Wednesday, 27 December 2017

අටවන ශ්‍රේණියේ ශිෂ්‍යයෙකු දුටු ‘අමුතු දෙයක්’

  ම කළුතර බෝධිඥාන පුස්තකාල සංවර්ධන කමිටුවේ ලේකම් ලෙස, වසර කිහිපයක් සේවය කළෙමි. පුස්තකාලය පාසල් සිසුන්ට ප්‍රියජනක ස්ථානයක් කිරීම සඳහා විවිධ ක්‍රියාකාරකම් සඳහා යොමු කිරීමට අපි උත්සාහ ගත්තෙමු. සෑම වර්ෂයකම සාහිත්‍ය මාසයේදී පුස්තකාලයේ පාඨක සිසුන්ගේ දක්ෂතා එළි දැක්වීම සඳහා සාහිත්‍ය උත්සවයක්ද පැවැත්විණ. විවිධ තරඟ පවත්වා දක්ෂතා පෙන්වන අයට තෑගී දීමද සිරිතක් විය.

එක් වසරක සාහිත්‍ය උත්සවයේ අටවන ශ්‍රේණියේ සිසුන් සඳහා වූ රචනා තරඟයේ මාතෘකාව වුයේ මා දුටු අමුතු දෙයක් යන්නයි. මෙම තරඟයට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 15 දෙනෙක් පමණ ඉදිරිපත්  වූහ.

එක් සිසුවෙක්  ලියා තිබුණු රචනාව කාගේත් සිත් ඇදගන්නා සුළු එකක් විය. එහි මාතෘකාව වුයේ   මා දුටු සබ්බේ අතුරු පාර යන්නයි. රචනා කියවා ලකුණු දමා පළමු, දෙවෙනි, සහ තුන්වන ස්ථාන තේරීම මට පැවරී තිබුණි.

එම ශිෂ්‍යයාගේ රචනාවේ කොටසක් මෙසේය.

පසළොස්වක දිනයේ සිල් ගැනීමට අපේ ආච්චි මට පෙරැත්ත කළාය. මිට කලින් සිල් සමාදන් වී නොසිටි මම අකැමෙ‍ත්තෙන්ම සිල් ගැනීමට කළුතර බෝධියට ගියෙමි. එදා පොසොන් පෝය දවසයි. උදේ හයටත් කලින් අපි බෝධියට ගියා.  සිල් ගත්තේ පඩි ගොඩක් නැග්ගට පස්සේ තිබුණු උඩ බෝධිය ළඟ. සිල් සමාදන් උනාට පස්සේ හෙමින් යන එන හැටිත් එක තැනක වාඩිවී බාවනා කරන හැටිත් ආච්චි මට කියා දුන්නා.

සිල් සමාදන් වීමෙන් පසු මල් පහන් පූජාකර ටික වෙලාවක් භාවනා කරන විට මුණුපුරාට  එක ඉරියව්වකින් සිටීම මහත් අසීරු විය. එසේ වුවත් භාවනාවේ යෙදී සිටින ආච්චිට කරදර කිරීමත් ඔහුට කළ නොහැකිය. වට පිට බැලු ඔහුට, සිල් සමාදන්වී සිටි තම වයසේ තවත් ළමයි කිහිප දෙනෙකු තාප්පය අයිනේ සිටිනු දකින්නට ලැබිණ. ඔහු එතැනට ගොස් ඒ ළමයින්ට එකතු විය.

දහවල් බුද්ධ පූජාව සඳහා සීනුව නාදවූ විට භාවනාවේ යෙදී සිටි සියලු දෙනාම පහල මළුවට යාමට සුදානම් වී ඇත. මුනුපුරාද කඩිනමින් ආච්චිට එකතු වූයේය. 

ඒ සියල්ල විස්තර කිරීමෙන් පසුව මුණුපුරාගේ රචනය  තවදුරටත් මෙසේය

බුද්ධ පූජාවට මහපාරෙන් එහා පැත්තේ විහාරයට යන්නට සිදු විය. ගොඩක් සෙනග සිටි නිසා පඩි පෙළ බහින්නටත් හරිම අමාරු ය. මහපාර හරහා එහා පැත්තට පනින්නට බැරි තරමට‍ සෙනගත්  වාහනත් පිරි තිබුණි. 

සබ්බේ එකෙන් අනිත් පැත්තට යන්නකියා පීකරයෙන් කිව්වා.

ආච්චි මාවත් ඇදගෙන ඒ පැත්තට ගියා. සෙනග තෙරපී  අපි ගග පැත්තට පඩි ගොඩක්  බැස්සා. සබ්බේ එක ගඟට උඩින් පාලමට යටින් තිබෙන පොඩි පාලමක් වගේ එකක්‌. සෙනග ගොඩේ ඒකෙන් යාමට බයත් හිතුනා. ටිකකින් අනිත් පැත්තට ගිහින් පඩි පෙලකින් එහා පැත්තේ උඩට ගිය විට බය ඇරුණා.

