Friday, 26 October 2018

නිවුන් දරු උපත් සිදුවන්නේ, ස්වාභාවික ක්‍රියාවලියේ වරදක් නිසාද?


    ජීවීන්ගේ  පැවැත්ම සඳහා ප්‍රජනනය මූලික වේ. ප්‍රජනනය දෙආකාරයකට සිදුවිය හැකිය. ලිංගික ප්‍රජනනය සහ අලිංගික ප්‍රජනනය මේ ආකාර දෙකයි. සමහර සතුන්ගේ සහ ශාකවල මෙම ප්‍රජනන ක්‍රියාවලි දෙකම දකින්නට ලැබේ. මිනිසා ඇතුළු පෘෂ්ඨ වංශීන්ගේ දකින්නට ලැබෙන්නේ ලිංගික ප්‍රජනනයයි. මෙහිදී පිරිමි සතාගේ ශුක්‍රාණුවක් මගින් ගැහැණු සතාගේ ඩිම්බයක් සංසේචනය කිරීම නව ජීවයක ආරම්භයයි. 
මෙසේ හටගන්නා කළලය මෝරා පැටව් / දරුවෝ  බිහි වෙති. ගෙදරවල ඇතිකරන රට හාවෙක් හෝ බැල්ලියක් එකවර පැටවුන් කිහිප දෙනෙකු බිහි කිරීම එතරම් අරුමයක් නොවේ.  එහෙත් කාන්තාවක් එක් ප්‍රසුතියකදී දරුවන් දෙදෙනෙකු හෝ වැඩි ගණනක් බිහි කළහොත් එය තරමක අරුමයක් ලෙස පිළිගැනේ. මෙසේ බිහිවන දරුවන් නිවුන්නු ලෙස හැඳින්වේ.

නිවුන් දරුවන් බිහිවනුයේ ස්වභාවික සංසේචන ක්‍රියාදාමයේ අනු පිළිවෙලෙහි, වෙනසක් සිදු වීම නිසා බව පිළිගැනීමක් ඇත.

සාමාන්‍ය දරු උපතකට මුලික වනුයේ ස්ත්‍රියගේ පරිණත ඩිම්බයක් පුරුෂයෙකුගේ ශුක්‍රාණුවක් සමග සංසේචනය වීමයි.  මේ මගින් හටගන්නා නව සෛලය යුක්තාණුව යි. තනි සෛලයක් වන යුක්තාණුව ශීඝ්‍රයෙන් බෙදී ගොස් කළලයක් වී, පසුව ගර්භාෂය තුළ වර්ධනය වී දරුවෙකු බිහිවේ. මෙය සාමාන්‍ය දරු උපතක් සිදුවන ආකාරයයි.

යුක්තාණුව බෙදී බහු සෛල අවස්ථාවක් වන ආකාරය පහත දැක්වේ.



ස්ත්‍රියගේ සහ පුරුෂයාගේ ජන්මාණු වල (ඩිම්බය සහ ශුක්‍රාණුව) එකිනෙකට වෙනස් සුවිශේෂී ලක්ෂණ තිබේ. ශරීරයේ අනිකුත් සෛල වල මෙන් නොව මේවායේ න්‍යෂ්ටිය තුළ ඇත්තේ එක වර්ණදේහයක් පමණකි. නැතහොත් ඩිම්බය තුළ X වර්ණදේහයක් ඇති අතර, ශුක්‍රාණු වල  X හෝ Y වර්ණදේහ තිබිය හැකිය. මේ නිසා ශුක්‍රාණු ප්‍රභේද දෙකකි. ජන්මාණු වළ මෙම ස්වභාවය ඒකගුණී (haploid) වශයෙන්  හැඳින්වේ.

ශුක්‍රාණුව මගින් ඩිම්බය  සංසේචනය කිරීමෙන් පසු හටගන්නා යුක්තාණුවේ, වර්ණදේහ යුගලයක් තිබේ. මෙයින් එකක් පුරුෂයාගෙන් ලැබෙන අතර දෙවැන්න ස්ත්‍රියගෙන් ලැබේ. වර්ණදේහ යුගලයක් සහිත මෙම ස්වභාවය ද්විගුණී (diploid) ලෙස හැඳින්වේ. මේවා ස්ත්‍රියකගේ XX සහ පුරුෂයෙකුගේ XY ලෙස සංකේතාත්මකව දැක්වේ.  වෙනත් ආකාරයකින් කියතහොත්, ජීවියෙකුගේ සාමාන්‍ය දේහ සෛල සියල්ලම ද්විගුණි වන අතර ජන්මාණු පමණක් ඒකගුණී තත්ත්වයෙන් පවතී.

සාර්ථක සංසේචනයකින් පසු හටගන්නා XX යුක්තාණුවකින් ගැහැණු දරුවෙකු සහ XY යුක්තාණුවකින් පිරිමි දරුවෙකු හට ගැනීම ස්වාභාවිකය.

මේ නිසා අලුත් ජීවියෙකු හටගැනිමේ මුල්ම අවදිය යුක්තාණුවයි. ඉහත විස්තර කළ ක්‍රියාදාම සියල්ල අනුපිළිවෙලට සාර්ථක වූ පසු, කළලයක් හටගනී. ගර්භාෂය තුළ වර්ධනය වන කළලයකින්  පිරිමි හෝ ගැහැණු දරුවෙකුගේ උපත සිදුවේ.

   
එකම පිළිසිඳ ගැනීමක ප්‍රතිඵලය වශයෙන් දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩිගණනක් හටගැනීම නිවුන් භාවය ලෙස සැලකේ. පොදුවේ  ‘නිවුන්නු’ ලෙස වැඩිපුරම හඳුන්වනුයේ එක් ගර්භණි භාවයකින් උපත ලැබූ දරුවන් දෙදෙනෙකුටය. තුන් නිවුන්, සිව් නිවුන් ආදී වශයෙන් බහු නිවුන් දරුවන් හටගැනීමද කලාතුරකින් දකින්නට ලබේ.

