Wednesday 26 September 2018

කියවීම සඳහා වචන වල අක්ෂර වින්‍යාසය වැදගත්ද ?


   ම අටවන ශ්‍රේණියේ ඉගෙන ගන්නා කාලයේ අපගේ පන්ති භාරව සිටි ගුරු මහතා අපගේ ඉංග්‍රීසි ගුරුවරයාද විය. ටයි කෝට් හැඳ හිසට තොප්පියක්ද පැළඳ, පාසලට එන, තරමක් තරබාරු  ඔහු, අප විසින් රහසින් හඳුන්වනු ලැබුවේ,  Mr. Bumble යන නමින්ය. මේ නම පටබැඳුනේ ඔහු  Oliver Twist පොතෙහි එන අනාථ නිවාස පාලකයා මෙන් තරබාරු සිරුරක් සහිත වූ නිසාය. පොතෙහි  Mr. Bumble මෙන් නොව, මේ ගුරු තුමා ඉතාමත් කාරුණික, ශිෂ්‍යයින් වෙනුවෙන් ඉතාමත් කැපවීමකින් වැඩකළ ආදර්ශමත්  ගුරුවරයෙකු විය.  

එතුමා ඉංග්‍රීසි භාෂාවේ වචනවල අක්ෂර වින්‍යාසය (spelling) ගැන විශේෂ සැකිල්ලක් දැක්වූ කෙනෙකි. අපගේ ඉංග්‍රීසි රචනා වල spelling  වැරද්දක් තිබුණහොත් ඒ ගැන වහා ක්‍රියාත්මක වන ගුරුතුමා, එම වචනය නිවැරදි ලෙස  දසවරක්, අප ලවා කළු ලෑල්ලේ ලියවීමට පුරුදුව සිටියේය.

සමහරවිට පාසල් කාලයේදී ඔබටත් ඉංග්‍රීසි පාඩම් වලදී  වචන වල spelling වැරදුණු අවස්ථා කොතෙකුත් තිබෙන්නට ඇත.
  
මගේ පන්තියේ සිටි, හිතවත් මිතුරෙකු වූ පියසිරි spelling ගැන වැඩි උනන්දුවක් නොදැක්වූ අතර ඔහු තරමක් දඟකාරී කෙනක්ද විය. එක් වතාවක, පියසිරිට  තම රචනාවක ‘habit’ යන වචනය ‘habbit’ ලෙස වැරදියට ලියා තිබී, එයට දඬුවම වශයෙන්,  පන්තිය ඉදිරියට පැමිණ හරි වචනය කලුලෑල්ලේ  දසවරක් ලිවීමට සිදුවිය.

ඊළඟ සතියේ රචනාවකද, ඔහු එම වැරද්දම කර තිබෙන බව  ගරුතුමාට දකින්නට ලැබිණ. එකම වැරැද්ද දෙවරක් කිරීම ගැන දොස් පැවරූ ගුරුතුමා, පියසිරි පන්තිය ඉදිරියට කැඳවා ඔහුගේ අභ්‍යාස පොතෙහි ‘habit’ යන වචනය ලියාදී දඬුවමක් වශයෙන් එම වචනය එවලේම සිය වරක්  පිටපත් කරන ලෙසද  අණ කළේය. නිවැරදි අක්ෂර වින්‍යාසය සහිත ‘habit’ වචනයේ තිබෙනුයේ එක් ‘b’ අකුරක් බව වැඩිදුරටත් අවධාරණය කිරීම සඳහා ගුරුතුමා විසින් වචනයේ තනි ‘b’ අකුර කැපිටල් කර. ‘haBit’ යන ලෙසට ලියා දී තිබුණි.

දඟකාර පියසිරිද, එම වචනය ගුරුවරයා විසින් ලියා දුන් ආකාරයටම මැද කැපිටල් ‘B’ අක්ෂරය සහිතව ‘haBit’ යනුවෙන් සිය වරක් ලියා අභ්‍යාස පොත ගුරු මේසය මත තැබුවේය.
අභ්‍යාස පොත නැවත කියවා බැලූ ගුරු තුමා, මහ හඬින් සිනාසී, පියසිරි පන්තිය ඉදිරියට කැඳවා ‘You are a witty rascal’ කියා ඔහුගේ පිටට තට්ටු කර සිද්ධිය පන්තියට පැහැදිලි කළේය. මෙය දැනගත් අපි කවුරුත් තුෂ්ණිම්භුතව බලා සිටියෙමු.

ඊටපසු පන්තිය ඇමතු ගුරුතුමා, ඉංග්‍රීසි භාෂාවේ කැපිටල් සහ සිම්පල් අකුරු නිවැරදි භාවිතය පිළිබඳව ඉතා අගනා පාඩමක් කියා දුන්නේය. එම පාඩම මට අදත් හොඳින් මතකයේ තිබේ.

මෙම සිද්ධියට කෙලින්ම සම්බන්ධ නැතත්, ඉංග්‍රීසි භාෂාවේ වචන කියවීමේදී  spelling අවශ්‍යමද යන කරුණ පිළිබඳව පහත සඳහන් සටහන ගැන සිත් යොමු කිරීම ඔබට භාර කරමි.
 
මිනිසා ලිවීම සහ කියවීම පටන් ගන්නට ඇත්තේ ශිෂ්ටාචාරයේ කුමන අවදියේ සිටද?

මේ ගැන විවිධ මති මතාන්තර තිබෙන බව පෙනේ. ආදී මිනිසා තම මුඛයේ දත්, දිව, උඩු තල්ල, තොල්  සහ ස්වරාලය ආශ්‍රිතව නිපදවා ගන්නා ශබ්ද, වචන වලට හරවා පිටකිරීම, භාෂා උපත විය හැකි බව බොහෝ වාග් විද්‍යාඥන්ගේ මතයයි. අන්තර්ජාලයේ Wikipedia  තොරතුරු වලට අනුව භාෂාව, කථනය සහ ලිවීම මානව පරිණාමයත් සමග හැඩගැසී කාලාන්තරයක් තිස්සේ ක්‍රමක්‍රමයෙන් ගොඩනැගී ඇති බව පෙනේ.   https://en.wikipedia.org/wiki/Main_Page

පරිණාමයේදී වඳුරා, වානරයා සහ ප්‍රාග් ඓතිහාසික මිනිසා ඇතුළු වෙනත් සත්ත්ව කොට්ඨාස කිහිපයක්ම තම වර්ගයා සමග සන්නිවේදනය පිණිස විවිධ ශබ්ද භාවිත කර තිබේ.මෙහිදී සුවිශේෂී ලක්ෂණයක් වී ඇත්තේ, වඳුරන් සහ වානරයින් ශබ්ද නිපදවීම සඳහා දිව භාවිත කර නොමැති අතර, ආදිම මිනිසා ශබ්ද කිරීමේදී දිව ප්‍රයෝජනයට ගෙන ඇති බවයි. විද්‍යාත්මක වර්ගීකරණයේදී  Homo යන ගණ නාමයෙන් හැඳින්වෙන ආදී මිනිසා, තම මුඛයේ දිව, තොල් සහ අනිකුත් චලනය කළ හැකි ව්‍යුහයන් සමායෝජනය කර නිපදවන ශබ්ද කථනය සඳහා උපකාරී වන්නට ඇතැයි මතයක් තිබේ. කථනය මගින් අදහස් හුවමාරු කරගැනීම පහසු වූ අතර, පසු කලකදී යම් යම් සංකේත හැඩතල සහ රූප ඇඳීම මගින් ලිවීම ආරම්භ වී තිබේ.   

පරිණාමයේදී ලබා ඇති මෙම ජයග්‍රහණය කුමන වකවානුවකදී සිදුවී ඇතිදැයි තීරණය කිරීමට ප්‍රබල සාක්ෂි නොමැත. එසේ වුවත් ලැබී ඇති තොරතුරු විශ්ලේෂණය කිරීමෙන්, වසර මිලියන හයක් සහ අටක් අතර පෙර කාලයේදී සිටි Primate  වර්ගයේ වානරයෙකු වැනි සත්ත්වයෙකු, වානරයින් සහ ආදී මිනිසා අතර පොදු මුතුන් මිත්තා වන්නට ඇතැයි විශ්වාසයක් පවතී. මෙම ආදී මුතුන් මිත්තාගෙන්, විකසන රේඛා දෙකක් ඔස්සේ පරිණාමය සිදුවන්නට ඇතැයි හේතු දක්වා තිබේ. මෙසේ වෙන්ව සිදුවූ රේඛීය  පරිණාම දෙකෙන් එකක භාෂා හෝ කථන හැකියාව වර්ධනය වී ඇති අතර අනිකෙහි එවැන්නක් සිදුවී නොමැත. මෙම හැකියාව ලද්දෝ ආදිම Homo මානවයින් වූහ.  මානව රේඛාවේ විකසනය වූවන්ට ඒ මග යාම සඳහා, අභියෝග රාශියක් ජය ගැනීමට සිදුවිය. ඔවුනට සිරස්ව දෙපයින් ඇවිදීම, පූර්ව ගාත්‍ර අත් ලෙස භාවිතය, අල්ලා ගැනීම සඳහා අතේ ඇඟිලි හුරුකර ගැනීම, සිරස් ශරීරය ඍජුව තබාගැනීම යනාදී කාර්යයන් රාශියක් සඳහා සුරුවිරුකම් අවශ්‍ය විය. ඒ සමගම කථනය මගින් අදහස් හුවමාරු කර ගැනීමද අවශ්‍ය විය. මේ සියල්ල සඳහා වසර මිලියන ගණනක් ගතවී තිබේ. කථනය සංවර්ධනය වීමත් සමගම, එයට සමාන්තරව  ලිවිම සහ කියවීමද ආරම්භ වන්නට ඇතැයි විශ්වාස කෙරේ.    

