Saturday 11 February 2023

අහඹුවෙන් හමුවූ ‘නොදුටු’ මිතුරෙක්

 අහඹුවෙන්  හමුවූ  ‘නොදුටු’ මිතුරෙක් 

මාගේ Blog පිටුවෙහි අමුතු  සටහනක් තැබීමට අදහස් කළේ මක්නිසාද  යන්න පැහැදිලි කිරීමද අවශ්‍ය වේයයි සිතෙන නිසා එය පාදක කර ගනිමින් මේ සටහන තබමි. එම සිද්ධිය කිසිදා ‘නොදුටු’ මිතුරෙකු අහඹුවෙන්  හමුවීම හා සම්බන්ධ වේ. 


ඔහු ‘බ්ලොග්’ සහ ‘ෆේස්‌ බුක්’ මිතුරෙකු වූ ‘තිලක සිත’ Blog පිටුව හිමිකරු තිලකසිරි එකනායකයෝ වෙති. 

  

යන්තමට ඉංග්‍රීසියෙන් යමක් ලිවීමට හැකිවන විටම, විදේශ රටකින්  “පෑනේ මිතුරෙකු (Pen friend) සොයා ගැනීම, අප කුඩා කාලයේ  පාසල් සිසුන් අතර ‘ෆැෂන් ’ එකක් මෙන් පැතිරී ගිය  අවශ්‍යතාවයක් ලෙස සලකන ලදී.  බොහෝ විට, මාස ගණනක් ගතවෙන ‘මුහුදු තැපෑලෙන්’, පෑනේ මිතුරෙකුගෙන් ලිපියක්   ලැබුණ විට පන්තියේ සගයින් සමග කියවා ඒ ගැන උදම් ඇනීම මහත් ආඩම්බරයක් විය. (පෑනේ මිතුරු ලිපි ගනුදෙනු ගුවන් තැපෑල මගින් කළේ ඉතාමත් කලාතුරකිනි)   ඒ කාලයේ අපගේ ගුරුවරු පවා අපට පෑනේ මිතුරු මිතුරියන්ගේ ලිපින ලබා දුන්හ. පුවත් පත්වල ළමා පිටුවලද බොහෝවිට එවැනි ලිපිනයන් පළවිය. මටද පෑනේ මිතුරන් කිහිප දෙනෙකු සිට. ඔවුන් සමග වසර කිහිපයක් තිස්සේ ලිපි හුවමාරු කරගෙන තිබේ. එහෙත් කාලය ඉක්ම යාමත් සමග අධ්‍යාපන කටයුතු වලට වැඩි  අවධානයක්  යොමු කිරීමට සිදුවූ නිසාදෝ,  පෑනේ මිතුරු සුහදතා ක්‍රමයෙන් අහෝසි වී ගියේය. ‘පෑනේ මිතුරු සබඳතා’  දිගු කාලයක් පවතින්නේ ඉතා කලාතුරකින් බව ප්‍රකට කරුණකි. මේ එදා….. තත්ත්වයයි.


මෙදා,.....  ඒ සියල්ල සිදුවී දශක හයකට හතකට පසු - දැන්,  ‘පෑනේ මිතුරන්’ ගැන අසන්නටවත් නොමැත. අද ඒ   වෙනුවට සිටිනුයේ “Blog මිතුරෝ ”  හෝ  “Facebook  මිතුරෝ ” වෙති. මෙය තොරතුරු තාක්ෂණයේ නව අද්විතීය සොයාගැනීම් නිසා සිදුවී ඇති එක් පරිවර්තනයකි.  පරිගණකය, ‘ටැබ්ලට්’ උපකරණය හෝ ජංගම දුරකථනය  වැනි මෙවලම්  පරිහරණය කිරීමට හැකි ඔනෑම කෙනෙකුට, අද අන්තර්ජාලය ඔස්සේ පහසුවෙන්ම එවැනි මිතුරෝ ආශ්‍රය කිරීමට මග පාදා ගත හැකිය. එසේම ක්ෂණයකින් ඔවුන් සමග සම්බන්ධ වී තොරතුරු හුවමාරු කර ගත හැකිය.


