Saturday 9 December 2023

විභාග ශාලාවේ හදිසි තීරණයක් ගැනීම ........

    ශ්‍රී ලංකා රාජ්‍ය සේවයේ උසස් තනතුරකට බඳවා ගැනීම සඳහා පැවැත්වූ  විභාගයක  විභාග ශාලාධිපතිවරයෙකු  ලෙස සේවය කිරීමට මට අවස්ථාවක් ලැබිණ. විභාග ශාලාව කොළඹ ප්‍රධාන විදුහලකය. එහි ප්‍රධාන ශාලාව සහ පන්ති කාමර දෙකක් විභාගය සඳහා සකස් කර තිබුණ අතර, නිත්‍ය නිරීක්ෂක වරියට අමතරව තවත් නිරීක්ෂකවරු  තිදෙනෙක්ද සපයා තිබුණි. අයදුම් කරුවන් සියයකට වැඩි පිරිසක් විභාගයට පෙනී සිටීමට නියමිතය. විභාගය ආරම්භ කිරීමට තිබුණේ පෙරවරු නවයටය. පැයකට පමණ කලින් විභාග ශාලාවට ගොස්, නිරීක්ෂක වරුද හඳුනා ගැනීමෙන් පසු   සංවිධාන කටයුතු සියල්ල සතුටුදායක බව තේරුම් ගතිමි.

මගේ විභාග ශාලාවේ ඉංග්‍රීසි මාධ්‍යයේ අයදුම් කරුවන් කිහිප දෙනෙක්ද සිටින බව නාම ලේඛනයේ සටහන් කර තිබිණ..  

විභාගය ආරම්භ කිරීමට විනාඩි දහයක් පමණ වන විට අයදුම් කරුවන් සියලු දෙනාම පාහේ ශාලාවට පැමිණ සිටියහ. අවසාන විනාඩි කිහිපය තුළදී ප්‍රශ්න පත්‍ර පැකට්ටුව විවෘත කිරීමට සැරසෙන විටම, වැඩිහිටියෙකු සමග පැමිණි අයදුම් කරුවෙකු අප සිටි තැනට පැමිණ යමක් පැවසීමට උත්සාහ කරන විට, අතින් කළ සංඥාවක් මගින්  ඔවුන් නතර කර,  නිරීක්ෂක වරුන්ගේද සහාය ඇතිව වාඩිවී සිටි අයදුම් කරුවන්ට  ප්‍රශ්න පත්‍රය බෙදීමට පටන් ගත්තෙමි. මේ සඳහා විනාඩි කිහිපයක් ගතවිය. ප්‍රශ්න පත්‍රය බෙදා අවසන් කළ වහාම ශාලාධිපතිට වැදගත්ම වැඩ කටයුතු කිහිපයක් තිබේ. පැමිණීමේ ලේඛනය ලකුණු කිරීම, අයදුම් කරුවන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම, ලකුණු ලැයිස්තු සකස් කිරීම මෙයින් කිහිපයකි. ඒ සියල්ල තිබියදී මම පැමිණ සිටින අමුත්තන් සමග කතා කිරීමට ශාලාවේ ආලින්දයට ගියෙමි.


‘විභාග ශාලාවට පැමිණියේ මොකද ?’ මම ඔවුන්ගන් ඇසුවෙමි.


සිංහල නොදන්නා බව ඇඟවූ අමුත්තා ඉංග්‍රීසියෙන් කතා කළේය.


‘We are from Jaffna. Came by night train. The train was two hours delayed. That’s why we are late ‘       

‘අපි යාපනේ. ඊයේ රෑ කෝච්චියේ ආවේ. කෝච්චිය පැය දෙකක් පමාවෙලයි කොළඹට ආවේ.  මෙතනට ඒමට ප්‍රමාද වූවේ ඒකයි.’ පියා කීවේය.


වැඩිහිටි අමුත්තා සමග සිටි තරුණයා දෘශ්‍යාබාධීත  තරුණයෙක් බව දන ගතිමි. ඔහු පැමිණ සිටියේ විභාගයට පෙනී සිටීමටය.