නිවුන් දරුවන්ගේ ගති ලක්ෂණ හටගැනීම ආකාර දෙකකින් සිදුවේ.
1.  එකාකාර (සර්වසම) (identical) නිවුන්නු.
ඉහත (1.) සටහනෙහි පෙන්වා ඇති පරිදි, සාමාන්‍ය ක්‍රියාවලිය අනුව සංසේචනයෙන් පසුව හටගන්නා යුක්තාණුව දෙකට බෙදුණු විගසම එකිනෙකින් වෙන්වේ. ඊටපසු මෙම කොටස් දෙක යුක්තාණු දෙකක් ලෙස වෙන වෙනම ගර්භාෂයට බද්ධ වී නව කළල දෙකක් නිර්මාණය වේ. මේ දෙකෙහිම සෑම අතින්ම ඒකාකාර වර්ණදේහ තිබෙන නිසා එසේ ලැබෙන නිවුන් දරුවෝ සර්වසම ගැහැණු දරුවන් දෙදෙනෙකු (XX, XX) හෝ සර්වසම පිරිමි දරුවන් දෙදෙනෙකු (XY, XY) වෙති.
2.  ආකාර දෙකක (විසම) (nonidentical) නිවුන්නු.
     ඉහත (2.) සටහනෙහි දැක්වෙන පරිදි, මවගේ ඩිම්බ කෝෂවලින් එක වරකදී ඩිම්බ දෙකක් මුක්ත වනු ඇත. මේ ඩිම්බ දෙක වෙන වෙනම සසේචනය වී යුක්තාණු දෙකක් හටගනී. මෙම යුක්තාණු (XX, XY), (XX, XX) හෝ  (XY, XY) විය හැකිය. මෙහිදී නිවුන් දරුවන්  දෙදෙනා පිරිමි සහ  ගැහැණු  හෝ ගැහැණු දෙදෙනෙකු හෝ පිරිමි දෙදෙනෙකු විය හැකිය.  


මේ ආකාරයට එකවර පිළිසිඳ ගැනීමක් මගින්  නිවුන් දරුවන් දෙදෙනෙකු හටගැනීමේ ප්‍රවණතාව, දරු උපත් වලින්  2% පමණ වන බව සංඛ්‍යා ලේඛන වලින් පෙනේ.

කලාතුරකින් හෝ මුණ ගැසෙන නිවුන් දරුවන් හොඳින් නිරීක්ෂණය කළහොත්, ඔවුන් එකාකාරද, ස්වරුපයෙන් විවිධද යන්න සහ එසේ වීමට හේතු වන්නට ඇත්තේ කුමන සාධකද යන්නත් මෙම කරුණු ආශ්‍රිතව ඔබටම නිරාකරණය කර ගත හැකිය.

තුන් නිවුන් සහ බහු නිවුන් දරුවෝ ?

තුන් නිවුන් දරු උපත් හෝ සිව් නිවුන් හෝ බහු නිවුන් උපත් ගැනද ඉඳහිට අසන්නට ලැබේ. මෙසේ සිදුවන තුන් නිවුන් දරු උපතකට මුලික වියහැකි කරුණුද මඳක් විමසා බලමු.

අප කලින් සාකච්ඡා කළ ආකාරයට මෙය සිදුවිය හැකි එක ආකාරයක් මෙසේය.

ස්ත්‍රියකගේ ගර්භාශය තුළට පැමිණෙන සංසේචිත ඩිම්බයක් නැතහොත් යුක්තානුවක් පළමු බෙදීම සහ දෙවන බෙදීම අවසන් වන විට  දිවිගුණි සෛල සතරක් නිපදවයි. ඉතාමත් කලාතුරකින් මෙම සෛල එකිනෙකින් වෙන්වී, එයින් එකක් රෝධනය (abort) වී, ඉතිරි සෛල තුන වෙන වෙනම යුක්තාණු ලෙස වර්ධනය වේ. මේ යුක්තාණු  සියල්ල වර්ධනය වී කළල හට ගනුයේ එකම  භෲණ පටලයක් (‘waterbag’) තුළය. එකාකාර වර්ණදේහ සහිත මෙම යුක්තාණු වලින් හටගන්නා කළල මගින් නිර්මාණය වන නිසා හටගන්නා නිවුන් දරුවන් තිදෙනාම සර්වසම නිවුන් දරුවන් වේ. එනම් ඔවුන්, ගැහැණු දරුවන්ම තිදෙනෙකු (XX, XX, XX) හෝ  පිරිමි දරුවන්ම තිදෙනෙකු (XY, XY, XY) විය යුතුය.

දෙවන ආකාරයේ තුන් නිවුන් දරු උපතක් සිදුවිය හැක්කේ මෙසේය.
මුක්ත  වූ ඩිම්බයක් සංසේචනය වීමෙන් පසු දෙකඩ වී නව යුක්තාණු දෙකක් සකස් වන විටම යම්කිසි හේතුවක් නිසා ඩිම්බ කෝෂයෙන් තවත් ඩිම්බයක් මුදාහැරේ. මෙම ඩිම්බයද ශුක්‍රාණුවක් මගීන් සංසේචනය වී තවත් යුක්තාණුවක් හට ගැනේ. මේ වන විට ගර්භාෂය තුළ වර්ධනය වන යුක්තාණු තුනකි. මෙයින් පළමුවෙන් හටගත් එකාකාර යුක්තාණු දෙක එක්  භෲණ පටලයක් තුළ සහ අනික් යුක්තාණුව වෙනම භෲණ පටලයක් තුළද වර්ධනය වී කළල තුනක් සාදයි. මෙම කළල වලින් ලැබෙන දරුවන් තිදෙනා සර්වසම නිවුන්නු දෙදෙනෙකු සහ ඔවුන්ට සමාන නොවන එක් අයෙකු විය හැකිය. මෙයින් සර්වසම අය, ගැහැණු හෝ පිරිමි දරුවන් විය හැකිය, තුන් වැන්නා ඔවුන්ට වඩා වෙනස් පිරිමි හෝ ගැහැණු දරුවෙකු වේ. ඒ නිසා මෙම තුන් නිවුන් දරු උපතේ සම්භාවිතාව, ගැහැණු දරුවන්ම තිදෙනෙකු (XX, XX, XX), පිරිමි දරුවන්ම තිදෙනෙකු (XY, XY, XY), ගැහැණු දරුවන් දෙදෙනෙකු සහ පිරිමි දරුවෙකු (XX, XX, XY) හෝ පිරිමි දරුවන් දෙදෙනෙකු සහ ගැහැණු දරුවෙකු (XY, XY, XX), විය හැකිය.