‘තිලක සිත’ බ්ලොග් අඩවියේ පළවූ සෑම සටහනකටම වාගේ මම ප්‍රතිචාර දැක්වූයෙමි. තිලකේද මාගේ ‘අධ්‍යාපන රසකතා’ බ්ලොග් සටහන්වලට ප්‍රතිචාර දැක්වූයේය. මේ අතරතුර අපි නිරායාසයෙන්ම වාගේ Facebook මිතුරන් බවටද  පත්වූවෙමු. හෙල්මලී ගුණතිලකගේ  “Hot Chocolate Days” බ්ලොග් සටහන් වලටද ප්‍රතිචාර දක්වූ තිලකේ  අහම්බයෙන් මෙන්, මා හෙල්මලීගේ පියා බවද දැනගෙන තිබේ.       


කුඩා කාලයේ පෑනේ මිතුරන් ඉතා සීමිත ගණනක් ඇසුරු කළ අපටද, අද  නව තාක්ෂණය වැළඳ ගැනීමෙන් පසු පරිගණකයට සහ අන්තර්ජාලයට පින් සිදු වන්නට,  දුසිම්  ගණනින්  “Blog මිතුරෝ ”  හෝ  “Facebook මිතුරෝ ” සිටිති. 


මේ අතර පසුගිය වසරේ අගෝස්තු මාසයේ මගේ ෆේස්බුක් පිටුවේ මෙම පණිවුඩය දැක්කෙමි. 


“මම මේ දවස්වල බෙල්බර්න්  ඉන්නේ. නිවාඩුවකට ඇවිත්. දකින්න කතා කරන්න ආසයි . මොබයිල් නොම්මරේ දාන්න.- තිලකසිරි” 


මෙම පණිවුඩයට මම කඩිණමින්ම මෙසේ පිළිතුරු යැව්වෙමි. 


“හරිම සතුටුයි. ඕස්ට්‍රේලියා පැමිණි බව දැනගත්තා. ඒ උනත් මෙල්බර්න් බව දැන සිටියේ නැහැ. මගේ මොබයිල් අංකය මෙන්න ………   ඔබ නතරවී සිටින්නේ කොහෙද? ටෙලිෆෝන් අංකයක් දාන්න. ඉක්මණට හමුවෙමු.” 


මේ බව හෙල්මලී ටද දැන්වූ විට, ඇයද  මහත් සතුටට පත්වී 

“දැන් නිවාඩු කාලේ නිසා මාත් ගෙදරනේ. අපේ ගෙදරදීම හමුවීමට කතාකර ගනිමු” යයි  යෝජනා කළාය.    


තිලකසිරිගේ දියණියන් දෙදෙනෙකු මෙල්බර්න්හි විශ්ව විද්යාලයයක අධ්‍යාපනය ලබන බව මා දැනගත්තේ හෙල්මලීගෙනි. ඒ දෙදෙනාද අපේ හමුවට එකතු කර ගන්නා බව ඇය පැවසුවාය.


අපි ජනවාරි මස මුල් සතියේ දිනක හෙල්මලී දියණියගේ ගෙදරදී හමුවීමු. ඉංජිනේරු පියා සහ තවමත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන සුරතල් දියණියන් දෙදෙනාද යන තිදෙනාම අපට අමුත්තෝ වූහ.ඔවුන් සමග ගතකළ සැන්දෑව ඉතාමත් සොඳුරු එකක්ම විය. 


අප නොයෙකුත් දේ කථා කළෙමු. අධ්‍යාපනය, තාක්ෂණය, සාහිත්‍යය, පොත්පත්, විශ්ව විද්‍යාල ජීවිතය  වැනි බොහෝ  දේ ගැන පැය තුන හතරක් කතාබස් කළෙමු. තවත් කථා කිරීමට දේ තිබුණත් කාළය එයට හරස් විය.   


