Monday 29 January 2018

වන විනාශය අභිමුඛයේ අසරණ වූ ගසක බැගෑපත් ඉල්ලීම.........


      රිසරය උණුසුම් වීමේ මහා ඛේදවාචකයට අපි මුහුණ දෙමින් සිටිමු. වනාන්තර විනාශය මෙම අභාග්‍ය සම්පන්න දේශගුණ විපර්යාසයට ප්‍රධානතම හේතුවක් බව පරිසර විද්‍යාඥයින් විසින් අනතුරු හැඟවීමක්ද කරණු ලැබ තිබේ. අලුතින් ගස් සිටුවීමේ මහා පරිමාණ ව්‍යාපෘති කොතෙක් දියත් කර තිබුණත් සමස්ත මිහිකතටම සිදුවෙමින් පවතින දුඃඛදායක අසාධාරණය එලෙසම පවතින බව පෙනේ.

වර්තමානයේදී, මිනිසාගේ පරිහරණය සඳහා අවශ්‍ය වන දැව, වන විනාශයක් නොකර විද්‍යාත්මක ක්‍රමවේද අනුව ලබාගැනීමට නව තාක්ෂණය ප්‍රායෝගිකව යොදවා තිබේ. එසේ තිබියදීත් මුදල් පසුපසම හඹායන අයගේ කෘරතර ක්‍රියාමාර්ගයන් නිසා වන විනාශය ශීග්‍රයෙන් සිදුවන බව පෙනේ.

මිනිසාගේ මෙම මානසික තත්ත්වය හොඳින් වටහාගත්  ගසක්‌, තම ඉරණම පිළිබඳව  හඬගා කරණ න බැගෑපත් ඉල්ලීමක් පිළිබඳව මා හට ලැබුණු කවි පෙළක් මෙසේ දක්වමි.

මෙය ස්පාඤ්ඤයේ ‘සෙවිල්’ (Seville) නම් කුඩා නගරයේ උද්‍යානයක තිබුණු විශාල ගසක ලීයෙන් කරන ලද පුවරුවක ප්‍රදර්ශනය කර තිබී ඉංග්‍රීසියට පරිවර්තනය කර තිබුණු කව් පෙළකි. එය  කවියෙන් කවිය සිංහලට පරිවර්තනය කර මෙසේ දක්වමි.

තම දුඃඛදායක ඉරණම හඬගා කිමට නොහැකි ගස වෙනුවෙන්, කවියා රුදුරු  මිනිසා ඇමතීමේදී කියනු ලබන කතා පුවත සිත සසල කරන්නකි. එම කතාපුවත ඇසීමෙන් පසුව, අදටත් නිරුපද්‍රිතව තිබෙන ලෝකප්‍රසිද්ධ පැරණි ශාක කිහිපයක් පිළිබඳවද , තොරතුරු ස්වල්පයක් මාගේ මීළඟ 'පෝස්ටුවෙන්' කියවා බලන්න.    



                                                        To  The Wayfarer 

                                                     " Ye who pass by and raise - 
                                                          Your hand against me 
                                                             Harken, and listen
                                                               Ere you harm me."  

                           මගියාණෙනි  !

   මා වනසන්නට මාන බලාගෙන  -   වටපිට බලමින් මහමග ගාටන                                                               මගියානෙනි, සැමටම පළමුව      -    අසනු මැනවි  මාගේ  වතගොත

       I am the heat of your hearth - In the cold dark nights
       The friendly shade, screening - You from scorching sun

   සීතල රෑ කළ සිසිර සමේ,   -  උදුනේ උණුසුම් සුවය මමයි.                                                                             ගිම්හානේ තද හිරු රැස් අවුරා,  -  ඔබට සරණ වන සිසිල මමයි.
    
       And my fruits  - are refreshing drafghts 
       Quenching your thirst - As you journey on      
          
  මහ දුර කතරක් ගෙවමින් ඇවිදින  -   ඔබහට, ඉමිහිරි පලවැල සපයා                                                            වෙහෙස පවස මගහැර දමමින්     -    ඔබ සනසන ඉටු දෙවිඳු  මමයි.