සිව් නිවුන් දරු උපතක් හෝ ඊටත් වැඩි, බහු නිවුන් දරු උපතක් වුවද මෙම න්‍යායයන් අනුව විග්‍රහ කර සර්වසම හෝ අසම ලක්ෂණ සහිත දරුවන් හටගැනීමේ සම්භාවිතාව ගණනය කර ගත හැකි වේ.

අන්තර්ජාලයේ සඳහන් වාර්තාවකට අනුව, දැනට වසර තුන් සියයකට පමණ ඉහතදී, රුසියාවේ ජීවත්වූ ‘ශුයියා’ නමැති ගැමි කාන්තාවක්, ගර්භණී අවස්ථා 27 ක් තුළදී. දරුවන් 69 දෙනෙකු ප්‍රසුත කර තිබේ. මෙම දරුවන් අතර සාමාන්‍ය නිවුන්නු යුගල 16 ක්ද, තුන් නිවුන් දරු උපත් 7 ක්ද, සිව් නිවුන් දරු උපත් 4  ක්ද වූ බව නිල වශයෙන් සඳහන් කර ඇත. මෙය මෙතෙක් අභියෝගයට ලක් නොවූ ලෝක වාර්තාවක් ලෙස සඳහන් කර තිබේ.              (Link- https://www.google.com.au/search?q=world+record+of+multiple+births&rlz=1C1CHZL)


ඉන්දියාවේ මෑතදී සිදුවූ ආන්දෝලනාත්මක බහු නිවුන් දරු උපතක් සමග තවත් විරල සංඛ්‍යාත්මක ලක්ෂණයක් ඉස්මතුවී තිබීමද විෂ්මයජනක අහඹුතාවයකි. මෙම දරු උපත සිදුවී ඇත්තේ 2011  වසරේ  නොවැම්බර් මස 11 වෙනිදාය. එම දිනය කෙටියෙන් දක්වතොත් එය 11.11.11 ලෙස අංක පිහිටයි. ඊටත් වඩා ඒ බහු නිවුන් උපතේ දරුවන් 11 දෙනෙකුද සිටීමද තවත්අහඹුතාවයකි. 
(http://2.bp.blogspot.com/5BL7NY1sck/VXCpXzZBL3I/AAAAAAAABos/GDLVX1cMJl8/s1600/11209376_1140715422613928_8343840519387924226_n.jpg)


පවතින සංඛ්‍යාලේඛන වලට අනුව සමස්ත ලෝකයේ සිදුවන නිවුන් දරු උපත් වලින්  සියයට අනූවකටත් වඩා දරුවන් දෙදෙනෙකු බිහිවන උපත් වේ. තුන් නිවුන් උපතකට වඩා වැඩි උපත් සිදුවන්නේ ඉතාමත් කලාතුරකිනි.
(ඡායාරූපය සහ ලෝක වාර්තාව පිලිබඳ තොරතුරු ස්තුති පුර්වකව අන්තර්ජාලයෙනි.)









Thursday, 18 October 2018

ස්ත්‍රී පුරුෂ භාවය දක්වන සංකේත වල මූලික පදනම කුමක්ද?


    දැනට දශක කිහිපයකට ඉහතදී, අලුත උපන් දරුවෙකු සඳහා ජ්‍යෝතිෂකරුවකු ලවා   ජන්ම පත්‍රයක් සකස් කිරීම පුරුද්දක් වශයෙන් කරන ලදී. මෙම ජන්ම පත්‍රය ඇසුරෙන් පසුව සකස් කරනු ලබන ‘හඳහන’ ජන්මය පිලිබඳ වැදගත්ම සටහන විය. ඒ කාලයේ හඳහන, පුස්කොල තීරුවක පන්හිඳෙන් ලියා, කලු මැද, සකස් කරගන්නා ලද  සටහනක් විය. පුස් කොලයක් යනු විශේෂ ශාස්ත්‍රීය ක්‍රම වේද වලට අනුව සකස්කරගන්නා ලද තල්පතකි. මෙහි සටහන් වන බොහෝ කරුණු කියවා තේරුම් ගත හැකි වනුයේ ජ්‍යෝතිෂය ගැන දන්නා අයෙකුට පමණකි. උපන් වේලාව, නැකත, මුහුර්තය, ගණ පිහිටීම වැනි විවිධ ක්‍ෂේත්‍ර වලට අයත් බොහෝ කරුණු හඳහනෙහි ඇතුලත් වේ. 

දශක හතකට වඩා පැරණි මගේ හඳහන තවමත් ඒ ආකාරයෙන්ම පවතී. එය දෙතුන් වරකට වඩා ප්‍රයෝජනයට ගෙන නොමැති තරම්ය. මට මතක ඇති කාලය තුළදී නම් එහි ඇති කරුණු ගැන විමසිලිමත් වුයේ විවාහ වන අවස්ථාවේදී සහ නිවසක් සැදීමට මුල් පුරන අවස්ථාවේදී පමණය. මාගේ හඳහනේ ස්ත්‍රී පුරුෂ භාවය සඳහන් කර ඇත්තේ ‘පිරිමියා’ යනුවෙනි. ස්ත්‍රී හඳහන් වල මෙය සඳහන් කරණුයේ  ‘ගෑණි’ යනුවෙන් බව දැක තිබේ. හඳහන් ලිවීමේ පැරණි කලාව දැන් දැන් ක්‍රමක්‍රමයෙන් තුරන් වෙමින් පවතින බව පෙනේ.

පැරණි ග්‍රීක් සටහන් වල දැක්වෙන පරිදි, ස්ත්‍රී සහ පුරුෂ බව දැක්වීම සඳහා සංකේත භාවිත කළ බව දකින්නට ලැබේ. මේ සඳහා ග්‍රහ වස්තුවල  සංකේත යොදා ගෙන තිබේ.