මම වහාම නාම ලේඛනය පරීක්ෂා කළෙමි. ඔහුද ඉංග්‍රීසි මාධ්‍යයේ අයදුම් කරුවෙකි. ඔහුගේ නම ලේඛනයේ තිබේ. හැඳුනුම් පත සහ විභාගයට ඇතුළත්වීමේ ලිපිය පරීක්ෂා කළ මම, ඔහුට යාබද කාමරයේ හිඳ  ගැනීමට සලස්වා, ඔහු සමග සිටි, වැඩිහිටි පුද්ගලයා වන ඔහුගේ පියාට, ශාලාවෙන් පිටත වාඩිවී සිටීමට උපදෙස් දුනිමි. එම විභාග අපේක්ෂකයා යාපනයේ ද්‍රවිඩ තරුණයෙකි. සිංහල කිසිවක් නොදනී. ඉංග්‍රීසි මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටීමට අයදුම් කර තිබේ. චතුර ලෙස ඉංග්‍රීසි කථාකළ ඔහු බ්‍රේල් උපකරණයක් සහ අවශ්‍ය බ්‍රේල් කඩදාසි ද  ගෙනැවිත් තිබිණ.


මෙවැනි දෘශ්‍යාබාධීත අයදුම් කරුවෙකු සිටින බවට කිසිම තොරතුරක් විභාග ශාලාධිපති වන, මා වෙත සපයා නොතිබුණි. එමෙන්ම බ්‍රේල් ප්‍රශ්න පත්‍රද සපයා නොමැත.  දැන් කාලයද විනාඩි දහයක් පමණ පසුවී ඇත. මෙම ගැටලුව පිළිබඳව ඔහු සමග සුහදව කථා කළ විට ප්‍රශ්න පත්‍රය ඉංග්‍රීසියෙන් කියවුවහොත් ඔහුට බ්‍රේල් යන්ත්‍රයෙන්, ඔහු ගෙනැවිත් තිබුණු බ්‍රේල් කඩදාසි වල සටහන් කර ගත හැකි බව කීවේය.


මෙය මට මහත් අස් වැසිල්ලක් විය.


ශාලාධිපති ලෙස, මට නියමිත වැඩ කටයුතුද වහාම කළ යුතු නිසා, නිත්‍ය නිරීක්ෂක වරිය කැඳවු මම ප්‍රශ්න පත්‍රය කියවීම ඇයට පැවරීමට සුදානම් වූයෙමි. ඇයට ඉංග්‍රීසි කියවීමේ දුෂ්කරතාවක් ඇති බව කීවාය. අනිකුත් නිරික්ෂක වරුන්ගේ ප්‍රතිචාරයද එයම විය. 


මට නියමිත, විභාග ශාලාවේ අත්‍යවශ්‍ය වැඩ කටයුතුද පමාකළ නොහැකිය. මෙම අයදුම් කරුට ප්‍රශ්න පත්‍රයද දිය යුතුමය. ඒ සමගම විභාග දෙපාර්තමේන්තුව අමතා විසඳුමක්ද ලබා ගත යුතුය. (ඒ කාලයේ ජංගම දුරකථන නොතිබුණි)


විදුහලේ කාර් යාලයෙන්  විභාග දෙපාර්තමේන්තුවේ හදිසි අංශය අමතා, මෙම සිද්ධිය දන්වන ලෙස එක් නිරීක්ෂක වරයෙකුට පැවරුවෙමි.


මම නිත්‍ය නිරීක්ෂක වරියට සහ තවත් එක නිරික්ෂකවරයෙකුට ප්‍රධාන ශාලාව පවරා, දෘශ්‍යාබාධීත අයදුම් කරු වෙත ගියෙමි. දැන් විභාගය ආරම්භකර විනාඩි විස්සක් පමණ ගතවී තිබේ.


‘වීභාග ශාලාවකට පැමිණෙන අව්‍යාජ අයදුම්කරුවෙකුට කුමන හේතු තිබුනත් විභාගයට පෙනී සිටීමට ඉඩකඩ සැලැස්විය යුතුය. අනිකුත් සියලුම ගැටළු පසුව තෝරා බේරා ගත හැකිය’ යනුවෙන්  අපට ලැබී තිබුණු මහඟු උපදෙස අනුගමනය කිරීමට තීරණය කළ මා, දෘශ්‍යාබාධීත අයදුම් කරු සමග කථාකර, යම්කිසි අඩුපාඩුවක් සිදුවී ඇති බව ඔහුට පැහැදිලි කර,  මේ සඳහා වහාම ගතහැකි සුදුසුම පියවර තීරණය කර,