        I am   the beam of your house - The board of your table
       The bed, on which you lie - The timber that builds your boat 

  ඔබ නිවසෙහි යටලීය මමයි  -   ලීයෙන් නිමවූ මේසයෙ මතුපිට,                                                                  ඇඳ විට්ටම සහ ඔබගේ ඔරු කඳ  -  සියල්ල ඔබහට මාගේ තිලිණයි

        I am the handle of your hoe - The door of your homestead 
        The wood of your cradle  -  And the shell of your coffin

  උදැල්ලෙ ඔබගේ  මිට වන්නෙමි මම - නිවසේ දොර  මුරවකාවල් දීගෙන                                            ඔබේ තොටිල්ලේ සැකිල්ල වී සිට - මළ ගමෙහිද ඔබ නොහැර සිටින්නෙමි

         I am the bread of kindness - And the flower of beauty 
         Ye who pass by     -     Listen to my Prayer 
                                       Harm Me Not ! 

    කරුණාවේ උල්පත වූ මම  -  සුන්දර සුවඳැති මලක් වගේ වෙමි.                                                                  මා  පසුකර යන මිනිසුනි මේ මග,  -  බැගෑ සිතින් මම ඔබ සැම අමතමි
                        විපතක් නොකරනු සගයනි, මාහට !


Friday 19 January 2018

ගුරු පුහුණුව අධීක්ෂණයේ දී ඉස්මතුවූ ගැටළුවක්. ....

 ගුරු පුහුණුව අධීක්ෂණයේ දී ඉස්මතුවූ ගැටළුවක්. ....  

ක් ගුරු විද්‍යාලයක ගුරු පුහුණුව ලබන ගුරුවරයෙකුට ඉගැන්වීමේ ප්‍රායෝගික පුහුණුව (teaching practice) සඳහා සති කිහිපයකට, ඉගැන්වීම සඳහා යාබද මහා විදුහලකට යාමට සිදුවිය. ඔහුට එහිදී ඉගැන්වීමට ලැබුණේ සාධන මට්ටමින් අඩු සිසුන් සිටින පන්තියකි.

එම පන්තියේ භෞතික විද්‍යා පාඩමකදී, සිසුන්ට තාපය ගලායාම (transfer of  of heat) සිදුවන අකාරය කිහිප වරක්ම විස්තර කලත් ඔවුනට එම සිද්ධාන්ත තේරුම් ගැනීම අපහසු වි ඇත.

ඔහුගේ ඉගැන්වීම නිරික්ෂණය කර අවසාන  ඇගයීම් වාර්තාව සකස් කිරීම සඳහා තම පරීක්ෂකවරියද පසුදින එන බව දන්වා තිබිණ.

පන්තියේ සිසුනට කලින් දින පාඩම නොතේරුණු  නිසා පසුදින එම පාඩම නැවත වඩා හොඳින් තේරුම් කිරීම සඳහා ඔහු උපායක් ගැන කල්පනා කළේය. ඔහුට ඒ සඳහා සරල උදාහරණයක් මතක් විය.

පසුදින ඔහු පන්තියට යන විටම වාගේ අධීක්ෂක කථිකාචාර්ය වරියද පන්තියට පැමිණ පසුපස ආසනයක හිඳගත්තාය.

ඔහු කලින් දින සිසුනට තේරුම් ගැනීමට නොහැකිවූ පාඩම ආරම්භ කිරීමට සූදානම් විය.
‘ඊයේ මේ දරුවන්ට තේරුම් ගැනීමට බැරිවූ තාපය ගලායාම පිලිබඳ අදහස තේරුම් ගැනීමට කවුරුත් දන්නා පහසු උදාහරණයක් ගන්නම්’ කියමින් ඔහු පාඩම ඉගැන්වීම ආරම්භ කළේය.

අධීක්ෂක වරිය හරි බැරි ගැහී වාඩිවී  ගුරුවරයාට හොඳින් ඇහුම්කන් දිගෙන සිටියාය.

මෙන්න මෙවැනි සිද්ධියක් ගැන සිතන්න.

“ගින්නට හසුවූ නිවසක ගිනි නිවීම සඳහා පිරිසක් ඉදිරිපත් වී සිටිති.”

“ඔව්හු පළමුව, බාල්දි සහ වෙනත් භාජන වලට වතුර ගෙනවිත් ගින්නට වත් කළහ.”

“ගින්න අඩු නොවන නිසා සියල්ලෝම පෙළට සිට භාජන වලට පිරවූ වතුර ඉක්මනට අතින් අත යවා ගින්න නිවීමට තැත් කළහ. එහෙත් ගින්න තවමත් ඇවිලෙමින් තිබේ.”

“ඊටපසු මෙතනට පැමිණි අසල් වැසියෙකු, තමගෙදර ජලකරාමයට සවිකළ රබර් ‘හෝස්’ බටයෙන් කෙලින්ම ගින්නට වතුර දැමිය. ටික වෙලාවකින් ගින්න නිවා දැමීමට හැකි විය.”