මෙයින්, පුරුෂ බව හඟවන කුජ සංකේතයේ දැක්වෙනුයේ පලිහක් සහ හෙල්ලක සංයෝජනයකි. එසේම ස්ත්‍රී බවෙහි සංකේතය වන සිකුරු දැක්වෙන්නේ මිටක් සහිත මුහුණ බලන කන්නාඩියක් ලෙසින්ය. මේවා ලොව පිළිගත් සංකේත බවට පත්විය. ග්‍රීක ව්‍යවහාරයේ ආරම්භ වූ මෙම සංකේත කිසිවක් අපගේ පැරණි හඳහන් වලනම්  දකින්නට නොලැබේ.

1751 වසරේදී ශාක අභිජනනය පිලිබඳ පර්යේෂණ කරණ ලද, ජීවින් නම්කිරීම සඳහා සකස් කර තිබෙන ද්විපද නාමකරණයේ නිර්මාතෘ ලෙස සැලකෙන, ස්විඩිෂ් ජාතික කාල් ලිනෙයස් විසින්, තම පර්යේෂණ සඳහා යොදාගත් ශාක පුෂ්ප, වෙන වෙනම හඳුනා ගැනීම සඳහා මෙම සංකේත භාවිත කර ඇත. දැනුදු විද්‍යාවේ  සහ වෛද්‍ය විද්‍යාවේ, පුං (male) සහ ජායා (female) භාවය දැක්වීම පිණිස මෙම සංකේත බහුලව භාවිත වේ. ලිනේයස්ගේ පර්යේෂණවලට සම්බන්ධ කළ බොහෝ ශාක, ද්විලිංගික වූ නිසා, ඔහුට තවත් සංකේතයක් අවශ්‍ය විය. මේ සඳහා මුල් සංකේත දෙකෙහිම සංයෝජනයක් සකස් කර ගැනීමට සිදුවිය. බුධ ග්‍රහයා සඳහා භාවිතා කළ සංකේතය මේ සඳහා බොහෝ දුරට අදාළ කර ගත හැකි විය.


දශක කිහිපයක් යන තුරුම මෙම සංකේත භාවිත වුවද මෑතක සිට ජීවීන්ගේ පෙළපත් සටහන් (pedigree charts) සකස් කිරීමේදී, පහසුව සඳහා, මුල් සංකේතත් සමගම වෙනත් ක්‍රමවේදයක් උපයෝගී කරගනු ලැබේ. එම සංකේත සටහන් මෙසේය.



ඔබට නිතර දකින්නට ලැබෙන වෙළඳ දැන්වීමක තිබෙන පහත දැක්වෙන සංකේතය හඳුනා ගත හැකිද?

මෙම සංකේතය වෙළඳ භාණ්ඩයක් ප්‍රචාරය සඳහා යොදා ගැනීමකි. එහි දැක්වෙනුයේ පුං භාවය පෙන්වන      “    සංකේතයයි.

ග්රෙගර් මෙන්ඩල් විසින්, 1854 දී, ශාක වල ගති ලක්ෂණ විදහා දැක්වීම සඳහා ඉංග්‍රීසි අක්ෂර යොදා ගැනීමේ ක්‍රම වේදයක් සොයාගැනීමත් සමග, ජනක විද්‍යාව නමින් ප්‍රවේණිය පිලිබඳ අධ්‍යයන ක්ෂේත්‍රයක් ආරම්භ විය.  ජීවී පෙළපත් සටහන් සකස් කිරීමේදී  මෙම අක්ෂර සංකේත බහුලව භාවිත වේ.

ලිනෙයස් විසින් භාවිත කරන ලද සංකේත, බෙහෙවින් ප්‍රයෝජනවත් වන ආකාරය පහසුවෙන් අවබෝධ කරගත හැකි සරල ක්‍රමයක් පහත දැක්වේ.

සෑම ජීවී සෛලයකම න්‍යෂ්ටියක් තිබෙන බව අපි දනිමු. න්‍යෂ්ටිය තුළ වර්ණදේහ පිහිටන අතර, වර්ණදේහවල ජාන අන්තර්ගත වේ. පහත රූප සටහනේ ශාක සෛලයක ව්‍යුහය දැක්වේ.

                                    
ඊළඟ රුපයේ දැක්වෙන්නේ  වර්ණදේහ යුගලයක ජාන කිහිපයක් පිහිටා ඇති ආකාරයයි.

අප කලින් සඳහන් කළ පරිදි, ජීවීන්ගේ ගැහැණු හෝ පිරිමි භාවය හටගැනීම සඳහා න්‍යෂ්ටියේ ඇති සුවිශේෂී වර්ණ දේහ යුගලයක බලපෑම අවහ්‍ය වේ.

මිනිසා තුළ මෙම සංසිද්ධිය සිදුවන්නේ කෙසේදැයි සැකෙවින් විමසා බලමු.

සෑම  ජීවියෙකුගේම එක් එක් සෛලය තුළ න්‍යෂ්ටිය බැගින් තිබේ. මෙම න්‍යෂ්ටියේ යුගල වශයෙන් තිබෙන වර්ණදේහ සංඛ්‍යාව ඒ ඒ ජීවියාට සුවිශේෂී වේ. පලතුරු මැස්සා වැනි කුඩා ජීවියෙකුගේ වර්ණදේහ යුගල හතරකි. මිනිසාගේ යුගල 23 කි. මෙම වර්ණ දේහ වලින් එක යුගලයක් ලිංගිකතාව තීරණය කරයි. මිනිසාගේ ඉතිරි යුගල 22 හි ඇති ජාන මගින් අනිකුත් විවිධ ගති ලක්ෂණ හුවා දක්වනු ලබයි. වර්ණදේහ යුගලයෙන් එකක් මවගෙන් ලැබී ඇති අතර දෙවැන්න ලැබෙනුයේ පියාගෙනි.  එකාකාර වර්ණදේහ යුගලයක එකම සෙව්වේ තිබෙන ජාන මගින් යම්කිසි සුවිශේෂී ගති ලක්ෂණයක් පෙන්නුම් කරයි. උදාහරණයක් වශයෙන් මිනිසාගේ හිසකෙස් රැලි සහිත භාවය සඳහා අවශ්‍ය ජානය එක් වර්ණදේහ යුගලයක අන්තර්ගත වේ. මෙවැනි ගති ලක්ෂණ දහස් ගණනක් මෙහෙයවනු ලබන ජාන වර්ණ දේහ වල විසිරී පවතී.

