ජානමය වෙනස් කිරීම් මගින් නිපදවන ආහාර
(Genetically Modified Food)
ජීව තාක්ෂණ විද්‍යාවේ යේ එක්තරා සොයා ගැනීමක් වශයෙන් බිහිකර තිබෙන ‘ජානමය විකෘති’ සහිත නව ආහාර වර්ග, තවමත් ආන්දෝලනාත්මක නිෂ්පාදන ලෙස හඳුන්වන බව සමහර අවස්ථාවලදී දකින්නට ලැබේ. මෙම තාක්ෂණය ගොඩ නගා ගැනීම සඳහා ඉවහල් වී ඇති ජීව විද්‍යාත්මක සිද්ධාන්ත පිළිබඳව මඳක් විමසිලිමත් වීමෙන්, එම නිපැයුම් වල ඇති ‘විකෘති’ වශයෙන් සැලකෙන වෙනස් කිරීම්, කෙතරම් දුරට මිනිසා සඳහා ප්‍රයෝජනවත් වන්නේද යන්න තේරුම් ගත හැකිය. මෙම ක්‍රමවේදය, ජාන ඉංජිනේරු විද්‍යාව (genetic engineering) වශයෙන්ද හැඳින්වේ. ජාන ඉංජිනේරු විද්‍යාව, සාම්ප්‍රදායික අභිජනන ක්‍රියාවලියට වඩා වෙනස් ස්වරුපයක් ගනී. සම්ප්‍රදායික අභි ජනනයේදි සිදු කරන්නේ පටක වල ජාන වක්‍රව නැතහොත් විකෘති කිරීමකින් තොරව හැසිරවීමයි.
සම්ප්‍රදායික අභිජනන ක්‍රියාවලියේ උදාහරණයක් පහත දැක්වේ.
මෙහිදී, මිහිරි රසයෙන් අඩු, තරමක් විශාල ගෙඩි සහිත ඇපල් විශේෂයක්, රසයෙන් වැඩි කුඩා ගෙඩි සහිත ඇපල් විශේෂයක් සමග අභිජනනය කර, රසයෙන් වැඩි, ප්‍රමාණයෙන් විශාල ඇපල් විශේෂයක් ලබාගෙන තිබේ. මෙහි ජාන විකෘති කිරීමක් හෝ වෙනස් කිරීමක් කර නොමැත. මේ ආකාරයට ලැබෙන නව ඇපල් විශේෂය විශාලත්වයෙන් සහ රසයෙන් වැඩි නිසා වඩාත් ජනප්‍රිය වී වඩාත් හොඳ වෙළඳපලක් ලැබීම ස්වාභාවිකය.
ජාන වෙනස් කිරීමේ ප්‍රායෝගික පිවිසුම්
ජාන වෙනස් කිරීමේ නව තාක්ෂණයේදී, ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය, ජාන නවීකරණය, ජාන හැසිරවීම සහ ජාන සවි කිරීම වැනි විස්තර කිරීම් වලින්ද හෙළිදරව් වනුයේ මෙහිදී ජාන ඍජුවම වෙනස් ආකාරයක හැසිරවීමකට භාජන වන බවයි. මේ ආකාරයට සකස් කර ගන්නා ශාක සහ සතුන් පොදුවේ ජානමය වෙනස්වීම් කරනලද ජීවින් (Genetically modified Organisms - GMO) ලෙස හැඳින්වේ. එමෙන්ම එම ජීවීන්ගෙන් ලබාගන්නා ආහාර පොදුවේ, ජානමය වෙනස් කිරීම් කළ ආහාර ලෙසද භාවිතයේ පවතී. මෙම තාක්ෂණයේ මෙතෙක් ලබා ඇති, ප්‍රගතිය සහ ලබා ඇති මහත් ඵල ප්‍රයෝජන ගැන සලකා බලන විට, එය ‘ජාන විකෘති’ කිරීමක් ලෙස නම් කිරීම පවා අසාධාරණයක් ලෙස සැලකිය හැකිය.
දැනට වසර අට දහසකට ආසන්න කාලයකදී සිට මානවයෝ කෘෂිකාර්මික දිවි පෙවෙතකට යොමු වී තිබේ. මෙම ආදී මානවයා කෘෂි භෝග වගාව සහ සතුන් ඇතිකිරීම ජීවනෝපාය කර ගත් අතර දඩයක්කාර ජීවිතය ක්‍රමක්‍රමයෙන් අත්හැර දමා ඇත. ඔව්හු මේ සමගම පවුල් ඒකක සහ වාසස්ථාන සහිත, සමුහ ප්‍රජා දිවි මගකටද මුල පිරූහ.