මම දවල් කෑමට පස්සේ, ආච්චිටත් හොරෙන් සබ්බේ එකට වෙලා පැයක් විතර ගග දිහා සහ මුහුද පැත්තේ බලා සිටියා. උඩ පාලමේ බස් කාර් ලොරි වගේ වාහන යනකොට මහත් බයකුත් දැනුණා.

මේ වගේ පොඩි පාලම් වලට කියන්නේ සබ්බේ වෙන්නට ඇති. මා දැක ඇති අමුතු දෙය මේකයි.

මෙම රචනාව තවත් කිහිප දෙනෙකු සමග කියවා අපි ඉතාමත් අහිංසක වින්දනයක් ලැබුවෙමු. එදිනම සවස අප කිහිප දෙනෙකු ඒ වෙනුවෙන්ම, කළුතර බෝධිය අසලට ගොස් ශිෂ්‍යයා සඳහන් කර තිබුණු සබ්බේ එකබැලීමට ගියෙමු. අපද එය හරහා ගමන් කළ පළමු වතාව එය විය.

කළුතර බෝධි පරිශ්‍රයේ උඩ  මළුව පැත්තේ සිට, අධික වාහන තද බදයක් පවතින ගාලු පාර හරහා  ගමන් කිරීම,  අතිශය පීඩාකාරී නිසා  මහාමාර්ගයේ පාලමට යටින් සකස් කර ඇති පා ගමනින් යා හැකි අතුරු මාර්ගය මෙයයි. මෙය ඉංග්‍රීසියෙන් ‘subway’ කියාත් සිංහලෙන් අතුරු මගකියාත් නම්කර දෙපැත්තේම දැන්වීම් සවිකර තිබේ. 

විශේෂයෙන්ම නිතරම ආගමානුකූල කටයුතු වල නියැලෙන වැඩිහිටි අයට සබ්බේයන පාලි වචනය කටට හුරු වචනයක් නිසා මෙම පටු අතුරු මගටද එම නම භාවිත කරන්නේයැයි සිතනවාත් ඇත.

කළු ගඟෙහි, කළුතර පැරණි යකඩ පාලම ඉවත් කර නව පාලම් නිර්මාණය කිරීමේදී කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ ඉල්ලීම පරිදි subway ලෙස නම්කළ මෙම ‘අතුරු මගද’ නිර්මාණය කරණ ලද බව දැනගන්නට ලැබිණ. 


Sunday, 24 December 2017

ඉතාමත් නිහතමානි රාජ්‍යතාන්ත්‍රිකයෙකු හමුවිය.....

  රජයේ සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු, මට  රාජ්‍ය නොවන පුණ්‍ය ආයතනයක්‌ වන, කළුතර බෝධි භාරකාර මණ්ඩලය මගින් යෝජිත, පුස්තකාලය සංවර්ධනය කිරීමේ  ව්‍යාපෘතියක නියැලීමට අවස්ථාව ලැබිණ. විශේෂයෙන්ම පුස්තකාලය සම්බන්ධ අධ්‍යාපන වැඩ සටහන් මාලාවක් ක්‍රියාත්මක කිරිම මට අයත්වූ  ප්‍රධාන වැඩ කොටසක් විය. ප්‍රදේශයේ දානපති පවුලක් විසින් බෝධි භාරකාර මණ්ඩලයට තිළිණයක් වශයෙන් පවරා දෙන ලද ‘තිලිණ’ නම් ගොඩනැගිල්ලෙහි ස්ථාපනය කරන ලද පුස්තකාලය ‘බෝධිඥාන පුස්තකාලය’ යනුවෙන් නම් කරන ලදී.

පුස්තකාලයේ සියලු සංවිධාන කටයුතු අවසන්කර, එය විවෘත කිරීම සඳහා එවකට සිටි රාජ්‍ය පරිපාලන ඇමතිතුමාට ආරාධනය කර තිබිණ. ආයතනයේ සභාපති තුමාගේ නිර්දේශය අනුව, එදින රැස්වීමේ විශේෂ දේශනය පැවැත්වීම සඳහා රාජ්‍ය සේවයේ ඉතාම වැදගත්, අග්‍රාමාත්‍ය ලේකම් සහ ජනාධිපති ලේකම් තනතුර කිහිප වරක්ම දරා, විශ්‍රාම සුවයෙන් සිටින ප්‍රභුවරයෙකුට ආරාධනා කරණ ලදී. ඔහු ආරාධනය සතුටින් පිළිගත් බව හැරෙන තැපෑලෙන් දන්වා එවිය.

ඔහු සභාවට හඳුන්වා දීමේ කාර්යය මා වෙත පැවරිණ.