එදා තිලකේ  ඉඟියකින් මෙන් මාගෙන් විමසූ “1960 ගණන්වලදීත් කොම්පියුටර් තිබුණද?”  වැනි පැණයට මා ගැලපෙන පිළිතුරක් නොදුන් නිසා, ඒ සම්බන්ධව මෙසේ අතීත ආවර්ජනයක් කිරීම ගැලපේ යයි සිතමි. 


අපට පළමු වරට පරිගණකයක් දකින්නට ලැබුණේ 1960 වසරේදී කොළඹ විශ්ව විද්‍යාලයයේ අධ්‍යාපනය ලබද්දීය. එවකට අපට  තිබුණු  එකම විශ්ව විද්‍යාලයය,   ශ්‍රී  ලංකා විශ්ව විද්‍යාලයයි. එහි කලා අංශය පේරාදෙණියේ තිබුණු අතර   විද්‍යා, ඉංජිනේරු සහ වෛද්‍ය පීඨ ස්ථාපනය කර තිබුණේ  කොළඹ මණ්ඩපයේය.  1960 වසර අවසානයේදී අප විශ්ව විද්යාලයයට ජපානයෙන්  “කොම්පියුටරයක් ” තෑගී ලැබී ඇති බවට ආරංචියක් කටින් කට පැතිර ගියේය. ඊට දින කිහිපයකට පසු  ජපානයෙන් විශ්ව විද්යාලයයට තෑගී ලැබී තිබුණු  “කොම්පියුටරය ” විද්‍යා අංශයේ සිසුන්ට හඳුන්වා දීමට සැලසුම් කර තිබෙන බවත්,  ඒ ගැන උනන්දුවක් දක්වන සිසුන්ට ඉදිරි දිනකදී ප්‍රධාන ශාලාවට රැස්වන ලෙසටත්  දැන්වීමක් ලේඛකාධිකාරී වරයාගේ අත්සනින් දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කර තිබිණ. එම හඳුන්වාදීම කරනුයේ භෞතික විද්‍යා මහාචාර්ය වරයාව සිටි, A.W. මයිල්වාගනම් මැතිතුමා බව වැඩිදුරටත් සඳහන්විය.

 

විශ්ව විද්‍යාලයයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වූ  අප සියලු දෙනාම, නියමිත දින   King George ශාලාවට රැස්වී මේ අරුම පුදුම යන්ත්‍රයේ විශ්මය ජනක බව පිළිබඳව කළ විස්තරය සාවධානව අසා සිටියෙමු. එදින ඒ මහේශාක්‍ය යන්ත්‍රය අපට පෙන්වා හොඳින් විස්තර කර, එහි වැදගත් කම  පෙන්වා දුන් මහාචාර්ය තුමා  “ නුදුරු අනාගතයේදී පරීගණක නොමැතිව කිසිම කාර්යයක් කළ නොහැකි වේ” යයි අප පුදුම කරමින් ප්‍රකාශ කළේය.   


එදා මහ ඇදුරු තුමා අපට හඳුන්වා දුන් “කොම්පියුටරය සහ අනිකුත් උපාංග” කිලෝග්‍රෑම් 50 ට වඩා  වැඩි බරකින් යුක්ත වන්නට ඇත. 


උපකරණ හඳුන්වා දීමෙන්  පසු මහාචාර්ය තුමා, පරිගණක යතුරු පුවරුවේ යමක්   ටයිප් කර, එහි බොත්තමක් ඔබා පරිගණකය තුළ තිබුණු අඟල්  9 x 9 ප්‍රමාණයේ ‘Floppy Disc’ ලෙස නම් කළ,  පැතලි තුනී තහඩුවක් වැනි දෙයක්  පිටතට  ගත්තේය. එය අපට පෙන්වා තමන් ටයිප් කළ වගන්තිය එහි ලියවී සුරක්‍ෂිතව ඇති බවත්, තව විනාඩි කිහිපයකින් ඒ කුමක්ද යන්න අපට දැක ගත හැකි වන බවත් ප්‍රකාශ කළේය. මෙය අසා අප කාගේත් කුතුහලය දෙගුණ තෙගුණ විය.

