Wednesday 20 December 2017

මගේ පරිසර පොත එළි දැක්වීමට හැකිවිය.......

  රිසරය පිළිබඳව පොතක් ලියා පළකිරීම ගැන, කළක  සිට මාගේ සිතේ තිබුණු අදහසක් සඵල කර ගැනීමට මට හැකිවිය. මගේ පොතෙහි පිවිසුම මගින් එම අදහස දැක්වුයේ  මෙසේය:

“ ‘පරිසරය නිවැරදිව දකිමු’  මාගේ මුල්ම විද්‍යා කෘතියයි. කුඩා කල  සිටම පරිසරයට ඇලුම් කළ මා හට එයට පාදක වූයේ මා හැදුනු වැඩුනු ගම්බද පරිසරයයි. ගමෙහි වෙල් එළියේ, බඩ වැටි වල සහ ඇළ දොළෙහි ආශ්වාදය නොමඳව ලද මා, ගමෙහි  ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසුව ද්විතීය අධ්‍යාපනය ලැබුවේද ස්වභාවික සෞන්දර්යයෙන් හෙබි අර්ධ නාගරිකයකය. පසුව විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා නගරයට යාමට සිදදුවිය. මේ සිදුවීම් දැනට දශක පහකට පමණ ඉහතදීය. පරිසරය පිළිබඳව මා තුළ ජනිතව තිබූ කුතුහලය ඔප මට්ටම වීමටත් නව සංකල්ප රාශියක් අධ්‍යයනය කිරීමටත්, අලුත් පොතපත කියවීමටත් විශ්ව විද්‍යාලයේ දී මාහට හැකියාවක් ලැබිණි. එකළ පරිසර විෂයය (ecology) විද්‍යාවේ නීරස කොටසක් විය. විශ්ව විද්‍යාලයයේද ‘පරිසරය’ විෂයය කොටස ප්‍රායෝගික අත්දැකීම් රහිත දේශන දෙකකට පමණක් සීමාවිය.

අභ්‍යවකාශ තරණය සිදුවූයේ මේ අවදියේදීය. මේ සමගම ලොව පුරා  විද්‍යාවේ නව ප්‍රබෝධයක් හටගත් අතර, ‘සැමටම විද්‍යාව’ නමින් නව අදහසක්ද නිර්මාණය වන්නට විය. එයට සමගාමීව ‘හරිතාගාර ආචරණය’, ‘පරිසරය උණුසුම්වීම’, ‘ධ්‍රැව ප්‍රදේශ වල හිම කඳු දියවීම’ වැනි පරිසර විද්‍යාත්මක සංකල්පද විද්වතුන්ගේ සාකච්ඡාවලට ලක් විය. විශ්ව විද්‍යාලද මෙම නව සංකල්ප ඇතුලත් පාඨ  මාලාද  ආරම්භ කළහ.

පසුව, විද්‍යා අධ්‍යාපන ක්‍ෂේත්‍රයට පිවිසි මා හට, ඒ වන විට පාසල් විෂයය මාලාවට ක්‍රමක්‍රමයෙන් ඇතුල් වෙමින් තිබුණු පරිසර විෂයය කොටස් පිලිබඳ අවධානය දැක්වීමට අවස්ථාව  ලැබුණි. විශේෂයෙන්ම විෂයය මාලා සංවර්ධනය, ගුරු පුහුණුව, පරිසර අධ්‍යාපනය සඳහා පාසල් සිසුන් යොමු කරවීම වැනි කටයුතු වලින් මෙයට දායක වීමට හැකිවිය. මෙසේ දැක්වු දායකත්වය හරහා ලැබූ අත්දැකීම් එළිදැක්වීම මෙම පොතෙහි අභිප්‍රායයි. මෙහි අඩංගු කරුණු විශේෂයෙන්ම පාසැල් සිසුන්ට පරිසරය පිලිබඳ අවබෝධයක් ලබාගැනීමට ඉවහල් වේයැයි උදක්ම බලාපොරොත්තු වෙමි”

පොතක් ලියා පළකර ගැනීමේදී, අත්විඳීමට සිදුවන ගැහැට පිළිබඳ දැනගැනීම බොහෝ අයට ප්‍රයෝජනවත් විය හැකි වේයයි සිතු නිසා, මෙසේ සටහනක් තැබීම සඳහා සිත් යොමු කළෙමි.