“දරුවනේ, තාපය ගලායාමේ සරලම ක්‍රමය බාල්දි වලින් වෙන වෙනම වතුර ගෙනගොස් ගින්න නිවීම වගේ සන්නායකයේ අංශු ඔස්සේ ටිකින් ටික තාපය ගමන් කිරීමයි. මෙයට සන්නයනය යයි කියනවා.”

“දෙවැන්න තමයි, පෙලට සිට වතුර බාල්දි අතින් අත යැව්වා වැනි, මාධ්‍යයේ අංශු මගින් ලබාගන්නා තාපය ‘සමුහ’ වශයෙන් ගමන් කිරීම. මෙයට කියන්නේ  සංවහනය යි.”

“ඊළඟට අවසානයේදී, ‘හෝස්’ බටය පාවිච්චි කර, ජල කරාමයේ සිට කෙලින්ම ගින්න වෙතට ජලය යැවීම වැනි, තාපය අතරමග කිසිම බාධාවක් නොමැතිව ගමන් කිරීමේ තුන්වෙනි ක්‍රමයට කියන්නේ විකිරණය කියායි.”

‘දැන් තේරෙනවා නේද?’

‘ඔව් සර්.... සන්නයනය, සංවහනය සහ  විකිරණය. හරිම ලේසියි.........’ ළමයින්ගේ ප්‍රතිචාරය විය.

අධීක්ෂක වරිය ගුරුවරයාගේ ඉගැන්වීමේ දක්ෂතාවය ගැන බෙහෙවින් පැහැදී ඔහුට ‘ඉතා හොඳ’ ශ්‍රේණියක් (A grade) දීමට සටහන් කර ගත්තාය.

කාල ඡේදය අවසන් වීමට තව ටික වේලාවක් තිබුණු නිසා අධීක්ෂක වරිය පන්තිය ඉදිරියට ගොස්, සිසුන්ගෙන් කලින් පාඩම් කිහිපයක් පිලිබඳ ප්‍රශ්න කිහිපයක් ඇසුවාය.

ඔවුන්ගෙන් එම ප්‍රශ්න සඳහා හොඳ ප්‍රතිචාර ලැබිණ.

අවසානයේදී ඇය එදින පාඩම ගැනද  මෙසේ ප්‍රශ්නයක් ඇසුවාය.

 “තාපය ගමන් කරන ආකාර තුන කෙටියෙන් විස්තර කරන්න.”

සියලුම සිසුන් දකුණු අත ඉහලට ඔසවා ‘මිස්.... මිස්.....’ කියමින් තමන් දන්නා බව පෙන්වුහ.
ගුරුවරයාට ඉමහත් සතුටක් ඇතිවිය.

අධීක්ෂක වරිය ඉදිරි පෙළේ සිටි සිසුවියකගෙන් පිළිතුර ඇසුවාය.

ඇයගේ පිළිතුර මෙසේ විය.
·        “ එක ක්‍රමයක් ඈත සිට වතුර විසි කිරීම වැනි සන්නයනය යි .”

ඇයගේ මුහුණ ඇඹුල් වී ගොස් තවමත් අත ඔසවා ගෙන සිටින සිසුවෙකුට සන් කළාය.
එම සිසුවාගේ පිළිතුර මෙසේය.

·        “දෙවෙනි ක්‍රමය වතුර බාල්දි  අතින් අත යාම වගේ සංවහනය සිදුවීමයි ”

අධීක්ෂක වරිය  තරමක් කලබලවී මැද පේලියේ  සිටි සිසුවෙකු ඇමතුවාය.
ඔහුගේ පිළිතුර මෙසේ විය.

·        “ජලය රබර් බටයකින් යැවීම වැනි තුන්වෙනි ක්‍රමය විකිරණය යි.”

සිසුන්ගේ පිළිතුරු ගැන මහත් වික්ෂිප්ත භාවයට පත්වූ අධීක්ෂක වරිය

‘යම්කිසි සංකල්පයක් උගන්වන විට ඕනෑවට වඩා දුරට ගොස්, එය විග්‍රහ කරන්නට යන්නට එපා’ යයි ගුරුවරයාට සෙමින් කියමින් පන්තියෙන් පිටවුවාය.

පන්තියේ සිසුන්ට ගුරුවරයා විසින් දෙනු ලැබූ උදාහරණය හොඳින් වැටහී තිබුණත්, එම උදාහරණය තාපය ගලායාමේ සංසිද්ධිය සමග ගලපා ගන්නේ කෙසේද යන්න පිලිබඳ නිරවුල් අවබෝධයක්‌ ලැබී නොමැති බව පෙනේ. 

