Tuesday 28 November 2017

අප, ගණිත සංකල්පද කටපාඩම් කළ කාළයක් විය......

  ප හතරේ පන්තියේ ඉගෙන ගන්නා කාලයේ, පන්ති භාර ගුරුවරයා වූයේ ප්‍රනාන්දු මහත්මයාය. ලා අලුපාටට හුරු ට්වීඩ් රෙද්දක් සහ සුදු කමිසයක් හැඳ, ඉනෙහි සුදු කැන්වස් පටියක්ද බඳින ඔහු උදේ පන්තියට එන විට කෝට් එකක්ද හැඳ සිටි. තරමක් දහවල් වන විට කෝට් එක දිග හැර ගුරු පුටුවේ පිටු පසට දමා එල්ලා තබයි. අපට ඉංග්‍රීසි පාඩම හැර සංඛ්‍යා (අංක ගණිතය), මවු බස, සෞඛ්‍යය, ස්වභාව  අධ්‍යයනය ආදී සියලුම විෂයයන් ඉගැන්වූයේ ප්‍රනාන්දු මහතායි.

ඉතාම සුළු වරදකට වුවත් වේවැල් පහරවල් කිහිපයක් දෙන නිසාත්, සැර වැර ගතිය නිසාත් අපි නිතරම ඔහුට‌ බියෙන් සිටියෙමු. ඔහු පාසල අසලම ගෙදරක නේවාසිකව සිටියේය. ඒ ගෙදරම කෙනෙකු වන සිරිසේන අපේ පන්ති නායකයාය. ඔහු පන්ති නායකයා වුයේ කෙසේද කියාවත් අප නොදත්තෙමු. 

සිරිසේනටද වැදගත් වැඩ කිහිපයක් පැවරී තිබුණි. උදෙන්ම ලොකු ඉස්කෝලේ හාමිනේගෙන් පන්ති නම් පොත සහ සුදු රටහුණු කුරක් ඉල්ලා ගෙන  ඒම, ගල්ලෑලි මැකීම සඳහා ටින් එකකට වතුර දමා එය තුලට කුඩා කොළ අතු කැබෙල්ලක් දැමීම, මල් පැල වලට වතුර දැමීම,  ආදිය ඉන් කිහිපයකි. මේ කිසිවකවත් අඩුපාඩුවක් තිබුනහොත් සිරිසේනට වුවද ටොකු පහරවල් කිහිපයක් කෑමට සිදුවේ.

අපේ පන්තියේ ළමයි විසි දෙනෙක් පමණ සිටියහ. මෙයින් අඩක්‌ පමණ බාලිකාවන් වුහ. පිරිමි ළමයින්ගේ ඇඳුම සරම සහ බැනියම වූ අතර කිහිප දෙනෙකු ජංගියද ඇන්ඳහ. කොට කලිසම ඇන්දේ සිරිසේන සහ මා පමණකි. ගැහැණු ළමයින්ගේ ඇඳුම චීත්ත ගවුම විය.

ප්‍රනාන්දු මහතා පිළිවෙලකට වැඩ කළ කෙනෙකි. පන්තියේ නම් ලකුණු කළ වහාම ඔහු ළමයින්ගේ පිරිසිදු කම ගැන බලයි. දත් මැද තිබීම, හිස පීරා තිබීම, නියපොතු කපා තිබිම, ඇඳුමේ ඉහල කොටසේ තුනට නැමූ ලේන්සුවක් එල්ලා තිබිම වැදගත් සෞඛ්‍ය පුරුදු විය.  මෙයින් එකක වත්  අඩුපාඩුවක් තිබුනොත් වේවැල් පහර කිහිපයක් අනිවාර්ය වේ. අපට දිනපතාම පළමු කාල ඡේදය වූයේ සංඛ්‍යා පාඩමයි. මේ පාඩමේදී කිහිප දෙනෙකුට වේවැල් පහර නොවැදුනු  දින ඇත්තේ නැති තරම්ය.

පුරා මාසයක් පමණ මුලික ගණිත ක්‍රම (එකතු කිරීම, අඩු කිරීම, වැඩිකිරීම සහ බෙදීම)   අභ්‍යාස රාශියක් කිරීමෙන් පසුව අපට ගුණිත වගු (multiplication tables) කට පාඩම් කිරීමට සිදුවිය. (ඒ කාලයේ භාවිත කළේ ‘චක්කරය’ යන නමයි). එක්‌ වගුවක් කට පාඩම් කිරීම සඳහා ලැබුණේ දින දෙකක් පමණකි. දෙවරක්, තුන්වරක්, හතරවරක් සහ පස්වරක් චක්කර කට පාඩම් කිරීම එතරම් අමාරු නොවිය. අපට ඒ මාසය තුලදී දොළොස් වරක් දක්වා චක්කර කට පාඩම් කිරීමට සිදුවිය. හය වරක් සිට දොළොස් වරක් දක්වා කට පාඩම් කිරීම තරමක් දුෂ්කරය.
අපගෙන් ගුණිත චක්කර කට පාඩම් ගැනීම, අපේ ගුරු තුමාට මහත් විනෝදයක් විය. ඒ අන් කිසිවක් නිසා නොව, කිහිප දෙනෙකුට ‘වේවැල් කෂාය’ දීමට ඔහුට  අවස්ථාව ලැබෙන නිසා විය හැකිය. ඔහු  චක්කර කටපාඩම් ගත්තේ අමුතුම ක්‍රමයකටය.

පන්තියේ සිසුන් සියලු දෙනාම එක්‌ පෙළකට සිටුවා, ඔහු පේළිය ඉදිරියට පැමිණ, ‘හත්වරක් අට?’ ‘නවවරක් හය?’  යනාදී සංඛ්‍යාවක් පේළියේ මුල සිටින සිසුවාගෙන් අසයි. එයට ක්ෂණයකින් පිළිතුරු දිය යුතුය. පළමු සිසුවාට හරි පිළිතුර බැරි වුවහොත් ඔහුට පේළියේ අන්තිමට යාමට සිදුවේ. ඊළඟට එම ප්‍රශ්නයම දැන් මුලට සිටින සිසුවාගෙන් අසයි. ඔහුගෙන් හරි පිළිතුර ලැබුනොත්, ඊළඟ සිසුවාගෙන් වෙනත් චක්කර ප්‍රශ්නයක් අසයි. මේ ලෙසට පිළිතුර ක්ෂණිකවම බැරි වන සැම කෙනෙක්ම පේලියේ කෙළවරට  යැවේ.

සංඛ්‍යා කාල ඡේදය අවසන් වන සීනුව නාද වූ විගසම පේලියේ අන්තිමට සිටින පස් දෙනෙකුට, ‘චක්කර බැරි වීම නිසා’, එක අයෙකුට පහරවල් දෙක බැගින්  අත්ලට වේවැල් කෂාය දීම ඔහුගේ හොඳම විනෝදාංශයයි. මේ අමුතුම පන්නයේ අමානුෂික දඬුවම එක වරක් වත් විඳ නැති අය අපේ පන්තියේ නොවිය.

