Thursday 5 October 2017

මිතුරෙකුගේ මංගල යෝජනාවකට ගොස් අමාරුවේ වැටුන හැටි....

   විද්‍යා පුහුණු ගුරුවරියක වූ නන්දනී, පුහුණුවෙන් පසු ගුරු පත්වීම ලැබුවේ තම ගම් ප්‍රදේශයේ පිහිටි මධ්‍ය විද්‍යාලයටය. ඇය ඉතාමත් ප්‍රිය මනාප, කා සමගත් කුළුපග, හැඩකාර  තරුණියක් වුවාය. ඇය පවුලේ එකම දියණියයි. පියා ලියනආරච්චි රාලහාමි ගම්පති වරයාය. (දැනට සිටින ග්‍රාම නිලධාරි තනතුර ඒ කාලයේ ගම්පති ලෙස හැඳින්විය). තරමක් දඟකාර සැහැල්ලු දිවියක් ගතකල නන්දනී ලියනආරච්චි තම නම අත්සන් කළේ ‘න.ලියන’ කියාය. ඇයගේ සිංහල අත්සන දරණ ගසාගෙන සිටින නාගයෙකුගේ ස්වරුපය ගත්තේය. මෙ නිසාම ඇයට ‘නලියන මිස්’ යන අන්වර්ථ නාමයක්ද පට බැඳී තිබුණි. ‘නලියන’ අන්වර්ථ නාමයටත් අමුතුම හැඩයේ තම අත්සනටත් ඇය මහත් කැමැත්තක් දැක් වුවාය.
   
ඒ කාලයේ විශ්ව විද්‍යාලයේ අවසාන විභාගයෙන් පසුව ගුරු පත්වීම් ලබාගැනීම ඉතා පහසුය. වෝල්ටර්, සඳසිරි සහ මම විශ්ව විද්‍යාලයට ඇතුලත්වී දින කිහිපයකින්ම සුහද මිතුරන් වූයෙමු. වෝල්ටර් කොළඹ පෞද්ගලික පාසලකින් පැමිණි අයෙකු වූ අතර සඳසිරි සහ මා උසස් පෙළ ඉගෙනුම ලැබුයේ නගරයෙන් තරමක් ඈත  විදුහල්වලය. මටත් සඳසිරිටත් දුර බැහැර විදුහල් දෙකකට ගුරු පත්වීම් ලැබුණු අතර වොල්ටර්ට කලින් සඳහන් කළ මධ්‍ය විද්‍යාලයට පත්වීමක් ලැබිණ. ඔහුට විදුහලේ ශිෂ්‍ය නිවාසයේ නවාතැන්ද ලැබිණ.

සති අන්ත වල ගෙදර පැමිණිවිට, හමුවිම අපි පුරුද්දක් කර ගතිමු. අප හමුවූ විටක, වෝල්ටර් අපට අලුත් ආරංචියක් කිවේය. ඒ නලියන මිස් පිළිබඳවය. පිරිමි විදුහලක නේවාසිකව අධ්‍යාපනය ලැබූ, පවුලේ එකම දරුවා වූ,  තරමක් කුලෑටි වෝල්ටර් මෙතරම් ඉක්මනට නන්දනී සමග ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගැනීම අපට අදහා ගත නොහැකි විය.

අපි ඔහුට සුබ පැතුවෙමු.

ඔවුන් අතර තිබෙනුයේ ප්‍රේම සම්බන්ධයක්ද නැතහොත් සාමාන්‍ය සුහදතාවක්ද යන්න වෝල්ටර් හරිහැටි තේරුම් ගෙන නොතිබුණි. නන්දනී ඔහු කෙරෙහි ලෙන්ගතු කමක් පෙන්වුයේ අනුකම්පාව නිසාද විය හැකිය. එසේ වුවත් ඒ කිසිවක් කෙලින්ම ප්‍රකාශ කිරීමට දෙදෙනාම අසමත්වී ඇත. බොහෝ දුරට නෝංජල් ගති පැවතුම් ඇති වොල්ටර්ට ‘නලියන’ නොගැලපෙන බව අපට සිතුනත්, අපද  මේ බව ඔහුට එක්වරම කීමට අපොහොසත් වූයෙමු.