විද්‍යා ගුරුවරයාට  ප්‍රායෝගික ගුරු පුහුණුව ව සඳහා හිමිවූ ශ්‍රේණිය  A සිට  C දක්වා අඩුවී තිබිණ.

සිසුනට ඉගැන්වීමේදී ඕනෑවට වඩා උදාහරණ ගෙනහැර දැක්වීමද අයෝග්‍යය.


Saturday 13 January 2018

How to have children and to name them meaningfully .........?


     (I had a feeling that I am missing my English writing skills, as I have been confined to write in Sinhala during the last couple of years. So, I thought of writing this post in English, just to try out whether I have missed or forgotten some skills that have been accumulating during the past few decades.)
This is a story which can be considered as a joke if someone prefers.

Somewhere in the world,  lived a married couple, Julius and Juliette. They were newly married and thinking in the same lines as any other newly married people, who wanted to plan their future. The most important item in their agenda was the children. How many, how often and whether they are boys or girls, were their concerns.

As they were planning their future, Juliette got pregnant. They called it a surprise, as usual. Any woman in her first pregnancy will utter the same words! Now they had to shift, change or delete certain items in their agenda. After a lengthy discussion they agreed to name their first born, if a boy, as Peter and if the child is a girl, as Charlotte.

Time passed smoothly.

They wanted to meet a doctor for advice. The doctor examined Juliette and was very happy to declare that they will get a boy.

The child was born and the happy couple named him as Peter.

They changed certain items of their agenda and included a new item as follows:
‘Our number-two, should be a girl and we will name the child as Kate.’

Time passed. In two more years Juliette is pregnant again. They were happy and told the son Peter “You will be getting a sister very soon”

The boy was puzzled “From where?  He asked them.

The mother told the young boy all fancy, fairy tales about how babies are coming to the  world. The boy was listening carefully and asked the mother in a surprised tone.

“How mum your tummy is big. Why is that ?”

She stopped ‘baby talk’ with that question

They met the doctor again and were surprised to hear that the new comer would be a boy.

 “That’s fate” they thought.

They  unanimously decided to name the boy as Repeater

“This name is quite appropriate, because that is what has happened.”

By saying that they tried to hide their sadness of not fulfilling their expectation..  

Now they have two boys ‘Peter’ and ‘Repeater’

After a few years Juliette is pregnant again. She is still dreaming of getting a daughter. 

This time when they went to see the doctor, he raised his eye brows and declared

“It is wonderful you are getting twins, but I am unable to predict whether they are boys or girls.”

The couple had mixed feelings

Juliette said “Hope they are a boy and a girl. It’ll be two-in-one”

The husband smiled and kept his fingers crossed.

At the end of the pregnancy period, Juliette delivered two baby girls. Anyway, her dreams were not fulfilled. She expected a boy and a girl.

The husband and wife had arguments  that lasted for several days, and still they could not come to a conclusion.

Suddenly Juliette said,

 “OK, I will name one baby girl as Kate” 

For this Julius’s response was immediate.

If so, ..... I will name the other baby as.... Duplicate!

The naming decisions were final.

Now they have four children Peter, Repeater, Kate and Duplicate
The twin girls were lovely and the boys were very fond of them.

The couple was more or less satisfied with four children and Julius proposed about family planning. Juliette did not respond positively for this idea.

As time passed, somehow or other, Juliette got pregnant again. This time also the babies were predicted as twins. They were to be boys. The doctor confirmed his prediction this time, using his currently  acquired bio-medical technology.

This time when the boys  were born, there were  no discussions or agreements, between the two parents  and Julius without consulting his wife, named the boys as Max and Climax.

The naming was quite meaningful and it has paved way for the wife to think twice!

Now, they have six children, born at four occasions. This includes two, ‘two-in-one’s too !

They are a happy family of eight - consisting of the two parents, Julius and Juliette, with the six children Peter, Repeater, Kate, Duplicate, Max and Climax.

