පහත
දැක්වෙන මෙම පද්‍යයේ සඳහන් පරිදි, දිඹුල
ගස්වල මල් හට ගන්නේ නොමැතිද?
දිඹුල යන නමින්ද හැඳින්වෙනුයේ ශ්‍රී ලංකාවේ තෙත්
කලාපයේ මෙන්ම දකුණු ආසියානු රටවල, බහුලව දකින්නට ලැබෙන අත්තික්කා ශාකය වේ. මෙම
ශාකය අයත් වන්නේ Ficus නම් ශාක ගණයටය. බෝ, නුග වැනි ශාකද මෙම ගණයටම වැටේ. ඔබට හුරු
පුරුදු, බෝ ගස්වල හෝ නුග ගස්වල, වෙනත් මල් හටගන්නා ගස් වල මෙන්, මල් පිපී තිබෙනු ඔබ කිසිවිටක දකින්නට
නැති බව සත්‍යයකි. එහෙත් මෙම ගස්වල ගෙඩි හටගන්නා බව ඔබ නිරීක්ෂණය කර ඇත. Ficus
ගණයටම අයිති, අත්තික්කා හෝ දිඹුල් ගස් වලත් එසේමය. දිඹුල් ගසට උදුම්බර යන නමකුත් යෙදෙන බව සාහිත්‍ය
පොත්වල හමුවේ.
ශීත දේශගුණය හෝ
මධ්‍යධරණී දේශ ගුණය පවතින රටවල Ficus ගණයටම අයිති ෆිග් (Fig) නම් ශාකයේ ඵලය රසවත් පලතුරු විශේෂයකි.
මෙම ගස් වල, පෙනෙන්නට මල් නොමැතිව ගෙඩි හටගන්නේ කෙසේද? සුභාෂිතයේ
අලගියවන්න මුකවෙටි පඬිතුමා කියන්නේත්, මල් නොමැති දිඹුල් ගසකට කෙතරම් ජලය
දමා සත්කාර කලත්, මල් හට නොගන්නා බවයි. මා කලින් සඳහන් කළ කාර්ය සැසියේදී මතුවූ
ගැටලුව මෙයයි.
මල් හටගන්නා හෝ හටනොගන්නා බව සෙවීමට පෙර, මෙම Ficus
ගණයට අයිති ඉහත සඳහන් කළ ශාක කිහිපයක තොරතුරු මඳක් විමසා බලමු. අප බොහෝ දෙනෙකු දැක
ඇති අත්තික්කා ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය Ficus recemosa වේ. මේවා ගංගා, ඇළ, දොළ ඉවුරුවල වැඩෙන, සාමාන්‍ය
ප්‍රමාණයේ ශාක වේ. ශාකයේ ප්‍රධාන කඳේ සහ අතුවල ලොවි ගෙඩියක් තරම් විශාල, කහ පැහැයට හුරු කොළ පැහැති
ගෙඩි, පොකුරු වශයෙන් හටගනී. ඉදුණු අත්තික්කා ගෙඩි රසවත් පලතුරකි.
අත්තික්කා ගසට වඩා කුඩා, ‘කොට
දිඹුල’ ශාකයද ගංගා ඉවුරු වැනි ජලාශ්‍රීත ස්ථානවල වැඩෙන
ශාකයකි. මේ ශාකයේ පත්‍ර බූව සහිතය. තද කොළ පැහැති ගෙඩි හටගනුයේ අත්තික්කා වල මෙන්ම
කඳෙහිය. මෙහි ගෙඩි පළතුරක් ලෙස නොගනී. විද්‍යාත්මකව මෙම ශාකය හඳුන්වන්නේ Ficus hispida යන
නමිනි. සමහර අවස්ථාවල මෙය ‘කොට කිඹුල’ යන වැරදි නමකින්ද හඳුන්වණු දකින්නට ලැබේ.
අත්තික්කා වලට බොහෝදුරට සමාන මධ්‍යධරණී ප්‍රදේශවල සහ ශීත රටවල වැවෙන ‘ෆිග්’ (Fig) නමැති ඉතාමත් ජනප්‍රිය පලතුරු වර්ගයක්ද තිබේ. මෙම
ශාකය හඳුන්වනුයේ Ficus carica යන නමින්ය.
