Sunday, 30 April 2017

විදුහල් පරිශ්‍රයේ මුඩුබිමෙහි කුඹුරක්.................( 3. කොටස )


(විදුහල් භූමියක තිබු ජෛව විවිධත්වය සහිත බිම් කොටසක් වසර කිහිපයක් තිස්සේ, ක්‍රමයෙන් පරිණාමයවී, තාක්ෂණ විප්ලවයට හසුවී, ‘තිරසාරඉදිකිරීම් වලින් අවසන් වීම)

3  වන කොටස -  ‘තිරසාර සංවර්ධනය’ -   සියල්ල අභිබවා ක්‍රියාත්මක වෙයි.

      පරිගණක සම්පත් මධ්‍යස්ථානය එක් ‘තිරසාර’ සංවර්ධනයකි. 

’90 දශකයේ අග භාගය වනවිට අධ්‍යාපනයේ නව පෙරළියක් සනිටුහන් කරමින්, අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාසැල්වල පරිගණක මධ්‍යස්ථාන පිහිටුවීම ආරම්භ කරන ලදුව,  මෙයින් එක් මධ්‍යස්ථානයක් හොරණ තක්ෂිලා මධ්‍ය  විද්‍යාලයේද පිහිටුවීමට තීරණය කරන ලදී. මෙම මධ්‍යස්ථානය සම්පත් මධ්‍යස්ථානයක්ද වන නිසා යාම්  ඊම් පහසුවද සලකා එය මහා  මාර්ගයකට ආසන්නව පිහිටුවීමට සුදුසු බව කාගේත් මතය විය. මේ සඳහා විදුහල් භුමියේ ඇති එකම ඉඩකඩ වූයේ කලකට පෙර කාගේත් අවධානයට යොමුවූ වන වදුලක් සහිත බිමයි. මේ වන විට එ පැත්තේ මායිමේ පැරණි කම්බි වැට වෙනුවට විශාල තාප්පයක් ඉදිවී තිබුණි.
                    
                                      
                                                වන රක්ෂිතයේ කොටසක්‌

‘70 දශකයේදී ‘වන රක්ෂිතයක්’ ලෙස නම්කර, සිසු සිසුවියන්  දහස් ගණනකට පරිසර අධ්‍යයන පිළිබඳව මූලික පාඩම් ඉගෙනීම සඳහා ‘එළිමහන් විද්‍යාගාරයක්’ වූ  එම භුමියෙහි දිය සීරාව නොමැති ඉහල කොටස, නව ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා තෝරාගන්නා ලදී. තවමත් භුමියෙහි  මඩ සහිත වගුරු බිම් කොටස ඉතිරිව පවතී.

මේ වනවිට කලින් තිබූ දැකුම්කලු ‘වන අරණ’ ප්‍රිය මනාප භාවය මැකී ගොස් තරමක් වල්බිහිවී, නැවත මුඩු බිමකට පරිවර්තනය වෙමින් පැවතිණ. එසේ වුවත් ජෛව විවිධත්වයේ සමහර ලක්ෂණ ඉතිරිව තිබුණි. කළකට පෙර එම බිමෙහි, තමන් බොහෝ දේ ඉගෙන ගත් බව කීමට කිසිවෙක් දැන් නැත. දශක තුනකට ඉහතදී එම බිමෙහි අස්වද්දන ලද කුඹුරෙහි ගොයම් කපන දිනයේදී රෝහණ බැද්දගේ ගුරුතුමා සමග ගොයම් කව් ගායනා කළ සිසු සිසුවියන් අද එහි නැත. ඔවුන්  වැඩිහිටියන් වී ඇත. සමහරවිට ඔවුන්ගේ දරුවන් මෙහි ඉදිවන‘පරිගණක සම්පත් මධ්‍යස්ථානයෙන්’ දැනුම ලබා දීප්තිමත් අනාගතයක් ලබා ගනු  ඇත. සරුවට වැඩී ඇති දම්පාට මලින් බර ‘මුරුත’ ගස තමන්ට  අත්විය හැකි ඉරණම තේරී,  හෙලන ලද සුසුම් සුළඟට මුසුවූවා මිස, කිසිකෙනෙකුට ඇසෙන්නට නැත.

තීරණය කර සති දෙකකින් පමණ ගොඩනැගිල්ල සඳහා මුල්ගල තබන ලදී. එය විවෘත කිරීමේ අවස්ථාව පසුකලකදී  තක්ෂිලා වෙබ් අඩවිය විසින් වාර්තා කර ඇත්තේ  මෙසේය.

                
“..........විදුහලේ ආදී ශිෂ්‍ය සහ හිටපු අධ්‍යාපන නියෝජ්‍ය ඇමති ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මැතිතුමා, 1996.11.10 වෙනි දින මෙම පරිගණක සම්පත් මද්‍යස්ථානයට මුල්ගල් තබන ලද අතර 1998.03.28 වැනි දින එතුමා විසින්ම, සිසුන් සඳහා මෙම පරිගණක සම්පත් මධ්‍යස්ථානය විවුර්ත කරණ ලදී. පාඨමාලා ආරම්භ කීරීම 1998.09.15 වැනි දින එවකට වැවිලි කර්මාන්ත ඇමති රත්නසිරි වික්‍රමනායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරණ ලදී.” 




                   
                                          තක්ෂිලා පරිගණක සම්පත් මධ්‍යස්ථානය

පරිගණක සම්පත් මධ්‍යස්ථානය භාර වුයේ විදුහලේම සිටින පරිගණක විද්‍යා උපාධිධාරී ගුරුවරයෙකුටය. ඔහු විද්‍යාලයේම ආදී ශිෂ්‍යයෙකු විය. ‘භුමි පරිණාමයේ’ සමහර අවස්ථා ඔහු දකින්නට ඇතුවාට සැකයක් නැත. කෙසේ හෝ ඔහු තම සම්පත් මධ්‍යස්ථානය අවට මල් සහ වෙනත් ගහකොළ වවන්නට උත්සාහයක් ගෙන ඇත. එසේ වුවත් කලින් තිබුණු ජෛව විවිධත්වයට ආසන්න වීමටවත් එය ප්‍රමාණවත් නොවේ.

         පිහිනුම් තටාකය  දෙවන ‘තිරසාර’ සංවර්ධනයයි

විදුහලට අවශ්‍ය බොහෝ දේ සම්පුර්ණ වූවත්, තවත් නවීන අංගයක් වන පිහිනුම් තටාකයක්ද තිබිය යුතු බව ගුරු සිසු දෙපක්ෂයේත්, ආදී ශිෂ්‍යයින්ගේත් අදහස විය. ඔව්හු මේ සඳහා ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මැතිතුමාගෙන් ඉල්ලීමක් කරන ලදී. එතුමාගේ අනුග්‍රහය ඇතිව ජපානයේ බෞද්ධ ආගමික නායකයෙකු විසින් මෙහි බරපැන දැරීමට කැමැත්ත පළ කළේය.
 
පිහිනුම් තටාකය  ඉදිකිරීම සඳහා ස්ථානයක් සොයා ගැනීම අපහසු නොවීය. පැරණි ‘වන රක්ෂිතයේ’ ඉතිරිවී තිබෙන කොටස මේ සඳහා ගැලපෙනම ස්ථානය විය. එම ස්ථානයේ පිහිනුම් තටාකය  සකස් කිරීමට තීරණය කරන ලදී. ටික කලකින්ම වැඩ අවසන්වූ නවීන පිහිනුම් තටාකය, 2009 ජුනි මස 29 වන දින උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. 
                       
                   
                                     තක්ෂිලා පිහිනුම් තටාකය  

විද්‍යාලයේ නවතම අංගය වන පිහිනුම් තටාකය සිසු සිසුවියන් අතර ඉතාමත් ජනප්‍රිය විය. කලින් ගගේ, ඇළේ, දොළේ පැන පිහිනීමට යොමුවූ ඔවුන්ට තක්ෂිලා පිහිනුම් තටාකය  අරුමයක්ම විය. ශරීර සුවතාවය සඳහාත්, විද්‍යාත්මක පිහිනුම් ක්‍රම ප්‍රගුණ කිරීම සඳහාත් පිහිනුම් තටාකය මහෝපකාරී විය.