The naming of children has been very appropriate and quite meaningful.
Finally, they decided Six is enough.... No more children”    


Monday 8 January 2018

“නඩුකාර හාමුදුරුවනේ..ලබ්බ උගේ... ! උගේ මගේ...!! ”

     කළ අධ්‍යාපන නිලධාරින් වශයෙන්  අපට, සෑම පාසල් නිවාඩුකදීම, විද්‍යා සහ ගණිත ආධුනික ගුරුවරු සඳහා, සේවාස්ථ පුහුණු නේවාසික කාර්ය සැසි පැවැත්වීමට සිදුවිය. අප සමග සිටි පළපුරුදු ජේෂ්ඨ නිලධාරියෙක්‌ පැරණි රසවත් කතා කීමට සමතෙක් විය. මෙය ඔහුගේ කථාවකි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඈත පිටිසර ගමක, බන්ඩියා සහ උක්කුවා  නම් හේන් ගොවිතැන් කරන ගොවියෝ දෙදෙනෙක් සිටියහ. යාබද හේන් දෙකක වගා කරන මේ දෙදෙනා ගජ මිතුරන් විය. බන්ඩියාගේ  හේනේ වැලක අති විශාල ලබු ගෙඩියක් හට ගත්තේය. මෙම ලබු ගෙඩිය හොඳට වැඩී මෝරා තිබෙන විට, එතැනට පැමිණි උක්කුවා හොඳ අදහසක් ඉදිරිපත් කළේය.

‘බන්ඩියෝ.... මේ ලබු ගෙඩිය හොඳට මෝරන්නට ඇරලා මේකෙන් අපි ලබු කැටයක් හදමු.’



‘කිව්වත් වගේ, මේකේ වතුර කලගෙඩියක් විතර  පුරවන්න  ඇහැකිනේ.’ කී බන්ඩියා  යෝජනාවට එකඟ විය.

ලබු කැටයක් සෑදීම වගේ සුකුරුතම් වැඩක්‌ කිරීමට හැකියාවක් නොතිබුණු බන්ඩියා එය සකස් කිරීම තම මිතුරා වන උක්කුවාටම භාර කළේය.

‘ඔන්න ගොය්යෝ.....! ලබ්බ මගේ.  ලැබූ කැටේ වැඩ විතරක්... ඔහේගේ ....! ’  කියා බන්ඩියා උක්කුවාට විහිලුවක්ද කළේය.

උක්කුවා ලබුගෙඩිය හොඳින් වේලෙන්නට හැර,  මදය  ඉවත් කර, විශාල ලැබූ කැටයක් සෑදුවේය. තරමක කලගෙඩියක අල්ලන තරම් වතුර දැමිය හැකි ලැබූ කැටය හේනට වතුර ගෙන යාමට ඉතා හොඳ භාජනයක් විය. එහෙත් එය එල්ලා ගෙන යාමට ක්‍රමයක් නොවිය. මේ සඳහාද කළහැකි දෙයක් උක්කුවාට කල්පනාවිය.




‘මේකට මම එළු හම් පටි වලින් උගයක්‌ ගොතන්නම්. සිදාදියෙන්  එළු හම් පටි මුඩියක්, කාසිවලට අරගෙන උගයකුයි, ඒකෙන්ම ලබූ කැටය එල්ලා ගෙන යන්න අත්තමකුයි හදන්නම්.’

බන්ඩියා මෙයට කැමති විය.

ටික දිනකින් උක්කුවා ලබුකැටයේ වැඩ නිම කළේය. එවැනි විශාල ලබු කැටයක් හේන් යායේ කිසිවෙකු සතු නොවිය.

දැන් උක්කුවා තම හේනට වතුර ගෙන යන්නේ අලුත් ලබු කැටයේය. මේ බව කිහිප වරක්ම දුටු බන්ඩියාට, එය අයිති තමන්ට නිසා, හිතේ තරහක්ද ඇතිවිය. එසේ වුවත් මිතුරු කම නිසාම ඔහු නිහඬව සිටියේය.

ඉවසීමේ සීමාව ඉක්ම ගිය පසු දිනක්  බන්ඩියා උක්කුවාගේ හේනට වතුර බීම සඳහා ගියේය.  උක්කුවා කිසිවක් නොදන්නා සේ ලබුකැටයෙන් පොල් කටුවකට වතුර ගෙන  බන්ඩියාට  බොන්නට දුන්නේය.

එය ප්‍රතික්ෂේප කළ බන්ඩියා ලැබූ කැටය බලෙන්ම උදුරාගෙන යන්නට සුදානම් විය.

කලබලවූ , උක්කුවා බන්ඩියාට එල්ල කළ පහරකින් ඔහු කටින් ලේ වගුරුවමින් සිහිසුන්ව බිම වැටිණ.

හේන් යායේ මුලාදෑනියාට විසඳීමට නොහැකිවූ නඩුව අනුරාධපුර උසාවියට තබන ලදී.

ඒ කාලයේ ‘නඩුකාර හාමුදුරුවෝ’ සිංහලෙන් කතා නොකළහ. පැමිණිලිකරුවන්ගේ  සහ විත්ති කරුවන්ගේ ප්‍රකාශ තෝල්ක මුදලි විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කිරීම සිරිත විය.