පොතෙහි පිට කවරය

රාජ්‍ය සේවයේ යෙදී සිටියදී පොතක් ලිවිම වැනි බාහිර කාර්යයක් සඳහා කාලය මිඩංගු කිරීම කිසිසේත් කළ නොහැකි විය. විශ්‍රාම ගැනිමෙන් පසුව යලිත් විෂයයට අදාළ පැවරුම් කිහිපයකට සම්බන්ධ වීම නිසා දැනුම තව දුරටත් ඔප මට්ටම කර ගැනිමට අවස්ථාවක් ලැබුණු අතර ව්‍යාපෘති වාර්තා සකස් කිරීම, පැවරුම්වල කොටසක් වූ නිසා ලිවීමේ හැකියාව වැඩිදියුණු කර ගැනීම පහසු  විය. එම ලිය කියවිලි ඉංග්‍රීසියෙන් කරන අතරම සිංහලටද පරිවර්තනය කිරීමට සිදුවූ නිසා භාෂාව හැසිරවීම පිළිබඳවද නිපුණත්වයක් ලැබුණි. එසේ වුවත් සිංහල පරිගණක ලිවිම කිසිසේත් ප්‍රගුණ කල නොහැකි විය.

මේ අයුරින් වසර කිහිපයක් ගතවී ස්ථිර පදිංචිය සඳහා විදේශ ගත වීමට සිදුවිය. කාර්ය බහුලතාවය අඩුවීම නිසා නැවත පොත ලිවිම සඳහා සිත යොමු කළෙමි. එහෙත් විදේශයක සිටිමින් සිංහලෙන් ලියනදේ පරිගණක ගත කරගන්නේ කෙසේද යන්න මහත් ගැටළුවක් විය. මෙසේ දෙගිඩියාවෙන් කල්පනාකරමින් සිටින විට, අපගේ දියණිය මලී අලුත්  අදහසක් මෙසේ ඉදිරිපත් කළාය.

තාත්තේ.... සිංහලෙන් ටයිප් කරන්න ‘Google Input Tools’ පාවිච්චි කරන්න. එකෙන් ලියන්න හරිම ලේසියි.  මම Install කරලා දෙන්නම්.

එසේ කියා එම අකුරු පුවරුව මගේ පරිගණකයට යොමුකර භාවිත කරන ආකාරයද පැහැදිලි කර දුන්නාය. සිංහල වචන ඉංග්‍රීසි අකුරු වලින් ලිවිම මට ඉතාමත් පහසු කාර්යයක් විය. මට දින කිහිපයකදී, වෙනම අත් පිටපතක් නොලියා කෙලින්ම පරිගණකයේ ලිවිමේ හැකියාව ලැබිණ. රුප සටහන්, ඡායාරූප, රේඛා සටහන් ආදියද ඇතුලත් කිරීමේ ක්‍රමවේද රාශියක්ද ඇයගෙන් ඉගෙන ගන්නට ලැබුණි.

මම දියණියට සිංහලෙන් ටයිප් කර මෙසේ ඊ-මේල් සටහනක් යැවීමි.

“Google Input Tools පාවිච්චි කර ලියන වැඩේ හරියට හරි. කියා දුන් පිළිවෙලට ටයිප් කරන්නට පටන් ගත්තා. ලෙහෙසියෙන්ම අල්ලා ගන්නට පුළුවන් උනා. පොත ලිවීමේ වැඩ අදම පටන් ගන්නවා.”

“ ‘පරිසරය සහ පරිසර සංරක්ෂණය’,  ලේඛන කලාවට ඉතා හොඳ ප්‍රවේශයක්. මගේ සුබ පැතුම්”

යනුවෙන්  ඇයගෙන් කඩිනම් පිළිතුරක් ලැබිණ. 
    