 

මීළඟට, දිග වයරයකින් විදුලි පේණුවකට  ඈඳා තිබුණු ‘ප්රින්ටරය’ ලෙස නම්කළ තවත් උපකරණයකට  එම Floppy Disc එක ඇතුල් කර,  ඔහු තවත් යම්කිසි සංඥාවක් ටයිප් කළේය.  එසේ කළ විට, ‘ක්‍රාස්..ක්‍රාස්’ යන ශබ්දයක්ද සමග උපකරණයේ පිටුපසට සවිකර තිබුණු කඩදාසි රෝලක් කරකැවී එහි පිටුවක්  පිටතට පැමිණියේය. 

මහාචාර්ය තුමා එම කඩදාසිය කඩා අපට පෙන්වීය. මහත් පුදුමයකි.!  එහි,   

“Welcome to the latest way of preparing documents”  

යන වගන්තිය, විශාල අකුරෙන්   පිටුව පුරා මුද්‍රණය වී තිබිණ. එය  අපට හොඳින් බලාගැනීම පිණිස අතින් අත යැවීමටද  එතුමා කාරුණික විය.  දශක හයකටත් වඩා ඉහතදී  පරීගණකය  පිලිබඳ මාගේ පළමු අත්දැකීම මෙසේ සනිටුහන් කරන්නේ මහත් අමන්දානන්දයකිණි.


මහාචාර්ය තුමා අපට හඳුන්වා දුන් “Desktop”  පරිගණකය, එහි යතුරු පුවරුව සහ ප්‍රින්ටරය ඇටවීමට සහ එයට සම්බන්ධ වෙනත් විදුලි සැපයුම් මෙවලම් ආදිය සඳහා තරමක් විශාල මේසයක් අවශ්‍යව තිබිණ.  (මේ කිසිවක ඡායාරූපයක්වත් නොමැත.)  


එකළ කොම්පියුටරයක සහ අදාළ උපාංග වල හැඩිදැඩි බව සහ වැයවන ඉඩකඩ ගැන අවබෝධයක් ලබාගැනීමට, අන්තර්ජාලයෙන් ලබාගත් මෙම ඡායාරූපය, ස්තුති පූර්වකව ඇතුළත් කරමි.

 

                                                                                                   

ඒ කාලයේ කාර්යාලයයක desktop                                            කොම්පියුටරයක් භාවිත කරන ආකාරය 


විශ්ව විද්‍යාලයයෙන් පිටවී රාජ්‍ය සේවයේ නිරත වූ මුල් දශක කිහිපය තුළදීවත් අපට පරිගණක භාවිතය නුහුරු දෙයක්ම විය. විශ්‍රාම ගැනීමට ආසන්න වූ වකවානුවේදී රජයේ මැදිහත් වීමෙන් පැවැත්වූ Computer awareness නමැති වරකට පැය කිහිපයකට පමණක් සීමාවූ පාඨමාලා කිහිපයක  උදව්වෙන් ඉංග්‍රීසියෙන් පමණක් පරිගණකය භාවිත කිරීමේ සරල ක්‍රමවේද අවබෝධ කරගත හැකි විය.


තවත් වසර කිහිපයක් ගතවනවිට, මාහට පෞද්ගලික desktop  පරිගණකයක් මිලදී ගැනීමට වරම් ලැබිණ. මෙය කාලීන අවශ්‍යතාවයක් බව මට හොඳින් ඒත්තු ගොස් තිබිණ. මාස කිහිපයකදීම පරිගණක සුරුවිරු කම්  සැලකියයුතු ප්‍රමාණයක් ස්වයං අධ්‍යයනය මගින් ඉගෙන ගැනීමට  හැකි විය. එහෙත් සිංහල යතුරු පුවරුවකින් ලියවිල්ලක් සකස් කිරීම කිසි සේත් කළ නොහැකි අභ්‍යාසයක්ම විය. 