එසේ වෙනත් මගකට යොමුවූ මානවයා කෘෂිකාර්මික භෝග අතරින්ද වැඩි පලදාවක් සහිත භෝග තෝරා බේරා ගැනීමටත්, ඒවා නැවත නැවතත් වගා කිරීමටත් යොමුවන්නට ඇත. මේ සඳහා ප්‍රබල සාක්ෂි නොමැති වූවත්, එසේ සිදුවන්නට ඇති බව අනුමාන කළ හැකිය. ඔවුන් විසින් මේ ආකාරයට අත්දැකීමෙන් හඳුනාගෙන තිබෙන ශාක සහ සත්ත්ව අභිජනන ක්‍රම පාරම්පරිකව භාවිත කරන්නට ඇති බවද විශ්වාස කළ හැකිය.
1886 වර්ෂයේදී, සත්ත්ව සහ ශාක අභිජනනය පිලිබඳ මූලික විද්‍යාත්මක තොරතුරු රාශියක්ම ලොවට හෙළි කළේ, ඕස්ට්‍රියානු ජාතික පූජකවරයෙකු වූ ග්රෙගර් මෙන්ඩල් ය. ඔහුගේ පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස ‘ජනක විද්‍යාව’ (Genetics) ලොවට බිහිවිය.
මින් පසු 1953 වර්ෂයේදී ජේම්ස් වොට්සන් සහ ෆ්රැන්සිස් ක්‍රීක් විසින් ජීවීන්ගේ සෛල න්‍යෂ්ටියේ අන්තර්ගත DNA දාමයේ රසායනික ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය සොයාගැනීමෙන් පසු, අභිජනන ක්‍රම වේදය පුළුල් ලෙස ප්‍රායෝගිකව භාවිතයට ගන්නා ලදී. මේ සමගම තවත් විද්‍යාඥයින් පිරිසක් විසින්, 1973 වර්ෂයේදී එක් බැක්ටීරියා විශේෂයක අන්තර්ගත DNA දාමයක කොටස් වෙනත් බැක්ටීරියාවකට බද්ධ කිරීමට හැකි බව සොයා ගැනීමෙන් ජාන ඉංජිනේරු විද්‍යාව ලොවට හඳුන්වා දෙන ලදී. මෙම නව තාක්ෂණය ඉක්මණින්ම ජෛව තාක්ෂණ මෙවලමක් ලෙස ජනප්‍රිය විය.
ජාන ඉංජිනේරු විද්‍යාව අනුසාරයෙන් 1982 වර්ෂයේදී, මිනිසාට අත්‍යවශ්‍ය හෝර්මෝනයක් වන ඉන්සියුලින් කෘතිමව නිපදවා ගත හැකිවිය. මිනිස් සිරුරේ ශක්තිය ගබඩා කර ගැනීමට සහ නිරවුල් ග්ලුකෝස් පරිවෘත්තිය (metabolism) සඳහා ඉන්සියුලින් වැදගත්වේ. මිනිසාට වැළඳෙන දියවැඩියා රෝගය පාලනය කිරීම සඳහා, නිර්දේශ කරන ලද පළමු ජානමය වෙනස් කිරීම් කරන ලද නිෂ්පාදනය ඉන්සියුලින් වේ. 1982 වර්ෂයට පෙර භාවිත කරන ලද ඉන්සියුලින් ගවයින්ගේ අග්න්‍යාශයෙන් ලබාගත් නිස්සාරණයක්ය. මෙසේ ලබාගත් ඉන්සියුලින් නිසා සමහර අතුරු ආබාධ හෝ අසාදන හටගත්තේය. ජාන ඉංජිනේරු විද්‍යාව හඳුන්වා දීමත් සමග Escherichia coli (E. coli) බැක්ටීරියාවේ DNA දාමයට මිනිස් අග්න්‍යාශ ඉන්සියුලින් ජානයක් බද්ධ කිරීමෙන් ඉන්සියුලින් විශාල වශයෙන් නිපදවා ගත හැකි ක්‍රමයක් සොයා ගත හැකි විය. මෙම ඉන්සියුලින් නිසා වෙනත් අතුරු ආබාධ කිසිවක් හට නොගැනීමද විශේෂත්වයකි.