කලකට පෙර ‘එළිමහන් විද්‍යාගාර’ වූ ‘කුඹුර’ හෝ ‘වන අරණ’ එහි තිබුණු සේයාවක්වත් නැත. එදා පරිසරයෙන් ප්‍රායෝගිකව ලබාගත්  දැනුම අද ලබනුයේ අන්තර්ජාලයෙනි. එදා, පළාපෙත්තෙකු තණපතක් බුදින ආකාරයත්, ඒ පළාපෙත්තා කටුස්සකුගේ ගොදුරක් වීමත් සියැසින් දැක “ආහාර දාමයක පුරුක් දෙකක් දැක්කා .....” කියමින් හඬ නගා කී දරුවන් අද නැත. ඒ වෙනුවට අද දරුවන්  අන්තර්ජාලයෙන්  ආහාර දාම සිය ගණන් දකිති. එහෙත් ඔවුනට එළිමහනේදි  පළාපෙත්තෙකු හෝ කටුස්සකු හඳුනාගැනීම අපහසු කාර්යයක් වනු ඇත. එදා ‘ජංගි’ කොටයක් ඇඳගත් ගගේ, ඇළේ, දොළේ දියබුං ගැසූ කෙල්ලන්ට කොල්ලන්ට පිහිනුම් තටාකයේ එවැනි නිදහසක් නැත. එහි පනවා ඇති ‘චර්යා ධර්ම’ වලට අවනත විය යුතුය.

ජෛව විවිධත්වයේ ඉතිරිවී තිබුණ කොටසද, පිහිනුම් තටාකයේ ජලයට යටවී ගියේය. එයද සදාතනික යටවී යාමකි.

‘තිරසාර සංවර්ධනය’ මෙයද ?

‘සංවර්ධනය’ යන වචනයට ඉදිරියෙන් ‘තිරසාර’, ‘ධරණීය’ වැනි කනට මිහිරි උපමා රූපක කොපමණ යොදා ගනු ලැබුවත් සංවර්ධනය යනු කෘතීම සහ ආගන්තුක සංකල්පයක් මිස සොබාදහමේ ස්ථිරසාර භාවය සුරැකීමට අහලකින් වත් යාමට නොහැකි ක්‍රියාදාමයක් බව නොරහසකි. දශක පහක්‌ තිස්සේ නිරීක්ෂණය කරන්නට ලැබුණු ඉහත දක්වන ලද විපර්යාස (මා මෙය ‘පරිණාමය’ ලෙස නම් කළේ එය ආපසු දකින්නට නොලැබෙන නිසාය) දකින විට  ඇත්ත වශයෙන්ම ‘තිරසාර සංවර්ධනය’ මුලාවක් බව පෙනේ.   
                   (ඡායා රුප සියල්ල, ස්තුති පුර්වකව, අන්තර්ජාලයෙනි)    





Saturday, 29 April 2017

විදුහල් පරිශ්‍රයේ මුඩුබිමෙහි කුඹුරක්.................( 2.කොටස )


 (විදුහල් භූමියක තිබු ජෛව විවිධත්වය සහිත කොටසක් වසර කිහිපයක් තිස්සේ,  ක්‍රමයෙන් ‘පරිණාමය’ වී, තාක්ෂණ විප්ලවයට හසුවී, ‘තිරසාර’ ඉදිකිරීම් වලින් අවසන් වීම)

2 වන කොටස - වල්බිහිවූ කුඹුර 'ආදර්ශ රක්ෂිත වන වදුලක්' කර ගතිමු.

මෙහි ආරම්භය 1979  වර්ෂයයි. ස්ථානය හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයයි. මම ඒ වන විට  දිස්ත්‍රික්කයේ  විද්‍යා අධ්‍යාපන නිලධාරියා ලෙස සේවය කළෙමි.
විද්‍යා අධ්‍යාපන පුනරුදයක් පැවති මේ කාලයේ, රටෙහි ද්විතීය විදුහල් ආශ්‍රීතව ‘ක්‍ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථාන’ පිහිටුවීමේ නියාමක ව්‍යාපෘතියක්  අධ්‍යාපන අමාත්‍යංශය විසින් ආරම්භ කර තිබිණ.. කළුතර දිස්ත්‍රික්කයේද ඒ සඳහා සුදුසු මධ්‍යස්ථානයක් තෝරා ගැනීම මට පැවරිණ. මා කලින් සේ‍වය කළ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය මේ සඳහා තෝරා ගතිමි. විදුහලේ නව විදුහල් පති තුමාද මෙම අදහසට එකඟ වී, එවකට අතහැර දමා තිබුණු ශිෂ්‍ය නිවාස ගොඩනැගිල්ල  මේ සඳහා යෙදවිය හැකි බවද දැන්වීය.  අමාත්‍යංශයේ මුදල් ප්‍රතිපාදන යොදවා ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමෙන් පසු, අවශ්‍ය  ලී බඩු, අල්මාරි, පොත් පත්, විද්‍යා උපකරණ ආදියද සපයන ලදී. මෑතදී ස්ථාපිත,  තක්ෂිලා අන්තර්ජාල වෙබ් අඩවියේ මේ ගැන මෙසේ සඳහන් කර තිබේ.

“The Science Education Officer .... .....decided to start a field study centre at Taxila Central College, Horana. The principal of the School wholeheartedly agreed to provide the closed-down hostel building to house the Field Study Centre. The first Field Study Camp was held on 3 August 1979 as an environmental project of the Kalutara District five year educational plan (1979-1983). The Ministry of Education supported very much to build up the Centre.”

මධ්‍යස්ථානය භාරව කටයුතු කිරීම සඳහා විද්‍යා ගුරුවරයෙකුද පූර්ණ කාලීනව අනුයුක්ත කිරීමටද පියවර ගතිමි. දිස්ත්‍රික්කයේ විදුහල්වල අධ්‍යාපනය ලැබූ උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා කළුගඟ මිටියාවත ආශ්‍රීත ප්‍රදේශයේ ‘ක්‍ෂේත්‍ර අධ්‍යයන’ රාශියක්  මධ්‍යස්ථානය මගින් කරන ලදී. මෙම  සියල්ල නේවාසික අධ්‍යයන කඳවුරු විය.

මේ වන විට ප්‍රදේශයේ අපොස සාමාන්‍ය පෙළ සිසුන්ට සහ කනිෂ්ඨ දිවිතීය මට්ටමේ සිසුන්ටද ක්‍ෂේත්‍ර අධ්‍යයන සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස ගුරුවරුන්ගෙන් ඉල්ලීම් රාශියක් ලැබෙමින් පැවතිණ. ඒ සඳහා අදාළ බලධාරීන්ගේ අවසරය ඇතිව, පාසැල් කාලය තුලදී ගුරුවරයෙකුද සමග සිසුන් මධ්‍යස්ථානයට ගෙන්වා අධ්‍යයන කිරීමේ වැඩ සටහනක් සැලසුම් කිරීමට සිදුවිය. 
මෙම අධ්‍යයන  සඳහා වල්බිහි වෙමින් තිබුණු අත්හැර දමන ලද කුඹුර සහ ඒ අවට ප්‍රදේශය තෝරා ගතිමු. විදුහල්පතිතුමාගේ සහ අනිකුත් අදාළ නිලධාරීන්ගේද අනුමැතිය ඇතිව විදුහල් භුමියේ අත්හැර දමා තිබුණු කොටස ‘ආදර්ශ රක්ෂිත වන වදුල’ ලෙස නම් කළෙමු.

මෙම තීරණයෙන් පසුව කාටත් අමතකවී තිබුණු ලඳු කැලෑ පෙදෙස නැවතත් වැදගත් අධ්‍යයන මාධ්‍යයක් බවට පත්විය.

දෙවන වරටද අපි ජය ගතිමු.

වන වදුලෙහි ස්වාභාවික බවටද හානියක් නොවන පරිදි එහි ජලජ පරිසර, වගුරු පරිසර, ශුෂ්ක පරිසර, වායව පරිසර ආදිය හැඩ ගැසෙන ලෙස යම යම වෙනස් කම් කර පස සෝදා යාම වැලැක්වීමටද නිසි පියවර ගතිමු. වසර කිහිපයකින් ‘වන වදුල’ ජෛව විවිධත්වයෙන් අනූන එළිමහන් විද්‍යාගාරයක් විය. කලින් එහි නොතිබුණු කුඹුක්, බක්මී, මුරුත, මිදෙල්ල වැනි ජලාශ්‍රීත ශාකද, කිතුල්, ලේන්තැරි, දෝතලූ, වේවැල් වැනි තාල වර්ගයේ ශාකද, විවිධ වැල් වර්ග සහ සපුෂ්ප ශාකද, ඇඹුල් පේර, දම්, කැබෙල්ල, රතඹලා වැනි ඉක්මනින් ඵල දරන ශාකද  රෝපණය කළෙමු. මෙම ශාක පැල ගෙනැවිත් රෝපනය කර ශාකය වැඩෙන තුරු රැකබලා ගැනීමට සිසුන් විශාල උනන්දුවක් දැක්වුහ,

ටික කලකින්ම එම පරිසරය මී මැස්සන්, සමනලයින්, බත් කුරන්, පලාපෙත්තන්,කුරුමිණියන් වැනි කෘමීන්ද, බට්ටිච්චන්, සුටික්කන් දෙමලිච්චන්,කොන්ඩ කුරුල්ලන් වැනි පක්ෂීන්ගෙන්ද ගහන වන පෙතක්ම විය, ජලජ පරිසරවල මැඩියන්, ඉස්ගෙඩියන්, කුඩා මත්ස්‍යයින්  සහ ජලජ ශාක බෙහෙවින් වර්ධනය විය. කටුස්සන්, දිය නයින්, තලගොයින් වැනි උරගයින් සහ ලෙහෙනුන්, මුගටියන්, හෝතඹුවන් වැනි ක්‍ෂීර පායීන්ද එහි නිතර දකින්නට ලැබුණි. සමහර පක්ෂීන් තුරු වදුලේ නේවාසිකයින් වී කූඩු සාදා බිත්තර දැමීමටද පුරුදු විය. මීට අමතරව බිම් මට්ටමේ මීවන වර්ග, විවිධ පන් වර්ග, සෙවන ප්‍රිය කරන සපුෂ්ප ශාක, පාසි වර්ග, බාඳුරා, කඳුලැස්ස,  වටැස්ස වැනි මාංශ භක්ෂක ශාක ආදිය දකින්නට ලැබිණ. මේ අයුරින් එම පරිසර පද්ධතිය නොයෙකුත් සරල අධ්‍යයනයන් සඳහා හැම අතින්ම පරිපුර්ණ ස්වාභාවික ‘එළිමහන් විද්‍යාගාරයක්’ බවට පත්විය.

