Tuesday 12 September 2017

1955 වසරේ ඇතිවූ පුර්ණ සුර්යග්‍රහණය, ඉතා හොඳින් දුටුවෙමු.

    අප පාසැල් යන කාලයේය. ඉගෙනීම කළේ ජෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාග පළමු වසරේ (SSC  Prep) පංතියේය. අප විදුහල්පතිතුමා එංගලන්තයේ විශ්ව විද්‍යාලයක භෞතික විද්‍යා උපාධියක්‌ සහිත ඉතාමත් නිහතමානි කෙනෙක් විය. එතුමා අපගේ භෞතික විද්‍යා ගුරුවරයාද විය. 1955 වසරේ මුල සිටම පූර්ණ සුර්යග්‍රහණයක් පිලිබඳ තොරතුරු පුවත් පත්වල පළවිය. (ගුවන් විදුලිය ඉතා සීමිත වූ අතර රුපවාහිනි ගැන අසාවත් නැත)
ජුනි මාසයේ මුල සතියේ උදය රැස්වීමේදී විදුහල්පති තුමා විසින් සුර්යග්‍රහණ පිලිබඳ දේශනයක් පවත්වා ඒ පිලිබඳ පත්‍රිකාවක්ද බෙදා දුන්නේය.
එම පත්‍රිකාවේ සුර්යග්‍රහණය සිදුවන ආකාරය රුප සටහන්ද අශ්‍රිතව ඉතාමත් පැහැදිලිව විස්තර කර තිබුණි.

සුර්යග්‍රහණය සිදුවන ආකාරය
සුර්යග්‍රහණය හටගන්නා දිනය ජුනි මස විසි වෙනිදා විය.එය පූර්ණ  සුර්යග්‍රහණයක්‌ නිසා ටික වේලාවක්  ඝන අන්ධකාරය පවතින නිසාත් සිද්ධිය කෙලින්ම බැලීම නිසා ඇස් අන්ධ විය හැකි බව ප්‍රකාශයට පත්කර ඇති නිසාත්, එදින පාසල් නිවාඩු දිනයක් කරන ලදී.
ශිෂ්‍ය නිවාසයේ සිටි අපට එදින ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව දැඩි උපදෙස් ලැබුණි. මිනිත්තු කිහිපයක් දැඩි අන්ධකාරය පවතින නිසා සියලු දෙනාම පෙරවරු අට වනවිට නිදන කාමරයට යායුතු බව නිවේදනය විය. සාලයේ එක් ලාම්පුවක් පමණක් දල්වන ලෙසද නියම කෙරිණ. (විදුහලට විදුලි බලය නොතිබුණි.) කිසිවෙකුට පුර්ණ සුර්යග්‍රහණයක් පිළිබඳ අවබෝධයක් නැතත්, ප්‍රචාරය කර තිබුණු දැඩි උපදෙස් අකුරටම ක්‍රියාත්මක කිරීමට කවුරුත් උනන්දු වුහ.
මේ අතර විදුහල්පති තුමාගෙන් අපට සතුටු දායක ආරංචියක් ලැබිණ. විදේශයක සිටින ඔහුගේ මිතුරෙකුගෙන්  සුර්යග්‍රහණය බැලීම සඳහා විශේෂයෙන් සකස් කළ ඇස් කන්නාඩි කිහිපයක් ලැබී තිබෙන නිසා  ඔහු ශිෂ්‍ය නිවාසයට පැමිණ කැමති සිසුන්ට  සුර්යග්‍රහණය බැලීමට සලස්වන බව කිවේය. ඒ සමගම ජලය පිරවූ  බේසම් මිදුලේ තබා, නිශ්චල වන ජලයෙහි පෙනෙන සුර්යග්‍රහණය පියවි ඇසින් බැලිය හැකි බවද අපට දන්වන ලදී.