සාමාන්‍ය වර්ණදේහ වල අන්තර්ගත ජාන මගින් බොහෝ ගති ලක්ෂණ පිළිබිඹු කරන අතරම,  ලිංගිකතා වර්ණදේහ වල පිහිටන ජාන මගින් පාරම්පරික ලෙඩ රෝග හටගැනීම, පිරිමින්ගේ තට්ටය පැදීම, වර්ණ අන්ධභාවය   වැනි ඉතා සුවිශේෂී ලක්ෂණ ඉස්මතු කරයි.

ඕනෑම ජීවී ගහණයක (මිනිස් හෝ වෙනත්), පුං (male) සහ ජායා  (female) ජීවීහු බොහෝ දුරට 1 : 1 අනුපාතයට අනුව දකින්නට ලැබේ. නැතහොත් පිරිමි සහ ගැහැණු ප්‍රතිශතය සියයට පනහ ප්‍රමාණයකට ආසන්නව පවතී. මෙම සංසිද්ධිය සොබා දහමේ ප්‍රාතිහාර්යයක් ලෙස සැලකිය හැකිය.

මෙම අති සුක්‍ෂම ක්‍රියාවලිය පහසුවෙන් විග්‍රහ කිරීම පිණිසද අප කලින් සඳහන් කළ සංකේත භාවිත කළ හැකිය.

මිනිසා ඇතුළු අනිකුත් සතුන්ගේ සහ ශාකවල අලුතින් ජීවියෙක් හට ගැනීම සඳහා පුං ජන්මාණු (male gametes) සහ ජායා ජන්මාණු (female gametes) සම්බන්ධ වී සංසේචනයක් සිදුවිය යුතුය. මෙය ලිංගික ප්‍රජනනයයි.

මෙහිදී ක්‍රියාත්මක වන්නේ කලින් සඳහන් කරණ ලද පරිදි, ජීවීන්ගේ ලිංගිකතාව විදහා දක්වන වර්ණදේහයි.  මිනිසාගේ ප්‍රජනන    ක්‍රියාවලිය සලකා බැලීමේදී, කලින් සඳහන් කළ ආකාරයට, මිනිස් ගහණයේ ස්ත්‍රී පුරුෂ සමානුපාතය බොහෝදුරට 1 : 1 මට්ටමෙන් රඳා පවතිනුයේ ස්ත්‍රියගේ සහ පුරුෂයාගේ ලිංගික වර්ණදේහ වල තිබෙන වැදගත් එකිනෙකට වෙනස් ලක්ෂණයක් නිසාය.


ස්ත්‍රියකගේ  එකාකාර ලිංගික වර්ණදේහ යුගලය XX ලෙස හඳුන්වන අතර පුරුෂයෙකුගේ එකිනෙකට වෙනස් ලිංගික වර්ණදේහ යුගලය XY ලෙස හැඳින්වේ. ස්ත්‍රියකගේ X වර්ණදේහය සහ පුරුෂයෙකුගේ X වර්ණදේහය බොහෝදුරට සමානය. එහෙත් පුරුෂයෙකුගේ Y වර්ණදේහය  X වර්ණදේහ වලට වඩා හාත්පසින්ම වෙනස් වේ.

ස්ත්‍රී භාවයේ සහ පුරුෂ භාවයේ  වෙනසට පාදක වනුයේ මෙම ලක්ෂණයයි.

ජන්මාණු හටගැනිමේදී සහ ජන්මාණු සංසේචනයකදී මෙම ප්‍රාතිහාර්යය සිදුවී මිනිස් ගහණයේ පුං (male) සහ ජායා  (female) ජීවී අනුපාතය (පිරිමි : ගැහැණු) සමතුලිතාව පවත්වා ගැනෙනුයේ කෙසේද යන්න විමසා බලමු.


                                                              
පිරිමියාගේ පුං ජන්මාණු වන ශුක්‍රාණු හටගනුයේ වෘෂණයේය. ස්ත්‍රියගේ ජායා ජන්මාණු වන ඩිම්බ හටගනුයේ ඩිම්බ කෝෂයේය. සාමාන්‍ය සෛල වල වර්ණදේහ යුගල වශයෙන් පැවතියත් ජන්මාණු හටගන්නා විශේෂිත ස්ථාන වල එම ක්‍රියාවලිය සිදුවන විට ලිංගික වර්ණදේහ යුගලයේ කොටස් දෙක එකිනෙකින් වෙන්වේ. එනම් පිරිමියාගේ XY යුගලයේ X සහ Yවෙන වෙනමත්, ස්ත්‍රියගේ XX යුගලය X සහ  X ලෙසත් වෙන්වේ. මෙසේ වෙන්වී ඒවා ජන්මාණු බවට පත්වේ. මේ නිසා පිරිමියෙකු දෙආකාරයක ශුක්‍රාණු නිපදවන අතර ස්ත්‍රියකගේ ඩිම්බ හටගනුයේ එක් ආකාරයකින් පමණකි. මෙය සිදුවන්නේ කෙසේද යන්න ඉහත සටහනේ දක්වා ඇත.

ලිංගික එක් වීමකදී පරිණත ඩිම්බයක්, ශුක්‍රාණුවක් මගින් සංසේචනය වීම ඉතාමත් අහඹු ලෙස සිදුවේ. මෙම අහඹු සිදුවීමෙහි ආකාර හතරක්  ඉහත සටහනේ දැක්වේ. අවසානයේදී සමස්ත මිනිස් ගහණයම පොදුවේ ගත් කළ, ස්ත්‍රී පුරුෂ අනුපාතය, 1 : 1  ලෙස පවතිනුයේ මෙම සංසිද්ධිය නිසාය.