මෙම භාරදුර කාර්යය සඳහා අවශ්‍ය තොරතුරු ලබාගැනීම පිණිස මට ඔහු හමුවීමට සිදුවිය.

බෝධි භාරකාර මණ්ඩලයේ සභාපති තුමාගෙන් ලබාගත්, එතුමාගේ දුරකථන අංකයට කථාකර, ඔහුගේ ලිපිනය ලබාගෙන, හමුවීමට දිනයක් සහ වේලාවක් නියම කර ගතිමි.

නියමිත දින මා එහි යනවිට ඔහු නිවසේ ආලින්දයේ මා බලාපොරොත්තුවෙන්  සිටියේය.

මා සාදරයෙන් පිළිගත් ඔහු ආගිය තොරතුරු කථාකර තමන් විසින් මෑතදී ලියා පළකරන ලද පොත් දෙකක් මට පෙන්වා

‘මම මේ පොත් දෙක පුස්තකාලයට තෑගි කරනවා.’
කියා පොත් මා අතට දුන්නේය. ඉංග්‍රීසියෙන් ලියා පළකර තිබුණු පොත් දෙක මෙසේය 
   

       1.  Rendering Unto Caesar:   Fascinating Story of One Man's Tenure under Nine Prime        Ministers and Presidents of Sri Lanka
       2. 'Kalutara – An Odyssey', 

 මට තේ කෝප්පයකින් සංග්‍රහ කළ එතුමා,

‘මා ගැන ඒ තරම් කියන්නට දෙයක් නැහැ. මමත් ඔය පැත්තේම කෙනෙක්. මගේ උපන් ගම කළුතර, පයාගල. මම මුලින්ම ඉගෙන ගත්තේ කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලයේ’

එම තොරතුරු මම කලින් දැන නොසිටියෙමි.

මට අවශ්‍යතාවය තිබෙනුයේ පුස්තකාලය විවෘත කිරීමේ මහා සභාවේ ආරාධිත දේශකයා වන ඔහු හඳුන්වාදීම බව මම කීවෙමි.

‘එහෙනම් මගේ ගම් ප්‍රදේශයේ ජනතාව වැඩිපුර එන ඔය රැස්වීමේදී බොහෝ  දෙනෙක් නොදන්නා යමක් කියමු.’

කියමින් ඔහු මා  අසලම පුටුවක හිඳ ගත්තේය.

එතුමාගේ රසවත් විස්තරය ඔහුගේ වචන වලින්ම මෙසේය.

‘මම අහලා තියෙන තොරතුරුත් එක්ක මගේ කතාව කියන්නම්. ඔයාගේ වැඩේට ගැලපෙන විදිහකට තෝරා බේරා ගන්න. මම උපන්නේ 1930 ඔක්තෝබර් 20 වෙනිදා. රෝහලේ  උපන් මා, දැක බලාගත් මගේ පියා හදිසි කටයුත්තක් තිබෙන බව කියා ඉක්මණට පිටවී ගියාලු.’

‘මගේ පියා ඒ කාලෙත් ක්‍රිකට් පිස්සෙක්ලු. ඔහු ඉතාමත් ප්‍රිය කරන ලෝකයේ නම් දරාපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් එදා ලංකාවට ඇවිත්. තාත්තා කලබලෙන්ම ගොස් තිබෙන්නේ එදා සවසට ක්‍රිකට් සංගමය මගින් හදිසියේම ඒ ක්‍රීඩකයා වෙනුවෙන් සංවිධානය කළ සාදයකට ගොස් ඔහු දැක බලා ගැනීමටයි.’

මම සාවධානව අසාගෙන සිටියෙමි. මේ කතාව මගේ අවශ්‍යතාවට ගැලපේද යන්න මට ප්‍රහේලිකාවක් විය.

‘එදා තාත්තා බලන්නට ගොස් තිබෙන්නේ ලෝකප්‍රකට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩොන් බ්‍රැඩ්මන්වයි.’ කී ඔහු, මඳක් කල්පනාකරන්නට විය.

ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පවත්වන ‘අළු බඳුන’ (Ashes) මහා ක්‍රිකට් තරඟාවලිය එම වසරේදී පවත්වා ඇත්තේ එංගලන්තයේය. එහිදී ටෙස්ට් තරඟ පහෙන් දෙකක් ඔස්ට්‍රේලියාව දිනාගත් අතර එකකින් පරාජයට පත්විය  ඉතිරි තරඟ දෙක ජය පරාජයකින් තොර විය. මේ නිසා තරඟ වාරයේ ජය ඔස්ට්‍රේලියාවට අත්වි තිබේ. මෙම ජයග්‍රහණයේ වීරයා වී තිබෙන්නේ ලකුණු විශාල සංඛ්‍යාවක් ලබාගත් ඕස්ට්‍රේලියාවේ  ඩොන් බ්‍රැඩ්මන්ය. මෙය පත්‍ර වාර්තාවක සඳහන් කර ඇත්තේ මෙසේය.

