Monday 21 May 2018

සෞන්දර්යය අධ්‍යාපනයට තෝතැන්නක් වූ හොරණ ශ්‍රීපාලියේ, ‘උපාසනය’....


   අධ්‍යාපනයේ පරමාදර්ශී මුලිකාංග වශයෙන්, ඉගෙනුම ලබන ශිෂ්‍යයා තුළ දැනුම, කුසලතා සහ ආකල්ප (knowledge, skills and attitudes) යන ත්‍රිත්ව සංවර්ධනය සිදුවිය යුතු බව සම්මත පිළිගැනීමකි. එහෙත් මෑතකදී සිට නව තාක්ෂණ මෙවලම්ද  අධ්‍යාපන ක්‍ෂේත්‍රයට ශීඝ්‍රයෙන් සම්බන්ධ වීම නිසා  මහත් පෙරළියක් සිදු වෙමින් පවතින බැවින්,  නිර්මාණශිලිත්වය (creativity) නමින් නව අංගයක්ද එයට  එකතු වී, මුලිකාංග චතුර්තයක් ලෙස පිළිගතයුතු  බව සාධාරණීකරණය වී තිබේ.

එහෙත්, එකිනෙකා පරයා යමින්, දුවන්නන් වාලේ දුවන සමාජයක ඉහත දැක්වූ අධ්‍යාපන සිද්ධාන්ත වලට පටහැනි බොහෝ දේවල්, ඊනියා අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළම විද්‍යාමාන වෙමින් පවතී.

මෙවන් පසුබිමක් යටතේ වුවද, දිවයිනේ ප්‍රසිද්ධ ජාතික පාසැලක් වන, හොරණ ශ්‍රීපාලි විද්‍යාලයයේ, සම්ප්‍රදායට මුල් තැන දෙමින් කරගෙනයනු ලබන, ඉතාමත් චමත්කාරජනක ‘උපාසනය’ ඕනෑම කෙනෙකුගේ සිත් ඇදගන්නාසුළු සංදර්ශනයකි.

‘උපාසනය’ යන නමින් හැඳින්වෙනුයේ විදුහලේ උදය රැස්වීමයි.

ශ්‍රීපාලි විදුහලට දීප්තිමත් අතීතයක් තිබේ. එහි නිර්මාතෘ වරයා හොරණ පදිචිව සිටි ප්‍රභූවරයෙකු, දේශපාලනඥයෙකු, මානව හිතවාදියෙකු මෙන්ම අධ්‍යාපනඥයෙකු වූ විල්මට්.. පෙරේරා මැතිතුමාය. එතුමාගේ ආරාධනය පරිදි  1934 වර්ෂයේදී ශ්‍රී ලංකාවට පැමිණි, භාරතයේ මහාකවි ගුරුදේව් රබින්ද්‍රනාත් තාගෝර් ශ්‍රීමතාණන් විසින් විදුහලේ ප්‍රධාන ගොඩනැගිල්ල සඳහා මුල්ගල තබා සිහිවටනයක් ලෙස සියඹලා පැලයක්ද ‌ රෝපණය කරන ලදී.

ඒ සමගම සිසුන් හය දෙනෙකුගෙන් විදුහල ආරම්භ කර, එතුමා විසින්ම විදුහලට තබා ඇති ‘ශ්‍රීපාලි’ යන නම, වංග භාෂාවෙන් ‘චමත්කාරය රජයන දෙවොල’ යන අරුත ගෙනදේ. මහා කවියෙකු මෙන්ම සෞන්දර්යය රසාස්වාදකයෙකුද වූ රබින්ද්‍රනාත් තාගෝර් වියතාණන් විසින් නිර්මාණය කරන ලද භාරත ශාන්ති නිකේතනයේ ආකෘතිය අනුව ශ්‍රීපාලි විදුහල ගොඩනැගීම ආදී කර්තෘවරයාගේ අභිප්‍රාය විය. ශ්‍රීපාලියේ උදය රැස්වීම වන ‘උපාසනය’ අනිකුත් බොහෝ විදුහල්වල උදය රැස්වීම් වලට වඩා වෙනස් ස්වරුපයක් ගනී. ප්‍රධාන රැස්වීම් ශාලාවක් තිබියදීත්  සතියකට වරක්, විදුහල් භුමිය මධ්‍යයේ පිහිටි ‘උපාසන මළුවේ’ පැවැත්වෙන රැස්වීම විචිත්‍ර සංදර්ශනයකි. උපාසන මළුවේ ඉදිරියෙන්ම ඇත්තේ කුඩා වේදිකාවක් වන ‘උපාසන පීඨිකාවයි’.


තාගෝර් තුමා විසින් රෝපණය කරන ලද සියඹලා ගස දක්වා, උපාසන මළුව විහිදී යයි. මේ සියඹලාව අද වයෝවෘද්ධ රූස්ස ගසකි. උපාසන මළුව වටා සහ විදුහල් බිමේ තවත් ස්ථාන කිහිපයකම,  මුළු ගසම රෝස පැහැති මලින් බරවන Tabebuia rosea  ශාක සමුහයක් තිබේ. විදේශීය ශාකයක් වන මෙය ‘රොබොරෝසියා’ යන අන්වර්ථ නාමයකින් හැඳින්වීමට ශ්‍රී පාලියේ කවුරුත් පුරුදුව සිටිති.


උපාසන මළුව වටා ඇති ‘රොබොරෝසියා’ ගස් මලින් බරවී තිබෙන මැයි මාසයේදී ගස් යට වැටෙන මල් වලින් තවත් විශ්මිත දේ කිරීමට ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පෙළඹෙති.


උපාසන දිනයේ උදෙන්ම පාසලට පැමිණෙන ඔව්හු බිම වැටී ඇති ‘රොබොරෝසියා’ මල් අහුලා, ඒවායින්  උපාසන මළුව බෑවුමේ සිත් ඇදගන්නාසුලු නිර්මාණ සකස් කරති. එසේ කරන ලද එක නිර්මාණයක ඡායාරුපයක්‌ පහත දැක්වේ.


උපාසන සීනුව නාද වූ විගස, පන්ති කාමර තුළ සහ පාසල් වත්තේ විසිරි සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවෝ දුව විත්, තම පන්ති සගයින් සමග පන්ති අනුපිළිවෙලට උපාසන මළුවේ පෙළ ගැසෙති.

ආචාර්ය මණ්ඩලය උපාසන මළුවේ පැත්තක ඇති උස් බිම් තීරුවේ සිට ගනිති. 

විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති වරයෙකු සහ විශේෂ අමුත්තෝ සිටිතොත් ඔවුන්ද, උපාසන පීඨිකාව මතට පැමිණෙති. 

ශිෂ්‍ය නායකයින් දෙදෙනෙකු විසින් මහත් භක්තියකින් වඩමවාගෙන එනු ලබන, විද්‍යාලයේ ආචාර්ය ස්වාමින් වහන්සේ නමක්, පීඨිකාවේ අසුන් ගනිති. 

උන්වහන්සේ විසින් පිරිස තිසරණ සහිත පංච ශීලයේ පිහිටුවා, කෙටි අනුශාසනාවක්ද  කරති. ඉන්පසු, විදුහල්පති තුමාගේ කෙටි දේශනයකින් මුලික කටයුතු නිමාවට පත්වේ. විදුහලට පැමිණෙන විශේෂ අමුත්තෝද බොහෝ විට සිසුන්ට දැක ගැනීම පිණිස  උපාසන පීඨිකාවට කැඳවනු ලබති. 

විද්‍යාලයයේ පැවැත්වූ උත්සවයක් සඳහා, එසේ පැමිණි සුවිශේෂී අමුත්තන්ගේ ඡායාරුපයක්‌ පහත දැක්වේ.



උපාසනය අවසන් වනුයේ තවත් අති රමණිය ශිෂ්‍ය සංදර්ශනයකින්ය. විදුහල්පතිතුමා විසින් දිනයේ උපාසනය අවසන් බව නිවේදනය කළ විගසම, සිසුහු සියල්ලෝම සිව් දෙනා බැගින් පෙළ සෑදී, තාගෝර් තුමා විසින් වංග භාෂාවෙන් රචිත ‘අධ්‍යාපනයේ මිහිර’ දනවන ගී කිහිපයක් සහ එම තනු වලටම අදාලව, සිංහලෙන්  සකස් කළ දේශීය ගී කිහිපයක්ද, ගයමින්  උපාසන මලුව වටේ සහ ඉන් ඔබ්බෙහි ඇති සක්මන් මගෙහි ගොස් විදුහලේ ‘නිමාලනී’ ප්‍රධාන ශාලාව ඉදිරිපිට සීරුවෙන් සිට ගනිති.  