දැන් වැඩිපුර විවේකය තිබෙන අතර ක්‍රමවේදයද ඉක්මණටම පහසුවෙන් අතට  හුරු විය.

වසර ගණනාවක් තිස්සේ ඉගෙන ගත්, ඉගැන්වූ, ප්‍රායෝගිකව අත්හදා බැලූ එසේම සමහර අවස්ථා වලදී ලේඛනගත කර තැබූ සංකල්ප, අදහස් සහ දත්ත පොදුවේ කාටත් ගැලපෙන අයුරකින් පෙළ ගැස්වීම ගැන කල්පනා කළෙමි. එසේ ආවර්ජනා කළ කරුණු දහ දොළොස් වරක් කපා කොටා අවසානයේදී මෙසේ මාතෘකා එකොලසකට සම්පිණ්ඩනය කර ගතිමි.

·        අපේ වට පිටාව      
·        වට පිටාවේ සියල්ල පරිසරයයි    
·        පරිසරයේ අන්තර් සම්බන්ධතා
·        අපේ ආහාර පරිසරයෙනි 
·        ශක්තිය ලැබෙනුයේ ආහාර වලිනි 
·        අපගේ අපද්‍රව්‍ය මොනවාද ? 
·        පරිසරයේ ජෛව විවිධත්වය      
·        ජලය මහඟු සම්පතකි  
·        පරිසර දූෂණය සිදුවන්නේ කෙසේද?  
·        පරිසරය සුරකිමු  
·        අපේ පරිසර කටයුතු දෙස හැරී බලමු.
        
‘පොතක් ලිවීමේදී එයට දැමීමට උචිත නම ගැනද මුලින්ම තීරණයක් කර ගතහොත් එම පරාසය ඇතුලත කරුණු ඇතුලත් කිරීම පහසු වේ’

යනුවෙන්  එක්තරා ලේඛකයෙකු පොත් ලිවිම පිලිබඳව ලියා පළකරණ ලද  ලිපියක තිබුණු බව මට මතකයට නැගුණි. පොත් ලියා  පළකර ඇති මගේ මිතුරෙකුද එම අදහස අනුමත කළේය. නවකයෙකු වූ මාද එම පිළිවෙත අනුගමනය කිරීම සුදුසු යයි සිතා ගතිමි.

යෝජිත මාතෘකා සියල්ල එකට ගලපා පොත ‘පරිසරය නිවැරදිව දකිමු’ යනුවෙන් නම් කිරීමට තීරණය කළෙමි.

එක් එක් මාතෘකාව එක් එක් පරිච්ඡේදයක් ලෙස සලකා  වෙන වෙනම ගොනු සකස් කර, දන්නා කරුණු, පොතපතින් ලබාගත කරුණු, වෙනත් විවිධ මාර්ග වල විමර්ශන වලින් ලබාගත කරුණු ආදියත් ඒවාට අදාළ රුපසටහන්, ඡායාරුප, වගු, ප්‍රස්තාර ආදියත් ටිකින් ටික එකතු වන විට නොදැනුවත්වම වාගේ පොතට පිටු දෙසියයක් පමණ  එකතු විය.

පොතට පිට කවරයක් සකස් කිරීම මීළඟ වැදගත් කරුණ විය. මලී දුවගේද අදහස් සහ උපදෙස් අනුගමනය කරමින් පිට කවරයට සුදුසු යයි හැඟෙන චිත්‍ර සහ ඡායරුප මිශ්‍ර  සටහන් කිහිපයක්‌ මා විසින්ම සකස් කර ගන්නා ලදී.

මාස හයකදී පමණ මුලික වැඩ කටයුතු අවසන් කළ පොත මුද්‍රණය කිරීම එතරම් ලෙහෙසි පහසු වැඩක්‌ නොවන බව පෙනී ගියේ ඒ සියල්ලටම පසුවය.