Australia won the 1930 Ashes series against England, winning two of the matches and losing one, with the other two tests drawn. Don Bradman had been the highest scorer. This particular tour will always be remembered by reason of the amazing batting successes which attended the efforts of Bradman.

ඔහු තම කථාව තවදුරටත් කරගෙන ගියේය.

‘සවස ආපසු පැමිණි පියා (තවමත් පහවී නොගිය ක්‍රිකට් උද්දාමයෙන් යුතුව) ඒ දිනවල ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයා වී සිටි ඕස්ට්‍රේලියානු ජාතිකයාගේ නම පුංචි පුතා වන මටද දැමීමට තීරණය කරලා.’

‘ඔන්න ඔහොමයි සිංහල මට අපේ පවුලේ වාසගමත් එක්ක  බ්‍රැඩ්මන් වීරකෝන්  නම ලැබුනේ.’

මෙසේ කියමින් ඔහු මඳ සිනහවක් පා මාදෙස බලා සිටියේය.

සියල්ල කෙටියෙන් සටහන් කර ගත් මම

‘හරි අපූරු කතාවක්නේ. මම උත්සවය දාට මේ විස්තරය කියවන්නම්’ කීවෙමි.

ඔහු හිස සලා එය අනුමත කළේය.

පුස්තකාලය විවෘත කිරීමේ උත්සවයට පැමිණි ආරාධිත අමුත්තන් හේවිසි හොරණෑ සහිත පෙරහැරකින් ප්‍රධාන ශාලාව වෙත කැඳවාගෙන එන ලදී. චාම් ඇඳුමකින් සැරසි බස්තමක්ද රැගෙන පැමිණි ඔහු වේදිකාවට ගොඩ වන විට අසල සිටි අයෙකු උදව් කිරීමට සැරසෙන විට විහිළුවක් කළ ඔහු,

‘මට තවමත් තනියම පඩි නගින්නට පුළුවන්. මේ බස්තම තියෙන්නේ මම වයසක කෙනෙක් කියලා පෙන්නන්නට විතරයි. ඒ උනාට මම සිතින් තරුණයි.’ කියමින් සිනහ විය.

ආරාධිත දේශක තුමාගෙන් ලබාගත් සියලු තොරතුරු සම්පිණ්ඩනය කර හඳුන්වා දීමේ උපුටනය (citation) උත්සව සභාවේ කියවූ විට බොහෝ දෙනෙකුට මහත් කුතුහලයක් ඇතිවිය. උත්සව සභාව, ශාලාව ගිගුරුම් දුන්, මහත් අත් පොළසන් නාදයකින් එතුමා පිළිගත්හ.



බ්‍රැඩ්මන් වීරකෝන් නමැති මේ යුග පුද්ගලයා කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලයයේ මුලික අධ්‍යාපනය ලබා, ගුරුතලාවේ ශාන්ත තෝමස් විද්‍යාලයයේ දිවිතීය අධ්‍යාපනයෙන් පසු පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුලත් වී තිබේ. විශ්ව විද්‍යාලයයෙන් ආර්ථික විද්‍යාව සහ සමාජවිද්‍යාව විෂයයන්ගෙන් ගෞරව උපාධියක් ලබා ඇති ඔහු ‘ෆුල්බ්‍රයිට්’ (Fulbright) ශිෂ්‍යත්වයක් ලබා ඇමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් විශ්ව විද්‍යාලයයෙන් සමාජ විද්‍යාව පිලිබඳ ශාස්ත්‍රපති (MA) උපාධියක්‌ ලබා තිබේ.  
1954 වසරේදී ශ්‍රී ලංකා සිවිල් සේවයට බැඳුනු ඔහු, දිවයිනේ ප්‍රදේශ කිහිපයකම සේවය කර සර් ජෝන් කොතලාවල අගමැති තුමාගේ ලේකම් වශයෙන් පත්වී 2002  වසර දක්වාම තේරී පත්වූ සියලුම අගමැතිවරුන් සහ ජනාධිපතිවරුන්ගේ ලේකම් වරයා වශයෙන් අද්විතීය සේවයක් කර තිබේ.
ඔහුගේ Rendering Unto Caesar:  Fascinating Story of One Man's Tenure under Nine Prime Ministers and Presidents of Sri Lanka  නම් පොතෙහි රාජ්‍ය නායකයින් ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කළ කාලයේ සත්‍ය තොරතරු ඉතා රසවත් ලෙස පාඨකයා හමුවේ තබා ඇත.