සුර්යග්‍රහණය බැලීම සඳහා විශේෂයෙන් සකස් කළ ඇස් කන්නාඩි

නියමිත වෙලාවට මිනිත්තු කිහිපයකට කලින් විදුහල්පති තුමා පැමිණ සුවිශේෂී කන්නාඩි පාවිච්චි කරන ආකාරය අපට පෙන්වා දුන්නේය. ඒ සමගම ජල බේසම් කිහිපයක්ද මිදුලේ සකස් කරන ලදී.
පෙරවරු අටට කලින් වුවද තරමක අඳුරු ගතියක් දකින්නට ලැබිණ. ඒ වන විට සාලයේ ලාම්පුවද දල්වන ලදී. කවුරුත් මේ විස්මිත අත්දැකීම ලැබෙන තුරු පුල පුලා බලා සිටිති.
බේසම් වල සුර්යයාගේ ඡායාව තවමත් පැහැදිලිව පෙනේ.
හරියටම උදේ අට පසුවී මිනිත්තු දහයට විදුහල්පති තුමාගෙන් විධානයක් ලැබිණ.
‘දැන් කවුරුත් පෙළට එන්න. ඉස්සෙල්ලාම ඉර පෙනෙන ආකාරය වතුර බේසමෙන් බලන්න. ඊළඟට මේ කන්නාඩි හොඳින් ඇස් වලට සවිකර තත්පර තුන හතරක් ඉර බලන්න.’
දැන් ක්‍රමක්‍රමයෙන් අඳුර වැඩිවේ. ලාම්පු එළියෙන් පමණක් තරමක ආලෝකයක් ලැබිණ. බටහිර අහසේ තාරකාද දකින්නට ලැබිණ. වෙනදා හිමිදිරි පාන්දරට ඇසෙන කපුටන්ගේ සහ වෙනත් කුරුල්ලන්ගේ නාද ද ඇසෙන්නට විය.
දැන් සූර්යයා ක්‍රමක්‍රමයෙන් වැසි යනු අපට විස්මිත කන්නාඩිය හරහා පෙනේ. කාටත් බියමුසු වුවත්, අමුතුම ආස්වාදයක් දැනෙන්නට විය. අපගේ සමහර සගයින් මහත් තැතිගත් ස්වභාවයක් පෙන්වුහ.

පූර්ණ සුර්යග්‍රහණය
මිනිත්තු හතරකදී පමණ සූර්යයා සම්පුර්ණයෙන්ම වැසි ගියේය. තත්පර කිහිපයකදී ඝනාන්ධකාරය දසත පැතිරිණ.
මෙය සිත සසල කරන මහා බියකරු දසුනකි.
‘රාහු ඉර ගිලලා වැමෑරුවේ නැත්නම් ලෝකයට වෙන්නේ මොකක්ද?’
බියට පත් ලාබාල නේවාසිකයෙකු ප්‍රශ්න කළ විට එය බොහෝ දෙනෙකුගේ සිනහවට කරුණක් විය.  
           ‘පසක්‌  රාහු මුව  පත්  වෙමිනි         බියකර                                                                                                අනික්‌ පසින් ලොව හෙළි කෙරෙය හිමකර’
යන සුභාෂිතයේ හඳ රාහු ඇල්ලීම ගැන ඇති කවිය මට සිහි විය.
පූර්ණ සුර්යග්‍රහණය අවසන් වු පසු නැවත අඳුරු ගතිය ක්‍රමයෙන් පහවන්නට විය. පෙරවරු දහය  පමණ වන විට සියල්ලම යථා තත්ත්වයට පත්විය.
සුර්යග්‍රහණ පිළිබඳ තවත් තොරතුරු බිඳක් මෙහිලා සටහන් කිරීම උචිත යයි සිතුවෙමි.
·       තුන් ආකාරයක සුර්යග්‍රහණ සිදුවේ.
·       ඒවා නම්: පූර්ණ, අර්ධ සහ වලයාකාර ග්‍රහණයි.
·       පූර්ණ සුර්ය ග්‍රහණයකදී සුර්යයා සම්පූර්ණයෙන්ම වැසි යයි 
·       අර්ධ ග්‍රහණයයකදී එක් කොටසක්‌ පමණක් වැසෙයි.
·       වලයාකාර ග්‍රහණයකදී සුර්යයාගේ පරිධියේ වළල්ලක් වැනි රවුමක් නොවැසි දිප්තිමත්ව  පවතී.
·       පූර්ණ සුර්යග්‍රහණයක් සිදුවීම සඳහා ස්වාභාවික සංසිද්ධි තුනක්‌ සම්පුර්ණ විය යුතුය.
·       පළමුව චන්ද්‍රයා අමාවක තත්ත්වයේ තිබීම,
·       දෙවනුව චන්ද්‍රයා පෘථිවිය භ්‍රමණය වන පථය හරහා ගමන් කිරීම 
·       තුන්වෙනුව චන්ද්‍රයාගේ පථයේ පිහිටන ස්ථානය  සුර්යයාගේ ගමන් පථයට ආසන්නවම පිහිටීන        ස්ථානය වීම.
·       මෙසේ සිදුවන විට සුර්යයා, චන්ද්‍රයා සහ පෘථිවිය, එක් රේඛාවක පිහිටන පථයේ  චන්ද්‍රයා මැදින් සිටි .
·       පෘථිවියේ සිට ග්‍රහණය නිරික්ෂණය කරන අයෙකු මෙම පථය ඇතුලත සිටිනම් ඔහුට පූර්ණ සුර්ය ග්‍රහණයක් දකින්නට ලැබේ.
·       චන්ද්‍රයා පෘථිවිය වටා භ්‍රමණය වනුයේ දින 29.5 කට වරකි.
·       එහෙත් ග්‍රහණ සිදුවීම සඳහා අවශ්‍ය නිර්ණායක සියල්ල සම්පුර්ණවී පුර්ණ ග්‍රහණයක් සිදුවනුයේ කලාතුරකිනි.
·       1955 ජුනි 20 දින සිදුවූ  පූර්ණ සුර්ය ග්‍රහණය 11 වන ශත වර්ෂයේ සිට 22 වන ශත වර්ෂය දක්වා කාල සිමාව තුලදී සිදුවන  දීර්ඝතම වේලාවක් පවතින පූර්ණ සුර්ය ග්‍රහණයයි.
·       එහි උපරිම කාල සීමාව මිනිත්තු 7 තත්පර 8 කි.