වානර ප්‍රතිරූපයෙන් බෙදී ගිය දෙවන කොටස වානර ස්වරුපයෙන්ම තම සුපුරුදු පරිසරයට අදාළ අනුවර්තන තවදුරටත් සකසා ගනිමින් වානරයින් ලෙසටම පරිණාමය වී තිබේ. අදටත් දකින්නට ලැබෙන වානර වර්ග මෙම මගෙහි පරිණාමය වූ ප්‍රයිමේටයෝ වෙති.

දිගු කාලාන්තරයක් ඔස්සේ පරීණාමය වෙමින් කථනය, භාෂාව, ලිවීම වැනි කාර්යයන් ප්‍රගුණ කළ වර්තමාන මිනිසා Homo sapiens  ලෙස නම් කෙරේ.

වසර ලක්ෂ ගණනාවක පරිණාමයෙන් පසු දෙපයින් හිට ගැනීමට වරම් ලත් මානවයාගේ මොළයද ක්‍රමක්‍රමයෙන් වර්ධනය වී ඔහුට චින්තන හැකියාව ලැබිණ. ඒ සමගම ගින්දර සොයා ගැනීම, මෙවලම් සහ ආයුධ භාවිතය, සමාජ ව්‍යුහය සකස්වීම, සංස්කෘතියක් නිර්මාණය වීම යන සාධක නිසාද  කථනය, භාෂාව සහ ලිවීමේ හැකියාව වැඩිදියුණු විය. අද පවතින තත්ත්වයේ දියුණු භාෂා ව්‍යාප්ත වීම ආරම්භ වුයේ දැනට වසර හාරදහසකට පමණ පෙර සිටය.

වසර මිලියන තුන හතරක් තිස්සේ සිදුවූ ඒ මහා ප්‍රාතිහාර්යය නිසා වත්මන් මිනිසා මොළය වෙහෙසා වැඩකරන, ප්‍රබල චින්තන ශක්තියක්  සහිත, ස්වාභාවික සංසිද්ධි හඳුනාගත්, තාක්ෂණය මෙහෙයවන, සමාජශීලී ජීවියෙකු බවට පත්වී තිබේ.
පරිණාමය වන මානවයාට භාෂාව අවශ්‍ය වනුයේ අදහස් හුවමාරු කර ගැනීම සඳහාය. සමාජශීලී මානවයාට, භාෂාව, දිවි පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්විය.

අද ලෝකයේ රටවල් 196 ක් තිබේ. මෙම රටවල භාවිත වන විවිධ භාෂා 6500 ක් පමණ ඇත. මෙයින් භාෂා 4500 කට පමණ අකුරු ලිවීමේ හෝඩි ක්‍රමයක් තිබේ. අද ලෝකයේ බහුලම වශයෙන් භාවිත වන භාෂා කිහිපයක් අනුපිළිවෙලට මෙසේය. චීන, ස්පාඤ්ඤ, ඉංග්‍රීසි, හින්දි, අරාබි ආදී වශයෙනි.

භාෂා ව්‍යවහාරයේදී වචනවල අකුරු හරිහැටි භාවිතය හෝ අක්ෂර වින්‍යාසය (spelling) පිලිබඳව තදබල නීති රීති ආදේශ කරගෙන  තිබේ. බොහෝවිට වචනයක අකුරු, වැරදි ආකාරයකට  සටහන් වුවහොත් එම වචනයේ අර්ථයද වෙනස් විය හැකිය.

මෙසේ වුවත් යම්කිසි පාඨයක් කියවීමේදී අකුරු අනු පිළිවෙලට තිබීම  වැදගත් වේද යන්න පිළිබඳව භාෂා විශේෂඥන් විසින් විවිධ පර්යේෂණ කර තිබේ. මෙසේ කර ඇති එක් පරීක්ෂණයක් මෙහිලා සලකා බලමු.
කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ කීත් රේනර් නම් මනෝවිද්‍යාව පිලිබඳ මහාචාර්යවරයාගේ පර්යේෂණයකට අනුව වචනයක්  කියවීමේදී එහි මුල් අකුර සහ අග අකුර ප්‍රමාණවත් යයි උපකල්පනයක් ගොඩ නගා තිබේ. මෙය ඔබට කෙතරම් දුරට ගැලපේදැයි පහත දැක්වෙන සරල ඉංග්‍රීසි පාඨය කියවීමෙන් හඳුනා ගත හැකිය.

මෙය කියවීමට උත්සාහ ගන්න

වචනවල අකුරු මිශ්‍ර කර ඇති පාඨය

දැන් ඔබගේ ප්‍රතිචාරය කෙසේද? කියවීම සඳහා වචනයක අක්ෂර වින්‍යාසය අවශ්‍යමද? ඔබට ඉහත පාඨය කියවීමට හැකි වූවානම් ඔබගේ තීරණය වනුයේ කියවීම සඳහා අක්ෂර වින්‍යාසය අවශ්‍ය නැත යන්නයි. එහෙත්  ඔබට ඉහත පාඨය කියවීමට නොහැකි නම් කියවීම සඳහා අක්ෂර වින්‍යාසය අවශ්‍ය බව ඔබගේ තීරණය විය හැකිය.
දැන් එහි අක්ෂර වින්‍යාසය හරි පිළිවෙලට ඇති පහත දැක්වෙන පාඨය කියවා බලන්න.


වචන වල අකුරු නිසි පිළිවෙලට ඇති එම පාඨය

පුදුම සහගත සංසිද්ධියක් නොවේද?  ඉහත අක්ෂර වින්‍යාසය රහිත පාඨය කෙරෙහි විමසිලිමත් වීමේදී, එහි අකුරු තුනකට වඩා ඇති සෑම වචනයකම, මුල් අකුර සහ අග අකුර නියමිත පිළිවෙලට ඇති බව දකින්නට ලැබේ. මේ නිසා මෙම පාඨය කියවිය හැකි අය වචන කියවනුයේ එහි මුල් අකුර සහ අග අකුර පමණක් ගැන සිතා බලා බව පැහැදිලි වේ.
උදාහරණයක් වශයෙන් ‘understand’ යන වචනය ගනිමු. එය මුල් පාඨයේ  තිබෙනුයේ ‘uesdnatnrd’ යන ආකාරයටය. එහෙත් සෑහෙන පිරිසකට මුළු පාඨයම කියවන විට  එය කියවා තේරුම් ගත හැකිය.  කියවන්නා, එම වචනයේ  පළමු ‘u’ අකුර සහ අවසාන ‘d’ අකුර හඳුනාගෙන, ඉතිරි අකුරු අට ඉතා ඉක්මනින් මනසේ සැකසුම් කර කියවා  ගනියි.

එය මනස ක්‍රියාකරනු ලබන ආශ්චර්යාත්මක ආකාරය වේ. අපගේ මනසෙහි, කියවීම සඳහා  වචන සැකසීම සිදුවනුයේ අදාල  වචනයේ මුල් අකුර සහ අග අකුර පමණක් සැලකිල්ලට ගෙන බව මෙයින් පැහැදිලි වේ.

මිනිස් ගහණයෙන් සියයට පනස් පහකට මෙම හැකියාව තිබෙන බව කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයයේ පර්යේෂකයෝ අනාවරණය කරගෙන තිබේ.    

රේනර් මහාචාර්යවරයා මේ සම්බන්ධයෙන් කරන ලද  පර්යේෂණයකදී ඔහුගේ ශිෂ්‍යයින් දෙසියයක පමණ කණ්ඩායමකට ඉහත ආකාරයට වින්‍යාසය වෙනස් කරන ලද වාක්‍ය අසූවක් කියවීම සඳහා දෙන ලදී. සහභාගී වූ බොහෝ අයට  අක්ෂර වින්‍යාසය වෙනස් කරන ලද වාක්‍ය කියවීමේ වේගය අඩුවී තිබේ.