එසේම 'Kalutara – An Odyssey' නම් පොතේ කළුතර ප්‍රදේශයේ යටගියාව සහ නවීන සංවර්ධන ක්‍රියාදාමයන් පිළිබඳව අගනා විස්තරයක් කියවිය හැකිය.
                                                                                                                    

  

Wednesday, 20 December 2017

මගේ පරිසර පොත එළි දැක්වීමට හැකිවිය.......

  රිසරය පිළිබඳව පොතක් ලියා පළකිරීම ගැන, කළක  සිට මාගේ සිතේ තිබුණු අදහසක් සඵල කර ගැනීමට මට හැකිවිය. මගේ පොතෙහි පිවිසුම මගින් එම අදහස දැක්වුයේ  මෙසේය:

“ ‘පරිසරය නිවැරදිව දකිමු’  මාගේ මුල්ම විද්‍යා කෘතියයි. කුඩා කල  සිටම පරිසරයට ඇලුම් කළ මා හට එයට පාදක වූයේ මා හැදුනු වැඩුනු ගම්බද පරිසරයයි. ගමෙහි වෙල් එළියේ, බඩ වැටි වල සහ ඇළ දොළෙහි ආශ්වාදය නොමඳව ලද මා, ගමෙහි  ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසුව ද්විතීය අධ්‍යාපනය ලැබුවේද ස්වභාවික සෞන්දර්යයෙන් හෙබි අර්ධ නාගරිකයකය. පසුව විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා නගරයට යාමට සිදදුවිය. මේ සිදුවීම් දැනට දශක පහකට පමණ ඉහතදීය. පරිසරය පිළිබඳව මා තුළ ජනිතව තිබූ කුතුහලය ඔප මට්ටම වීමටත් නව සංකල්ප රාශියක් අධ්‍යයනය කිරීමටත්, අලුත් පොතපත කියවීමටත් විශ්ව විද්‍යාලයේ දී මාහට හැකියාවක් ලැබිණි. එකළ පරිසර විෂයය (ecology) විද්‍යාවේ නීරස කොටසක් විය. විශ්ව විද්‍යාලයයේද ‘පරිසරය’ විෂයය කොටස ප්‍රායෝගික අත්දැකීම් රහිත දේශන දෙකකට පමණක් සීමාවිය.

අභ්‍යවකාශ තරණය සිදුවූයේ මේ අවදියේදීය. මේ සමගම ලොව පුරා  විද්‍යාවේ නව ප්‍රබෝධයක් හටගත් අතර, ‘සැමටම විද්‍යාව’ නමින් නව අදහසක්ද නිර්මාණය වන්නට විය. එයට සමගාමීව ‘හරිතාගාර ආචරණය’, ‘පරිසරය උණුසුම්වීම’, ‘ධ්‍රැව ප්‍රදේශ වල හිම කඳු දියවීම’ වැනි පරිසර විද්‍යාත්මක සංකල්පද විද්වතුන්ගේ සාකච්ඡාවලට ලක් විය. විශ්ව විද්‍යාලද මෙම නව සංකල්ප ඇතුලත් පාඨ  මාලාද  ආරම්භ කළහ.

පසුව, විද්‍යා අධ්‍යාපන ක්‍ෂේත්‍රයට පිවිසි මා හට, ඒ වන විට පාසල් විෂයය මාලාවට ක්‍රමක්‍රමයෙන් ඇතුල් වෙමින් තිබුණු පරිසර විෂයය කොටස් පිලිබඳ අවධානය දැක්වීමට අවස්ථාව  ලැබුණි. විශේෂයෙන්ම විෂයය මාලා සංවර්ධනය, ගුරු පුහුණුව, පරිසර අධ්‍යාපනය සඳහා පාසල් සිසුන් යොමු කරවීම වැනි කටයුතු වලින් මෙයට දායක වීමට හැකිවිය. මෙසේ දැක්වු දායකත්වය හරහා ලැබූ අත්දැකීම් එළිදැක්වීම මෙම පොතෙහි අභිප්‍රායයි. මෙහි අඩංගු කරුණු විශේෂයෙන්ම පාසැල් සිසුන්ට පරිසරය පිලිබඳ අවබෝධයක් ලබාගැනීමට ඉවහල් වේයැයි උදක්ම බලාපොරොත්තු වෙමි”

පොතක් ලියා පළකර ගැනීමේදී, අත්විඳීමට සිදුවන ගැහැට පිළිබඳ දැනගැනීම බොහෝ අයට ප්‍රයෝජනවත් විය හැකි වේයයි සිතු නිසා, මෙසේ සටහනක් තැබීම සඳහා සිත් යොමු කළෙමි.




