අපට සොබා දහමෙන් ලැබෙන දායාද අහිමි වේද?
පෘථිවි ග්‍රහ ලෝකයේ ජීවත්වන මිනිසා ඇතුලු සියලුම ජීවීන්ගේ ආහාර, වාසස්ථාන, රැකවරණය, වාතය, ජලය,බෙහෙත් හේත්, ආදී වශයෙන් දැක්විය හැකි බොහෝ අවශ්‍යතා සැපයීම මෙන්ම නයිට්‍රජන් චක්‍රය, කාබන් චක්‍රය, ජල චක්‍රය යනාදී ස්වාභාවික කාර්යාවලි මගින්, ජීවීන් සඳහා අවශ්‍ය රසායනික විපර්යාසද සිදුකරනු ලබන්නේද පරිසරය මගින්ය. අප අවට පරිසරයේ ඇති, ජීවී අජීවී සියලුම වස්තු පොදුවේ එකට කැටිකර ගත් විට, ඒ සියල්ල ඉතාමත් සරල ආකාරයට ‘සොබාදහම’ ලෙස හැඳින් විය හැකිය.
සොබාදහම ඉතාමත් ත්‍යාගශීලීය. මේ නිසා, එමගින් නිෂ්පාදනය වන සෑම දෙයක්ම, ඕනෑම අවස්ථාවක, අවශ්‍යතා ඇති පරිදි, මිනිසා ඇතුළු වෙනත් ජීවීන් අතරද නොමසුරුව බෙදා හදා ගැනීමට සැදී පැහැදී සිටී. මේ ආකාරයට ලැබෙන සේවාවන් ‘පරිසර පද්ධති සේවා’ (ecosystem services) ලෙසටද හැඳින්විය හැකිය. උදාහරණයක් ලෙස වායුගෝලය ගතහොත්, එහි ඇති ඔක්සිජන් වායුව ඕනෑම ජීවියෙකුට ස්වසනය කිරීම සඳහා පහසුවෙන්ම ලබා ගත හැකි ආකාරයට නොඅඩුව විසිරී පවතී. අනාදිමත් කාලයක සිට සොබාදහමෙන් ලැබෙන අනේකවිධ සම්පත් මනා කළමනාකරණයකින් යුක්තව භුක්ති විඳි මිනිසා, බොහෝවිට සොබාදහමේ සමහර අපූර්ව නිමැවුම් මෙන්ම සමහර ආගමික විශ්වාස වලට පාදක වන වෘක්ෂ ලතා සහ භුමි ප්‍රදේශද පූජනීය වස්තු ලෙස සලකා ගරු බුහුමන් කරති. විශේෂයෙන්ම ලෝකයේ ඝර්ම කලාපීය රටවල විසිරී තිබෙන, වැසි වනාන්තර සොබා දහමේ මහාර්ඝ නිමැවුම් ලෙස සැළකිය හැකිය. ඇමසන් සහ කොන්ගෝ වැනි
වැසි වනාන්තරයක ස්වාභාවික අසිරිය
අද්විතීය වනාන්තර මෙන්ම, ශ්‍රී ලංකාවේ සිංහරාජය වැනි වැසි වනාන්තර වලද ගැබ්වී ඇති, අනේකවිධ ජීවී අජීවී සම්පත් මෙතෙකැයි කියා නිම කළ නොහැකි තරමට විවිධත්වයකින් යුක්තය. මේ ආකාරයටම මිනිසාගේ පුළුල් ගවේෂණයට ලක්වී තිබෙන, ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය වැනි සාගර පරිසර වල වුවද, මෙතෙක් මිනිස් ඇසට හමු නොවූ සම්පත් බොහෝය.
මිනිස් ශිෂ්ඨාචාරයේ ආදී යුග වලදී සිටම, පරිසරය සමග ඉතාමත් සමීප සම්බන්ධතා සහිතව ජීවත් වූ මිනිසා, වර්තමානයේදී එම ළබැඳියාවෙන් බොහෝ දුරස් වී පරිසරයට හානිකර ආකාරයට තම මෙහෙයුම් දියත් කිරීමට පටන් ගෙන තිබීම මහත් ඛේදවාචකයකි. මෙම දුරස්ථ භාවයට මුලපුරන ලද්දේ, දහහත්වන ශතවර්ෂයේ අග භාගයේදී ආරම්භ වූ කාර්මික විප්ලවයත් සමගය. මෙම නව පිවිසුමත් සමගම තාක්ෂණික, සමාජ ආර්ථික සහ සංස්කෘතික විපර්යාස රාශියක මූලාරම්භයද සනිටුහන් විය. විශේෂයෙන්ම යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය සඳහා යකඩ සහ වානේ භාවිතයත්, ඉන්ධන සහ ගාමක ශක්තිය (motive force) සඳහා පෙට්‍රෝලියම්, ගල් අඟුරු වැනි ශක්ති ප්‍රභව භාවිතයත් නිසා අතිමහත් සමාජ පෙරළියක්ද ඇතිවිය. මේ සමගම භූ ගර්භය තුළ නිදන්ව පවතින, ෆොසිල ඉන්ධන සහ බැරලෝහ සඳහා මහත් ඉල්ලුමක් ඇතිවූ නිසා, මිනිසා පරිසර හානි ගැන නොතකා, එම සම්පත් කැණීමට සහ භාවිතය සඳහා විවිධ ක්‍රමෝපායය ආදේශ කර ගන්නට පටන් ගත්තේය. මෙම වකවාණුවේදී කැපී පෙනුණු නව සංවර්ධන උපාය මාර්ග, නව ගමනාගමන ක්‍රමවේද සහ මිනිසාගේ දිවි පෙවෙතට අදාළ සන්නිවේදනය වැනි, නව අදහස්ද ශීඝ්‍රයෙන් ප්‍රචලිත වන්නට විය. නව තාක්ෂණික පහසුකම් නිසා මිනිසාගේ අවශ්‍යතා ද ක්‍රමක්‍රමයෙන් වැඩිවී, ඔහුගේ ජීවන රටාවේද මහත් ප්‍රබෝධමත් භාවයක් හට ගෙන තිබුණු බවද විශ්වාස කළ හැකිය.