මා පාසැලේ නොසිටියද, ඉඳහිට හෝ මධ්‍යස්ථානයේ සමහර අධ්‍යයන සඳහා සහභාගිවී ඉමහත් ආස්වාදයක් ලැබුවෙමි. දශක දෙකක් පමණ කල් ගතවු විට එම බිම කොටස හොඳින් වැඩුණු ගස් වැල් වලින් යුක්ත වන අරණක්ම විය. පරිසර හිතකාමීන්ට මෙය දැකුම්කලු වනරොදක් වුවද අන් බොහෝ අයට එය අපතේ ගොස් තිබෙන බිම් කඩක්ම විය.
             
කාලය ඉක්ම ගොස් 21 වන ශත වර්ෂය උදාවිය. විදුහලේ නවීකරණ රාශියක් සිදු කෙරිණ.තාක්ෂණ යුගයට ගැලපෙන තවත් බොහෝ අවශ්‍යතා තිබෙන බව පෙනී ගියේය. ක්‍රීඩා පිටිය විශාල විය. ක්‍රීඩාගාරයක් ඉදිවිය. බුදු මැදුර වෙනත් ස්ථානයකට යැවිණ. පන්ති කාමර සඳහා දෙමහල් තෙමහල් ගොඩනැගිලි ඉදිවිය. ශ්‍රවණාගාරය විශාල විය. පිවිසුම් දොරටුව සහ පිවිසුම් මග පුළුල් විය. මෙම නවීකරණයන් නිසා විදුහල් පරිශ්‍රයම පිරී ඉතිරී යන්නට විය.

විදුහල් බිමේ ඉඩකඩකට ඉතිරිව තිබෙනුයේ කලකට පෙර කාගේත් සිත් ඇදගත්, දැන් වන ගොමුවක් බවට පත්වී තිබෙන ‘ආදර්ශ රක්ෂිත වන වදුල’ පමණකි.
ගුරුවරු විශ්‍රාම ගැනීම, අමාත්‍යංශ සහයෝගය අඩුවීම, ගුරු සිසු  දෙපක්ෂයේම උනන්දුව අඩුවීම, පෞද්ගලික ඉගැන්වීම්  විදුහලේ ඉගැන්වීම් ඉක්මවා  යාම  වැනි බාධක නිසා  ක්‍ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථානය මගින් කරගෙන ගිය පරිසර වැඩ සටහන්ද ක්‍රමක්‍රමයෙන් තුනී වී යන්නට විය.

ක්‍ෂේත්‍ර අධ්‍යයන වැඩ සටහනටත් කන කොකා හඬයිද?

(3. කොටස -  පරිසර සංරක්‍ෂණයද නව තාක්‍ෂණයද? )


Thursday, 27 April 2017

විදුහල් පරිශ්‍රයේ මුඩුබිමෙහි කුඹුරක්, කුඹුරෙහි වන රක්ෂිතයක්, වන රක්ෂිතයේ පිහිනුම් තටාකයක් සහ පරිඝනක විද්‍යාගාරයක්.


(විදුහල් භූමියක තිබු ජෛව විවිධත්වය සහිත කොටසක් වසර කිහිපයක් තිස්සේ, ක්‍රමයෙන් ‘පරිණාමය’ වී, තාක්ෂණ විප්ලවයට හසුවී, ‘තිරසාර’ ඉදිකිරීම් වලින් අවසන් වීම)

1 වන කොටස -  විදුහල් බිමේ මුඩුබිම  කුඹුරක් බවට පත්වෙයි.

මෙහි ආරම්භය 1969 වර්ෂයයි. ස්ථානය හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයයි. එවකට මා එහි විද්‍යා ගුරුවරයෙක් විය.

රට පුරා මහා ‘වගා සංග්‍රාමයක්’ දියත් කර තිබිණ. රජයේ ඉහලින්ම ලැබුණු නියෝග අනුව සෑම බිම අඟලක්ම වගා කළ යුතු විය. ඒ කාලයේත් සෑම අලුත් අදහසක්ම ආරම්භ කළ යුතුව තිබුණේ පාසැල් වලිනි. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලැබුණු චක්‍ර ලේඛය විදුහල්පති තුමා විසින් හදිසියෙන් කැඳවු ගුරු රැස්වීමකදී කියවා, විදුහලේ සෑම අංශයකින්ම වගා ව්‍යාපෘතිය බැගින් ඉදිරිපත් කළ යුතු බව දැන්වීය. ‘වගා සංග්‍රාම’ කටයුතු සඳහා සතියේ එක් දිනක පාසල් කාලයේ කාල ඡෙද  හතරක් යොදා ගත හැකි බවද එහි සඳහන් කර තිබිණ. එම රාජකාරියේ ප්‍රගතිය සිදුවන ආකාරය සෙවිල්ලෙන් සිටීම සඳහා නියෝජ්‍ය විදුහල්පති වරයා පත් කරන ලදී. ඒ ඒ අංශයෙන් සකස් කෙරෙන ව්‍යාපෘති පිලිබඳ වාර්තාවක් මසක් ඇතුලත, අමාත්‍යංශයට යැවිය යුතු විය.

විද්‍යා අංශයේ ප්‍රධානියාව සිටි මා, සියලුම විද්‍යා ගුරුවරු හමුවී අප විසින් කළ යුතු වැඩ කොටස ගැන සාකච්ඡා කර අදහස් ලබා ගතිමි. වගා කටයුතු වලට අවශ්‍ය බොහෝ දේ කෘෂි විද්‍යා අංශයෙන් කෙරෙන නිසා අපට ව්‍යාපෘතියක් සොයා ගැනීම තරමක් අපහසු විය. ‘මල් පෝච්චිවල බතල සිටුවීම’, ‘පෝෂක ද්‍රාවණ වල එළවලු වගා කිරීම’, ‘පාසල් වත්තේ කොස් පැළ සිටුවීම’ වැනි යෝජනා කිහිපයකින් පසුව පළපුරුදු විද්‍යා ගුරුවරයෙකු මෙන්ම වී ගොවිතෑනෙහිද නිරත අයෙකු වූ අතුකෝරල මහතා ඉතාමත් ගැලපෙන අදහසක් ඉදිරිපත් කළේය. ඔහු යෝජනා කළේ පාසැල් වත්තේ එක් මායිමක් ආසන්නයේ පිහිටි අත්හැර දමා තිබුණු මඩ සහිත මුඩු බිමෙහි කුඹුරක් අස්වැද්දීමයි. ඔහු විසින්, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේද උපදෙස් අනුව එය සැලසුම් කළ හැකි ආකාරය විස්තර කළ පසු කවුරුත් ඒ අදහසට එකඟ විය.

මුඩු බිම පාසැල් වත්තේ එක් මායිමක් වන හොරණ - මොරොන්තුඩුව මහා මාර්ගයට මුහුණ ලා පිහිටියේය. එකළ මේ පැත්තේ තාප්පයක් නොතිබුණු අතර, කම්බි වැටක් පමණක් තිබිණ. පාසැල් වත්තේ අනික් මායිමේ ජලය බැස යන කුඩා ඇලක්ද විය. අපගේ ඉල්ලීම අනුව ගොවිජන සේවා නිලධාරියා පැමිණ ඇළෙහි අමුණක් බැඳ යෝජිත කුඹුරට ජලය ලබා ගැනීම පිලිබඳ උපදෙස් දී ඒ සඳහා නිත්‍යානුකුල අවසරයද ලබා දුන්නේය. ව්‍යාපෘතිය ආරම්භ කරන දිනයේ අතුකෝරල මහතාගේ ගොවියන් කිහිප දෙනෙකුද පැමිණ නියරවල්  බැඳීම, ලියදි සකස් කිරීම, වක්කඩ බැඳීම වැනි කාර්යයන් කරන ආකාරය ප්‍රායෝගිකව පෙන්වා දුන්නේය. සිසු සිසුවියන්ද ඉතා ඕනෑකමින් එම කටයුතු වලට සහභාගී විය.

