Thursday 30 March 2017

උනන්දුව සහ කැපවීම තිබේනම් බැරි දෙයක් නැත.!

උනන්දුව සහ කැපවීම තිබේනම් බැරි දෙයක් නැත.!
      හසුකම් ඉතාම අඩු ඈත පිටිසර පාසැලක ගුරුවරයෙකුගේ කැපවීම පිළිබඳව මේ සටහන තබමි.

රත්නපුර නගරයේ සිට කිලෝමීටර් 30 ක පමණ දුරින් පිහිටි එම පාසැලේ 1 ශ්‍රේණියේ සිට 8 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වින. ගමන් අපහසුව සහ නවාතැන් නොමැති කම නිසා ගුරුවරු යාමට ඉතා අකමැති පාසැලකි. වසර ගණනක සිට විද්‍යා ගුරුවරයෙකු නොසිටි මෙම විදුහලට යාමට කැමති තරුණ ගුරුවරයෙකු මට හමුවිය. කෑගල්ල දිස්ත්‍රික්කයේ පිටිසර ගමක රත්නපාල නමැති තරුණයෙක් වූ ඔහු  නගරයේ විදුහලක උසස් පෙළ අධ්‍යාපනය ලබා විද්‍යා ධාරාවෙන් විෂයය දෙකක් පමණක් සමත් වී තිබිණ.

මෙය ඔහුගේ පළමු පත්වීමයි. කාර්යාලයට ලැබී තිබුණු ලේඛනයෙන් පුරප්පාඩු තිබුණු පාසැල් වලට විද්‍යා ගුරුවරු නිර්දේශ කිරීම මට පැවරී තිබුණු රාජකාරියයි. තම විදුහලට වසර තුනක සිට  විද්‍යා ගුරුවරයෙකු නොමැති බව එම විදුහලේ විදුහල්පතිවරයා මා හට පවසා තිබී, පසුව ඒ බව සිහිපත් කර ලිපියක්ද ඒවා තිබුණි. ගුරු පත්වීම් ලේඛනයේ සිටියේ පිරිමි තිදෙනෙක් පමණකි. ඉතිරි සියලු දෙනාම කාන්තාවන්ය. පාසැල් තෝරා දීම මහත් ගැටළුවක් විය. සෑම කෙනෙක්ම ඉල්ලා සිටියේ නගරයේ පාසැල්මය. බොහෝ අයට එසේ ඉල්ලීමට හේතුද තිබිණ. විවාහ වීමට ආසන්න බව, දරුවෙකු ලැබීමට සිටින බව, වයසක දෙමාපියන් බලා ගැනීමට ඇති බව ආදිය එවැනි හේතු විය. මට එම මැසිවිලි වලටද කන් දීමට සිදුවිය. නවක ගුරුවරුන්ගේ සහතික බලා පාසැල් තෝරා, පත්වීම් දීම සඳහා නිර්දේශ කිරීම මට සහ පරිපාලන නිලධාරි සිරිසෝමටත් පැවරිණ. හතරවන අංකයට සිටි රත්නපාල සහතික බැලීම සඳහා කැඳවීමු.

උප්පැන්න සහතිකය චරිත සහතික ආදිය පරීක්ෂා කළේ සිරිසෝම විසිනි. එම ගුරුවරයා  මනා පෞරුෂයකින්  සහ ආචාරශීලී බවෙන් යුක්ත අයෙකු බව තේරුම් ගෙන   ඔහුගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසීමට සිතාගත් මා 'රත්නපාල මහත්මයාගේ ගම් පළාත  කොහේද ?' 
කියා විමසුවෙමි. 
'මම කෑගල්ලේ ......... ගමේ'
'පත්වීම ලැබුනහම මෙහෙ නවාතැන් ගන්න වෙනවා නේද?
ඒ මගේ දෙවන ප්‍රශ්නයයි.
'පත්වීම ලැබෙන තැන අනුව තැනක් සොයා ගන්නවා'.
ඔහු නොපැකිලව උත්තර දුන්නා.
ගුරුවරයෙකු නොමැතිව උග්‍ර ප්‍රශ්නයකට මුහුණ පා තිබෙන, මා කලින් සඳහන් කළ විදුහල ගැන මට එක්වරම මතක් විය.
'ටිකක් ඈතක, හොඳට වැඩ කරන්නට හැකි විදුහලක් තිබෙනවා. පත්වීම එතනට ලැබුනොත් යන්නට කැමතිද?
'මම ලැබෙන ඕනෑම විදුහලකට  පිළි ගන්නට කැමතියි. අගු පිලක හෝ නතර වී රාජකාරිය කරනවා'.
ඔහුගේ ප්‍රකාශයෙන් අපට පුදුමයකුත් ඇති විය. ඔහු එම විදුහලට යවා ඉදිරියටත් හැකි අයුරින් උදව කිරීමට මා  තීරණය කර ගත්තා.