ෆිග් ඵලය රට
ජම්බු ගෙඩියක් තරම් විශාල, මුලින් කොළ පැහැයට තිබී පසුව දම්පැහැයට හුරුව ඉදෙන ප්‍රනීත
රසයකින් යුක්ත පලතුරකි. ඉදුණු ෆිග් ගෙඩියක රස විඳින ආකාරය මෙම දිගුව ඔස්සේ
බලන්න.
මේ කිසිම Ficus
ශාකයක
බාහිරින් පෙනෙන මල් හට නොගනී. ඒවායේ හටගන්නා ඵල / පුෂ්ප මංජරියෙන්ම සැදුණු, ගෙඩි
වල සුවිශේෂී ලක්ෂණය නිසාම උද්භිද විද්‍යාවේදී එයට cyconium යන නම ව්‍යවහාර වේ.
පුෂ්ප මංජරියම මාංශල වී එය තුළ ඉතා කුඩා පුෂ්ප හටගැනීම යන අර්ථය එයින් හැඟවේ. මෙය
සිංහල පාරිභාෂික පදමාලාවේ ‘ප්‍රාග් උදුම්බරය’ නම් රමණීය නමකින් දැක්වේ. මෙය පරිණත වී හටගන්නා ඵලය 'උදුම්බරය' නමින් හැඳින්වේ. (මෙසේ නම් කිරීමට
හේතුවක් තිබේ).
අත්තික්කා, නුග, බෝ වැනි ඕනෑම
Ficus ශාකයක උදුම්බරයක් දික් අතට කපා බැලුවහොත් අපගේ ගැටලුවට
විසඳුමක් පහසුවෙන් ලබාගත හැකිය.
|
මෙහි දැක්වෙනුයේ, උදුම්බරයක දික් කඩක සටහනකි. (තනි
පුෂ්පය සියවරක් පමණ විශාලනය කර ඇත) මෙම
දික් කඩ හොඳින් නිරීක්ෂණය කළ විට, මාංශල උදුම්බරය තුළ කුඩා පූමංගි (male) සහ ජායංගි (female) පුෂ්ප රාශියක් තිබෙන බව දකින්නට ලැබේ. පුෂ්ප පරිණත වන විට උදුම්බරය අග්‍රයේ ඇති
සිදුර විවෘතවේ. මෙය හරහා ඇතුල් වන කෝඳුරුවන් වැනි කුඩා කෘමින් පුෂ්ප පරාගණය කරති. උදුම්බරයක්
තුළ කුඩා පුෂ්ප දහස් ගණනක් තිබේ. පරාගණයෙන් පසු මාංශල උදුම්බරය තුළ ඇති සෑම පුෂ්පයකින්ම
ඉතා කුඩා බීජය බැගින් හටගනී.
ඉදුණු ෆිග් උදුම්බරය ඉතා රසවත් පලතුරකි.
සුභාෂිත කතුවරයා සිතන්නට ඇත්තේ, සල්මලක් හෝ නා
මලක් තරම් විශාල පුෂ්ප ගැන වන්නට ඇත. සාමාන්‍ය අත්කාචයක් තුලින් බැලීමෙන් උදුම්බරය
තුළ ඇති මෙම කුඩා පුෂ්ප හඳුනා ගැනීම පහසුය. මේ නිසා Ficus ශාක, සපුෂ්ප ශාක බව නිගමනය කළ හැකිය.
ප්‍රායෝගික නිදර්ශනද සහිතව කරන ලද මෙම විස්තරය
මගින් කාර්ය සැසියේදී මතුවූ ගැටලුව නිරාකරණය කර ගත හැකි විය.
· අත්තික්කා ගෙඩියට උදුම්බර නාමය ගැලපීම ගැනද
සාහිත්‍යයේ දැක්වෙන පැරණි සිද්ධියක පසුබිමක් තිබේ. එය මෙසේය:
අපේ සාහිත්‍යයේ, ජාතක පොතහි දිගම ජාතක කතා වස්තුව උම්මග්ග ජාතකයයි. මෙහි අතුරු කතාවක් ලෙස සිරි
කාලකන්නි ප්‍රශ්නය දක්වා තිබේ.