මේ ආකාරයට දශක කිහිපයක් ගත වනවිට අපට ස්වාභාවිකව උරුම වී තිබුණු දායාද, සියල්ලම පාහේ ක්‍රමක්‍රමයෙන් හායනයට ලක්වන බව නිරීක්ෂණය විය. මේ ගැන උනන්දුවක් දැක්වූ අය විසින් මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානයද නොයෙක් විට යොමු කරවන ලදී. මෙම අනතුරු හැඟවීම් මධ්‍යයේ වුවද, කාර්මිකකරණය සහ නව තාක්ෂණ ක්‍රමවේද භාවිතයත් නිසා වර්තමානයේදී අහිමි වෙමින් පවතින, ස්වාභාවික සම්පත් කිහිපයක් පිලිබඳ තොතුරු ස්වල්පයක් විදහා දැක්වීම මෙහිදී බලාපොරොත්තු වේ.
වායු ගෝලයේ පවිත්‍ර භාවය
කාර්මික විප්ලවයත් සමග නිරීක්ෂණය කරනලද බලගතු පරිසර හානියක් ලෙස හඳුනාගෙන තිබෙන්නේ වායු ගෝලය අපවිත්‍ර වීමයි. ෆොසිල ඉන්ධන දැවීමේදී හටගන්නා අපද්‍රව්‍යයන් වන CO2 වායුව සහ N2O වායුව සමගම, කාබන් අංශු සහිත දුමාරයද නිරතුරුව රැදී සිටීම නිසා, වායු ගෝලය අපවිත්‍ර වන්නට විය. ටික කලක් ගතවනවිට, එම වායු නිසා හටගත් ‘හරිතාගාර ආචරණ’ (greenhouse effect) ස්වභාවය නිසා, සූර්යාලෝකයෙන් පෘථිවියට ලැබෙන තාපශක්ති අතිරික්තය, ආපසු අවකාශයට පරාවර්තනය වීමද ඇණහිටීම හේතුවෙන් ගෝලීය උණුසුම් වීම වැඩිවන්නට විය.
වායු ගෝලයේ භෞතික ලක්ෂණ තීරණය කිරීමේ වැදගත් නිර්ණායකයන් වනුයේ එහි අවලම්බනය වී ඇති විවිධ අංශු ප්‍රභේද වල අනුපාතය යි. මෙයින්ද ගෝලීය උණුසුම් වීමට තුඩු දෙන ප්‍රධානතම සාධකය වන්නේ CO2 වායුවයි. නව ක්‍රම වේද මගින් ගණනය කරගෙන ඇති ආකාරයට, වර්ෂ 1800 දී පමණ වායු ගෝලයේ CO2 ප්‍රමාණය, අංශු මිලියනයකට කොටස් 280 (280 parts per million -ppm) පමණ වන්නට ඇති බව අනුමාන කර තිබේ. මෙම අගය, වායු ගෝලයේ අඩංගු සියලුම අංශු වලින් 0.028 % කි. මේ සම්බන්ධව 2024 වර්ෂයේදී තොරතුරු ලබාගෙන, මෑතදී ගණනය කර ඇති ආකාරයට, වායු ගෝලයේ වර්තමාන CO2 ප්‍රමාණය 424 ppm බව සොයාගෙන තිබේ. මෙම අගය 0.042% කි. මෙම දත්ත අනුව, ගණනය කර ඇති කාල සීමාව තුළදී, වායු ගෝලයේ අන්තර්ගතව පවතින CO2 ප්‍රමාණය 50% කින් පමණ වැඩිවී තිබේ. මෙම හේතුව නිසා, සිදුවෙමින් පවතින ගෝලීය උණුසුම් වීම, මහත් ගැටලු සහගත තත්ත්වයක් බවට පත්වී ඇත.