‘මම ඔබට ප්‍රශ්න පත්‍රය කියවන්නම් ඔබ එය බ්‍රේල් කඩදාසි වල සටහන් කරගන්න’


කියා, ඔහු ළඟ තිබුණු කඩදාසි පරීක්ෂා කර බලා, ඒවායේ කලින් ඇතුළත් කළ සටහන් නොමැති බවට‍ සෑහීමට පත්වී, එම කඩදාසි වල ඉහල දකුණු කොනේ, මගේ කෙටි අත්සන සහ දිනය යොදා, ඔහුට දුන්නෙමි.


ඔහු ළඟ තිබුණේ කඩදාසි දෙකක් පමණකි.


ප්‍රශ්න පත්‍රයේ කොටස් සතරකි. එක කොටසක ප්‍රශ්න හතර බැගින් ප්‍රශ්න දහසයකි. එක් කොටසකින්  ප්‍රශ්න එක බැගින් තෝරාගෙන ප්‍රශ්න හතරකට පමණක් පිළිතුරු සැපයීමට උපදෙස් දී තිබුණි.


මම ප්‍රශ්න පත්‍රයේ දී තිබුණු උපදෙස් පැහැදිලිව ඔහුට කියවූවෙමි. ඔහු කිසිවක් ‘බ්‍රේල් ටයිප්’ නොකර  අසා සිටියා  පමණකි.


‘ඇයි, ........  සටහන් කර ගන්නේ නැද්ද?’ මම ඇසුවෙමි.


තම කණ දෙසට ඇඟිල්ල දිගු කළ ඔහු, තමා අසාගෙන සිටින බව ඇඟවීය.


මම පළමුවන ප්‍රශ්නය කියවූවෙමි. ඔහු නිහඬය. ඊළඟ ප්‍රශ්නය  කියවන ලෙස ඔහු ඇඟිලි දෙකකින් සංඥාවක් කළේය. එයටත් ඔහු නිහඬය. ඔහුගේ නිශ්ශබ්දතාව මට ගැටලුවකි. මම තුන්වන ප්‍රශ්නය කියවන විට ඔහු මා කියවන වේගයෙන්ම බ්‍රේල් ටයිප් කරන්නට විය.


‘ඒ කොටසේ හතරවන ප්‍රශ්නය එපා. ඊළඟ කොටසට යන්න’ ඔහු සෙමින් කීවේය.


මේවන විට විභාග දෙපාර්තමේන්තුවට පණිවුඩය දීමට පැවරු නිරීක්ෂක වරයා පැමිණ, විභාග දෙපාර් තමේන්තුවේ නිලධාරියෙක් පණිවුඩය භාරගත් බවත් අවශ්‍ය සියලුම දේ රැගෙන ඔහු  පැය භාගයක් ඇතුළතදී පැමිණෙන බවත් දැන්වීය. එසේ පැමිණෙන නිලධාරියා මා සමග එකට වැඩ කරන අයෙකූ බව දැන ගතිමි..


අයදුම්කරු දෙවන කොටසේ  ප්‍රශ්න කිසිවක් සටහන් කර ගත්තේ නැත.


‘සෑම  කොටසකින්ම එක ප්‍රශ්නයක් තෝරා ගන්නට ඕනෑ නේද?’ මම ඔහුට මතක් කළෙමි.


‘මම දන්නවා. කරුණාකර දෙවන කොටසේ පළමුවෙනි ප්‍රශ්නය නැවත කියවන්න.’ ඔහු ඉල්ලා සිටියේය.


මම එය නැවත කියවීමි. මා කියවන වේගයෙන්ම, ඔහු බ්‍රේල් යන්ත්‍රය ක්‍රියාත්මක කළේය.


මේ ආකාරයට තුන්වන සහ හතරවන කොටස් වලින්ද ඔහුට අභිමත ප්‍රශ්න තෝරාගෙන සටහන් කර ගත්තේය.


‘තෝරාගත් ප්‍රශ්න නැවත කියවන්නට අවශ්‍යද? ‘ මම ඔහුගෙන් ඇසීමි.