මේ අතර උපාධි විභාග ප්‍රතිඵල පිටවිය.

සඳසිරිද මාද සමත් වී සිටියෙමු. වෝල්ටර් අසමත්ය. අසමත් වීම ඔහුට මහත් සිත් තැවුලක් විය. මේ ගැන නන්දනිද මහත් කම්පාවට පත්වී ඇත.

මේ අතර දිනක කතා කරමින් සිටින විට තමාට විවාහ යෝජනා ලැබෙන බවත් තම පියා විවාහය ගැන මහත් උනන්දුවක් දක්වන බවත් නන්දනි වොල්ටර්ට කීවාය.

මෙම ආරංචිය අසා මහත් කම්පාවට පත්වූ වෝල්ටර්

‘ඇයි ඔයා මාගැන තාත්තට කියලා නැද්ද?’
කියා එක්වරටම ඇසිය.

‘ඉතින් දැන් මෙච්ච්ච්ර කල් වෙනවා ඔයා නිකමටවත් මට මේ ගැන කිව්වේ නැත්තේ මොකද?’
නන්දනී දුක්මුසු ස්වරයකින් ඇසිය.

‘මම හිතාගෙන සිටියේ ඔයා මාව තේරුම් අරන් කියලයි’ වොල්ටර්ගේ පිළිතුර විය.

‘කොහොම වෙතත් අප දෙදෙනා අතර සම්බන්ධයක් තිබෙන බව තාත්තට ආරංචි වෙලා මටත් නොකියාම වෙන ඒවා සොයා බලා තිබෙනවා.’

‘ඒක නොවෙන්නම් ඔයාට නොතේරුනාට ගුරු මණ්ඩලයේ අනිත් අයට තේරිලා ඇති. ආරංචිය යන්න ඇත්තේ ඒ අයගෙන් ’

‘එහෙම අදහසක් හිතේ තිබෙනවානම් වහා හිතෙන් අස්කරගෙන තාත්තලා කියන කෙනෙකුට කැමති වන ලෙසට මට තරවටුවකුත් කළා.’ 

ඒ සති අන්තයේ සෙනසුරාදා උදේම වෝල්ටර් අපේ ගෙදර පැමිණියේය. සිද්ධිය විස්තර සහිතව මට කියා මේ ගැන කුමක් හෝ කරන ලෙස මගෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටියේය.

දස අතේ කල්පනා කළ මට කළහැකි කිසිම දෙයක් ගැන සිතා ගන්නට නොහැකි විය.

එදිනම සවස සඳසිරි හමුවීමි.  පසුදින අපි දෙදෙනාම වෝල්ටර්ගේ ගෙදරට ගියෙමු.
සියල්ල සාකච්ඡා කිරීමෙන් පසුව, නන්දනී සහ  වෝල්ටර් සම්බන්ධය පිලිබඳ මෙම සිද්ධිය ලියනආරච්චි ගම්පති  වරයාට පවසා, එය  නිරාකරණය කරගැනීමේ භාරදුර කාර්යය අප දෙදෙනාට භාර ගැනීමට සිදුවිය.

වෝල්ටර්ගේ බලවත් පෙරැත්තය නිසා ඊළඟ සෙනසුරාද සඳසිරි සහ මම මෙම නුහුරු ගමන යාමට තීරණය කර ගතිමු. එදින උදේම වෝල්ටර් හමුවී මේ ගැන තවදුරටත් සාකච්ඡා කර, සඳසිරිගේ පැරණි මොරිස් මයිනර් ‘ටුවරර්’ මෝටර් රථයෙන් ගමනට පිටත්වීමු.
අප පිටත්වන විට වෝල්ටර්ගෙන් දිග සුසුමක් පිටවනු ඇසිණ.