වායුගෝලයේ ඇති CO2 වලින් සැලකියයුතු ප්‍රමාණයක් ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලියේදී හරිත ශාක මගින් අවශෝෂණය කර ගනී. ප්‍රභාසංස්ලේෂණයේ අතුරු ඵලයක් ලෙස මුක්ත වන ඔක්සිජන් වායුව, සියලුම ජීවීන්ගේ ස්වසනය සඳහා ප්‍රයෝජනයට ගනු ලැබේ. එසේම සියලුම ජීවීන්ගේ ස්වසන ක්‍රියාවලියේ අතුරු ඵලයක් ලෙස නිපදවෙන CO2 වායුවද වායුගෝලයට මුසු වේ. මෙසේ සිදුවන ක්‍රියාවලි, රසායනික ප්‍රතික්‍රියා ලෙස සරල සමීකරණ දෙකකින් දැක්විය හැකිය.
කාබන්ඩයොක්සයිඩ් + ජලය → කාබෝහයිඩ්රේට + ඔක්සිජන්
6CO2 + 6H2O → C6H12O6+6O2 (ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය) 1
කාබෝහයිඩ්රේට + ඔක්සිජන් → කාබන්ඩයොක්සයිඩ් + ජලය
C6H12O6+6O2 → 6CO2 + 6H2O (ස්වසන ක්‍රියාවලිය) 2
මෙම 1 සහ 2 ප්‍රතික්‍රියා වලින් දැක්වෙන ආකාරයට අතීතයේදී වායුගෝලයේ රැඳී පැවති ඔක්සිජන් සහ කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණ, ඉතාමත් සමතුලිත ආකාරයකට තිබෙන්නට ඇති බව විශ්වාස කළ හැකිය. එහෙත්, එහෙත් එසේ පැවති සමතුලිත භාවය, කාර්මික විප්ලවයේ ආරම්භයත් සමග විකෘති වූ බවට සාධක තිබේ. මෙම විකෘතියේ වත්මන් ප්‍රතිඵලය වනුයේ ගෝලීය උණුසුම් වීමයි. මේ නිසා වායු ගෝලය උණුසුම් වීමට තුඩු දෙන ‘හරිතාගාර ආචරණය’ මැනගැනීමේ ක්‍රමවේද සඳහා, එහි අඩංගු CO2 සාන්ද්‍රණය උපයෝගී කර ගනු ලැබේ. වාතයේ ඇති CO2 හරිතාගාර වායුවක් ලෙස ගෝලීය උණුසුම් වීමට තුඩු දෙන නමුත්, එය මිනිසාගේ ප්‍රශ්වාස ක්‍රියාවලිය මගින් පෙනහළු හරහා ශරීරයෙන් ඉවත් කරනු ලබන හෙයින් ස්වසන ආබාධ වලට මූලික නොවන වායුවක් ලෙස සැලකිය හැකිය.
මිනිසාගේ ස්වසන ක්‍රියාවලිය ප්‍රශස්ත ආකාරයට පැවැත්ම සඳහා වාතයේ තිබෙන CO2 සාන්ද්‍රණයද අවම වශයෙන් 400 ppm මට්ටම වත් තිබිය යුතු බව පෙන්වා දී තිබේ. විශේෂයෙන්ම මිනිසාගේ වාසස්ථාන තුළ CO2 සාන්ද්‍රණය 400 ppm සිට 1000 ppm නොඉක්මවිය යුතු බවට, ගෘහ නිර්මාණ කටයුතු වලදී සැලකිල්ලට භාජන කළ යුතු බවද තීරණය කර ඇත. මේ නිසා නිවාස වල වාතාශ්‍රය පිළිබඳ සැලකිල්ලක් දැක්වීම සෞඛ්‍යය පිළිබඳ වැදගත් නිර්ණායකයකි. CO2 සාන්ද්‍රණය මෙම අගය ඉක්මවූ විට, නිවැසියන්ට නිදිබර ගතිය සහ කම්මැලිකමත් එම සිමා ඉක්මවණවිට මානසික ව්‍යාකූල බව, අධික වෙහෙස සහ හිස කරකැවිල්ල ඇතිවීම වැළක්විය නොහැකිය.
වාතයේ සමස්ත ගුණාත්මක භාවය (air quality) පිළිබඳ මිනුම් ලබාගැනීම සඳහා එහි පවතින දූවිලි , දුමාරය, රසායනද්‍රව්‍ය, ශාකපරාග, දිලීර බීජාණු, ලෝහ, ප්ලාස්ටික් වැනි වෙනත් අපද්‍රව්‍ය අංශු පිළිබඳවද විශේෂයෙන් සැලකිලිමත් වේ. මේවා පොදුවේ අංශුමය ද්‍රව්‍ය (particulate matter) ලෙස හැඳින්වේ. මෙම අංශු අතරින් මෛක්‍රෝමීටර් 2.5 සිට 10.0 (2.5μ - 10.0μ) දක්වා ප්‍රමාණයේ අංශු වලට, ස්වසනයයේ දී මිනිසාගේ නාසය සහ මුඛය හරහා පෙනහැලි වලටද ගමන්කර ඇදුම (asthma) වැනි රෝගද, 2.5μ ට වඩා කුඩා අංශු ස්වසනයේදී පෙනහැලි හරහා රුධිර වාහන පද්ධතියටද එකතුවී නොයෙකුත් දරුණු ආබාධ වුවද ඇති කළ හැකිය.