මෙහි සිට සියලු දෙනාම විදුහලේ සිසුවන්ගේම වයලීන සහ බටනලා වාදනයකට අනුව,  පාසැල් ගීය සහ ජාතික ගීය ගායනා කර, විදුහලට ආවේනික උරුමයක් වන  උපාසනය අවසන් කර තම පන්ති කරා පිය නගති.

මා, ප්‍රදේශයේ අධ්‍යාපන නිලධාරිවරයෙකු ලෙස සේවය කරන කාලයේ, ශ්‍රීපාලියේ විදුහල්පතිව සිටි, ගාමිණි ගුණරත්න මහතා මගේ කුළුපග මිත්‍රයෙකි. ඔහුගේ කාරුණික ඇරයුම පරිදි, කිහිප අවස්ථාවකදීම විදුහලට ගිය මම, ‘උපාසනය’ රිසි සේ නරඹා මහත් සතුටට පත්වී ඇත්තෙමි.

1962 වසරේ උපකෘත පාසල් රජයට පවරා ගැනීමේදී, ශ්‍රීපාලි ආයතනයේ විද්‍යාල අංශය පමණක් රජයට ලබාගෙන, එය ද්විතිය විදුහලක් බවට පත් කරන ලදී.   ශ්‍රීපාලි නමින්ම කළා ශිල්ප සහ සෞන්දර්යය ආයතනයක් ලෙස ඉදිරියටත් සංවර්ධනය වූ, ශාන්ති නිකේතන ආකෘතියේ කලායතනය, පසුව, 1996 වසරේ කොළඹ විශ්ව විද්‍යාලයයේ සෞන්දර්යය පීඨය ලෙස  පිළිගැණින.
අද එය සෞන්දර්යය සහ කළා ශිල්ප උපාධි, ලබාදෙන විශ්ව විද්‍යාලයයකි. ශ්‍රීපාලි  කළා ශිල්ප සහ සෞන්දර්යය ආයතනය විශ්ව විද්‍යාල තත්ත්වයට පත්වීමෙන් පසුව, එම පරිශ්‍රමයේම වෙනම ආයතනයක් ලෙස දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වෙමින් තිබේ.

ඒ සමගම, ශ්‍රීපාලි විද්‍යාලයය දශක හතක පමණ කාලයක සිට නොකඩවා ගෙන ආ ‘උපාසනය’ නම් චමත්කාරජනක උදය රැස්වීම, සම්ප්‍රදායික ආකාරයටම ගෙනයාම පිළිබඳව, එයට සම්බන්ධ සියලු දෙනාටම ප්‍රණාමය පුද කෙරේ.

(ඡායාරුප, ස්තුති පූර්වකව, ශ්‍රීපාලි විදුහලේ ආදී ශිෂ්‍ය නයන මධුවන්ත වීරසේකරගේ face book සටහනකිනි.    සමුහ ඡායාරුපය අන්තර්ජාලයෙනි.)
   

 


Sunday 13 May 2018

බල්ලා, සර්පයා සහ මම ....


බල්ලා, සර්පයා  සහ මම ....    

    අප කුඩා කාලයේ සිටම,  අපගේ  මහ ගෙදර බල්ලෙකු ඇති කිරීම සිරිතක් විය. ඒ කාලයේ බල්ලන් ඇති කළේ,  උන් සුරතල් කිරීමට වඩා ගෙදර දොර  සොර සතුරන්ගෙන්  ආරක්ෂා කර ගැනීම පිණිසය. අපේ ගෙදර විවිධ ප්‍රභේද වලට අයිති බල්ලන් ඇතිකර තිබේ. අපට ඇල්සේෂන්, ජර්මන් ෂෙපර්ඩ් වැනි බල්ලන්ද ඇතිකර පුරුද්දක් තිබුණි. ඒ නම් දැරූ බල්ලන්ට වඩා  අපට ඉතාම හිතවත්, ගෙදර සියලු දෙනාටම මහත් ලෙන්ගතු කමක්  දැක්වූ, වැදගත් යයි සම්මත බලු පරම්පරාවකට අයත් නොවූ බල්ලෙකු ගැන සුවීශේෂී මතක සටහනකි මේ.

බල්ලන් මිනිසා සමග සමීපව සිට ඇති බව ආදී තොරතුරු වලින්ද හෙළිවේ. අද ලොවපුරා, විවිධ ආකාරයේ බලු ප්‍රභේද දෙසියයකටත් වඩා සිටින බව වාර්තාවී තිබේ. සුරතලට ඇති කරන බල්ලෝ, දඩයම් බල්ලෝ, එඬේර බල්ලෝ, ගුවන් තොටවල  ඉව අල්ලන බල්ලෝ, සහායක බල්ලෝ, මුර බල්ලෝ   ආදී වශයෙන් විවිධ ප්‍රභේදයේ බල්ලෝ සිටිති. බාහිර ලක්ෂණ වලින් විවිධ වුවත්, සියලුම බල්ලන් අයත් වනුයේ Canis familiaris නම් සත්ත්ව විශේෂයටය. ශරීර ප්‍රමාණයෙන් විවිධ වුවත්, ඔවුන්ට අන්තර් අභිජනනය කර, සරු ජනිතයින් ඇති කිරීමට හැකි බැවින් සියලුම බලු ප්‍රභේද familiaris  විශේෂය ට අයත් බව ජීව විද්‍යාත්මකව පිළිගෙන තිබේ.

මොවුන් හීලෑ බල්ලන් වන අතර හීලෑ බැවින් මිදී වල් වැදුණු බල්ලෝද සිටිති. ‘සිංහල දඩබල්ලා’ හෝ ‘ලංකා දඩබල්ලා’  යන නමින් හැඳින්වෙන බලු ප්‍රභේදයක පාශාණිභුත ඇට සැකිලි ශ්‍රී ලංකාවේ නිල්ගල ගල් ලෙන් වලින් සහ බෙල්ලන්බැඳී පැලැස්ස ප්‍රදේශයෙන් හමුවී තිබේ. ක්‍රිස්තු පූර්ව 4500 දී පමණ ජීවත්වූ,  බලන්ගොඩ මානවයා දඩයම් කිරීම සඳහා බල්ලන් යොදවා ඇති බව මෙම ඇට සැකිලි වලින් තහවුරු වේ.

ශ්‍රී ලංකාවේ ආදී වාසි වැදි ජනතාවද, දඩයම් කිරීම සඳහා මෙම බල්ලන් යොදාගෙන ඇති බවට සාක්ෂි තිබේ. ඔවුනට දඩයම් කිරීමේදී, දුන්න සහ ඊතලය තරමටම බල්ලාද ප්‍රයෝජනවත් වන්නට ඇත. ආදී වාසී ජනතාවගේ සමාජ රටාවේ සඳහන් වන පරිදි, ඔවුන්ගේ පවුල්වල දියණියන් විවාහ කර දීමේදී, දඩයම් බල්ලෙකු දෑවැද්ද වශයෙන් දීමද සිරිතක් වශයෙන් පැවතී බව පෙනේ.

දකුණු ඉන්දියාවේද සිටින්නට ඇතැයි විශ්වාස කරන ලද මෙම බල්ලන් pariah dogs වශයෙන් ඉන්දියානු භාෂාවකින් නම්කර තිබේ. මෙහි Pariah යනු බලු ප්‍රභේදයට යොදන නමක් වුවත්, අපේ පොදු ව්‍යවහාරයේදී  ‘පරයා’ යන වචනය සිංහලෙන් ගෙන, එයට, දීන බව හඟවන තේරුමක්ද දී තිබේ. කෙසේ වෙතත් මෙම pariah බල්ලන් ලෙඩ රෝග වලට ඔරොත්තු දෙන, මිනිසා ගන්නා ඔනෑම ආහාරයක් බුදින, බලු ප්‍රභේදයකි. අදත් බොහෝ විට ගම්බද ගෙවල ඇති කරනුයේ මෙම බල්ලන්ය.

මගේ මතක සටහනට පාදක වන බල්ලාද එම ප්‍රභේදයේ බල්ලෙකි. එහෙත් ඌ ‘පර බල්ලෙක්’ නම් නොවේ. අපට ඉතාමත් සමීප බොහෝ ලෙන්ගතු බල්ලෙක් විය. ඉහත බල්ලන් පිලිබඳ කෙටි ඉතිහාසය සඳහන් කළේ මේ වැරදි වැටහීම නිවැරදි කිරීම සඳහාය.