1948 වර්ෂයේදී පමණ වූ මෙම සිද්ධිය සටහන් කළේ එකළ ඉගැන්වීමේ දොසක් පෙන්වීමට නොවේ. ගුණිත වගුව   මතක තබාගැනීමට පහසු ක්‍රම තිබියදීත්  එය  කටපාඩම් කිරීමට දරුවන් පෙළඹවුයේ මන්ද යන්නට සැලකියයුතු පිළිතුරක් සොයා ගැනීමට නොහැකි නිසාය.
අපට කට පාඩම් කිරීමට සිදුවූ  ගුණිත චක්‍රය (වගුව) මෙසේය.


පැරණි ‘චක්කර’ සටහනක්

මෑතක් වන තුරුම අප පාසල්වල භාවිත කලේ මෙම ආදී කාලින ගුණිත වගුවයි  (මෙය කිසිසේත් වගුවක් ලෙස නම් කළ නොහැකිය. එසේම එය චක්‍රයක්ද නොවේ)  මෑතක් වන තුරුම, බොහෝ සිසු අභ්‍යාස පොත් මුද්‍රණය කරන්නෝද තම පොත්වල පිට කවරයේ මුද්‍රණය කළේද මෙයයි. මේ සෑම කෙනෙක්ම පයිතගරස් ගණිතඥයාගේ  කාලයේ සිටම පැවති පහත දැක්වෙන සරල ගුණිත වගුව  භාවිතයට නොගත්තේ මන්ද යන්න ගැටලුවකි.


පයිතගරසියානු ගුණිත වගුව

මෙහි දක්වා ඇත්තේ නවවරක්  දක්වා වගුව පමණකි. මෙය අවශ්‍ය පරිදි ඉහලට දිගු කර ගත හැකිය.

දශක කිහිපයකට පෙර අධ්‍යාපනය ලැබූ බොහෝ අයට ඔවුන් භාවිත කළ ‘වරක්  චක්කරය’ සහ මෙම  වගුව   සංසන්දනය කළ විට මෙහි තිබෙන වෙනස පැහැදිලිව පෙනෙනු ඇත.


ගුණිත වගුවේ ‘රටා’ හඳුනා ගනිමු.

·   පැරණි චක්කරයේ මෙන් මෙම වගුවේ අනවශ්‍ය තොරතුරු හෝ අනවශ්‍ය ඉඩකඩ ගැනීමක් සිදු නොවේ.
·    වගුව තේරුම් ගැනීම පහසුය.
·   මෙහි සිසුවාට අවශ්‍ය තොරතුරු ලබාගැනීම පිණිස, සිතීමට සලස්වා තිබේ. පැරණි එකෙහි කෙලින්ම පිළිතුර දී තිබේ.
·  මෙහි යම්කිසි ‘රටා’ කිහිපයක් ඇති නිසා බලෙන්  කට පාඩම් නොකළේ වුවද මතක  සිටී.
·   මිනිස් මනසෙහි බොහෝ දේ රැඳී සිටිනුයේ  සමාන අසමාන කම් විවිධ රටා ඔස්සේ තේරුම් ගත් විටය.
·  මෙම වගුවෙහි වම් පැත්තේ මුදුනෙහි (අංක 1)  සිට දකුණු  පැත්තේ පහල අග්‍රය (අංක 81) දක්වා විකර්ණ (diagonal) ලක්ෂ්‍යයක් ගතහොත් එම ලක්ෂ්‍යය දෙපැත්තේ ඇති සංඛ්‍යාවල සමමිතික රටාවක් තිබේ. චක්කරවල එසේ නොමැත.
·  මෙම ලක්ෂ්‍යයේ පිහිටන සංඛ්‍යා වගුවේ පළමු සිරස් පේළියේ අදාළ සංඛ්‍යාවේ වර්ග සංඛ්‍යාව බව පෙනේ. මෙයද රටාවකි.

එසේම වගුවේ දක්වා තිබෙන 12, 16, 35 සංඛ්‍යා විකරණය දෙපැත්තේ පිහිටන ආකාරයේ තිබෙන සමමිතික රටාව වැනි තවත් බොහෝ රටා මෙම වගුව විමසිල්ලෙන් බලන කෙනෙකුට සොයා ගත හැකිය. යම්කිසි ඉගෙනුම් ක්‍රියාවලියකදී පැහැදිලිව පෙනෙන රටා ඇතිවිට එම ඉගෙනුම වඩා ප්‍රබෝධමත් වේ.

මේ ආකාරයට රටා හඳුනාගෙන ලබාගන්නා අවබෝධය සහිත දැනුම ගිරවුන් මෙන් කටපාඩම් කර ගැනීමෙන් ලබන (rote learning) අසම්පූර්ණ දැනුමට වඩා බෙහෙවින් ප්‍රයෝජනවත්ය.  දශක හතකට පමණ ඉහතදී කෙසේ වෙතත් අද ඇති තාක්ෂණ දියුණුව නිසා මෙවැනි වගු නොමැතිව වුවද වැඩ කටයුතු කර ගත හැකිය.

අධ්‍යාපන ක්‍රියාවලියේදී උපදෙස්ද අවශ්‍යවේ. එමෙන්ම අත්දැකීම් මගින් ලැබෙන සංජානනය (perception) ආශ්‍රිතව ප්‍රත්‍යක්ෂ භාවය ඉතාමත්ම සඵල ඉගෙනුම් මගයි. 



දරුවන්ට ලබා දිය යුතු ගුණිත වගුව.

කෙසේ වෙතත් ඔ‍බගේ දරුවන් හෝ මුණුපුරු මිණිපිරියන් තවමත් ඉගෙනුම් මගෙහි ලාබාල අවස්ථාවල නිරතව සිටිත් නම්, ඔව්හු තවමත් අධ්‍යාපන වටිනාකමින් අඩු මෙම  පැරණි ‘චක්කර’ භාවිත කරන්නේද යන්න ගැන විමසිලිමත් වන්න.


Tuesday 21 November 2017

‘ගුරුපියා’, ‘ගුරු සීයා’ සහ ‘ගුරු මුත්තා’........


    විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසුව මට, මා   අධ්‍යාපනය ලැබූ  දිවයිනේ  හොඳම මධ්‍ය විද්‍යාලයයක් ලෙස නම දරා තිබුණු විදුහලටම  විද්‍යා ගුරු පත්වීමක් ලැබිණ. මට එම විද්‍යාලයයේ උසස් පෙළ පන්තිවල විෂයය දෙකක් ඉගැන්වීමට සිදු විය. නවකයෙකු වූ මට උසස් පෙළට විෂයය දෙකක්ම ඉගැන්වීම තරමක අමාරු වුවත්, විශ්ව විද්‍යාලයයෙන් පිටවූ විගසම තිබුණු ජවයත්, ඉගැන්වීම සඳහා තිබුණු කැමැත්තත් නිසා, ඉගැන්වීමේ කටයුතු නොපිරිහෙලා ඉටු කළෙමි. එමෙන්ම උසස් පෙළ පන්තිවල සිටි සිසුන්ගේ සහ මගේ වයසේ වෙනස වසර තුන හතරකට වඩා නොවූ නිසා, සිසුන් සහ මා අතර ගුරු ගෝල සම්බන්ධයට වඩා සමීප සම්බන්ධයක් ගොඩ නඟා ගැනීමටද හැකිවිය. මේ නිසා මම සෑම වෙරක්ම දමා ඉගැන්වූ අතර, සිසුන්ද මා කෙරෙහි විශේෂ ලැදියාවක් දැක්වුහ. මගෙන් ඉගෙනගත් සිසුන් කිහිප දෙනෙක්ම දෙවන වසර අවසානයේදී විශ්ව විද්‍යාලයට ඇතුලත් වුහ. මොවුන් අතරින් කිත්සිරි ගුරු වෘත්තීය සඳහා විශේෂ කැමැත්තක් දක්වන්නෙකු විය.

වසර කිහිපයකට පසු මට උසස් වීමක් ලැබී අධ්‍යාපන අමාත්‍යාශයේම වෙනත් තනතුරක් ලැබිණ. මේ වන විට විශ්ව විද්‍යාල අධ්‍යාපනයට යොමුවූ මගේ සිසුන් කිහිප දෙනෙකු උපාධිය අවසන් කර සිටියහ. ගුරු වෘත්තීය සඳහා කැමැත්තෙන් සිටි කිත්සිරි, විද්‍යාලයයෙන් මා ඉවත්වූ නිසා ඇතිවූ පුරප්පාඩුව පිරවිම සඳහා පත්කර යැවීම පිණිස,  මට නිර්දේශ කළ හැකිවිය. ඔහු ටික කලකින්ම ඉතා ජනප්‍රිය විද්‍යා ගුරුවරයෙකු විය. සෑම වසරකම, ඔහුගෙන් ඉගෙන ගත් සිසුන් කිහිප දෙනෙකුටද  විශ්ව විද්‍යාල වරම් හිමිවිය.

මෙසේ වසර දහයක් දොළහක්‌ ගතවන විට කිත්සිරි  විදුහලේ නියෝජ්‍ය විදුහල්පති විය. අධ්‍යාපන අමාත්‍යාශයේ උසස් විමක්‌ ලැබූ මාහට පාසල් වල  විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක  කිරීමේ වැඩ සටහන භාර විය. මෙම  වැඩ සටහන නියාමක ව්‍යාපෘතියක් ලෙස පාසැල් නියැදියක ආරම්භ කළ යුතුව තිබිණ. මෙවැනි ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක කිරීමට ඇප කැපවී වැඩ කරන ගුරු මහත්මා මහත්මීන් සිටින පාසල් සොයා ගත හැකි වනුයේ පෞද්ගලික දැන හැඳුනුම් කම් මත පමණක්ම  විය.

මා ද, ආදී ශිෂ්‍යයෙකුවන, එසේම වසර කිහිපයක් ඉගැන්වීම කළ දැනට කිත්සිරි   ගුරු මහතා නියෝජ්‍ය විදුහල්පති ලෙස  සිටින විදුහල මගේ පාසල් නියැදියට ඇතුලත් කර ගතිමි.

විදුහලේ එවකට සිටි විදුහල්පති තුමා, මා පෞද්ගලිකව හඳුනන අයෙකු නොවිය. ව්‍යාපෘතිය ගැන සාකච්ඡා කිරීමට  මම දුර කථනයෙන් කිත්සිරි  ඇමතීමි.

‘කිත්සිරි  ... මම, මේ අධ්‍යාපන අමාත්‍යංශයේ ....... . අධ්‍යාපන අමාත්‍යාංශයෙන්  පරිසරය සම්බන්ධ පාසල් ව්‍යාපෘති සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. එය භාරව සිටින්නේ මමයි. මම අපේ ඉස්කෝලෙත් නියාමක පාසලක් ලෙස ඇතුලත් කළා. විදුහල්පති තුමා සමගත් සාකච්ඡා කර මට කැමැත්ත දන්වන්න. අවශ්‍ය ලියකියවිලි සියල්ලම මම හෙට තැපැල් කරනවා.’

‘හරි සර්, කිසිම ප්‍රශ්නයක් නැහැ. මම විදුහල්පති තුමාටත් කතාකර සර්  අමතන්නම්.’  කිත්සිරිගෙන් ක්ෂණික ධනාත්මක පිළිතුරක් ලැබිණ.

පැය භාගයකට පමණ පසු මට කිත්සිරිගෙන් නැවත ඇමතුමක් ලැබිණ.

‘සර් අපි ඕනෑම ව්‍යාපෘතියක් කිරීමට භාර ගන්නම්, මම දැන් නියෝජ්‍ය විදුහල්පති නිසා  රාජකාරි වැඩ කොටසකුත් තිබෙනවා. මම දැන් උගන්වන්නේ එක පන්තියකට විතරයි. අපේ විද්‍යා අංශය  භාරව සිටින්නේ මේ විදුහලේම ඉගෙන ගත් මගේ  ගෝලයෙක් වන ගුරු මහත්මියක්. එයාගේ මව, සර් මෙහෙ උගන්වන කාලේ ගුරු මණ්ඩලයේ හිටි කෙනෙක්.’

ඊට පසු මා සමග කථාකළ විදුහල්පති තුමාද ව්‍යාපෘතිය සඳහා පුර්ණ සහයෝගය ලබාදෙන බව පැවසිය.

මට මේ ආකාරයට නියාමක ව්‍යාපෘතිය සඳහා විදුහල් දහයක්‌ පහසුවෙන්ම තෝරා ගත හැකි විය.

ව්‍යාපෘතියට අදාළ ලියකියවිළි හුවමාරු  කර ගැනීමෙන් පසු, ඒ පිලිබඳ  පළමුවෙනි රැස්වීම සඳහා, තෝරාගත් විදුහල්වල විදුහල්පතිවරු සහ ව්‍යාපෘතියට සම්බන්ධ වීමට බලාපොරෝතුවන ගුරුවරුන් දෙදෙනෙකු බැගින්ද අධ්‍යාපන අමාත්‍යංශයට කැඳවා අවශ්‍ය තොරතුරු ලබාදිය හැකිවිය.