මිනිසාට ආහාර වශයෙන් ගැනීම සඳහා සුදුසු බවට ආහාර විද්‍යාඥයින් විසින් මුලින්ම නිර්දේශිත ජානමය වෙනස් කිරීම් කරන ලද ශාක ආහාරය, තක්කාලි විශේෂයකි. සම්ප්‍රදායික තක්කාලි මෙන්ම රස ගුණ සහිත මෙම GMO තක්කාලි, 1994 වර්ෂයේ සිට වෙළඳ පළට නිකුත් කර තිබේ.
මේ සමග ඇති රූප සටහනෙහි දැක්වෙනුයේ සාමාන්‍ය ඇපල් ශාකයක DNA දාමයට බැක්ටීරියාවකින් ලබාගත් පලිබෝධ විරෝධී ජානයක් පිටපත් කර බද්ධ කිරීමෙන්, පලිබෝධ වලට ඔරොත්තු දෙන නව ඇපල් විශේෂයක් ලබා ගත හැකි බවයි.
ජාන ඉංජිනේරු තාක්ෂණය භාවිත කර වැඩිදියුණු කරනලද තක්කාලි, සෝයා, ඉරිඟු, අර්තාපල් වැනි ආහාර සහ පැපොල් වැනි පලතුරු වර්ගද, 2000 වර්ෂය වන විට නිපදවා තිබේ.
ජගත් සෞඛ්‍ය සංවිධානය - WHO - සහ ජගත් ආහාර සහ කෘෂි විද්‍යා සංවිධානය - FAO - මගින් ජානමය වෙනස්වීම් කරනලද ජීවින් ආශ්‍රීතව ලබාගන්නා නිෂ්පාදන වල ගුණාත්මක භාවය සහ පාරිභෝගික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා, අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ සහ නීති රීති සංග්‍රහයක් 2003 වර්ෂයේදී එළි දක්වා තිබේ.
කෘෂි භෝග සඳහා ජාන ඉංජිනේරු තාක්ෂණය සාර්ථකව භාවිත කර දශකයකට පමණ පසුව 2015 වර්ෂයේදී ජානමය වෙනස් වීම් කරන ලද ‘සැමන් මත්ස්‍යයින්’ (GMO -Salmon) පළමු වරට මිනිසාගේ පරිභෝජනය සඳහා නිකුත් කරන ලදී. මෙම මත්ස්‍ය ආහාර මිනිස් පරිභෝජනය සඳහා සුදුසු බවට නිර්දේශ කරන ලද්දේ, ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පරිපාලන ආයතනයයි.
මේ වනවිට ජාන ඉංජිනේරු තාක්ෂණය ඉතා පුළුල් ආකාරයකට භාවිත කර, ජාන හුවමාරු ක්‍රමවේද මගින් වැඩි පලදාවක් ලබා ගත හැකි භෝග වර්ග, පලිබෝධ වලට ඔරොත්තු දෙන ශාක, රසයෙන් ගුණයෙන් අධික පලතුරු වර්ග, දේශ ගුණ විපර්යාස නිසා හානියට පත්නොවන භෝග වර්ග ආදී නව ප්‍රභේද රාශියක් ලබාගැනීමට හැකිවීම මෙම තාක්ෂණයේ ජයග්‍රහණයකි.
ගොවිපළවල ඇතිකරනු ලබන සතුන්ගෙන් ලැබෙන ආහාර වලද ප්‍රමාණාත්මක බව, ගුණාත්මක බව සහ පෝෂණ මට්ටම ඉහල දැමීම සඳහාද විවිධ ආකාරයේ පර්යේෂණ දියත් කර තිබේ. එසේම කෘෂිකාර්මික කටයුතු නිසා සිදුවන පරිසර හානිය අවම කර ගැනීම පිණිස නව තාක්ෂණය යොදා ගැනීමේ ක්‍රමවේදද එළි දකිමින් තිබේ.
ජානමය වෙනස් වීම් සහිත ජීවීන් (GMO) සකස් කරන්නේ කෙසේද?
ජානමය වෙනස් වීම් සහිත ජීවීන් (GMO) නිපදවාගැනීම සඳහා භාවිත කරනු ලබන ඉහත දළ වශයෙන් විස්තර කරන ලද තාක්ෂණය පොදුවේ හඳුන්වනු ලබන්නේ ‘ජාන ඉංජිනේරු ක්‍රමවේදය’ ලෙසටය. මෙහි ක්‍රියාකාරිත්වය පියවර කිහිපයකින් මෙසේ දැක්විය හැකිය.
