Friday 19 January 2018

ගුරු පුහුණුව අධීක්ෂණයේ දී ඉස්මතුවූ ගැටළුවක්. ....

 ගුරු පුහුණුව අධීක්ෂණයේ දී ඉස්මතුවූ ගැටළුවක්. ....  

ක් ගුරු විද්‍යාලයක ගුරු පුහුණුව ලබන ගුරුවරයෙකුට ඉගැන්වීමේ ප්‍රායෝගික පුහුණුව (teaching practice) සඳහා සති කිහිපයකට, ඉගැන්වීම සඳහා යාබද මහා විදුහලකට යාමට සිදුවිය. ඔහුට එහිදී ඉගැන්වීමට ලැබුණේ සාධන මට්ටමින් අඩු සිසුන් සිටින පන්තියකි.

එම පන්තියේ භෞතික විද්‍යා පාඩමකදී, සිසුන්ට තාපය ගලායාම (transfer of  of heat) සිදුවන අකාරය කිහිප වරක්ම විස්තර කලත් ඔවුනට එම සිද්ධාන්ත තේරුම් ගැනීම අපහසු වි ඇත.

ඔහුගේ ඉගැන්වීම නිරික්ෂණය කර අවසාන  ඇගයීම් වාර්තාව සකස් කිරීම සඳහා තම පරීක්ෂකවරියද පසුදින එන බව දන්වා තිබිණ.

පන්තියේ සිසුනට කලින් දින පාඩම නොතේරුණු  නිසා පසුදින එම පාඩම නැවත වඩා හොඳින් තේරුම් කිරීම සඳහා ඔහු උපායක් ගැන කල්පනා කළේය. ඔහුට ඒ සඳහා සරල උදාහරණයක් මතක් විය.

පසුදින ඔහු පන්තියට යන විටම වාගේ අධීක්ෂක කථිකාචාර්ය වරියද පන්තියට පැමිණ පසුපස ආසනයක හිඳගත්තාය.

ඔහු කලින් දින සිසුනට තේරුම් ගැනීමට නොහැකිවූ පාඩම ආරම්භ කිරීමට සූදානම් විය.
‘ඊයේ මේ දරුවන්ට තේරුම් ගැනීමට බැරිවූ තාපය ගලායාම පිලිබඳ අදහස තේරුම් ගැනීමට කවුරුත් දන්නා පහසු උදාහරණයක් ගන්නම්’ කියමින් ඔහු පාඩම ඉගැන්වීම ආරම්භ කළේය.

අධීක්ෂක වරිය හරි බැරි ගැහී වාඩිවී  ගුරුවරයාට හොඳින් ඇහුම්කන් දිගෙන සිටියාය.

මෙන්න මෙවැනි සිද්ධියක් ගැන සිතන්න.

“ගින්නට හසුවූ නිවසක ගිනි නිවීම සඳහා පිරිසක් ඉදිරිපත් වී සිටිති.”

“ඔව්හු පළමුව, බාල්දි සහ වෙනත් භාජන වලට වතුර ගෙනවිත් ගින්නට වත් කළහ.”

“ගින්න අඩු නොවන නිසා සියල්ලෝම පෙළට සිට භාජන වලට පිරවූ වතුර ඉක්මනට අතින් අත යවා ගින්න නිවීමට තැත් කළහ. එහෙත් ගින්න තවමත් ඇවිලෙමින් තිබේ.”

“ඊටපසු මෙතනට පැමිණි අසල් වැසියෙකු, තමගෙදර ජලකරාමයට සවිකළ රබර් ‘හෝස්’ බටයෙන් කෙලින්ම ගින්නට වතුර දැමිය. ටික වෙලාවකින් ගින්න නිවා දැමීමට හැකි විය.”