මේ අතරතුර අපට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය  වීමට  සිදුවිය. මේ වන විටත් අප දියණියන් තිදෙනා ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි කරුවන් වී සිටියහ. පරිගණක හැසිරවීම ගැන මනා පරිචයක් ඇති හෙල්මලි දියණිය මාගේ පරිගණකයට ‘Unicode’ නමැති පදමාලාව ඔස්සේ සිංහල ටයිප් කිරීම හඳුන්වා දුන්නාය.  සිංහල වචනය උච්චාරණය වන ආකාරයට  ඉංග්‍රීසි අකුරු වලින් ටයිප් කරන විට එය සිංහල භාෂාවෙන් පරිගණක  තිරයේ දිස්වීම විශ්වකර්ම නිර්මාණයක් බව මට හැඟී ගියේය. 


Desktop පරිගණක භාවිතයෙන් ඉවත් වෙමින් Laptop පරිගණක කලඑළි බසිමින් තිබුණු මේ කාලයේ මටද  Laptop පරිගණකයක හිමිකරු වීමේ වාසනාව උදාවිය. සති කිහිපයකදීම මට  පරිගණක යතුරු පුවරුවේ ඉංග්‍රීසි අකුරු භාවිත කර  සිංහල වචන  ටයිප් කිරීම පහසුවෙන් කර, මාසයකදී පමණ යතුරු පුවරුව හැසිරවීම ඉතා හොඳින් ප්‍රගුණ කර ගත හැකිවිය. හෙල්මලී දියණිය කිසි ගුරු මුෂ්ටියක් ගැන නොසිතා පරිගණක හරඹයේ short cuts, applications,  special features ආදී සියල්ල පැහැදිලි කර දුන්නාය. වැඩිමහලු “ගෝලයෙකු” වූ මාහට ඒ සියල්ල එක වරටම අවබෝධ කර ගත හැකි වීම ගැන ඇය මහත් සතුටට පත්වූවාය. මාගේ ඊළඟ පරිගණක අභ්‍යාසය වූයේ Blog පිටුවක් නිර්මාණය කිරීම සහ Facebook ගිණුමක් සකස් කර ගැනීමයි. හෙල්මලීගේ උපදෙස් අනුව මේවාද කඩිණමින්ම කරගත හැකිවිය.  


මෙතරම් දිග විස්තරයක් කළේ, කලින් කිසිදිනක හමුවී කතාබස් කර නොතිබුණු පෑනේ මිතුරෙකුත් නොවන Blog සහ Facebook මාධ්‍ය වලින් පමණක් හමුවී දැන හඳුනාගෙන තිබුණු ‘නොදුටු මිත්‍රයා’ අහම්බෙන් හමුවීම ගැන ගැලපෙන පිවිසුමක් ලබාගැනීමටයි.    


“අධ්‍යාපන රසකතා” යන  මැයින් Blog පිටුවක් ආරම්භ කළ මා.  මාගේ මුල් සටහන ඉංග්‍රීසියෙන් පළ කළේ, එවකටත් සිංහලෙන් පරිගණකය හැසිරවීමේ ‘කෝඩු කාරයෙකු’ වූ නිසා Blog ප්‍රවීණයන්ගේ සමච්චලයට භාජන වේදෝයි සැකයක්ද  ඇතිවූ නිසාය.


ඉංග්‍රීසියෙන් ලියූ මාගේ පළමු Blog සටහනට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණි.