එම ශිෂ්‍යයින්ට  මිනිත්තුවකදී, අක්ෂර වින්‍යාසය නිවැරදි වාක්‍ය වල වචන 255 ක් කියවීමට හැකිවූ අතර, අක්ෂර වින්‍යාසය වෙනස් කළ වාක්‍ය වල වචන 227 ක් පමණක් මිනිත්තුවකදී, කියවීමට හැකිවී තිබේ.

මේ අනුව කියවීමේ වේගය අඩුවී තිබෙන්නේ 12% කින් පමණ බව හෙළිවී ඇත.

ඔබටත් වේගයෙන් පොත් පත් කියවිය හැකි  නම් ඔබද ඉහත පළමු ගණයට වැටෙන කෙනෙක් විය හැකිය.

අපගේ මනසෙහි ක්‍රියාකාරිත්වය  හා සම්බන්ධ මෙම සංසිද්ධිය ඔබම අත්හදා බලන්න.

ආශ්‍රීත ලිපි ලේඛන:


Monday 17 September 2018

ස්වභාව විද්‍යා කෞතුකාගාරය හෙවත් "ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථානය" ගැන මතක සටහනක් .........


    හැත්තෑව දශකයේදී විද්‍යා අධ්‍යාපන නිලධාරි වරයෙකු ලෙස සේවය කරද්දී, මා විසින් ප්‍රදේශයේ උසස් විදුහලක ආරම්භ කරන ලද, "ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථානයේ " පරිසරයට අදාල,  නවතම අධ්‍යාපන පිවිසුමක ආශ්වාදය ලැබූ සිසුවෙකු විසින්, මටද පිටපතක් සහිතව, Face Book සමාජ ජාලයට මුදා හැර ඇති සටහනක් මෙසේ පළ කරමි. මෙහි සඳහන් මුල් කාලයේදී ශ්‍රී ලංකාවේ පරිසර කටයුතු සඳහා අමාත්‍යංශයක්වත් නොතිබුණි. මධ්‍යස්ථානය ආරම්භ කර වසර තිහකට පමණ පසු එහි අධ්‍යයන වලට සහභාගිවී සුරු හුරුකම් ලබාගත් ඔහුගේ සොඳුරු අතීතය යළි සිහි ගන්වන අව්‍යාජ සටහන, මතක මං පෙත ලෙස නම්කර තිබේ.

 මතක මං පෙත
---------------------
තක්ෂිලාවේ ස්වභාව විද්‍යා කෞතුකාගාරය හෙවත් "ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථානය"
(
මෝදිත සෙන්දනායක)
තක්ෂිලාවේ තිබුණු ඉතා සුවිශේෂී ස්ථාන වලින් එකක් තමයි ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථානය. කවුරුත් ඕකට කිව්වේ ෆීල්ඩ් ස්ටඩි සෙන්ටර්(Field Study Centre) එක කියලා. බරසාර ඉතිහාසයකට කිමිකම් කියන තැනක්. 1978 වසරේදී , කළුතර අධ්‍යාපන ප්‍රදේශයේ විද්‍යා අධ්‍යාපන අධ්‍යක්ෂකව සිටි, දයාරත්න වීරසේකර මැතිතුමාගේ මූලිකත්වයෙන් පාසලට එක් වන මෙම මධ්‍යස්ථානය, දශක ගණනාවක් යන තුරුම ඒ වර්ගයේ පාසල් මධ්‍යස්ථාන ලෙස ලංකාවේ පැවති අතළොස්සක් අතුරින් ප්‍රමුඛතම එකක් ලෙස ඉතිහාස ගත වන ඒකකයක්.
ඕකට මම හා හා පුරා කියලා පය තිබ්බේ තක්ෂිලාවේ ශිෂ්‍යයෙක් වෙන්නත් සෑහෙන කලින්. කොටින්ම කිව්වොත් එක වසරේදිමයි. ඒක සිද්ධ වුනේ මෙහෙමයි. පළමු ශ්‍රේණියේ පාසල නිමා වෙන්නේ බොහොම කලින්. මගේ පියා තක්ෂිලාවේ උසස් පෙළ ගණිත ගුරුවරයෙක් නිසා ඔහුට පස්වරුව වන තෙක් රාජකාරි එමටයි. ඒ දවස් වල අද කාලේ වගේ සුලභ ව පාසල් ප්‍රවාහනය තිබුණේ නෑ. මේ මීට වසර 28 කට කලින්. ඒ නිසා වැඩ කටයුතු අධික බොහෝ දින වල ඔහු සිදු කලේ තක්ෂිලා ප්‍රාථමිකයේ පළමු ශ්‍රේණිය නිමා වූ සැණින් එතැනින් මා රැගෙන තක්ෂිලා මධ්‍ය විද්‍යාලයට පැමිණීමයි. එතැන ඉතුරු පැය කිහිපය ගෙවූ මගේ ප්‍රධාන රැඳවුම් මධ්‍යස්ථාන කිහිපයෙන් එකක් තමයි මේ ෆීල්ඩ් ස්ටඩි සෙන්ටර් එක.

මගේ ජීවිතය වෙනස් කිරීමට පවා මේ සුන්දර ස්ථානය සෘජුවම දායක වුනා කියා ආපසු හැරී බලද්දි මට වැටහෙන දෙයක්. ඒ විදිහට එක වසරෙන් පටන් ගත්තු මේ සොඳුරු සම්බන්ධතාවය 5 වසරේ ශිෂ්‍යත්වයෙන් පසු තක්ෂිලාවට ඇතුලත් වී 13 වසරේ උසස් පෙළින් පසු මා පාසලින් නික්ම යන තෙක්ම පැවතුනා. ඒක හරිම අපූරුයි.

මගේ කුඩා අවධියේ මේ ඇසුරේ ගෙවුණු කාලයේ මගේ මනස කුල්මත් කල දේවල් බොහොමයක් ෆීල්ඩ් ස්ටඩි සෙන්ටර් එකේ තිබුණා.

රසායනික ද්‍රාවණ වල ගිල්වා විශාල බෝතල් තුළ දමා තිබූ සත්ව නිදර්ශක, විශාල බිත්ති පුරා ආවරණය වන සේ එල්ලා තිබූ වනජීවී පොස්ටර් සහ චිත්‍ර, විශේෂයෙන්ම ප්‍රීතිවිරාජ් සත්ත්වවේදියාගේ තෙළිතුඩින් සිතුවම් වූ වනජීවී රූප බොහොම ජීවමානව පෙණුනා. ලංකාවට ආවේණික උරග, පක්ෂි, මත්ස්‍ය සහ අනෙකුත් ජීවී විශේෂ පිළිබඳ කලාගාරයක් බඳුයි මේ ශාලාව. ඇතුල් වන තැනම තිබුණු දැවැන්ත අලි හිස්කබල සහ මට මතක හැටියට ඊට පසෙකින් තිබුණු ලංකා කුළු මිව්වෙකුගේ විශාල අං යුගල සහිත හිස්කබලත් මේ ශාලාවට එක් කලේ ප්‍රතාපවත් බවක්.

හැබැයි මිනිස් හිස් කබල් සහ අනෙකුත් අස්ථි පංජර කොටස් නම් කුඩා මා යම් දුරකට බිය වූ දේවල්. නමුත් ඒවාත් අපූරුයි. තවත් විවිධාකාර සතුන්ගේ අස්ථි කොටස් සහ විවිධ දුලභ ශාක වල සංරක්ෂණය කරන ලද බීජ ආදිය මෙහි තිබුණා.

ඒ වගේම භූ ගර්භ විද්‍යාත්මක වටිනාකමින් ඉතා ඉහළ නොයෙකුත් පාෂාණ වර්ග වල නියැදි මෙහි ප්‍රදර්ශණයට තබා තිබුණා. ඒ සමහර නියැදි වෙන කිසිම තැනකින් සොයා ගත නොහැකි දේවල්. මානව පරිණාමය පිළිබඳ ආකර්ෂණීය චිත්‍ර සහ සටහන් පවා මෙහි තිබුණා. පසුකාලීනව මානව පරිණාමය පිළිබඳ තොරතුරු සොයා දැන ගැනීමේ පිපාසාව මට ඇති කලේ මේ දේවල්. 9 වසරේදී එම්.එෆ්. නේස්තුර්හ් විසින් රචනා කල, පසුව සිංහලට පරිවර්ථනය වූ "මානවයාගේ සම්භවය" පොත බැරි බැරි ගාතයේ කියවූයේ මේ ෆීල්ඩ් ස්ටඩි සෙන්ටර් එකෙන් ලැබූ උත්තේජනය නිසා.