අප පෙරවරු නවයට පමණ ලියනආරච්චි ගම්පති වරයාගේ නිවසට පැමිණියෙමු.

ගම්පති වරයා ආලින්දයේ පුටුවක වාඩිවී, යම්කිසි වැඩක නිරත වි සිටින බව අපි  ඈතට දුටුවෙමු. නිවස වෙත  එන අප දෙස ඔහු විමසිල්ලෙන් බලා සිටියේය.

අත් දිග මේස් බැනියමක් සහ මඩකලපු සරමක් හැඳ සිටි ඔහු, ඇඟිලි තුඩු දෙකක් කට දෙපැත්තට  තබා ඝනට වැඩුණු උඩු රැවුල මෑත් කර, පඩික්කමට බුලත් කෙළ පහරක් ගසා අප ඉදිරියට ආවේය.

ලියනආරච්චි ගම්පති වරයාගේ ප්‍රතාපවත් භාවය දැක මට තරමක බියක්ද ඇතිවිය.

අප ආලින්දය අසලට පැමිණෙන විටම ඔහු අප අසලටම පැමිණියේය.

ඔහුගේ අතෙහි තිබුණේ තුවක්කුවකි. අප තැති ගත් බව දුටු ඔහු,

‘එන්න, එන්න, මේ ඉලන්දාරි දෙන්නෙක් උදේ පාන්දරම?  බය වෙන්න එපා මම මේ අද නිවාඩු දවසේ උදෙන්ම  තුවක්කුව සුද්ධ කළා.’ කියමින් තුවක්කුව බිත්තියට හේත්තු කළේය.

අපට වාඩිවීමට පුටු දෙකක් පෙන්වූ ඔහු තම සුපුරුදු පුටුවෙහි හිඳ ගත්තේය.
ඔහු කතාවට මුල පිරුවේය.

‘ඉතින් මේ ඉලන්දාරි කවුද?  මාව හමු වෙන්න ආවෙ රාජකාරි වැඩකටද? කියමුකො විස්තර.’

ටික වෙලාවක නිශ්ශබ්දතායකින් පසුව සඳසිරි හඬ අවදි කළේය.
‘රාලහාමි මේ ආවෙ අපේ යාලුවෙක්ගෙ වැඩකට’

‘එහෙනම් මේක තුන්වෙනි පාර්ශවයක වැඩක්. කව්ද ඔය යාලුවා මෙහෙට එන්න බැරි කෙනෙක්ද?’

ඔහුගේ ප්‍රශ්නයේ ස්වරුපයෙන් එහි යම්කිසි ව්‍යංගයක් තිබේදෝ  යන සැකය නිසා අපේ ගැටලුව ඉදිරිපත් කළ විට,  කුමකින් කුමක් වේදෝයි අපට මහත් බියක් සහ සැකයක් ඇතිවිය. අප කරන්නේ මහත් අණුවන වැඩක් නොවේදෝ යන්නත් මට සිතින.

‘මහත්තයාලා කොහේද? රස්සාවල් කරනවද ?

මම පිළිතුරු දුනිමි. ‘අපි දෙන්නම අලුත් ගුරුවරු. උගන්වන්නේ පිට පලාත්වල. අපි දෙන්නම හොරණ.’

‘ඉතින් ඔය යාලුවා කව්ද? මොකක්ද ප්‍රශ්නය?’ ගම්පතිවරයා තරමක් උස් හඬින් ඇසිය.

‘එයාත් ගුරුවරයෙක් උගන්වන්නේ මෙහේ සෙන්ට්‍රල් එකේ. නම වෝල්ටර් ’ මම කීවෙමි.

‘අපේ දුව උගන්වන්නෙත් සෙන්ට්‍රල් එකේ. එයා උදෙන්ම අම්මත් එක්ක ගමනක් ගියා’ ගම්පති තරමක නොසන්සුන් භාවයක්‌ පෙන්වා,

‘ඔය හාදයා ගැන මම අහලා තියෙනවා. එයා උපාධි විභාගයත් ෆේල් වෙලා නේද?’ ඔහු  අපගෙන් ඇසිය.