නවක ගුරුවරු සියලු දෙනාටම යන්තමින්වත් සාධාරණය ඉටුවන අයුරු පත්වීම් ලේඛනය අවසන් කිරීමට හැකි වීම ගැන  අප දෙදෙනාට සතුටක්ද ඇතිවිය. නවක ගුරුවරුන්ට පත්වීම් ලිපි සකස් කර දෙන තුරු ඔවුනට පැය කිහිපයක් නතරවී සිටින ලෙස උපදෙස් දී අපගේ අනිකුත් කටයුතුවල නිරත වුවා. 

ටික වෙලාවකට පසු දුෂ්කර විදුහලේ විදුහල්පති මගේ කාමරයට එබිකම් කර
'සර්, අපට ගුරුවරයෙක් දැම්මාද?' 
කියා මගෙන් ඇසුවා.
අලුතින් ගුරුවරු පැමිණ තිබෙන ආරංචිය ඒ වන විටත් විදුහල් වලට ගොස් තිබෙන බව මට තේරුනා.
'මහත්මයා හොඳ වෙලාවට ආවේ. රත්නපාල නමින් ගුරුවරයෙක් ඒ විදුහලට දැම්මා. එයා එළියේ ඇති. කෑගල්ලේ ළමයෙක්. කතා කරගෙන කොහොමහරි නවාතැනක් සොයා දෙන්න.'
කුමන හේතුවක් නිසාදෝ මා විදුහල්පතිගෙන් ඉල්ලීමක්‌ කළා.
'ගුරු නිවාසයේම නතර වෙන්නට පුළුවන්. මම විතරයි ඒකේ ඉන්නේ. මම ඒ මහත්මයා සමග කතා කරගන්නම්. සර්ට ස්තුතියි.' 
කී ඔහු මහත් සතුටකින් පිටවී ගියා.  
      
කෙසේ වෙතත් මගේ ඉල්ලීම පැකිලීමකින් තොරව පිළිගත් එම ගුරුවරයාට නවාතැන් සපයා දීමට මටද  අවස්ථාවක් ලැබීම ගැන මමද සතුටට පත්වීමි.  නවක ගුරුවරයෙකු වූ ඔහුට ඉංග්‍රීසි විෂයය ගැනද දක්ෂ කමක් තිබිණ.

අලුතින් ගුරුවරු පත් කළ පසු  ඔවුනට අවශ්‍ය උපදෙස්  දීම පිණිස එම පාසල්වලට නිතර යාම මගේ සිරිත විය. පත්වීම් ලබාදී මසකින් පමණ මට එම විදුහලට යාමට අවස්ථාවක් ලැබිණ. කලක් තිස්සේ විද්‍යා විෂයය උගන්වා නොතිබුණු විදුහලේ අලුත් ගුරුවරයා නිසා මහත් විද්‍යා ප්‍රබෝධයක් ඇතිවී තිබෙන බව විදුහල්පති වරයා මට මුලින්ම පවසා ස්තුතියක්ද කළේය. 