වායු ගෝලයේ ගුණාත්මක භාවය පිළිබඳ මිනුම් ලබාගැනීම පිළිබඳ ප්‍රසිද්ධියක් උසුලන, ස්විට්සර්ලන්තයේ ‘IQAir’ ආයතනය මගින්, ලෝකයේ රටවල් 138 ක පිහිටුවා ඇති, වාතයේ ගුණාත්මක භාවය පිලිබඳ දත්ත ලබාගැනීමේ මධ්‍යස්ථාන 40,000 කින් පමණ ලැබෙන තොරතුරු විශ්ලේෂණය කර අවසාන නිගමන ප්‍රකාශයට පත්කිරීම වැදගත් කාර්ය භාරයකි. මේ සම්බන්ධයෙන් 2024 වර්ෂයේ ප්‍රසිද්ධ කරන ලද තොරතුරු පත්‍රිකාවකට අනුව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, අයිස්ලන්තය සහ එස්ටෝනියාව යන රටවල් සහ බහමාස්, බාර්බඩෝස්, ග්‍රෙනේඩා යන දූපත් රාජ්‍යයන් ද ප්‍රශස්ත ගුණාත්මක භාවයෙන් යුක්ත වාතය සහිත රටවල් ලෙස හඳුනාගෙන තිබේ. එම ආයතනයේ තොරතුරු වලට අනුව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, Chad රාජ්‍යය සහ කොන්ගෝව යන රටවල 2024 වර්ෂයේදී, බෙහෙවින් අධික වාත දුෂණයක් තිබූ බවද වාර්තාවේ. {මෙම ගණනය කිරීම් සඳහා වාතයේ අඩංගුවී ඇති, දූවිලි, දුමාරය, ප්ලාස්ටික් වැනි ඝන අංශුමය අපද්‍රව්‍ය වලට අමතරව, නයිට්‍රජන් ඩයොක්සයිඩ් (NO2 ), සල්ෆර්ඩයොක්සයිඩ් (SO2), ඕසෝන් (O3), කාබන් මොනොක්සයිඩ් (CO) වැනි වායුමය අපද්‍රව්‍ය අංශු ද උපයෝගී කර ගනු ලැබේ}. මේ ආකාරයට වායු ගෝලය අපවිත්‍ර වීම මුලු ලොවටම බලපාන ව්‍යසනයකි.
පානීය ජලය
ගොඩබිම වාසී සෑම ජීවියෙකුගේම පාහේ, දිවි පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන, මිරිදිය (පානීය ජලය), පෘථිවියේ ඇති මහඟු සම්පතකි. සාගර සහ මුහුදු වල කරදිය තිබෙන අතර ගොඩබිම ඇති ජලාශ, ගංගා, ඇලදොළ ආදියේ සහ භූගතව තිබෙනුයේ මිරිදිය වේ. මිරිදියෙන්ද 70% පමණ, හිමාලය වැනි කඳු ශිඛර මුදුන්වල සහ ඇන්ටාර්ක්ටිකාව වැනි ධ්‍රැව ප්‍රදේශවල ස්ථිර අයිස් තට්ටු ලෙස පවතී. බිලියන අටකට වැඩි, පෘථිවි ජනගහනයට පරිභෝජනය සඳහා ඇත්තේ, එහි තිබෙන ජලයෙන් 0.007 % ක ප්‍රමාණයක් පමණකි. ‘මුළු ලොව තිබෙන සියලුම මිරිදිය ප්‍රමාණය, ලීටර් 100 ක් ලෙස සැලකුවහොත්, එහි පානීය ජලය ඇත්තේ මිලි ලීටර් එකක් (තේ හැන්දකින් තුනෙන් එකක්) පමණ වේ’. ජලයේ විරල බව මෙතරම් තීව්‍ර වුවද, ජලය අපවිත්‍ර නොකර, අපතේ නොයවා අරපරිස්සමෙන් භාවිත කළ යුතු සම්පතක් බව බොහෝ අය කල්පනා නොකරන බව දකින්නට ලැබේ.