නඩුව අනුරාධපුර උසාවියේ කැඳවන ලදී.

එහිදී තෝල්ක මුදලි  ‘My lord.... these rustic fools are from a far off jungle village. It is an....... attempted murder.’  යයි හඬ නගා කීවේය.

කරුණු විමසීමෙන් පසුව ‘නඩුකාර හාමුදුරුවෝ’ විත්තිකාර උක්කුවා ඇමතීය.

‘What have you got to say about this incident?’

උක්කුවා දෙසට හැරුණු තෝල්ක මුදලි මහා හඬින් එය වහා  පරිවර්තනය කළේය.

‘යුෂ්මතා...., මේ ඇබැද්දිය ගැන කියන්නේ මොනවද?’

උක්කුවා යමක්‌ කියන්නට උත්සාහ කළත් ඔහුගේ වචන පිට නොවිය.

‘කතා කරනවා..... !. නැත්නම් කුඩුවට දානවා.’ තෝල්ක මුදලි ඔහුට තරවටු කළේය.

මහත් අසරණ බවට පත්වූ විත්තිකරු කට වෙව්ලමින් හෙමින් මෙසේ කිවේය

‘හාන්...ඳු....න්නනේ.........., ලබ්බ.... උගේ.' ..... 'උගේ...... මගේ’ 

හිස නමාගෙන සිටි ඔහු බෙහෙවින් බැගෑපත් විය.

කිසිවක් නොතේරුණු බව පෙන්වූ විනිශ්චයකරු, තෝල්ක මුදලිගේ මුහුණ දෙස  බලාගෙන සිටියේය.

තෝල්ක මුදලිට සිංහල ඉංග්‍රීසි දෙකම සහ ස්ථානය උසාවිය බවද අමතක විය.

‘මොකක්ද? තක්කඩියෝ කිව්වේ’ කියමින්  ඔහු විත්තිකරු වෙත කඩා පැන්නේය.

මහත් බියට පත්වූ උක්කුවා  ‘අනේ ..... පිං කරන..... ‘හාන්ඳු....න්නනේ......., ලබ්බ උගේ. උගේ මගේ’ යයි නැවත කීවේය.

‘What did he say?’  කියමින්,  විනිශ්චයකරු තෝල්ක මුදලි දෙස රෞද්‍ර බැල්මක්‌ හෙලා  බලා සිටියේය.

ඔහුට එම ප්‍රකාශය ඉංග්‍රීසියට  පරිවර්තනය කළ නොහැකි බව නොහඟවමින්

‘My Lord the accused says that the “gourd is his...... and his, is mine” that’s all’

‘What is t...h....a....t ?   I can’t understand the English that you speak and what you say............I can’t waste my time.......  The case is dismissed.’!!  

සැරෙන් කී විනිශ්චයකාර තුමා   විත්තිකරු නිදහස් කළේය.

තෝල්ක මුදලි, තම  තට්ට හිස කසමින් පසුබා සිටියේය.

ලබු කැටය වටා ලණුවලින් හෝ එළුහම්  පටි තීරු වලින් සාදා ගන්නා බැම්ම සඳහා එකළ ගැමියා හාවිත කර ඇති වචනය "උගේ' යන්නයි.

තෝල්ක මුදලි ලබුකැටයේ  “උගේ” හැඳින්වීම සඳහා ඉංග්‍රීසි වචනයක් නොදත්තේය. මේ සඳහා ඔහු යෙදුවේ උගේ (ඔහුගේ) යන ඔහු දන්නා තේරුම ඇති ‘his’ යන ඉංග්‍රීසි වචනයයි.  අවසානයේදී විතිකරුගේ සත්‍ය ප්‍රකාශය ගරුතර අධිකරණයට තේරුම් ගත නොහැකි විය.
 
කථාව උගේ. (සමාවන්න!  ඔහුගේ.)  ඉදිරිපත්කිරීම මගේ.


Thursday 4 January 2018

සීෂෙල්ස් දූපත් රාජ්‍යයේ එක් කුඩා දිවයිනක තවමත් තිබෙනුයේ වහල් සේවයද?