“දරුවනේ, තාපය ගලායාමේ සරලම ක්‍රමය බාල්දි වලින් වෙන වෙනම වතුර ගෙනගොස් ගින්න නිවීම වගේ සන්නායකයේ අංශු ඔස්සේ ටිකින් ටික තාපය ගමන් කිරීමයි. මෙයට සන්නයනය යයි කියනවා.”

“දෙවැන්න තමයි, පෙලට සිට වතුර බාල්දි අතින් අත යැව්වා වැනි, මාධ්‍යයේ අංශු මගින් ලබාගන්නා තාපය ‘සමුහ’ වශයෙන් ගමන් කිරීම. මෙයට කියන්නේ  සංවහනය යි.”

“ඊළඟට අවසානයේදී, ‘හෝස්’ බටය පාවිච්චි කර, ජල කරාමයේ සිට කෙලින්ම ගින්න වෙතට ජලය යැවීම වැනි, තාපය අතරමග කිසිම බාධාවක් නොමැතිව ගමන් කිරීමේ තුන්වෙනි ක්‍රමයට කියන්නේ විකිරණය කියායි.”

‘දැන් තේරෙනවා නේද?’

‘ඔව් සර්.... සන්නයනය, සංවහනය සහ  විකිරණය. හරිම ලේසියි.........’ ළමයින්ගේ ප්‍රතිචාරය විය.

අධීක්ෂක වරිය ගුරුවරයාගේ ඉගැන්වීමේ දක්ෂතාවය ගැන බෙහෙවින් පැහැදී ඔහුට ‘ඉතා හොඳ’ ශ්‍රේණියක් (A grade) දීමට සටහන් කර ගත්තාය.

කාල ඡේදය අවසන් වීමට තව ටික වේලාවක් තිබුණු නිසා අධීක්ෂක වරිය පන්තිය ඉදිරියට ගොස්, සිසුන්ගෙන් කලින් පාඩම් කිහිපයක් පිලිබඳ ප්‍රශ්න කිහිපයක් ඇසුවාය.

ඔවුන්ගෙන් එම ප්‍රශ්න සඳහා හොඳ ප්‍රතිචාර ලැබිණ.

අවසානයේදී ඇය එදින පාඩම ගැනද  මෙසේ ප්‍රශ්නයක් ඇසුවාය.

 “තාපය ගමන් කරන ආකාර තුන කෙටියෙන් විස්තර කරන්න.”

සියලුම සිසුන් දකුණු අත ඉහලට ඔසවා ‘මිස්.... මිස්.....’ කියමින් තමන් දන්නා බව පෙන්වුහ.
ගුරුවරයාට ඉමහත් සතුටක් ඇතිවිය.

අධීක්ෂක වරිය ඉදිරි පෙළේ සිටි සිසුවියකගෙන් පිළිතුර ඇසුවාය.

ඇයගේ පිළිතුර මෙසේ විය.
·        “ එක ක්‍රමයක් ඈත සිට වතුර විසි කිරීම වැනි සන්නයනය යි .”

ඇයගේ මුහුණ ඇඹුල් වී ගොස් තවමත් අත ඔසවා ගෙන සිටින සිසුවෙකුට සන් කළාය.
එම සිසුවාගේ පිළිතුර මෙසේය.

·        “දෙවෙනි ක්‍රමය වතුර බාල්දි  අතින් අත යාම වගේ සංවහනය සිදුවීමයි ”

අධීක්ෂක වරිය  තරමක් කලබලවී මැද පේලියේ  සිටි සිසුවෙකු ඇමතුවාය.
ඔහුගේ පිළිතුර මෙසේ විය.

·        “ජලය රබර් බටයකින් යැවීම වැනි තුන්වෙනි ක්‍රමය විකිරණය යි.”

සිසුන්ගේ පිළිතුරු ගැන මහත් වික්ෂිප්ත භාවයට පත්වූ අධීක්ෂක වරිය

‘යම්කිසි සංකල්පයක් උගන්වන විට ඕනෑවට වඩා දුරට ගොස්, එය විග්‍රහ කරන්නට යන්නට එපා’ යයි ගුරුවරයාට සෙමින් කියමින් පන්තියෙන් පිටවුවාය.