පොතෙහි පිට කවරය

රාජ්‍ය සේවයේ යෙදී සිටියදී පොතක් ලිවිම වැනි බාහිර කාර්යයක් සඳහා කාලය මිඩංගු කිරීම කිසිසේත් කළ නොහැකි විය. විශ්‍රාම ගැනිමෙන් පසුව යලිත් විෂයයට අදාළ පැවරුම් කිහිපයකට සම්බන්ධ වීම නිසා දැනුම තව දුරටත් ඔප මට්ටම කර ගැනිමට අවස්ථාවක් ලැබුණු අතර ව්‍යාපෘති වාර්තා සකස් කිරීම, පැවරුම්වල කොටසක් වූ නිසා ලිවීමේ හැකියාව වැඩිදියුණු කර ගැනීම පහසු  විය. එම ලිය කියවිලි ඉංග්‍රීසියෙන් කරන අතරම සිංහලටද පරිවර්තනය කිරීමට සිදුවූ නිසා භාෂාව හැසිරවීම පිළිබඳවද නිපුණත්වයක් ලැබුණි. එසේ වුවත් සිංහල පරිගණක ලිවිම කිසිසේත් ප්‍රගුණ කල නොහැකි විය.

මේ අයුරින් වසර කිහිපයක් ගතවී ස්ථිර පදිංචිය සඳහා විදේශ ගත වීමට සිදුවිය. කාර්ය බහුලතාවය අඩුවීම නිසා නැවත පොත ලිවිම සඳහා සිත යොමු කළෙමි. එහෙත් විදේශයක සිටිමින් සිංහලෙන් ලියනදේ පරිගණක ගත කරගන්නේ කෙසේද යන්න මහත් ගැටළුවක් විය. මෙසේ දෙගිඩියාවෙන් කල්පනාකරමින් සිටින විට, අපගේ දියණිය මලී අලුත්  අදහසක් මෙසේ ඉදිරිපත් කළාය.

තාත්තේ.... සිංහලෙන් ටයිප් කරන්න ‘Google Input Tools’ පාවිච්චි කරන්න. එකෙන් ලියන්න හරිම ලේසියි.  මම Install කරලා දෙන්නම්.

එසේ කියා එම අකුරු පුවරුව මගේ පරිගණකයට යොමුකර භාවිත කරන ආකාරයද පැහැදිලි කර දුන්නාය. සිංහල වචන ඉංග්‍රීසි අකුරු වලින් ලිවිම මට ඉතාමත් පහසු කාර්යයක් විය. මට දින කිහිපයකදී, වෙනම අත් පිටපතක් නොලියා කෙලින්ම පරිගණකයේ ලිවිමේ හැකියාව ලැබිණ. රුප සටහන්, ඡායාරූප, රේඛා සටහන් ආදියද ඇතුලත් කිරීමේ ක්‍රමවේද රාශියක්ද ඇයගෙන් ඉගෙන ගන්නට ලැබුණි.

මම දියණියට සිංහලෙන් ටයිප් කර මෙසේ ඊ-මේල් සටහනක් යැවීමි.

“Google Input Tools පාවිච්චි කර ලියන වැඩේ හරියට හරි. කියා දුන් පිළිවෙලට ටයිප් කරන්නට පටන් ගත්තා. ලෙහෙසියෙන්ම අල්ලා ගන්නට පුළුවන් උනා. පොත ලිවීමේ වැඩ අදම පටන් ගන්නවා.”

“ ‘පරිසරය සහ පරිසර සංරක්ෂණය’,  ලේඛන කලාවට ඉතා හොඳ ප්‍රවේශයක්. මගේ සුබ පැතුම්”

යනුවෙන්  ඇයගෙන් කඩිනම් පිළිතුරක් ලැබිණ. 
    
දැන් වැඩිපුර විවේකය තිබෙන අතර ක්‍රමවේදයද ඉක්මණටම පහසුවෙන් අතට  හුරු විය.

වසර ගණනාවක් තිස්සේ ඉගෙන ගත්, ඉගැන්වූ, ප්‍රායෝගිකව අත්හදා බැලූ එසේම සමහර අවස්ථා වලදී ලේඛනගත කර තැබූ සංකල්ප, අදහස් සහ දත්ත පොදුවේ කාටත් ගැලපෙන අයුරකින් පෙළ ගැස්වීම ගැන කල්පනා කළෙමි. එසේ ආවර්ජනා කළ කරුණු දහ දොළොස් වරක් කපා කොටා අවසානයේදී මෙසේ මාතෘකා එකොලසකට සම්පිණ්ඩනය කර ගතිමි.

·        අපේ වට පිටාව      
·        වට පිටාවේ සියල්ල පරිසරයයි    
·        පරිසරයේ අන්තර් සම්බන්ධතා
·        අපේ ආහාර පරිසරයෙනි 
·        ශක්තිය ලැබෙනුයේ ආහාර වලිනි 
·        අපගේ අපද්‍රව්‍ය මොනවාද ? 
·        පරිසරයේ ජෛව විවිධත්වය      
·        ජලය මහඟු සම්පතකි  
·        පරිසර දූෂණය සිදුවන්නේ කෙසේද?  
·        පරිසරය සුරකිමු  
·        අපේ පරිසර කටයුතු දෙස හැරී බලමු.
        