‘නැහැ. මම සටහන් කර ගත් ඒවායින් කියවන්නම්. කරුණාකර, හරිද කියා ප්‍රශ්න පත්‍රයෙන් බලන්න’ යයි කී ඔහු


පියවි ඇසින් බලාගෙන කියවන වේගයෙන්ම ඇඟිලි තුඩු හසුරුවමින් ඔහු සටහන් කරගත් ප්‍රශ්න සියල්ලම කියවීය.

ඔහු සටහන් කරගත් ප්‍රශ්න වල කිසිම අඩුවක් නොවිය.


මම ඔහුට සුබ පැතීමි. ඔහු මඳ සිනහවක් පා


’ඔබට ඉතාමත් ස්තුතියි’  කියා


බ්‍රේල් යන්ත්‍රය මත ඇඟිලි වේගයෙන් හසුරුවන්නට පටන් ගත්තේය, ඒ වන විට විනාඩි හතලිහක් පසුවී තිබිණ. ඔහුට එවේලේ සිට ඉදිරියට නියමිත කාලය ලැබෙන බව පවසා, මම අතපසුවූ මගේ රාජකාරි වැඩ කොටස ආරම්භ කළෙමි.  


මේ වන විට විභාග දෙපාර්තමේන්තුවේ මගේ රාජකාරි මිතුරා අවශ්‍ය සියලු  දේ රැගෙන පැමිණියේය. දෘශ්‍යාබාධිත අයදුම්කරුගේ ඉතිරි නිරීක්ෂණ කටයුතු සියල්ල භාරගත් ඔහු,  මගේ ඉතිරි වැඩ කටයුතු කරගන්නා ලෙස  ඉල්ලා සිටියේය.


සිද්ධිය පිළිබඳව කෙටි ජර් නල් සටහනක්  වහාම ලියා තැබූ මම, කඩිනමින් මගේ ඉතිරි වැඩ කටයුතු පටන් ගත්තෙමි.


පැයකින් පමණ විභාගයට අදාළ මගේ සියලු කටයුතු අවසන් කර, මෙම විශේෂ අයදුම්කරු සිටින ස්ථානයට ගියෙමි. ඒ වන විට ඔහු කඩදාසි හත අටක්ම බ්‍රේල් වලින් අවසන් කර තිබුණි.


නියමිත කාලය අවසානයේදී, උත්තර පත්‍ර එකතු කර ගැනීමෙන් පසුව, සියලුම අයදුම් කරුවන් සාවධානව ශාලාවෙන් පිටවී ගියහ.


‘ඔබට තව විනාඩි හතලිහක් තිබෙනවා’ මම ආබාධිත අයදුම්කරුට දැන්වීමි.


අවසන්කර තිබුණු උත්තර පත්‍ර එකින් එක ගෙන ඒ මත ඇඟිලි තුඩු වේගයෙන් මෙහෙය වූ ඔහු, සෑම පිටුවකම දකුණු පස ඉහල කෙලවර හොඳින් ස්පර් ශ කර කඩදාසි අංක පිළිවෙලට ගොනු කර, සපයා තිබුණු නූල් කැබෙල්ලෙන් එකට ගැට ගැසීය. තව විනාඩි කිහිපයක් කල්පනා කරමින් සිටි ඔහු,


‘මම පිළිතුරු සැපයීම අවසානයි. එළියට යන්නට පුලුවන්ද?’ කියා මගෙන් ඇසීය


‘තව පැය භාගයක්‌ පමණ තිබෙනවා. වැඩ අවසාන නම් යන්නට පුළුවනි.’ මම කීවෙමි.


ඔහු නැවත වරක් අපට ස්තුති කර ශාලාවෙන් පිටවිය. ඔහුගේ පියාද ශාලාවේ අප සිටි තැනට පැමිණ අප සියලු දෙනාටම ස්තුති කළේය.


ක්ෂණිකව විසඳා ගත යුතු ගැටළු රාශියක් එවලේම විසඳා, ඉතාම තීරණාත්මක විභාගයක අයදුම් කරුවෙකුට, කරදර බාධක මධ්‍යයේ වුවද, විභාගයට පෙනී සිටීමට ඉඩකඩ ලබාදීමට හැකිවීම ගැන අපි සතුටට පත්වීමු.