ඊළඟට මෙහි තිබූ තවත් සුවිශේෂීම වස්තු සමූහයක් තමයි මිල කල නොහැකි පොත් පත් සම්භාරය. උද්භිද විද්‍යාවේ, සත්ත්ව විද්‍යාවේ කුඩා සිංහල පොත් පත් වගේම දෘඩ පිටකවර සහිත විශාල සාරගර්භ ඉංග්‍රීසි පොතුත් මෙහි තිබුණා. මට හොඳට මතකයි වතාවක් මා ඉතාම ලස්සන කවරයක් සහිත සඟරාවක් මෙහි දුටුවා. පසු කාලීනව මා දැන ගත්තේ ඒ සියවසකට ආසන්න ඉතිහාසයක් සහිත ලංකාවේ සුප්‍රකට ලොරිස් නම් වන ජීවී සඟරාවේ පැරණි පිටපතක් බව. කුඩා කාලයේ මේ විෂයයන් සම්බන්ධව මෙලෝ දහමක් මා නොදැන සිටියත් අපූරු ලෝකයක් මට විවෘත කල දොරටුවක් තමයි මේ ෆීල්ඩ් ස්ටඩි සෙන්ටර් එක.

මේ ශාලාවේ එක තීරුවක් ආසන සකස් කර සිසුන්ට විවිධ රූපවාහිනී වාර්තා වැඩසටහන් සහ අධ්‍යාපනික වැඩසටහන් නැරඹීමට අවස්ථාව සලසා තිබුණා. තරමක් විශාල රූපවාහිනියක් සහ ඩෙක් පීස් යන්ත්‍රයක් ඊට සම්බන්ධ කර තිබුණා. ඒ කාලේ 6 වසරේ සිට 13 වසර දක්වා ලමයි විවිධ අධ්‍යාපනික අවශ්‍යතා සඳහා ගුරුවරුන්ගේ මග පෙන්වීම යටතේ මෙහි පැමිණ ඒ දැනුම උකහා ගත්තා. සිංහරාජ වන පෙත පිළිබඳව ජාතික රූපවාහිනියේ 90 දශකයේ මුල් භාගයේ විකාශනය වූ ඉතාම සුන්දර වාර්තා වැඩසටහන සහ වෙනත් විදේශීය විද්‍යා වැඩසටහන් අපි හරිම ආසාවෙන් ඩෙක් පීස් වලින් නැරඹුවා.

මම ජීවිතේ මුල්ම වතාවට කැළණි පාලම වේදිකා නාට්‍යය නැරඹුවේ මේ ෆීල්ඩ් ස්ටඩි සෙන්ටර් එකේ ඩෙක් පීස් එකකින්. හුණු වටය 8 වසරේ පමණ නැරඹුවේ එලෙසමයි. උසස් පෙළ විද්‍යා අංශය විතරක් නෙවෙයි, කලා වාණිජ ඇතුළු මුළු මහත් තක්ෂිලා ශිෂ්‍ය ප්‍රජාවම රසවින්දනය කියන දේ හොඳින්ම රසවින්ද තැනක් එය. ගුරු භවතෙකු නැතිව හිස් වන කාල පරිච්ඡේදයක නිකරුනේ කාලය ගත නොකර පූර්ව අනුමැතිය ඇතිව මෙතැනට ඇවිත් මෙවැනි දේ නැරඹීමේ ක්‍රමවේදයක් මා පහළ පන්ති වල සිටියදී සකසා තිබුණා.

ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථානයේ අනෙක් කොටස තනිකරම දේශන ශාලාවක්. විවිධ වැඩමුළු, විෂය සමගාමී දේශන වගේ ම ආරාධිත දෙසුම් වලටත් මෙය යොදා ගත්තා. අන්තර් පාසල්, සමස්ථ ලංකා මට්ටමේ වැඩසටහන් රැසක් අතීතයේ සිට මෙහි පවත්වා තිබෙනවා. මේ දේශන ශාලාවේ ඈත කොනකින් ඇතුළතින් පිවිසුමක් තිබෙන ඉතා කුඩා කාමරයක් තිබුනා. ඒ තමයි 90 දශකයේ මුල පාසලේ පරිඝණකයක් ස්ථාපිත කල පරිඝණක කාමරය. ඒ කාලයේ ඉතාම දුලබ වස්තුවක් වුන මේ මහාර්ඝ යන්ත්‍ර රාජයා ක්‍රියාත්මක වුනේ ඩොස් මෙහෙයුම් පද්ධතියෙන්. තාත්තාගේ පිහිටෙන් දවසක් දෙකක් වගේ ඔය කාමරයට රිංගාගෙන මේක අතපත ගාන්න වගේ ම ඇරෝ කීස් වලින් ඩොස් තිරයේ රටා අඳින්න තරං මම වාසනාවන්ත වුනා. ඒ කාමරයට යාබදව එළියෙන් පිවිසුමක් තිබෙන අනිත් කාමරය තමයි ශිෂ්‍ය භට බාලක මූලස්ථානය. අද පවා එය එලෙසම ඇතැයි මා විශ්වාස කරනවා.

ඊළඟට අමතක කල නොහැකිම කොටස තමයි මේ ගොඩනැගිල්ල නිවාස කොට වැඩවසමින් සිසුන්ට සිය ජීවිතයම කැප කල ගුරු තරු. මුලින්ම මෙහි සමාරම්භක භාරකාරත්වය දැරූ කරුණාදාස මහතා මතක් කල යුතුමයි. දැන් එතුමා අප අතර නැහැ. මේ ශාලාව දෙවොලක් නම් ඒ දෙවොලට අධිගෘහිතව බොහෝ කලක් මුළුල්ලේ වැඩ වාසය කල දේව රාජෝත්තමයාණන් වහන්සේ තමා අපේ සදාදරණීය ආනන්ද පට්ටිආරච්චි ගුරුතුමා. කරුණාදාස මහතාට පසු මෙහි භාරකාරත්වය පැවරුනේ එතුමාට. තාත්තා මාව ෆීල්ඩ් ස්ටඩි සෙන්ටර් එකට ගෙනත් පාසලේ උගන්වන්නට ගියේ මෙතුමාගේ ආදරණීය රැකවරණය භාරයේ රඳවා. එතුමා ගැන වෙනම පරිච්ඡේදයක් ලියන්නට පුළුවං. කොටින්ම ආනන්ද සර් සහ ෆීල්ඩ් ස්ටඩි සෙන්ටර් එක කියන්නේ දෙකක් නෙමෙයි එකක්. ඒ දෙක එතරම් ම එකාත්මීකයි. විශ්‍රාම යන තෙක්ම මේ මධ්‍යස්ථානය ඔහු සිය දරුවෙකු සේ ආදරයෙන් රැක බලා ගත්තා.

පසු කාලීනව මෙතැනට ජනක් කුමාරසිංහ සර් එක් වෙනවා. ඒ ඔහුගේ සමහර පර්යේෂණ සහ ශාස්ත්‍රීය වැඩ කටයුතු වලට මේ නිස්කලංක ඥාණ කෝෂ්ඨාගාරයේ ඉඩ කඩ භාවිතා කිරීමට. මා කලින් කී ඉතා කුඩා පරිඝණක කාමරයේ ඒ යන්ත්‍රය බලා කියා ගනිමින් ක්‍රියාත්මක කරමින් තාක්ෂණික විෂයානුබද්ධ ඉගැන්වීමේ යෙදුණේ අපේ නන්දලාල් වීරසේකර ගුරුතුමා. මේ නන්දලාල් සර් කියන්නේ වෙන කවුරුත් නෙවෙයි ෆීල්ඩ් ස්ටඩි සෙන්ටර් එක බිහි කිරීමේ මූලිකත්වය ගත් අපේ දයාරත්න වීරසේකර සර් ගේ බාල සහෝදරයා. පසුකාලීනව එතුමා පාසලෙ පරිඝණක අධ්‍යාපනයේ මූලිකත්වය හෙබවූ අතර වසර ගණනාවක පටන් පාසල් භූමියේම ස්ථාපිත කර ඇති "හොරණ කලාපීය පරිඝණක සම්පත් මූලස්ථානයේ" මූලිකත්වය හොබවමින් කලාපයේම සිසු පරපුර දනුමින් පෝෂණය කරමින් තවමත් සේවය කරනවා.