පන්තියේ සිසුන්ට ගුරුවරයා විසින් දෙනු ලැබූ උදාහරණය හොඳින් වැටහී තිබුණත්, එම උදාහරණය තාපය ගලායාමේ සංසිද්ධිය සමග ගලපා ගන්නේ කෙසේද යන්න පිලිබඳ නිරවුල් අවබෝධයක්‌ ලැබී නොමැති බව පෙනේ. 

විද්‍යා ගුරුවරයාට  ප්‍රායෝගික ගුරු පුහුණුව ව සඳහා හිමිවූ ශ්‍රේණිය  A සිට  C දක්වා අඩුවී තිබිණ.

සිසුනට ඉගැන්වීමේදී ඕනෑවට වඩා උදාහරණ ගෙනහැර දැක්වීමද අයෝග්‍යය.


14 comments:

  1. උදාහරණය ගන්නේ තේරුම් කිරීමේ පහසු බව සලකා බවත් කාරණය තේරුම් ගත් පසු උදාහරණය අමතක කළ යුතු බවත් සිසුන්ට දැනුම් දිය යුතුය.

    ReplyDelete
    Replies
    1. ස්තිතුයි ප්‍රසන්න,
      මෙවැනි අවස්ථාවකදී ඔය කාරණය සිසුන්ට කීම අවශ්‍යම නැහැ. කෙසේ වෙතත් ඒ නවක ගුරුවරයා 'සාධන මට්ටම අඩු' සිසුන්ට ඉගැන්වීමේදී එකම දෙය වුවත් කිහිප වරක්ම අවධාරණය කළ යුතු බව නොසලකා හැර තිබෙනවා. මේ සිද්ධිය මට දැනගන්නට ලැබුණේ අධීක්ෂණ නිලධාරිනියගෙන්. ආධුනික ගුරුවරයාගේ ලැබීමට නියමිතව තිබු ශ්‍රේණිය A සිට C දක්වා අඩු කිරීම ගැන මාද විරුද්ධ වුවා. එය අඩුම ලෙස B වශයෙන් වත් තිබුනානම් සාධාරණයි.

      Delete
  2. // සාධන මට්ටමින් අඩු සිසුන්// මේක හරිම වැදගත් පොයින්ට් එකක්.. මට පුද්ගලිකව නිතර මුහුණ දෙන්න වෙන තත්වයක් සයිට් වල ට්‍රේනිං කරන්න ගියාම.. සමහර පුද්ගලයින්ගේ දැනුම සහ යමක් අවබෝධ කර ගැනීමේ හැකියාව අපිට හිතා ගන්නවත් බැරි තරම් අඩුයි.. ඒ වගේම ඒ අතරම ඉන්න පුළුවන් 'ඉහල සාධන මට්ටමේ' පුද්ගලයොත් කියන එක මතක තියා ගන්න ඕනි.. මම හිතන්නේ 'පන්ති කාමරයේ' තත්වය හැකි ඉක්මනින් තේරුම් අරන් ඒ තත්වයට හැඩ ගැහෙන එක තනිකරම ගුරුවරයාගේ දක්ෂකමක්.. මේ වැනි ප්‍රයෝගික පුහුණු ඒ සඳහා ඉතාමත් වැදගත්..
    ස්තුතියි දයා මහත්මයාට.. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කල්‍යාණ,
      // සාධන මට්ටමින් අඩු සිසුන්//
      මෙය ඉගැන්වීමේදී සහ අධීක්ෂණ කටයුතු වලදී ඉතාමත් වැදගත් සංකල්පයක්. පන්තියක හෝ සමුහයක සිටින අයට විවිධ කුසලතා තිබෙනවා. සමහරවිට තමන්ට ඇති කුසලතා පිළිබඳව එම පුද්ගලයින් පවා දන්නේ නැහැ. ගුරුවරයෙකුගේ, උපදේශකවරයෙකුගේ හෝ වෙනත් පුහුණු කරුවෙගේ පරම යුතුකම වනුයේ එම කුසලතා හඳුනාගැනීමයි. පාසල් පද්ධතියේ නම් විෂයය බාහිර ක්‍රියාකාරකම් වලදී මේවා ඉස්මතු වෙනවා.
      ඔබ සඳහන් කර තිබෙන ආකාරයට 'සයිට්' වලදී එකම තේමාවක් යටතේ පුහුණුවීම් කරන නිසා ඔය කියන පුහුණුවට අදාළ සාධන මට්ටම හඳුනා ගැනීමට ටික කලක්‌ ගත වෙනවා ඇති නේද? බොභෝ විට එම දක්ෂතා දකින්නට ලැබෙන්නේ ඔවුන් වැඩබිමේ ක්‍රියාත්මක වන විට වෙන්නට පුළුවනි.