කෙසේ වෙතත් පොතට පෙර වදනක් ලිවිම සඳහා, මාගේ රාජකාරි කටයුතුවලදී බොහෝ ගුරුහරුකම් ලබාදී, පරිසර අධ්‍යාපනය සඳහා මා නොයෙක් විට දිරි ගන්වා  තිබෙන, අධ්‍යාපන අමාත්‍යංශයේ ඉහල තනතුරක් දරා විශ්‍රාම ගත් අපගේ උසස් නිලධාරියෙකු වෙත අත් පිටපතක් (එය පරිගණක සැකසුමකි) යැවීමි.

ඉතා ඉක්මණින් අගනා පෙරවදනක් සැපයූ ඔහු, කෙසේ හෝ පොත මුද්‍රණය කරන ලෙස කාරුණික උපදෙසක්ද දුන්නේය.

ශ්‍රී ලංකාවේ සිටින මා දන්නා හඳුනන කිහිප දෙනෙකුටම  මුද්‍රණය කිරීම පිලිබඳව සොයා බලන ලෙස ඉල්ලීම් කලත් ඒවායින් පලක් නොවිය.

මුද්‍රණ ශිල්පීන් සහ පොත් ප්‍රකාශකයින් කිහිප දෙනෙකුගෙන් කරන ලද විමසීම් වලටත් සතුටුදායක පිළිතුරක් නොලැබුණි.

මේ ආකාරයට තවත් මාස දෙකක් පමණ බලා සිට පොත මුද්‍රණය කිරීමේ අදහස සම්පූර්ණයෙන් අත්හැර දමන්නට සිදුවිය.

මේ අතරතුර ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පුවත් පතක (e-paper) පළකර තිබුණු ව්ශේෂ දැන්වීමක් වෙත මගේ නෙත් යොමුවිය. එය කොළඹ ගොඩගේ සහ සහෝදර පොත් ප්‍රකාශක සමාගමෙනි. එහි සඳහන් කර තිබුණේ තරඟයක්‌ පවත්වා, ඒ මගින් තෝරා ගන්නා පොත් අත් පිටපත්, මුද්‍රණය සඳහා භාරගත හැකි බවයි. එසේ වුවත් එම තරඟය සඳහා නියමිත කිසිම කාණ්ඩයකට මගේ අත් පිටපත ගැලපෙන බවක් නොපෙනුණි. කුමකින් කුමක් වුවත් කම් නැතැයි  සිතා මගේ අත් පිටපතක් එම ලිපිනයට යැව්වෙමි. මා විදේශයක සිටින නිසා අවශ්‍ය වුවහොත් මා  විද්‍යුත් තැපෑලෙන් අමතන ලෙසද දැන්වීමි.

සති කිහිපයකට පමණ පසු මට විද්‍යුත් තැපෑලෙන් පණිවුඩයක් ලැබිණ. එය මෙසේය.

‘ඔබගේ අත් පිටපත ලැබුණා. අප මුද්‍රණය කරනුයේ ‘Helabasa’ අකුරු වලින් පමණකි. අකුරුද ‘ප්‍රමාණ 14’ විය යුතුය. මේ ආකාරයට සකස් කර එවන්නේනම් මුද්‍රණය සඳහා සලකා බැලිය හැකිය.                                                                                         මෙයට                                                                                                                       මුද්‍රණ කළමනාකරු’

මෙය කියවා, මම නැවතත් මුලින් සිටි තත්ත්වයටම පත්වීමි.

මගේ අත් පිටපතේ අකුරු ‘Helabasa’ ආකෘතියේ නොවේ. අකුරුද ප්‍රමාණ 16 න් සකස් කර ඇත. ඒවා වෙනස් කිරීම සඳහා මට තාක්ෂණ දැනුම නොමැති නිසා කිසිවක්‌ කළ නොහැකිය.
මට නැවතද, පොත මුද්‍රණය කිරීම අතහැර දමා පසු බසින්නට සිදුවිය.

මේ අතර, මා කලක සිට ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ, සමාජයේ ඉහල පිළිගැනීමක් තිබුණු, අප ගම් ප්‍රදේශයේම ප්‍රභූවරයෙකු වන, දේශබන්ධු, ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතාට, මගේ පොත පිලිබඳවත්, එය මුද්‍රණය කර ගැනීම දුෂ්කර කාර්යයක් වී තිබෙන බවත්    විස්තර කර ලිපියක් යැව්වෙමි.

