Wednesday, 3 October 2018

මවකගේ සෙනෙහසේ ‘සුවඳ’ …

මවකගේ සෙනෙහසේ ‘සුවඳ’ …

2004 දෙසැම්බර් මස 26 වනදා ග්‍රීනිච් වේලාවෙන් හිමිදිරි පාන්දර, 1.00 ට පමණ ඉන්දුනීසියාවේ, සුමාත්‍රා දිවයිනේ උතුරු ප්‍රදේශයට ඔබ්බෙන් මුහුදේ, මහා පරිමාණයේ භූ චලණයක් සිදුවිය. (එරට  වේලාවෙන් පෙරවරු  08.00 පමණ).  විශාලත්වය ඒකක 9.0 ක් ලෙස රිච්ටර් මාණකයේ සඳහන්වූ මෙම භූ චලණය නිසා, සුමාත්‍රා දිවයින අවට මුහුදේ සුනාමි තත්ත්වයක් හටගත්තේය. 

ඒ සමගම සිදුවූ තවත් මහා පරිමාණයේ කම්පන රාශියක් නිසා සුනාමි තත්ත්වය තවත් උග්‍ර විය. ඉන්දුනීසියාවෙන් ආරම්භ වූ සුනාමි මහා මුහුදු රළ, ඉන්දියන් සාගරය ඔස්සේ ඉන්දියාව, ශ්‍රී ලංකාව, මලයාසියාව, මාල දිවයින් සහ තායිලන්තය වැනි රටවලටත්, අප්‍රිකා  මහාද්වීපයේ නැගෙනහිර වෙරළේ පිහිටි, සෝමාලියාව, යේමනය වැනි රටවල මුහුදු තීර වලටද පැතිරී ගියේය.

ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9:40 ට පමණ සුනාමි රළ අපගේ මුහුදු තීරය ආක්‍රමණය කළේය. මෙම ව්‍යවසනය නිසා, මිනිත්තු කිහිපයකදී,  මෙතෙක් කිසිදිනක අසන්නට නොලැබුණු ආකාරයේ, මිනිස් ජිවිත සහ දේපල හානියක් සිදුවිය. ශ්‍රී ලංකාවේ මිනිස් ජිවිත 30,000 කට අධික සංඛ්‍යාවක් මේ හේතුවෙන් මරු වැළඳ ගත්හ. මහා විනාශයක් සිදුවූ හම්බන්තොට වෙරළ තීරයේ පමණක් මිනිස් ජිවිත   4500 පමණ හානි වූ බව වාර්තා විය.

නැගෙනහිර වෙරළ තීරයේ සහ හම්බන්තොට ප්‍රදේශයේ මුහුදු රළ මීටර් හතක පමණ උසට විසිරුණු බවද , මේ නිසා වෙරළාසන්න ප්‍රදේශ යට කරගත් මහා ජලකඳ, සමහර ස්ථාන වල මීටර් දෙතුන් සියයක් දුරට රට අභ්‍යන්තරයටද  ප්‍රචණ්ඩ ලෙස ගලා ගිය බවද වාර්තා විය. 

පෙ.ව 6.50 ට කොළඹින් පිටත්වූ අංක 50 දරණ  මාතර ශීඝ්‍රගාමී දුම්රිය, මේ වෙලාව වනවිට අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය පසුකර ඉදිරියට  ධාවනය වෙමින් තිබිණ. මගීන් 1700 ක් පමණ රැගත් මෙම  දුම්රිය, හික්කඩුව තෙල්වත්තේදි සුනාමි දිය රකුසා විසින් ඩැහැ ගන්නා ලදී. මෙම දුම්රියේ ගමන් කල සියලු දෙනාම පාහේ පවුල් පිටින්ම මෙම ඛෙද වාචකයට ගොදුරු වූහ.