අපට සති හතරකින් පමණ මනා ජල සැපයුමක් සහිත  ලියදි පහකින් යුක්ත,  කුඹුරක් සකස් කරගත හැකි විය. මෙහිදී සිසු සිසුවියන් සහ ඔවුන් සමහර දෙනෙකුගේ දෙමාපියන් දැක්වූ උනන්දුව විශේෂයෙන් සිහිපත් කළ යුතුය.
නියමිත දිනයේදී අතුකෝරල මහතා විසින් බිත්තර වී පැලට දමා සකස් කරන ලද, පැලවී අවශ්‍ය ප්‍රමාණය ගෙනෙන ලදී. විදුහල් පතිතුමා, ගුරු මණ්ඩලයේ කිහිප දෙනෙකු සහ දෙමාපියන් කිහිප දෙනෙකුගේද සහභාගිත්වය ඇතිව සිසුන් විසින් වී වැපිරීම කරන ලදී.

සතියක් පමණ වන විට ගොයම් පැලපත ඉතාමත් දැකුම්කලු විය. බොහෝ සිසුන් පාසලට පැමිණි විගසම කුඹුර බැලීමට දුව ගියහ. වල් පැළ නෙලීම, වක්කඩ බැඳීම, පොහොර යෙදීම වැනි දේ සිසුන් විසින් සිය කැමැත්තෙන්ම කරනු නිතර දකින්නට ලැබිණ. සිසුන් කිහිප දෙනෙක් කුඹුරෙහි වල් පැලැටි එකතුවක් සකස් කර ඒ පිලිබඳ අධ්‍යයනයක් කළහ. නියරවල් දිගේ මෑ, බණ්ඩක්කා, තම්පලා වැනි එළවලු වර්ග වැවීමට සිසුවියන් කිහිප දෙනෙක් ඉදිරිපත් විය. මෙම කුඹුරට වැටක් අවශ්‍ය නොවුවද, සිසුවෙකු විසින් කරන ලද යෝජනාව අපි අනුමත කළෙමු. දින කිහිපයකින් කුඹුර වටා කඩුල්ලක් සහිත පැළඉනි වැටක්ද ඉදිවිය.

දැන් ‘තක්ෂිලාවේ කුඹුර’ වගා සංග්‍රාමයේ වැදගත් අංගයක් විය. අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරියෙක්ද පැමිණ ඒ පිලිබඳ විශේෂ ඇගයීමක්ද කළේය. පාරේ යන එන  අයද කුඹුර බලා සතුටු වුහ.

බන්ඩි ගොයම සෑදෙන විට වී පැලයක උස, පුරුක් ගණන, පත්‍ර ගණන ආදිය පිලිබඳ සටහන් තබාගැනීමටත්, ගොයම් පුදින විට පුෂපයේ ව්‍යුහය, රේණු සංඛ්‍යාව, කිනිත්තක පුෂ්ප සංඛ්‍යාව වැනි සටහන් තබාගැනීමටත් ඔවුන් උනන්දුවක් දැක්වුහ. එසේම පුෂ්ප පරාගනය සිදුවන ආකාරය, සමහර වී ඇට බොල් වන හේතුවද අධ්‍යයනය කිරීමට පෙළඹුනහ. 
 
මේ පාරේ නිතර ගමන් කරන ප්‍රදේශයේ ප්‍රභූවරයෙකු එක් දිනක් සිසුන් නොයෙකුත් ක්‍රියාකාරකම් වල යෙදෙමින් සිටින විට තම මෝටර් රථයෙන් බැස වැට අසලට පැමිණ මහත් ඕනෑ කමකින් බලා සිටිනු මම දුටුවෙමි. ඔහු හොරණ ශ්‍රී පාලී විද්‍යාලයයේ ආදී කතෘ, විල්මට්. ඒ. පෙරේරා මැතිතුමාය. වැට අසලට ගිය මා අපගේ ව්‍යාපෘතිය ගැන ඔහුට විස්තර කළෙමි.

‘මට පාසැල් වත්ත ඇතුලට එන්න අවසරද’?  ඔහු මගෙන් ඇසීය.

‘සර්ට අවසර මොකටද?, එන්න එන්න’

කී මා ගේට්ටුව ඇර ඔහු කුඹුර වෙත කැඳවාගෙන ආවෙමි.
ඉතාමත් පුදුමයට පත්වූ ඔහු සිසුන් කරන ක්‍රියාකාරකම් හොඳින් නිරීක්ෂණය කර

‘මේක හරිම ශශ්‍රීක කුඹුරක්නේ. කාගේද මේ අදහස’

මෙය ශිෂ්‍යයින්ගේ වැඩක්‌ බවත් රටේ වගා සංග්‍රාමය සඳහා අපගේ දායකත්වය මෙය බවත් පහදා දුනිමි.

‘කව්රුත් මේ වගේ වැඩ කළොත් එකත් එකටම වගා සංග්‍රාමය සාර්ථක වී රට බතින් සරුවේවි’
 කී එතුමා 

‘මගෙන් කෙරෙන්න ඕනෑ උදව්ව මොකක්ද’?

කියා ඇසීය. කිසිවක් අවශ්‍ය නැති නිසා මම නිරුත්තර වීමි.

‘ළමයි ගොවිතැන් කරන ගමන් පොහොර, වල් පැළෑටි, මල්, ගෙඩි වගේ දේවල් ගැනත් ඉගෙන ගන්නවා නේද’? ඔහු නැවත ඇසීය.

’ඔව්‍ මේ හැම දෙනාම විද්‍යාව ඉගෙන ගන්නා අය. මේ ප්‍රායෝගික වැඩ විද්‍යා පාඩම් වලදීත් ප්‍රයෝජනවත්  වෙනවා.’ 
මම කීවෙමි.

‘අර නියරේ බණ්ඩක්කා පැළ වල කරලුත් තියෙනවානේ’.
‘මෙන්න මේ විධියේ ප්‍රායෝගික අධ්‍යාපනයක් ගැන තමයි මමත් කල්පනාකරමින් සිටින්නේ’

කී ඔහු සිසුවියකට කතා කර, ඇය අතේ තිබුණු බන්ඩි වී කරල අතට ගෙන, එය ගැන විස්තර අසා

‘මමත් ලපටි වී කරලක් අතට ගත්තේ අදමයි’ කියා
‘දැන් ළමයින්ට බඩගිනිදැයි ඇසීය.’

මා කිසිවක් කීමට පෙර ඔවුන් කිහිප දෙනෙක් 

‘ඔව සර්’ යයි හඬ නගා කීහ.

එතුමා වාහනයේ සිටි රියදුරුට කතාකර කිට්ටුව තිබෙන ධනපාල බේකරියෙන් බනිස් පනහක්‌ සහ තේ ගෙනෙන ලෙස කිය.

පැයක් පමණ අව්වේ සිටි සිසුන්ට බනිස් සහ තේ ප්‍රණීත ආහාරයක්‌ විය.

කන්නය අවසානයේදී අපගේ කුඹුරෙන්ද හොඳ අස්වැන්නක් ලැබිණ. ගොයම් කපන දිනයේදී, සිරිත් විරිත් ප්‍රකාර චාම් උත්සවයක් පැවැත්විණ. අප සමග ගුරු මණ්ඩලයේ සිටි රෝහණ බැද්දගේ ශුරීන් විසින් සිසු සිසුවියන් පිරිසක් සමග ගායනා කරන ලද ගොයම් කවි නිසා එහි දේශීය මුහුණුවර තවත් වැඩිවිය.

වසර කිහිපයක් කුඹුර සාර්ථකව වගා කරන ලදී. අතුකෝරල මහතා විශ්‍රාම ගත්තේය. මටද වෙනත් රැකියාවක් ලැබුණි. ඊට පසු කුඹුර ටිකින් ටික වල් බිහි වනු දකින්නට ලැබිණ. ටික කලකදීම එය තරමක ලඳු කැළෑවක්‌ වී තිබිණ.  (දෙවන කොටස පසුව)  
     
          
                    

  

Monday, 24 April 2017

බාඳුරා මලද සියුමැලි සාමාන්‍ය මලකි. එහෙත් බාඳුරා කෙන්ඩිය දරුණුය. මාංශ භක්ෂකය ...

බාඳුරා ‘බොක්ක’ (කෙන්ඩිය) සහ බාඳුරා ‘මල’ ගැන අදහසක් ........?

ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සහ මධ්‍ය කඳුකරයේ වගුරු බිම ආශ්‍රීතව වැඩෙන බාඳුරා ශාකය මාංශ භක්ෂක ශාකයක් ලෙස වැදගත් කමක් ගනී. ඉංග්‍රීසියෙන්  (Pitcher plant) ලෙස හැඳිවෙන මෙම ශාකයේ, ශ්‍රී ලංකාවේ බහුලව දකින්නට ලැබෙනුයේ Nepenthes distillatoria  යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන විශේෂයයි.