දිසාපාමොක් ඇදුරුතුමාගේ දක්ෂතම ශිෂ්‍යයා පිංගුත්තර නම් තරුණයෙක් විය. ඇදුරු තුමාගේ සිරිත අනුව, ඔහුගේ දක්ෂතම ශිෂ්‍යයා වන පිංගුත්තරට, තම දියණිය විවාහ කර දෙන ලදී. මේ තරුණයා ස්ත්‍රීන් ඇසුරට බොහෝ අකමැති කෙනෙකි. විවාහ වී නව මනාලිය සමග, සිය ගම බලා යන ගමනේදී ඔවුනට කුසගින්නක් හට ගත්තේය. අතරමග ඉදුණු ගෙඩි පිරී තිබුණු අත්තික්කා ගසක් දකින්නට ලැබුණි. පිංගුත්තර ගසට ගොඩවී, ගෙඩි කඩා කන්නට පටන් ගත්තේය. බිම සිටි කාන්තාව ඔහුගෙන් කෑමට අත්තික්කා ගෙඩි ඉල්ලු විට “ඇයි ගසට නැග ගෙඩි කඩා ගන්නට තිට අත් පා නැද්ද?” කියා ඔහු ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
ඇයට, තම
සැමියාගෙන් පිළිසරණක් නැති බව දැනගත් විට, බඩගිනි නිසාම, ගෙඩි කඩා කෑම සඳහා ගසට ගොඩවීමට
සිදුවිය. ඇය ගසට ගොඩවූ වහාම ගසෙන් බැසගත් පිංගුත්තර,
ඇයට ගහෙන් බැසීමට නොහැකි වන පරිදි, ගස වටේට කටු ඉපල දමා පැන ගියේය. කාන්තාවට ගසෙන්
බැස ගැනීමට නොහැකිව ගස උඩම සිටියාය.
මේ
වෙලාවේ, වේදේහ රජු, පරිවාර සෙනග සමග ඇතුන් පිට, සංචාරයේ යන විට ගස උඩ සිටින, මේ
කාන්තාව දකින්නට ලැබුණි. ඇයගේ රූප ශෝභාවට රජුගේ සිත ඇදී ගියේය. හිමිකාරයෙක් නැති වස්තුව තමන් සතු වන නිසා, රජතුමා ඇය තමන් භාරයට ගෙන අග මෙහෙසිය
කරන්නට යෙදුණි. අත්තික්කා නොහොත් උදුම්බරා ගහක් උඩ සිට හමු වුන නිසා ඇයට “උදුම්බරා
දේවිය” කියා නම තබනලදී.
අපේ
පාරිභාෂික වචන සකස් කිරීමේදී cyconium යන
දිඹුල් හෝ අත්තික්කා මාංශල ඵලයට ‘උදුම්බරය’ යන නම ලැබී
තිබෙන්නේ මේ සිද්ධිය ආශ්‍රීතව බව පෙනේ.
Ficus ගණයේ සමහර ශාක, ඈත අතීතයේ සිටම, මිනිසාගේ සංස්කෘතික
සහ ආගමික කටයුතු හා බැඳුනු තොරතුරු හා
සමබන්ධ වී ඇති බව දකින්නට
ලැබේ.
1. ගෞතම බුදුරජාණන් වහන්සේට භාවනානුයෝගීව වැඩ සිට, බුද්ධත්වය ලබාගැනීමට සෙවන දුන්, Ficus ගණයට අයත් පූජනීය වෘක්ෂය වනුයේ, ජය ශ්‍රී මහා බෝධියයි. එම උදාර සිද්ධිය නිමිති කරගෙන, බෝ ශාක, Ficus religiosa යන නමින් හැඳින්වේ. ඉන්දියාවේ ජය ශ්‍රී මහා බෝධියේ අංකුරයක් ලෙස අනුරාධපුරයේ රෝපණය කර තිබෙන, ශ්‍රී මහා බෝධියට වසර 2250 කට වැඩි ඉතිහාසයක් තිබේ. ශ්‍රී මහා බෝධිය ලොව වාර්තා ගත, පැරණිම රෝපණය කරන ලද ශාකය ලෙසද, ඉතිහාස ගත වී ඇත. ඝර්ම කලාපීය වනාන්තර වල බහුල, Ficus benghalensis යන නමින් හැඳින්වෙන නුග ශාකද බෞද්ධ ඉතිහාසයේ බොහෝ සිද්ධි හා සමබන්ධව පවතී.