යම්කිසි ජීවියෙකු (සතෙකු, ශාකයක් හෝ ක්‍ෂුද්‍ර ජීවියෙකු) සතු, යෝජිත අදාළ ජාන වෙනස්කිරීම සඳහා ප්‍රයෝජනවත් විය හැකි යයි තීරණය කෙරෙන ‘ජනක තොරතුරු’ (genetic information) අන්තර්ගත සුවිශේෂී ‘ජානය’ (gene) හඳුනා ගැනීම.
තෝරාගත් ජීවියාගේ එම විශේෂ ලක්ෂණ සහිත ජනක තොරතුරු පිටපත් කර ගැනීම.
පිටපත් කරගත් ජනක තොරතුරු වෙනසට භාජන වන ජීවියාගේ DNA දාමයට බද්ධ කිරීම.
මේ අනුසාරයෙන් ජාන බද්ධයට ලක්වන නව ජීවියා වර්ධනය කර ගැනීම.
ජාන බද්ධ තාක්ෂණය සාර්ථක ලෙස ප්‍රායෝගිකව අත්හදා බලා තිබෙන කෘෂි භෝගයක් පිළිබඳව පහත දැක්වෙන විස්තරයෙන් මෙම ක්‍රමවේදය ගැන පැහැදිලි අවබෝධයක් ලබාගත හැකිය
Bacillus thuringiensis නමැති පාංශු බැක්ටීරියාව විසින් අතුරුඵලයක් වශයෙන් නිපදවන, එක්තරා විෂ සහිත ද්‍රව්‍යයකට කෘමිනාශක හැකියාවක් තිබෙන බව කෘෂි කාර්මික කටයුතු වල නිරත අය නිරීක්ෂණය කර තිබේ. බැක්ටීරියාවේ මෙම ගති ලක්ෂණය එහි ඇති එක්තරා ජානයක බලපෑම නිසා සිදුවන බව සොයාගෙන ඇත. ඉරිඟු වැනි ධාන්‍ය වලට සිදුවන කෘමි හානිය නිසා බොහෝ සෙයින් ඒවායේ පලදාව දුර්වල වේ. කෘමි පාලනය සඳහා කෘමිනාශක යෙදීම වියදම් අධික ව්‍යායාමයක් මෙන්ම පරිසර හිතකාමී නොවන පිළිවෙතක්ද වේ. මේ නිසා බැක්ටීරියාවේ කෘමි නාශක ලක්ෂණය ගෙන යන ජානය, ඉරිඟු DNA දාමයට බද්ධ කර එමගින් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීම මෙසේ විස්තර කළ හැකිය.
Bacillus thuringiensis නමැති පාංශු බැක්ටීරියාවේ ඇති කෘමි නාශක ගති ලක්ෂණය සහිත ජානය බඩඉරිඟු ශාකයේ DNA දාමයට බද්ධ කිරීමෙන් ලබාගෙන ඇති ශාකය, ‘Bt’ බඩඉරිඟු ලෙස නම්කර තිබෙන අතර එම ක්‍රමවේදය හා සම්බන්ධ තොරතුරු පියවර කිහිපයක් වශයෙන් පහත දැක්වේ
පියවර - 1 අවශ්‍ය ‘ජනක තොරතුරු’ හඳුනා ගැනීම
Bacillus thuringiensis ලෙස හඳුන්වන පාංශු බැක්ටීරියාව විසින් නිපදවන ස්වාභාවික විෂ ද්‍රව්‍යයක්, කෘමි නාශකයක් ලෙස ක්‍රියාකරන බව සොයා ගෙන ඇත. මේ නිසා මෙම කෘමිනාශක ලක්ෂණය සහිත ජානය ඉරිඟු වැනි ධාන්‍ය වලට බද්ධ කිරීමෙන් ඒවාට සිදුවන කෘමි හානි වැළක්විය හැකි බවද ඔප්පුවී තිබේ. මෙසේ කළ විට එම භෝග වලට කෘමි නාශක යෙදීම අවම කල හැකි බවද නිරීක්ෂණය කර තිබේ.