කඩිනමින්ම මෙම සිද්ධිය ලොව පුරා විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. ලෝකයේ දස අතින්, විපතට පත් අයට උපකාර කිරීම සඳහා නොයෙකුත් ආකාරයේ සහන සේවා ගලා එන්නට විය. මේ අතර රට අභ්‍යන්තර විවිධ සංවිධාන මගින්ද සහන සේවා ක්‍රියාත්මක කරන ලදී. 

මුහුදුබඩ ප්‍රදේශවල සිදුවූ දේපල හානි, අවතැන්වීම් ආදිය පිලිබඳ සත්‍ය තොරතුරු ලබාගැනීම සහන සේවා සඳහා අත්‍යවශ්‍ය විය.  මේ සඳහා සති කිහිපයක් ඇතුලතදී ස්වෙච්ඡා  සේවා කණ්ඩායම් සියයක් පමණ ස්ථාපනය කිරීම පිණිස  ආපදා සේවා අංශය යොමු වූයේය.

එකල අධ්‍යාපන අමාත්‍යංශයේ සේවය කළ මටද, මෙයින් එක් කණ්ඩායමක් භාරව යාමට අවස්ථාව ලැබිණ. මගේ කණ්ඩායමේ විශ්ව විද්‍යාල සිසුන් සහ තවත් ස්වේච්ඡා සේවා තරුණයින් දස දෙනෙක් විය. අපට පැවරෙන වැඩ කටයුතු පිළිබඳව එක්දින කාර්ය සැසියකින් පසු, අවශ්‍ය ලියකියවිලි සහිතව, ආපදා සිදුවී ඇති ස්ථාන වලට යාමට පහසුකම් සලස්වන ලදී. 

අපට යාමට සිදුවුයේ තංගල්ල නගරය අසල මුහුදු තීරයටය. එහි විහාරස්ථානයක තාවකාලික නවාතැන් ලැබිණ. එහි මුහුදු තීරයේ කිලෝමීටර තුනක් පමණ ප්‍රමාණය අපට අධීක්ෂණය කිරීමට සිදුවිය.

විනාශවූ ගෙවල් දොරවල්, වතුපිටි, දේපල ආදිය දුටු  අප කවුරුත් මහත් සංවේගයට පත්වූවෙමු.  විනාශය නිසා ඇතිවූ සුන්බුන් මත එකතුවූ, මුහුදු මඩ සහ සමහර ස්ථානවල වැසිකිලි වලවල් උතුරා යාම නිසා ගලාගොස් ඇති මිනිස් අසූචි, තැනින් තැන තිබුණු මියගිය සතුන්ගේ කුණුවෙමින් පැවති  සිරුරු ආදිය නිසා ඇතිවූ දුර්ඝණ්දයද නොතකා, අපට මහත් පරිශ්‍රමයකින් නියමිත කාර්යයන් කිරීමට සිදුවිය. 

කෙතරම් බාධක ඇතත් අපගේ සමීක්ෂණ කටයුතු ඉතාමත් නිවැරදිව කිරීමට අපි සමත් වූයෙමු.

සමීක්ෂණ කටයුතු ආරම්භ කර තුන්වන දිනයෙදී, එක්සත් ජාතීන්ගේ ස්වේච්ඡා (United Nations Volunteers – UNV) සහන සේවා කාර්යාංශයේ කාන්තාවක්ද, අපගේ කණ්ඩායමට සම්බන්ධ කරන ලදී. ඇය ළමා මනෝ විද්‍යාව පිළිබඳවද අධ්‍යයනයක් කර ඇති තැනැත්තියක වුවාය. 

තුන්වන දිනයේ සිට, අපට වැඩිකාලයක් ගත කිරීමට සිදු වූයේ, ඒ වන විට සහන කඳවුරු වල රඳවා සිටි අයගේ තොරතුරු ලබාගැනීමටය. මෙම ස්ථානවල සිටි දෙමාපියන් අහිමි වූ දරුවන්, දරුවන් අහිමි වූ දෙමාපියන් සහ  මේ කිසි දෙයක් ගැන හැඟීමක් නොමැති ළමා ලපටියන්ගේ ඛෙද වාචක අසා අපගේ ඇස්වලටද   කඳුළු ගලා ආ අවස්ථා එමටය.

