෙකු වන බත්කූරාගේ ප්‍රජනන ක්‍රියාවලියට පිවිසුමද, ඉතාමත් සිත්ගන්නාසුළු සංදර්ශනයකි. බත්කූරෝ තම සහකාරියන් තෝරා ගැනීමේදී, තම විශේෂයටම අයත් ස්ත්‍රී  ලිංගිකයෙකුම පමණක්  තෝරාගැනීම පිණිස මහත් පරිශ්‍රමයක් දරති. මේ තෝරාගැනීම සඳහා සහකාරියගේ  පියාසර කිරීමේ වේගය, අත්තටු වල වර්ණය, ශරීරයේ හැඩය සහ වර්ණවත් භාවය වැනි බාහිර ලක්ෂණද උපයෝගී වනු ඇතැයි  අනුමාන කෙරේ. එක්  සහකාරියක් තෝරාගත් පසු, ඇය සඳහා  තම අයිතිය තහවුරු කර ගැනීම පිණිස, ද්වන්ද ගැටුම් ඇතිවීම හෝ සමහර අවස්ථාවලදී, සටන් කර, තම ශිල්ප දක්වා  විරුද්ධවාදීන් පලවා හැරීමද සුලභය. සහකාරියක් තෝරාගෙන දින කිහිපයකින්ම, දෙදනා ප්‍රජනන ක්‍රියාවලියට සූදානම් වෙති. 

බත්කූරාගේ පුං ජන්මානු නිපදවන ව්‍යුහය පිහිටා තිබෙන්නේ උදරයේ නවවන ඛණ්ඩයේ යටි  පැත්තේය. එහෙත් උගේ පුං ලිංගික අවයවය වන ශිෂ්ණය,  පිහිටනුයේ උදරයේ දෙවන ඛණ්ඩයේය. මෙය ස්වභාවධර්මයේ අමුතුම නිමැවුමකි. ලිංගිකව එක්වීමට ස්වල්ප වෙලාවකට පෙර බත්කූරා, උදරය C අකුරක හැඩයට වක්‍රාකාරව නමා, නව වන ඛණ්ඩයේ ඇති ශුක්‍රාණු  පිටතට ගෙන,   තම උදරයේ දෙවන ඛණ්ඩයේ යටි  පැත්තේ ඇති විශේෂ ව්‍යුහයක් තුළ තැන්පත් කර ගනී. පිරිමි බත් කූරාගේ ලිංගික අවයවය ඇත්තේ මෙම ඛණ්ඩයේය.



                                                                                            

මෙම සූදානමෙන් පසු, තම සහකාරියගේ හිස පාදවලින් අල්ලාගෙන, ඇයගේ  හිස සහ  උරස අතර කොටස තම උදරය අග්‍රයේ පිහිටි ඩැහි අඬුවක් වැනි අවයවයෙන් ග්‍රහණය කරගනිමින්, උදරය දිගහැර,  දෙදෙනාම එකට බැඳී ටිකවේලාවක් පියාසැරියේ යෙදෙති. පියාසැරිය සිදුවනවිට සහකාරියද ලිංගික ක්‍රියාවලියට සූදානම්ව සිටී. මේ වන විට, පිරිමි බත්කූරා තම උදර ප්‍රදේශයේ  දෙවන ඛණ්ඩය තුළට දමාගත් ශුක්‍රාණු, එහි  ඇති ශිෂ්ණය තුළට ගලා යයි. 

ගැහැණු බත්කූරාගේ කුඩා පැසක් වැනි ලිංගික අවයවය පිහිටනුයේ ඇයගේ උදරයේ අටවන ඛණ්ඩය යටි  පැත්තේය.

මෙම පියාසැරියෙන් පසු,  පිරිමි බත්කූරා අතු රිකිල්ලක් වැනි ස්ථිර ආධාරකයක් මත ලැගුම් ගෙන, තම සහකාරියත් සමගම උදර කොටස ඉහලට ඔසවයි. මෙම විධානයට ප්‍රතිචාර දක්වන ස්ත්‍රී ලිංගික බත්කූරා තම උදර ප්‍රදේශය  වක්‍රාකාරව නමා, පිරිමි බත්කූරාගේ ශිෂ්ණය ස්පර්ශ කර  මේ වනවිට එය තුළට  සේන්දු වී ඇති ශුක්‍රාණු, උදර අග්‍රයේ ඇති හැන්දක් වැනි සියුම් උපකරණය භාවිත කර,   තම ලිංගික අවයවය තුළට බහාගනී. මෙම ක්‍රියාවලියෙන් පසු, දෙදෙනා වෙන්වී, වෙන වෙනම පියාසැරියේ යෙදෙති. මෙය ඉතාමත් දුෂ්කර වුවද සාර්ථක ලිංගික ක්‍රියාවලියකි.