මෙයින් මන්දෝත්සාහයට පත් නොවූ මා, ඊට පසු පළකළ, සිංහලෙන් ලියූ සටහන් වලට හොඳ ප්‍රතිචාර ලැබිණ. මෙසේ නිරතුරුවම ඇගයීම සහිත ප්‍රතිචාර දැක්වූ එක්  අයෙකු වූයේ ‘තිලක සිත’ Blog සටහන් ලියන තිලකසිරි ඒකනායක සහෘදයාය. ඉක්මණින්ම තවත් Blog කරුවන් රාශියක් මා සමග සම්බන්ධ වී ප්‍රතිචාරද දක්වන්නට විය. මේ නිසාම බ්ලොග් සටහනක් ලිවීම මහත් ප්‍රබෝධයක් ගෙන දෙන්නක් විය. කෙසේ වෙතත් දැනට නම් ඒ ප්‍රබෝධය ටිකින් ටික වියැකී  යන බවක් දැනේ. එයට හේතුව නොදනිමි.  


පසුගිය වසර හයක් වැනි කාලය තුලදී මා හට Blog සටහන් 200 පමණ පළකිරීමට හැකිවිය. ඒ සම්බන්ධයෙන් තිලකේ පවසන්නේ මෙසේය: 


 “මම දයාවී  ගේ බ්ලොග් අඩවියට ගොඩ වී බැලුවෙමි . එය  සාරගර්භ ලිපිවලින් යාවත්කාලින වෙමින් තිබිණි . ඊට එකතු වුනු ලිපි අතර විද්‍යාව, කාලගුණය, ගුරුසේවය, සීෂෙල්ස් දූපතේ ජිවිත කතාද ඇතුලත් වුණූ  නිසා මගේ කුතුහලය තීව්ර විය.” 


එමෙන්ම මා ලියා අවසන් කර, පසුව මුද්‍රණය කළ  පොත් කිහිපයකම අත්  පිටපත් සිංහලෙන්  පරිගණක ගත කර ගැනීමද  තනිවම කරගත හැකි විය. තිලකේ ගේ. ‘තිලක සිත’ 1 සහ 2 පොත් දෙකම මට කියවීමට අවස්ථාව  ලැබිණ. ඔහුගේ පොත්වල දකින්නට ලැබෙන සරල භාෂා විලාසය, විද්‍යා පාරිභාෂික වචන හැකිතරම් අඩුවෙන් භාවිතය, අවශ්‍ය පරිදි රූප සටහන් සහ  ප්‍රස්තාර  යෙදීම වැනි දේ මාගේ පොත් වලටද ආදේශ කරගැනීම සඳහා මට  අභාෂයක් ලැබුණු බව සඳහන් කරන්නේ සතුටිනි.


සිරිත් පරිදි ‘Facebook’ සටහන් වලින් නිතර හමුවෙමු. අවස්ථාවක් ලැබුණොත් යළි පෞද්ගලිකව  හමුවී කතාබස් කරමු.


8 comments:

  1. තිලකෙ අයිය ඔබතුමා සහ හෙල්මලී හමුවුණ වග බුකියෙන් දුටවා. සතුටුයි.

    දවසක හැම කෙනාම එක තැනකදි හමුවෙයි කියල හිතෙනව.
    කොම්පීතරේ කතා නං අපූරුයි. ඒ කාලෙ pc දැක්කම හිතෙනව දැං තියෙන ඒව විදිහට පරිණාමය වෙන්න කොයි තරං වෙහෙසක් දරන්න ඇතිද කියල.

    ජය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහේෂ් ,
      තිලකේ සහ දියණියන් දෙදෙනා සමග අපගේ දියණිය හෙල්මලී සහ මටත් හමුවී සැන්දෑවක පැය කිහිපයක් සතුටු සාමීචියෙන් ගතකිරීමට ලැබුණු එක අපූරු හමුවීමක් ලෙසයි මා සිතන්නේ. අපේ රටේ, අපේ කෙනෙක් විදේශයකදී අහම්බයෙන් හමුවූ විට අමුතුම ලෙන්ගතු කමක් ඇතිවන බව මා කලිනුත් අත්විඳ තිබෙනවා.