ඒ විගසම ඔහු මා  විද්‍යා කාමරයට කැඳවාගෙන ගියේය. ඒ වන විටත් රත්නපාල මහතා   8 ශ්‍රේණියට උගන්වමින් සිටියේය. ඔහුගේ පාඩම උෂ්ණත්ව මාන සහ උෂ්ණත්වය මැනීම පිළිබඳව විය. ගුරු මේසය මත සාමාන්‍යඋෂ්ණත්ව  මාන දෙකක්, ශරීර උෂ්ණත්වය මැනීම සඳහා උපයෝගී කර ගන්නා 'උණ කටුවක්', ප්ලාස්ටික් බේසමක් සහ ඉවතලන ප්ලාස්ටික් බෝතල් කපා සකස් කර ගන්නා ලද බීකර වැනි බඳුන් කිහිපයක් විය. ඔහු සිසුන්ද සමග මා සාදරයෙන් පිළිගත්තේය. ඔහු පාඩම නතර කිරීමට සැරසෙන විට, පාඩම කරගෙන යාමට ඉල්ලා සිට මා පන්ති කාමරයේ පිටුපස ආසනයක වාඩිවී පාඩමට සවන් දුනිමි. 
ඔහු අනුයෝගී උපකරණද  භාවිතා කරමින්, ඉතා අගනා පාඩමක් කරන ලදී. පාඩම අවසන් කිරීමට විනාඩි කිහිපයක් තිබියදී පන්තිය ඇමතු ඔහු, මා විද්‍යා අධ්‍යාපන නිලධාරිවරයා ලෙස හඳුන්වාදී ඔහු විදුහලට පැමිණියේ මා නිසා බවද ප්‍රකාශ කළේය. වහාම පන්තිය ඉදිරියට ගිය මා ගුරුවරයාගේ අවසරය ඇතිව සිසුන් සමග කතා කළෙමි. පන්තියේ සිසු සිසුවියන් 12 දෙනෙක් සිටියහ. එදින පාඩමේ අන්තර්ගත කරුණු පිළිබඳව මා විසින් අසන අලද ප්‍රශ්න වලට සිසුන් නොපැකිලව පිළිතුරු දුන්හ. 


(විද්‍යාගාරයේ 'උණ කටුවක්' නොමැති නිසා සිසුනට පෙන්වීම සඳහා එය අසල බෙහෙත් ශාලාවකින් ඉල්ලා ගෙන තිබිණ. බීකර වෙනුවට, කපා ගන්නා ලද ප්ලාස්ටික් බෝතල් භාවිතා කළේය. ජලය රත් කර ගැනීමට පහසු කමක් නොතිබුණු නිසා, සිසුන් සඳහා තේ පිළියෙළ කරන ස්ථානයෙන් උණු ජලය ලබාගෙන ඇත. පාඩම සාර්ථක වුයේ මේ සියල්ල නිසාය.)  


වල් බිහිව තිබුණු විද්‍යාගාරය සිසුන් සමග එකතුවී හෙළි පෙහෙළි කරගත් ආකාරයත් විදුහලේ තිබෙන විද්‍යා උපකරණ ස්වල්පය නම්කර පිළිවෙලකට අල්මාරියක තබාගත් ආකාරයත්, විද්‍යා කාමරය ඉදිරිපස කුඩා උද්භිද උයනක්‌ සකස් කිරීමට සැලසුම් කරන බවත්  ඔහු විස්තර කළේය. අඩුපාඩු උපකරණ ගැන මා ඔහුගෙන් අසන තුරුම ඔහු ඒ ගැන කිසිවක් කීවේ නැත.

විද්‍යාගාරයේ බීකර නොමැති නිසා ප්ලාස්ටික් බෝතල් කපා බීකර වැනි භාජන සාදාගත් ආකාරයත්, බෝතල් වල ඉහල කොටස පුනීල ලෙස භාවිත කළ හැකි බවත් ඔහු මට පෙන්වීය. ඒ සමගම, ප්ලාස්ටික් බෝතලයක් ඒ අයුරින්ම කපා තනාගත් වර්ෂා මානයක්ද විද්‍යාගාරයෙන් පිටත කුඩා බංකුවක් මත තබා වර්ෂාපතනය මැන ගන්නා ආකාරයත් ඔහු මට පැහැදිලි කර දුන්නේය. ඔහු ඉගැන්වීම් සටහන්, වාර සටහන් ආදියද ඉතාමත් ක්‍රමානුකුල ලෙස සකස් කර ගෙන තිබෙන බවද මට දැක ගන්නට හැකිවිය, මෙම පළමු අධීක්ෂණයෙන්ම ඔහු දක්ෂ ගුරුවරයෙකු බව මට නිගමනය කළ හැකි විය. ඔහු විද්‍යාව විෂයයට අමතරව ගණිතය සහ පන්ති කිහිපයක ඉංග්‍රීසිද උගන්වන බවද පසුව දැනගතිමි.