බාඳුරා ශාකය පිලිබඳව අධ්‍යාපනයට සම්බන්ධ සිද්ධියක් ගැනයි මේ සටහන.

‘70 දශකයේ මුල් කාලයේදී විද්‍යා අධ්‍යාපනය ගැන විශේෂ උනන්දුවක් ලොව පුරාම ඇතිවිය. මේ කාලයේදී අප රටේත් විවිධ විද්‍යා අධ්‍යාපන වැඩ සටහන් ක්‍රියාත්මක විය. ද්විතීය පාසැල් සම්බන්ධ කරගනිමින් ආරම්භ කරන ලද ක්ෂේත්‍ර අධ්‍යයන වැඩ සටහන මෙයින් එකකි. ‘ස්ථානගත පරිසර අධ්‍යයන’ (On-site environmental studies) යන නමින් හැඳින්වූ මෙම වැඩ සටහන ගුරු සිසු දෙපක්ෂය අතරම ඉතාමත් ජනප්‍රිය විය.   ශ්‍රීපාද අඩවිය පාමුල පිහිටි ශ්‍රී පලාබද්දල මහා විද්‍යාලයේ ආරම්භ කරන ලද  ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථානය අවට පරිසරය, ජෛව විවිධත්වයෙන් අනුන ප්‍රදේශයක් වූ නිසා මෙහිදී කරනු ලැබූ ක්ෂේත්‍ර අධ්‍යයන සඳහා විශාල ඉල්ලුමක්ද පැවතින.
රත්නපුරයේ සිට ශ්‍රී පාදස්ථානයට යන මාර්ගයේ වාහන ගමන් කළහැකි අවසාන ස්ථානය වුයේ කාර්ණිය නම් කුඩා ගම්මානයයි. මෙහිදී කළු ගඟින් එතෙර වීම සඳහා ඇත්තේ පයින් පමණක් ගමන් කළ හැකි පටු පාලමකි. කළු ගඟද සාමාන්‍ය දොළ පාරක්‌ මෙනි. පාලමෙන් එගොඩ වී ටික දුරක් ගිය විට මනස්කාන්ත පරිසරයක පිහිටි ශ්‍රී පලාබද්දල මහා විද්‍යාලය හමුවේ.
ප්‍රදේශයේ විද්‍යා අධ්‍යාපන නිලධාරි වරයා විසින්  මෙම මධ්‍යස්ථානයේ සංවිධානය කරන ලද පරිසර අධ්‍යයන වැඩ කඳවුරක උපදේශක වරයෙකු ලෙස කටයුතු කිරීම සඳහා මටද ඇරයුම් කරන ලදී. එම වැඩ සටහන නිරීක්ෂණය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරි කණ්ඩායමක්ද පැමිණීමට නියමිත බවද දැනගන්නට ලැබිණ. මට පැවරී තිබුනේ ගං ඉවුරේ සිට මීටර් දහයක් පමණ ඔබ්බෙන් තිබු ස්වාභාවික වගුරු බිම කොටසක ජෛව විවිධත්වය පිළිබඳව සිසුන් කණ්ඩායමක් සමග අධ්‍යයනයක් කිරීමටය. මෙම සිසුහු දිස්ත්‍රික්කයේ විදුහල් කිහිපයකින් පැමිණි අය වුහ. එම  විදුහලකින් පැමිණි ගුරු මහත්මියක්ද අප කණ්ඩායමට එකතු වුවාය. මෙවැනිම තවත් කණ්ඩායම් තුනක් පරිසරයේ වෙනත් අධ්‍යයන වල නිරතව සිටියහ.
මගේ කණ්ඩායමේ සිසු සිසුවියන් දසදෙනක් සිටියහ.  ක්ෂේත්‍ර අධ්‍යයන සඳහා අවශ්‍ය උෂ්ණත්වමාන, අත් කාච, ඩැහි අඬු, ෆෝමලීන්, බීකර, කුඩා ප්ලාස්ටික් මලු ආදී සියල්ල ඔවුන් ගෙනවුත් තිබිණ. අප විසින් එහි තිබුණු කොක්මොට, බිනර, පඹ, නියඟලා, පන් වර්ග   වැනි ශාක කිහිපයක් සහ බත්කුරන්, ඉස්ගෙඩියන්, මිරිදිය මසුන්, පලාපෙත්තන්, කොරවක්කන්  වැනි සතුන් ගේ වාසස්ථාන, අන්තර් සම්බන්ධතා, භෝජන විලාස, ආදිය පිළිබඳව සරල අධ්‍යයන කිහිපයක් අවසන් කර වගුරු පෙදෙසේ තරමක් වදුල සහිත ස්ථානයක තිබුණු බාඳුරා ශාක ගොන්නක් පිළිබඳව අධ්‍යයනය කිරීමට පෙර සුදානමක් වෙමින් සිටියෙමු.
                      
                  Nepenthes distillatoria   (බාඳුරා) ශාකයේ මල් සහ කෙන්ඩිය


අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පැමිණි නිලධාරි කණ්ඩායම ඊළඟට අපගේ අධ්‍යයන ස්ථානයට පැම්ණීමට නියමිත බව පණිවුඩයක් ලැබිණ. එම කණ්ඩායමේ අධ්‍යාපන නියෝජ්‍ය ඇමති තුමාද සිටින බව දැන ගතිමු.
අපි අපගේ බාඳුරා අධ්‍යයනය දිගටම කරගෙන ගියෙමු.
අප සිටි ස්ථානයට පැමිණි ඇමති තුමා අප කණ්ඩායම විසින් කරගෙන යනු ලබන අධ්‍යයනය දෙස තුෂ්නීම්භූතව බලා සිට සිසුන්ගෙන් ප්‍රශ්න කළේය.
                                                                                                                        
                                                  
                         වදුල සහිත තැනක වැඩෙන බාඳුරා ශාකයක ඇති විවර වූ කෙණ්ඩියක්

‘මොනවද ළමයි මේ බොහොම ආසාවෙන් ඉගෙන ගන්නේ’
‘සර්, පරිසර අධ්‍යයනයක්. මේක මාංශ භක්ෂක පැළෑටියක්, නම බාඳුරා’
‘මාංශ භක්ෂක කියන්නේ මස් කන එක  නේද?  ඔය පැළෑටියේ මල ද සත්තුන්ව අල්ලා ගන්නවායයි කියන්නේ’?
ශිෂ්‍යාව පිළිතුරක් දීමට අදී මදි කළ විට ශිෂ්‍යයෙකු පිළිතුර සැපයීය.
‘මේ පැළෑටියේ මල් වෙනම තිබෙනවා. ඒ උනාට සත්තු අල්ලා ගැනීම සඳහා සකස් වී තිබෙන්නේ මේ කෙන්ඩිය’.  
කියා ශාකයේ තිබුණු ‘බාඳුරා බොක්කක්’ (කෙණ්ඩියක්) සහ මල් වෙන වෙනම ඇමති තුමාට පෙන්වීය.
‘මම මෙච්ච්ච්ර කල් සිතා හිටියේ සත්තු අල්ලා ගන්න බාඳුරා බොකු, බාඳුරා පැළෑටියේ  මල් කියලනේ’
මේ ගැන තව ටිකක් විස්තර කරන ලෙස ඇමති තුමා ඉල්ලීමක් කළ විට අපි ශාකය පිලිබඳ  විද්‍යාත්මක තොරතුරු රාශියක් ඉදිරිපත්කර, පියන්පත ඇරී තිබෙන කෙණ්ඩියක් සහ පියන්පතින්  වැසී තිබෙන කෙණ්ඩියක් වෙන වෙනම පෙන්වා, විවෘත කෙන්ඩිය තුලට වැටී සිටින කුඩා කෘමීන් සිටින බවද  පෙන්වුයෙමු. මෙම ශාකය කුඩා සතුන් ගොදුරු කරගන්නා නිසා එය මාංශ භක්ෂක ශාකයක්‌ ලෙස හඳුන්වන බවද පෙන්වා දුනිමු. එම ශාකයේම තිබුණු මල් රාශියක් සහිත කිනිත්තක් පෙන්වූ විට ඇමති තුමා තවත් පුදුමයට පත්විය.
අපුරු වැඩ ටිකක්නේ මේ අය කරන්නේ. මේවා රටේ අනිත් තැන් වලත් කරනවාද’? ඇමති තුමා නිලධාරියෙකුගෙන් ප්‍රශ්න කළා.
නිලධාරියා කිසිවක් නොකියා තවත් කෙනෙකු දෙස බැලුවා.
‘තව මධ්‍යස්ථාන කිහිපයක්‌ තිබෙනවා. ඒ තැන් වලත් වැඩ ටිකක් කෙරෙනවා’. කියා සැකයෙන් මෙන් උත්තර දුන්නා.
-------------------------------------------------------------------------------- 
බාඳුරා ශාක-භක්ෂක ශාකයක් බව නවවන ශ්‍රේණියේදී පමණ සිසුන් ඉගෙන ගන්නවා. ඒ උනත් ස්වභාවික පරිසරයේ වැඩෙන ශාකය දැක තිබෙන්නේ ටික දෙනයි. බාඳුරා ‘බොක්කේ’ (කෙන්ඩියේ) පියන්පත විවෘත වනුයේ එය පරිණත වූ පසුවයි. මෙම කෙන්ඩිය තුල ඇති දියරයේ  කෘමීන් වැනි කුඩා සතුන්ගේ කොටස් දිරවීම සඳහා සුදුසු එන්සයිම තිබේ. කෙන්ඩිය ගැට්ටේ ඇතුලට නැමුණු සියුම් කටු වැනි කෙඳි ඇති අතර ඇතුලත බිත්තිය ලිස්සන සුළුය. ජලය සොයා කෙන්ඩියේ ගැට්ටට එන කෘමීන් දියරය තුලට වැටුණු විට, ලිස්සන බිත්තිය දිගේ උඩට යන්නට නොහැකිය. මේ නිසා ද්‍රවයට වැටෙන සතා එන්සයිම මගින් ජීර්ණය කර ශාකයට උරා  ගනු ලැබේ.
මෙම කෙන්ඩිය අංකුරයක් හෝ වෙනත් අවයවයක් නොවේ. එය පත්‍රයේ (කොළයේ) මධ්‍ය නාරටිය විකරණය වී (දික්වී) සෑදෙන අනුවර්තනයකි.
සාමාන්‍ය ද්විබීජ පත්‍රීය ශාකයක් වන මෙහි මල් වෙනම කිනිති මෙන් සෑදේ. මල් වලින් හට ගන්නා බීජ වලින් අලුත් ශාක හටගනී.
(බාඳුරා කෙන්ඩියේ තිබෙන දියරය කක්කල් කැස්ස සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධයක් බව අපි කුඩා කාලයේ අසා ඇත්තෙමු.)