බත්කූරන්ගේ ලිංගිකව එකතුවීමේදී දකින්නට ලැබෙන මෙම අසහාය ක්‍රියාවලිය “චක්‍රාකාර ලිංගික එක්වීම” ( wheel formation of copulation) ලෙස හැඳින්වේ. මෙම ක්‍රියාදාමය Odonata ගෝත්‍රයේ කෘමීන්ට පමණක් සීමාවූ ස්වභාවධර්මයේ ආශ්චර්යමත් සංසිද්ධියක් ලෙස සැලකිය හැකිය.  

ලිංගිකව එක්වී සතියකට පමණ පසු, ඇය ජලාශයක ඇති ශාක කොටසක් මත කිහිපවරක් බිත්තර දමයි. මෙම බිත්තර වලින් හටගන්නා කීටයෝ, වසර කිහිපයක ජලජ ජීවිතයක් ගතකර, තම බාහිර ආවරණය වන බහිෂ්කංකාලය (හැව) ඉවත් කර සුහුඹුල් බත් කූරන් බවට පත් වෙති.                                    

බත්කූරු කීටයෝ ජලජ පරිසරයේ අහිතකර රසායනික අංශු ඉවත් කරති.

මිනිසාගේ වගා බිම් වලට යොදන රසායනද්‍රව්‍ය, විවිධ අවස්ථාවලදී භාවිත කරන කෘමිනාශක, ගෙදර දොර ප්‍රයෝජනයට ගන්නා කෘතීම රසායනික සංයෝග ආදී බොහෝ ද්‍රව්‍ය වල අතුරු ඵල අවසානයේදී, පතිතවනුයේ භූමියටය. පොළොවේ දිය සීරාවට එකතු වන මේ ද්‍රව්‍ය පස් අංශු ඔස්සේ කාන්දු වී ගොස් අවසානයේදී නතර වනුයේ ජලජ පරිසරවලය. මේ නිසා වර්තමානයේදී ලොව සෑම රටකම පාහේ ලොකු කුඩා ජලජ පරිසරවල තිබිය හැකි අපද්‍රව්‍ය පිලිබඳ නිරතුරු සංගණනයක්  කිරීම මිනිසාගේ සෞඛ්‍යය සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් කර ඇති ගණනය කිරීමකට අනුව, මිනිසාගේ යහපත් සෞඛ්‍යයට ඔරොත්තු දෙන ප්‍රමාණවලට වැඩියෙන්, පරිසරයේ පවතින රසායන ද්‍රව්‍ය දහයක් පමණ හඳුනාගෙන තිබේ. රසදිය (Mercury)  මෙයින් එකකි. මෙම බැර ලෝහය සහ එහි සංයෝග පෘථිවි වායු ගෝලයේ සහ බොහෝ ජලජ පරිසරවල, ගුණාත්මකව තිබියහැකි සාන්ද්‍රණය මෙන් 450 ගුණයක් පමණ වැඩිපුර  ඇති බව, මෑතදී කරන ලද පරීක්ෂණවලින් හෙළිවී තිබේ. මෙසේ සිදුවන්නේ විවිධ කාර්මික කටයුතු, ගල් අඟුරු දහනය, සිමෙන්ති නිෂ්පාදනය වැනි අවස්ථාවලදී හටගන්නා අතුරුඵල පරිසරයට එකතු වීම නිසාය.      

ජලයට එකතුවී ඇති රසදිය අංශු පිලිබඳ පර්යේෂණ පැවැත්වීමේදී, එම අංශු පරිසරයේ ආහාර දාම (food chains) ඔස්සේ ගලායාම අධ්‍යයනය කිරීම සඳහා මෙතෙක් භාවිත කර ඇත්තේ මත්ස්‍යයින්  සහ ජලාශ්‍රීත පක්ෂින්ය. 2009 වර්ෂයේදී සිට මෙම පර්යේෂණ සඳහා ජලජ මාංශ භක්ෂකයින් වන බත්කූරු කීටයින් භාවිතය මගින් ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිවී තිබේ. මේ සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ, ‘Dragonfly Mercury Project’  පර්යේෂණ ව්‍යාපෘතිය භාරව කටයුතු කළ  Collin E Smith  නමැති  ජීවවිද්‍යාඥයා මෙසේ පවසා තිබේ. 

“මිනිසාට අහිතකර රසදිය අංශු පරිසරයට මුක්ත වීම පාලනය කිරීම සඳහා, විවිධ ආකාරයේ සම්බාධක පමුණුවා,  ගෙනයන පර්යේෂණවල සාර්ථකත්වය කඩිනමින් මැණීම  පිණිස ජලජ ජීවියෙකු වන බත්කූරු කීටයාගෙන් ලැබෙන සහාය ස්වර්ණමය අවස්ථාවකි”. 