      Delete
  2. ඔබේ සටහන කදිම නොසැටල්ජියානු මතකයක්. ඒ වගේම බ්ලොග් එකේ සහ මුහුණු පොතේ ඔබ දක්වන සමත්කම් අගෙයි . තිලකසිරි මහතා සහ ඔබ දෙපලගේ හමුව අපූරු එකක් වන්නට ඇති .

    ReplyDelete
    Replies
    1. ඔබගේ ප්‍රතිචාරය ගැන ස්තුතියි අනුරුද්ධ. ලියු දෙයකට ප්‍රතිචාර ලැබෙන විට (ඒවා + හෝ - වූ වාට කමක් නැහැ) තව තව ලියන්නට අනුබලයක් ලැබෙනවා. මේ නිසා අප දන්නා කියන සෑම බ්ලොග් කරුවෙකුටම අවස්ථාව ලැබෙන ආකාරයට ප්‍රතිචාර දක්වමු.

      Delete
  3. තාත්තා- අපූරු හමුවීමක් ගැන අපූරු සටහනක්
    තිලකසිරි අයියාත් දියණියන් දෙදෙනා හමුවීම සතුටු අවස්ථාවක්. හැබෑවට මුණ ගැහී නොතිබුණත් මේ ලියන කියන දේවල් වලින් එකතුවන අපි එකම vibes තියන අය බව මගේ අදහසයි. පළමු වරට මුණ ගැසුණත් හුරු පුරුදු බවක් දැනෙන්නේ ඒකයි.

    පරිගණක ගැන මතක සටහනත් වටිනවා. මමත් මුල්වරට පරිගණක පාවිච්චි කළේ සාමාන්‍ය පෙළ විබාගය ඉවරවෙලා. මුලින්ම ජංගම දුරකතනයක් ලැබුණේ සරසවි අවසන් වසරේදී. අපේ දරුවන්ට මේ විස්තර කිව්වාම එයාලාට හිතාගන්නත් බැහැ!

    ReplyDelete
    Replies
    1. අප සැලසුම් කළ ආකාරයටම තිලකේ සහ දියණියන් හමුවීම සහ ඔවුන් සමග සතුටු සාමීචියෙන් පැය කිහිපයක් ගත කිරීමට ලැබීම අමතක නොවන සිද්ධියක්. යලිත් මෙවන් හමුවීම් වලට අවස්ථාව ලැබෙතොත් කෙතරම් වටිනවාද?

      Delete
  4. මට මතක විදිහට මට මුලින්ම බ්ලොගර්ස්ලා කීපදෙනෙක් මුණගැහුනේ තිලකසිරිගෙ බුක් ලෝන්ච් එකකදි ජාතික පුස්තකාලයේදි.

    වීරසේකර මහත්තයව මුණගැසුනේ හෙල්මලීගෙ බුක් ලෝන්ච් එකේදි මං හිතන්නෙ

    ReplyDelete
    Replies
    1. මා හිතන්නේ, මා අසා තිබෙන පරිදි "බ්ලොග්ර්ස්ලා" බොහෝ දෙනෙකු මුණ ගැසී තිබෙන්නේ 2015 දී හෝ 2016 දී ඉතා උත්කර්ෂවත් ආකාරයට පවත්වා තිබෙන "බ්ලොග් වසන්තය" සමරන අවස්ථාවේ දී. Pra Jay සහ දැන් Blogs වලින් සම්පුර්ණයෙන්ම ඉවත්වී සිටින 'දුමී' (දුමින්ද) අපට හමු උනේත් කොළඹදී පැවැත්වූ හෙල්මලීගේ "සහස් පියවර" බුක් ලෝන්ච් එකේදි තමයි. සතුටින් ආවර්ජනය කළ හැකි අතීතය !

      Delete