පියවර - 2 හඳුනාගත් ගත් ලක්ෂණය (trait) ‘පිටපත් කර ගැනීම’
මෙසේ තෝරාගනු ලබන සුවිශේෂී ගති ලක්ෂණය සහිත ජානය හඳුනාගෙන එය පමණක් ‘පිටපත් කර ගැනීම’ ඊළඟ පියවරයි. මෙය අදාළ බැක්ටීරියාවේ අඩංගු සුවිශේෂී ජානය ලෙස දැක්විය හැකිය. දැනට මෙසේ තෝරාගත් ජානයක් පිටපත් කර ගැනීම සඳහා භාවිත කෙරෙන සුවිශේෂී ක්‍රම (මෙවලම්) කිහිපයක්ම තිබේ.
පියවර - 3 පිටපත් කරගත් ජානය භෝග ශාකයේ DNA දාමයට බද්ධ කිරීම
බැක්ටීරියාවෙන් පිටපත් කර ගන්නා ලද ‘කෘමි නාශක තොරතුරු’ සහිත ජානය ඉරිඟු භෝගයේ පරාග වල DNA දාමයේ තෝරාගත් ස්ථානයකට බද්ධ කිරීම මීළඟ පියවරයි. මේ ආකාරයට ජාන බද්ධ කරන ලද පරාග මගින් පරාග පෝෂණය වී ලැබෙන බීජ සූක්‍ෂම ලෙස තෝරා ගෙන ඒවායින් නව ශාක පරම්පරාවක් නිර්මාණය කෙරේ. මෙම නව ශාක පරම්පරාව කෘමි උවදුරට ඔරොත්තු දෙන ශාක බව තහවුරු කර ගැනේ. මේ ආකාරයට DNA දාමයට බද්ධ කරනු ලබන ආගන්තුක ජානය නිසා ශාකයේ ඇති අනෙකුත් ගති ලක්ෂණ වලට කිසිම හානියක් සිදු නොවේ.
පියවර - 4 නව බඩඉරිඟු ශාක පරම්පරාවක් ලබා ගැනීම
‘කෘමි නාශක තොරතුරු’ සහිත ජානය බද්ධ කර ලබාගන්නා බීජ, මුලින්ම විද්‍යාගාරයක ඇති හරිතාගාරයක් (green-house) තුළ, විශේෂ පූර්වාරක්‍ෂා ක්‍රම යටතේ වගාකර, එම ශාක කෘමි උවදුරු වලට ඔරොත්තු දෙන්නේද යනවග ස්ථිරවම නිගමනය කර ගනු ලැබේ. එසේ ලබාගන්නා බීජ, මීට පසු කුඩා වගා බිම් වල ක්ෂේත්‍ර පරික්ෂා වලට භාජන කෙරේ. මෙවායින්ද සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමෙන් පසු, නව ගති ලක්ෂණය සහිත බීජ මගින් ලබා ගන්නා ශාක තව දුරටත් සමාලෝචනයට ලක් කෙරේ. මෙවායින්ද සාර්ථක ප්‍රතිඵල ලබාගත් පසු, එම GMO බීජ ගොවි බිම් වල මහා පරිමාණයේ වගා කටයුතු සඳහා යොදවනු ලැබේ. මෙසේ ලබාගන්නා ශාක ‘Bt බඩඉරිඟු’ ලෙස නම්කර තිබේ ආරම්භයේ සිට මෙම ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා වසර කිහිපයක් ගතවී ඇත.
පසුගිය දශක දෙක තුළදී ජාන ඉංජිනේරු විද්‍යාව ඉතාමත් පුළුල් වී, විවිධ ආකාරයට ජෛව තාක්ෂණ කටයුතු කරගෙන යාම සඳහා භාවිත කළහැකි මෙවලම් රාශියක් නිර්මාණය කර තිබේ. ජීවියෙකුගේ සමස්ත ජාන පද්ධතියේම අන්තර්ගත ප්‍රවේණි ද්‍රව්‍ය ගොණුව පොදුවේ ‘ජිනෝමය’ (Genome) ලෙස හැඳින්වේ. ‘ජිනෝම සංස්කරණය’ (Genome editing) නමැති, ජෛව තාක්ෂණයේ නවතම ශිල්පක්‍රමය මගින් ජීවියෙකුගේ යම්කිසි ගති ලක්ෂණයක් සඳහා බලපාන සුවිශේෂී ජානය හඳුනාගෙන එය අවශ්‍ය පරිදි ඉවත් කර, ඒ වෙනුවට තෝරාගන්නා ලද වඩාත් වැදගත් ලක්ෂණ නිරූපණය කරන වෙනත් ජානයක් බද්ධ කළ හැකිය. මෙය ජෛව තාක්ෂණයේ ඉතාමත් ඵලදායි නව නැඹුරුවක් වේ.