මගේ බල්ලාගේ නම ‘ටුටූ’ ය. උගේ වයස අවුරුදු පහක්‌  පමණ විය. ඌ, ගෙදර සහ ගෙවත්තේ නිදැල්ලේ හැසිරීමට පුරුදුව සිටියේය. බල්ලන් කූඩුවකට දැමීමේ පුරුද්දක් එකළ නොවිය. ඉඳහිට අවශ්‍යතාවයක් වුවිට, ඌ දම්වැලකින් බැඳ  දැමීම පමණක් කරන ලදී. මා ගෙදර සිටින විට ටුටූ මා අසලින් සිටීමට මහත් කැමැත්තක් දැක්විය. 

ගේට්ටුව වසා තිබෙන නිසා, ඉඳහිට තාප්පය උඩට පැන ඒ මත ඇවිදිමින් සිට, අසල තිබුණු ඉඩමටත් ගොස්, ගෙදර පිටුපසින් ඇති පිට්ටනියේත් දුව පැන  ඇවිදිමින් සිට, ඌ ආපසු පැමිණ තාප්පයෙන් නොපැන, ගේට්ටුව අසල නතරවේ. අප ලවා ගේට්ටුව විවෘත කරවා ගැනීමට වල්ගය වනමින් නොයෙකුත් හඬින් ශබ්ද  නැගීම උගේ පුරුද්දකි.

තාප්පයෙන් එලියට පනින බල්ලා ආපසු එසේ නොඑන්නේ අප ලවා ගේට්ටුව විවෘත කර ගැනිමටමදෝ යන්න අපට මහත් ප්‍රහේලිකාවක් විය.

එක් සති අන්තයක උදේ, මා ගෙදර ඉස්තෝප්පුවේ පුවත් පත කියවමින් සිටියදී  ටුටූ මා අසලම බිම දිගාවී සිටියේය. එවෙලේ තරමක පොද වැස්සක්ද විය. හිටි ගමන්ම තිගැස්සී නැගිට ගත් බල්ලා, බිම ඉව කරමින් මිදුලට බැස, තාප්පය අසලට ගොස් අමුතු හඬකින් බුරන්නටත්, වරින් වර උඩ පනින්නටත් විය. 

පුටුවෙන් නැගිට මිදුලට බැස විපරම් කළ මට, බල්ලා බුරන ස්ථානයේ සර්පයෙකු සිටින බව දකින්නට ලැබිණ. මා ඒ අසලට එන බව දුටු බල්ලා, සර්පයාට තවත් කිට්ටු වන විට, සර්පයා පෙනය පිප්‍පීම නිසා ඒ නාගයෙකු බවත් ඌ අඩි හතරක්   පමණ දිග ඇති නාග පැටියෙකු බවත් මට පෙණින.

ටුටූ නාගයාගේ හිස කටින් ඩැභැ ගත්තේය.

කුඩා වුවත් නාගයා බල්ලාට දෂ්ට කරනු ඇතැයි  මට එක්‌ වරටම සිතිණ. මේ නිසා නාගයා පලවා හැරිම හෝ බල්ලා ඉවතට ගැනීම වහාම කළ යුතු විය.

ගේට්ටුව අසල තිබුණු තරමක් දිග උණ ලියක්‌ අතට ගත්  මා සර්පයාගේ ශරීරය මත එය තබා තද කිරීමට උත්සාහ කළත් එය වැලකී ගියේය. මෙයින් තවත් උරණ වූ සර්පයා, පෙනය පුප්පා ශරීරය  කෙලින් කර, මාසිටි දෙසට පැන්නේය. 

මා තරමක් පස්සට යන විටම, ටුටූ නාගයා පෙනයට පහලින්  කටින් අල්ලා ගත්තේය.

මට කළ හැකි කිසි දෙයක් නොවිය.

බල්ලාගේ බෙල්ල වටා තම ශරීරය ඔතාගත් නාගයා කටින් ලිස්සා බල්ලාගේ හොම්බේ පැත්තකට දෂ්ට කර, බිමට පැන්නේය.

නැවත නාගයා වෙත දුව ගිය බල්ලා, උගේ පෙනය කටින් අල්ලා හපා, හිස පොඩිවී ගිය නාගයාගේ සිරුර කටින් ඩැහැගෙන තාප්පයට පැන, ගෙදර පිටුපස පිට්ටනිය දෙසට දුවන්නට විය. 

එතැනට පැමිණි දියණියට සිද්ධිය යම්තමින් පවසා, මම ඉක්මණට බල්ලා පසු පස දුව ගියෙමි.

පිට්ටනිය අසලට ගිය බල්ලා, එහි තිබුණු වැලිගොඩක් හාරා, නාගයාගේ සිරුර  එය තුළට  දමා හොම්බෙන් පස් දමා වසා දැම්මේය. වළ දෙපැත්තේ පිටට තිබුණු නාග සිරුර ඒ වන විටත් දඟළන  බව මට පෙනුනි.

මා ටුටූ ට කතා කළ විට, ඌ මා දෙස බලා වල්ගය වනා, නැවත වරක් හොම්බෙන් පස් දමා, නාග සිරුර තවත් වසන්නට විය. ඊට පසු ටුටූ මා අසලට ඒමට තැත් කරන විටම උගේ පසුපස පාද අප්‍රාණික වීමෙන් බිම දිගාවී බඩගාමින් මෙන් මා වෙත ඇදෙන්නට විය. මොහොතකින් මුළු ශරීරයම අප්‍රාණික වී බල්ලා  බිම දිගාවිය.

දියණියන්  සහ බිරිඳ ඒ වන විට තාප්පය අසලට පැමිණ විශ්ණිම්භුතව බලා සිටියහ.

සිහිසන්වී බිම දිගාවී සිටි බල්ලාගේ කටින් සෙම  වැගිරෙන්නට විය.

කළහැකි කිසිදෙයක් නොමැතිව, තරමක් කලබලවූ මා වහාම බල්ලා  දෑතින්  ඔසවා ගෙනවිත්, තාප්පය මත තැබීමි. මා මිදුලට ඒමටත් පෙර දියණියන් විසින් බල්ලා ගෙනගොස් ගරාජයේ මේසයක් මත තබන ලදී.

සිහි මූර්ඡා වී වැටුණු බල්ලා

මම වහාම මගේ හිතවතෙකු වූ පශු වෛද්‍ය වරයෙකුට දුරකථනයෙන් ඇමතීමි.

‘ඩොක්ටර්, අපේ බල්ලට දැන් පැය කාලකට විතර ඉස්සෙල්ල නයෙක් දෂ්ට කළා. විනාඩි කිහිපයකින්  සිහිය නැතිවෙලා වැටුනා. දැන් කටින් සෙම දමනවා.  පුළුවන් තරම් ඉක්මනට එන්න.’

‘බල්ලට සිහියත් නැති නම්, anti-venum එකක් දෙන්න ඕනෑ. අපි ළඟ නම් ඒවා  නැහැ. මෙහෙ ෆාමසි වලත් නැහැ කොළඹින් තමයි ගන්න වෙන්නේ. මම කොයි එකටත් ඉක්මනට එන්නම්’ ඔහුගෙන් ක්ෂණික පිළිතුරක් ලැබිණ.

බල්ලාට කළ හැකි ප්‍රතිකාරයක් නොමැති බව දැනගත්තත්, පශු වෛද්‍ය වරයා ඒම අපට තරමක අස්වැසිල්ලක් විය.

බල්ලා හොඳින් පරික්ෂා කළ වෛද්‍යවරයා

‘වැඩේ ටිකක් දරුණු පාටයි. අපි  කොයි එකටත් ඩෙක්ස්ට්‍රොස් ලොකු ඩෝස් එකක් දීල බලමු. සිහිය ආවොත් ගොඩ දාන්න පුළුවන් වෙයි.’ කිවේය.

ඒ වන විට බල්ලා මුත්‍ර පිටකර ඇති අතර, කටින් සෙම වැගිරීම එලෙසම පැවතුනි.

බල්ලාගේ ඉදිරි පාදයකට ඩෙක්ස්ට්‍රොස් කාන්දු උපකරණය (drip) සවිකර එහි ද්‍රවය ගලායාම සීරු මාරු කළ වෛද්‍යවරයා

‘ඩෙක්ස්ට්‍රොස් ඩ්රිප් එකට පැයක්‌ විතර යනවා. එය අවසන් වීම කිට්ටු වෙන කොට මට කතාකර ගුණාගුණ කියන්න’ කියා ආපසු  ගියේය.

සිදුවූ දෙය ගැන කම්පාවට පත්වූ අපි බල්ලා කෙරෙහිම සිත් යොමු කරමින් බලා සිටියෙමු.

පැය භාගයක් පමණ යන විට ඌට දෙවරක් මුත්‍ර පිටවිය. කටින් සෙම පිට කිරීම ටික ටික අඩුවිය. මේ බව වෛද්‍ය වරයාට දැන්වීමි. අවශ්‍ය වන බෙහෙත් ද රැගෙන ඔහු තව පැයකින් පමණ එන බව කිවේය.