පෙර කී පරිඝණක කාමරයට යාබදව තිබුණු අනිත් කාමරයේ පැවති බාලක ශිෂ්‍ය භට කණ්ඩය බාර ආචාර්ය වරයා ලෙස සේවය කල ගුරුතුමා සුවිශේෂී පුද්ගලයෙක්. ඔහු ගැන කිව යුතු දේ බොහොමයි. ඒ ගැන වෙනම සටහනක් තැබිය යුතුයි. මේ වන තෙක් මගේ මුළු ජීවිත කාලය තුළ එවන් ගරු කටයුතු ප්‍රතාපවත් ගුරුවරයෙකු හමු වී ඇත්තේ එක අතක ඇඟිලි ගණනටත් අඩුවෙන්. ඔහු 15 වන ජාතික ශිෂ්‍ය භට බලකායේ ප්‍රධාන අණ දෙන නිළධාරී තැන් හෙබවූ, තක්ෂිලාවේ විනය භාර සොඳුරු ආඥාදායකයාණන් වූ ලුතිනන් කර්නල් උපාලි කළුබෝවිල ගුරුතුමා. තවත් එක් අයෙකු ගැන සඳහන් කල යුතුමයි. ඔහු ගුරුවරයෙකු නොවුනත් මේ ගොඩනැගිල්ල ආශ්‍රිතව සිටි අපූරු පුද්ගලයෙක්. ඒ කම්කරුවෙකු වූ කළංසූරියයි. වෙහෙසකර වැඩක නිමාවෙන් පසු ඔහු මේ ගොඩනැගිල්ල පිටුපස කොටස සහ පසුපස තාප්පය අතරතුර ඇති සිමෙන්ති තීරුවේ සුරුට්ටුවක් උරමින් විවේක සුවයෙන් සිටීම සුලබ දසුනක් වුනා.

තක්ෂිලා ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථානය පිළිබඳ මගේ ආත්මීය මතකය එබඳුයි. එය සැබැවින්ම ඥාණ කෝෂ්ඨාගාරයක්. ස්වභාව කෞතුකාගාරයක්. දැනුම් කේන්ද්‍රයක්. විවිධ විශේෂ පාසල් සංවර්ධන ක්‍රියාවලි සහ නොයෙක් විශේෂ වැඩසටහන් වල සැළසුම් සාකච්ඡා වූ තිඹිරි ගෙය මෙතැනයි. පාසලේ විශේෂ උත්සව සහ සභාවාර වලදී මෙය නිතැතින්ම මෙහෙයුම් මූලස්ථානයක් වූයේ එහි නිරායාසයෙන්ම තිබූ වැදගත් බව නිසයි. මහේශාඛ්‍ය බව නිසයි. එයින් දුටු දේ, ඇසූ දේ සහ උකහා ගත් දෙයින් මගේ ජීවිතය විශාල බලපෑමක් වූ බව මම තරයේ විශ්වාස කරන දෙයක්. ඒ වගේම එය ඇසුරු කල ඇසූ පිරූ ගුරු භවතුන් නිසා එහි ආලෝකය ඉතා දීප්තිමත්ව පාසල එකළු කරමින් විහිදුනා. අද වන විට එය යම් අබලන් තත්වයක පවතින බව දැන ගැනීමට ලැබීම ඉතාම කණගාටුවට කරුණක්. මෙහි ඇති දුර්ලභ නිදර්ෂක, ලිපි ලේඛණ සම්භාරය මෙන්ම මේ පරිශ්‍රයද ජීවිතය මෙන් ආරක්ෂා කර ගත යුත්තේ එහි ඇති අධ්‍යාපනික සහ ශාස්ත්‍රීය වටිනාකම නිසා ම පමණක් නොවේ, එය තක්ෂිලාවේ ආත්මයේ අනුලංඝනීය උරුමයේ මහා ජීවමාන සාක්ෂියක් නිසා. අදත් එය එදා මෙන් ම නිහඬව අරලිය ගස් වියන මැදින් මහා මතක සමුදායක බර දරා නිසලව බලා හිඳී.

(Moditha Sendanayaka is  Senior Executive - Solutions Development at Sandbox)


Wednesday 12 September 2018

‘SMART’ ජංගම දුරකථන භාවිත කිරීමේ උන්මාදයක් තිබේද...... ?


   ව තාක්ෂණයේ විශිෂ්ටතම නිර්මාණයක් වන ජංගම දුර කථනය අද වනවිට, එදිනෙදා ජීවිතය සඳහා නැතුවම බැරි භාණ්ඩයක් බවට පත්වී තිබේ. ජංගම දුර කථන පහසුකම් වලට මඟ පෑදුනු  විද්‍යාත්මක සංකල්පය වන තොරතුරු තාක්ෂණ චන්ද්‍රිකා (communication satellites) ලොවට හඳුන්වා දුන්නේ, ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් නම් අභ්‍යවකාශ විද්‍යාඥයා විසින් 1945 වර්ෂයේදීය. මෑතදී මෙලොවින් සමුගත් මෙතුමා ජිවිතයේ අවසාන කාලය ශ්‍රී ලංකාවේ ගතකළේ ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙසටය.


ආතර් සී. ක්ලාක් මැතිතුමාගේ තොරතුරු තාක්ෂණ චන්ද්‍රිකා (Information satellites) නමැති නව සංකල්පයට, පහසුවෙන් තේරුම් ගතහැකි විද්‍යාත්මක සිද්ධාන්තයක් පසුබිම් වේ. මේ අනුව පෘථිවි ගෝලය මධ්‍යයේ සිට කිලෝමීටර් 42,164 ක දුරින් පිහිටි නිරක්ෂීය කක්ෂයක නැතහොත් පෘථිවි මුහුදු මට්ටමේ සිට කිලෝ මීටර් 35,787 ඉහලින් අභ්‍යවකාශයේ ඇති කක්ෂයක ස්ථානගත කරනු ලබන චන්ද්‍රිකාවක්, පෘථිවියේ  මතුපිට ඕනෑම ස්ථානයකට ජියාස්ථිතික (geostationary) ලෙස පිහිටයි.





මෙයින් අදහස් කරනුයේ, ඉහත මිනුම් වලට අනුකුලව උඩු ගුවනට යවනු ලබන  කෘතීම චන්ද්‍රිකාව පෘථිවියට ඉහලින් එකම තැනක රැඳී ඇතැයි පෙනෙන සේ කක්ෂ ගත වීමයි. මෙහිදී පෘථිවියේ භ්‍රමණ වේගයට සාපේක්ෂව චන්ද්‍රිකාවද භ්‍රමණය වීම නිසා එහි ජියාස්ථිතික පිහිටීමක් හට ගනී.
    (ඉහත  https://en.wikipedia.org/wiki/File:Geostat.gif link එක බලන්න)

ආතර් සී. ක්ලාක් අභ්‍යවකාශ විද්‍යාඥයා විසින්, තොරතුරු තාක්ෂණ චන්ද්‍රිකා ගමන් කළයුතු, මෙම පථය  සොයාගැනීම  නිසා එය Clarke orbitයනුවෙන් නම්කර තිබේ. 1965 ප්‍රියෙල් හය වන දින මුල්ම ජියාස්ථිතික සන්නිවේදන තාක්ෂණ චන්ද්‍රිකාව (geostationary communication satellite) කක්ෂ ගත කර තිබේ. දැනට මෙම කක්ෂයේ තොරතුරු තාක්ෂණ චන්ද්‍රිකා තුන් සියයක් පමණ ස්ථානගත කර ඇත.

මෙම නව සොයාගැනීමත් සමග තොරතුරු තාක්ෂණයේ මහත් පෙරළියක් සිදුවි තිබේ. දැනට ලොව පුරා භාවිත වන, එම පෙරළිකාර යෙදවුම් කිහිපයක් මෙසේය:



1.    Navigation - සිතියම් කියවීම මගින් මුහුදු සහ ගොඩබිම් ගමන් මඟ හැසිරවීම - භුමි ස්ථානීය පිහිටුම් පද්ධතිය මෙහි උපාංගයකි  (GPS System)
2.    Communication - සන්නිවේදනය, ඉලෙක්ට්‍රොනික හා යාන්ත්‍රික මාධ්‍ය මගින් තොරතුරු යැවීමේ ක්‍රම
3.    Weather - කාලගුණික තත්ත්ව දත්ත මගින් ඇතිවන සිදුවීම් නිරීක්ෂණය සහ පාලනය කිරීම පිණිස පියවර ගැනීම සහ අනාවැකි පළ කිරීම.   
4.    Earth observation - පෘථිවි නිරීක්ෂණ, වනාන්තර, වනජීවීන්, ආපදා ආදිය පිලිබඳ නිරීක්ෂණ  

මෙම දැනුම් සම්භාරයෙන්, සන්නිවේදන ක්‍ෂේත්‍රයේ අංශු මාත්‍රයක් ලෙස ගිණිය හැකි ජංගම දුර කථන භාවිතය පිලිබඳ අදහස් කිහිපයක් සඳහා පමණක් මෙහිලා සිත් යොමු කරවමි.