ඊට සති දෙකකට පමණ පසු තම විදුහලේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ නිල උත්සවයට සහභාගී වීම සඳහා, කිත්සිරිගේ සහ විදුහල්පති තුමාගේද අත්සන් සහිත ලිපියකින් මටද ඇරයුමක් ලැබිණ. මම ආරාධනය සතුරින් පිලිගතිමි.

නියමිත දින විදුහලට ගිය මට එහි විශේෂ වෙනස්කම් කිහිපයක්‌ දකින්නට ලැබිණ. වසර තිහකට පමණ ඉහතදී මා සිසුවෙකුව සිටි කාලයේ සහ පසුව මා ගුරුවරයෙකු ලෙස පරිහරණය කල විද්‍යා ගාර දැන් බොභෝ සේ වෙනස් වී ඇත. ඒ කාලයේ මා ආරම්භ කළ උද්භිද උයනේ සිටවූ කුඩා පැලෑටි දැන් මහ ගස් වී තිබේ. කුඩාවට තිබුණු පිට්ටනිය දැන් විශාලය. අලුත්          ගොඩනැගිලිද රාශියකි.

ව්‍යාපෘති හඳුන්වාදීමේ රැස්වීම සුදානම්කර තිබුනේ විද්‍යාගාරවලට යාබදව  අලුතින් ගොඩ නගා ඇති සම්මන්ත්‍රණ ශාලාවේය. සිසු සිසුවියන් සියයක් පමණ සහ කිත්සිරිද ඇතුළුව  ගුරු මහත්මා මහත්මීන්ද හත් අට දෙනෙකු රැස්වීමට පැමිණ  සිටියහ.

රැස්වීම ආරම්භ කළ විදුහල්පති තුමා ව්‍යාපෘතිය පිලිබඳ විස්තරයක් කර, එය විදුහලට ලබාදීමට පුරෝගාමී වූ මා ද විදුහලේ ආදී ශිෂ්‍යයෙකු මෙන්ම ආදී විද්‍යා ගුරුවරයෙකුද බව පැවසිය. මෙය අසා සිසුහු පුදුමයට පත්වුහ.

ඊළඟට කථාකල නියෝජ්‍ය විදුහල්පති කිත්සිරි මට ගුරු පියා ලෙස  ආමන්ත්‍රණය කරමින්  හිස නමා ආචාර කර,  ඒ කාලයේ තොරතුරු රාශියක් මතක් කර දුන්නේය.

මීළඟට සභාව ඉදිරියට පැමිණි විද්‍යා අංශ භාර ගුරු මහත්මිය කතාව ආරම්භ කලේ මේ ආකාරයටය

‘විදුහල්පති තුමාගෙන් අවසරයි , මගේ ගුරු පියාණන් වන නියෝජ්‍ය විදුහල්පති කිත්සිරි මැතිතුමනි. අද දින මෙහි විශේෂ අමුත්තා ලෙස පැමිණ සිටින අපගේ කිත්සිරි ගුරු පියාගේත් ගුරු පියාණන් වන ගුරු සීයාගෙන්ද අවසරයි.’

මෙසේ කියමින් ඉදිරියට පැමිණි ඇය  දෑත් එකතු කර මට ආචාර කළාය.

‘ගුරු සීයා’ යන යෙදුම අසා සිසු සිසුවියන් මහත් හඬින් සිනාසෙමින් අත් පොළසන් දුන්හ.
මටද ‘ගුරු සීයා’ යන කියමන සිතට හොඳින් කා වැදුනේය.

එම හැඳින්වීම් වලට පසුව දිනයේ නියමිත කටයුතු ආරම්භ කිරීමට සැරසෙන විටම ඉදිරි පෙළෙහි වාඩිවී සිටි සිසුවියක් නැගිට

‘සර් අපේ අමුත්තාට ස්තුති කිරීම සඳහා  මටත් වචන කිහිපයක් කතාකිරීමට අවස්ථාවක් දෙන්න’ යයි ඉල්ලීමක් කළාය.

විදුහල්පති තුමාද කිත්සිරි සමග සාක්චඡා කර සිසුවියට අවස්ථාව ලබාදුන්නේය. ඇය විද්‍යා අංශ භාර ගුරු මහත්මියගේ උසස් පෙළ විද්‍යා පන්තියක සිසුවියක්ය.

පීරිස ඉදිරියට පැමිණි ඇය

‘විදුහල්පති තුමා ඇතුළු මුළු සභාවෙන් අවසරයි’

‘මගේ පන්ති භාර ගුරු මෑණියෙනි,

ගුරු මෑණියන්ගේ ගුරු පියාවන නියෝජ්‍ය විදුහල්පති කිත්සිරි ගුරු සීයා ණෙනි,

කිත්සිරි  ගුරු සියාගේද ගුරු පියාණන් වන අපගේ විශේෂ අමුත්තා ලෙස පැමිණ සිටින අපගේ ගුරු මුත්තාණෙනි’

කියමින් මාවෙත පැමිණ දෑත් එකතු කර පහත්වී වැඳ ආචාර කළාය.

මුඛරි බාලිකාවක් වන ඇයගේ කතා විලාසයට සහ ඇයගේ ආමන්ත්‍රණ මාලාවට සභාවෙන් පැන නැගුනු සිනහ හඬ සහ අත් පොළසන් නාදය විනාඩි කිහිපයක්ම පැවතින.

‘අප විදුහලට මෙම ව්‍යාපෘතිය ලබාදීම ගැන, අප විදුහලේම ආදී ශිෂ්‍ය සහ ආදී ගුරුවරයෙකුද වන, ගුරු නෑකම වශයෙන් සලකා බලන විට අපගේ මෙම ‘ගුරු මුත්තාට’, සියලුම සිසුන් වෙනුවෙන් අනේක වාරයක් ස්තුති කරමි.’

කියා තම ආසනයට ගොස් හිඳ ගත්තාය. 

ටික වේලාවක් සිසුන් අතර සහ ගුරුවරු අතරද කසු කුසු පැවතින. කිත්සිරිද සිනහ වෙමින් බිම බලාගෙන සිටියේය. විදුහල්පති තුමා මට කිට්ටුවී

‘කෙල්ල කියපු කාරණය හරිම ඇත්ත. බලනකොට මෙතන ගුරු පරම්පරා තුනක්ම සිටිනවානේ. හරියට හරි. සිසුන්ගේ ගුරු මහත්මිය ‘ගුරු මෑණියෝ’, ඒ ගුරු මෑණියන්ගේ ගුරු පියා සිසුන්ට වෙන්නේ ‘ගුරු සීයා’, ඒ ගුරු සීයාගේත් ගුරු පියා වන ඔබ තුමාට‌ සිසුන්ගේ නෑකම ‘ගුරු මුත්තා’. ඔබ තුමාට‌ දෙන්නට හැකි ඉහලම නම්බු නාමය ‘ගුරු මුත්තා’ කියන එකයි.’