රත්නපාල විද්‍යා ගුරු මහතා පිළිබඳව ඉතා හොඳ සවිස්තරාත්මක ලොග් සටහනක් විදුහල් ලොග් පොතේ ලියා තැබීම මට මහත් ප්‍රීතියක් විය.

එවකට අපගේ ප්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්ෂක වරයා වුයේ අරම්පත්ත මැතිතුමාය. ඉතාමත් කාර්ය ශූරයෙකු වු එතුමා පාසැල් පද්ධතිය, ගුරුවරු සහ අධ්‍යාපන නිලධාරීන් පිළිබඳව මනා අවබෝධයකින් යුතුව කටයුතු කළ අධ්‍යාපනඥයෙකි. අධ්‍යාපන සංවර්ධනය සඳහා කේෂ්ත්‍ර නිලධාරීන්ගේ ඇප කැපවීම  ඉතාම වැදගත් වන බව ඔහු තදින්ම විශ්වාස කළේය. පාසැල් අධීක්ෂණයයේදී  නිලධාරීන් විසින් තබන ලද ලොග් සටහන් පවා කාර්යාලයට ගෙන්වාගෙන නිරීක්ෂණය  කර අඩු පාඩු පෞද්ගලිකව පෙන්වා දීම  ඔහුගේ සිරිත විය. බොහෝ විට මාසික නිලධාරි රැස්වීමේදී, පන්ති අධීක්ෂණය කිරීමේ නව ශිල්ප ක්‍රම, ගුරුවරු සහ සිසුන් සමග කතාබස් කරන ආකාරය වැනිදේ පවා විස්තර කරදෙන අතර  සමහර අවස්ථාවලදී නිලධාරීන් විසින් තබන ලද ලොග් සටහන් ද ඇගයීමට ලක් කළේය. මේවා නිසා නිලධාරීන්ගේ වැඩ කටයුතු වල ගුණාත්මක භාවය නිරතුරුවම වැඩිවිය. 

අරම්පත්ත අධ්‍යාපන අධ්‍යක්ෂක තුමා අද ජීවතුන් අතර නැත.


ඒ මාසයේ නිලධාරි රැස්වීමේදී විවිධ දේවල් සාකච්ඡා කිරීමෙන් පසුව, මාසය තුළදී ලැබුණු හොඳම ලොග් සටහනද ඉදිරිපත්කරන ලදී. ඔහු එය කියවන විට කිහිප දෙනෙක් හැරී මා දෙස විමසිල්ලෙන් බලා සිටියහ.
ඇත්තෙන්ම, අධ්‍යක්ෂක තුමා කියවා ඇගයීමක් කළේ ම විසින් රත්නපාල ගුරු මහතා පිළිබඳව තැබූ ලොග් සටහනයි. මෙය මට මහත් පුදුමයක් විය.
මා නොසිතු අයුරු එම ලොග් සටහනෙහි තිබුණු වැදගත් කරුණු කිහිපයක් පිළිබඳවද අධ්‍යක්ෂක තුමා  පැහැදිලි කළේය. ඒවා මෙසේය.