අපි බල්ලා ගැන විමසිල්ලෙන් සිටියෙමු.

තව ටික වෙලාවකින් බල්ලා පා ගස්සන්නටත් සෙමින් කෙඳිරි ගාන්නටත් විය.

වෛද්‍ය වරයා නියමිත වෙලාවට පැමිණියේය. බල්ලාගේ හෘද ස්ඵන්දනය පරික්ෂා කළ ඔහු,

‘යන්තම් ගොඩ ආවා  වගෙයි. තව ටිකකින් සිහිය එයි. මූර්ඡා ගතිය මග හැරෙන්නට මම බෙහෙතක් දෙන්නම්’

කියා ඔහු ගෙනවිත් තිබුණු බෙහෙත් පෙති කිහිපයක් කිරිවල දියකර බීම පිණිස දුන්නේය.

ඩ්රිප් එක ගලවා ඉවත් කළ විගසම මඳක් ඇස් හැර මා දෙස බැලූ බල්ලා ‘කරන ලද උපකාරයට ස්තුතියි’ කියන්නාක් මෙන් වල්ගයද මඳක් සෙලවිය.

බල්ලා ඔසවා වෙනත් තැනකින් තැබූ අපි, ඌ උණු වතුරෙන් පෙඟවූ රෙදි කඩකින් පිසදමා රෙද්දකින් ඔතා, උණුසුම් කළෙමු. බල්ලා ටික වෙලාවකින් හිස එසවිය. එහෙත් ඌට තවමත් නැගිට සිටීමට නොහැකි බව අපට දැනුණි.

කිරි කෝප්පයක් සාදා එයට බෙහෙත් පෙත්තක්ද මිශ්‍ර කර දුන්විට, බල්ලා හාන්සිවී සිටිමින්ම එයින් භාගයක් පමණ බීව්වේය.

තව ටික වෙලාවකින් බල්ලා පසුපස දෙපයින් නැගිටීමට වෙර දරන බව දුටු අපි, ඌ ඔසවා බිමින් තැබුවෙමු. ඉතාමත් ආයාසයෙන් ඉදිරි පා වාරු කර ගත් බල්ලා පසු පා එසවීමට නොහැකිව,  තවත් පැයක්‌ පමණ එලෙසම  වැතිරගෙන සිටියේය. මින්පසු දෙවන බෙහෙත් පෙත්ත, කිරිවල දියකර බල්ලාට බොන්නට දුන් විට, කිරි සියල්ලම ආශාවෙන් බිව් නිසා, තවත් කිරි කෝප්පයක් දුනිමු.

සිද්ධිය සිදුවී පැය පහක්‌ පමණ ගතවූ විට බල්ලාට පා සතරෙන් සිට ගැනීමට හැකිවුවත්, ඇවිදීමට හැකිවුයේ තවත් පැය දෙකක් පමණ ඉක්ම ගිය පසුය.

පසුදින උදයේ අප අවදිවූ විගසම, අප අසලට දුවමින් ආ ටුටූ, සුපුරුදු පරිදි උඩ පනිමින් සහ වලිගය වනමින් කිසිදු අනතුරක් සිදුවූ නියාවක්වත් නොපෙන්වා මහත් සතුටින් දුව පැන ඇවිද්දේය.

නාගයා මා සිටි පැත්තට පනින බව දුටු  ටුටූ, එකවරටම පැන නාගයාගේ පෙනය අසළින් කටට ඩැහැ ගත්තේ,  විසකුරු සතාගෙන් මට සිදුවිය හැකි අනතුරකින්, මා බේරාගැනීම පිණිස බව මම විශ්වාස කළෙමි.

දරුණු නාග විෂ ශරීර ගතව සිහි මූර්ඡා වී බිම ඇද වැටුණු බල්ලා ‘ඩෙක්ස්ට්‍රොස් ඩ්රිප් එකකින්’ පමණක් පැය කිහිපයකදී ප්‍රකෘති  තත්ත්වයට ගෙන ඒමට හැකිවීම  ආශ්චර්යමත් සිද්ධියක් බව පශු වෛද්‍යවරයාද පැවසුවේය.   
  


               

 

Sunday 6 May 2018

ප්‍රවේසම් වන්න ! ප්ලාස්ටික් සහ පොලිතීන් ශරීරයට අහිතකර අපද්‍රව්‍ය වේ !!!



·    ඔබගේ ළදරුවාගේ ප්ලාස්ටික් කිරි බෝතලය Micro wave උදුනේ දමා රත් කරනවාද ?

·    දියණිය පාසලට ගෙනයන උණුසුම් ආහාර ඔතා තිබෙන්නේ පොලිතින් දවටනයකද?

එසේනම් අනාගතයේදී සිදුවිය හැකි ආපදා ගැන දෙවරක් සිතන්න !

තවත් මිහිකත දිනයක් උදාවිය. උදාවූ එම දිනය අවසන්විය. එය එක් දිනකට පමණක් සිමා නොකර, එදිනට තෝරාගෙන තිබුණු  ප්ලාස්ටික් හා සම්බන්ධ අනාගතයේදී සිදුවිය හැකි ආපදා ගැන මෙනෙහි කරමු.

සිරිත් පරිදි 2018 වසරේ  මිහිකත දිනයද පසුගිය අප්‍රියෙල්මස 22 දිනට යෙදී තිබිණ. එහි මෙවර තේමාව වුයේ ‘ප්ලාස්ටික් මගින් සිදුවන පරිසර දුෂණයට තිත තබමු’ යන්නයි .

මිනිසා ඇතුළු අනිකුත් සියලුම ජිවින්ට ජිවත් වීමට තිබෙන එකම ග්‍රහ ලෝකය පෘථිවියයි. එහෙත් මිනිසාගේම අදූරදර්ශී ක්‍රියාකලාප නිසා සිදුවන පරිසර දුෂණ හේතුවෙන්  අද පෘථිවිය මහත් අන්තරායකාරී තත්වයකට මුහුණපාමින්  තිබේ. මිට දශක හතරකට පහකට ඉහතදී ‘පරිසර දුෂණය’ නාම මාත්‍රයක් පමණක් වූ අතර, ඒ මගින් සිදුවූ අනර්ථකාරී ව්‍යසන ගැන අසන්නටවත් නොලැබුණි. 1960 දශකයේ පසු භාගයේදී,  මිනිස් බලපෑම නිසා ස්ථානගතව සිදුවූ, යම් යම් සිද්ධි කිහිපයක් අරමුණු කර ගනිමින්, පරිසර දුෂණය පිලිබඳ සංවේදී බවක් දැක්වූ විද්වතුන්ගේ මෙහෙයවීමෙන් පරිසරය රැකගැනීම පිලිබඳ කතිකාවතක් ඇතිවිය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ජනතාව පරිසරය පිළිබඳව දැනුවත් කිරීමේ වැදගත්කම අවබෝධ වී   1970 වසරේ අප්‍රියෙල් 22 දින ජගත් ‘මිහිකත දිනය’ (Earth day)  ලෙස නම් කර පරිසර සංරක්ෂණය සඳහා දැවැන්ත වැඩ පිළිවෙලක් දියත් කරන  ලදී. ඉන් පසු සෑම වසරකම අප්‍රියෙල් 22 දින ‘ජාත්‍යන්තර මිහිකත දිනය’ (International Earth Day) ලෙස විවිධ තේමා යටතේ, ලොව පුරා ක්‍රියාත්මක විය.  2016 වසරේ ‘පරිසරය සඳහා තුරුලිය’ (Trees for Earth) මිහිකත දිනයේ තේමාව වූ අතර, පසුගිය වසරේ තේමාව වුයේ ‘පරිසරය සහ දේශගුණය ගැන දැනුවත් වෙමු’ (Awareness About Environment and Climate) යන්නයි.

2018  වසරේ තේමාව ලෙස ‘ප්ලාස්ටික් මගින් සිදුවන පරිසර දුෂණයට තිත තබමු’ (Getting Rid of Plastic Pollution) යන්න තෝරාගෙන තිබෙන්නේ මෙම අති භයානක දුෂකය ගැන වහාම නිසි පියවර නොගතහොත්, නුදුරු අනාගතයේදීම මුළු මිනිස් සංහතියම මහත් ව්‍යසන වලට ගොදුරුවී බලවත් අසහනකාරී තත්ත්වයකට පත්වීමේ පෙර නිමිති පහළ වෙමින් තිබෙන නිසාය.