      Delete
  3. I think the (trainee) teacher has done a great job by using examples to make students understand the concepts. The examiner seems to have tested a different skill of students, which is being able to express what they learnt. Not sure why the teacher was downgraded from A to C. (Assume you were the teacher here).

    ReplyDelete
    Replies
    1. Thank you Lotus,
      Yes, he has done a good job. Unfortunately, he has not considered the, so called characteristic of 'Low achievers'. Generally, in such class-room setups, certain concepts have to be repeated several times for clear understanding. In fact, I got this information from the examiner herself. I was critical of decreasing the earned Grade from A to C. I was adamant that it should be at least B.
      I was a colleague of the examiner.

      Delete
  4. අඩි යෙන් අඩිය ඉගැනුම ලැබ දෙන්න කියා
    කඩි නම් ඉගැන්වුම් තෝරා දේවි ලියා
    වැඩි දුර නොගොස් ඉගෙනුම් වැඩ කරනු කියා
    පඩි ය නැතත් ශ්‍රේණිය අඩු කරල ගියා.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමි,
      පුහුණුව ලබන විට සිදුවන වැරදි ගැ න
      විමසිය යුතුය බලමින් මැදහත් සිති න
      උපයාගත් ලකුණු බලවත් වෙහෙස ගෙ න
      අඩුකළ නොහැක.වෙන යම් මිම්මකින් මැ න

      ඔබට‍ ජයම !

      Delete
  5. උත්සාහය අගය කරන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුරංග,
      ඔබ දරන මතය හරි. ඒ උනත් උදාහරණයක් මගින් යමක්‌ තේරුම් කළාට පසුව එය තහවුරු වුවාද යන්න ගැන මඳක් සොයා බැලීම ගුරුවරයෙකුගේ යුතුකමක්‌. මෙම ආධුනික ගුරුවරයා එම කාර්යය අමතක කරලා. උදාහරණය පමණක් සිසුන්ගේ සිත් තුලට කා වැදිලා. කොහොම වෙතත් ඔහු උපයාගත් ශ්‍රේණිය A සිට C දක්වා අඩුකිරීමට නම් මා විරුද්ධ වුවා. එය අඩුම වශයෙන් B වත් විය යුතු බව මා කිවා.

      Delete
    2. පොදුවේ විභාග ඇතුළු ඕනෑම ඇගයීම් ක්‍රියාවලියකදී අපේක්ෂකයෙකු උපයාගත් ලකුණක් අඩු නොකිරීම සාමාන්‍ය රීතියක්. සුවිශේෂී තෝරාගැනීම් අවස්ථාවලදී පමණක්, අඩු කිරීමක් කළහැකියි. එවැනි අවස්වථාලදී අපේක්ෂකයා කලින් දැනුවත් කරනු ලබනවා.

      Delete