‘ඔව්, එයා නන්දනී මිස් ගැන කැමැත්තක් තිබෙනවා. මේ සම්බන්ධයෙන් රාලහාමි දැනුවත් කරන ලෙස අපට පෙරැත්ත කරනවා. ඒකයි අපි මේ හදිසියේම ආවෙ.’ මම අප ආ කාරණය ඉක්මණට කීවෙමි

‘මොන.......වා ........ ?’  මේ නෝන්ජලයාගෙන් අපේ දුවට මගුල් යෝජනාවක්. ඔය මිනිහට පිස්සුද?’ කියමින් ඔහු නැගිට ගොස් තුවක්කුව අතට ගත්තේය.

අප  දෙදෙනාම මහත් බියට සහ සන්ත්‍රාසයට පත්වීමු.

තද කෝපයෙන් රැවුල පුප්පා ඇඟ සලිත කරමින් කතාකළ ඔහු
‘මොකද මේ මිනිහට දෙමව්පියෝ නැද්ද? ගුරුවරයෙකුත් වෙලා සිරිත් විරිත් දන්නේ නැද්ද? මෙහෙම ආවට ගියාට මගුල් යෝජනා ගේනවද? තමුන් දෙන්නටවත් මේ වැඩේ බැරෑරුම් කම තේරුණේ නැද්ද?  කියමින්  අඩි හප්පන්නට විය.’

‘සමාවෙන්න රාලහාමි. අපි නොදැනුවත් කම නිසයි මේ පියවර ගත්තේ.කරදර කිරීම ගැන කනගාටුයි.’ සඳසිරි යටහත් පහත්ව කිවේය.

එසේ කීවිට කෝපය තරමක් අඩුකරගත් ඔහු, අප වැටි සිටින අසීරු තත්වය තේරුම ගත් බව අඟවා,
‘කමක් නැහැ. මහත්තයලාට  ඔය නිවට යාලුවා වෙනුවෙන් මගෙන් දොස් අහන්නට වීම හොඳ පාඩමක්. මිට පස්සේ වැඩිහිටියෝ කළයුතු වැඩ වලට අත දාන්නට යන්නට එපා’ කියා අවවාදයකුත් දුන්නේය.

අප කොයි  මොහොතේ  මේ උගුලෙන් බේරීමට හැකිවේදෝයි සිතමින් සිටින විට රාලහාමි ගොරහැඩි බව මඳක් අඩුකර සන්සුන්ව කතා කළේය. මෙය අපට තරමක අස්වැසිල්ලක් විය.

‘ඔය මහත්තයාගේ වයස කීයද?’ ඔහු මගෙන් විමසිය. කුමක් කිව යුතුදැයි මට සිතාගත නොහැකි විය. මම ඇත්තම කීවෙමි.

‘අවුරුදු විසි හතරයි.’

ඔහු ඊළඟට සඳසිරිගෙන්ද  එම ප්‍රශ්නයම ඇසිය.

‘විසිපහයි’ ඔහුගේ පිළිතුර විය.

ඔහු ඊට පසු මොනවා අසන්නේද කියා අපට මහත් සැකයකි.

මහු උගුර පාදා රැල් බුරුල් හැර,

‘මට වයස අවුරුදු පනස් අටක්. බලන්න ඔය දෙන්නාගේම වයස් දෙකම  එකතු කලත් අවුරුදූ  පනහක්වත් නැහැනේ. ඒත් මගේ වයසට අවුරුදු දහයක් විතර  අඩුයි. එහෙම ලාබාලයෝ දෙන්නෙක්,  මගේ එකම දුවට මගුල් ජෝඩුවකට ආ එක හරිම විහිළුවක්නේ. මිට පස්සෙනම් මෙහෙම මෝඩ වැඩ කරන්නට එපා.’ කියමින් තුවක්කුව ආපසු බිත්තියට හේත්තු කළේය.