ඕනෑම ජීවී ගහණයක, පුං සහ ජායා ජීවී සමානුපාතය, රඳා පවතින්නේ  පුං ජීවියාගේ ලිංගිකතා වර්ණදේහ යුගලයේ  Y වර්ණදේහය නිසා බව මෙයින් පැහැදිලි වේ.

විවිධ සංකේත වලින් හඳුන්වනු ලබන මිනිසාගේ ස්ත්‍රී පුරුෂ භාවය සහ අනිකුත් සියලුම ජීවීන්ගේ පුං සහ ජායා ලිංගික ස්වභාවයන් පවත්වා ගනිමින් ජෛව ලෝකයේ විවිධත්වය රඳා පවතින්නේ පුං  ජීවියාගේ Y සංකේතයෙන් හඳුන්වනු ලබන වර්ණදේහය නිසාය.







 




Wednesday, 10 October 2018

දිඹුල යන නමින්ද හැඳින්වෙන, අත්තික්කා ගස්වල, මල් හට ගන්නේද ?......

  දැනට වසර හාරසියයකට පමණ පෙර, අලගියවන්න මුකවෙටි තුමා විසින් රචනා කරන ලද සුභාෂිතය, ශ්‍රී ලංකාවේ ඉතා උසස් ගණයේ කාව්‍ය සංග්‍රහයක්  ලෙස ප්‍රචලිතය. අප අටවෙනි පන්තියේ ඉගෙනුම ලබද්දී, සිංහල සාහිත්‍යය සඳහා සුභාෂිතය එක් පාඨ ග්‍රන්ථයක් විය. සුභාෂිතයේ දැක්වෙන එක් කවියක ඇති උපමාවක් නිසා, මෑත කාලයේ  මා සහභාගිවූ සේවාස්ථ පුහුණුවකදී, ගැටලුවක් මතුවිය. එදින විමසිල්ලට ලක්වූ ගැටලුව සහ එයට අදාළ පද්‍යය  මෙසේය:
පහත දැක්වෙන මෙම පද්‍යයේ  සඳහන් පරිදි, දිඹුල ගස්වල මල් හට ගන්නේ නොමැතිද? 



දිඹුල යන නමින්ද හැඳින්වෙනුයේ ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ මෙන්ම දකුණු ආසියානු රටවල, බහුලව දකින්නට ලැබෙන අත්තික්කා ශාකය වේ. මෙම ශාකය අයත් වන්නේ Ficus නම් ශාක ගණයටය. බෝ, නුග වැනි ශාකද මෙම ගණයටම වැටේ. ඔබට හුරු පුරුදු, බෝ ගස්වල හෝ නුග ගස්වල, වෙනත් මල් හටගන්නා  ගස් වල මෙන්, මල් පිපී තිබෙනු ඔබ කිසිවිටක දකින්නට නැති බව සත්‍යයකි. එහෙත් මෙම ගස්වල ගෙඩි හටගන්නා බව ඔබ නිරීක්ෂණය කර ඇත. Ficus ගණයටම අයිති, අත්තික්කා හෝ දිඹුල් ගස් වලත් එසේමය.  දිඹුල් ගසට උදුම්බර යන නමකුත් යෙදෙන බව සාහිත්‍ය පොත්වල හමුවේ.

ශීත දේශගුණය හෝ  මධ්‍යධරණී දේශ ගුණය පවතින රටවල Ficus ගණයටම අයිති  ෆිග් (Fig) නම් ශාකයේ ඵලය රසවත් පලතුරු විශේෂයකි. 

මෙම ගස් වල, පෙනෙන්නට මල් නොමැතිව ගෙඩි හටගන්නේ කෙසේද?  සුභාෂිතයේ  අලගියවන්න මුකවෙටි පඬිතුමා කියන්නේත්, මල් නොමැති දිඹුල් ගසකට කෙතරම් ජලය දමා සත්කාර කලත්, මල් හට නොගන්නා බවයි. මා කලින් සඳහන් කළ කාර්ය සැසියේදී මතුවූ ගැටලුව මෙයයි.

මල් හටගන්නා හෝ හටනොගන්නා බව සෙවීමට පෙර, මෙම Ficus ගණයට අයිති ඉහත සඳහන් කළ ශාක කිහිපයක තොරතුරු මඳක් විමසා බලමු. අප බොහෝ දෙනෙකු දැක ඇති අත්තික්කා ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය Ficus recemosa වේ. මේවා ගංගා, ඇළ, දොළ ඉවුරුවල වැඩෙන, සාමාන්‍ය ප්‍රමාණයේ ශාක වේ. ශාකයේ ප්‍රධාන කඳේ සහ අතුවල ලොවි ගෙඩියක් තරම් විශාල, කහ පැහැයට හුරු කොළ පැහැති ගෙඩි, පොකුරු වශයෙන් හටගනී. ඉදුණු අත්තික්කා ගෙඩි රසවත් පලතුරකි.
    
   
අත්තික්කා ගසට වඩා කුඩා, කොට දිඹුල ශාකයද ගංගා ඉවුරු වැනි ජලාශ්‍රීත ස්ථානවල වැඩෙන ශාකයකි. මේ ශාකයේ පත්‍ර බූව සහිතය. තද කොළ පැහැති ගෙඩි හටගනුයේ අත්තික්කා වල මෙන්ම කඳෙහිය. මෙහි ගෙඩි පළතුරක් ලෙස නොගනී. විද්‍යාත්මකව මෙම ශාකය හඳුන්වන්නේ Ficus hispida  යන නමිනි. සමහර අවස්ථාවල මෙය ‘කොට කිඹුල’ යන වැරදි නමකින්ද හඳුන්වණු දකින්නට ලැබේ.