2. මැද පෙරදිග නිජ භුමිය වන Ficus carica, ෆිග් (Fig) ශාකයද, ක්‍රිස්තු ආගමේ සමහර සිද්ධි හා බද්ධව පවතින බව පෙනේ. හීබෲ බයිබලයේ සඳහන් වන තුන්වන ශාකය ෆිග් ශාකයයි. එසේ සඳහන් වන පළමු සහ දෙවන ශාක, ජීවන ශාකය සහ ප්‍රඥා ශාකය වන අතර තුන්වැන්න සඳහා දක්වා ඇත්තේ ෆිග් (Fig) ශාකයයි. මෙයට අදාළ Genesis 3:7 බයිබල් පාඨය මෙසේය:
The fig tree is the third tree to be mentioned by name in the Hebrew Bible. The first is the Tree of life and the second is the Tree of the knowledge of good and evil. Adam and Eve used the leaves of the fig tree to sew garments for themselves after the Fall, when they realized that they were naked (Genesis 3:7). ආදම් සහ ඒව දැක්වෙන චිත්‍ර සටහන් වල, නග්න බව වැසීම සඳහා ෆිග් ශාක පත්‍ර යොදා ගනු ලබන්නේ මෙම බයිබල් වැකිය ආශ්‍රීතව විය හැකිය.
3. මුස්ලිම් බැතිමතුන්ගේ, ශුද්ධ කුරානයේද, (Quran, 95:1) වාක්‍යයෙන් ෆිග් ඵලයෙන් ලැබෙනමහත් ඵල ප්‍රයෝජන සහ එහි වැදගත් කම ගැන විග්‍රහයක් කර තිබෙන්නේ මෙසේය:
මම ෆිග් සහ ඔලිව් නාමයෙන් (දිවුරමි)
( The reference to the Fig fruit in the first verse of Surat at-Tin, is a wisest one in terms of the benefits imparted by this fruit )
මෙම
කරුණු ගැන සිතා බලනවිට, Ficus ගණයට අයත් ශාක, මිනිසාගේ ආරම්භ යුගවල සිටම, මිනිසාට මහත් ඵල ප්‍රයෝජන
ලබාදී ඇති බවට බොහෝ සාක්ෂි සොයා ගත හැකිය.
අපගේ ඇසට, දුරක සිටම පෙනෙන පුෂ්ප නොදැරුවත්,
මෙම ශාකවල උදුම්බරය තුළ, කුඩා අන්වීක්ෂීය පුෂ්ප, දහස් ගණනක් ඇත. මාංශල උදුම්බරය
තුළ සැඟවී තිබෙන ඉතා කුඩා පූමංගි පුෂ්ප මගින්
ජායංගි පුෂ්ප පරාගණය කිරීම සඳහා, සමනලයින්, මිමැස්සන්
වැනි කෘමින්ට ඇතුලට රිංගා යාමට නොහැකිය. ඒ වෙනුවට එම කාර්යය සඳහා උදුම්බරය අග්‍රයේ
ඇති, ඉතා කුඩා විවරය හරහා යාමට හැකියාව තිබෙන කෝඳුරුවන් වැනි කුඩා කෘමින්
අනුවර්තනය වී තිබේ.
ස්වභාව ධර්මයේ අපූර්ව සිදු වීමක් වන මෙය, ශාක සහ සත්ත්ව විශේෂ අතර සහසම්බන්ධතාව
සිදුවන ආකාරයට සිදුවී ඇති පරිණාමයේ, හොඳම
උදාහරණයක් ලෙසද සැලකිය හැකිය.
(බයිබලයේ සහ කුරානයේ පාඨ අන්තර්ජාලයෙනි.)
නොදැන සිටි දෙයක් පිළිබඳ විස්තරයක්. අගෙයි.
ReplyDeleteකුසුමක් නොමැති කිව්වට මල් පිපෙනවලූ
ReplyDeleteඵලයක් ලෙසට බාහිරයට පෙනෙනවලූ
දවසක් පාසලේදී මෙය උගත්තෙලූ
ලිපියක් නිසා දැණුමක් හැම ලබන්නෙමූ....
උසස්පෙල පන්තියෙ පාඩම මතක් වුනා මේ ලිපිය බලද්දි.
ජයවේවා!!!
ස්තුතියි දුමී,
Deleteඇසට පෙනෙන දේ විතරයි දකින්නේ.
නොපෙනෙන තවත් බොහො දේවල් තිබෙන්නේ
නව විදු දැනුම නිති විසඳුම් සොයන්නේ
හැකි සැම විටම ඒවා ගැන ලියන්නේ
ඔබට ජයම !
“Figs are delicious with soft cheese and ham,
ReplyDeleteToast is quite scrumptious with butter and jam,
Eggs are improved by parsley and salt,
But milkshakes are best with strawberries and malt.”