අද  බොහෝ සන්නිවේදන උපකරණ සහ උපාංග භාවිතයේදී SMART යන වචනය බහුලව භාවිත වේ. මෙම ඉංග්‍රීසි වචනයේ  සාමාන්‍ය භාෂා ව්‍යවහාරය සඳහා  හපන්, බුහුටි. කඩවසම්. කඩිසර, බුද්ධිමත්,  උද්‍යෝගිමත්, කැපීපෙනෙන, සුහුරු යන අදහස් රාශියක් සිංහලට ලබාගත හැකිය. එහෙත් නව සන්නිවේදන ක්‍ෂේත්‍රයේ SMART යන වචනය යෙදෙනුයේ දිගු වැකියක් මුලකුරු මගින් කෙටියෙන් හැඳින්වීම සඳහාය.


 “ස්වයං අධීක්ෂණය මගින්, විශ්ලේෂණය  සහ වාර්තාකිරීමේ තාක්ෂණය” (Self-Monitoring Analysis and Reporting Technology) යන්න ‘SMART’ ලෙස දැක්වේ. 


එම වැකියේ අර්ථයට අනුකුලව සිංහල භාෂාවෙන්  ‘සුහුරු’ යන වචනය මෙම තාක්ෂණය සඳහා හොඳින්ම ගැලපෙන බව පෙනේ. අද භාවිත වන බොහෝ ජංගම දුරකථන ‘සුහුරු’ (‘SMART’) තාක්ෂණික උපාංග වේ. ‘SMART’ යනු ඉතාමත් බුද්ධිමත්ව හැසිරෙන සහ හැසිරවිය හැකි නව තාක්ෂණයකි.


ලොව පුරා ‘SMART’ විරුදාවලිය ලැබූ මෝටර් රථ, බස්රථ, දුම්රිය, කාර්යාල, පන්ති කාමර, රුපවාහිනි, බැංකු, නගර වැනි විවිධ ස්ථාන  සහ උපකරණ වල එකිනෙකට  අදාළ සන්නිවේදන පහසුකම් සමුහය බැගින්  ස්ථාපනය කර තිබේ. 


උදාහරණයක් වශයෙන් ‘SMART’ බස් රථයක් ගතහොත්, එහි රියැදුරාට තම ආසනයේ සිට, රථය ධාවනය කරමින්,  තම ආයතනය ඇමතීම, මගියෙකුගේ ගෙවුම් පත අලුත් කිරීම, ෆැක්ස් පණිවුඩයක් ලබාගැනීම සහ යැවීම, බස් රථය ඇතුලත ගැන සුපරීක්‍ෂාකාරිවීම වැනි කටයුතු රාශියක් කළ හැකිය. ශ්‍රී ලංකාවේද මීට දින කිහිපයකට පෙර එක්තරා විදුහලක ‘SMART’ පන්ති කාමරයක් විවෘත කළ බවට ප්‍රවෘත්තියක් අසන්නට  ලැබිණ.


‘SMART’  සංකල්පයට අනුකුලව ලොව වැසි සියලු දෙනාටම ‘සුහුරු’ හෝ කඩවසම් විය හැකිනම් එය ඉතා අගනේය. ප්‍රායෝගිකව මෙම සංකල්පයට  අදාළ කරගත හැකි උපාංග රාශියක් ලොව පුරා ප්‍රචලිත වෙමින් පවතී.


‘SMART’  ජංගම දුර කථනය අධ්‍යාපන කටයුතු සඳහා ඉතා හොඳ සහායකයෙකු ලෙස සැලකිය හැකිය. එහෙත් අද අප සමාජයේ බොහෝ අය, මෙයින් නිසි ප්‍රයෝජන ගන්නේද යන්න සැකයකි. සමහරවිට එසේ සිදුවනුයේ ‘SMART’  යන්නෙහි නියම අර්ථය වන . “ස්වයං අධීක්ෂණය මගින්, විශ්ලේෂණය  සහ වාර්තාකිරීමේ තාක්ෂණය” යන්න හරිහැටි අවබෝධ කර නොගැනීම නිසා වන්නට පුළුවන. 


තවමත් බොහෝ දෙනෙකු සිතනවා වියහැක්කේ, එවැනි ජංගම දුරකථනයක් තිබීම තමන් ‘ස්මාර්ට් හෝ කඩවසම්’ ගණයට ගෙන ඒමේ සංකේතයක් ලෙස පිළිගැනෙන බවය. අද නිතර දකින්නට ලැබෙනුයේ විශ්ව විද්‍යාලවල, වෙනත් උසස් අධ්‍යාපන ආයතනවල සහ පාසල්වල අධ්‍යාපනය ලබන බොහෝ තරුණ තරුණියන්  ‘SMART’  ජංගම දුරකථන ‘සෙල්ෆි, ගොසිප්, චැට්’ වැනි සම්පප්‍රලාඵ සඳහා යොදාගන්නා බවයි. මෙම විද්‍යාර්ථීන් එවැනි දේ සඳහා නාස්ති කරනුයේ අධ්‍යාපනය සඳහා වැය කළහැකි අගනා කාලය නොවේද? අප තරුණ තරුණියන්ගෙන් කී දෙනකු පර්යේෂණ කටයුතු, නිබන්ධන, පැවරුම්, අධ්‍යාපනික තොරතුරු සෙවීම්, වාර්තා සකස් කිරීම් වැනි කටයුතු  සඳහා ජංගම දුරකථන හෝ අන්තර්ජාලය යොදා ගනිත්ද?  මෙතරම් අග්‍රගණයේ තොරතුරු සපයන උපකරණයක් හුදු විනෝදය සඳහා පමණක් භාවිත කිරීම  කාලය, ශ්‍රමය සහ ධනය නිකරුනේ අපතේ යැවීමකි.  


පසුගිය දිනක පුවත් පතක කියවූ ලිපියකට අනුව ,  ඩේවිඩ් වොන්ග් නමැති අධ්‍යාපනඥයා ප්‍රකාශ කර තිබෙන  
නව තාක්ෂණය දෙවියෙකු හෝ යක්ෂයෙක් වන්නේ මිනිසුන් එය භාවිත කිරීමට තෝරා ගන්නා ආකාරය අනුවය 
යන කියමන මෙහිලා සඳහන් කිරීම වැදගත්ය.

අපගේ තරුණ පරම්පරාවද ‘දෙවියා වෙනුවට යක්ෂයා’ තෝරාගෙන ඇති බව බොහෝ දුරට පැහැදිලි වේ. මෙයට ස්වයං පාලනයක් නොඑළඹෙන තත්ත්වයක්  උද්ගත වන්නේනම් ඒ සඳහා නීතිමය පාලන ක්‍රමවේදයක් සකස් කිරීමට සිදුවේද?  බොහෝ තරුණ තරුණියන් අතර ‘SMART’  උන්මාදයක් හටගෙන ඇත්තේදැයි කෙනෙකු තුළ  සැකයක්ද ඇතිවිය හැකිය.

‘SMART’ වීම අගතියට යන අවස්ථාද නැත්තේ නොවේ. පාසල් පද්ධතියේ මෙවැනි දේ සිදුවන එක් අවස්ථාවක් පෙන්වාදිය හැකිය. 

සිසුනට පරිසරයේ විවිධත්වයට අදාළ සංකල්ප ඉගැන්වීමේදී ‘ස්ථානීය පරිසර අධ්‍යයන’ (on-site environmental studies) යන නමින් හැඳින්වෙන -පරිසරයට පිවිස, ඇසින් දැක, කනින් අසා, නහයෙන් ආඝ්‍රාණය කර, අතින් ස්පර්ශ කර- යම් යම් ස්වාභාවික ක්‍රියා දාමයන් හඳුනා ගැනීම් ආශ්‍රිතව ඉගැන්වීමේ ක්‍රමවේදයක්  ගුරු සිසු දෙපාර්ශවයම අතර බොහෝ ජනප්‍රියවී තිබේ. එහෙත් මෙසේ එළිමහනට ගොස් ආශ්වාදයක්ද භුක්ති විඳිමින්, ලබන ඉගෙනුම වෙනුවට වීඩියෝ දර්ශන වලට පමණක් සීමා වීමේ ප්‍රවණතාවක්ද ඇතිවීගෙන යන බවක් අසන්නට ලැබේ. 

දැන් සිදුවනුයේ වනාන්තරයක අසිරිය පවා පරිගණක තිරයෙන් දැක තොරතුරු සටහන් කර ගැනීමකි. වනාන්තර අධ්‍යයනයකදී, කෙනෙකුගේ සියලුම ඉන්ද්‍රියය වලට හසුකර ගනිමින් ආශ්වාදයක්ද ලබාගත හැකි  ක්‍රියාකාරකම් මගින් ලබන සංවේදීතාවය, ‘SMART’ වීම නිසා ඇසින් ඡායාරූප පමණක් දැකීමට සීමා වුවහොත්, එය ඛේදජනක තත්ත්වයකි. මෙය ගුරු සිසු කාගේත් අවධානයට යොමු විය යුතු කරුණකි.