පානීය ජලය ලෙස විද්‍යාත්මකව විග්‍රහ කරනුයේ, බැක්ටීරියා, වයිරස, පරපෝෂීන්, රසායන ද්‍රව්‍ය, ප්ලාස්ටික් අංශු සහ වෙනත් දූෂක අන්තර්ගත නොවූ ජලයයි. එමෙන්ම එය අමිහිරි රසයකින් හෝ අප්‍රිය දුගඳින්ද තොර විය යුතුය. යහපත් සෞඛ්‍යය පවත්වාගැනීම සඳහා එක් අයෙකුට ලැබිය යුතු ජල ප්‍රමාණයද, වයස, දේශගුණ තත්ත්ව වැනි සාධක මත රඳා පවතී. මෙසේ ගණනය කර ඇති ආකාරයට සාමාන්‍ය වැඩිහිටියෙකු සඳහා දිනකට පානීය ජලය ලීටර් දෙකක් පමණ (ජල වීදුරු අටක් පමණ) අවශ්‍ය වන බව තීරණය වී තිබේ. මෙම ප්‍රමාණය සඳහා, ජලය සහ ජලයේ ද්‍රාවණය කරන ලද බීම වර්ග මෙන්ම ආහාර වර්ග වල අන්තර්ගත ජලයද ඇතුළත් වේ. කෙසේ වෙතත් අධික උණුසුම් කලාප වල ජීවත් වන අයට සහ වැඩිපුර කය වෙහෙසවා වැඩ කරන අයටද මීට වඩා වැඩි දෛනික ජල ප්‍රමාණයක් අවශ්‍ය වේ. අපට ඇති ඉතා සීමිත පානීය ජල ප්‍රමාණය පවා පරිසර දූෂණය, අපතේ යාම සහ දේශගුණ විපර්යාස නිසා අහිමි වෙමින් පවතී.
කෘෂිකාර්මික අපද්‍රව්‍ය ජලයට එකතු වීම, කාර්මික කටයුතුවල විෂසහිත රසායනික අපද්‍රව්‍ය, සහ අනාරක්ෂිත මළාපවහන පද්ධති වලින් පිටවන රෝගකාරක වැනි දේ නිසා ජල දූෂණය සිදුවේ. ප්‍රමිතිගත නොවූ වාරි ක්‍රම මගින් ජලය අපතේ යාමද ඉමහත් පාඩුවකි. දේශගුණ විපර්යාස නිසා සිදුවන වර්ෂාපතන සහ හිමපතන වෙනස් වීම් නිසාද කලට වේලාවට ජලය නොලැබී, ඉඩෝර හටගැනීම නිසාද සමහර ප්‍රදේශවල පානීය ජල හිඟයක් ඇතිවිය හැකිය. මීට අමතරව අධික අකල් වර්ෂාව හටගැනීමෙන් සිදුවන ජලගැලීම් නිසාද, සමහර රටවල ජල ප්‍රභව අපිරිසිදු වන බැවින් ද ගුණාත්මක පානීය ජල සැපයීම අඩාලවේ. නිවාස වලට වර්තමාන අනුමත ප්‍රමිති වලට අනුකූලව ජල පහසුකම් සපයා ඇති විටක වුවද අරපරිස්සමෙන් ජල භාවිතය කාගේත් යුතු කමකි. ගෙදර දොර ජල භාවිතය සඳහා අනුගමනය කළහැකි යහපත් පිළිවෙත් කිහිපයක් මෙසේය.
නිවසක ජල බින්දුවක් වුවත් කාන්දුවන, ජල කරාම වැනි උපාංග, වහාම අලුත්වැඩියා කිරීම. (මිනිත්තුවකට ජල බිංදු දෙක බැගින් අපතේ යන කරාමයකින් වුවද, දිනකට අපතේ යාම ජල ලීටර 5 කට වැඩිය.)
හැකි තරම් දුරට වැසි ජලය එකතු කිරීමේ ක්‍රමවේදයකට (rainwater harvesting) යොමු වීම. (සමහර රටවල නිවාස ගොඩ නැගීමේදීම මෙම ක්‍රියාවලියට අදාළ උපකරණ සවි කිරීම් අනිවාර්ය කර තිබේ. මෙසේ එකතු කර ගන්නා ජලය, පානය කිරීම හැර අනිකුත් සියලුම අවශ්‍යතා සඳහා භාවිත කළ හැකිය.)
හැකිතරම් දුරට ජල කාර්යක්ෂම ගෘහ ‘සේදීමේ උපකරණ’ (washing equipment) භාවිත කිරීම.