This map sourced from NASA's Eclipse Web Site 
1955 ජුනි 20 දින සිදුවූ  පූර්ණ සුර්ය ග්‍රහණ පථය

·       මෙම පූර්ණ සුර්ය ග්‍රහණය ඉන්දියන් සාගරයේ මාලදිවයින් අසලින් ආරම්භවී  ශ්‍රී ලංකාව ඔස්සේ තායිලන්තය හරහා පිලිපීනය සහ සොලමන් දුපත් පසුකර පැසිපික් සාගරයේදී අවසන් වි තිබේ.
·       ශ්‍රී ලංකාව තුළ පූර්ණ සුර්ය ග්‍රහණය පවතින තීරුව 250 km (සැතපුම් 158 ක පමණ ) පළලින් යුක්තය
කුමන ආකාරයේ සුර්ය ග්‍රහණයක් වුවත් පියවි ඇසින් නිරීක්ෂණය කිරීම ඇස් වලට හානිකරය. ඇසෙහි කණිනිකාව (cornea) නම් මතුපිට සියුම් පටලය සුර්ය විකිරණය මගින් හානිවී ඇස් අන්ධ විය හැකිය. දුරේක්ෂයක් (telescope) හෝ දෙනෙතියකින් (Binoculars) වුවද කෙලින්ම බැලීම හානිකරය. කැමරාවකින්, දුරේක්ෂයක් හෝ දෙනෙතියකින් ලබාගන්නා ඡායව තිරයක්‌ මත පතිත කරවා බැලීම සුදුසුම ක්‍රමයයි. පහසුවෙන් සකස් කර ගත හැකි සූචි සිදුරු කැමරාවකින් (Pin-hole camera) ලබාගත හැකි ඡායව වුවද තිරයක් මත පතිත කරවා ගත හැකිය. ජල බේසමක ජලයෙහි හටගන්නා ඡායව බැලීමද ඇස් වලට අහිතකර නොවේ.
1955 සුර්ය ග්‍රහණයත් සමග අපේ කාන්තාවන් බොහෝ දෙනෙකු සිරුර පැහැපත් වීම සඳහාත්, තාරුණ්‍යය වර්ධනය කර ගැනීම සඳහාත් මේ අවස්ථාවේදී  වදකහ කෂාය බිම නිසා මහත් කරදර වලට මුහුණ පෑහ. වදකහ කෂාය පිලිබඳ වැඩි ප්‍රසිද්ධියක් නොතිබුණනත් ගොඩ වෙදුන්ගේ සහ කුට ජෝතිශ්ශාස්ත්‍රඥන්ගේ ප්‍රචාර  ආරංචි මාත්‍රයෙන් හෝ දැනගත් කාන්තාවන් පුර්ණ සුර්ය ග්‍රහණය පවතින වේලාවේදී වදකහ කෂාය බි තිබේ. මෙය කුඩු වශයෙන් විකිනීමට සකස් කර තිබුණු බව දැනගන්නට තිබේ.  සමහරවිට වදකහ වලින් අධික ලෙස බඩ විරේක වීම සහ වමනය යාම සිදුවන  බව ඔවුන් නොදැන සිටින්නට ඇත. එදින දහවල් වන විට රටෙහි සියලුම ආරෝග්‍ය ශාලා අධික ලෙස බඩ  විරේකයෙන් සහ වමනයෙන් පිඩා විඳින කාන්තාවන්ගෙන් පිරි ඉතිරි යන්නට විය.
මෙය රටෙහි මහත් ආන්දෝලනාත්මක සිද්ධියක් විය. ඊටපසු දිනපතාම වාගේ, අධික විරේකය නිසා තදබල ලෙස ඔත්පලවූ කාන්තාවන් ගැනද අසන්නට ලැබුණි. ඒ දිනවල කවි කොළ, කවි පොත්, පත්‍ර වාර්තා, ගී, සින්දු, බයිලා, කාටුන් චිත්‍ර  ආදියටද ‘වදකහ සුදිය’ හාස්‍ය ජනක මාතෘකාවක් විය.
‘වදකහ සුදිය’ පිළිබඳව  සමන් ද සිල්වා ගායකයාගේ බයිලා පහත  ලින්ක් එකෙන් අසන්න
https://www.youtube.com/watch?v=Zkv3CyH0-wU
සමහර තොරතුරු අන්තර් ජාලයෙනි