මට ලැබුණු ‘ගුරුමුත්තා’ යන නම්බු නාමය ලබාගත හැකි ගුරුවරු ඉතාමත් විරල බව කාර්ය සැසිය අවසානයේදී, මම සිසුන්ට පැහැදිලි කර දුනිමි.     
    



    

Monday 13 November 2017

අතීත අධ්‍යාපන තොරතුරු ආවර්ජනා 3 - විශ්ව විද්‍යාලයේදී විභාග ‘ඉඟි’ (tips) සහ මතක තබාගැනීමේ පහසුව සඳහා කෙටි ක්‍රම (acronyms)

  විශ්ව විද්‍යාලයයේ පළමු වසර ඉතා ඉක්මනින් ගෙවීයන බව දැනුනි. විෂයය තුනේම සටහන් පොත්, ප්‍රායෝගික සටහන් ආදිය ගොඩ ගැසෙන්නට විය. පාඩම් කළ යුත්තේ කෙසේද, වැදගත් වනුයේ කුමන කොටස්ද යන්න තෝරා බේරා  ගැනීමට නොහැකි තරමේ අවුල් සහගත ගතියක්  ඇතිවිය. මේ සමගම, අපේ සගයින් කිහිප දෙනෙකු පළමු වසරෙන් පසු විශේෂ උපාධි සඳහා අයදුම් කිරීම සහ ඒ සඳහා රහසින් මෙන් සුදානම් වනුද දකින්නට ලැබිණ. මේ සඳහා ඔවුන් බොහෝවිට දේශක ආචාර්ය වරු සමගද විශේෂ කුළුපගකම් දක්වන බවද  දකින්නට ලැබිණ. ශිෂ්‍යාවන්ට  මේ සඳහා විශේෂ දක්ෂ කම් තිබෙන බවක්‌ පෙනුණි. ගම්බද පාසැල් වලින් පැමිණ සිටි අප කිහිප දෙනෙකුට මෙය අරුමයක් විය. එසේ විශේෂ පාඨමාලා තෝරාගැනීම පිළිබඳව කිසි කෙනෙකුගෙන් උපදෙසක්වත් නොලැබිණ. අප කිහිප දෙනෙකුට  නම් අවශ්‍ය වුයේ වසර තුන අවසන් වූ වහාම රැකියාවන් සඳහා යාම මිස විශේෂ උපාධි සඳහා පෙනී සිටීම නොවේ. මේ තරඟකාරී බව නිසා  වසර මුලදී අප අතර තිබුණු  සාමුහිකව කටයුතු කිරීමේ සුහදතා ක්‍රියාවලියද ටිකෙන් ටික ගිලිහි යමින් පැවතින.

මේ අතර පළමු වසර අවසාන මාස දෙක තුනේදී අපගේ සත්ත්ව විද්‍යාව ප්‍රායෝගික වැඩ භාරව සිටි ප්‍රධාන ප්‍රදර්ශකවරයා (Demonstrator) විදේශ ගතවූ නිසා, අප හොඳින් ඇසුරු කළ, ඉතාමත් ප්‍රියමනාප, අවසාන විශේෂ විභාගයට පෙනී සිටි අයෙකු, ප්‍රධාන  ප්‍රදර්ශකවරයා ලෙස පත්කරන ලදී. අප කණ්ඩායමේ සිටි එක් ශිෂ්‍යාවක් සමග ඔහු ප්‍රේම සම්බන්ධතාවක් ගොඩ නගමින් සිටින බවද දකින්නට ලැබුණි. මේ නිසාමදෝ ඔහු අප කාටත් සෑම විටම උදව් කළේය. සත්ත්ව විද්‍යාව ප්‍රායෝගික කටයුතුවල අති දක්ෂයෙකු වූ ඔහු පළමු පන්තියේ විශේෂ උපාධියක්‌ ලබා පසුව විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයට තෝරා ගැණින. අපගේ ප්‍රායෝගික විභාගය සඳහා ලැබිය හැකි බොහෝ දේ ගැන ඔහු නිතරම අපට ඉඟි (tips)   දුන්නේය.

අදටත් අමතක නොවී තිබෙන, ඔහු විසින් දෙනු ලැබූ හාස්‍ය ජනක ස්මෘති සටහනක් (acronym) පහත දක්වමි.  එම නම්වල මුල් අකුරු මෙසේය. O O O T T A F A G V.  එම නම් වලින් හැඳින්වූයේ මෝරාගේ  කපාල ස්නායු දහයකි. ඒවා නම්:  Olfactory, Optic, Oculomotor, Trochlear,  Trigeminal, Abducens, Facial,  Auditory, Glossopharyngeal, Vagus  යනුවෙනි. 

අපගේ ප්‍රදර්ශකවරයා එම නම් මතක තබා ගැනීම සඳහා අපට දුන් වාක්‍යය මෙසේය. Oh ........ !!. Only  OncTouch, Tickle  And .........  .....  ........ ........

කෙසේ වෙතත් එහි ඇති හාස්‍යය (ග්‍රාම්‍ය භාවයත්)  නිසාම වසර හැටක් පසුවුවත් එය  තවම මතක තිබේ. මෙම ප්‍රධාන ප්‍රදර්ශකවරයා දෙවන වසරේදී  අපගේ ප්‍රියතම සත්ත්ව විද්‍යා ආචාර්යවරයා විය. ඊට පසුව වුවද ඔහුගේ හාස්‍ය ජනක කියමන් සහ විභාග ‘ඉඟි’ අපට ඉතාමත් ප්‍රයෝජනවත් විය. 

ඔහු ඉඟි කළ පරිදි, පළමු වසර අවසාන ප්‍රායෝගික පරීක්ෂණයේදී අප කණ්ඩායමේ කිහිප දෙනෙකුටම මෝරාගේ කපාල ස්නායු කිහිපයක් විච්ඡේදනය කිරීම අනිවාර්ය ප්‍රායෝගික ප්‍රශ්නයක් ලෙස ලැබුණි. (සතුන්ගේ කපාල ස්නායු පද්ධතිය පරිණාමයේ මුලික අවස්ථාවක් ලෙස අධ්‍යයනය කිරීමට මෝරා උදාහරණයක් ලෙස ගනු ලැබේ.) විච්ඡේදනයේ,  විශාල රුප සටහනක් ඇඳ කොටස් නම් කිරිමද, එම ස්නායු ගමන් කරනුයේ කුමන ස්ථාන වලටද යන්න දැක්වීමද  අත්‍යාවශ්‍ය වීය. මට ලැබුණේද  එම විච්ඡේදනයමය.

මෝරාගේ කපාල ස්නායු පද්ධතිය.