මෙහිදී, සංවිධාන කටයුතු වලදී වරදක් සිදුවී ඇති බව පැහැදිලිය. අයදුම් කරු තම විභාග අයදුම් පත්‍රයේ තමා දෘශ්‍යාබාධිත බව සඳහන් කර නොමැතිනම් එය ඔහුගේ වරදකි. ඔහු එසේ සඳහන් කර තිබේ නම්, විභාගය සංවිධානයේදී එය නොසලකා හැර තිබීම බරපතල වරදකි.


කෙසේ වෙතත්, අයදුම් කරු අසහනයකට පත්නොවී, විභාගයට පෙනී සිට, සම්පූර් ණයෙන්  පිළිතුරු සපයන ලද උත්තර පත්‍රයක් ලබාදීම නිසා, තිබිය හැකි සියලු අඩු ලුහුඬු කම් මගහැර ගැනීමට අපට හැකිවිය. වරදක් සිදුවී තිබේනම් පසුව කරනු ලබන  විමර් ශන වලින් ඒවා හෙළිදරවු කරගත හැකිය.


මෙම අයදුම් කරු විභාගය සමත් වී ඇති බව පසුව දැන ගතිමි.                


30 comments:

  1. ලොක්කන් වීමට වඩා නායකයෙකු වීම අපහසුයි! නායකයෙකු ගැටළුවලට විසඳුම් සොයනවා! ලොක්කෙකු ගැටළු පලවා අහරිනවා! ඉතාමත් සුන්දර කථාවක්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි kolama සහෘදයාට,
      /ලොක්කන් වීමට වඩා නායකයෙකු වීම අපහසුයි! නායකයෙකු ගැටළුවලට විසඳුම් සොයනවා! ලොක්කෙකු ගැටළු පලවා හරිනවා! / අද අපගේ සමාජයේ ලොකුපුටු වල වැඹෙන (හෝ එසේ සිටීයයි සිතන) අය තේරුම් ගතයුතු අගනා අදහසක් ගැබ්වූ කියමනක්. විශේෂයෙන්ම අද රාජ්‍ය සේවයේ සෑහෙන කොටසක් දේශපාලන අතකොලු වී සිටීම මේ ව්‍යසනයට ප්‍රධානතම හේතුව. රාජ්‍ය සේවකයා දේශපාලකයා සතුටු කරවන විට දේශපාලකයා අන්තේවාසිකයාවද යම්කිසි ප්‍රමාණයකට සතුටු කිරීමට පියවර ගන්නවා. මේ ආකාරයට දෙපාර් ශවයම තම මඩිය තර කර ගන්නා විට ජනතාව පීඩාවට පත්වෙනවා. මේවාට විසඳුම් සෙවිය යුත්තේත් ජනතාව විසින්මයි.


      Delete
  2. ඇසට නොපෙනුනත් දස්කම් බොහො රැගෙන
    ලොවට උපන් මිනිසුන්නම් නිති වෙසෙන
    කලට සුදුසු පිළියම් දී ඔබ සොඳින
    හෙටට ඔහුගෙ දිවි රැකුමත් වෙයි වටින...

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමී,
      'කරතොත් වැඩක් කරණුය හරියට හොඳට'
      අප ලැබූ ඔවදනකි පාසල් කාලෙ සිට
      රැකියාවෙදිත් එය මනසට නැගෙන විට
      හරිදේ කරන්නට බිය සැක නැත සිතට




      Delete
  3. ඔබ ස්ථානෝචිතව ගැටළුව විසඳීම මෙන්ම එම අයැදුම්කරුගේ හැකියාවන්ද, අබාධිත කම නොසලකා ජීවිතයේ ඉදිරියට යාමට කරන උත්සාහය යන සියල්ලම ප්‍රසංශණීයයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන් ,
      දෘෂ්‍යාභාධිතව සිටිමින් අධ්‍යාපනයේ ඉහල මට්ටමකට ඒමට තරම් ධෛර් යයක් තිබෙන කෙනෙකුට, කොතැනක හෝ සිදුවී ඇති ප්‍රමාද දෝෂයක් නිසා මග ඇහිරීම වැරැද්දක් බව මා එවෙලේ තේරුම් ගත්තා. මේ නිසා රාජකාරි නියෝගද නොඉක්මවා ගතහැකි සුදුසුම පියවර ගෙන, ඔහුගේ අවශ්‍යතාවයද සාර් ථක කර ගැනීමට යමක් කිරීමට හැකිවීම ගැන මා ලොකු සතුටක් ලැබුවා.