පොලිතීන් වැනි ජෛව වියෝජනයට භාජන නොවන ප්ලාස්ටික් ද්‍රව්‍ය සහ එදිනෙදා කටයුතුවලදී බැහැර කරන තවත් සමහර දේ, ඝන අපද්‍රව්‍ය ලෙස නම් කර තිබේ. ඒවා කෙලින්ම පරිසරයට මුදා නොහැර කළමනාකරණය කරගත හැකි, ජාත්‍යන්තරව පිළිගත් පහසුවෙන් අනුගමනය කළහැකි පියවර තුනක ක්‍රමවේදයක්, හඳුන්වා දී ඇත. මෙය, අඩුවෙන් භාවිතය  (Reduce), නැවත භාවිතය (Reuse) සහ ප්‍රතිචක්‍රීකරණය (Recycle) ලෙස ත්‍රිත්ව ආකාරයකින් ක්‍රියාත්මක වේ.  මෙම ත්‍රිත්වයේ මුල් අකුරු තුන යොදා එම ක්‍රමවේදය   3 R ලෙස නම් කරන්නට යෙදුණි.

අඩුවෙන් භාවිතය  (Reduce), නැවත භාවිතය (Reuse) සහ ප්‍රතිචක්‍රීකරණය (Recycle) යන  ත්‍රිත්වය සඳහා සංකේතය..

3 R සංකල්පය ලොව බොහෝ රටවල ජනතාව අතර ඉතාමත් ප්‍රචලිතව තිබු නමුත් අද වන විට, එහි ප්‍රබලතාව  තරමක්  හීනවී ගොස් ඇති නිසා තවත් අදහස් දෙකක් එයට එකතු කර එය 5 R ලෙස ඉදිරිපත්  තිබේ.

ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමසඳහා තිබුණු  ත්‍රිත්ව පිවිසුම දැන් පංචම පිවිසුමකි.

මෙම නව සංකල්පයේ පංචම පිවිසුම වන 5R ,
v අඩුවෙන් භාවිතය (Reduce),
v අනවශ්‍ය බව තීරණය (Refuse)
v නැවත භාවිතය (Reuse)
v ප්‍රතිචක්‍රීකරණය (Recycle)  
v ඉවත් කිරීම (Remove)
යන අවස්ථා වලින් සමන්විතය. 

විශේෂයෙන් ප්ලාස්ටික් වැනි ඝන අපද්‍රව්‍ය ගැන සලකා බැලීමේදී, භාවිතයට අනවශ්‍ය බව තීරණය (Refuse) සහ ඉවත් කිරීම (Remove) ඉතා වැදගත් වේ. මෙම අදහස් දෙකම සෑම කෙනෙකු විසින්ම, අවංක භාවයකින් යුතුව  පෞද්ගලිකවම කලයුතු කාර්යයන් බව පැහැදිලිවේ.

පසුගිය වසරේ මිහිකත දිනයෙන් පසු මේ දක්වා ලොව  කිහිප තැනක පරිසර දුෂණය නිසා සිදුවූ අවාසනාවන්ත සිද්ධි රාශියකි. එයින් කිහිපයක් ගැන විමසා බැලීමේදී ප්ලාස්ටික් වල ඇති භයානක බව හෙලිවේ.

පසුගියදා ස්පාඤ්ඤයේ දකුණු දිග වෙරළට පාවී තිබුණු, ටොන් 6 ක් බර ඇති යෝධ තල්මසාගේ මරණය සිදුවීම මෙයින් එකකි.
මෙම තල්මසාගේ මරණය සිදුවී තිබෙන්නේ ප්ලාස්ටික් සහ වෙනත් පොලිතීන් වැනි ඝන අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් තිහක් පමණ උදරයේ සිරවීම නිසාය. මෙම අපද්‍රව්‍ය මුහුදට පාවී ගොස් තිබෙනුයේ මිනිසාගේ අපරීක්ෂාකාරී බව නිසා බව පෙනේ. මෑතදී  විද්‍යාඥයින් විසින් ගණනය කර තිබෙන ආකාරයට, දැනට සිදුවන අයුරු , ප්ලාස්ටික් වර්ග මුහුදට මුදාහැරිම නොකඩවා සිදුවුවහොත්, තව  දශක තුනකදී පමණ මුහුදේ සිටින මසුන්ගේ බරට වඩා වැඩි බරකින් යුක්ත ප්ලාස්ටික් අපද්‍රව්‍ය මුහුදේ තිබිය හැකි වේ.  


දෙවනුව, කසල කලමනාකරණයේ අවිධිමත් භාවය නිසා, ශ්‍රී ලංකාවේ අප මුහුණ පෑ එක් ව්‍යසනයක් ගැන සිතා බලමු.  2017 වසරේ මැයි මාසයේදී, මිතොටමුල්ලේ සිදුවූ, ඝන අපද්‍රව්‍ය කන්ද නාය යාම, මහා පරිමාණයේ  ඛේදවාචකයකි. මෙම ව්‍යසනයේදී අහිංසක  මිනිස් ජිවිත රාශියකට මරණයෙන් වන්දි ගෙවීමට සිදුවූ අතර, ගේදොර සහ වෙනත් දේපල විනාශ වීම නිසා තවත් දහස් ගණනකට මහත් අලාභ හානි සිදුවිය. කසල බැහැර කරන ජනතාව විසින් අඩුම වශයෙන්, ඒවා කළමනාකරණය පිළිබඳව ඉදිරිපත් කර  තිබෙන 3R වැඩ පිළිවෙලවත් අනුගමනය කළහොත් මෙවැනි මහා ඛේදවාචක මගහරවා ගත හැකිය.

ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙතරම් පරිසරයට හානිකර වනුයේ මන්ද යන්න ගැන බොහෝ අය තවමත් දැනුවත් වී නොමැත. මේ නිසා අනාගත ව්‍යසනයන් පාලනය කර ගැනීම සඳහා  මෙම තොරතුරු වැඩි වැඩියෙන් ජනතාව අතරට යාම අත්‍යාවශ්‍යය.

ලෝකයේ ප්ලාස්ටික් වර්ග නිෂ්පාදනය ගැන මෑතදී  BBC ආයතනයේ සිදුකරනලද සාකච්ඡාවකදී හෙළිකරන ලද දත්ත කිහිපයක් මෙහිදී විමසා බලමු.

ලෝකයේ, පොලිතින් ඇතුළු ප්ලාස්ටික් ද්‍රව්‍ය නිෂ්පාදනයේ විශාලත්වය පිලිබඳ දත්ත මෙසේය.

·        මෙතෙක් ලොව පුරා, ජෛව පරිහානියට (bio-degradation) ලක් නොවන අපද්‍රව්‍ය වර්ග          මෙට්‍රික් ටොන් බිලියන 8.3 ක්‌ පමණ නිපදවා තිබේ.
·        මෙයින්  මෙට්‍රික් ටොන් බිලියන 6.3 ක්‌ පමණ ප්ලාස්ටික් අපද්‍රව්‍ය වේ.
·        එම අපද්‍රව්‍ය වලින් 9% ක් පමණ ප්‍රතිචක්‍රීකරණය කර තිබේ.
·        තවත් 12% පමණ පුළුස්සා දමා තිබේ. (පිලිස්සීමද භයානකය)
·        ඉතිරි 79% වන, මෙට්‍රික් ටොන් බිලියන පහක් පමණ පහත්බිම් ගොඩකිරීම සඳහා හෝ            කෙලින්ම පරිසරයට මුදා හැර තිබේ.
·        පරිසරයට මුදා හරින ලද කොටසින් සැලකියයුතු ප්‍රතිශතයක් සාගර සහ මුහුදු වලට සේන්දු      වී තිබේ.
·        මේ තත්ත්වය මෙසේම පැවතුනහොත් 2050 වනවිට, දැනට කරගෙන යනු ලබන පාලන      තත්ත්ව යටතේ වුවත්, ඝන ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් බිලියන 12 ක්‌ පමණ           පරිසරයේ රැඳෙනු ඇත.

1.ප්ලාස්ටික් අපද්‍රව්‍ය, මිනිසා ඇතුළු වෙනත් ජීවීන්ගේ සෞඛ්‍යය කෙරෙහි බලපාන්නේ කෙසේද ? 
ගෙවීගිය දශක කිහිපය තිස්සේ ලොව සෑම රටකම පාහේ නිෂ්පාදනය කර ඇති මිලියන ගණනක් වන, ප්ලාස්ටික් ආශ්‍රිත විවිධ  භාණ්ඩ පරිහරණය නිසා, ජීවීන්ගේ පැවත්ම කෙරෙහි අහිතකර බලපෑම් එල්ල වන බව දැන් දැන් හෙළි වෙමින් පවතී. මිනිසා ආහාර සඳහා ගනු ලබන බොහෝ අමු ද්‍රව්‍ය ආවරණය කිරීම, එතීම සහ පැකට් කිරීම අඳහා යොදා ගනු ලබන ප්ලාස්ටික් වර්ග වලින් කාන්දු වී පරිසරයට සහ ආහාර වලට එකතුවන සමහර රසායන ද්‍රව්‍යවලින් මිනිසාට වැළඳිය හැකි භයානක රෝග රාශියක් හඳුනාගෙන තිබේ. ප්‍රජනක ක්‍රියාවලිය හා සම්බන්ධ රෝග, වර්ණදේහ විකෘති වීමෙන් හටගන්නා රෝග, ස්නායු රෝග, පිලිකා  සහ හෘද රෝග මෙයින් කිහිපයකි.