1.  ගුරුවරයාගේ කාර්ය භාරය හොඳින් හඳුනා ගැනීම
2.  කෙටි අධීක්ෂණයකින් බොහෝ දේ අවබෝධ කර ගැනීම 
3.  දක්ෂතා ඇගයීමට ලක්කර ගුරුවරයාට ප්‍රසංශා කිරීම 
4.  ගුරු භූමිකාව සඵල කර ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීම 


ටික දිනකට පසුව අධ්‍යක්ෂක තුමා මගේ පන්ති සමීක්ෂණය පිළිබඳව ප්‍රශංසාත්මක ලිපියක් නිකුත් කර, එහි පිටපතක් මගේ පෞද්ගලික ලිපි ගොනුවටද යවා තිබුණි.

(තවත් මාස දෙකකට පමණ පසුව, මා ඊළඟට එම විදුහලට ගිය අවස්ථාවේදී, ප්‍රාදේශීය විද්‍යා ගබඩාවෙන් ලබාගත් සරල විද්‍යා උපකරණ තොගයක් ගෙනගොස් දුනිමි.) 

මෙම සිද්ධි මාලාවේ සම්බන්ධය පිළිබඳව මා බොහෝවිට කල්පනාකර තිබේ. එහෙත් ඒ සියල්ල එකට ගොනුවුයේ කුමක් නිසාදැයි යන්න  නම් මට තවමත් ගැටලුවකි. 
   
    
     

Sunday 5 March 2017

අධ්‍යක්ෂ තුමා හරි!. අපටයි වැරදුනේ........!


මම  කලක් රත්නපුර අධ්‍යාපනයේත් වැඩකළා.

කාර්යාලයේ සිටි ලාබාලම අධ්‍යාපන නිලධාරියා මමයි. එ  කාලයේ දිස්ත්‍රික්කයටම තිබුණේ එකම අධ්‍යාපන කාර්යාලයයි. අධ්‍යාපන අධ්‍යක්ෂක වරයා හැඳින්වුයේ ප්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්ෂක කියායි. මේ පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක වීමට කලින්ය. සෑම මැතිවරණ කොට්ඨාශයකටම මාණ්ඩලික අධ්‍යාපන නිලධාරිවරයෙක් සිටියා. මණ්ඩලයේ අධ්‍යාපන කටයුතු වලින් වැඩි ප්‍රමාණයක් ගැන වගකීම තිබුණේ ඔහුටයි. මුළු දිස්ත්‍රික්කයේම, විද්‍යාව, වාණිජ්‍යය , චිත්‍ර කලා, ගෘහ විද්‍යාව, ක්‍රීඩා  කටයුතු ආදී විශේෂ විෂයය  භාරව එක් නිලධාරියා බැගින් සිටියා. ඔවුන් විශේෂඥ අධ්‍යාපන නිලධාරීන්  ලෙස හැඳින්වුවා. මම විද්‍යා. පළාත් සභා ක්‍රමයෙන් පසු මේ සියල්ල වෙනස් වූවා. 

දැන් අපේ සිද්ධියට බසිමු. 

ඒ කාලයේ 'කණ්ඩායම් සමීක්ෂණ' (team inspection) නමින් වැදගත් අධ්‍යාපන ඇගයීම් ක්‍රමයක් තිබුණා. බොහෝ විට අධ්‍යාපන අධ්‍යක්ෂක සහ අනිකුත් නිලධාරීන් සියලු දෙනාම එයට සහභාගී වූවා. මෙය 'කඩා පනින හමුදාවක්' නොවෙයි.

එදින නියමිතව තිබුණේ බලන්ගොඩ කිට්ටුව විදුහලකට යාමටයි. නිලධාරීන් සියලු දෙනාම පෙරවරු හත පමණ වනවිට හමුවී  කාර්යාල වැන් රථයෙන් ගමන ආරම්භ කළා. අධ්‍යක්ෂක තුමා ඉස්සරහ ආසනයේ. අපි සෙසු නිළධාරීන් පසු පස ආසන වල.  අප පිරිසේ සිටි ගෘහ විද්‍යා නිලධාරිනිය තරමක් 'reserved type'  කෙනෙක්. 'jokes' එහෙම නොතේරෙන ලෙසටයි සිටින්නේ. 

අධ්‍යක්ෂක තුමා කතාබහට කැමති බොහෝ විට කව්රුත් සිනහ ගන්වන විහිලු කතාත් කියන කෙනෙක්. ස්ත්‍රී පක්ෂය කෙරෙහි වැඩි අවධානයකුත් තිබුණා.