කෙසේ වෙතත් මෑත කාලයේදීත් නවකථා. කෙටිකතා, ගී සින්දු වල කොතෙක්වත් බාඳුරා මල් ගැන ලියවී තිබෙන්නේ,බාඳුරා මල් මාංශ භක්ෂකය’ යන වැරදි අවබෝධයෙන් යුතුව බව පෙනේ. මේ නිසා ‘බාඳුරා මල්’ චිත්‍රපටියේවත් නම කාලීන වශයෙන් වෙනස් කිරීමට සිතුවොත් නරකද?       

Thursday, 20 April 2017

විභාග වල අනුවේදනීය කතා කිහිපයක්.....

විභාග වල අනුවේදනීය කතා කිහිපයක්.....
පේ විභාග වලදී වංචා සහගත කටයුතු කිරීමට නොහැකි වන ලෙස සෑම හිඩැසක්ම වැසීමට පියවර ගෙන තිබේ. එහෙත් සමහර අවස්ථාවලදී, විභාග කාර්ය මණ්ඩලයේ අපරීක්ෂාකාරී කම් නිසා වැරදි සිදුවවිය හැකිය. ක්‍රමවත් ලෙස නිරීක්ෂණ කටයුතු කරන නිලධාරීන් විසින් එවැනි වැරදි කළ අය හඳුනාගත් අවස්ථාද එමටය. මෙයින් කිහිපයක් පහත දැක්වේ.

                        1.  විභාග ශාලාවේදී උත්තර පත්‍ර වංචනික  ලෙස මාරු කර ගැනීම

මෙය නිතර අසන්නට ලැබෙන විභාග වංචාවකි. මා ශාලාධිපති ලෙස අධීක්ෂණ කටයුතු වල යෙදුන මධ්‍යස්ථානයක මෙවැන්නක් සිදුවිය. එය ඉංග්‍රීසි විෂයය විය. විභාගය ආරම්භ වී පැය භාගයකට පමණ පසු මා සිටි ස්ථානයට ආසන 10 ක්‌ පමණ ඉදිරි ආසනයේ සිටි සිසුවා, කඩදාසියක් ඔහුට පිටුපස ආසනයේ සිටි සිසුවාට දුන් අතර එම සිසුවා එම කඩදාසිය තම කඩදාසි ගොනුව යටින් තබා ගත්තේය. මෙය දුටු මම කඩදාසිය ලබාගත් සිසුවා වෙත ගොස් ඩෙස්කුවේ ලියා ඇති විභාග අංකය පරීක්ෂා කරන නියාවෙන් ඔහුගේ පිළිතුරු පත්‍ර වල අංක පෙරලා බැලුවෙමි. යටම තිබුණු කඩදාසියේ දමා තිබුණු විභාග අංකය වෙනස්ය. එය  ඔහුගේ අංකය නොවුනි. එම කඩදාසිය මා භාරයට ගෙන පැමිණීමේ ලේඛනය සහ ලකුණු ලේඛනය සමග සසඳා බැලීමි. එය ඉදිරියෙන් සිටින සිසුවාගේ අංකයයි. එම කඩදාසියේ පිටු භාගයක පමණ වාක්‍ය රචනාවක් ලියා තිබිණ. විභාග ශාලාවෙන් පිටවී යාමට පෙර ඔවුන් දෙදෙනාටම මා හමුවන ලෙස ඉතාමත් මිත්‍රශීලීව දැන්වීමි.
තමන් විසින් ලියන ලද වාක්‍ය රචනාව තමාට පිටුපස ආසනයේ සිටි  අයදුම් කරුට දුන් බව අදාළ ශිෂ්‍යයා පිළිගත් නමුත්, තමා එය නොඉල්ලූ බව දෙවැන්නා ප්‍රකාශ කළේය. දෙදෙනාගෙන්ම ප්‍රකාශ ලබාගතිමි. තම වාක්‍ය රචනාව අනිකාට දුන් සිසුවාගේ උත්තර පත්‍රයේ රචනාවක් නොවීය. මේ සම්බන්ධයෙන් ආවරණ ලිපියක්‌ සකස්කර සිසුන්  විසින් අවසන් කරන ලද පිළිතුරු පත්‍ර දෙක, ලබාගත් ප්‍රකාශන, සිද්ධිය සත්‍ය බවට  නිරීක්ෂක වරුන් දෙදෙනෙකුගේ අත්සනද සහිතව වෙනම කවරයක බහා විමර්ශන ශාඛාවට යැවීම සඳහා පියවර ගන්නා ලදී. මෙම විස්තර සියල්ල සඳහන් කර ජර්නල් සටහනක්ද තැබීමි.
විමර්ශනයකින් පසු මෙවැන්නක් සිදුවී ඇති බවට ඔප්පු වුවහොත් අදාළ අයදුම් කරුවන්ට වසර කිහිපයක විභාග තහනමකට යටත් වීමට සිදුවේ.

            2.   අයදුම් කරු වෙනුවට වෙනත් අයෙකු පිළිතුරු ලිවීම (Impersonation) 
                                                                                    
