Friday 15 December 2023

අමතක වීම පිලිබඳ සිත සසල කරණ කතාවක්......

මෙය දශක හයකට පමණ ඉහතදී, මා ගුරුවරයෙකු ලෙස සේවය කළ මධ්‍ය විද්‍යාලයයක දී වූ සිද්ධියකි. එම විද්‍යාලයය ක්‍රීඩා පාසලක් ලෙසටද ප්‍රසිද්ධියක් ඉසිලීය. 

ඒ කාළයේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පිරිනමන ලද ක්‍රීඩා ශිෂ්‍යත්ව ලබාගත් ගම්බද පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් රාශියක් ක්‍රීඩා පාසල් වලට ඇතුළත් වී නේවාසිකව සිට ක්‍රීඩා පුහුණුව ලැබිය. මේ නිසා මෙම විශේෂ මධ්‍ය විද්‍යාල වල ගුරු මණ්ඩලයේ ක්‍රීඩා උපදේශක ගුරුවරුද කිහිප දෙනෙක් සිටියහ. ක්‍රීඩා පුහුණුව ලබන ශිෂ්‍යත්වධාරීන් සමගම ක්‍රීඩා කරන අනිකුත් සිසුන්ද රාශියක් සිටි නිසා පාසල් වේලාවෙන් පසුවද  නොයෙකුත් ක්‍රීඩා පුහුණුවීම් වල යෙදෙන ශිෂ්‍ය  ශිෂ්‍යාවන්ගෙන් ක්‍රීඩා පිටිය පිරී ගියේය. ක්‍රීඩා කටයුතු භාර ගුරු මහත්මා මහත්මින්ට අමතරව  ගුරු මණ්ඩලයේ සෑහෙන පිරිසක්ද සවසට පැමිණ බැඩ්මින්ටන්, ටේබල් ටෙනිස් වැනි ක්‍රීඩාවල නිරත වුහ..


විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කිරීමත් සමගම මාහට  මෙම විදුහලේ විද්‍යා ගුරුවරයෙකු ලෙස ගුරු පත්වීමක් ලැබිණ. විද්‍යාලයයේ ශිෂ්‍ය නිවාසය භාරව සිටි ජේෂ්ඨ ක්‍රීඩා උපදේශක වරයෙකු වූ, ආරියපාල මහතාගේ ඉල්ලීම පරිදි මටද නතරවීම සඳහා ශිෂ්‍ය නිවාසයේම කාමරයක්  ලබාගත හැකිවිය. ශිෂ්‍ය නිවාසයේම නේවාසිකව සිටි නිසා මමද   දිනපතාම වාගේ පාසැල් කාලයෙන් පසු සවස් වරුවේ බැඩ්මින්ටන් ක්‍රීඩා කිරීම සඳහා ක්‍රීඩා පිටියට පැමිණීමට පුරුදු වූයෙමි.


නිතරම සිනහමුසු මුහුණින් යුක්තව කාගේත් සිත් දිනාගෙන සිටි ආරියපාල මහතාට කවුරුත් ආමන්ත්‍රණය කළේ ආරි යහ කෙටි නමින්ය.  ජේෂ්ඨ ශිෂ්‍ය භට කණ්ඩායමද භාරව කටයුතු කළ  අතිශයින් විනය ගරුක ගුරුවරයෙකු වූ ආරි, නිතරම ඒ බව ක්‍රියාවෙන්ම ඔප්පු කළේය. ක්‍රීඩා කිරිමට සෑම අතින්ම ඔබින ඇඳුම කට්ටලයකින් සැරසී ක්‍රීඩා පිටියට පැමිණීම ඔහුගේ විශේෂත්වයකි. එය නිරතුරුවම  ඉතාමත් පිරිසිදු සුදු ඇඳුම් කට්ටලයක් විය. මෙසේ පැමිණීම ඔහු හැඳින්වුයේ ‘army discipline’ ලෙසටය. ගුරු මණ්ඩලයේ බොහෝ අය බැඩ්මින්ටන් ක්‍රීඩාවට විශේෂ කැමැත්තක් දක්වන  නිසාත් එකල එය ජනප්‍රිය ක්‍රීඩාවක්ව ව තිබුණු නිසාත්, ඔවුන් අතර සුහද තරඟ මාලාවක් පැවැත්වීමට එම ක්‍රීඩා කටයුතු භාර ගුරු මහතා යෝජනා කළේය. මෙයට කවුරුත් කැමති වුහ. මාස කිහිපයක් තිස්සේ  මූලික තරඟ පවත්වා  අවසාන, මිශ්‍ර යුගල තරඟය පැවැත්වීමට දින නියම කර ගන්නා ලදී. 