‘පොතක් ලිවීමේදී එයට දැමීමට උචිත නම ගැනද මුලින්ම තීරණයක් කර ගතහොත් එම පරාසය ඇතුලත කරුණු ඇතුලත් කිරීම පහසු වේ’

යනුවෙන්  එක්තරා ලේඛකයෙකු පොත් ලිවිම පිලිබඳව ලියා පළකරණ ලද  ලිපියක තිබුණු බව මට මතකයට නැගුණි. පොත් ලියා  පළකර ඇති මගේ මිතුරෙකුද එම අදහස අනුමත කළේය. නවකයෙකු වූ මාද එම පිළිවෙත අනුගමනය කිරීම සුදුසු යයි සිතා ගතිමි.

යෝජිත මාතෘකා සියල්ල එකට ගලපා පොත ‘පරිසරය නිවැරදිව දකිමු’ යනුවෙන් නම් කිරීමට තීරණය කළෙමි.

එක් එක් මාතෘකාව එක් එක් පරිච්ඡේදයක් ලෙස සලකා  වෙන වෙනම ගොනු සකස් කර, දන්නා කරුණු, පොතපතින් ලබාගත කරුණු, වෙනත් විවිධ මාර්ග වල විමර්ශන වලින් ලබාගත කරුණු ආදියත් ඒවාට අදාළ රුපසටහන්, ඡායාරුප, වගු, ප්‍රස්තාර ආදියත් ටිකින් ටික එකතු වන විට නොදැනුවත්වම වාගේ පොතට පිටු දෙසියයක් පමණ  එකතු විය.

පොතට පිට කවරයක් සකස් කිරීම මීළඟ වැදගත් කරුණ විය. මලී දුවගේද අදහස් සහ උපදෙස් අනුගමනය කරමින් පිට කවරයට සුදුසු යයි හැඟෙන චිත්‍ර සහ ඡායරුප මිශ්‍ර  සටහන් කිහිපයක්‌ මා විසින්ම සකස් කර ගන්නා ලදී.

මාස හයකදී පමණ මුලික වැඩ කටයුතු අවසන් කළ පොත මුද්‍රණය කිරීම එතරම් ලෙහෙසි පහසු වැඩක්‌ නොවන බව පෙනී ගියේ ඒ සියල්ලටම පසුවය.

කෙසේ වෙතත් පොතට පෙර වදනක් ලිවිම සඳහා, මාගේ රාජකාරි කටයුතුවලදී බොහෝ ගුරුහරුකම් ලබාදී, පරිසර අධ්‍යාපනය සඳහා මා නොයෙක් විට දිරි ගන්වා  තිබෙන, අධ්‍යාපන අමාත්‍යංශයේ ඉහල තනතුරක් දරා විශ්‍රාම ගත් අපගේ උසස් නිලධාරියෙකු වෙත අත් පිටපතක් (එය පරිගණක සැකසුමකි) යැවීමි.

ඉතා ඉක්මණින් අගනා පෙරවදනක් සැපයූ ඔහු, කෙසේ හෝ පොත මුද්‍රණය කරන ලෙස කාරුණික උපදෙසක්ද දුන්නේය.

ශ්‍රී ලංකාවේ සිටින මා දන්නා හඳුනන කිහිප දෙනෙකුටම  මුද්‍රණය කිරීම පිලිබඳව සොයා බලන ලෙස ඉල්ලීම් කලත් ඒවායින් පලක් නොවිය.

මුද්‍රණ ශිල්පීන් සහ පොත් ප්‍රකාශකයින් කිහිප දෙනෙකුගෙන් කරන ලද විමසීම් වලටත් සතුටුදායක පිළිතුරක් නොලැබුණි.

මේ ආකාරයට තවත් මාස දෙකක් පමණ බලා සිට පොත මුද්‍රණය කිරීමේ අදහස සම්පූර්ණයෙන් අත්හැර දමන්නට සිදුවිය.

මේ අතරතුර ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පුවත් පතක (e-paper) පළකර තිබුණු ව්ශේෂ දැන්වීමක් වෙත මගේ නෙත් යොමුවිය. එය කොළඹ ගොඩගේ සහ සහෝදර පොත් ප්‍රකාශක සමාගමෙනි. එහි සඳහන් කර තිබුණේ තරඟයක්‌ පවත්වා, ඒ මගින් තෝරා ගන්නා පොත් අත් පිටපත්, මුද්‍රණය සඳහා භාරගත හැකි බවයි. එසේ වුවත් එම තරඟය සඳහා නියමිත කිසිම කාණ්ඩයකට මගේ අත් පිටපත ගැලපෙන බවක් නොපෙනුණි. කුමකින් කුමක් වුවත් කම් නැතැයි  සිතා මගේ අත් පිටපතක් එම ලිපිනයට යැව්වෙමි. මා විදේශයක සිටින නිසා අවශ්‍ය වුවහොත් මා  විද්‍යුත් තැපෑලෙන් අමතන ලෙසද දැන්වීමි.