අත්තික්කා  වලට බොහෝදුරට සමාන මධ්‍යධරණී ප්‍රදේශවල සහ ශීත රටවල වැවෙන ‘ෆිග්’ (Fig) නමැති ඉතාමත් ජනප්‍රිය පලතුරු වර්ගයක්ද තිබේ. මෙම ශාකය  හඳුන්වනුයේ  Ficus carica  යන නමින්ය. ෆිග් ඵලය රට ජම්බු ගෙඩියක් තරම් විශාල, මුලින් කොළ පැහැයට තිබී පසුව දම්පැහැයට හුරුව ඉදෙන ප්‍රනීත රසයකින් යුක්ත පලතුරකි. ඉදුණු ෆිග් ගෙඩියක රස විඳින ආකාරය මෙම දිගුව ඔස්සේ බලන්න. 
                       https://www.youtube.com/watch?v=n7uWSAfVO9g   
              
මේ කිසිම Ficus  ශාකයක බාහිරින් පෙනෙන මල් හට නොගනී. ඒවායේ හටගන්නා ඵල / පුෂ්ප මංජරියෙන්ම සැදුණු, ගෙඩි වල සුවිශේෂී ලක්ෂණය නිසාම උද්භිද විද්‍යාවේදී එයට cyconium යන නම ව්‍යවහාර වේ. පුෂ්ප මංජරියම මාංශල වී එය තුළ ඉතා කුඩා පුෂ්ප හටගැනීම යන අර්ථය එයින් හැඟවේ. මෙය සිංහල පාරිභාෂික පදමාලාවේ ‘ප්‍රාග් උදුම්බරය’ නම් රමණීය නමකින් දැක්වේ. මෙය පරිණත වී හටගන්නා ඵලය 'උදුම්බරය' නමින් හැඳින්වේ. (මෙසේ නම් කිරීමට හේතුවක් තිබේ). 

අත්තික්කා, නුග, බෝ වැනි ඕනෑම  Ficus ශාකයක උදුම්බරයක් දික් අතට කපා බැලුවහොත් අපගේ ගැටලුවට විසඳුමක් පහසුවෙන් ලබාගත හැකිය.  

 



                                                                                                                                   
මෙහි දැක්වෙනුයේ, උදුම්බරයක දික් කඩක සටහනකි. (තනි පුෂ්පය සියවරක් පමණ විශාලනය කර ඇත)  මෙම දික් කඩ හොඳින් නිරීක්ෂණය කළ විට, මාංශල උදුම්බරය තුළ කුඩා පූමංගි (male) සහ ජායංගි (female) පුෂ්ප රාශියක් තිබෙන බව දකින්නට ලැබේ. පුෂ්ප පරිණත වන විට උදුම්බරය අග්‍රයේ ඇති සිදුර විවෘතවේ. මෙය හරහා ඇතුල් වන කෝඳුරුවන් වැනි කුඩා කෘමින් පුෂ්ප පරාගණය කරති. උදුම්බරයක් තුළ කුඩා පුෂ්ප දහස් ගණනක් තිබේ. පරාගණයෙන් පසු මාංශල උදුම්බරය තුළ ඇති සෑම පුෂ්පයකින්ම ඉතා කුඩා බීජය බැගින් හටගනී. 

ඉදුණු ෆිග් උදුම්බරය ඉතා රසවත් පලතුරකි.

සුභාෂිත කතුවරයා සිතන්නට ඇත්තේ, සල්මලක් හෝ නා මලක් තරම් විශාල පුෂ්ප ගැන වන්නට ඇත. සාමාන්‍ය අත්කාචයක් තුලින් බැලීමෙන් උදුම්බරය තුළ ඇති මෙම කුඩා පුෂ්ප හඳුනා ගැනීම පහසුය. මේ නිසා Ficus ශාක, සපුෂ්ප ශාක බව නිගමනය කළ හැකිය.
ප්‍රායෝගික නිදර්ශනද සහිතව කරන ලද මෙම විස්තරය මගින් කාර්ය සැසියේදී මතුවූ ගැටලුව නිරාකරණය කර ගත හැකි විය.
      
·      අත්තික්කා ගෙඩියට උදුම්බර නාමය ගැලපීම ගැනද සාහිත්‍යයේ දැක්වෙන පැරණි සිද්ධියක පසුබිමක් තිබේ. එය මෙසේය: 

අපේ සාහිත්‍යයේ, ජාතක පොතහි  දිගම ජාතක කතා වස්තුව  උම්මග්ග ජාතකයයි. මෙහි අතුරු කතාවක් ලෙස සිරි කාලකන්නි ප්‍රශ්නය දක්වා තිබේ.


දිසාපාමොක් ඇදුරුතුමාගේ දක්ෂතම ශිෂ්‍යයා පිංගුත්තර නම් තරුණයෙක් විය. ඇදුරු තුමාගේ සිරිත අනුව, ඔහුගේ දක්ෂතම ශිෂ්‍යයා වන පිංගුත්තරට, තම දියණිය විවාහ කර දෙන ලදී. මේ තරුණයා ස්ත්‍රීන් ඇසුරට බොහෝ  අකමැති කෙනෙකි. විවාහ වී නව මනාලිය සමග, සිය ගම බලා යන ගමනේදී ඔවුනට කුසගින්නක් හට ගත්තේය. අතරමග ඉදුණු ගෙඩි පිරී  තිබුණු අත්තික්කා ගසක් දකින්නට ලැබුණි. පිංගුත්තර ගසට ගොඩවී, ගෙඩි කඩා කන්නට පටන් ගත්තේය. බිම සිටි කාන්තාව ඔහුගෙන් කෑමට   අත්තික්කා ගෙඩි ඉල්ලු විට “ඇයි ගසට නැග ගෙඩි කඩා ගන්නට තිට අත් පා නැද්ද?” කියා ඔහු ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

ඇයට, තම සැමියාගෙන් පිළිසරණක් නැති බව දැනගත් විට, බඩගිනි නිසාම, ගෙඩි කඩා කෑම සඳහා ගසට ගොඩවීමට සිදුවිය. ඇය ගසට ගොඩවූ වහාම ගසෙන් බැසගත්  පිංගුත්තර, ඇයට ගහෙන් බැසීමට නොහැකි වන පරිදි,  ගස වටේට කටු ඉපල දමා පැන ගියේය. කාන්තාවට ගසෙන් බැස ගැනීමට  නොහැකිව ගස උඩම සිටියාය.

