Monday, 6 November 2017

ධරණිය (තිරසාර) සංවර්ධනය සම්බන්ධව අපටද අනුගමනය කළහැකි වැදගත් පිවිසුම් කිහිපයක්.

   ලෝකයේ බොහෝ රටවල් වලට වඩා, පරිසර සංරක්ෂණය හෝ  ධරණිය සංවර්ධනය පිළිබඳව උනන්දුවක් දැක්විමේදී ශ්‍රී ලංකාව පෙරමුණෙන් සිටි. කෙසේ වෙතත් අප තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක්‌ නිසා ධරණිය ක්‍රියාදාමයන් වල ඉතාමත් ප්‍රශස්ත මට්ටමට එළඹී නැත. මෙසේ වීමට බාධක රැසකි. ආර්ථික අපහසුතා, තාක්ෂණ නිපුණතා අතින් මන්දගාමී බව සහ ජනතාව අතර ස්ථිරසාර ආකල්පමය වෙනසක් තවමත් ඇතිනොවීම මෙයින් ප්‍රධානය. බොහෝ පරිසර ආපදාවන්ට මුලික වී තිබෙන වනාන්තර විනාශය වැළක්වීමේ අරමුණින්, දැනට රටෙහි මුළු භුමි ප්‍රමාණයෙන් සියයට  විසි නවය දක්වා අඩුවී තිබෙන . රටෙහි වන වැස්ම, ඉදිරි වසර කිහිපය තුලදී,  සියයට තිස් දෙක දක්වා වැඩිකිරීමට අදාළ බලධාරීන් විසින් පියවර ගෙන තිබීම සතුටට කරුණකි.
භූතානයේ කඳු ශිකරයක් මත සොඳුරු පරිසරයක පිහිටි බෞද්ධ විහාරයක්

දකුණු ආසියානු කලාපයේ පිහිටි අපගේ අසල්වැසි රටක් වන භූතානය පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් ලෝකයේ ඉහලින්ම සිටින රටයි. බෞද්ධ රටක්‌ වන භූතානය මෙම ගෞරවය ලබා ඇත්තේ වන සංරක්ෂණය සඳහා දක්වන දායකත්වය මගින්ය.

එරට රාජ්‍ය පාලන ව්‍යවස්ථාව මගින්ම රටෙහි භුමි ප්‍රමාණයෙන් සියයට හැටක වන වැස්ම තිබිය යුතු බවට නීතිමය පියවර ගෙන තිබේ. එසේම මෙය ක්‍රියාත්මක කිරීමටද ජනතාව සුදානම්ව සිටි. දැනට එම සීමාව ඉක්මවා වන වැස්ම සියයට හැත්තෑවට ආසන්න වී තිබේ. මෙයද විශාල ජයග්‍රහණයකි. මෙම ජයග්‍රහණයන් ළඟාකරගත හැකිවී තිබෙන්නේ බෞද්ධ පරිසර ඉගැන්වීම් අකුරටම ක්‍රියාත්මක කිරීමෙන් බව ඔවුන්ට ආඩම්බරයකි.
මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ලෝකයේ කුඩාම රටක් වන භූතානය පරිසර සංරක්ෂණය අතින් ලෝකයේ ඉහලම ස්ථානය හිමිකරගෙන තිබේ. මේ නිසා අද භූතානය ‘කාබන් උදාසීන’ (carbon neutral) එකම රට ලෙස හැඳින්වේ. මෙයින්ද ඔබ්බට ගොස් ඇති භූතානයට ‘කාබන් ඍණ’ (carbon negative)  දේශයක් ලෙසටද උදම් ඇණිය හැකිය. (මෙහි ‘කාබන් උදාසීන’ සහ ‘කාබන් ඍණ’ යනුවෙන් හඳුන්වනුයේ රටෙහි සියලුම ප්‍රභවයන්ගෙන් නිපදවෙන කාබන්ඩයොක්සයිඩ ප්‍රමාණය හරිත ශාක මගින් අවශෝෂණය කරගෙන ප්‍රභාසංස්ලේෂණය ක්‍රියාවලියේදී  පිටකරනු ලබන ඔක්සිජන් ප්‍රමාණය එමෙන් කිහිප ගුණයකින්ම වැඩි බවයි.)