මට ඉක්මණටම ඔහුගෙන් පිළිතුරක්  ලැබිණ. එය බලා  තරමක සතුටක් ඇතිවිය.
එම ලිපියේ  මෙසේ සඳහන් කර තිබුණි.

‘ඔබගේ ලිපියේ සඳහන් කර තිබෙන පොත් ප්‍රකාශක ආයතනයේ අධ්‍යක්ෂක වරයා වන, දේශබන්ධු, සිරිසුමන  ගොඩගේ මහතා, මගේ මිත්‍රයෙකි. ඔබගේ පොත මුද්‍රණය කිරීම පිළිබඳව ඔහු සමග සාකච්ඡා කිරීම සඳහා  සියලු විස්තර මා වෙත එවන්න.’

මම සියලු විස්තර ඔහුට යැව්වෙමි.

තවත් සති දෙකකින් පමණ දේශබන්ධු, සිරිසුමන  ගොඩගේ මහතාගෙන් පෞද්ගලික මට්ටමේ ලිපියක් මට ලැබිණ. එහි සඳහන් කර තිබුණේ මගේ පොත මුද්‍රණය සඳහා භාරගන්නා බවයි.

මා සැපයූ අත් පිටපතෙහි  ඇති අකුරුවල ප්‍රමාණය (Font size)  හෝ අකුරු වර්ගය   (Font), තම ආයතනයේ ශිල්පීන් ලවාම අවශ්‍ය ලෙස වෙනත් අක්ෂර වින්‍යාසයකට හැරවීම සහ   පිට කවරයේ ආකෘතිය ගැලපෙන ලෙස වර්ණ ගන්වා ඉතාමත් ආකර්ශනිය ලෙස සකස් කරවීම ගැන, මම දේශබන්ධු සිරිසුමන ගොඩගේ මහතාට සහ  එම ආයතනයේ ශිල්පීන්ට මාගේ ස්තුතිය පිරිනමමි. ඒ සමගම පොත ඉතා ඉක්මනින් මුද්‍රණය කර ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන්ද ඒ සියලු දෙනාටම නැවතත් මාගේ ස්තුතිය පුද කරමි.

මාගේ හිතවත් කල්‍යාණ මිත්‍ර, දේශබන්ධු ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතාට මෙම සිද්ධිය දන්වා සිටි නිසාම ඔහුගේ පෞද්ගලික හැඳුනුම්කම මත,  පොත කළට වේලාවට මුද්‍රණය කර ප්‍රකාශයට පත්කර ගත හැකිවිය. විදේශයක සිටින මා වෙනුවෙන්, මේ සඳහා කාරුණිකව ඉදිරිපත්වී සහයෝගය දැක්වීම පිළිබඳව ඔහුට මාගේ භක්ත්‍යාදරය සහ  ප්‍රණාමය හද පතුලෙන්ම පුදකරමි.
                             



22 comments:

  1. යාලුවෙක් නිසා හරියෑම.

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුරංග,
      අතරින් පතර හෝ අවංකවම එවැනි උදව කරන මිතුරන් කාටත් සිටිනවා.

      Delete
  2. මොන බාධක මධ්‍යයේ උවත් ඔබ වැනි අයෙකුගෙන් මෙවැනි පොතක් මුද්‍රණය වීම අගනා දෙයක්.

    සුබ පැතුම් !!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      බාධක මධ්‍යයේ වුවත් අතහැර නොදමා උත්සාහයෙන් ඉදිරියටම ගිය නිසා පොත මුද්‍රණය කිරීමේ කටයුතු කර ගැනීමට හැකි වූවා

      Delete
  3. ඉතාම අගනා උත්සහයක්. සුබ පැතුම්!! ගොඩගේ මහතාගේ නම නම් මා දන්නා විදියට දේශබන්ධු සිරිසුමන ගොඩගේ.

    ReplyDelete
    Replies
    1. එහි දේශබන්ධු යනු උප්පැන්නයේ නමක් නොවේ. කලාශූරී, දේශමාන්‍ය, වැනි ආණ්ඩුවෙන් දෙන ලද එකකි.