― Angelica Banks
Pra Jay,
DeleteThank you for sending the poem which describes a delicious meal which includes fig fruits.
In our garden there is a fig tree full of fruits these days. It is spring over here now.
I want to try your recipe when the fruits are matured.
Apart from that, nothing like fully ripe figs. You can eat a dozen at once.
අවුදුම්බර භවං පුෂ්පං
ReplyDeleteශ්වේත වරණංච කාකයෝ
මත්ස්‍ය පාදේ ජලේ පේශ්‍යාත්
ස්ත්‍රී චිත්තං න විශ්වසේත්
සොලෝකයේ තේරුම දන්නවද ?
ස්තුතියි මල්ලී,
Deleteසංස්කෘත නොදන්නවා වුවත් ශ්ලෝකයේ අදහස තේරුම් ගන්නට පුළුවනි.
එහි පළමු පදයට අපි විසඳුමක් සොයා ගෙන තිබෙනවානෙ.
දෙවෙනි පදයට ගැලපෙන ආකාරයේ කපුටන් ගැන නම් අසා තිබෙනවා. ජාන විකෘති වීම නිසා මෙය සිදුවිය හැකියි. තුන්වෙනි පදයේ ආකාර 'මත්ශ්‍යයින්' සිටිනවාද කියා දන්නේ නැහැ.මහා සාගරයේ මෙතෙක් සොයා නොගත් දේ බහුල නිසා එවැනි මත්ශ්‍යයින් සිටින්නට පුළුවනි.
හතරවන පදය ගැන නම් ගන්නා තීරණ පුද්ගල බද්ධ වන අතරම, ඒවා අවස්ථාව අනුව සාපේක්ෂ වන බවයි මගේ හැඟිම.
Mud skippers
Deleteස්තුතියි මධ්‍යස්ත,
Deleteමඩ කරියා හෝ මඩ කනයා යන නම් වලින් හඳුන්වනු ලබන Mud skipper මිරිදිය මත්ස්‍යයා උගේ පූර්ව වරල් යුගලය භාවිත කරමින් ඉදිරියට ඇදෙනවා. මෙය ඇත්ත වශයෙන්ම පාද මාරුවෙන් මාරුවට තබා කරන ඇවිදීමට වඩා වෙනස් චලනයක්. ඉහත ශ්ලෝකයේ අදහසට තර්කයක් වශයෙන් මෙයත් 'ඇවිදීමක්' ලෙස ගණන් ගනිමු. Mud skipper 'ඇවිදීම' මෙම දිගුවෙන් බලන්න. https://youtu.be/FLh4ODMBGJE
හොඳ දැනුවත් කිරීමක්. මාත් පොඩි දෙයක් ඉදිරිපත් කරන්නම්. මෙහි ඇත්තේ පුෂ්ප මංජරියක් . සිංහල වචනය ප්‍රාග් උදුම්බරය . ඵලයේ නම උදුම්බරය . ප්‍රාග් උදුම්බරය ඇතුලේ ජායා පුෂ්ප යටිනුත් පුං පුෂ්ප උඩිනුත් තියෙනවා.මේ පාඩම කරන්න කලින් "අත්තික්කා මලට එන බඹරු රැවටෙති " කියන කවි පදය මම ළමයින්ට කියනවා. මුළු කවිය මතක නැහැ.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteස්තුතියි මාලිනී,
ReplyDeleteදැනුවත් කිරීම ගැන ස්තුතියි. සංශෝධනය කළා. මතකින් ලිව්වා මිස නිවැරදි පාරිභාෂික වචනය සොයා ගැනීමට හැකි වුයේ නැහැ. මට අවශ්‍ය වූයේ අපි විද්‍යාවේදී දකින සමහර දේවල් සාහිත්‍යයේ, ආගම ධර්මයේ වැනි වෙනත් ස්ථාන වලත් විවිධ ආකාරයට භාවිත කර තිබෙන බව Blog රසිකයින්ටත් හඳුන්වා දීමයි.
මෙම සටහන තවදුරටත් සංශෝධණය කර මෙහේ සිංහල පුවත් පතකටත් යවන්නට බලාපොරොත්තු වෙනවා. ඔබගේ කවියේත් ඉතිරි පද සොයාගන්න. ඒවා ප්‍රයෝජනවත් වෙනවා.
මා කලින් ලිපියක් ලියා ඇති 'බාඳුරා මල්' ගැන. ඒකත් කියවා අඩුපාඩු ඇතොත් දන්වන්න.