භුතානයේ මෙම පාරිසරික තත්වය ගැන මාගේ පරිසරවේදී මිතුරෙකු සමග අදහස් හුවමාරු කර ගැනීමේදී යුරෝපයේ රටක් වන නෙදර්ලන්තයේ ප්‍රායෝගිකව සිදු කරනු ලබන  පරිසර හිතකාමී ක්‍රියාවලියන් කිහිපයක්‌ මා වෙත දන්වා එවන ලදී. එම නව අදහස්ද මෙයටම එකතු කිරීම වැඩදායක වේයයි සිතූ නිසා මෙහි ඇතුළත් කරමි. නෙදර්ලන්තය, අනාගත අභිවෘද්ධිය සහ අනාගතයේදී ජනතාවට හිතකාමී පරිසරයක් ගොඩනැගීමට ඇප කැපවී සිටීම ගැන ලොව ප්‍රසිද්ධ රටකි. මෙම රටෙහි ක්‍රියාත්මක වන පරිසර සංරක්ෂණ වැඩ සටහන් ඉතාමත් සරලය. එහෙත් ඒවා මගින් පරිසර සංරක්ෂණය කෙරෙහි බෙහෙවින් බලපෑම් සිදු කෙරෙන අතර ඒවා ඉතිහාසයට එකතු වනු නොඅනුමානය.

       1.   සතුන් වෙනුවෙන් හඬක් නගනුයේද රජයමය....!
වන ජීවි සංරක්ෂණය මෙන්ම සුරතලට ඇති කරනු ලබන බල්ලන්, බළලුන් වැනි සතුන්ද අයාලේ යාමක් එහි නොමැත. සෑම සුරතල් සතෙකුටම අයිති කරුවෙකු සිටිය යුතු අතර එම සතුන් රජයේ ලියාපදිංචිකර හොඳින් රැක බලා ගැනීමටද අයිතිකරුවෝ  නීතියෙන් බැඳී සිටිති.


සතුන් වෙනුවෙන් හඬක් නගනුයේද රජයමය....!

එමෙන්ම එම සතුන්ගේ සෞඛ්‍ය සම්පන්න භාවය පිළිබඳවද රජය මගින් විවිධ පහසුකම් සලසා තිබේ. එහි රජයට, ජනතාවගේ ප්‍රසාදය මත, මෙම නිති පහසුවෙන්ම ක්‍රියාත්මක කිරීමට හැකිවිය.

            2.  විදි ආලෝකකරණය සඳහා සුර්ය බල ශක්තිය.
සම්පුර්ණයෙන්ම සුර්ය බල ශක්තිය පමණක් උපයෝගී කර ගනිමින් ලොව පළමු වරට නගරයක විදියක් ආලෝකකරණය කර තිබෙන්නේද නෙදර්ලන්තයේය.

සුර්ය බල ශක්තිය උපයෝගී කර ගනිමින් විදි ආලෝකකරණය

2015 වසරේදී ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය මගින් දිවා කාලයේදී සූර්ය පැනල මගින් ලබාගන්නා බල ශක්තිය සූර්ය කෝෂ වල තැන්පත් කර රාත්‍රී කාලයට එම විදිය ආලෝකකරණය සඳහා භාවිත කෙරේ. මෙම මාවතේ ස්ථාන කිහිපයකම, සුර්ය බල ශක්තියෙන් ධාවනය වන වාහන වල බැටරි ප්‍රතිරෝපණය කර ගැනීම සඳහා පහසුකම්ද සලසා තිබේ. ඉදිරි වසර  කිහිපය තුලදී මෙම තාක්ෂණය නගරයේ ප්‍රධාන මාවත් කිහිපයකම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. අනාගත බලශක්ති අර්බුදයකට මෙය වැදගත් විසඳුමක් වනු ඇත.

              3.  විදුලි මෝටර් රථ වලට  යළි විදුලිය ආරෝපණය කරගැනීමේ පහසුකම්

නෙදර්ලන්තයේ ප්‍රවාහන සේවය තිරසාර කිරීමේ අරමුණින් කරනු ලබන පරිශ්‍රමයේ තවත් පියවරක් ලෙස ප්‍රධාන විදුලි බලයෙන් ධාවනය වන මෝටර් රථද හඳුන්වා දී තිබේ. මෙම මෝටර් රථ ගමන් කරන මාවත්වල  මීටර් පණහෙන් පණහට වැනි දුර පරතරයන්හි, ඒවායේ බැටරි යළි ආරෝපණය කරගැනීමේ පහසුකම්ද සලසා තිබීම තවත් විශේෂත්වයකි.



විදුලිය ආරෝපණය කරගැනීමේ පහසුකම්

4            4. කෙටි දුර ගමන් සඳහා බයිසිකලය යොදා ගැනීම

1980 වර්ෂයේදී  හවුටන්  (Houten) නම් නෙදර්ලන්තයේ කුඩා නගරයක කරනලද පරිසර හිතකාමී අත්හදා බැලීමක්ද ජනතාව අතර ඉතාමත් ජනප්‍රිය වී තිබේ.
මේ අනුව හාරදහසක පමණ ජනගහනයක් සිටින එම නගරයේ සෑම කෙනෙකුටම පාහේ බයිසිකල් ලබාගැනීමට පහසුකම් සලස්වා, කෙටි දුර ගමන් සඳහා මෝටර් රථ වෙනුවට බයිසිකලය යොදා ගැනීමට උනන්දු කරවනු ලැබිය. මෙම ක්‍රමය ඉතාමත් ඉක්මණින් සමාජ ගත විය.