අධ්‍යාපනයේ පමණක් නොව වෙනත් බොහෝ ක්‍ෂේත්‍ර වලද  ‘SMART’ වීම නිසා මෙවැනි පසුබෑම් සිදුවනු දකින්නට තිබේ. ඒ කෙසේ වෙතත් පොදුවේ ගත්කළ තාක්ෂණික වශයෙන් ‘SMART’ වීම, ප්‍රගතියේ දැවැන්ත ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැකිය.

මා කලින් සඳහන් කළ පුවත් පත් ලිපියෙහි ‘SMART’ යන්න පිලිබඳ අවබෝධයක් නොමැතිව වචනයේ අර්ථය පමණක් ගෙන SMART වීමට තැත් කරන බොහෝ තරුණ පිරිස් වල මෙම උන්මාදය ‘සුහුරු කුලප්පුව’ ලෙස නම්කර තිබේ. එම අර්ථ කථනය ඒ ආකාරයටම දැක්වීම යෙහෙකැයි මටද සිතේ. ඇත්තටම එය පාලනය කරගත නොහැකි, චර්යාවක් වී ඇති  නිසා ‘කුලප්පුවක්ම’ වේ.

නුදුරු අනාගතයේදීම තරුණ පරපුර  ‘සුහුරු කුලප්පුව’ නිසා සිදුවිය හැකි ආපදා වලින් බේරා ගැනීම සඳහා මහා විප්ලවයක් කළයුතු බවට මතයක් ගොඩ නැගීමටද කාලය එළඹ තිබේ යයි විශ්වාස කරමි.
මේ ගැන අවධානය යොමු කිරීම කාලෝචිතය.
(පොතපත සහ අන්තර්ජාලය ඇසුරෙනි.)

















Monday 3 September 2018

“ලොකු උනහම, ....අපිත් විමලරත්න මහතාට .....” (ලී මෝල් හිමියාට....)


     මා සේවය කළ අධ්‍යාපන ප්‍රදේශයේ ඇති, කීර්තිමත් ඉතිහාසයක් සහිත විදුහලක උසස් පෙළ සිසුන් සඳහා පැවැත්වූ පරිසර විද්‍යා කාර්ය සැසියකට සම්පත් දායකයෙකු ලෙස සහභාගිවීමට, මටද ඇරයුමක් ලැබිණ. මා මිට කලින්ද කිහිප වරක්ම රාජකාරි කටයුතු සඳහා ගොස් තිබුණු මෙම විදුහල, නගරය මධ්‍යයේ පිහිටි සෞන්දර්යය අධ්‍යාපනය සඳහා ඉහල නමක් ලබා ඇති කේන්ද්‍රස්ථානයකි. විදුහල්  පරිශ්‍රයේ  ක්‍රමාණුකුලව වවා ඇති විවිධ ගහ කොල නිසා එය වන අරණක් ලෙස විචිත්‍රවත් වී තිබේ. ප්‍රසිද්ධ මහා මාර්ගයකට මුහුණලා පිහිටි විදුහල් භුමිය, දශක හත අටකට ඉහතදී මහා මාර්ගයෙන් වෙන් කර තිබුණේ පැළඉනි වැටකින් බව පැරණි ඡායාරූප වලින් පෙනේ.

කාලය ගෙවී යාමත් සමග, පැරණි පැළඉනි වැට වෙනුවට තාප්පයක් බැඳ තිබේ. මහා මාර්ගය පුළුල් කිරීමේ කටයුතු සඳහා ඉඩ සැලසීම පිණිස, තාප්පය ඉදිකර තිබෙනුයේ තරමක් පාසල් භුමිය ඇතුලට වන්නටය. මේ නිසා ආරම්භයේදී සිට, පැළඉනි වැටෙහි තිබී  වැඩුණු ගස් කිහිපයක් පාසලේ තාප්පයටත් මහා මාර්ගයටත් අතරේ ඉතිරිවී ඇත. 

මෙයින් එක් ගසක් ‘හොර’ ශාකයකි. දශක හත අටකටත් වඩා පැරණි විය හැකි එම ‘හොර’ ශාකය මීටර් හතළිහක් පමණ උසට වැඩුණු රූස්ස ගසකි. තනි කෙලින් ඉහලට වැඩී ඇති ගසෙහි අතු කිහිපයක් ඇත්තේ මුදුනේ පමණකි. ඒ නිසා රූස්ස හොර ගසෙන් වැඩි සෙවනක් නොලැබේ. හොර ඵලය සුළඟ මගින් ප්‍රචාරණය වීම සඳහා එයට පියාපත් දෙකක් වැනි අනුවර්තනයක්ද තිබේ. මාර්තු අප්‍රියෙල් මාස වලදී මේ ගසේ හොර ඵල (බීජ) සුළඟේ පාවී යන විට කුඩා සිසුන් ඒවා අල්ලා ගැනීම පිණිස පසුපස දුව යනුද මම දැක ඇත්තෙමි.

මෙම  හොර ශාකයේ බිජයකින්ම හටගන්නා ලදැයි සිතිය හැකි, තවත් හොර පැළයක්  මෑත කාලයේදී,  මව් ගසට මීටර් හතරක් පමණ ඈතින් තාප්පය අසලම පැළවී තිබේ. ඒ කාළයේ විදුහලේ සිටි විදුහල්පති තුමා විසින් වැටක් සකස් කරවා  හොර පැළය ආරක්ෂා කිරීම නිසා එය නිරුපද්‍රිතව වැඩී දැන් තරමක් ලොකු ‘හොර ශාක පැටියෙකු’ ලෙස දකින්නට තිබේ. මේ ගස අතු පතර විහිදී ගස යට සෙවනක්ද ලබාදේ. 
වනාන්තරයක වැඩෙනු වෙනුවට, නගරයේ ප්‍රසිද්ධ ස්ථානයක තිබෙන මේ  හොර ගස් දෙක දකින සෑම විටකම, ඒවාට උපද්‍රවයක් නොවේවා යයි මම බොහෝවිට ප්‍රාර්ථනා කළෙමි.
   
එදින නියමිත කාර්ය සැසිය සඳහා මා විදුහල් භූමියට පිවිසෙන විටම, හොර ගස් දෙක පිලිබඳ සිතුවිලි මාලාවක් සිතට නැගුණි. එකම හොර විශේෂයේ ලොකු ගසෙහි සහ කුඩා ගසෙහි දකින්නට ලැබෙන විවිධත්වය  ගැනද  මොහොතක් කල්පනා කළෙමි.

මා විද්‍යාගාරයට ගිය විගසම මා වෙත පැමිණි, ශිෂ්‍ය කණ්ඩායමේ නායකයා වන සෙනරත් එදින යෝජිත වැඩ සටහන ගැන මට මෙසේ පැවසීය.

‘සර්, අද අපේ වැඩ සටහනේ වැඩි කාලයක් මිඩංගු කරන්නේ, පාසල් වත්තේ තිබෙන තෝරාගත් ශාක විස්සක් පමණ හඳුනාගෙන, ඒවායේ විද්‍යාත්මක නම් සහ පොදු නම් සමග ගස ගැන සුළු විස්තරයක්,  නාම  පුවරු වල ලියා, ගස් අසල සවි කිරීමයි.’

එසේ කියමින් ඔහු විදුහල් පරිශ්‍රයේ, නම් කිරීම සඳහා තෝරාගෙන තිබෙන ශාක ඇති ස්ථාන දැක්වෙන සිතියමක්ද මට පෙන්වීය.

‘ඉතාම හොඳ අදහසක්නෙ’ කී මම සිතියම බලා,  විද්‍යාගාරය අසල තිබෙන ගස් සමුහය දෙස සිත් යොමු කළෙමි.

මට එකවරටම පාසල ඉදිරිපිට ඇති හොර ගස් මතක් විය.

‘මේ ලේඛනයට තව වැදගත් ගසක් ඇතුලත් වෙන්නටම ඕනෑ.’ යයි කී මම

‘ඇයි එළියේ තාප්පය අයිනේ තිබෙන හොර ගහ ඇතුලත් නොකළේ ’ යනුවෙන්  ප්‍රශ්න කළෙමි.

“ඒ ගහ දැන් අපට අයිති නැහැනේ’ සෙනරත් කීවේය.

‘එහෙම නොවෙයි. ඒකටත් නාම පුවරුවක් සවිකර අපි ඒකත් මේ ව්‍යාපෘතියටම අයිති කර ගනිමු. එතකොට ඒක සදහටම විදුහලටම අයිති ගහක්  වේවි.’ මම කීවෙමි.

සිසුහු  මගේ යෝජනාවට එක හඬින් කැමති වූහ. එයට විදුහල්පති තුමාගෙන් සහ ගුරු මහත්මා මහත්මීන්ගේද අනුමැතිය ලැබිණ.

