Saturday 27 May 2017

‘ළමා මිතුරු පාසැල්’ සංකල්පය යථාර්ථයක් කර ගත හැකි විය.......

 80 දශකයේ මැද හරියේදී මට අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ ‘ළමා මිතුරු පාසැල්’ (Child Friendly Schools) සංවර්ධන  ව්‍යාපෘතියක සේවය කිරීමට අවස්ථාව ලැබුණි. මෙය ක්‍රියාත්මක වුයේ වයඹ පළාතේය. ව්‍යාපෘතිය සඳහා මුල්‍ය දායකත්වය දරන ලද්දේ ආසියානු සංවර්ධන බැංකුව මගිනි.

ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන් පිරිසක් විසින් කරන ලද මුලික ශක්‍යතා අධ්‍යයනයකින් පසු  ඔවුන්ගේ නිර්ණායක වලට අනුකුලව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලැබිණ. මෙහි පළමු පියවර වූයේ ඒ සඳහා පාසල් නියැදියක් තෝරා ගැනීමයි. නියැදියට 1 සිට 5 වසර දක්වා පන්ති පැවැත්වෙන, ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට අඩු, පාසැල් 40 ක්‌ තෝරා ගත යුතු විය. යෝජිත නිර්ණායක වලින් ප්‍රධාන වශයෙන්  අවධානය යොමු කර තිබුණේ පන්ති කාමර නවීකරණය කිරීම, ශිෂ්‍ය කේන්ද්‍රික අධ්‍යාපනය සඳහා අවශ්‍ය සරල උපකරණ හඳුන්වාදීම, සිසුන් සාමුහික ක්‍රියාකාරකම් වලට යොමු කිරීම, පන්ති කාමරය අවට අලංකරණය කිරීම වැනි අවශ්‍යතා සඳහාය.

අප කණ්ඩායමට පවරණ ලද්දේ තෝරා ගත් විදුහල්වල විදුහල්පතිවරුන් සමග සාකච්ඡා කර, මාස හයක් ඇතුළතදී ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහා සැලසුමක් සකස් කිරීමයි.

සිරිත් පරිදි, අප විසින් තව දුරටත් තොරතුරු ලබාගැනීම පිණිස පාසල් නියැදියේ විදුහල්පතිවරුන් වෙත ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කළෙමු. විදුහල්පතිවරු හමුවීමට පෙර එසේ ලබා ගත් තොරතුරු විශ්ලේෂණය කර ගතිමු. එම විශ්ලේෂණය අනුව එම පාසැල් වැඩි සංඛ්‍යාවකට අවශ්‍ය වනුයේ වැසිකිලි පහසුකම් සහ ජල පහසුකම් බව පෙනී ගියේය. මෙසේ ලබාගත් දත්ත පිළිබඳව අමාත්‍යංශ නිලධාරීන්ද සමග සාකච්ඡා කර ව්‍යාපෘතියට සංශෝධන ඉදිරිපත් කළෙමු.

විදුහල්පතිවරු සමග කළ සාකච්ඡාවේදීද හෙළිවුයේ පන්ති කාමර අලංකරණයට වඩා වැසිකිළි, කැසිකිළි පහසුකම් සහ  ජල සැපයුම සඳහා ප්‍රමුඛතාව දිය යුතු බවයි. මෙහිදී එක්‌ විදුහල්පතිණියකගෙන් ලැබුණු ඛේදනීය තොරතුරු අනුව, ඇයගේ විදුහලේ ශිෂ්‍යාවන් රාශියක්ම මුත්‍ර අසාදන වලින් පෙලෙන බවත්, පාසලේ වැසිකිළි වල අයහපත් තත්ත්වය නිසා බොහෝ දැරියන් දවස පුරාම මුත්‍රා නොකර සිටින බවද පැවසුවාය. එසේම පිරිමි දරුවන් එම කාර්යය කර ගන්නේ කෙසේද කියාවත් විමසා බැලීමක්වත් නොකෙරෙන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය. අප විසින් මෙම ගැටලුව ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා වෙත යොමු කළ විට,  ඔහු ඒ පිලිබඳ සංවේගය පළකර, දරුවන් පරීක්ෂා කර බලා හැකි ඉක්මණින්  වාර්තාවක්‌ සැපයීමට ස්වේච්ඡාවෙන්ම  ඉදිරිපත්වි ය.

ප්‍රාදේශීය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේද සහයෝගය ඇතිව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් පාසල් නියැදියේ දරු දැරියන් සමුහයක් වෛද්‍ය පරීක්ෂණ වලට භාජන කරන ලදී. එම දරු දැරියන්ගෙන් 75% පමණ මුත්‍ර අසාදන වලින් පෙළෙන බව හෙළිවිය. දරුවන්ගේ දෙමාපියන්වත් මේ බව දැන සිටියේ නැත. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා විසින් මේ පිළිබඳව සවිස්තර වාර්තාවක් අප වෙත සපයන ලදී.