කෙටි දුර ගමන් සඳහා බයිසිකලය යොදා ගැනීම

වසර කිහිපයකදී එහි ජනතාවගේ ගමන් බිමන් වලින් සියයට අනුවක් පමණ පයිසිකල් වලින් කර ඇති බවත් ජනතාවගෙන් අඩක් පමණ තම මෝටර් රථ භාවිතය අතහැර දැමු බවත්  වාර්තා විය. පසුව මෙම ක්‍රමය රට පුරාම ප්‍රචලිත කිරීමට පියවර ගන්නා ලද බවද දැනගන්නට ලැබේ.

     5.  ෆොසිල ඉන්ධන  භාවිත කරන මෝටර්  රථ රටෙන් තුරන්කිරීම
   
නෙදර්ලන්ත රජය මගින් ෆොසිල ඉන්ධන (පෙට්‍රල් සහ ඩිසල්) මගින් ධාවනය වන මෝටර් රථ සඳහා වැඩි බදු අය කිරීමේ සහ විදුලි බලයෙන් ධාවනය වන  මෝටර් රථ අඩු මිලට (සාමාන්‍ය මෝටර් රථයක මිලට වඩා යූරෝ 15,000 ක් අඩුවෙන්) ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. මේ මගින් රජය බලාපොරොත්තු වනුයේ වර්ෂ 2025 වනවිට ෆොසිල ඉන්ධන  භාවිත කරන මෝටර් රථ සම්පුර්ණයෙන්ම රටෙන් තුරන් කිරීමටය.

ෆොසිල ඉන්ධන භාවිත කරන වාහන තුරන් කිරීම 

    
    6.  සිරකරුවන් නොමැති නිසා  සිරගෙවල් වසා දැමීම


කෙලින්ම පරිසර සංරක්ෂණයට අදාළ නොමැති වුවත් නෙදර්ලන්ත රජය විසින් පනවන ලද නීති රීති අවංකවම පිළිපැදීමට එහි ජනතාව සැදී පැහැදී සිටීම මෙහිලා  වැදගත් කරුණකි. එනම් පසුගිය දස වසර (2005 සිට 2016) තුළදී  එරට සිරකරුවන් නොමැති නිසා  සිරගෙවල් 19 ක් වසා දමා තිබේ. ලබා ගෙන ඇති දත්ත වලට අනුව එරට වැරදිවලට සාමාන්‍යයෙන් සිරගත වනුයේ ජනගහනයෙන් ලක්ෂයකට 160  දෙනෙකි. පරිසරය පිළිබඳව යතාර්ථවාදී නැඹුරුවක් ඇතිවිට අපරාධ අඩුවන බවට එහි ජනතාව අතර  විශ්වාසයක් ඇති බව පැවසේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙය ලක්ෂයකට 650 ක්‌ පමණ වේ. (ශ්‍රී ලංකාවේ ලක්ෂයකට 450 පමණ වේ. 2014 සංඛ්‍යා ලේඛන අනුව )   

වසා දමා ඇති සිරගෙවල්

 7. කෘතීම ලෙස වවන ලද වන මංකඩ හෝ වන බරාඳ (eco-ducts / eco-corridors) සකස් කිරීම

මේ සියල්ලටම වඩා නෙදර්ලන්තයේ අපටද ආදර්ශයක් ගතහැකි වනජීවී හිතකර වැඩ සටහනක්‌ ක්‍රියාත්මක වේ.  ශ්‍රී ලංකාවේ මෙන්ම එහිද වනජීවී රක්ෂිත රාශියක් තිබේ. එකාකාර පරිසර පද්ධති කෘතීම ලෙස වවන ලද වන මංකඩ හෝ බරාඳ (eco-ducts / eco-corridors) මගින් එකට යාකර තිබිම මෙහි වැදගත් ලක්ෂණයකි .  සමහර අවස්ථාවලදී  අධිවේගී මාර්ග හෝ දුම්රිය මාර්ග වලට ඉහලින්ද මෙම මංකඩ සකස් කර තිබීම වන සතුන් කෙරෙහි දක්වා තිබෙන විශේෂ අනුග්‍රහයක් ලෙස සැලකිය හැකිය. 