අප කණ්ඩායමට එක්වූ විදේශීය කාන්තාව, ස්වීඩන් ජාතික, විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් වුවාය. එරට විශ්ව විද්‍යාලයයක, පෙරදිග භාෂා පිලිබඳ අධ්‍යාපනය ලබිමින් සිටි, කැරොලින් නම්වූ ඇය, චතුර ලෙස සිංහල කතාකිරීම අපට පුදුමයට කරුණක් විය. සිංහල දන්නා නිසාම, ශ්‍රි ලංකාවේ සුනාමි ආපදා කටයුතු සඳහා තමන් විශේෂයෙන් තෝරාගන්නා ලද බව ඇය සතුටින් ප්‍රකාශ කළාය. 

පිරිපුන් දේහ ලක්ෂණ සහ සුදු හම සහිත ඇය, හොඳින් සිංහල කතාකළ නිසාම, අනාථ කඳවුරුවල සිටි කාන්තාවන් අතර  ඉතාමත් ජනප්‍රිය වූවාය. බොහෝ විට කුඩා දරු දැරියන් ඇය පසුපස යමින් ඇයගෙන් නොයක් දේ ප්‍රශ්න කරන බව අපට දකින්නට ලැබිණ. කුඩා දරුවන් මුහුණපා සිටින අසහනයෙන්, මොහොතකට හෝ, ඔවුන් මුදාගැනීම ඇය මහත්සේ ප්‍රිය කළාය.

දින කිහිපයකින්ම ඇය දරුවන්ගේ ‘සුදු අම්මා’ විය.
  
පසු දිනක, අපට දෙමාපියන් අහිමිවූ දරුවන් පමණක් සිටින අනාථ කඳවුරක තොරතුරු ලබාගැනීමට සිදු විය. එහිදීද කුඩා දරුවන් ‘සුදු අම්මා’ සමග මහත්සේ කුළුපග විය. එහි සිටි වයස අවුරුදු තුන හතර පමණ වයසේ වූ සමහර දරුවන් ගැන කිසිම තොරතුරක් එතෙක් අනාවරණය වී නොතිබුණි. 

මේ අතර, වයස අවුරුදු පහක් හයක් පමණ විය හැකි එක් දැරිවියක් අන් අයගෙන් ඉවත්වී, ඇඟිල්ල උරමින්, ඉතාමත් දුක්මුසු විලාසයකින් පිටත බලාගෙන සිටිනු දකින්නට ලැබිණ. මේ බව දුටු ‘සුදු අම්මා’ ඇය වෙත ගොස් කථා කළාය. කිසි ප්‍රතිචාරයක් නොදැක්වූ දැරිය අහක බලා ගත්තාය. ඒ අසල තිබු පුටුවක හිඳගත් ඇය, දැරිය තමාගේ උකුලට ගෙන හිස අතගාමින් යමක් කීවාය. කිහිප වරක් ප්‍රශ්න කිරීමෙන් පසු දැරිය ඇයගේ නම තමාලි බව කීවාය. 

ඇස් වල කඳුළු පුරවාගත් දැරිය එක වරටම කැරොලින්ගේ  මුහුණ දෙස බලා,

‘අපේ අම්මා කෝ?’ කියා ප්‍රශ්න කළාය.

එයට පිළිතුරක් දීමට සැරසෙන විටම  දැරිය, 

‘මට ගෙදර යන්න  ඕනෑ’ කියමින් හඬන්නට පටන් ගත්තාය.

තම උකුලේ සිටි දැරියගේ හිස අතගාමින්ම ‘සුදු අම්මා’ තවදුරටත් ඇය අස්වැසුවාය.