එසේම අනවශ්‍ය ස්ථුල භාවය සහ  ප්ලාස්ටික් අතර සම්බන්ධයක් ඇති බවටද කරුණු හෙළිදරව් වී තිබේ.
බොහෝ ප්ලාස්ටික් වර්ග වල ෆීනෝලික රසායන ද්‍රව්‍යයක් වන තැලේට් (pthalate) නම් රසායන ද්‍රව්‍යය අඩංගු වේ. මෙම ප්ලාස්ටික් වර්ග වලින් සාදනලද ඇසුරුම් වල දමා තිබෙන ආහාර සහ බීම වර්ග වල මෙම රසායන දූෂක අංශු තිබිය හැකිය. මෙවැනි  භාජන වල දැමූ ආහාර මයික්‍රෝවේව් උදුනක රත් කළහොත්, එම දූෂක ආහාරවලට මුසුවේ. ළදරුවෙකුගේ ප්ලාස්ටික් කිරි බෝතල් මෙලෙස රත් කිරීම අතිශයින් භයානකය. තැලේට් දූෂක, අහාර හරහා ශරීර ගත වුවහොත්, ඒවා මිනිස් හෝර්මෝන සහ ප්‍රජනක ක්‍රියාවලිය කෙරෙහි බලපෑම් සිදු කරන අතර, ළදරුවන්ගේ පෙර ළමා වියෙහි වර්ධන විෂමතාද සිදුවන බව, අධ්‍යයනය කර තිබේ. සනාථ නොවූ තොරතුරක් මෙයට එකතු කිරීම මැනවයි හැඟෙන නිසා කාගේත් අවධානය පිණිස මෙහි ඇතුලත් කරමි. විශේෂයෙන්ම සිංහල අවුරුදු සමයේදී මහා පරිමාණයෙන් කොකිස් නිෂ්පාදණය කරන එක්තරා ආයතනයක, කොකිස් වල කැඩෙනසුලු ගතිය අඩු කර ගැනීම පිණිස කොකිස් සකස් කරන තෙල් තාච්චියට ප්ලාස්ටික් බෝතලයක් දමන බව දැනගන්නට ලැබුණි. මෙම සිද්ධිය සත්‍ය නම් ඒ කොකිස් කෑ අහිංසකයින්ට කාගේ පිහිටද?   

2. ප්ලාස්ටික් සහ දේශ ගුණය
ප්ලාස්ටික් අපද්‍රව්‍ය මගින් සිදුවන පරිසර අපවිත්‍රතාවයට අමතරව තවත් විවිධ ආකාරයෙන් පරිසරයට අහිතකරය. ඇමෙරිකා එක්සත් ජනපදයේ පරිසර සංරක්ෂක අධිකාරිය (ECA) පෙන්වාදී ඇති පරිදී, ප්ලාස්ටික් ද්‍රව්‍ය සහ භාණ්ඩ නිෂ්පාදනයේදී, අමු ද්‍රව්‍යය ලෙස භාවිත කරනුයේ පිරිපහදු ඉන්ධන සඳහාද  යොදාගනු ලබන, ශුද්ධ නොකරන ලද ඛනිජ තෙල් වේ. සමස්ත ඛනිජ තෙල් නිෂ්පාදනයෙන් 8% ක් පමණ මේ සඳහා භාවිත කෙරේ. තෙල් ආකාර වලින් ඛනිජ තෙල් ලබාගැනීමේ සිට ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා සෑම පියවරක දීම කාබන් මොනොක්සයිඩ්, හයිඩ්‍රජන් සල්ෆයිඩ්, ඕසෝන්, බෙන්සීන් සහ මීතේන් වැනි වායු වර්ග අතුරු ඵල ලෙස උත්පාදනය වේ. (මෙයින් මීතේන්, කාබන්ඩයොක්සයිඩ් වායුවටත් වඩා බලගතු හරිතාගාර වායුවකි.)  ප්ලාස්ටික් වතුර බෝතල් නිපදවීම සඳහා භාවිත කරනු ලබන PET යන කෙටි නමින් හඳුන්වනු ලබන Polyethylene tetraphthalate අවුන්සයක් නිෂ්පාදනය කිරීමේදී, කාබන්ඩයොක්සයිඩ් වායුව අවුන්ස පහක් පමණ මුදා හැරෙන බව ගණනය කර ඇත. ප්ලාස්ටික් නිෂ්පාදනයේ මෙම කාබන්ඩයොක්සයිඩ් අතුරු ඵලය, කාලගුණ විපර්යාස වලට තුඩු දෙනු ලබන, එක් කාරකයක් ලෙස පිලිගෙන තිබේ. මේ නිසා ප්ලාස්ටික් සහ කාලගුණ විපර්යාසය අතර ඇති සහසම්බන්ධතාවය බිඳ දැමීම පිණිස අපට කළහැකි ප්‍රබලතම හවුල් වීම ප්ලාස්ටික් දැවටුම්, ප්ලාස්ටික් බෝතල්, පොලිතීන් මලු ආදිය භාවිතය හැකි තරම් දුරට අඩු කිරීම හෝ සම්පූර්ණයෙන් නතර කිරීමය.    
  
3. සාගරයේ ප්ලාස්ටික් දූෂණය
2010 වසරේදී ලෝකයේ රටවල් 192 ක් මගින් බැහැර කරන ලද ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් මිලියන දහයකට වඩා සාගරයට මුදාහැර තිබේ. සාගර විද්‍යාඥ, Jambeck, J. R., විසින් “Plastic Waste Inputs from Land into the Ocean.” යන මැයින්, 2015 පෙබරවාරි මාසයේ ‘Science’සඟරාවට සපයන ලද ලිපියකට අනුව, සකස් කර තිබෙන පහත දැක්වෙන වගුවෙන්, ප්ලාස්ටික් දුෂක පිලිබඳ තොරතුරු රාශියක් අනාවරණය වේ.  මේ අතින් චීනය, ඉන්දුනීසියාව, පිලිපීනය සහ වියට්නාමය යන ආසියාතික රටවල් අපටත්  වඩා ඉහළින් සිටිති. මෙම අධ්‍යයනයට අනුව, ප්ලාස්ටික් මගින් සාගර දුෂකයෙකු ලෙස අපට, ලෝකයේ පස්වන ස්ථානය හිමිව ඇත. මෙයින් පෙනී යනුයේ ප්ලාස්ටික් කළමනාකරණය අතින් අප තවත් බොහෝ ඉදිරියට ගමන් කළ යුතු බවයි. මෙහි ජනගහනය වශයෙන් ගණනය කර තිබෙන්නේ මුහුදු වෙරළේ සිට 50 Km දක්වා රට අභ්‍යන්තරයට ජීවත්වන ජනතාවය.


ප්ලාස්ටික් කළමනාකරණ ප්‍රතිශතය අඩු රටවල් දහය

වගුව : (Jambeck, J. R., et al. “Plastic Waste Inputs from Land into the Ocean.” Science, vol. 347, no. 6223, 13 Feb.2015, pp. 768–771., doi:10.1126/science.1260352). ලිපිය ආශ්‍රිතවය.

මෙම වගුව හොඳින් අධ්‍යයනය කළවිට, පහත දැක්වෙන අයුරු පැහැදිලි වන වැදගත් කරුණු කිහිපයක් තිබේ.,
·        ලෝකයේ වැඩිම ඒක පුද්ගල දෛනික අපද්‍රව්‍ය නිෂ්පාදනය කෙරෙනුයේ, ශ්‍රී ලංකාවේය.
·        එය දිනකට කිලෝ ග්‍රෑම් 5.1 කි. (වගුවේ තුන්වන තීරුව 5.1 kg/ppd) .
·        මෙයින් 7 % ක් ප්ලාස්ටික් අපද්‍රව්‍ය වේ. (වගුවේ හතරවන තීරුව)
·        අපගේ අපද්‍රව්‍ය වලින් 84% ක්‌ කළමනාකරණය නොකර පරිසරයට මුදා හැරේ , (වගුවේ පස්වන තීරුව )
·        මෙය වසරකට මෙට්‍රික් ටොන් මිලියන 1.59 ක් වේ. (වගුවේ හයවන තීරුව)
·        අප විසින් වසරකට අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් මිලියන 0.24 සිට 0.64 ක් පමණ සාගරයට මුදා හරිනු ලැබේ.  (වගුවේ අටවන තීරුව)

                             Plastic Pollution Primer & Action Toolkit  EARTH DAY NETWORK  ඇසුරෙනි

සාගර ජීවීන් සඳහා ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙතරම් හානිකර වන්නේ ඇයි?