හැකි සෑම විටකම උණුකර නිවාගත් ජලය පානය කිරීමද යහපත් සෞඛ්‍ය පුරුද්දකි
ආහාර භෝජන රටා සහ කෘෂි භෝග
මිනිසා ඇතුලු සියලුම සතුන් තම ආහාර ලබාගන්නේ, කෙලින්ම හෝ වක්‍ර අකාරයකට ශාක වලිනි. ශාක වලට අවශ්‍ය ශක්තිය ලැබෙනුයේ ප්‍රභාභාසංශ්ලේෂණ ක්‍රියාවලිය මගින්ය. විශේෂයෙන්ම හරිත ශාකපත්‍ර වල අඩංගු, හරිතප්‍රද වර්ණකයට සූර්යයාගෙන් ශක්තිය ලබාගැනීමට සුවිශේෂී හැකියාවක් තිබේ. සතුන්ට සූර්යයාගෙන් ශක්තිය කෙලින්ම ලබාගැනීමට ක්‍රමවේදයක් නොමැති නිසා, මේ ආකාරයට ශාක හරහා ‘ආහාර දාම’ (food chains) ඔස්සේ ශක්තිය ගලායාම ස්වභාව ධර්මයේ අපූර්ව සංසිද්ධියකි. පහත දැක්වෙන සරල ආහාර දාමය මගින්, මෙම පෝෂණ මට්ටම් සහ ආහාර දාමයක වුවද තිබිය හැකි සංකීර්ණ භාවය හඳුනාගත හැකිය.
සරල ආහාර දාමයක්
සෑම ජීවියෙකුටම වර්ධනය, චලනය ආදී සියලුම ජීව කෘති සඳහා අවශ්‍ය ශක්තිය ලැබෙන ආකාරය පෙන්වන සටහන ‘ආහාර දාමය’ (food chain) ලෙස හැඳින්වේ. මෙහි දැක්වෙන ආහාර දාමයේ පෙන්වා ඇති පරිදි, හරිත ශාකයක් වන තණකොළ, එහි ඇති හරිතප්‍රද උපයෝගී කර ගනිමින් සුර්යාලෝකයෙන් ශක්තිය ලබාගෙන ප්‍රභාසංස්ලේෂණය මගින් ආහාර නිපදවයි. මෙම දාමයේ පුරුක් හතරකි. තණකොළ මගින් සූර්යයාගෙන් ග්‍රහණය කරගත් ශක්තිය, දාමයේ සියලුම පුරුක් ඔස්සේ ගලා ගොස් අවසානයේදී උකුස්සාට ලැබේ. මේ ආකාරයට ශාක මගින් ලබාගන්නා ශක්තිය ‘ආහාර දාම’ ඔස්සේ අනියමින්, අනිකුත් ජීවීන්ටද ලබාගත හැකිය. එබැවින් සියලුම හරිත ශාක, ‘නිෂ්පාදකයෝ’ (producers) ලෙසත්, ශාක හෝ ශාක නිෂ්පාදන ආහාරයට ගන්නා ජීවීන් ‘යැපෙන්නෝ’ (consumers) ලෙසත් හැඳින්වේ. මේ ආකාරයට භෝජන මට්ටම් කිහිපයක යැපෙන්නන් සිටින අතර, සමහර යැපෙන්නන්වද ගොදුරු කරගන්නා වෙනත් සත්තුද සිටිති. මොවුහු ‘විලොපිකයෝ’ (predators) ලෙසද හඳුනාගත හැකිය. ජෛව පරිසරයේ මෙවැනි ආහාර දාම රාශියක් එකිනෙකට සම්බන්ධවී, ‘ආහාර ජාල’ (food webs) නිර්මාණය වේ. මේ නිසාම පරිසරයේ සිටින ශාක සහ සතුන් අතර, විවිධ භෝජන විලාස සහ සංකීර්ණ ආහාර රටා නිර්මාණය වී තිබේ. ආහාර සඳහා ශාක හෝ ශාක කොටස් පමණක් ගන්නා සතුන් ‘ශාකභක්ෂකයෝ’ (herbivores) ලෙස හඳුන්වනු ලැබේ. මොවුන් සෑමවිටම ආහාර දාමයක නිෂ්පාදකයින් අසලින්ම සිටිති. ආහාර දාමයක ශාකභක්ෂකයින්ට පසුව සිටින මස් මාංශ පමණක් බුදින්නෝ ‘මාංශභක්ෂකයෝ’ (carnivores) වෙති. මීට අමතරව ශාක, ශාක කොටස් සහ මස් මාංශ ඇතුළු ඕනෑම දෙයක් ආහාරයට ගන්නා සත්තු ‘සර්වභක්ෂකයෝ’ (omnivores) වෙති.
ආහාර දාමයක ඒ ඒ ජීවීන් සිටින ස්ථානය, පෝෂණ මට්ටම ලෙස හැඳින්වේ. ඉහත පුරුක් හතරක් සහිත ආහාර දාමයේ පළමු පුරුක තණ කොළ සහ පලා පෙත්තා අතර වේ. මෙහි තණ කොළ නිෂ්පාදකයා වන අතර පලා පෙත්තා යැපෙන්නා වේ. පලා පෙත්තා තණ කොළ මත කෙලින්ම යැපෙන නිසා පළමු පෝෂණ මට්ටමේ යැපෙන්නෙකු ලෙස හැඳින්වේ. එසේම, මැඩියා පලා පෙත්තා මත යැපෙන නිසා ඌ දෙවන පෝෂණ මට්ටමේ යැපෙන්නෙකු වේ. මේ අයුරින් උකුස්සා සිව් වන මට්ටමේ යැපෙන්නෙකු ලෙස දැක්විය හැකිය. මෙලෙස සලකා බලන විට උකුස්සා මාංශභක්ෂකයෙකු වන අතරම විලෝපිකයෙකු ද වේ. මේ ආකාරයට සිංහයා, කොටියා, වලසා, රාජාලියා, මෝරා වැනි අනිකුත් විලෝපිකයෝ ද මාංශභක්ෂකයෝ වෙති.