      Delete
  4. මේ පෝස්ට් එක, කළමනාකරණය පිළිබඳ විභාගයක දි ලැබෙන සිද්ධි අධ්‍යයනයක් වගෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩ්‍රැකී,
      මා භාවිත කරන fonts වලින් 'ඩ්‍රැ' type කරන්නට බැහැ. ලොකු වදයක් විඳලයි නම ලියා ගත්තේ. දැන් හරියට හරි. save කර ගෙනම තිබෙනවා.

      ඔබ සඳහන් කර තිබෙන 'සිද්ධි අධ්‍යයනය' මාතෘකාවට සම්බන්ධ ප්‍රශ්න බොහෝ විභාග වලට ඇතුළත් කර තිබෙණු මා දැක තිබෙනවා. විශේෂයෙන්ම පරිපාලන සේවා, අධ්‍යාපන වේදී විභාග, අධ්‍යාපන ඩිප්ලෝමා, ගුරු විද්‍යාල විභාග වැනි අවස්ථා වලදී. අපටත් බොහෝ සේවාස්ථ පුණු වීම් වලදී මෙවැනි ගැටළු සාකච්ඡා කර තිබෙනවා. ඒ කෙසේ වෙතත්, රාජකාරියට අදාළ ප්‍රායෝගික අවස්ථාවලදී, නිරවුල් මනසකින් යුක්තව නිසි පිළියම් යෙදීම අඩු බවයි පෙනෙන්නේ.

      Delete
  5. රසවත් සිදුවීමක්.👍

    ReplyDelete
    Replies
    1. ස්තුතියි DGM බසු,
      /පියෑඹීම, අනුන්ගේ වැඩ වලට හොට දැමීම, අලින්ගේ පස්සා පැත්තේ කහඹිලියා ගෑම/ වැනි විනෝද ජනක වැඩ කරන ඔබ රාත්‍රියට පමණක් එලි පහළියට එන මූකලන් බස්සෙක්නම් වෙන්නට බැහැ.

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. ඒ වෙලාවෙ මේ වගේ ක්ෂණිකව තීරනයක් අරන් හරි දේ කලේ නැත්තං අර ළමයගෙ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න තිබුණ සමහරවිට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      ගැටලුවට මුහුණ දුන් අවස්ථාවේ සිටම මා කල්පනා කළේ කෙසේ හෝ විභාගය පවත්වා, අයදුම් කරුගේ අවශ්‍යතාවයට කෙසේ හෝ මුල් තැන දී අපගේ ආයතනයේ ගෞරවයත් ආරක්ෂා කර ගැනීමයි. ඔහු බ්‍රේල් උපකරණය සමග බ්‍රේල් ටයිප් කරන කඩදාසි කිහිපයක්වත් ගෙනැවිත් තිබීම නිසා, ගැටලුවෙන් අඩකටත් වඩා එවෙලේම විසඳුනා.

      Delete
    2. ළමයෙකු නොවේ වැඩිහිටියෙකු නේද? උපාධියක් සම්පූර්ණ කළ අයෙකු විය යුතුයි. වෙනත් අයෙකු සමග පැමිණ ඇත්තේ දෘශ්‍යාබාධ නිසා.

      Delete
    3. /ශ්‍රී ලංකා රාජ්‍ය සේවයේ උසස් තනතුරකට බඳවා ගැනීම සඳහා පැවැත්වූ විභාගයක/
      ආරම්භයේදීම කර තිබෙන කෙටි සටහනෙන් මෙම අයදුම්කරු ළමයෙකු නොව වැඩිහිටියෙකු බව දැනෙනවා නොවේද?

      Delete
  8. හරිම ආදර්ශවත් කතාවක්. ඉතාම සන්කීර්න ගැටලු සහගත අවස්තාවකදි පවා එයට මුහුන දිය යුතු පිලිවෙල ගැන අත් පොතක සටහන් විය යුතු කතාවක්.ඔබ තුමා ඉතාම යුක්ති ගරුක නීති ගරුක නිලදාරියෙක්ව සිටි බව නිසැකයි.අනුවනයෙක් අතින් අර අහින්සක තරුනයගෙ ජේවිතේ එතනින්ම අවසන් වෙන්න තිබුන ඔබතුමාගෙ නුවනැති නිර් බය තීරනය නොවන්නට,