ඔහු විසින් විස්තර කරන ලද ආකාරයත්, අපට කියාදුන් ස්මෘති සටහනක් (acronym) නිසා විච්ඡේදනය පසුවෙන්ම අවසන් කළ හැකි විය. මේ සඳහා මට සම්පූර්ණ ලකුණු ලැබෙන්නට ඇත.

විශ්ව විද්‍යාල වල සමහර ජේෂ්ඨ කථිකාචාර්ය වරු, පළමු වසර අවසාන විභාගය සහ පාඨමාලා අවසාන විභාගය සඳහා පුනරීක්ෂණ දේශන පවත්වන අවස්ථාවලදී තෝරාගත් මාතෘකා වලට ‘තරු’ (***) ලකුණු දමති. බොහෝවිට ‘තරු’ දෙකක් හෝ තුනක් වැටෙන විෂයය කරුණු අනිවාර්යයෙන්ම විභාග ප්‍රශ්න පත්‍ර වලට ඇතුලත්වනු නොඅනුමානය. අපට මෙම වාසිය ලැබුණු අවස්ථාද කිහිපයක් ඇත. 

වර්තමානයේද, විවිධ විෂයය වල  යම් යම් වචන මාලාවන් මතක තබා ගැනීම සඳහා විවිධ කෙටි ක්‍රම භාවිත කරනු දකින්නට ලැබේ. කලින් සත්ත්ව විද්‍යාවේ සඳහන් කළ ස්මෘති සටහන වැනි වාක්‍ය විද්‍යා විෂයයන්හි බහුලය.   මෙයින් රසායන විද්‍යාවේ ආවර්තිතා වගුවේ මුල් මූල ද්‍රව්‍ය  විස්ස (අපොස සාමාන්‍ය පෙළ සඳහා අවශ්‍ය වනුයේ මුල් මූල ද්‍රව්‍ය  විස්ස පමණකි) පහසුවෙන් මතක තබාගැනීමට  පාසැල් සිසුන් අතර ජනප්‍රිය නව පන්නයේ ස්මෘති සටහන් දෙකක් මට  පාසැල් සිසුවෙකුගෙන්ම ලැබුණි. ඒවාද මෙහි ඇතුලත් කිරීම යෝග්‍යයයි සිතුවෙමි.




ඉහත දක්වා ඇති පරිදි  පළමු මූල ද්‍රව්‍ය   විස්ස  හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන් ........ ආදී වශයෙන්  දක්වා තිබේ.   අපොස සාමාන්‍ය පෙළ විභාගයට  සුදානම් වන ඕනෑම ශිෂ්‍යයෙකු මේවා මතක තබා ගැනීම පිණිස නොයෙකුත් උපක්‍රම යොදා ගනු ඇත. Acronym හෙවත්  ස්මෘති සටහනක් යොදා ගැනීම මෙයින් එක් උපක්‍රමයකි.   



 එයින් එක් ස්මෘති සටහනක් මෙසේය.

(හා, හි, ලියන්න බැරිනම් බත් කාපන්, නැත්නම් ඔලුව පලනවා නියනෙන්. සෝමා මගේ අල්ල සිප පොඩ්ඩක් සනසනු කෙල්ලේ, ආදර පොම්ප කැලේදී.)




(හයි  හිල්ස් ලිට්ල් බෙනි, බොනකොට, කනකොට, නානකොට ඔයාගේ පොටෝස් නියමයි. නංගි, මගේ අල්ල සි ප සනසන කෙල්ල, අර කොල්ලට කැමතිලු)

මේවා සකස් කළ අයට මාගේ ප්‍රණාමය ! 

ඉංග්‍රීසියෙන්ද මුල් මූල ද්‍රව්‍ය විස්ස මතක තබාගැනීම සඳහා භාවිත කරන ස්මෘති සටහනක් අන්තර්ජාලයෙන් ලබාගතහැකි විය. එය මෙසේය. 

               Happy  Henry  Lives  Beside  Boron  Cottage,  Near  Our  Friend  Nelly

              Nancy  Mg- Allen.  Silly   Patrick  Stays  Close.  Arthur   Kisses    Cathy.

ඉංග්‍රීසියෙන්ද මුල් මූල ද්‍රව්‍ය විස්ස

ඉංග්‍රීසි භාෂාවේ භාවිත වන panagram යන නමින් හඳුන්වනු ලබන භාෂාවේ සියලුම අකුරු එකම වාක්‍යයක යෙදීමද තවත් සුවිශේෂී ස්මෘති සටහන් වර්ගයක් ලෙස සැලකිය හැකිය. ඉංග්‍රීසියේ යෙදෙන

"The quick brown fox jumps over the lazy dog"   

යන අර්ථයක් සහිත වාක්‍යයේ භාෂාවේ සියලුම අකුරු භාවිත කර තිබේ. කලකට පෙර බහුලව භාවිතවූ යතුරු ලියන අකුරු පුවරු වල සහ වර්තමාන පරිගණක අකුරු පුවරු වල නිරවද්‍ය භාවය තහවුරු කිරීමට මෙම වාක්‍යය උපයෝගී කර ගැනේ. එසේම පරිගණක වල විවිධ අකුරු වර්ග වල (Fonts) හැඩතල පෙන්වීමේ සරල ක්‍රමයක් ලෙසද මෙම වාක්‍යය භාවිත කරනු ලැබේ.


ඉහත සඳහන් කළ වාක්‍යයේ ඉංග්‍රීසි හෝඩියේ සියලුම අකුරු තිබෙන නිසා පරිගණක වල භාවිත කිරීම සඳහා සකස් කර ඇති  හැඩතල දෙකක්

අක්ෂර 54 ක්‌ තිබෙන සිංහල හෝඩියෙන්ද මෙවැනි panagram සකස් කිරීමට උත්සාහ කර බලමුද?







Monday 6 November 2017

ධරණිය (තිරසාර) සංවර්ධනය සම්බන්ධව අපටද අනුගමනය කළහැකි වැදගත් පිවිසුම් කිහිපයක්.