කලින්ද සඳහන් කළ පරිදි ගෝලීය උණුසුම් වීම නිසා, පරිසර හානි රාශියක් සිදුවෙමින් පවතී . සාගර ජල මට්ටම ඉහල යාම නිසා වෙරළාසන්න බිම් සහ මිනිස් වාසස්ථාන ජලයෙන් යටවීම, චන්ඩ මාරුත, අධික වර්ෂාව, කෘෂි භෝග විනාශය සහ පළදාව අඩුවීම වැනි ආපදා හටගැනීමද බොහෝදුරට ගෝලීය උණුසුම් වීමේ අනිටු ප්‍රතිඵල ලෙස සැලකිය හැකිය.
මිනිසාගේ ආහාර වලින් 70% පමණ ලැබෙන්නේ පළතුරු, එළවලු වර්ග සහ මාෂභෝගවල (pulses), ඵල (ගෙඩි), බීජ සහ පත්‍ර ඇතුලු හරිත වර්ණ කොටස් වලින්ය. ඵල සහ බිජ හටගැනීම සහ නැවත වගා කිරීම හෝ බෝවීම සඳහා, ඒවායේ පුෂ්ප සාර්ථක ලෙස පරාගණය සිදුවී, බීජ හටගත යුතුය. අඹ ගසක්, ඇපල් ගසක් හෝ මිදී වැලක් වැනි ශාකයක පුෂ්ප දස දහස් ගණනක් හටගනී. මෙම පුෂ්ප වලින් විශාල ප්‍රතිශතයක් ඵල හෝ බීජ නිපදවීමේ විභවයක් (potential) සහිතය. එසේ වුවද, ස්වපරාගණය සිදුවන ශාක ඉතා ස්වල්පයකට හැර, අන් සෑම පුෂ්පයක්ම පරාගණය සඳහා මීමැස්සන්, සමනලයින්, සලබයින් වැනි කෘමීන් හෝ වෙනත් සුවිශේෂී වාහක සතුන් අවශ්‍ය වේ. (මිනිසාගේ ආහාර වලින් 30% පමණ සපයන ධාන්‍ය වර්ගවල පුෂ්ප පරාගනය සිදුවනුයේ සුළඟ මගින්ය.)
‘මල් නොතලා රොන් ගන්නා’ මී මැස්සෝ, මල් පරාගණය සඳහා බහුලව දායක වන අතරම, ඔවුන් විසින් මල් වලින් ලබාගන්නා ‘මල් පැණි’ (nectar) ගෙනගොස්, තම ජනපදය තුළදී ‘මීපැණි’ (honey) වලට හැරවීමද ආශ්චර්යමත් ක්‍රියාදාමයකි. මෙසේ ලැබෙන මීපැණි මිනිසාගේ ප්‍රණීත එමෙන්ම අතිශයින් පෝෂණදායී අතිරේක ආහාරයකි. මල් රොන් සොයා යන මී මැස්සෙකු, එක් ගමන් වාරයකදී පුෂ්ප සියයකට ආසන්න සංඛ්‍යාවකට පිවිසෙන අතර, එක් දිනයකදී පුෂ්ප හාරදහසක් පමණ පරාගණය කරන බව ගණනය කර තිබේ. සාමාන්‍යයෙන් එක් ගණාවාසයක සිටින මී මැස්සන් මගින් දිනකට පුෂ්ප ලක්ෂ දෙකක් පමණ පරාගණය කරන බව මෙම දත්ත වලින් හෙළි වේ.