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සරත්,
      තමන් කරන රාජකාරිය කුමක්වුවත්, එය ප්‍රායෝගිකව ඉටුකිරිමේදී මුහුණ දිය හැකියයි සිතෙන සරල මෙන්ම සංකීර්ණ ගැටළු පිළිබඳව, අවබෝධයක් තිබීම සහ විමසිලිමත්ව සිටීම වැදගත් වෙනවා. විශේෂයෙන්ම ආබාධිත කෙනෙකු වෙනුවෙන් සේවයක් කිරීමේදී වැඩිපුර අවධානයක් ලබාදිය යුතුයි. විභාග කටයුතු වලදී අයදුම් කරු නිර් ව්‍යාජ බව ඒත්තු යන්නේ නම්
      ඔහු වෙනුවෙන් කෙසේ හෝ විභාගය පැවැත්විය යුතුයි.

      Delete
  9. දවස අපූරු කරවන කතාවක් දයාවී මහතා..
    මෙහිදී අතපසු වීම සිදුවී තිබුනේ කොතැනින්ද කියා ඔබට මතකද? ඒ වගේම එය විභාග සංවිධානයේදී සිදුවූ වරදක්නම් ඒ සඳහා ගැනෙන ක්‍රියා මාර්ග මොනවාද?

    ReplyDelete
    Replies

    1. ස්තුතියි කෞශල්‍ය,
      ඔබගේ අගැයීම හරි අගෙයි. මෙවැනි බොහෝ සිදුවීම් විභාග වලදී අත්දැක තිබෙනවා.
      මා පසුව සොයා ගත් පරිදි එම සිද්ධියේ අතපසු වීම සිදුවී තිබෙන්නේ අයදුම් කරුට. අයදුම් පත්‍රයේ දෘශ්‍යාබාධිත බව සඳහන් කිරීමට තිබෙන ස්ථාන සලකුණු කර තිබී නැහැ.
      එසේ වුවත් සටහන් කර ගැනීමට ප්‍රශ්න පත්‍රය කියවා ඔහුට පිළිතුරු සැපයීමට සැලැස්වීමෙන් එම සිද්ධියේ අමාරු කොටස මගහැර ගත හැකි වුවා. විභාග මධ්‍යස්ථානය කොළඹම වූ නිසා ඉදිරි පියවර පහසුවෙන් ගත හැකි වූවා.

      Delete
  10. වීරසේකර මහත්මා, තවත් අගනා කතාවක්. දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අනුරුද්ධ,
      කල්වේලා අනුව කෙසේ හෝ සතියකට එකක් වත් බැගින් රසබර තොරතුරු ලිවීමට උත්සාහ ගන්නවා.

      Delete
  11. තීරණ ගන්නෙකු හා තීරණ ක්‍රියාත්මක කරන්නෙකු අතර වෙනස ඔබ හොදින් දක්වා තියෙනවා. කුමන පුද්ගලයෙක් වෙවා තමන්ගේ බල සීමාව ඇතුලත, වඩා නිවැරදි සත්‍ය වෙනුවෙන් තිරණ ගත යුතුයි... මේ කාරණය මීටත් වඩා සියුම්ව විස්තර කෙරෙන කථාවක් තියන්වා. මනුතාපය....එතැනදි නීතීයත් , මනුශ්‍යත්වයත් කියන කාරනා දෙකේ ඝට්ඨනය ඉතා සියුම්ව ප්‍රකාශ කරනවා. - Mayya

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Mayya,
      /තීරණ ගන්නෙකු හා තීරණ ක්‍රියාත්මක කරන්නෙකු අතර වෙනස ඔබ හොදින් දක්වා තියෙනවා./
      මාගේ Blog සටහන වෙත ඔබ විසින් යොමු කරන ලද ඉහත වැකියට අදාළ කොටස මා බෙහෙවින් අගය කරනවා. මා සිතුවේ එය නිසැකවම රාජකාරියේ කොටසක් බවයි. ඔබ තවත් උදාහරණයක් 'මනුතාපය' කෘතියෙන් ඉදිරිපත් කර තිබෙනවා. 1954 වර් ෂයේ අප 8 වසර පන්තියේ ඉගෙන ගන්නා කාලයේ සිංහල සඳහා පාඨ ග්‍රන්ථයක් ලෙස 'මනුතාපය භාවිත කළා. එවකට අධ්‍යාපන ඇමතිව සිටි අයි. එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා විසින් වික්ටර් හ්යුගෝ ගේ Les Miserable නමැති සම්භාව්‍ය ප්‍රංශ නවකථාව සිංහලට පරිවර් තනය කරන ලද කෘතියක් බව අප දැනගත්තා. එහිදී අප දුප්පත් කමෙහි අන්තයටම ගොස් සිටි ජනවර් ජනගේ ජීවිතය ගැන මහත් අනුකම්පාවක් ඇතිකර ගත් ආකාරයත්, පාන් ගෙඩියක් රකම් කිරීම ගැන ඔහු සිරගත වූ බවත් යන්තමින් යළිත් සිහියට නැගුණා.