   විභාගයකදී, නියමිත අයදුම්කරු වෙනුවට වෙනත් අයෙකු ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සැපයීම බරපතල වංචාවක් ලෙස  දැක්විය හැකියි. මෙවැනි සිද්ධි කලාතුරකින් වාර්තාවේ. මා සමග සේවය කළ සහෝදර නිලධාරියෙකු අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී එවැනි  සිද්ධියකදී කටයුතු කර ඇති   ආකාරය මෙහි දක්වමි. එදින තිබී ඇත්තේ ගණිත ප්‍රශ්න පත්‍රයයි. එක්තරා විභාග ශාලාවක (කොළඹට ආසන්න) මෙසේ සිදුවන බව විභාග දෙපාර්තමේන්තුවට ටෙලිෆෝන් පණිවුඩයක් ලැබී ඇත. එය පෞද්ගලික අයදුම් කරුවන් විභාගයට පෙනී සිටින මධ්‍යස්ථානයකි. 
    විභාග පැවැත්වෙන සෑම විටකම, විභාග ශාලාවල ඇතිවිය හැකි ඕනෑම ගැටලුවකට පිළියම් සෙවීම සඳහා පළපුරුදු නිලධාරීන් කිහිප දෙනෙකු සූදානමින් සිටීම සිරිතකි.
නිලධාරීන් දෙදෙනෙකු වහාම එම මධ්‍යස්ථානයට ගොස් තිබේ. විභාගය මැනවින් පැවැත්වෙන අතර සිද්ධිය පිළිබඳව ශාලාධිපති වරයා කිසිවක් දැන නොසිටියේය. ඒ කාලයේ වැඩිපුරම තිබුනේ තැපෑල් කාර්යාල හරහා ලබාගත් හැඳුනුම් පත්ය. මෙවැනි අවස්ථාවකදී කළ හැකි එකම දෙය ඉදිරිපත් කර ඇති හැඳුනුම් පතෙහි ඇති ඡායාරුපය, එය දරණ  පුද්ගලයාගේමද යන්න තහවුරු කිරීම පමණකි. කෙසේ වෙතත් විභාග අපේක්ෂකයින්ට කරදරයක් නොවන ලෙසට මෙය කළයුතු වේ.
නිලධාරින් විසින් සියලුම නිරීක්ෂක වරුන්ට අවශ්‍ය උපදෙස් දී, තමතමන්ට නියමිත අයදුම්කරුවන්ගේ හැඳුනුම්පත් හොඳින් පරීක්ෂා කර, සියල්ල අනු පිළිවෙළට එකතු කරගෙන එන ලෙස දන්වා තිබේ. පැය භාගයකදී පමණ  සියලුම හැඳුනුම්පත් නිලධාරින් දෙදෙනා අතට ලැබුණි. මේවා නැවත පරීක්ෂා කිරීමේදී තැපෑල් කාර්යාල හැඳුනුම් පත් අතර ‘ලැමිනේට්’ කරන ලද හැඳුනුම්  පතක් දක්නට ලැබී ඇත. විශේෂ එකක් වූ එය හොඳින් පරික්ෂා කිරීමේදී හැඳුනුම් පත් දෙකක් හරි මැදින් සිරස්ව කපා එකක මුල් කොටස (සාමාන්‍ය තොරතුරු) සහ අනිකේ දෙවෙනි කොටස (ඡායාරූපය සහ අත්සන)  එකට තබා, ඉතාමත් සියුම් ලෙස ‘ලැමිනේට්’ කර ඇති  බව පෙනී ගොස් තිබේ. 
වංචාව එය බව පැහැදිලි වී ඇත . 
ඉදිරි පියවර ගෙන ඇත්තේ මෙසේය. අදාළ සිසුවාගේ හැර අන් අයගේ හැඳුනුම් පත් ආපසු නිවැරදිව බෙදා දුනි. සැකකාර සිසුවාට කථා කර ඔහු කර ඇති බරපතල  වරද තේරුම් කර දී,  ඔහුගේ  තොරතුරු සහ ව්‍යාජ අයදුම්පත පොලීසිය හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලදී.
ගණිත විෂයය තිබුණේ තුන්වෙනි විභාග දිනයේය. ඔහු පෙනී සිට ඇත්තේ ගණිතය සඳහා පමණකි.
මෙවැනි බරපතල වරදක් කරන අයෙකුට, උසාවිය මගින්  නඩු පවරන අතර වසර හත අටක විභාග තහනමක්ද ක්‍රියාත්මක වේ. නියම අයදුම් කරුටද ව්භාග තහනමකට මුහුණ පෑමට සිදුවේ. 

           3 .   කලින් නිකුත් කල විභාග කඩදාසියක  ලියන ලද  පිළිතුරු ඇමිණීම

විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන විභාග වල පිළිතුරු සැපයීම සඳහා විශේෂ කඩදාසියක් සපයනු ලැබේ. මේවා බෙදා දීමට පෙර නිරීක්ෂක වරයෙකු විසින් කෙටි අත්සන තබා, දිනය දැමිය යුතුය.
අපොස උසස් පෙළ විභාගයක අයදුම් කාරියක්, තමන්  විසින් කලින් ලියාගෙන එන ලද කඩදාසියක් උත්තර පත්‍රයට අමුණා තිබීම විභාග ශාලාධිපතිවරයෙකුට හසුවී තිබේ. එය ආර්ථික විද්‍යාව විෂයයයේ උත්තර පත්‍රයකි. විභාග මධ්‍යස්ථානයේ පෞද්ගලික අයදුම්කරුවන් පමණකි. 
සාමාන්‍යයෙන් විභාගයක් පැවැත්වෙද්දී වරින් වර කාලය පිළිබඳව දැනුම දීම සිරිතකි. එදින ප්‍රශ්න පත්‍රයේ කාලය අවසන් වීමට විනාඩි කිහිපයක් තිබියදී ඒ බව දැනුම් දී, ලියන ලද කඩදාසි සියල්ලම අනු පිළිවෙලට ගොනු කර අමුණා ගැට ගසන ලෙස කිහිප වරක්ම උපදෙස් දෙන ලදී.
එක් පන්ති කාමරයක සිටි ශිෂ්‍යාවක් ඕනෑ කමින්ම වාගේ අවසාන විනාඩි කිහිපය මිඩංගු කර කුඩාවට නමා තිබුණු කඩදාසියක් දිග හැර උත්තර පත්‍ර ගොනුවේ යටින්ම තබා ගැට ගසා උත්තර පත්‍රය නිරීක්ෂක වරිය අතට දී ඉක්මනින්ම ශාලාවෙන් පිටවී ගොස් ඇත.  නිරීක්ෂක වරිය මෙය ශාලාධිපතිට දැන්වූවාය. උත්තර පත්‍රය පරීක්ෂා කිරීමේදී එහි අවසාන පිටුව කලින් දිනයක බෙදාදුන් කඩදාසියක් බවත්, එය  නමා තිබුණු බවද   පැහැදිලිව දකින්නට ලැබුණි. නිරීක්ෂක වරිය ශාලාවෙන් පිටතට පැමිණ ශිෂ්‍යාව ගැන සොයා බැලුවත් ඒ වන විටත් ඇය පිටවී ගොස් තිබිණ. උත්තර පත්‍රය පරීක්ෂා කිරීමේදී, එය සම්පුර්ණ ප්‍රශ්නයකටම ගැලපෙන කලින් දිනයක නිකුත් කළ, අනවසරයෙන් පිටතට ගෙනයන ලද,  විභාග කඩදාසියක ලියන ලද එකක් බව හෙළිවිය. එහි අයදුම්කාරියගේ අංකයද ලියා තිබුණි.
මෙය වාර්තා කළයුතු වරදකි. ශාලාධිපති විසින් එම උත්තර පත්‍රය ආවරණ ලිපියක්ද සහිතව විභාග දෙපාර්ත මෙන්තුවේ විමර්ශන ශාඛාවට යොමුකර ජර්නල සටහනක්ද  තබා තිබේ. මෙයද වසර කිහිපයක් විභාග  තහනමකට ලක් විය හැකි බරපතල වරදකි.  


Friday, 14 April 2017

විභාග වල රස කතා

ශ්‍රී ලංකාවේ ප්‍රධාන විභාගයක් වන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ලකුණු කිරීමේදී හමුවූ හාස්‍යය මුසු සිද්ධීන් කිහිපයක් පහත දැක්වේ. 
දශක කිහිපයකට ඉහතදී උත්තර පත්‍ර පරීක්ෂක වරයාගේ පෞද්ගලික ලිපිනයට උත්තර පත්‍ර, තැපෑලෙන් යවන ලද අතර, ඔහුට අභිමත ස්ථානයක සිට ලකුණු කිරීමට අවසර තිබිණ.

මෑතදී, මෙම ක්‍රමය වෙනස් කර, ප්‍රධාන පරීක්ෂක වරයෙකුගේ අධීක්ෂණය යටතේ, 20 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් (පැනලයක් ) විසින් ලකුණු කිරීමේ (ඇගයීමේ) වැඩ පිළිවෙලක් සකස් කරන ලදී. මෙම ක්‍රමයේදී කණ්ඩායම එක්  ස්ථානයක (පාසල් පන්ති කාමරයක) රැස්වී අවශ්‍ය නම් ගැටළුද  සාකච්ඡා කරමින් ලකුණු කිරීම වඩාත් ඵලදායී විය. ප්‍රශ්න පත්‍රයේ ඇති ප්‍රශ්න වලට අනුකූලව කලින් සකස් කරනු ලබන ලකුණු දැමීමේ ක්‍රමය (marking scheme)  ඒ ලෙසටම අනුගමනය කිරීම වැදගත් කාර්යයකි. 
මටද වසර කිහිපයක්ම විද්‍යාව විෂයයේ ප්‍රධාන පරීක්ෂක වරයෙකු ලෙස, වරින් වර කොළඹ, කළුතර, හොරණ, ගාල්ල සහ රත්නපුර යන නගරවල විද්‍යාව ඇගයීම් මණ්ඩල භාරව කටයුතු කිරීමේ අවස්ථාව සැලසින.
එක දිගට දින දහයක්  පමණ එක තැනක සිට මනා සංයමයකින් යුතුව කරනු ලබන ඇගයීමේ ක්‍රියාවලිය සඳහා ගෙවීමක් කරනු ලැබූවත්, එය   අගනා සේවයක් ලෙස සැලකිය හැකිය. ප්‍රශ්න පත්‍රයේ දී ඇති ප්‍රශ්න වල, එක් එක් පිළිතුරට අයදුම් කරු ලබාගන්නා ලකුණු සහ බහු වරණ ප්‍රශ්න පත්‍රයේද ලකුණු, ක්‍රමානුකුලව එකින් එක ලකුණු ලේඛනයට නිවැරදිව ඇතුලත් කිරීම ඉතා ප්‍රවේශමෙන් කළයුතු ක්‍රියාවලියකි. මේ සඳහා යහපත් මානසික ඒකග්‍රතාවක් තිබිය යුතුය. අපොස සාමාන්‍ය පෙළ ඇගයීම් සඳහා තෝරා ගනු ලබන්නේ, අදාළ විෂයය පාසල්වල ඉගැන්වීම කරන, විදුහල්පතිවරුන් විසින් නිර්දේශ කරනු ලබන, පළපුරුදු ගුරුවර ගුරුවරියන් පමණකි.
කණ්ඩායම් ඇගයීම වලදී විවිධ ගැටළු සහ සිද්ධි දකින්නට ලැබෙන අතර, අපට හමුවූ හාස්‍ය ජනක වුවත් අවාසනාවන්ත  සිද්ධීන් කිහිපයක් මෙහි සඳහන් කරමි.