තරඟයේ අවසාන වටයට  තේරී ආ, ආරි සහ තවත් ගුරු මහත්මියක්, එක්‌ යුගලයක් වූ අතර මා සහ තවත්  ගුරු මහත්මියක් ප්‍රතිවාදීන් වුහ. බැඩ්මින්ටන් ක්‍රීඩා කටයුතු භාර ගුරු මහතා විසින් එදින පස්වරු 3.30 ට අවසාන තරඟය ආරම්භ කිරීමට සියල්ල සුදානම් කර තිබිණ.


පස්වරු තුන පමණ විට මා තරඟය සඳහා සුදානම් වී,  ආරිගේ  කාමරයට ගිය විට ඔහු පුවත් පතක්  කියවමින් සිටියේය. ඔහුට කෙසේ හෝ තරඟය පිළිබඳව සම්පුර්ණයෙන්ම අමතක වී ගොස් ඇති බව මට දැනුණි. මා ඒ බව මතක් කළ විට මහත් කලබලයට පත්වූ  වූ ඔහු,


‘හානේ!...... මට ඒක අමතක උනා නේ..... කීයටද පටන් ගන්නේ? හතරට නේද?’කියා ඇසිය.


‘හතරට නෙමෙයි. තුනහමාරට. තව විනාඩි විස්සකට වැඩිය නැහැ. ඔය අමතක වීම අමුතු දෙයක් නෙමෙයිනේ ’ මම කීවෙමි. 

ඔහුගේ අමතකවීම්  මීට ඉහතදීද කිහිප වරක්ම මා  නිරීක්ෂණය කර තිබිණ.


ඔහු ඉක්මනට සුදානම් විය.


අවසාන වටයට තේරුණු  දෙපිලක් අතර තරඟයක් නිසා, කවදත් කඩවසම් ලෙස ඇඳුම් අඳින ඔහු, එදින වඩාත් පිළිවෙලක් සහිත,   සුදු කොට කලිසමක් සහ සුදු ටී ෂර් ට්  එකක් හැඳ, සුදු සපත්තු කුට්ටමක්ද දා ගත්තේය.


ක්‍රීඩාව ආරම්භ කිරීමට තව විනාඩි දහයකට වඩා නොමැති නිසා අපි ඉක්‌මණටම පිටත් වීමු.


දොර වසා යතුරු දමා මා සමග ටික දුරක් ගිය ආරි,


‘ආ... හරි වැඩේනෙ! .....  මට එක දෙයක් අමතක උනා.’ කියමින් 


කලිසම් සාක්කුව අතගා  බලා 

   

‘ලේන්සුව අමතක උනානේ’ කියා නතර විය.


‘දැන් හොඳටම පරක්කුයි. ලේන්සුව ඕනෑ නැහැ. ඔන්න ඔහේ යමු’ කියා මම ඔහුගේ අතින් ඇද්දෙමි.


‘බෑ...... බෑ........ දාඩිය දානවා ලේන්සුව නැතුවම බැහැ කියමින් ඔහු කාමරයට යාමට ආපසු හැරුණේය.