‘මේ බලන්න......,  මම...නේ....., තමාලි දුවගේ අම්මා, බලන්නකෝ.... දුවත් මම වගේ.....මනේ...!’ කියමින් ඇය දැරිය තවත් තුරුල් කර ගත්තාය.

‘ඔයා සුදු නේ...., අපේ අම්මා ඔච්චර සුදු නැහැ.’ කී දැරිය ඇයගේ මුහුණ දෙස මඳ වේලාවක් බලාසිට,

‘කෝ ..... අපේ ‘අම්මගේ සුවඳ’ ඔයා ළඟ නැහැනේ!’ කියා  ‘සුදු අම්මා’ගේ උකුලෙන් බිමට බැස පසෙකට වුවාය.

කැරොලින්ට තරමක ලැජ්ජාවක් ඇතිවුවාක් මෙන් මට දැනිණ.

මට කථාකළ ඈ,

‘What does she mean by ‘අපේ අම්මගේ සුවඳ’? යන ප්‍රශ්නය ඉංග්‍රීසියෙන් ඇසුවාය.

දැරිය කැරොලින්ගේ ප්‍රශ්නයට දුන්  පිළිතුරේ සැඟවුණු අර්ථය සහ එය කැරොලින් තේරුම් ගත් ආකාරයත් අතර අති විශාල හිඩැසක් ඇති බව මට පහසුවෙන් වැටහී ගියේය. ඒ නිසා කැරොලින් මගෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරක් දීම සඳහා මට තරමක් දුරට කල්පනා කරන්නට සිදුවිය.

මා කල්පනා කරමින් සිටින  අතර කැරොලින්,

‘තමාලි, ඒ කියන්නේ එයාගේ අම්මගේ perfume එකක සුවඳ ගැනද?’ කියා නැවතත් මගෙන් සිංහලෙන් ඇසීය.

කැරොලින්ගේ perfume සම්බන්ධ දෙවන ප්‍රශ්නය නිසා අවස්ථාවට ගැලපෙන පිළිතුරක් දීම තවදුරටත් දුෂ්කර වන බව මට පෙනී ගියේය.

මවකගේ ‘සෙනෙහසේ සුවඳ’ සහ සුවඳ විලවුන් වර්ගයක ‘සුවඳ’ අහසට පොලොව මෙන් දුරස් බව අපගේ සංස්කෘතිය ගැන මනා හැඟීමක් නොමැති කැරොලින්ට විස්තර කිරීමට මට නොහැකි විය.

මට තමාලි ගැන මහත් අනුකම්පාවක් ඇතිවිය.  ‘අම්මගේ සුවඳ’  වශයෙන් ඇය කියන්නට ඇත්තේ මවගේ සෙනෙහස සමග තදින් බැඳී ඇති, ආඝ්‍රාණයට පමණක් සිමා නොවූ, පසිඳුරන්ටම දැනෙන  ඒ ආශ්චර්යමත් බලවේගය වන්නට ඇත. කුඩා දැරියට සෙනෙහස කැටිවූ එම ළයාන්විත භාවය, සුවඳක්ම විය හැකිය. දැරියගේ එම චිත්ත ස්වභාවය මම කැරොලින්ට විස්තර කර දීමට උත්සාහ කලෙමි. එහෙත් ඒ සඳහා නියම අර්ථය දනවන වචන මා දන්නා ඉංග්‍රීසියෙන්නම් සොයා ගැනීමට නොහැකිවිය.

අප විසින් සපයන ලද එදිනට නියමිත වාර්තාවට, මම මේ සිද්ධිය විස්තරාත්මකව ඇතුළත් කළෙමි.

මට ඊට පසු කිසිම දිනක, ඒ තමාලි හමුවී නැත.