‘ජාන වෙනස් කළ’ (GMO) ආහාර පිලිබඳ විවිධ මති මතාන්තර
කලින්ද සඳහන් කළ පරිදි ජාන ඉංජිනේරු විද්‍යාව මගින් හෝ ජිනොම සංස්කරණය මගින් සකස් කර ගන්නා ජීවීන්, ‘ජාන වෙනස් කරන ලද ජීවීන්’ (GMO) ලෙස හැඳින්වේ. මේ තාක්ෂණය හඳුන්වා දී දශක කිහිපයක් ගතවී ඇතත්, විශේෂයෙන්ම එසේ පරිවර්තනය කරන ලද ශාක වලින් ලැබෙන ආහාර මිනිසාගේ පරිභෝජනයට ගැනීම පිලිබඳ මහත් ව්‍යාකූල බවක් මිනිසා තුළ පවතී. දැනට සැලකිල්ලට භාජන වෙමින් පවතින එවැනි මති මතාන්තර කිහිපයක් පහත දැක්වේ.
ශාක වල ස්වාභාවිකව පවතින ජාන වෙනස් කරගන්නේ ඇයි?
භෝගයක් දිගින් දිගටම වගා කරන විට එයට දිලීරරෝග, කෘමි අසාදන හෝ පලිබෝධ බාධක වැනි අවහිරතා ඇතිවී, පලදාව අඩුවන බව ස්වාභාවික සංසිද්ධියකි. මෙවැනි අවස්ථා වලදී, එම බාධක සඳහා බලපාන ජාන ඉවත් කර එම බාධක වලට එරෙහිව ක්‍රියාකරන ආගන්තුක ජානයක් භෝගයට බද්ධ කිරීමෙන් භෝගය ප්‍රකෘතිමත් කළ හැකිය.
යම්කිසි දුර්වලතාවයක් ඇති ශාක ප්‍රකෘතිමත් කිරීම සඳහා භාවිත කරන ලද පුෂ්ප පරාගනය පාදක කරගත් සම්ප්‍රදායික අභිජනන ක්‍රම මගින් නව ශාක පරම්පරාවක් ලබා ගැනීම සඳහා දිගු කාලයක් ගතවේ. ජාන තාක්ෂණයෙන් හෝ ජිනෝම සංස්කරණය මගින් ඉතා සුළු කාලයකදී සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය.
සම්ප්‍රදායික අභිජනන ක්‍රමවේදයේදී එක්වර විවිධ ගති ලක්ෂණ කිහිපයක් (සමහරවිට අනවශ්‍ය ගති ලක්ෂණද) සහිත ජාන කිහිපයක් නව ජනිතයින් හට ආදේශ වීම නොවැලැක්විය හැකිය. එහෙත් නව ජාන තාක්ෂණය මගින් අත්‍යවශ්‍ය සුවිශේෂී ජානය පමණක් තෝරා ගෙන බද්ධ කළ හැකිය.
ජාන තාක්ෂණය කළ ශාකවලින් ලබාගන්නා ආහාර සෞඛ්‍යයට හිතකරද ?
මෙසේ ලබාගන්නා ආහාර, වෙළඳ පළට යැවීමට පෙර දැඩි නියාමනයකට ලක්කෙරේ. ඒවායේ පෝෂණ නිර්ණායක සාමාන්‍ය පිළිවෙලට ලබාගන්නා එම වර්ගයේම සම්ප්‍රදායික ආහාර වල මෙන්ම තිබෙන බව විද්‍යාත්මකව සහතික කෙරේ. මෙම සහතිකය ලබාදෙනුයේ අදාළ සෞඛ්‍ය බලධාරීන් විසිනි.
සමහර, ජාන වෙනස් කරනලද ආහාර වර්ග වල පෝෂණ ගුණාත්මක භාවය වැඩිදියුණු කර ගැනීමට අවශ්‍ය ජාන සංස්කරණ කර තිබේ.
නව ජාන තාක්ෂණ ක්‍රමවේද මගින් නිපදවා ඇති ශාක ආශ්‍රීත ආහාර ලබාදුන් සතුන්, ඉතාමත් සෞඛ්‍ය සම්පන්නව සිටින බව ඔප්පු වී තිබේ.