      Delete
    2. ස්තුතියි හැලප මල්ලි,
      නමෙහි වරද පෙන්වා දීම ගැන ඉතාමත් ස්තුතියි.එය වහාම නිවැරදි කළා.

      Delete
    3. ස්තුතියි රසික,
      එවැනි ගරු නම්බු නාම ලබනුයේ රට දැය වෙනුවෙන් යම්කිසි කැපී පෙනෙන සේවයක් කළ අයට නේද?

      Delete
  4. මුලින්ම හදපිරි සුභ පැතුම්! පොත කියවා බැලීමටත් එය මගේ දරුවන් අතට පත් කිරීමටත් ඉමහත් ආශාවකින් පසුවෙමි. ඔබ වැනි පියෙකු ලද 'මලී' දුවත් 'මලී' වැනි දුවක ලද ඔබත් දෙදෙනාම වාසනාවන්තයි.. මොකද ඇය පෙරටුගාමී කාන්තාවක වීමත් ඔබ නවීන තාක්ෂනය හා ගනුදෙනු කරන අපුරු විලාශයත් එකිනෙක අපුරුවට ගැලපෙනවා.

    මේ විස්තර බෙදා ගත්තාටත් ස්තුතියි. පොතකට පමණක් නොවෙයි අද වනවිට අන්තර්ජාල කෙටි ලිපියකට වුව නමක් යෙදීමේදී පිට කවර රූප වර්ණ යෙදීමේදී බොහෝ සෙයින් සැලකිලිමත් විය යුතුයි. මොකද අවසාන වශයෙන් අපේ නිර්මාණය පාඨකයා ආකර්ෂණය කර නොගත්තොත් අපේ ව්‍යායාමයෙන් ඵලක් නැති වෙන නිසා.. ඒ පිළිබඳව අද තරඟය බොහොම වැඩියි. අවසාන වශයෙන් පොත ප්‍රකාශ කිරීමේදී ඇති වූ ගැටලුව හා ඒ සම්භන්දව ඔබගේ පෞද්ගලික සම්භාන්දතාවය යොදා ගැනීමට සිදුවීම ගැන සියුම් කණගාටුවක් ආවා 'අපි රටක් විදියට තවම කොහෙද ඉන්නේ' කියල.. පොතක් නෙවෙයි අද ඉස්පිරිතලෙකින් බෙහෙත් පෙත්තක් ගන්නත් මුදල් බලය/ සිවිල් බලය හෝ පෞද්ගලික සම්භන්දතාවයක් තියෙන්න ඕනි. ආ.. සිරිමෙවන් නෙවෙයි සිරිසුමන ගොඩගේ වෙන්නොනේ ගොඩගේ මහත්තයාගේ නම..

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කල්‍යාණ,
      මටත් තවම පොතෙන් එකම පිටපතක් තැපෑලෙන් ලැබුණා. ජනවාරි මාසය පමණ විට තව පොත් කිහිපයක් ගෙන්වා ගන්නවා. මට තොරතුරු ලැබුණු ආකාරයට පොත වෙළඳ සැල් වලට දමා ඇති. ඔබට පිටපතක් එවීමට නොහැකිවීම ගැන කණගාටුයි.
      මලී දුව කුඩා කළ සිටම පොත්පත් කියවීමට මහත් රුචියක් දැක්වුවා. ඇය දැනටත් පොත් පත් නිතර හමුවන ආයතනයක රැකියාවේ නිරතව සිටිනවා.
      පොත මුද්‍රණය කර ගැනීමේදී සිදුවූ ගැටලුව, කල්‍යාණ මිත්‍රයෙකුගේ ඉදිරිපත් වීම නිසා විසඳා ගැනීමට හැකිවීමත් භාග්‍යයක්. ගොඩගේ සහෝදර සමාගමේ අධ්‍යක්ෂක තුමාගේ නමෙහි වැරැද්ද පෙන්වා දීම ගැන ස්තුතියි. එය කඩිනමින්ම නිවැරදි කළා.