 1.   වෙනත් කිසිවක් නොලියා, සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයම, කිහිප වරක්  උත්තර පත්‍රයේ පිටපත්       කර තිබීම.

මෙය පෞද්ගලික අයදුම් කරුවෙකුගේ උත්තර පත්‍රයක් විය. කෙසේ හෝ විභාගය පැවැත්වූ ශාලාවේ සිටි නිරීක්ෂකයින්ටද මෙය හසුවී නැත.  පරීක්ෂකවරයා එම උත්තර පත්‍රය මා වෙත උපදෙස් සඳහා යොමු කළේය. උත්තර පත්‍රයට කිසිම් ලකුණක්‌ දීමට හැකියාවක් නොතිබුණි. ලකුණු බින්දුවක් දමා, ලකුණු ලේඛනයේ ද බින්දුව දමා, විශේෂ සටහනක්ද යොදා, අත්සන් කර, ජර්නලයේද සටහනක් යෙදුවෙමි. එම උත්තර පත්‍රය පැකට්ටුවෙන් ඉවත් කර විශේෂ කවරයක බහා  විභාග දෙපාර්තමේන්තුවේ විමර්ශන ශාඛාව වෙත වැඩිදුර කටයුතු සඳහා යවන ලදී.
ඔහුට හිමිවුයේ ලකුණු බින්දුව නිසා  විෂයය ප්‍රතිඵලය වූයේ ‘අසමත්’ යන්න වූ අතර  පසු විපරම් කිසිවක් නොකරන ලදී.
කෙසේ වෙතත්, එම අයදුම් කරු මානසික ආබාධයකින් පෙළෙන අයෙකුද යන්න සොයා බැලීමට අදාළ ආයතනයකට යොමු කිරීමට මගක්‌ තිබුණේදැයි නොදනිමි.

        2.  උත්තර පත්‍රයට මුදල් නෝට්ටුවක් අමුනා තිබීම.

මෙම උත්තර පත්‍රය තිබුනේ පරීක්ෂක වරියකට් ලැබුණු පැකට්ටුවකය. අයදුම් කාරිය පාසල් ශිෂ්‍යාවකි. උත්තර පත්‍රයේ මැද පිටුවකට රුපියල් 100/- ක මුදල් නෝට්ටුවක් අමුණා තිබිණ. එයට යටින් දුක්මුසු අඳෝනාවක් ලියා සම්මාන සාමාර්ථයක් ලබාදෙන ලෙස බැගෑපත්ව ආයාචනයක්‌ද කර තිබිණ.  මෙය දුටු වහාම මා වෙත යොමු කෙරුණි. එය සුපුරුදු  ක්‍රමයට ලකුණු කරන ලෙස උපදෙස් දුනිමි. සාමාන්‍ය සාමාර්ථයක් ලබාගැනීමට අවශ්‍ය ලකුණු ලබාගෙන තිබුණු උත්තර පත්‍රයකි. පරීක්ෂක වරිය විසින් ලකුණු කළ පසු, මා ඒ සියල්ල නැවත බලා  ලකුණු දීම නිවැරදි බව තීරණය කර, ලබාගත් ලකුණු සහ ශ්‍රේණිය, ලකුණු ලේඛනයේද සටහන් කර, ජර්නල සටහනක් යොදා, පැකට්ටුවෙන් ඉවත් කර, මුදල් නෝට්ටුවද සමග  විශේෂ කවරයක බහා  විභාග දෙපාර්තමේන්තුවේ විමර්ශන ශාඛාව වෙත වැඩිදුර කටයුතු සඳහා යැවීමි.
එම මුදල රජයේ ආදායමට බැරකළ බවත්, ශිෂ්‍යාවගේ විභාග ප්‍රතිඵල තාවකාලිකව අත්හිටුවා, විදුහල්පති මගින් අවවාදාත්මක ලිපියක් දෙමාපියන්ටද පිටපතක් සහ  මුදල සඳහා කුවිතාන්සියක්ද සහිතව යවන ලද බව පෞද්ගලිකව දැනගතිමි.
මෙය සුළු වශයෙන් තැකිය හැකි සිද්ධියක් නොවේ. නොදැනුවත්කම නිසා වුවත්  අල්ලසක් දීමට තැත් කිරීමේ වරදක්  ලෙස සැලකිය හැකිය.

         3.  අයදුම් කරු විභාග අංකය දමා නොතිබීම

එක්‌ මධ්‍යස්ථානයක උත්තර පත්‍ර ඇගයීම් කරද්දී පරීක්ෂක වරයෙකුට, විභාග අංකය ලියා නොතිබුණු උත්තර පත්‍රයක් හමුවිය. එය පෞද්ගලික අයදුම් කරුවෙකුගේය. මෙම ගැටලුව ඉතාමත් සැලකිල්ලකින් සොයා බැලිය යුතු එකකි. පැකට්ටුවේ ඇති උත්තර පත්‍ර වල විභාග අංක අනු පිළිවෙල වහාම සොයා බලා ලකුණු ලේඛනයද සමග සංසන්දනය කර බැලීමේදී, අනුමාන කළ හැකි අංකය සොයා ගත හැකිවිය. එසේ වුවත් උත්තර පත්‍රයේ අංකය ඇතුලත් කිරීමට අපට අවසර නැත. මෙහිදී විභාග ශාලාවේදී වරදක් සිදුවී ඇති බව පෙනුනි.
විභාග ශාලාවේදී විෂයය සඳහා පිළිතුරු සැපයීමට නියමිත අයදුම්කරුවන්, ඇතුලත් වීමේ ලේඛනය  සමග සසඳා  බලා, එම අංක ලකුණු ලේඛනයේ ඇතුලත්  කර යම්කිසි අයදුම්කරුවෙක් එම විෂයය සඳහා නොපැමිණියහොත් ලකුණු ලේඛනයේ අංකයට ඉදිරියෙන් නොපැමිණි යනුවෙන් ලියා, පැමිණීමේ  ලේඛනයේද  කතිරයකින් සටහන් කිරීම විභාග ශාලාධිපතිගේ වගකීමය.  මෙහිදී උත්තර පත්‍රය නියමිත තැන තබා තිබුනත් එහි අංකය දමා නොතිබීම ගැන විමසිලිමත් වී නැත.
මෙම උත්තර පත්‍රය නියමිත අයදුම් කරු විසින්ම ලියන ලද්දක්ද යන්න අපට විසඳිය නොහැකිය. නියමිත ආකාරයට පරීක්ෂක වරයා ලවා උත්තර පත්‍රය ලකුණු කරවා, මමද  නැවත පරීක්ෂාකර බැලුවෙමි. එයට සම්මාන ලකුණු ලැබී තිබුණි.
එම උත්තර පත්‍රයේ විශේෂ සටහනක්ද  යොදා, අනුමාන විභාග අංකය සඳහන් ආවරණ ලිපියක්ද සකස් කර, වෙනම ලකුණු ලැයිස්තුවක ලකුණු සටහන් කර (අංකය නොදමා) විමර්ශන ශාඛාව වෙත වැඩිදුර කටයුතු සඳහා යැවීමි
එය විභාග ශාලාධිපතිගේ නොසැලකිල්ල නිසා සිදුවී ඇති වරදක් බැවින් ඔහුගෙන් නිදහසට කරුණු අසා, වසර කිහිපයකට විභාග කටයුතු වලින් ඉවත් කරන ලද බව පසුව දැන ගතිමි.
අයදුම් කරුගේ විභාග ප්‍රථිඵල තාවකාලිකව අත්හිටුවා, ඔහු විභාග දෙපාර්තමේන්තුවට ගෙන්වා දිව්රුම් ප්‍රකාශයක් ලබාගෙන, අත් අකුරු ඔහුගේම බව තහවුරු වීමෙන් පසුව ප්‍රතිඵල නිකුත් කරන ලදී.
මෙවැනි අත්දැකීම් සිය ගණනක්‌ වුවද සඳහන් කළ හැකිය.