‘තුවක්කුව මගේ අතේ තිබුන නිසා  බය වෙන්නත් ඇති. මම මේක සත්තු මරන්නනම් ගස්සලා නැහැ. ඒ උනත් ඔය වගේ නොගැලපෙන යෝජනා ගේන කෙනෙකුට නම් නොගැස්සුවත් එල්ල කරන්නනන් පුලුවන්’ කියමින් වියරු සිනහවක් පෑවේය.

‘එහෙනම් රාලහාමි අපට දුන් උපදෙස් හොඳට පිළිපදිනවා. අපි ගිහින් එන්නම්’ කී සඳසිරි පුටුවෙන් නැගිටින විට මමද නැගිට්ටෙමි.

‘බොහොම හොඳයි මතක තියා ගන්න. නැවත ආවට කමක් නැහැ. ඔය වැඩේට නම් ආයිත් මෙහෙ එන්න එපා’ කියමින් ඔහු දත් විලිස්සා සිනාසුනේය.

ප්‍රතිඵලය ඇසු වෝල්ටර් ‘නලියන’ පිලිබඳ අදහස අත් හැර ඇති බව පසුව දැනගතිමි.

   

   

  

         

17 comments:

  1. අන්න වැඩේ.. මදෑ කපුකම් කොලා

    ReplyDelete
    Replies
    1. තඩි මල්ලි,
      මේක කපු කමක් නොවෙයි. 'One sided Love' එකක ඇත්ත නැතත් සොයා ගැනීම සනහා කරන ලද දූත මෙහෙවරක් පමණයි

      Delete
  2. මේක විකාරයක් නේද? දරුවන්ගේ ජිවිත වලට එහෙම මැදිහත් වෙන දැන් කාලේ දෙමවුපියන් පස් පඩන්ගුවේ බැනුම් අහනවා. ඒ කාලේ ඒවා අනුමත වෙලා... මොකද්ද මේ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලිඛිතා,
      මේ සිදුවීම දැනට දශක පහකට පමණ ඉහතදී වු දෙයක්. ඒ කාලයේ හැටි එහෙම තමා. ඒ කාලයේ දෙමාපියන්, විවාහ අපේක්ෂිත දෙදෙනාගේ ගැලපීමට වඩා සොයා බැලුවේ කුල මළ, ඉඩ කඩම්, පවුලේ ලොකු කම් ආදිය.
      ඔය නලියනටත් දැන් වයස හැත්තෑපහක් පැනලා ඇති.

      Delete
    2. ලිඛිතා,

      පරම්පරා දෙකක් උනහම එහෙම තමයි...ආකල්ප, සිතුම් පැතුම්...සාරධර්ම..එව්ව මෙව්ව ඔක්කොම වෙනස්....:)

      Delete
    3. ස්තුතියි රවී,
      /මේක විකාරයක් නේද? දරුවන්ගේ ජිවිත වලට..../
      ලිඛිතාට ටිකක් කේන්ති ගියා වගෙයි. ඇත්ත ඇති සැටියෙන් සරලව පැහැදිලි කරදීම ඔබගේ දක්ෂ කමක්.

      Delete
    4. නෑ මම කිව්වේ මෙහෙමයි...
      මට පෙනෙන්නේ ලංකාවේ මිනිස්සු පිස්සොද නැතිනම් අමුම පිස්සොද කියල....