15 comments:

  1. වදකහ සීන් එකනං ඒ කාලෙ උනාය කියන ජනප්‍රිය මාතෘකාවක්නෙ.

    අලුත් ෆිල්ම් රෝලක් එළියට ඇදල සුද්ද නොකර තියෙන ක‍ලුපාට පටියෙන් උනත් අගේට ඉර දිහා බලන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න.
      වදකහ කතාව ඕනෑවටත් වඩා ජනප්‍රිය උනා. වදකහ බීපු අයට කාලයක් යන තුරු පාරක බැහැලා යන්න බැරුව හිටියා.
      අලුත් ෆිල්ම් රෝලක කොටසක් උනත් expose වූ ගමන්ම විනිවිද පෙනෙනවා.

      Delete
  2. චන්ද්‍රයා දිගු දුර ගෙවාගෙන ඇවිත් අහසේ පාවෙලා
    සූර්යයා හා පොළවෙ පෙම් හබ නිමා කරවයි මැදිවෙලා
    ඇස් අයා ගෙන පෙරුම් පිරුවද සූර්යග්‍රහණය බලා
    දැක කියා ගෙන සතුටු වන්නට තාම මට නැහැ හැකිවෙලා....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. විසිතුන්වන ශත වර්ෂෙ දි නැවත මෙවැනි දෙයක් වෙන්නෙ
      ඒ වන විට මොන මොනවා වෙයිද කියල කව්ද දන්නෙ
      රාහු අල්ලගන්න බවයි තවමත් සමහරු කියන්නෙ
      මේ බව දැනුවත් කළහොත් මතු පරපුර පළ ලබන්නෙ


      Delete
  3. කියෙව්වා මං කියෙව්වා

    ReplyDelete
    Replies
    1. මං නං කියෙවුවෙ නෑ ඕං

      Delete
    2. සුරංග ප්‍රසංග දෙන්නම් හොඳයි. කියවීම සහ නොකියවීම දෙකම හොඳ නිසයි comment වැටිලා තිබෙන්නේ.

      Delete
  4. කියෙව්වා මාත් කියෙව්වා

    ReplyDelete
  5. මම නම් කියෙව්වෙ නෑ ඕන්

    ReplyDelete
    Replies
    1. 22 වෙනි ශත වර්ෂය වෙන තුරු වෙන එකක නැහැ. එතකොට තමන්ටම බලා ගන්නට පුළුවනි.

      Delete
  6. දැන්නම් එක එක වයසට ඇස්වල ස්වභාවයට ගැලපෙන විදියට රේටින් කරපු IR Protectors තියෙනවනේ.. වෙල්ඩින් ග්ලාස් තමයි ලේසිම සුලභම ක්‍රමය.. වදකහ සුදිය අහල තිබ්බට ඒක මේ සුර්යග්‍රහණය හා සම්භන්ද බවක් දැනගෙන හිටියේ නෑ..

    අරවගේ විදුහල්පාතිවරයෙක් ලැබීම ඔබතුමන්ලාගේ වාසනාවක්..

    ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කල්‍යාණ,
      විදුහල්පතිතුමාගේ විදේශ හිතවතා ඒවා තිබුනේ IR Protector කන්නාඩි වෙන්නට ඇති.

      Delete