‘එහෙනම්, මම හෙමිහිට යන්නම්. ඉක්මන් කරලා එන්න. නැත්නම් අර මිනිස්සුන්ගෙන් බැනුම් අහන්නට වෙයි.’  කි මම  ඉදිරියට ගියෙමි.


කාමරයට ගිය ආරි ඉක්මණටම ආපසු පැමිණියෙන් අප දෙදෙනාම එක විට ක්‍රීඩා පිටියට පිවිසියෙමු.


නියමිත වෙලාවට ක්‍රීඩාව  ආරම්භ විය. 

තරඟය ඉතා උණුසුම් ස්වභාවයක් ගත්තේය. ගුරුවරුන් අතර තරඟයක් නිසා එය බැලීමට ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ද රාශියක්ද එකතු වුහ.


ක්‍රීඩාව ඉතා උණුසුම් තත්ත්වයක් ගෙන තිබියදී, ආරිගේ කලිසමේ දකුණු පසින් යම්කිසි දෙයක් ගලාගොස් ඔහුගේ කකුල දිගේ වැගිරෙන බව මම දුටුවෙමි.  ටිකකට තරඟය නතර කිරීමට තීරක වරයාට සඥාවක් දුන් මම  ආරි වෙත ගොස් ඒ බව ඔහුට රහසින් කීවෙමි.


ඔහු එතෙක්‌ එය දැක නොතිබුණි. පාත්වී තම පාදය දෙස බැලූ ඔහු


කලිසමේ එම ප්‍රදේශය එක අතකින් වසා ගනිමින් මා සමග මඳක් ඉවතට යාමට සැරසිණ.


ක්‍රීඩාව නරඹමින් සිටි අයට මෙය මහත් කුතුහලයකි. අප සමග ක්‍රීඩා කළ ගුරු මහත්මියන් දෙදෙනාද රහසින් යමක්‌ කොඳුරමින් පිටියහ. ඒ වන විට ඒ වැගිරෙන ද්‍රව්‍යය ඔහුගේ දණහිස් වලින් පහලටත් ගලායමින් තිබුණි. යම්කිසි නොසිතු විරු දෙයක් සිදුවී ඇති බව තේරුම් ගත් කාන්තා ක්‍රීඩිකාවන් දෙදෙනා මඳක් පැත්තකට විය.


කර කියා ගත හැකි කිසිවක් නොවුයෙන් මම වැගිරෙන ද්‍රව්‍යය හොඳින් පරික්ෂා කලෙමි. ඒ බිත්තර සාරු බව ප්‍රත්‍යක්ෂ කර ඔහුගේ සිහිය අවදි කළෙමි. වහාම සාක්කුවට අත දැමු ආරී බිඳී ගිය බිත්තරයක කටු එලියට ගත්තේය.


මහත් ලජ්ජාවට පත්වූ ආරි ‘මම කලබලේට මේසය උඩ තිබුණු ලේන්සුව වෙනුවට සාක්කුවේ දමාගෙන තියෙන්නේ බිත්තරයක්නේ.’ කියමින් කෑගැසිය.


නැවත මගේ කනට කෙඳුරු ආරි 

‘ඔක්කොටම වැඩිය මගේ කලිසම් සාක්කුවේ පොඩි හිලක් තියෙනවානේ . ඒක තමයි මේකේ ලොකුම පරහට හිටියේ.’ කීවේය.


මට කේන්තියත් සමග ආ සිනහව නතර කර ගැනීමට නොහැකි විය


“Clean suit. Hole in the pocket’  ඒ මදිවට “Army discipline”  මට ඉබේටම කියැවිණ.


‘මම යනවා..... මම යනවා ......’ කියමින් ක්‍රීඩාව අතහැර දැමු  ඔහු, කාමරය වෙත දුවන්නට විය.

රැස්වී සිටි පිරිස පිළිගත්තත් නොගත්තත්  සිදුවී ඇති දෙය ඔවුනට නොවලහා පැහැදිලි කිරීමට  මම උත්සාහ ගත්තෙමි.