මේ වෙලාවේ, වේදේහ රජු, පරිවාර සෙනග සමග ඇතුන් පිට, සංචාරයේ යන විට ගස උඩ සිටින, මේ කාන්තාව දකින්නට ලැබුණි. ඇයගේ රූප ශෝභාවට රජුගේ සිත ඇදී ගියේය.  හිමිකාරයෙක් නැති වස්තුව තමන් සතු වන  නිසා, රජතුමා ඇය තමන් භාරයට ගෙන අග මෙහෙසිය කරන්නට යෙදුණි. අත්තික්කා නොහොත් උදුම්බරා ගහක් උඩ සිට හමු වුන නිසා ඇයට “උදුම්බරා දේවිය” කියා නම තබනලදී.

අපේ පාරිභාෂික වචන සකස් කිරීමේදී cyconium යන  දිඹුල් හෝ අත්තික්කා මාංශල ඵලයට උදුම්බරය’ යන නම ලැබී තිබෙන්නේ මේ සිද්ධිය ආශ්‍රීතව බව පෙනේ.

Ficus ගණයේ සමහර ශාක, ඈත අතීතයේ සිටම, මිනිසාගේ සංස්කෘතික සහ ආගමික කටයුතු හා බැඳුනු තොරතුරු හා  සමබන්ධ වී ඇති  බව දකින්නට ලැබේ. 

   1. ගෞතම බුදුරජාණන් වහන්සේට  භාවනානුයෝගීව වැඩ සිට,  බුද්ධත්වය    ලබාගැනීමට සෙවන දුන්,  Ficus ගණයට අයත් පූජනීය වෘක්ෂය වනුයේ, ජය ශ්‍රී මහා  බෝධියයි.  එම උදාර සිද්ධිය නිමිති කරගෙන, බෝ ශාක,  Ficus religiosa යන  නමින් හැඳින්වේ. ඉන්දියාවේ ජය ශ්‍රී මහා බෝධියේ අංකුරයක් ලෙස අනුරාධපුරයේ  රෝපණය කර තිබෙන, ශ්‍රී මහා බෝධියට වසර 2250 කට වැඩි ඉතිහාසයක් තිබේ. ශ්‍රී මහා බෝධිය ලොව වාර්තා ගත, පැරණිම රෝපණය කරන ලද ශාකය ලෙසද, ඉතිහාස ගත වී ඇත.  ඝර්ම කලාපීය වනාන්තර වල බහුල, Ficus benghalensis  යන නමින් හැඳින්වෙන නුග ශාකද බෞද්ධ ඉතිහාසයේ බොහෝ සිද්ධි හා සමබන්ධව පවතී.

    2. මැද පෙරදිග නිජ භුමිය වන  Ficus carica,  ෆිග් (Fig) ශාකයද, ක්‍රිස්තු ආගමේ සමහර සිද්ධි හා බද්ධව පවතින බව පෙනේ. හීබෲ බයිබලයේ සඳහන් වන තුන්වන ශාකය ෆිග් ශාකයයි. එසේ සඳහන් වන පළමු සහ දෙවන ශාක, ජීවන ශාකය සහ ප්‍රඥා ශාකය වන අතර තුන්වැන්න සඳහා දක්වා ඇත්තේ ෆිග් (Fig) ශාකයයි. මෙයට අදාළ Genesis 3:7 බයිබල් පාඨය මෙසේය:
      
     The fig tree is the third tree to be mentioned by name in the Hebrew Bible. The first is the Tree of life and the second is the Tree of the knowledge of good and evil. Adam and Eve used the leaves of the fig tree to sew garments for themselves after the Fall, when they realized that they were naked (Genesis 3:7).    ආදම් සහ ඒව දැක්වෙන චිත්‍ර සටහන් වල, නග්න බව වැසීම සඳහා ෆිග් ශාක පත්‍ර යොදා ගනු ලබන්නේ මෙම බයිබල් වැකිය ආශ්‍රීතව විය හැකිය.
     
  3. මුස්ලිම් බැතිමතුන්ගේ, ශුද්ධ කුරානයේද, (Quran, 95:1) වාක්‍යයෙන් ෆිග් ඵලයෙන් ලැබෙනමහත් ඵල ප්‍රයෝජන සහ එහි  වැදගත් කම ගැන විග්‍රහයක් කර තිබෙන්නේ මෙසේය:
              
           

මම ෆිග් සහ ඔලිව් නාමයෙන් (දිවුරමි)

( The reference to the Fig fruit  in the first verse of Surat at-Tin, is a wisest one in terms of the benefits imparted by this fruit )
මෙම කරුණු ගැන සිතා බලනවිට, Ficus ගණයට අයත් ශාක, මිනිසාගේ  ආරම්භ යුගවල සිටම, මිනිසාට මහත් ඵල ප්‍රයෝජන ලබාදී ඇති බවට බොහෝ සාක්ෂි සොයා ගත හැකිය. 
අපගේ ඇසට, දුරක සිටම පෙනෙන පුෂ්ප නොදැරුවත්, මෙම ශාකවල උදුම්බරය තුළ, කුඩා අන්වීක්ෂීය පුෂ්ප, දහස් ගණනක් ඇත. මාංශල උදුම්බරය තුළ සැඟවී තිබෙන ඉතා කුඩා පූමංගි පුෂ්ප මගින්  ජායංගි පුෂ්ප පරාගණය කිරීම සඳහා, සමනලයින්, මිමැස්සන් වැනි කෘමින්ට ඇතුලට රිංගා යාමට නොහැකිය. ඒ වෙනුවට එම කාර්යය සඳහා උදුම්බරය අග්‍රයේ ඇති, ඉතා කුඩා විවරය හරහා යාමට හැකියාව තිබෙන කෝඳුරුවන් වැනි කුඩා කෘමින් අනුවර්තනය වී තිබේ. 
ස්වභාව ධර්මයේ අපූර්ව සිදු වීමක් වන මෙය, ශාක සහ සත්ත්ව විශේෂ අතර සහසම්බන්ධතාව සිදුවන ආකාරයට සිදුවී ඇති  පරිණාමයේ, හොඳම උදාහරණයක් ලෙසද සැලකිය හැකිය.
(බයිබලයේ සහ කුරානයේ පාඨ අන්තර්ජාලයෙනි.)