විවිධ සාගර ජීවීන් සඳහා ප්ලාස්ටික් විවිධ ආකාරයට අහිතකර වේ. බොහෝ සාගර ජීවීන්ට ප්ලාස්ටික් තම ගොදුරු වලින් වෙන්කර හඳුනා ගැනීමට නොහැකිය. ගිල දමන ලද ප්ලාස්ටික් ජීර්ණය නොවී, ඔවුන්ගේ ආහාර මාර්ගවල හිරවී පිරි තිබෙන විට, තවත් ආහාර ගැනීමට නොහැකිව සිට සමහර සත්තු, බොහෝවිට  සාගින්නේම මියයති. විශාල  මසුන් සහ  මුහුදු ආශ්‍රිතව ජිවත්වන පක්ෂීන්, ප්ලාස්ටික් මලු, තංගුස් පට හෝ මාළු  දැල්වල පැටලී බේරීමට නොහැකිව මියයති. මුහුදු කැස්බාවුන්, දිය මත පාවෙන පොලිතීන්  මුහුදු ලොඩියන් (jelly fish) යයි අනුමාන කර ගිල දමති. මුහුදේ එකතුවන ප්ලාස්ටික් කසල ගොඩවල් තුළ පටලැවී හිරවී සිටින සමහර කැස්බෑවුන් චලනය වීමට නොහැකිව කිසිම වර්ධනයක් නොවී මැරී  යන අවස්ථාද එමටය.
ප්ලාස්ටික් යනු කිසිම කලකදී ජෛව වියෝජනයට ලක් නොවන ද්‍රව්‍යයකි. එසේ වුවත් ඒවා කල්යාමේදී කුඩා කැබලි වලට බිදී යනු දකින්නට ලැබේ. මුහුදේ මසුන් විසින් ගිලින ලද ප්ලාස්ටික්, එම මසුන් අල්ලා ගැනීමෙන් පසුව පාරිභෝගිකයින් වෙත ගිය පසුත් ආහාර මාර්ගය තුළ එලෙසම ඉතිරිව තිබෙනු වාර්තා වී ඇත. එක්සත් රාජධානියේ ප්ලිමත් විශ්ව විද්‍යාලයය විසින් මෑතදී කරන ලද සමීක්ෂණයකට අනුව, එරට අල්ලා ගනු ලබන සාගර මසුන්ගෙන් තුනෙන් එකක පමණ ආහාර මර්ගය තුළ ප්ලාස්ටික් හමුවී තිබේ. මෙම මසුන් අහාරයට ගැනීම සුදුසුද යන්න පිළිබඳව තවම තීරණයක් ගෙන නොමැත.

කෙසේ වෙතත් මුහුදු ජලයට එකතුවී කලකදී ඉතා කුඩා අංශු බවට පත්වන ප්ලාස්ටික්, කල්යාමේදී මත්ස්‍යයින් ඇතුළු වෙනත් ජීවීන්ගේ රුධිර පද්ධතියටද ඇතුල් වේ. මෙම ජීවින් වෙනත් විලෝපීයයෙකුගේ  ආහාරය වූ විට එම දුෂක ඔවුන්ගේ ශරීරයටද ඇතුල්වේ. මේ ආකාරයට අහාර දාම ඔස්සේ ගලායන එම දුෂක අවසානයේදී මත්ස්‍යයින් ආහාරයට ගන්නා මිනිසුන්ගේ ශරීර වලට ඇතුල් වනු ඇත. මේ අනුව  ප්ලාස්ටික් වල තිබෙන උග්‍ර රෝග කාරක රසායන ද්‍රව්‍ය නිසා, මිනිසාටද මෙතෙක් අසන්නට නොලැබුන ආකාරයේ, ලෙඩ රෝග වලට මුහුණ දීමට සිදුවනු ඇත.

ඉතා කුඩා අංශුමය ප්ලාස්ටික් සූක්ෂම ප්ලාස්ටික් (Micro plastics) ලෙස හැඳින්වේ. අන්වීක්ෂයකින් පමණක් දැකිය හැකි මෙම කුඩා අංශු අද පරිසරයේ ඕනෑම ස්ථානයක තීබිය හැකිය. ඔබ පානය කරන ජලයේ, ඔබ ආහාරයට ගන්නා මස් මාළු හෝ වෙනත් ඕනෑම ද්‍රව්‍යයක තිබිය හැකි සූක්ෂම ප්ලාස්ටික් ඔබ නොදැනුවත්වම ශරීර ගතවිය හැකිය.
                   4.   සූක්ෂම ප්ලාස්ටික් ව්‍යසනය පාලනය කරගන්නේ කෙසේද?
සූක්ෂම ප්ලාස්ටික් අති භයානක පරිසර දූශකයක් වුවත් එය පාලනය කර ගැනීම සඳහා අපට තවමත් හැකියාව තිබේ. මේ සඳහා අප විසින් කළ යුතු වන්නේ මොනවාද?
            i.        ඇල, දොළ, ගංගා, වැව්, මුහුදු වෙරළ, සාගරය වැනි ජලය හෝ ජලාශ්‍රිත කිසිම පරිසර   හෝ  එළිමහන් ප්‍රදේශවලට ප්ලාස්ටික් බැහැර නොකිරීම.
           ii.        මුහුදු වෙරළ, ඇල, දොළ, ගංගා වැනි ඕනෑම තැනක ප්ලාස්ටික් ද්‍රව්‍ය වැටි තිබෙනු දුටු වහාම ඒවා ඒවා අහුලා නියමිත කසල බඳුනකට දැමීම.
           iii.        පරිසරය පිරිසිදු කිරීමේ කණ්ඩායම් සමග එක්ව කටයුතු කිරීම
           iv.         ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමේදී ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිමකළ ඒවා පමණක් ගැනීමට උනන්දු වීම.
            v.        හැකිතරම් දුරට ඔබගේ අසල් වැසියන් සහ ප්‍රජාව මේ පිලිබඳ දැනුවත් කිරීම.
           vi.        පරිසරය සුරැකීමට මුලික වන 5 R පංචම පිළිවෙත ගෙදරදී අනුගමනය කර එය ක්‍රමක්‍රමයෙන් ප්‍රජාව වෙතද යොමු කරවීම. 
ප්ලාස්ටික් දූෂණය ගැන කෙතරම් තොරතුරු හෙළිදරව් වුවත්, එදිනෙදා ජීවිතයේදී  එය අපට නැතුවම බැරි දෙයක් බවට පත්වී තිබේ. බොහෝ රටවල් ප්ලාස්ටික් වෙනුවට විවිධ විකල්ප භාවිතයට හුරුවන බව දකින්නට ලැබේ. කෙසේ වෙතත්  5 R පංචම පිළිවෙත හොඳින් අවබෝධ කර ගෙන තම තමන්ගේ යහපත සඳහාම කටයුතු කිරීමෙන්, ප්ලාස්ටික් පිටුදැකීමේ සංග්‍රාමයට අපටද  දායක විය හැකිය. එහි එක් එක්‌ පියවර සැකෙවින් විමසා බලමු.

v අඩුවෙන් භාවිතය (Reduce),


පරිසරයේ ප්ලාස්ටික් ඉවත්කිරීමේ හොඳම ක්‍රමය ප්‍රතිචක්‍රීකරණය වුවත් එය ගේ දොර මට්ටමෙන් ප්‍රයෝගික පිළිවෙතක් නොවේ. මේ නිසා, අප විසින් මිලදී ගනු ලබන භාණ්ඩ වලත් නිතර පාවිච්චි කරන දේ වලත් ඇති දවටන හෝ ඇසුරුම් ගැන සුපරික්ෂාකාරී වී එවැනි දවටන සහිත භාණ්ඩ  අඩුවෙන් භාවිත කිරීමෙන් පළමු පියවර සපුරා ගත හැකි වේ. සරල උදාහරණයක් වශයෙන්,  ඔබට වීදුරුවකින් වතුර හෝ වෙනත් පානයක් බීම සඳහා ප්ලාස්ටික් බටයක් අවශ්‍ය නැත.  

v අනවශ්‍ය බව තීරණය (Refuse)