සති කිහිපයකට පමණ පසු මට විද්‍යුත් තැපෑලෙන් පණිවුඩයක් ලැබිණ. එය මෙසේය.

‘ඔබගේ අත් පිටපත ලැබුණා. අප මුද්‍රණය කරනුයේ ‘Helabasa’ අකුරු වලින් පමණකි. අකුරුද ‘ප්‍රමාණ 14’ විය යුතුය. මේ ආකාරයට සකස් කර එවන්නේනම් මුද්‍රණය සඳහා සලකා බැලිය හැකිය.                                                                                         මෙයට                                                                                                                       මුද්‍රණ කළමනාකරු’

මෙය කියවා, මම නැවතත් මුලින් සිටි තත්ත්වයටම පත්වීමි.

මගේ අත් පිටපතේ අකුරු ‘Helabasa’ ආකෘතියේ නොවේ. අකුරුද ප්‍රමාණ 16 න් සකස් කර ඇත. ඒවා වෙනස් කිරීම සඳහා මට තාක්ෂණ දැනුම නොමැති නිසා කිසිවක්‌ කළ නොහැකිය.
මට නැවතද, පොත මුද්‍රණය කිරීම අතහැර දමා පසු බසින්නට සිදුවිය.

මේ අතර, මා කලක සිට ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ, සමාජයේ ඉහල පිළිගැනීමක් තිබුණු, අප ගම් ප්‍රදේශයේම ප්‍රභූවරයෙකු වන, දේශබන්ධු, ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතාට, මගේ පොත පිලිබඳවත්, එය මුද්‍රණය කර ගැනීම දුෂ්කර කාර්යයක් වී තිබෙන බවත්    විස්තර කර ලිපියක් යැව්වෙමි.

මට ඉක්මණටම ඔහුගෙන් පිළිතුරක්  ලැබිණ. එය බලා  තරමක සතුටක් ඇතිවිය.
එම ලිපියේ  මෙසේ සඳහන් කර තිබුණි.

‘ඔබගේ ලිපියේ සඳහන් කර තිබෙන පොත් ප්‍රකාශක ආයතනයේ අධ්‍යක්ෂක වරයා වන, දේශබන්ධු, සිරිසුමන  ගොඩගේ මහතා, මගේ මිත්‍රයෙකි. ඔබගේ පොත මුද්‍රණය කිරීම පිළිබඳව ඔහු සමග සාකච්ඡා කිරීම සඳහා  සියලු විස්තර මා වෙත එවන්න.’

මම සියලු විස්තර ඔහුට යැව්වෙමි.

තවත් සති දෙකකින් පමණ දේශබන්ධු, සිරිසුමන  ගොඩගේ මහතාගෙන් පෞද්ගලික මට්ටමේ ලිපියක් මට ලැබිණ. එහි සඳහන් කර තිබුණේ මගේ පොත මුද්‍රණය සඳහා භාරගන්නා බවයි.

මා සැපයූ අත් පිටපතෙහි  ඇති අකුරුවල ප්‍රමාණය (Font size)  හෝ අකුරු වර්ගය   (Font), තම ආයතනයේ ශිල්පීන් ලවාම අවශ්‍ය ලෙස වෙනත් අක්ෂර වින්‍යාසයකට හැරවීම සහ   පිට කවරයේ ආකෘතිය ගැලපෙන ලෙස වර්ණ ගන්වා ඉතාමත් ආකර්ශනිය ලෙස සකස් කරවීම ගැන, මම දේශබන්ධු සිරිසුමන ගොඩගේ මහතාට සහ  එම ආයතනයේ ශිල්පීන්ට මාගේ ස්තුතිය පිරිනමමි. ඒ සමගම පොත ඉතා ඉක්මනින් මුද්‍රණය කර ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන්ද ඒ සියලු දෙනාටම නැවතත් මාගේ ස්තුතිය පුද කරමි.

මාගේ හිතවත් කල්‍යාණ මිත්‍ර, දේශබන්ධු ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතාට මෙම සිද්ධිය දන්වා සිටි නිසාම ඔහුගේ පෞද්ගලික හැඳුනුම්කම මත,  පොත කළට වේලාවට මුද්‍රණය කර ප්‍රකාශයට පත්කර ගත හැකිවිය. විදේශයක සිටින මා වෙනුවෙන්, මේ සඳහා කාරුණිකව ඉදිරිපත්වී සහයෝගය දැක්වීම පිළිබඳව ඔහුට මාගේ භක්ත්‍යාදරය සහ  ප්‍රණාමය හද පතුලෙන්ම පුදකරමි.