බැඩ්මින්ටන් තරඟය දින නියමයක් නොමැතිව කල් දමන ලදී.

.......................................................................

ශිෂ්‍ය නිවාසයේ සිසුන්ගේ ආහාර වේල් සඳහා මිලදී ගනු ලබන බිත්තර සියල්ලම එකවර කුස්සියේ ගබඩා කාමරයට නොදමා ශිෂ්‍ය නිවාස පාලකවරයාගේ කාමරයේ තබාගැනීම සිරිතක් වශයෙන් කරන ලදී. එදින ඔහු කලබලයෙන් මෙන්ම  හෝ ඔහුගේ හුරු පුරුදු චිත්ත ස්වභාවය නිසාම ලේන්සුව වෙනුවට බිත්තරයක් සාක්කුවේ දමා ගන්නට ඇතැයි සිතිය හැකිය.


කරුණාවෙන් සලකන්න:

මගේ හිතවත් මිතුරාගේ මෙම ගති ලක්ෂණය විස්තර කළේ ඔහුට අපහාස කිරීමට හෝ ඔහු හෙලාදැකීම පිණිස නම් නොවේ. මෙවැනි සුවිශේෂී ලක්ෂණ සහිත අය අප අතර බොහෝ සිටින බව පෙන්වීමට පමණක් කරනු ලබන සටහනකි මෙය.  මෙම සත්‍ය සිද්ධීන් වල නම් ගම් උචිත පරිදි යොදන ලද ව්‍යාජ ඒවා වේ. මා මිත්‍ර ආරි දැනට  වසර දහයකට පමණ ඉහතදී අභාවප්‍රාප්ත විය.


19 comments:

  1. ලේන්සුවයි බිත්තරෙයි අතට අහුවෙන විදිය එකමයි කියල දැනෙන්න තරං ආරිගෙ සෙන්සර් අවුල් වෙලා තිබුණද.

    ReplyDelete
    Replies
    1. මා හිතන්නේ ඔහු කලබල වීම නිසා, සිතෙහි අවුල් සහගත බවක් තිබුණු හෙයින්, අනිච්ඡානුගතව එවේලේ අතට හසුවූ දෙය සාක්කුවේ මාගෙන තිබෙනවා. මීට කලිනුත් මේ වගේ පොඩි පොඩි සිද්ධි කිහිපයක්ම වී තිබෙනවා.

      Delete
  2. මැජික්කාරයින්ටත් ඔහොම වෙනවා ඇති!

    ReplyDelete
    Replies
    1. මැජික් කාරයින්ට ඔහොම උනොත්, ඒක මැජික් එකකින්ම හෝ බලා සිටින්නන් රැවටිය හැකි වෙනත් උප්පරවැට්ටියකින් ඒ අඩුපාඩුව වසා ගන්නවා ඇති.

      Delete
  3. නියමයි. වීරසේකර මහත්තයා ගේ අත්දැකීම් දිගටම ලියන්න.

    ReplyDelete
    Replies

    1. ස්තුතියි අනුරුද්ධ,
      මා ඔබගේ සටහන්ද නිරතුරුව කියවනවා. ඒවාත් බොහෝ හරබර, නව දැනුම් සම්භාරයක් ලෙස සැලකිය හැකියි. මටත් ඉස්සර තරමටම යමක් ලිවීම ගැන රුචියක් නැතත්, විටින් විට හෝ යමක් ලියනවා.

      Delete
  4. මම බය ලෙඩක් තමයි ඩිමෙන්ෂියා

    ReplyDelete
    Replies
    1. ඔබතුමාට බයවෙන්න දෙයක් නෑ. නිතරම පොත් කියවනව, මොලේ වෙහෙසනව නෙව? පරම්පරාවෙ ජාන වලත් නෑ.