      Delete
  12. ඔබ ක්‍රියා කල ආකාරය විශිෂ්ඨයි. ඒ වගේම අර අයදුම්කරු කලබල නොවී ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමත් අගය කල යුතුයි. ඔහුත් හුඟක් සංයමයක් ඇති අයෙක්. වටිනා කතාවක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත්,
      මට පැවරී තිබුණු කාර් යය නොපිරිහෙලා ඉටු කිරීම සඳහා ගතහැකි උපරිම ධෛර්යය යොදා කටයුතු කිරීමෙන් සාර් ථක ප්‍රතිඵල ලැබුණා. එමෙන්ම අයදුම්කරුද බුද්ධිමත් අයෙකු බැවින් මනා සංයමයකින් යුක්තව වැඩකළා. ඔහුගේ පියාද කිසිම කලබලයක් නොකර ප්‍රමාද දෝෂය ගැන වචනයකින්වත් විවේචනයක් නොකර සිටීමත් බුද්ධිමක් කමෙහි ලක්ෂණයක් ලෙස සැලකිය හැකියි.

      Delete
  13. මෙහි ඇති ලොකුම අවුල තමයි යාපනයේ සිට කොළඹට එන්න වීම

    ReplyDelete
  14. ස්තුතියි රසික,
    /මෙහි ඇති ලොකුම අවුල තමයි යාපනයේ සිට කොළඹට එන්න වීම/
    යාපනයේ සිට කොළඹට කෝච්චියෙන් / දුම්රියෙන් එන්නට වීම ඒ කාලයේ සාමාන්‍ය සිද්ධියක්. මේ සිද්ධියේදී, විභාග ශාලාවට ප්‍රමාද වී පැමිණීම නිසා විසඳිය නොහැකි අවුල් සහගත තත්ත්වයක් උදා වුයේ නැහැ. නියමිත වෙලාවේ සිට පැය භාගයක් ඇතුළත විභාග ශාලාවට පැමිණෙන ඔනෑම අයදුම් කරුවෙකුට විභාගය සඳහා පෙනී සිටීමට අවසර දිය යුතුයි. යම්කිසි අයදුම් කරුවෙක් පැය භාගයකට වඩා ප්‍රමාද වී පැමිණියහොත්, ඔහුගේ ලියකියවිලිවලින් ඔහු අව්‍යාජ අයදුම් කරුවෙකු බව සනාථ වේනම ඔහුට වෙනම වැඩිපුර කාලය ලබාදී විභාගයට පෙනී සිටීමට සැලැස්වීම ශාලාධිපති වරයාගේ වගකීමකි.
    වෙනත් මධ්‍යස්ථානයකට යාමට නියමිත අයදුම් කරුවෙකු වුවද ප්‍රමාද වීමක් නිසා තමන්ට කිට්ටුම මධ්‍යස්ථානයකට ගොස් විභාගයට පෙනී සිටීමට ආයාචනයක් කළහොත් අව්‍යාජ අයදුම්කරුවෙකු බව තහවුරු කර ප්‍රමාදයටද සාධාරණ හේතුවක් තිබේනම් කෙසේ හෝ විභාගයට පෙනීසිටීමට ඉඩකඩ ලබාදිය යුතුයි. මෙවැනි අවස්ථාවකදී අදාළ ජර් නල් සටහන් සහ වෙනත් ලියකියවිලි පරික්ෂා කර අවසාන තීරණයක් ගැනීම විභාග දෙපාර් තමේන්තුවේ විමර් ශන අංශයට යොමු කරනු ලැබේ.

    ReplyDelete