   ලෝකයේ බොහෝ රටවල් වලට වඩා, පරිසර සංරක්ෂණය හෝ  ධරණිය සංවර්ධනය පිළිබඳව උනන්දුවක් දැක්විමේදී ශ්‍රී ලංකාව පෙරමුණෙන් සිටි. කෙසේ වෙතත් අප තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක්‌ නිසා ධරණිය ක්‍රියාදාමයන් වල ඉතාමත් ප්‍රශස්ත මට්ටමට එළඹී නැත. මෙසේ වීමට බාධක රැසකි. ආර්ථික අපහසුතා, තාක්ෂණ නිපුණතා අතින් මන්දගාමී බව සහ ජනතාව අතර ස්ථිරසාර ආකල්පමය වෙනසක් තවමත් ඇතිනොවීම මෙයින් ප්‍රධානය. බොහෝ පරිසර ආපදාවන්ට මුලික වී තිබෙන වනාන්තර විනාශය වැළක්වීමේ අරමුණින්, දැනට රටෙහි මුළු භුමි ප්‍රමාණයෙන් සියයට  විසි නවය දක්වා අඩුවී තිබෙන . රටෙහි වන වැස්ම, ඉදිරි වසර කිහිපය තුලදී,  සියයට තිස් දෙක දක්වා වැඩිකිරීමට අදාළ බලධාරීන් විසින් පියවර ගෙන තිබීම සතුටට කරුණකි.
භූතානයේ කඳු ශිකරයක් මත සොඳුරු පරිසරයක පිහිටි බෞද්ධ විහාරයක්

දකුණු ආසියානු කලාපයේ පිහිටි අපගේ අසල්වැසි රටක් වන භූතානය පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් ලෝකයේ ඉහලින්ම සිටින රටයි. බෞද්ධ රටක්‌ වන භූතානය මෙම ගෞරවය ලබා ඇත්තේ වන සංරක්ෂණය සඳහා දක්වන දායකත්වය මගින්ය.

එරට රාජ්‍ය පාලන ව්‍යවස්ථාව මගින්ම රටෙහි භුමි ප්‍රමාණයෙන් සියයට හැටක වන වැස්ම තිබිය යුතු බවට නීතිමය පියවර ගෙන තිබේ. එසේම මෙය ක්‍රියාත්මක කිරීමටද ජනතාව සුදානම්ව සිටි. දැනට එම සීමාව ඉක්මවා වන වැස්ම සියයට හැත්තෑවට ආසන්න වී තිබේ. මෙයද විශාල ජයග්‍රහණයකි. මෙම ජයග්‍රහණයන් ළඟාකරගත හැකිවී තිබෙන්නේ බෞද්ධ පරිසර ඉගැන්වීම් අකුරටම ක්‍රියාත්මක කිරීමෙන් බව ඔවුන්ට ආඩම්බරයකි.
මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ලෝකයේ කුඩාම රටක් වන භූතානය පරිසර සංරක්ෂණය අතින් ලෝකයේ ඉහලම ස්ථානය හිමිකරගෙන තිබේ. මේ නිසා අද භූතානය ‘කාබන් උදාසීන’ (carbon neutral) එකම රට ලෙස හැඳින්වේ. මෙයින්ද ඔබ්බට ගොස් ඇති භූතානයට ‘කාබන් ඍණ’ (carbon negative)  දේශයක් ලෙසටද උදම් ඇණිය හැකිය. (මෙහි ‘කාබන් උදාසීන’ සහ ‘කාබන් ඍණ’ යනුවෙන් හඳුන්වනුයේ රටෙහි සියලුම ප්‍රභවයන්ගෙන් නිපදවෙන කාබන්ඩයොක්සයිඩ ප්‍රමාණය හරිත ශාක මගින් අවශෝෂණය කරගෙන ප්‍රභාසංස්ලේෂණය ක්‍රියාවලියේදී  පිටකරනු ලබන ඔක්සිජන් ප්‍රමාණය එමෙන් කිහිප ගුණයකින්ම වැඩි බවයි.)

භුතානයේ මෙම පාරිසරික තත්වය ගැන මාගේ පරිසරවේදී මිතුරෙකු සමග අදහස් හුවමාරු කර ගැනීමේදී යුරෝපයේ රටක් වන නෙදර්ලන්තයේ ප්‍රායෝගිකව සිදු කරනු ලබන  පරිසර හිතකාමී ක්‍රියාවලියන් කිහිපයක්‌ මා වෙත දන්වා එවන ලදී. එම නව අදහස්ද මෙයටම එකතු කිරීම වැඩදායක වේයයි සිතූ නිසා මෙහි ඇතුළත් කරමි. නෙදර්ලන්තය, අනාගත අභිවෘද්ධිය සහ අනාගතයේදී ජනතාවට හිතකාමී පරිසරයක් ගොඩනැගීමට ඇප කැපවී සිටීම ගැන ලොව ප්‍රසිද්ධ රටකි. මෙම රටෙහි ක්‍රියාත්මක වන පරිසර සංරක්ෂණ වැඩ සටහන් ඉතාමත් සරලය. එහෙත් ඒවා මගින් පරිසර සංරක්ෂණය කෙරෙහි බෙහෙවින් බලපෑම් සිදු කෙරෙන අතර ඒවා ඉතිහාසයට එකතු වනු නොඅනුමානය.

       1.   සතුන් වෙනුවෙන් හඬක් නගනුයේද රජයමය....!
වන ජීවි සංරක්ෂණය මෙන්ම සුරතලට ඇති කරනු ලබන බල්ලන්, බළලුන් වැනි සතුන්ද අයාලේ යාමක් එහි නොමැත. සෑම සුරතල් සතෙකුටම අයිති කරුවෙකු සිටිය යුතු අතර එම සතුන් රජයේ ලියාපදිංචිකර හොඳින් රැක බලා ගැනීමටද අයිතිකරුවෝ  නීතියෙන් බැඳී සිටිති.


සතුන් වෙනුවෙන් හඬක් නගනුයේද රජයමය....!

එමෙන්ම එම සතුන්ගේ සෞඛ්‍ය සම්පන්න භාවය පිළිබඳවද රජය මගින් විවිධ පහසුකම් සලසා තිබේ. එහි රජයට, ජනතාවගේ ප්‍රසාදය මත, මෙම නිති පහසුවෙන්ම ක්‍රියාත්මක කිරීමට හැකිවිය.

            2.  විදි ආලෝකකරණය සඳහා සුර්ය බල ශක්තිය.
සම්පුර්ණයෙන්ම සුර්ය බල ශක්තිය පමණක් උපයෝගී කර ගනිමින් ලොව පළමු වරට නගරයක විදියක් ආලෝකකරණය කර තිබෙන්නේද නෙදර්ලන්තයේය.

සුර්ය බල ශක්තිය උපයෝගී කර ගනිමින් විදි ආලෝකකරණය

2015 වසරේදී ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය මගින් දිවා කාලයේදී සූර්ය පැනල මගින් ලබාගන්නා බල ශක්තිය සූර්ය කෝෂ වල තැන්පත් කර රාත්‍රී කාලයට එම විදිය ආලෝකකරණය සඳහා භාවිත කෙරේ. මෙම මාවතේ ස්ථාන කිහිපයකම, සුර්ය බල ශක්තියෙන් ධාවනය වන වාහන වල බැටරි ප්‍රතිරෝපණය කර ගැනීම සඳහා පහසුකම්ද සලසා තිබේ. ඉදිරි වසර  කිහිපය තුලදී මෙම තාක්ෂණය නගරයේ ප්‍රධාන මාවත් කිහිපයකම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. අනාගත බලශක්ති අර්බුදයකට මෙය වැදගත් විසඳුමක් වනු ඇත.