ජාන වෙනස් කරන ලද ආහාර වෙළඳපළේ හඳුනාගන්නේ කෙසේද?
මේ සඳහා භාවිත කළහැකි ලේබලයක් පිලිබඳ විවිධ අදහස් ඉදිරිපත් කර ඇත.
ජාත්‍යන්තරව පිළිගත් පොදු ලේබලයක් නොමැත.
මෙම සටහනෙහි දැක්වෙන ආකාරයේ ලේබලයක් යෝග්‍ය බවට මත ප්‍රකාශ කර තිබේ.
සමහර අවස්ථාවලදී අහාර වලට මුසු කරන අතිරේක ද්‍රව්‍ය ජාන වෙනස් කළ දේ නම් ඒවාද සඳහන් කළ යුතු බවට තීරණය කර තිබේ.
ජාන තාක්ෂණයෙන් සකස් වූ ආහාර කෙතරම් දුරට ජනප්‍රියද?
දැනට ඇමෙරිකාව, චිනය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව ආදී රටවල් විස්සක පමණ GM භෝග විශේෂ කිහිපයක් වගා කරන බව දැනගන්නට තිබේ.
ලොව පුරා හෙක්ටෙයාර් මිලියන සියයක පමණ වගා බිම්වල මෙම භෝග පැතිරී ඇති බව (50 Genetics Ideas - Mark Henderson) පොතෙහි සඳහන්ය.
කෘමි නාශක ගති ලක්ෂණය, බද්ධ කර නිපදවාගත් ශාකවලින් ලැබෙන ආහාර වලින් මිනිසාට උපද්‍රව සිදුවිය හැකි බවට මතයක් ගොඩ නැගෙමින් පවතී.
මහා බ්‍රිතාන්‍යය ඇතුළු යුරෝපිය රටවල, ජාන වෙනස් කළ ආහාර පිළිබඳව පැතිරී ගිය වැරදි ප්‍රචාරයක් නිසා ජනප්‍රියතාවය බොහෝ දුරට අඩුවි ඇත.
ජාන තාක්ෂණයට භාජන කළ සතුන් සහ සත්ත්ව නිෂ්පාදන පිලිබඳ තත්ත්වය කෙසේද?
ජාන තාක්ෂණයෙන් නිපදවූ සත්ත්ව ආහාර මිනිස් පරිභෝජනය සඳහා ගතහැකිද යන්න ගැන මෙතෙක් ස්ථිර නිගමනයක එළඹී නොමැත.
මේ සම්බන්ධයෙන් පර්යේෂණ තවදුරටත් කරගෙන යමින් තිබේ.
ජාන තාක්ෂණයේ නවතම ජාන ආදේශ ක්‍රමවේදයක් මගින්, ප්‍රජනනය කිරීමේ හැකියාවක් නොමැති, මැලේරියා මදුරු විශේෂයක්, නිර්මාණය කර තිබේ. මෙම මදුරුවන් පරිසරයට මුදාහැර වසර කිහිපයකින් එම මදුරු ගහණය නිෂේදනය වී ගොස් මැලේරියාව තුරන් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එහෙත්, ස්වාභාවික කෘමි කොට්ඨාශයක් මේ ආකාරයට සහමුලින් ඉවත් කිරීමෙන් ජෛව විවිධත්ව පරිහානියක් සිදුවිය හැකි බවට මතයක්ද ඉදිරිපත්වී තිබේ.
(තොරතුරු ස්තුති පූර්වකව පොත් පත් සහ අන්තර්ජාලය ඇසුරෙනි)
වැදගත් සටහනක්. කදිම පැහැදිලි කිරීමක් .
ReplyDeleteස්තුතියි අනුරුද්ධ, ඔබ කලින් දිනක FB සටහනක් තබා තිබුණු ආකාරයට On-line සඟරාවක් පළ කරතොත් ඉඩ ලැබෙන පරිදි ලිපියක් බැගින් සකස් කර දිය හැකි වේවි. අවශ්‍ය වුවහොත් දන්වන්න.