නියමිත වෙලාවට කාර්ය සැසියේ වැඩ කටයුතු ආරම්භ විය. උසස් පෙළ සිසු සිසුවියන් පනස් දෙනෙකු සහ ගුරු මහත්මා මහත්මීන් කිහිප දෙනෙක්ද ආරම්භක සැසියට පැමිණ සිටියහ. විදුහල්පති තුමා විසින් කාර්ය සැසිය පිලිබඳ හැඳින්වීමක් කළ පසු, විද්‍යා ගුරු මහත්මියක් දිනයේ වැඩ සටහන පැහැදිලිව විස්තර කළාය. සම්පත් දායකයෙකු ලෙස පැමිණීම පිලිබඳව මා හට ස්තුති කළ ඇය, මෙවැනි ව්‍යාපෘති වල වැදගත්කම ගැන සිසුන් දැනුවත් කරන ලෙසද මගෙන් ඉල්ලීමක් කළාය.

මෙවැනි කාර්යයන් මගින් කා තුළත් පරිසරය පිලිබඳව සංවේදීතාවයක්, වැඩිදියුණු කළ හැකි බව පැහැදිලි කළ මම, පාසල් වත්ත ඉදිරිපිට තිබෙන හොර ශාකයේ අතීතය සහ ඒ අසලම තිබෙන කුඩා හොර පැළය ගැනත් දන්නා තොරතුරු කීවෙමි. ඒ ශාකද  මෙම ව්‍යාපෘතියට සම්බන්ධ කර ගත යුතු බව මම අවධාරණය කලෙමි. 
එයින් පසු එම ගස් දෙක කෙසේ හෝ රැක ගත යුතුය යන අධිෂ්ඨානයක්ද සිසුන් තුළ ඇතිවූ බව මට හැඟී ගියේය.

Dipterocarpus alatus  යන විද්‍යාත්මක නමින් හඳුන්වන මෙම හොර විශේෂය ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් බව පැහැදිලි කර,  එහි ඇති දැවමය වැදගත් කම ගැනත්, කෙලින් උසට වැඩෙන ශාකයක් නිසා, ගසේ කඳන් විදුලි රැහැන් සවි කිරීමේ කණු සඳහාද බෙහෙවින් ප්‍රයෝජනවත් බවද, පෙන්වා දුනිමි. 
මේ ශාකයට Dipterocarpus යන නම යෙදෙනුයේ ග්‍රීක් භාෂාවෙන් ‘පියාපත් දෙකක් සහිත ඵලය’ (di- දෙකක්, ptero-පියාපත්,  carpus-ඵලය)  යන අර්ථයෙන් බව තේරුම් කර දුන් මා, එම දිනවල (මාර්තු මාසයේ අග) ශාකයෙන් වැටෙන පරිණත ඵල (‘හොර කුරුල්ලෝ’) කෙතරම් දුරකට  සුළඟේ පාවී විසිරෙන්නේද  යන්න ගැන, සොයා බැලීමේ පවරුමක්ද පහසුවෙන්ම කළ හැකි බව පැවසුවෙමි.

ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ වනාන්තර වල වැඩෙන හොර ශාකය තවම වඳවී යාමේ තර්ජනයට මුහුණපා නොමැත. එසේ වුවත් වාසභූමි විනාශය සහ අත්තනෝමතික ලෙස ගස් කැපීම වහාම  පාලනය නොකළහොත් නුදුරු අනාගතයේදීම මෙම ශාකයද, IUCN රතු දත්ත පොතෙහි ‘වඳවී යාමේ’ ලේඛනයට ඇතුලත් විය හැකි  බවට තොරතුරු ලැබී තිබේ.

එදින සවස් වන විට පාසල් වත්තේ ශාක විස්සක් සහ පාර අයිනේ හොර ශාකය සඳහා සකස් කරන ලද, ශාක නාමකරණය සහ එක් එක් ශාකය පිලිබඳ කෙටි විස්තරයක්ද සහිත නාම පුවරු අදාළ ගස් අසල, බිම සිටුවන ලදී. මේ සියල්ලෙන්ම  වැඩිපුර කැපී පෙනුනේ රූස්ස හොර ගස අසල සකස් කළ නාම පුවරුවයි.

දින කිහිපයකින්ම, විදුහලේ සිසුන් විසින් කරන ලද, ශාක නාමකරණ ව්‍යාපෘතියට, විවිධ අංශ වලින් පැසසුම් ලැබී ඇත. විශේෂයෙන්ම මහා මාර්ගය අසල ඇති හොර ශාකයට “නිහඬව හඬක් නැගීම” සඳහා ඉවහල්වූ සිසුන්ට විදුහලට සම්බන්ධයක් නොමැති අයගෙන් පවා සුබ පැතුම් ලැබී තිබේ. විදුහලේද  සෑම සිසුවෙකුම පාහේ තමන් නිතර දෙවේලේ දකින හොර ශාකය පිලිබඳ තොරතුරු සහ එහි විද්‍යාත්මක නාමයද ඉක්මනටම ඉගෙන ගත්හ.

මාස කිහිපයක් ගත විය. පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට දින නියම විය. විදුහල අසල නිවසක පදිංචි විමලරත්න  මහතාද මැතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස නාම යෝජනා භාර දෙන ලදී.

මැතිවරණයට දින තුනකට ඉහතදී, පාසැල ඉදිරිපිට පාරෙන් එහා පැත්තේ ඔහුට අයිති ඉඩමේ ඡන්ද ප්‍රචාරක කාර්යාලයක් ඉදිවිය. විමලරත්න  මහතා යාබද නගරයක මහා පරිමාණයේ දැව ජාවාරම් කරනු ලබන ළී මෝලක හිමි කරුය. ඔහු මුදල් හදල් අතින් කැපී පෙනෙන පුද්ගලයෙක් විය. ඔහුගේ අවසාන ඡන්ද ප්‍රචාරක රැස්වීම එම ඉඩමේ පැවැත්වීමට සුදානම් කරන ලදී.

එදින සවස, විමලරත්න  මහතා සිනහ මුසු මුහුණින් පෙනී සිටින විශාල ඡායාරූපයක් සහිත මීටර් දෙකක පමණ පෝස්ටරයක්, කිසිවෙකුගෙන් නොවිමසා, මහා මාර්ගය අසල ඇති හොර ගසෙහි සවිකරන ලදී. මෙම දැවැන්ත පෝස්ටරය නිසා, සිසුන් විසින් විශාල ප්‍රයත්නයක් දරා සකස් කරන ලද ශාකය පිලිබඳ විස්තර ඇතුලත් පුවරුවද වැසී ගියේය. පෝස්ටරයේ “අපි විමලරත්න මහතාට” යනුවෙන් විශාල අකුරෙන් සඳහන් කර තිබිණ. මෙම අකටයුතු ක්‍රියාව දුටු බොහෝ අය කම්පා වූහ. එහෙත් කිසිවෙකු ඒ ගැන අදහස් ප්‍රකාශ නොකළහ.

අවසාන  ඡන්ද ප්‍රචාරක රැස්වීම හෙටට යෙදී ඇත.

හෙට දිනය උදාවිය.

හිමිදිරි උදයේම කුඩා හොර ශාකය අසලද තරමක් විශාල  පෝස්ටරයක්‌ දකින්නට ලැබිණ. එහි චිත්‍රයට නගා තිබුණේ 'කඳුළු සලන ගසක දුඃකිත විලාසයයි'. මේ චිත්‍රය දුටු කාගේත් ඇසට කඳුලක් උනන්නට ඇත. එහෙත් එහි අන්තර්ගත, දැඩි උපහාසය සහ ව්‍යාජෝක්තිය නිසා ඔවුන් සැනසුම් සුසුමක්ද හෙලන්නටද ඇත. එම පෝස්ටරයේ කඳුළු සලන ගසට යටින් අනික් පෝස්ටරයේ අකුරු තරමටම ලොකු අකුරෙන් “ලොකු උනහම, අපිත් විමලරත්න  මහතාට” කියා සටහන් කර තිබුණි.

මෙම දෙවන පෝස්ටරය කා විසින් සකස් කරන ලද්දක්ද යන්නත්, එය කුඩා හොර ගස යටට පැමිණියේ කෙසේද යන්නත්  කිසිවෙකු නොදත්හ.....

කෙසේ වෙතත් රැස්වීම පවත්වන වේලාව වනවිට පෝස්ටර් දෙකම අතුරුදන්වි ගොස් තිබුණි.

‘රූස්ස හොර ගස’ සහ ‘හොර ගස් පැටියා’ යන ශාක දෙකම, සාහසිකයෙකුගේ පොරොව පහරට හසු නොවී, තවමත් නිරුපද්‍රිතව තිබෙන බව දැනගන්නට තිබේ.

පාසල් සිසුන්ගේ සත් ක්‍රියාවට මාගේ ප්‍රණාමය !