ව්‍යාපෘතියේ නිර්ණායක සංශෝධනය කර, වැසිකිළි, කැසිකිළි පහසුකම් සහ  ජල සැපයුම සඳහා ප්‍රමුඛතාව දියයුතු බව අපට නිර්දේශ කිරීමට සිදුවිය. මේ සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයාගේ වාර්තාවද ඉදිරිපත් කරන ලදී. මුල්‍ය ආධාර සපයන විදේශ ආයතනයද ශිෂ්‍ය කේන්ද්‍රික අධ්‍යාපනය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බැවින්, වෛද්‍ය නිලධාරි වාර්තාවක්ද සහිත අපගේ නිර්දේශ නොසලකා හැරිය නොහැකි තත්ත්වයකට පත්විය. සාකච්ඡා වට කිහිපයකින් පසු සංශෝධිත නිර්දේශ පිළිගත් ඔව්හු,  යෝජිත පාසල් වලින් හරි අඩක් පමණක් පළමු අදියරේදී සංවර්ධනය කිරීමට තීරණය කළ අතර, ඉතිරි පාසල් සඳහා දෙවන අදියරේදී ප්‍රතිපාදන ලබා දීමටත් එකඟතාව පළ කරන ලදී. එසේ කරන ලද්දේ වෙන් කරන ලද ප්‍රතිපාදන සීමා ඇතුළත, ව්‍යාපෘතිය කළයුතු නිසාය. අධ්‍යාපන බලධාරීන් එම සංශෝධනයට කැමැත්ත ලිඛිතව දන්වන ලදී.

පාසල් විස්සක් සඳහා අවශ්‍ය වැසිකිළි කැසිකිළි ඉදිකර ඒවාට නල ජල පහසුකම්ද සකස් කර ගැනීමට ප්‍රමුඛතාව දීම සඳහා මුල්‍ය ආධාර සපයන විදේශ ආයතනය එකඟ කරවා ගැනීමට අපට හැකිවිය. කෙසේ වෙතත් මේ සඳහා විදුලි බලය ලබාගත හැකි පාසල් පමණක් තෝරා ගැනීමට සිදුවිය.

එම පාසල් විස්සේ  තිබුණු ලිං අලුත්වැඩියා කිරීම, විදුලි බලය නොතිබුණු පාසල්වලට විදුලිය ලබාගැනීම, ලිංවලින් ජලය ලබාගැනීමට ජල පොම්ප සවිකිරීම, ජලය රැස්කිරීම සඳහා ජල ටැංකි සවිකිරීම, ජල නල එලීම වැනි කටයුතු රාශියක් ව්‍යාපෘතිය මගින් කරගත හැකි විය. ඒ අතරම පන්ති කාමර අලංකරණය සහ  නව  ඉගෙනුම් ආධාරක  සැපයීමද සැලකියයුතු මට්ටමකින් සිදුවිය. අවසානයේදී  යෝජිත පාසල් සංඛ්‍යාවෙන් අඩකට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ‘ළමා මිතුරු පාසල්’ ලෙස ආඩම්බර වීමට අවස්ථාවක් ලැබුණි.

අවස්ථාවෝචිත ලෙස ව්‍යාපෘති නිර්ණායක සංශෝධනය කිරීමට හැකිවීමත්, අදාළ නිලධාරීන්ගේ ඇප කැප වීමත්, විශේෂයෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා විසින් තම රාජකාරි සීමාවෙන් ඔබ්බට පවා ගොස් සකස් කරන ලද වෛද්‍ය වාර්තාවත් නිසා ‘ළමා මිතුරු පාසල්’ සංකල්පය අපටද යථාර්ථයක් කර පෙන්වීමට හැකිවිය.       


7 comments:

  1. තමා ගේ සේවාව අකුරට කරන ජනතාවත් උතුම්
    නිමා කරමින් පාසලේ ඒ ගැටළු විසඳූ එක උතුම්
    පෙමා වඩනා ළමා පරපුර රටට ජනතාවට උතුම්
    ළමා පරපුර දියුණු කරවූ මිතුරු පාසල් හැම උතුම්....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. හිතවත් දුමි
      කළහොත් සේවයක් නිතරම් හරි ලෙසට
      කාටත් ලැබිය හැකිවේ නොමඳව සතුට
      ඉන් පිළිසරණ ලැබ ගන්නා හැම අයට
      සෙතක් වේය නිසි කළ ලබනා පිහිට



      ඔබට ජයම !

      Delete
  2. තමන්ගේ රාජකාරිය හරියට වටහාගෙන වැඩ කරන ඔය වගේ අය ඉන්නවනං අපේ ළමා පරපුරට හොඳ කාලයක් උදාවෙයි.

    පාසලක වැසිකිළියක් නෑ කියනකොට ඒ ළමයි, විශේෂයෙන් ගෑණු ළමයි කොතරම් අපහසුතාවයකට පත්වෙනව ඇත්ද.

    ReplyDelete
  3. ස්තුතියි ප්‍රසන්න,
    තවමත් ඔය තත්ත්වය තිබෙන ගම්බද පාසල් ඇති මට හිතෙන්නේ. සොයා බලනවානම් පිළියම් යොදන්නට පුළුවනි. ලොකුම අඩුව ඒකයි.

    ReplyDelete
  4. කළොත් ගුරු සේවේ - සුවඳ පත මද නලම සේවේ
    නොකර එම සේවේ - වැනුම කුකවි කවි බස් කෙසේ වේ?

    ReplyDelete
    Replies
    1. විමසුම හරි අගෙයි - ඇති තතු අදත් එලෙසයි
      සමාජය එහෙමයි - මගෙ තුති ඔබට හිමිවෙයි

      Delete