මෑතදී කරනලද, විද්‍යාත්මක නිරීක්ෂණයකට අනුව පුෂ්ප පරාගණයට දායක වන, ලොව පුරා විසිරී තිබෙන මීමැසි ජනපද (ගණාවාස), සංඛ්‍යාත්මකව අඩුවීමක් සහ මීමැස්සන් බහුලව මිය යාමත් හඳුනාගෙන තිබේ. මෙම මීමැසි අර්බුදය ‘මීමැසි ජනපද පිරිහීමේ අවුල’ (Bee colony collapse disorder) ලෙස නම්කර තිබේ. මෙම අවුලට ප්‍රධානතම හේතුව වශයෙන් හඳුනාගෙන තිබෙන්නේ, මිනිසාගේ අපරීක්ෂාකාරී, පලිබෝධ නාශක භාවිතයයි. දැනට දශක කිහිපයක සිට, මිනිසාගේ ඕනෑම භෝග වගාවකට පලිබෝධ නාශක යෙදීම සිරිතක් වශයෙන් කරගෙන යනු ලැබේ. ඒ සමගම සමහර පලිබෝධයන් ඉක්මණින්ම, නාශක ද්‍රව්‍ය වලට එරෙහිව අනුවර්තනය වෙමින් සිටින බවක්ද සොයා ගෙන තිබේ. දැන් මෙය විෂම චක්‍රයක් වී අවසානය. වගාවන්හි අහිතකර පලිබෝධන් විනාශ කිරීම සඳහා යොදනු ලබන රසායනික නාශක නිසා මිමැස්සන්, සමනලයින් වැනි පරාගණය සඳහා විශාල මෙහෙයක් කරන කෘමින්ද විනාශ වෙමින් පවතී. අප විසින් නිරතුරුවම භාවිත කරන පලිබෝධ නාශක සහ කෘමි නාශක වල අඩංගු රසායන ද්‍රව්‍යයන්හි අංශු මාත්‍රයකින් වුවද, මී මැස්සන්ගේ ස්නායු පද්ධතියට බලපෑම් කළ හැකිය. මල්පැණි සොයා යන මී මැස්සෙකු, වාතයේ හෝ ශාකයක පතිත වී තිබෙන මෙවැනි රසායන ද්‍රව්‍යයක ගැටුණු විට, එම මී මැස්සාගේ ස්නායු පද්ධතියේ ව්‍යාකුල බවක් හටගෙන සාමාන්‍ය චර්යා රටාව අවුල් සහගත වෙයි. බොහෝවිට මෙම තත්ත්වයට පත්වූ මී මැස්සෝ තම ජනපදය සොයා ගැනීමට නොහැකිව මංමුලාවී විනාශයට පත්වෙති.
මිනිසාගේ වගාබිම්වල පරාගණ කාර්යය සඳහා සදාකාලිකවම මී මැස්සන් අවශ්‍ය බව මෙයින් පැහැදිලි වේ. මේ නිසා අපට හිතකර කෘමින් වන මීමැස්සන් විනාශ මුඛයට පත්වීම හෝ ඔවුන් වඳවී යාමට කිසිසේත් ඉඩදිය නොහැකිය. මෙයට හොඳම පිළියම වශයෙන් කෘමි නාශක හෝ පලිබෝධ නාශක භාවිතය අවම කර, පරිසරය සුරැකීමේ මහඟු සේවයට අතහිත දීමට අදිටන් කර ගැනීම කාගේත් යුතුකමකි. සිදුවන අනිසි විපාක පිලිබඳ නොදැනුවත්කම නිසාම, සමහරු අත්‍යාවශ්‍ය නොවන අවස්ථා වලදීද කෘමිනාශක භාවිත කරන බව දකින්නට ලැබේ. එක් ගෙමැස්සෙකු හෝ කැරපොත්තෙකු ඉවත් කිරීම සඳහා කිහිපවරක් කෘමි නාශක ඉසිනු සමහර අවස්ථාවලදී අපට දකින්නට ලැබේ. මේවා පිලිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා අපගේ සිවිල් සංවිධානද පියවර ගන්නේ නම් ඒ මගින් ලෝකයේ යහ පැවැත්ම සඳහා මහඟු සේවයක් කළ හැකි වනු ඇත. “මිනිස් සංහතියට සහ අනිකුත් සත්ත්ව සමූහයාටම, ජීවත්වීම සඳහා ඇත්තේ එකම පෘථිවියක් පමණකි. පෘථිවියේ ඇති ජෛව විවිධත්වයට හානි නොවන පරිදි කටයුතු කර අපි එය රැක ගැනීමට පෙළ ගැසෙමු.”
දැනට දශක හත අටකට පෙරද තිබුණු, මිනිසාට හිතකර ප්‍රශස්ත වටපිටාව, අද සම්පූර්ණයෙන්ම විකෘති වී ගොස් තිබේ. මෙයට ප්‍රධානතම හේතුව වනුයේ මිනිසාගේ අත්තනනෝමතික ක්‍රියා නිසා විවිධ ආකාරයට පරිසර දූෂණය සිදුවීමයි. ඉහත සැකෙවින් විස්තර කරන ලද්දේ මෙසේ සිදුවෙමින් පවතින ව්‍යසන කිහිපයක් පමණකි. මෙවැනි ආපදා තව බොහෝය. කෙසේ වෙතත්, සෑම කෙනෙකුම විසින්ම පරිසර සුබ සිද්ධිය පිලිබඳ අවධානයකින් යුතුව කටයුතු කරන්නේ නම්, සිදුවෙමින් පවතින මහත් උපද්‍රව වලින් ස්වල්පයක්වත් මගහරවා ගැනීමෙන් අපට සොබාදහමෙන් ලැබී තිබෙන මහඟු දායාද බොහෝදුරට භුක්ති විඳ ගත හැකි වනු ඇතැයි විශ්වාස කළ හැකිය.
No comments:
Post a Comment