අති භයානක පරිසර දූෂකයක් වන රසදිය අංශු, ඉතාමත් සූක්ෂම ප්‍රමාණයක් වුවද ශරීර ගත වීම අහිතකරය. එසේ වුවද මේ වන විට අවාසනාවකට මෙන්  සකල ලෝකවාසින් සියලු දෙනාම පාහේ තරමක් දුරට හෝ මෙම ව්‍යසනයට ගොදුරු වී හමාරය. පරිසරයට මුක්ත වන රසදිය අංශු, වර්ෂා ජලය මගින්  ජලජ පරිසරවලට මුසු වූ විට, එම අංශු ආහාර දාම ඔස්සේ ගොස් ‘ජෛවසංචිත’ (bioaccumulation)  ලෙස ජලජ ජීවීන්ගේ  ශරීරයේ  පටකවල එක් රැස්  වේ. කුඩා ජලජ ජීවීන්ගේ  සිට මත්ස්‍යයින් හරහා ඉහලට ගලායන ආහාර දාමයක, ඉහලම තලයේ සිටින මිනිසා තුළ, මෙම දූෂක අධික ලෙස සංචිත වේ.

රසදිය අංශු ඉතාමත් ප්‍රබල ස්නායුසෛල  නාශකයකි.  මේවා විශේෂයෙන්ම වැඩිහිටියන්ට වැළඳෙන  Alzheimer’s රෝගයට මුල් වියහැකි අතර, ගර්භණි මවුවරුන්ගේ ගබ්සා වීම් වලට තුඩු දිය හැකි සාධකයකි. මේ ආකාරයට සුව කල නොහැකි මට්ටමේ රෝග නිධානය ලෙස සැලකෙන ජලයේ ඇති රසදිය සංයුතිය, නිරවද්‍යව හඳුනා  ගැනීම සඳහා බත්කූරු කීටයින් යොදවා ගත හැකිය. බත්කූරූ  කීටයා ස්වකීය ජීවිත කාලය තුළදී, ජලජ පරිසරයෙන්  රසදිය අංශු මිශ්‍රවූ කුඩා ජීවීන් රාශියක් ආහාරය ලෙස ගන්නා බැවින්, ‘ජෛවසංචිත’ රසදිය අංශු සහිත එම බත්කූරු කීටයින් විශ්ලේෂණය කිරීමෙන් ජලජ පරිසරයේ ඇති රසදිය සංයුතිය පිලිබඳ අවබෝධයක් ලබාගත හැකිය. මෙම දත්ත  භාවිතා කර ජලජ පද්ධති  යළි ප්‍රකෘති තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගත හැකිය. 

මෙතෙක් ප්‍රත්‍යක්ෂ ඖෂධ සොයාගෙන නොමැති  ඉහත  සඳහන් කළ ආබාධ නිසා නිරතුරුවම අකාලයේ මිය යන  දහස් ගණන් මිනිසුන් සුවපත් කිරීමේ ක්‍රමවේද සොයා ගැනීමට මුලික පියවර ගැනීම සඳහා කෙරීගෙන යන, පර්යේෂණ පිණිස,මේ ආකාරයට  බත්කූරන්ගෙන් සහ කිටයින්ගෙන් ලැබෙන මෙහෙවර මෙතෙකැයි කියා නිම කළ නොහැකි තරම්ය. 