ReplyDelete++++++++++
ReplyDeleteThank you Pra Jay
Delete🤗👌
ReplyDeleteහොඳ ලිපියක් වගේම වැදගත් මාතෘකාවක්. GM crops නැත්නම අද ලෝකය බඩගින්නේ. BT crops වලින් ලැබෙන වාසි වලට වඩා අවාසි වැඩිද කියන එක න්ම් ප්‍රශ්ණයක්. ලංකාවෙ වැඩි හරියක් කුඹුරු පුරන්වී ඇති කරදියට ඔරොත්තු දෙන,GM crops වී වර්ගයක් ඊශ්‍රායලයේ නිපදවා ඇතැයි අහන්න ලැබුනා. එකම ප්‍රශ්ණය, මේ GM crops නව තාක්ෂණයේ ඒකාධිකාරිය පවත්වා ගෙන යන්නෙ, කුප්‍රකට බහුජාතික සමාගම් වීමයි.
ReplyDeleteඅපේ රටට ගැලපෙන වී වර්ග රාශියක් අපගේ වී පර්යේෂණ ආයතන වල නිපදවා බීජ බෙදා හැර තිබෙනවා. BW, BG, MI උදාහරණ කිහිපයක්. මා හිතන්නේ ජාන නවීකරණය (Gene modernization), ජාන හැසිරවීම (Gene manipulation) සහ ජාන සවි කිරීම (Gene fixing) වැනි විවිධ නම් වලින් හැඳින්වෙන මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණය සහ මෙවලම් අපගේ ආයතනද සතුව තිබෙනවා. ඒ උනත් අපගේ විද්‍යාඥයින්ට ඒ වැඩ කටයුතු සඳහා රාජ්‍ය අංශයේ හෝ පෞද්ගලික අංශයේ අනුබලදීම සහ මූල්‍ය පහසුකම් සැපයීමේ ඌනතා ඇති බවයි මා සිතන්නේ
Delete//"ලංකාවේ මේ ප්‍රදේශ ෂමොටි දොඩම් (Shamouti orange) සඳහා ඉතා සුදුසු බව අපිට හැඟෙනවා. නමුත් අපේ තාක්‍ෂණය නොමැතිව ඔබගේ රටට මෙම දොඩම් වගා කරගන්නවත් විකුනගන්නවත් බැහැ" ඔහු අපේ යයි පවසන්නේ ඇමරිකානු-ඊශ්‍රායෙල් ආයතනයකට බව මට පසුව වැටහුණි//
Deleteපොට පටලවා ගත් විදේශීය කුමන්ත්‍රණ
මෙහි "අපේ තාක්ෂණය" යනුවෙන් දැක්වෙනුයේ 'අපේ කෙනෙකූ' ඊශ්‍රාළයට ගොස් උගත් තාක්ෂණය විය හැකියි. මා අසා තිබෙනවා, අපේ සමහර නිලධාරි විදේශයකට ගොස් ලබාගන්නා තාක්ෂණ දැනුම ආපසු මව් බිමට පැමිණ බෙදා ගැනීමේදී "ගුරුමුෂ්ටිය" වැනි කුහක කමක් ආරෝපණය කර ගන්නා බව. සමහරවිට ඔබ සඳහන් කරන්නේත් එයම විය හැකියි. වසර කිහිපයකට ඉහතදී 'ඩ්‍රැගන් පෘට්' වගාව පිලිබඳ තාක්ෂණ දැනුම ලබාගැනීම පිණිස විදේශයකට ගිය අයෙකු ආපසු පැමිණ, එම තාක්ෂණය හරියාකාරව ලබාදී නොමැති බව ඒ කාලයේ පුවත් පත් වල පවා පළවී තිබුණා.
Deleteජාන වෙනස්කර වඩා හොඳ ජාන සහිත මිනිසුන්වුවත් උපදවාගන්න පුළුවන්ද
ReplyDeleteඅනංමනං, ඔබ ඉදිරිපත් කර තිබෙන්නේ ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. ඇත්ත වශයෙන්ම, ජාන තාක්ෂණයේ මූලික සිද්ධාන්ත අනුව මෙය කළ නොහැක්කක් නොවෙයි. එසේ වුවත් මිනිස් සමාජයයේ පවතින සමාජයීය මූල ධර් ම, ආචාර ධර් ම, ආගමික තහංචි වැනි විවිධ මතභේද නිසා ඔබ සඳහන් කරන ආකාරයේ පිවිසුම් සඳහා ඉඩකඩ ඇහිරී තිබෙනවා. දැනට වසර කිහිපයකට ඉහතදී චීනයේ විද්‍යාඥයෙකු විසින් මිනිස් කළලයක ජාන විකෘති කිරීමක් පිළබඳ වරදකට සිරගත කල බවක්ද වා ර් තා වුවා.
Delete