මෙය ලෝකයේ ජනාවාසයක්‌ ඇති ඉතාම කුඩා දිවයින් වලින් එකකි.   සිල්වට් දූපත (Silhouette Island) යන නමින් හඳුන්වන මෙය දකුණු ඉන්දියන් සාගරයේ සීෂෙල්ස් දූපත් සමූහයට අයත්ය. ප්‍රධාන දූපතේ සිට කිලෝමීටර විස්සකට  පමණ ඈතින් පිහිටා ඇති මෙම දිවයින ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර විස්සක් (4km x 5km)   පමණ වේ. දූපතෙහි පවුල් විසිපහක් පමණ ජීවත් වන අතර මුළු ජනගහණය 150 ක්‌ පමණ වේ. මෙයින්ද විසි දෙනෙක් පමණ දූපත අයිති වැවිලි සමාගමේ සේවකයින්ය. මෙම දිවයින,  සොයාගත් කාළයේ (1810 දී පමණ)  සිටම, අසල පිහිටි මුරුසි රටෙහි  පදිංචිව සිටි ප්‍රංශ ජාතික ධනවත් ව්‍යාපාරික පවුලකට අයති දේපලක් ව තිබී පසුව රජයට අයත් වි ඇත.

මුල් කාලයේදී මෙම දූපතෙහි වගා කටයුතු සඳහා යොදවනු ලැබූ අප්‍රිකානු සම්භවයක් ඇති වහල්ලු (slaves) වශයෙන් සේවයට ගන්නා ලදැයි සිතිය හැකි  මිනිසුන්ගෙන් පැවත එන අය, තවමත් ඒ ආකාරයෙන්ම සිටීම ඛෙද ජනක තත්ත්වයකි.

ඉන්දියන් සාගරයේ බටහිර ප්‍රදේශයේ පිහිටා ඇති සිල්වට්, ඉතාමත් විරල ජීවින් සිටින ඉහල ජෛව විවිධත්වයක් සහිත කුඩා දිවයිනකි. දැනට දශක තුනකට පමණ ඉහතදී, මා සීෂෙල්ස් බහු තාක්ෂණ ආයතනයේ සේවය කරද්දී මෙම මනරම් දිවයිනෙහි  අධ්‍යයන කටයුත්තකට සහභාගී වීමට අවස්ථාව ලැබුණි. 
මෙම කුඩා දිවයිනේ, වඳවීයාමේ තර්ජනයට අතිශයින් භාජනවී ඇති, වල්ගයේ කොලොපුවක් මෙන් හැකිලිය හැකි  පටලයක් වැනි විකරණයක් සහිත ඉතාමත් විරල, එරටට අවේනික (ඒක දේශික) වවුලෙකු (Coleura seychellensis) සිටින බව අසන්නට ලැබිණ. (අපට දැකගැනීමට නොහැකි විය) ලෝකයේ වෙනත් කිසිම ස්ථානයක නොමැති, මෙම වවුලන් මෙහි සිටින තිස් දෙනෙකුගේ රංචුවකට පමණක් සීමාවී තිබීම නිසා වඳවී යාමේ තර්ජනයේ අන්තයටම පැමිණ ඇති බව පෙනේ.


මිට අමතරව, මෙම දුපත් වල තිබෙන ඒක දේශික ශාක 75 කින් 61 ක් පමණද සිල්වට්  දිවයිනේ තිබෙන බවද, එය කුරුළු පාරාදීසයක් බවද  නිරීක්ෂණය කර තිබේ. මෙහි අගනා ජීව විද්‍යාත්මක වටිනාකම් නිසාම 1987 සිට දිවයිනෙහි මධ්‍ය කඳුකර කොටස සහ   අවට මුහුදු තීරය රක්ෂිත ජාතික උද්‍යානයක් ලෙස නම්කර තිබේ.
මෙම අපූරු දිවයිනෙහි ජෛව විවිධත්වය රැකගැනීම  සහ වඳවීයාමේ තර්ජනයට ගොදුරුවී ඇති ජීවීන් සංරක්ෂණය සඳහා මධ්‍යස්ථානයක්ද  පිහිටුවා තිබේ.




ස්වභාව  සෞන්දර්යය සහ ජෛව විවිධත්වය සහිත මෙම දිවයිනෙහි ජීවත්වන මිනිසුන්ගේ ජීවන රටාව පිළිබඳවද විමසිලිමත්වීම වැදගත්ය. 

රජය මගින් දිවයින දූපත් සංවර්ධන සමාගම නම් ආයතනයකට පවරා දී තිබේ. දූපතෙහි කෘෂිකාර්මික කටයුතු කිරීම සඳහා එහි ජීවත්වන ජනතාව යොදා ගැනේ. එම මිනිසුන්ගේ ඕනෑ එපා කම් සියල්ල පාලනය වනුයේ සමාගමේ පාලක පක්ෂය මගිනි. දිවයිනෙහි ජනගහනය ඒ මට්ටමෙන්ම පවත්වාගැනීම සඳහා විවිධ උපක්‍රම භාවිත වේ. අතලොස්සක් වන දරුවන් සඳහා ගුරුවරු දෙදෙනෙක් පමණක් සිටින පාසලක් තිබේ, ජනතාවගේ සෞඛ්‍ය කටයුතු ගැන සොයා බැලීමට එක් හෙදියක් සහිත සෞඛ්‍ය මධ්‍යස්ථානයක්ද ඇත. කාර්ය මණ්ඩලයේ භාවිතය සඳහා එක් මෝටර් රථයක්‌, බයිසිකල් දෙකක්‌ සහ බෝට්ටුවක්ද තිබේ.