      Delete
  5. ජීවිතයේ තවත් ඉලක්කයක් සාක්ෂාත් කරගත් ඔබට මගෙන් උණුසුම් සුභ පැතුම්. ඔබගේ දියණියගේ බ්ලොගයත් කියවා තිබුණත් ඇය ඔබගේ දියණිය බව දැනගත්තේ ඇයගේ ලිපියකින්. ඔබගේ එම පොතෙන් වන සේවය අතිමහත් වෙනබවට මට විශ්වාසයි. එමෙන්ම සැහැල්ලු කියවීමකට මෙන්ම තරුණ පරපුරට ආදර්ශමත් දිවියක් සකසා ගැනීමකට අධ්‍යාපන රසකථා වල පළවන ලිපිත් ඉතා හොඳයි. මෙහි පළවූ ලිපිත් එකතුකර පොතක් පවට පත්කිරීමට ඔබට උනන්දුවක් ඇතිවේවා යැයි පතමි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්,
      වසරකට පමණ ඉහතදී මා Blog ලිවිම ආරම්භ කළ අවස්ථාවේදී ඔබගෙන් ලැබුණු සහයෝගය සහ තල්ලුව මා ඉතාමත් අගය කරනවා. ඒ නිසාම මා ලියන දේ කියවන සෑහෙන පිරිසක් හමුවී තිබෙනවා.
      ඔබවැනි අයගේ දිරි දීම් නිසා තවදුරටත් මෙවැනි කාර්යයන් කිරීමට නිතැතින්ම පෙළඹෙනවා.
      අනාගතයේදී මගේ Blog සටහන් වලට පාදක වූ සත්‍ය තොරතුරු ආශ්‍රීතවද පොතක් මුද්‍රණය කිරීමට බලාපොරොත්තු වෙනවා.

      Delete
  6. යුනිකෝඩ් අකුරු පොත් මුද්‍රණය කරන අකුරුවලට ඉතා ලේසියෙන් පරිවර්තනය කළ හැක. ඒ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයෙන් සකසා ඇති පරිවර්තකය භාවිතා කරන්න.

    http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික,
      ප්‍රයෝජන ගැනීම සඳහා ඔබ ඒවා ඇති Link එක සටහන් කර ගත්තා.

      Delete
  7. සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Pra Jay,
      අපි නිතර හමුවෙමු.

      Delete
  8. Replies
    1. ස්තුතියි තඩි මල්ලි,

      Delete
  9. ඉක්මනට ඊළඟ පොතත් ලියමු! :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මලි දුව,
      අද හෙටම පටන් ගැනීමට හැකිවෙවියයි සිතනවා.

      Delete
  10. තමන්ගේම පොතක් අතට ගත්තාම දැනෙන සතුට, ඒ පොතට ලැබෙන ප්‍රතිචාර නිසා දැනෙන තෘප්තිය මං හොඳින්ම විඳල තියෙනවා. ඔබේ අලුත් කෘතියටත්, ඉදිරි සාහිත්‍ය කටයුතුවලටත් හදවතින්ම සුබ පැතුම්!

    ගොඩගේ යන්න අවස්ථාවක් ලැබුණම පොත ගෙන කියවා බලා අදහස් කියන්නම්.

    ReplyDelete
  11. ස්තුතියි තරුරසි,
    මගේ පොත ගැන ඔබගේ දිරි දීම ගැන සතුටුයි. මෙය අදයි දැක්කේ. පමාවීම ගැන සමාවන්න. කළුතර දිස්ත්‍රික්කයේ දහම් පාසැල් වල සිසුන්, පරිසරය පිලිබඳ දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක අත් පොතක් ලෙස මගේ පොත තෝරාගෙන තිබෙනවා. කළුතර බෝධි භාරකාර මණ්ඩලය විසින් දහම් පාසල් වලට නොමිලේ බෙදා දීම සඳහා පොතේ පිටපත් 500 ක් මිලදී ගෙන තිබෙනවා. මමත් ඒ කාර්යය සඳහා පිටපත් සියයක් තෑගී කළා.

    ReplyDelete