තමාලි  දැරියගේ, හද කකියවන, ඒ දුක්මුසු වදන්වල ගැබ්වූ, මවකගේ සෙනෙහසේ නියම අර්ථය පිළිබිඹු කරනු ලබන අව්‍යාජ විග්‍රහයක් ගැන, එතෙක් මෙතෙක්, මට කියවීමට අවස්ථාවක්වත්  නොලැබුණු බවද, මෙහිලා සඳහන් කරමි.

   


          

14 comments:

  1. තමන්ගෙ කුසෙන් උපන් ළමයෙකුට මවක් දක්වන ආදරය, කොච්චර හොඳ තැනැත්තියක් උනත් වෙන කිසිම කාන්තාවකට ඒ ආකාරයෙන් දැක්විය නොහැකි බවට උදාහරණයක්.
    ඒ කාලයේ ඔය වැනි දරුවන් සිය දහස් ගණනක් ඔය තත්වයට පත් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      ඒ දින කිහිපයේදී දුටු දේ වලින් අප මහත්සේ කම්පා උනා. ඒ දිනවල නම් අසරණ වූ දරුවන්ට පිහිට වීමට ඉදිරිපත්වන අය සිටියා. දැන් ඒ සිද්ධියත් අමතකවී ඉතිහාසයට ගොස් වගෙයි. වසර 12 කට පසු තවමත් ඒ දරුවන් පාසල් යන වයසේ ඇති. ඔවුන්ට ජීවිතය සකස් කර ගැනීමට තවත් කාලයක් ගත වේවි.

      Delete
  2. ඒ සුවඳ ගැන දයා අයියේ ඔබට නෙවෙයි කිසිම කෙනෙකුටවත් හරියට විස්තර කරන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලී,
      මේ ඛේදවාචකයට මුහුණ දුන් දරුවන් සමග කතා බස් කිරීමෙන් අපට ජිවිතයේ අනිත්‍ය භාවය පිලිබඳ සෑහෙන අවබෝධයක් ලැබුණා. තමන්ගේ මව සොයන, පදිංචිවී සිටි නිවස සොයන දරුවන් දකින විට අත්වූ කනගාටුව නම් කියා නිම කරන්නට බැහැ.

      Delete
  3. බව දුක් අපේ නිතරම අඩු කර දමන
    කව දත් අපට දෙන සෙනෙහස අඩු නොවන
    නව ලොව ජයගැනීමට නිබදව දිරිය දෙන
    මව කගෙ සෙනෙහෙ කවදාවත් අඩු නොවන....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමී,
      පැල්පත වුවත් නිවහන තුල ලැබ සතුට
      එක්වී සිටිය පවුලක් ලෙස යස රඟට
      බිලිවූ නිසා මව් පිය දිය රකුසා ට
      පිළිසරණක් ඇද්ද තනිවූ දරුවන්ට ?
      ඔබට ජයම !

      Delete
  4. මේ ඉයන්වයි ප්‍රජේවයි වැඩ කනු දෙකකට හිටවන්ඩ ඕන

    ReplyDelete
  5. ස්තුතියි අටම්,
    Joke එක තේරුණේ නැහැ. 'වැඩ' ද? 'වැට'ද? වැට වෙන්න ඇති. එහෙමනම් තේරෙනවා.
    'කොහොමත් නැති එකට බලා ගියත් මදෑ !"

    ReplyDelete
  6. එදා සුනාමි රළට බිලි වූ දුම්රිය ‘සමුද්‍ර දේවී’ දුම්රිය නොවන බවත් එය අංක 50 දරන දුම්රිය බවත් වෙනස් විය යුතුය

    ReplyDelete
    Replies
    1. ඉතාමත්ම ස්තුතියි ඉනුෂා,
      ඔබ පෙන්වා දුන් වරද නිවැරදි කළා. මා ළඟ තිබුණු පැරණි සටහනක 'Queen of the sea' කියා ලියා තිබුණා. එය වැඩි සෙවීමක් නොමැතිව පරිවර්තනය කල නිසයි එසේ වන්නට ඇත්තේ.

      Delete