කෘතීම ලෙස වවන ලද වන මංකඩ හෝ වන බරාඳ (eco-ducts / eco-corridors)

මෙම වන මංකඩ නිසා වන ජිවින්ට උපද්‍රව සහ බිය සැකයකින් තොරව එක් භෝජන ඉසව්වක සිට තවත් එකකට පහසුවෙන් ගමන් කළ හැකිය. ශ්‍රී ලංකාවේ අපටද, අලි වැටවල් සකස් කිරීම මෙන්ම,  වන අලින්ගේ භෝජන මර්මස්ථාන යා කරමින් මහාමාර්ග සහ දුම්රිය මාර්ග වලට ඉහළින්  වන මංකඩ හෝ වන බරාඳ සකස් කළහොත් අලි මිනිස් ගැටුම් තරමක් දුරටවත් අඩු කර ගත හැකි නොවේද? . 


12 comments:

  1. දැන් අපගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 70 ක් පමණ වෙන්නේ. එම කාලයේදී හොදට කාලා, බීලා සැපෙන්, තියෙන සම්පත් පරිබෝජනය කරලා ජිවත් වෙන එකයි තියෙන්නේ.

    ඔය කැලෑ එහෙම තිබ්බත් නැතත් අපිට මොකද. අපි ඉන්නකං උපරිම අධිපරිභෝජනවාදයෙන් ඉන්න එකයි තියෙන්නේ. මොකද ආයේ ජිවිතයක් තියෙන එකක් ඇයි? අපිට පස්සේ ඉපදෙන එවුන්ට හෙන වැදුනත් අපිට මොකද? අපේ ජිවිත කාලේ උපරිමේට සතුට විදලා ඉවරයි අපි.

    අනික් එවුන් ගැන හිතන්න එපා හලෝ. ඉන්න ටිකේ ආතල් එකේ ඉන්නවා. එච්චරයි.

    ReplyDelete
    Replies
    1. පරමායුෂ තවම අවුරුදු 70 ටම බැහැලා නැහැ. එ උනත් ඔබ කියන විධියට 'ආතල්' එකේම සිටියොත් නම් පරමායුෂ ඉක්මණටම ඔය කියන ගණනෙන් භාගයට බහින්නත් පුළුවන්.

      Delete
  2. හෙටක් වෙනුවෙන් පරිසරේ ගැන හොඳාකාරව සිතාලා
    රටක් ලෙස ඒ දේශයන් ඇත සොබා දමනම් දිනාලා
    කටක් ගැන පමණක්ම අප රට ඉන්නෙ මිනිසුන් සිතාලා
    හෙටක් වෙනුවෙන් පමා නැත තව හැදෙමු රට ගැන සිතාලා...

    ජයවේවා!!!

    ReplyDelete
  3. ස්තුතියි දුමී,

    සතට සැම සෙත සදන පරිසරයටත් කරනා අණවින
    හිසට සෙවනක් ලැබුණු තැනටත් බලා ආපසු ගරහන
    ඇසට නොපෙනෙන ලෙසට සිටියොත් මෙවැනි දේවල් දකිමින
    අපට කිසිදා දිනන්නට බැහැ දියුණුවේ ඇති පෙරමුණ

    ඔබට ජයම !!

    ReplyDelete
  4. පරිසරය හොඳින් තියෙනවනං මිනිස්සුන්ගෙ මානසික මට්ටම දියුණුවෙලා රටේ ප්‍රශ්න අඩුවෙන එකටත් ඒක බලපාන්න පුලුවන් ඇති.
    කෙටි දුරකට බයිසිකල් පාවිච්චි කරන එක මිනිස්සුන්ගෙ සෞඛ්‍ය දියුණු කරගැනීමට (ව්‍යායාමයක් ලෙස) වැදගත් වෙයි. හැබැයි ලංකාවෙ ඕක කරනවනං ඊට කලින් මාර්ග භාවිතය පිළිබඳ නීති හරියට පවත්වගන්න වෙනව.

    රජයක් විදියට ඔය ආකාරයේ තීන්දු ගන්න පුලුවන් මිනිස්සු ඉන්න එක රටකට වාසනාවක්.

    ReplyDelete
  5. ස්තුතියි ප්‍රසන්න,
    ඔබ සිතන ආකාරය හරි. මේ කටයුතු සියල්ලම එකට ජාලයක් මෙන් බැඳී තිබෙනවා.මුළු රටේම මේ ධනාත්මක අදහස් එකවර ක්‍රියාත්මක කරන්නට බැහැ. හොඳම පිළිවෙත වනුයේ කුඩා නගරයක හෝ ප්‍රදේශයක මෙම ක්‍රමවේදයන් නියාමක ව්‍යාපෘති ලෙස අත්හදා බැලීමයි. ඒ සඳහා බලධාරීන් ඉදිරිපත් විය යුතයි.

    ReplyDelete