බත්කූරන් සංරක්ෂණය කිරීම වැදගත්ය  

මිනිසාට මෙන්ම,  මිනිසා විසින් ඇතිකරන  සතුන්ට සහ වගාවලට හානිකර පලිබෝධයෝ විශාල වශයෙන් විනාශ කර දමන බත්කූරෝ අනාදිමත් කාලයක සිට මිනිසාට හිතකර කෘමියෙකු ලෙස, මිනිසා ජීවත් වන පරිසරවලම ගැවසී ඇත.  මොවුන්ගේ  ජීවන චක්‍රය සම්පූර්ණ කර ගැනීම සඳහා තෝරා ගන්නා වාසස්ථාන වන පිරිසිදු ජලයෙහි,  සුදුසු මට්ටමේ ප්‍රශස්ත  pH අගයක් සහ පෝෂකද යහපත් මට්ටමක තිබිය යුතුය. එමෙන්ම සුහුඹුල් බත්කූරා ජීවත් වන වායව පරිසරය,  අහිතකර වායු අංශු වලින් තොර එකක්ද  විය යුතුය. මේ නිසා බත්කූරන් බහුලව ගැවසෙන ජලය  ආශ්‍රීත ප්‍රදේශ,  පරිසර දූෂණයෙන් තොර ස්ථාන ලෙස පිළිගැනීමක් සහ බත්කූරා පරිසරයේ පිරිසිදු බව මනින සාධකයක් වී තිබේ.  පිරිසිදු පරිසරයක් ඇති ප්‍රදේශ වල මොවුන් සුලභව  දකින්නට  ලැබෙන අතර පරිසර දුෂණය අධික නගර ආශ්‍රිතව දැක ගැනීම දුර්ලභය.  ඒ අනුව, පරිසර පිරිසිදු බව මැණිය හැකි දර්ශකයක් ලෙසද මොවුන් හැදින්විය හැකිය. එලෙසම පරිසරයේ පිරිසිදු බව ආරක්ෂා  කිරීමටද මොවුහු  වටිනා දායකත්වයක් සපයති. තම ජීවන චක්‍රයේ දිගු කාලයක් පිරිසිදු ජලයේ ජීවත්වන බත්කූරු කීටයා ජලය අපිරිසිදු කරන බොහෝ කුඩා ජීවීන් දඩයම් කර විනාශ කිරීම මගින් ජලයේ පිරිසිදු බව ආරක්ෂා කරයි. මේ ආකාරයටම සුහුඹුල් බත්කූරා වාතයේ ගැවසෙන මදුරුවන්, මැස්සන් වැනි පලිබෝධයින් දඩයම් කර විනාශකරන බැවින්, පලිබෝධ ගහණය පාලනය කරමින්   වායව පරිසරයද පිරිසිදු කිරීමේ නියෝජිතයින් ලෙස ක්‍රියා කරති. මොවුන් ඒ ආකාරයට  ඉහල ගුණාත්මක අගයකින් යුක්ත ජලය තෝරාගැනීම නිසා ජලයේ පිරිසිදු බව මනින දර්ශකයක් ලෙසද  පෙන්වා දිය හැකිය. ගංගා, ඇළ, දොළ,පොකුණු  වැනි ජලය ඇති ස්ථාන ආශ්‍රිතව බත්කූරන් ගැවසේනම් එම ස්ථානවල  ඇති ජලය පිරිසිදු තත්වයේ ඇති බව එකහෙලාම නිගමනය කළ  හැකිය. මේ නිසා දිය ගොඩ දෙකෙහිම සිටින අහිතකර පළිබෝධ විනාශ කරන්නන් වන බත්කූරෝ මිනිසාගේ මිතුරන් ලෙස දැක්විය හැකිය. 

මේ නිසාම ජපානයේ ජනතාව විසින් ධෛර්යය, ශක්තිය, සතුට ගෙනදෙන සත්ව විශේෂයක් ලෙස මොවුන් හදුන්වති. සමහර  ඇමරිකානු ආදිවාසි ගෝත්‍රිකයින්  විසින්ද මොවුන් වේගවත් බව සහ ක්‍රියාශීලී බවේත්  පිරිසිදු බවේත්  සංකේතයක් ලෙස හදුන්වති.

මෙසේ වුවද දැනට ලොව පුරා අත්තනෝමතිකව සිදුවන කෘෂි රසායන භාවිතය, පලිබෝධ නාශක කෘතීම ක්‍රම භාවිතය,  ජලජ පරිසර දූෂණය වීම වැනි, මිනිස් ක්‍රියාකාරකම් නිසාත්  අධික නාගරීකරණය නිසාත් බත්කූරෝ විනාශවී වඳවීයාමේ තර්ජනයට මුහුණ පා සිටීම කණගාටුවට කරුණකි. 

මෙම උවදුර හඳුනාගෙන තිබෙන සමහර රටවල, වඳවීයාමේ තර්ජනයට මුහුණ පා සිටින  බත්කූරන්ගේ වාසස්ථාන සහ ඔවුන් ඔබමොබ පියාසර කරන ප්‍රදේශවල පලිබෝධ නාශක සිමා කිරීමේ නීති රීති ක්‍රියාත්මක කිරීමට සහ බත්කූරන් වෙනුවෙන් වෙන්කළ ආරක්‍ෂිත ප්‍රදේශ සකස්කිරීමට පියවර ගෙන තිබීමද පරිසර සංරක්ෂණය උදෙසා ගෙන ඇති මහඟු පියවර ලෙස සැලකිය හැකිය. 

(මෙහි මුලින් ඇති බත්කූරාගේ ඡායාරූපය ස්තුති පූර්වකව, පේෂල සමන් කරුණාරත්නයන්ගේ FB සටහනකිනි)


No comments:

Post a Comment