මෙම මිනිසුන්ගේ විශේෂත්වය වනුයේ ඔවුන් කිසිම භාණ්ඩයක්‌  මිලදී ගැනීම හෝ භාණ්ඩ අලෙවි කිරීමක් නොකිරීමයි. ඔවුනට මුදල් භාවිතය පිළිබඳව ඇත්තේ ඉතාමත් අල්ප දැනුමකි. ඔවුන් මුදල් නෝට්ටු හෝ කාසි පිලිබඳ කිසිවක් නොදන්නා තරම්ය. මෙම මිනිසුන්ගේ සියලුම මුදල් වැයවන අවශ්‍යතා දූපත් සංවර්ධන සමාගම මගින් සිදු කෙරේ. ඒ වෙනුවට සෑම කෙනෙක්ම දිවයිනේ එදිනෙදා කටයුතු සඳහා සිය ශ්‍රමයෙන්ම දායක විය යුතුය.

සියලුම ශ්‍රමිකයින් පෙරවරු අට වනවිට ආයතන කාර්යාලය අසලට රැස්විය යුතුය. මෙය වැඩ බෙදාදෙනු ලබන ‘පෙරෙට්ටුව’යි. එහිදී ගැහැණු පිරිමි කාටත් දිනයේ නියමිත වැඩ කටයුතු පැවරේ. වැඩි පිරිසක් ගොවී පළේ වැඩ කටයුතු සඳහාය. පිරිමි කිහිප දෙනෙකු ඔවුන් සඳහා වෙන්කර තිබෙන ඔරු වලින් මසුන් ඇල්ලීම සඳහා මුහුදට යති. තවත් කිහිප දෙනෙකු උදලු අලවංගු ආදිය රැගෙන පාරවල් තැනීම සඳහා යති. පලතුරු වතුවල වැඩ සඳහාත් කුකුල් පාලන කටයුතු සඳහාත් ඉතිරි අය පිටත් වෙති. පාසල් නොයන වයසේ දරුවන් රැකබලා ගැනීමද සෞඛ්‍ය හෙදියට පැවරේ. මෙසේ සියලු දෙනාම තමන්ට අයිති වැඩ කටයුතු වල නිරත වීම ඔවුන්ගේ දින චරියාවයි.

සවස් වන විට ඔවුන්ගේ සියලුම නිෂ්පාදන පාලන ආයතනය මගින් එකතු කරගනී. ඒවා වහාම අලෙවිය  සඳහා ප්‍රධාන දූපතට යාවේ. පැය අටක සේවයෙන් පසුව නැවත පෙරෙට්ටුවට පැමිණෙන ශ්‍රමිකයින්ට, එදිනෙදා ජීවත් වීමට අවශ්‍ය දේ එහිදී බෙදාදෙනු ලැබේ. සහල්, මස් මාළු, එළවලු, කිරි ආදිය මේ අතර තිබේ. ඇඳුම ලැබෙනුයේ වසරකට එක් වරකි.

මේ දිවයින් වැසියන් තමන්ගේ ජීවන ක්‍රමය ගැන සෑහීමකට පත්වී සිටින බව පෙනේ. ඔවුන් අතරින් බොහෝ දෙනෙකු කිසි විටක දිවයිනේ සීමාවෙන් පිටතට ගොස් නැත. ඔවුනට ඒ ගැන හැඟීමක්වත් ඇති බවක් නොපෙනේ. ඔවුන්ගේ ශ්‍රමය සූරා කමින් පාලකයින් ධනය උපයන බවක්වත් ඔවුන් නොදන්නා සේය. ඔවුන් සඳහා විකල්පයක් සොයා ගැනීමටද අවශ්‍යතාවක් නොමැති බව පාලක්යින්ද සිතනු නොඅනුමානය. 
  
මෙම මිනිස් ශ්‍රමය සූරාකෑම, ආදී කාලීන වැඩවසම් පාලන ක්‍රමයේ හෝ වහල් සේවයේ  නෂ්ටාවශේෂයක්ද?