      Delete
    2. ඇත්තටම ඩිමෙන්ෂියාව මිනිසුන් අක්‍රීය කරන, ඔවුන්ගේ සිතුම් පැතුම් විකෘති කරන, සමාජ සම්බන්ධතා කඩාකප්පල් කරන මහත් අවාසනාවන්ත තත්ත්වයක්. ඉහත DGM දක්වන ආකාරයට, මෙවැනි තත්ත්වයයන් උදාවීමට පෙර, ගත, සිත සහ මනෝ භාවය යහපත් ආකාරයෙන් පවත්වා ගැනීම එම අවාසනාවන්ත ස්වභාවය මගහරවා ගැනීමට ඉවහල් වනවා ඇති.

      Delete
  5. ඉස්සර අපේ ඉස්කෝලේත් හිටියා ආරියපාල කියලා සර් කෙනෙක් ....කොල්ලො කට කැඩිච්චි කමට කිව්වේ ඇරියපාල කියලා....

    ආරිය පාලා සර් සුදුයි.සර්ගෙ පුතා කලුයි....එදිරි සර් කළුයි පුතා සුදුම සුදුයි...පුතාලා දෙන්නම හිටියේ එකම පන්තියේ....අපි කිව්වේ මුන් දෙන්නා ඉස්පිරිතාලෙදි මාරු වෙලා කියලා - Mayya

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Mayya,
      ඔබ සඳහන් කරන සිද්ධිය ගැඹුරින් සිතා බැලිය යුත්තක්. ජනක විද්‍යාව ගැන තරමක් දුරට හෝ සිතා බැලිය යුතු අවස්ථාවක්. මෙහිදී සැලකිල්ලට ගත යුත්තේ ඔවුන්ගේ වර් ණ දේහ වල ජාන පිහිටන ආකාරය හෝ විද්‍යාත්මකව සඳහන් කරන ඔවුන්ගේ 'ජිනෝමය' පිළිබඳවයි. 'ඉස්පිරිතාලෙදි මාරු වීම' වාගේ දෙයක සම්භාවිතාව බෙහෙවින් අඩු දෙයක් නේද?


      Delete
    2. ඔව දයාරත්න මහත්මයා...ඉස්පිරිතාලෙ දී මාරු උන කතාව කොල්ලො විහිළුවට හදපු කතාවක්😀😀

      Delete
  6. මේ මට පෙනෙන විධිහ වෙන්නත් පුළුවන්. මම දැකල තියෙන දෙයක් තමයි උඩින් ඕනෑවට වඩා ක්ලීන් කම පෙන්වන සුදු අඳින දිසිප්ලින් තියෙන අයගේ ඇතුලේ වෙන ප්‍රශ්න ගොඩක් තියනව කියල.

    ReplyDelete
    Replies

    1. ස්තුතියි අජිත්,
      ඔබ දකින ආකාරය බොහෝ දුරට නිවැරදි බව මා තේරුම් ගෙන තිබෙනවා. මාගේ සගයා ලජ්ජාවට සහ කලබලයට පත්වී සිටි ඒ අවස්ථාවේදීත්, ඉබේටම වාගේ “Clean suit. Hole in the pocket’ ඒ මදිවට “Army discipline” කියවුනේ මේ නිසා විය හැකියි. මා හිතන්නේ එයටම 'blank mind often' යන්නද එයට එකතු කළ හැකියි. මා සිට්න්නේ මෙය සාමාන්‍යයෙන් මිනිසා තුළ පොදුවේ දකින්නට ලැබෙන මානසික තත්ත්වයක් වුවත්, එය සීමාන්තික වුවිට තමයි "අවසිහි භාවය" (absent mindedness) ලෙස හැඳින්වෙන්නේ.

      Delete
    2. ඔබ හරි. දේශපාලනඥයෝ සහ මාෆියා බොස් ලාත් නිතර සුදු අඳිනවා දැක තිබෙනවද? හේ හේ

      Delete