      විවාහය කියන එක ගැන කියද්දී
      ඉස්සරකාලේ මේ විදියට විවාහ උනා කියලා පාරම්බාන ( ඒ කියන්නේ එයා මනාලිය ඉල්ලන්න ගෙදරට ගියාම , මනාලිගේ තාත්තා ඉඳගෙන හිටපු පුටුව පොලවේ ගැහුවය, ඊට පස්සේ මහා ලොකු විජ්ජුම්බරයක් කරලා... අන්තිමට කසාද බැන්දය කියලා) මිනිස්සුන්ම කියනවා තමන්ගේ සහකාරිය තෝරාගන්න තමන්ට අයිතියක් තියනවාය කියල. ඒ උනාට උන් ඒ කාලේ දෙමවුපියන්ට හිස නමලා ( සමහරු යාළුවෙලා උන්නු මනුස්සයට පත බූට් තියලා) කසාද බැඳලා. ඒ මොන බූත කතාවක්ද?

      ඒ අස්සේ දැන් කාලේ උන් කියනවා අම්මලට තාත්තලට බැහැ තමන් බඳින එකා ගැන ඇඟිලි ගහන්න. ඒ හින්දා හොඳ පවුලක් කන්න නම් ඒවා බලන්න එපාය කියලා. ඒ උනාට ඒ පරපුරේ හරියට දික්කසාද. ඒකත් මහා බූත කතාවක්!

      මේවා ඔක්කොම ඩ්‍රාම මට හිතෙන හැටියට. ඉස්සර කාලේ තාත්තලා අර දෙමළ ෆිල්ම් බලලා ඔලුව නරක කරගෙන රඟපෑවා. දැන් කාලේ තාත්තලා ඉංගිරිස් ෆිල්ම් බලලා කුරුවල් වෙලාද කොහේදෝ.

      අපිටම කියලා අනන්‍ය වෙච්ච නැද්ද හොඳ විවාහයට විරුද්ධ/අනුමැතිය දෙන දේශීය ක්‍රමයක්... :D හි හි හි හි

      Delete
  3. මගුල් කපුකම් කරන්න ගිහිල්ල තව පොඩ්ඩෙන් අවමගුලක් තමයි කරගන්න වෙන්නෙ.

    මොනව උනත් නලියන මිස්ට ගැලපෙන කෙනෙක් හම්බඋනයි කියල හිතන්න බෑ ඔය තත්වෙ හැටියට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      මේක කපු කමක් නොවෙයි. ගම්පති අපේ ඇඟට කඩ පැන්නේ නැතිනම්, වෘත්තීයමය කපුවෙක් යවලා වැඩේ කරගන්නත් තිබුණා. මේ පලහිලව් 'ඒක පාර්ශ්වික' වු විට විසඳුම් සෙවීම අමාරුයි.
      'නලියන' දැන් කොහොමත් දරු මුණුපුරන් සිටින වයස්ගත ආච්චි කෙනෙක් වෙලා ඇති. මේ සිද්ධියට පස්සේ කවදාවත් මුණ ගැසී නැහැ. නලියන ගතියත් දැන් නැතුව ඇති.

      Delete
  4. මේකේ අන්තිම මෙහෙම වෙනස් වෙන්න ඕන. මේ සිද්ධියට පස්සෙ සුමානෙ දයාවී මහත්තයයඉ යාළුවයි ආපහු ගියාලු. දෙවෙනි පාර ගිහිල්ල තියෙන්නෙ නිකන් නෙමෙයි කානු දෙකේ තුවක්කු තුන හතරකුයි, අත් බෝම්බ, ගල්කටස් එහෙම අරගෙන. ආයුධ ටික දැක්ක ගමන් රාළහාමි මඟුලට කැමතිවුණාලු. වෝල්ටර් ගෙයි නලියන මිස්ගෙයි කසාදෙ දැනටමත් ළමයි 12 ක් ලු.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්,
      'නලියන' දෙවන කොටසක් ලියන විට ඔබ කියන ප්‍රවේශය ගන්නම්.
      ඔබ සඳහන් කර තිබෙන ආකාරයට මෙහෙම පටන් ගනිමු. බය හිතෙන 'බඩු' තොගය දුටු ගමන් රාලහාමි ඇත්තෙන්ම නලියන තම දු සිඟිත්ත හමුදා ඇඳුම් හැඳගෙන සිටි භටයන් දෙදෙනාට භාර දුන්නා......... (මෙහි ඉතිරි ටික ඉයන් විසින් ලියා සම්පූර්ණ කරනු ලැබේ.)