භාණ්ඩ මිලදී ගැනීමේදී, ඒවායේ ප්ලාස්ටික් ඇසුරුම් වල ඇති බාහිර ඔපය ගැන නොතකා එවැනි භාණ්ඩ අනවශ්‍ය බව තීරණය කර, ප්ලාස්ටික් දැවටුම් නොමැති ඒවා තෝරා ගැනීම. ඔබට  රෙදි මල්ලක් හෝ  පන්, වේවැල් වැනි ස්වාභාවික ද්‍රව්‍ය වලින් වියන ලද මල්ලක් වෙළඳ පලට ගෙනයා හැකි නම්, අවශ්‍ය භාණ්ඩ  ප්ලාස්ටික්  දවටන වලින් තොරව ඒවා තුළ අසුරා ගත හැකි වේ.

v නැවත භාවිතය (Reuse)


අප විසින් එක වරක් පමණක් භාවිත කර ඉවත් කරන බොහෝ දේ යලි එක් වරක්වත් පාවිච්චි කල හැකිය. අප වැඩිපුරම භාවිත කරන ප්ලාස්ටික් ‘සිලි සිලි’  මලු මේ සඳහා හොඳම උදාහරණයයි. පාරිභෝගිකයින් සියලු දෙනාම වෙළඳ පළෙන් ලැබෙන  ‘සිලි සිලි’ මල්ල තව එක වරක් පාවිච්චි කළහොත් ‘සිලි සිලි’ මලු නිෂ්පාදනය හරි අඩකින් අඩු වන බව ඔබ කල්පනා කර තිබේද?



v ප්‍රතිචක්‍රීකරණය (Recycle)



කලින්ද සඳහන් කළ පරිදි  ප්‍රතිචක්‍රීකරණය පෞද්ගලික මට්ටමෙන් කළ හැකි දෙයක් නොවේ. ඔබ පදිංචිව සිටින ප්‍රදේශයේ පළාත් පාලන ආයතනය මේ සඳහා යම්කිසි වැඩ පිළිවෙලක් සකස් කර තිබේනම්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසි අයුරින් තෝරා, ඒවා එකතු  කිරීම සඳහා යොදා ඇති වාහනවලට හෝ පිළිසකර කරනු ලබන ස්ථානයට භාර දීමෙන් ඔබගේ යුතුකම ඉටු කළ හැකිය.    



v ඉවත් කිරීම (Remove)



මෙතෙක් සිදුවී ඇති සහ සිදුවෙමින් පවතින ප්ලාස්ටික් දුෂණය නිසා පරිසරයේ සෑම අස්සක් මුල්ලකම, දැන හෝ නොදැන ඉවත දමා ඇති ප්ලාස්ටික් බොහෝය. මෙයට හොඳම උදාහරණයක් ලෙස සිරිපා වන්දනා සමයේදී මග දෙ පස එකතුවන ටොන් ගණනක ප්ලාස්ටික් අපද්‍රවය තොගය සඳහන් කල හැකිය. යෝජිත පංච විධ පිවිසුමේ පස් වැන්න වනුයේ මෙසේ අත්හැර දමා තිබෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ආපසු එකතු කර ප්‍රතිචක්‍රීකරණය හෝ වෙනත් පරිසර හිතකාමී දෙයකට යෙදවීමයි. රටවල් කිහිපයකම, මෙවැනි ප්ලාස්ටික් අපද්‍රව්‍ය අච්චුවක බහා ඉහල උෂ්ණත්වයක්‌  යටතේ අධික පීඩනයකට ලක් කර සකස්කර ගන්නා ගඩොල් වැනි  ප්ලාස්ටික් කුට්ටි පස සෝදායාම වැළක්වීමේ බැමි සඳහාත්, මුහුදු කෑම වැලැක්වීම සඳහා යොදා ගැනීම පිළිබඳවත් සැලකිල්ල දක්වන බව පෙනේ.

සෑම කෙනෙක්ම මෙම සරල පිවිසුම් අවංකවම අනුගමනය කළහොත් නුදුරු අනාගතයේදීම, මිට දශක පහකට පමණ ඉහතදී තිබුණු මනා සමතුලිත තාවයකින් යුක්තව තිබුණු ඒ සුන්දර වටපිටාව අපට නැවතත් ලබාගත හැකිවනු ඇත. තවමත් මේ සඳහා ප්‍රමාද නැත. අප තවතවත් ප්‍රමාද වුවහොත්, මිනිසා විසින්ම අත්තනෝමතික ලෙස පරිහරණය කර පරිසරයට මුදාහැර තිබෙන   ප්ලාස්ටික් දූෂක වලින්ම මිනිස් සංහතියේ දුර්භාග්‍යය උදාවනු නොඅනුමානය.

ප්ලාස්ටික් බෝතල් හොඳින් හඳුනා ගනිමු.

මෑතදී කරන ලද සමීක්ෂණයකට අනුව ලොව වැඩියෙන්ම භාවිත වන ප්ලාස්ටික් භාණ්ඩය ප්ලාස්ටික් බෝතල් බව හඳුනාගෙන තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්ලාස්ටික් කර්මාන්ත සමාජය ( The Society of Plastics Industry- SPI ).නම් ආයතනය මගින් ප්ලාස්ටික් භාණ්ඩ වර්ගීකරණය කිරීම සඳහා අංකන ක්‍රමයක් හඳුන්වා දී ඇත. මෙම වර්ගීකරණයට   විවිධ    ප්ලාස්ටික් වර්ග සඳහා භාවිත කරන රසායන  ද්‍රව්‍යය පාදක කරගෙන තිබීම පාරිභෝගිකයින් දැනුවත් කිරීම සඳහා උපයෝගී කර ගත හැකිය.

විශේෂයෙන්ම අප විසින් පාවිච්චි කරනු ලබන ප්ලාස්ටික් බෝතල් වල පතුළ, පිටතින්  හොඳින් පරික්ෂා කළහොත් මෙම අංක ඔබට දැක ගත හැකිවේ. ප්‍රතිචක්‍රීකරණයට අදාළ එම අංක වලින් හැඳින්වෙන ප්ලාස්ටික් බෝතල් සහ වෙනත් භාණ්ඩ වල අඩංගු රසායන ද්‍රව්‍ය පිලිබඳ දනුවත් වීම සඳහා පහත දැක්වෙන සටහන ප්‍රයෝජනවත් වේ.
  
                       


ප්ලාස්ටික් වර්ග හඳුනාගැනීම සඳහා අංක යොදා වර්ගීකරණය කිරීම.

දැනට භාවිත වන ප්ලාස්ටික් අංකනය කිරීමේ මෙම ක්‍රමය සංශෝධනය කර, මිට වඩා සරල හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් නුදුරු අනාගතයේදීම සකස් කිරීමට අදාළ බලධාරීහු බලාපොරොත්තු වෙති.

මේ ආකාරයට ප්ලාස්ටික් පිලිබඳ දැනුවත් වීමෙන්, එදිනෙදා ජිවිතයට අත්‍යාවශ්‍ය එම කෘතීම භාණ්ඩ හෝ දේවල් ක්‍රමානුකුලව භාවිත කර,කලට වේලාවට ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කිරීමෙන් පරිසර හානිය අවම කර හත හැකි වනු ඇත. ස්වාභාවික පරිසරය ගැන හොඳින් සිතා බලන විට ‘ඉවත දැමීම’ (‘throwing away’) යන්න අප විසින්ම යොදා ගන්නා වචන මාත්‍රයක් පමණක් මිස, ඇත්ත වශයෙන්ම ‘ඉවත’ නමින් හැඳින්විය හැකි ස්ථානයක් නොමැතිය. අප ‘ඉවත’ ලෙස  සිතා සිටින සෑම ස්ථානයක්ම පියවි ඇසට පෙනෙන හෝ නොපෙනෙන වෙනත් ජීවින් රාශියකගේ වාසස්ථානය විය හැකිය!

2018  වසරේ මිහිකත සුරැකීමේ තේමාව ලෙස ‘ප්ලාස්ටික් මගින් සිදුවන පරිසර දුෂණයට තිත තබමු’ (Getting Rid of Plastic Pollution) යන්න පිළබඳව අප කවුරුත් එකිනෙකාගේ යුතුකම ඉටුකර ප්ලාස්ටික් භාණ්ඩ අනතුරු දායක ලෙසට‍ පරිහරණය නොකර හැකිතරම් දුරට ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා වැඩි වැඩියෙන් සිත් යොමු කර, අනාගතයේදීත් මිනිසාට ජීවත්වීමට  හිතකර, සුන්දර ලොවක් අත්කර දීමට අදිටන් කර ගනිමු.

(New York State Department of Environmental Conservation විසින් අන්තර්ජාලයේ පළකර ඇති තොරතුරු ඇසුරෙනි.)