              3.  විදුලි මෝටර් රථ වලට  යළි විදුලිය ආරෝපණය කරගැනීමේ පහසුකම්

නෙදර්ලන්තයේ ප්‍රවාහන සේවය තිරසාර කිරීමේ අරමුණින් කරනු ලබන පරිශ්‍රමයේ තවත් පියවරක් ලෙස ප්‍රධාන විදුලි බලයෙන් ධාවනය වන මෝටර් රථද හඳුන්වා දී තිබේ. මෙම මෝටර් රථ ගමන් කරන මාවත්වල  මීටර් පණහෙන් පණහට වැනි දුර පරතරයන්හි, ඒවායේ බැටරි යළි ආරෝපණය කරගැනීමේ පහසුකම්ද සලසා තිබීම තවත් විශේෂත්වයකි.



විදුලිය ආරෝපණය කරගැනීමේ පහසුකම්

4            4. කෙටි දුර ගමන් සඳහා බයිසිකලය යොදා ගැනීම

1980 වර්ෂයේදී  හවුටන්  (Houten) නම් නෙදර්ලන්තයේ කුඩා නගරයක කරනලද පරිසර හිතකාමී අත්හදා බැලීමක්ද ජනතාව අතර ඉතාමත් ජනප්‍රිය වී තිබේ.
මේ අනුව හාරදහසක පමණ ජනගහනයක් සිටින එම නගරයේ සෑම කෙනෙකුටම පාහේ බයිසිකල් ලබාගැනීමට පහසුකම් සලස්වා, කෙටි දුර ගමන් සඳහා මෝටර් රථ වෙනුවට බයිසිකලය යොදා ගැනීමට උනන්දු කරවනු ලැබිය. මෙම ක්‍රමය ඉතාමත් ඉක්මණින් සමාජ ගත විය.


කෙටි දුර ගමන් සඳහා බයිසිකලය යොදා ගැනීම

වසර කිහිපයකදී එහි ජනතාවගේ ගමන් බිමන් වලින් සියයට අනුවක් පමණ පයිසිකල් වලින් කර ඇති බවත් ජනතාවගෙන් අඩක් පමණ තම මෝටර් රථ භාවිතය අතහැර දැමු බවත්  වාර්තා විය. පසුව මෙම ක්‍රමය රට පුරාම ප්‍රචලිත කිරීමට පියවර ගන්නා ලද බවද දැනගන්නට ලැබේ.

     5.  ෆොසිල ඉන්ධන  භාවිත කරන මෝටර්  රථ රටෙන් තුරන්කිරීම
   
නෙදර්ලන්ත රජය මගින් ෆොසිල ඉන්ධන (පෙට්‍රල් සහ ඩිසල්) මගින් ධාවනය වන මෝටර් රථ සඳහා වැඩි බදු අය කිරීමේ සහ විදුලි බලයෙන් ධාවනය වන  මෝටර් රථ අඩු මිලට (සාමාන්‍ය මෝටර් රථයක මිලට වඩා යූරෝ 15,000 ක් අඩුවෙන්) ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. මේ මගින් රජය බලාපොරොත්තු වනුයේ වර්ෂ 2025 වනවිට ෆොසිල ඉන්ධන  භාවිත කරන මෝටර් රථ සම්පුර්ණයෙන්ම රටෙන් තුරන් කිරීමටය.

ෆොසිල ඉන්ධන භාවිත කරන වාහන තුරන් කිරීම 

    
    6.  සිරකරුවන් නොමැති නිසා  සිරගෙවල් වසා දැමීම


කෙලින්ම පරිසර සංරක්ෂණයට අදාළ නොමැති වුවත් නෙදර්ලන්ත රජය විසින් පනවන ලද නීති රීති අවංකවම පිළිපැදීමට එහි ජනතාව සැදී පැහැදී සිටීම මෙහිලා  වැදගත් කරුණකි. එනම් පසුගිය දස වසර (2005 සිට 2016) තුළදී  එරට සිරකරුවන් නොමැති නිසා  සිරගෙවල් 19 ක් වසා දමා තිබේ. ලබා ගෙන ඇති දත්ත වලට අනුව එරට වැරදිවලට සාමාන්‍යයෙන් සිරගත වනුයේ ජනගහනයෙන් ලක්ෂයකට 160  දෙනෙකි. පරිසරය පිළිබඳව යතාර්ථවාදී නැඹුරුවක් ඇතිවිට අපරාධ අඩුවන බවට එහි ජනතාව අතර  විශ්වාසයක් ඇති බව පැවසේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙය ලක්ෂයකට 650 ක්‌ පමණ වේ. (ශ්‍රී ලංකාවේ ලක්ෂයකට 450 පමණ වේ. 2014 සංඛ්‍යා ලේඛන අනුව )   

වසා දමා ඇති සිරගෙවල්

 7. කෘතීම ලෙස වවන ලද වන මංකඩ හෝ වන බරාඳ (eco-ducts / eco-corridors) සකස් කිරීම

මේ සියල්ලටම වඩා නෙදර්ලන්තයේ අපටද ආදර්ශයක් ගතහැකි වනජීවී හිතකර වැඩ සටහනක්‌ ක්‍රියාත්මක වේ.  ශ්‍රී ලංකාවේ මෙන්ම එහිද වනජීවී රක්ෂිත රාශියක් තිබේ. එකාකාර පරිසර පද්ධති කෘතීම ලෙස වවන ලද වන මංකඩ හෝ බරාඳ (eco-ducts / eco-corridors) මගින් එකට යාකර තිබිම මෙහි වැදගත් ලක්ෂණයකි .  සමහර අවස්ථාවලදී  අධිවේගී මාර්ග හෝ දුම්රිය මාර්ග වලට ඉහලින්ද මෙම මංකඩ සකස් කර තිබීම වන සතුන් කෙරෙහි දක්වා තිබෙන විශේෂ අනුග්‍රහයක් ලෙස සැලකිය හැකිය. 



කෘතීම ලෙස වවන ලද වන මංකඩ හෝ වන බරාඳ (eco-ducts / eco-corridors)

මෙම වන මංකඩ නිසා වන ජිවින්ට උපද්‍රව සහ බිය සැකයකින් තොරව එක් භෝජන ඉසව්වක සිට තවත් එකකට පහසුවෙන් ගමන් කළ හැකිය. ශ්‍රී ලංකාවේ අපටද, අලි වැටවල් සකස් කිරීම මෙන්ම,  වන අලින්ගේ භෝජන මර්මස්ථාන යා කරමින් මහාමාර්ග සහ දුම්රිය මාර්ග වලට ඉහළින්  වන මංකඩ හෝ වන බරාඳ සකස් කළහොත් අලි මිනිස් ගැටුම් තරමක් දුරටවත් අඩු කර ගත හැකි නොවේද? .