      Delete
  5. ඒ ගෙදරින් කසාද නොබැන්ද එකමයි හොඳ. ගෙදරට එන මිනිස්සුන්ව ඔවැනි ආකාරයට බය කරන ගමං වතුර උගුරක්වත් නොදී දොට්ට දාන උන්දැලා ඉන්න පවුල්වලට සම්බන්ධ වෙලා සවුත්තු වෙන්න ගිය ජීවිතයක් බේරිලා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුරංග,
      ඉහත ඉයන් සඳහන් කර ඇති පරිදි නලියන නන්දනිට ගැලපෙන්නේ 'පුපුරන ද්‍රව්‍ය' නිතරම අතේ තිබෙන හමුදා කාරයෙකුටයි.
      මම හිතන්නේ හාමිනේ සහ දුව ගෙදර නැති විටක රාලහාමි කුස්සිය පැත්ත තියෙන්නේ කොහේද කියාවත් දන්නේ නැතුව ඇති.
      වෝල්ටර් පස්සේ හොඳ කසාදයක් බැඳ ගත්තා.

      Delete
  6. ඒ කසාදෙන් පස්සේ අත්සන වෙනස් වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Nut,
      ඔය වයසේ කැපී පෙනීමට දඟලන 'නලියන' වගේ අය මොනවා හරි අමුතු ආටෝපයක් එකතු කර ගැනීමට දඟලනවා. අත්සන නිසා තවත් බොහෝ දේ වෙන්නට ඇතැයි සිතා ගන්නට පුළුවන්

      Delete
  7. මමත් ඔහොම ගියා කපු රාජකාරියකට කාලෙකට ඉස්සෙල්ල...ඒ ගියෙ මගෙ යාලුවෙකුගෙ මඟුලක් හගිස්සවල දෙන්ට ගෑණු ළමයගෙ ගෙදරට...

    ගෑණු ළමය වැඩ කලෙත් අපේ ඔෆිස් එකේමයි...අපි තුන් දෙනෙක් ගියා...ප්‍රේමාතුරයයි අපි දෙන්නගෙම තවත් හොඳ යාලුවෙකුයි.

    එහෙ යන්ට දවස් තුනකට කලිං ප්‍රේමාතුර තෙමේගෙ ගෙදර ගිහිල්ල නැවතිල ඌ ගානෙ හොඳට බිව්ව.ඊට පස්සෙ තමයි නුවර බේක් හවුස් එකෙන් මිරිසවැටිය විතර උස කේක් ගෙඩියකුත් කරගහගෙන කෙල්ලගෙ ගෙදර ගියේ...

    ඒ කාලෙ අර ගිය අනික් යාලුවයි මායි දෙන්නම කොණ්ඩ වවල රැවුල් වවල නිකං තිසාහාමි වගේ හිටියෙ. අපි දැකල බය උන පාරද කොහෙද ගෑණු ළමයගෙ තාත්ත ඔන් ද ස්පොට් එතනම කැමැත්ත දුන්න..

    සවිස්තරව ආයම දවසක ලියන්නං...:)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රවී,
      හරි වැඩේනේ ! අප දෙදෙනාටම එකම ආකාරයේ සිද්ධි වලට එකාකාරවම මුහුණ දෙන්නට සිදු වෙලානේ.
      ඔය රැවුල වව‍ා ගෙන සිටියේ JVP කලබල තිබුන කාළේද?
      ඒ කාලේ නම් රැවුල් කාරයෝ දෙදෙනෙක් ගෙදරට ආවනම් දුවත් දීලා ඉඩ කඩම් ටිකත් ලියා දෙන්නට වෙනවා.
      අපට නම් යාලුවා උනත්, වෝල්ටර් නෝන්ජලයාව එහෙම තලා ගන්නට හිතුනේ නැහැ.

      Delete