අපි දැන්, පැල්මඩුල්ල පසුකර කිලෝමීටර් දෙක තුනක් ගොස්. වටපිට සෞන්දර්යය මන බඳින සුළුයි. මහා මාර්ගයේ වම් පැත්තේ අඩි 50 කට 60 කට පමණ පහලින් කළු ගඟේ අත්තක් වන 'මා දොළ' ගලා බසිනවා. හිමිදිරි උදයේ හිරු රැස් වැටී අවට අමුතුම ආලෝකවත් බවක් පෙන්නුම් කළා. ටික වෙලාවක් නිශ්ශබ්දව සිටි අධ්‍යක්ෂක තුමා වාහනයේ පිටු පස සිටි අප දෙසට හැරී ඉඟි මරා ' අයිසේ මේ හරියෙන් යන කොට මට මගේ මුලු  සර්වාංගයම සලිත වෙනවා. ඔය නෝනලා ට මහත්වරුන්ට එහෙම එකක් නැද්ද? ' කියා ඇසුවා. 

අපගේ 'reserved type' නිලධාරිනිය, තරහෙන් මෙන් 
'ඔන්න පටන් ගන්න හදනවා. පහළ ගඟේ ගැහැණු නානවා දැකලා වෙන්න ඇති ' 
කියා මුහුණ ඇඹුල් කරගත්තා. 
'අපටත් ටිකක් දැනෙනවා වට පිට බලන කොට. සර්ටත් එහෙමද?' 
අපේ සගයෙක් ඇසුවා. 
'ඔයාලා මොනවා ගැනද මේ කියන්නේ. අඩමාන නැහැ. ගඟ පැත්තේ බලාගෙන වෙන්න ඇති.'  'ඔය මිසිස්‌ ...........ගෙන් අහලා බැලුවොත් ඇත්තම කියාවි.' 
අධ්‍යක්ෂක තුමා කෝමල ස්වරයකින් 'reserved type' ට විහිලුව එල්ල කළා. 
'අනේ සර් මට ඔය කුණුහරුප ත්රෙන්නේ නැහැ.' 
ඇය බොරු කේන්තියක් මවා ගත්තා.
'ඔන්න බලමු  'every  thing is vulgar to the vulgar minded' මම කිසිම නරක දෙයක් කිව්වේ නැහැ.' කී අධ්‍යක්ෂක තුමා 

'කාටත් අමතක උනානේ අප දැන් මේ පසු කරමින් යන්නේ 'කාමරංගපිටිය'. ඉතින් කාමරංග පිටියේදී වත් ඇඟ සලිත නොවෙනවා නම් එහෙම අයට මොකක් හරි අඩු පාඩුවක් තිබෙනවා.'
සියලු දෙනාම මහ හඬින් සිනහසුනා  ගෘහවිද්‍යා නිලධාරිනිය මුහුණ පුම්බාගෙන බොහෝ වෙලාවක් කේන්තියෙන් මිරිකෙමින් සිටියා.

අධ්‍යක්ෂක තුමා ඇඟට නොදැනී 'reserved type' ට එල්ල කළ පහර ගැන කවුරුත් සිත යටින් සතුටු වන්නට ඇති. කිසිවෙක් ඒ බව ප්‍රකාශ කලේ නම් නැහැ..

ඒ කාලයේ  රත්නපුර දිස්ත්‍රික්කයයේ සිටි අධ්‍යාපන නිලධාරි  අතලොස්ස වෙනුවට දැන් දිස්ත්‍රික්කය කලාප හතරකට  බෙදා එක් එක් කලාපයකට අධ්‍යක්ෂක වරයා බැගින් දමා තව නිලධාරි පිරිසකුත් බැගින් පත් කරන්නට යෙදුනා. මේ අනුව පසු කාලයකදී රත්නපුර දිස්ත්‍රික්කය  කලාප හතර සහ කොට්ඨාස පහළොවේ  නිලධාරි සංඛ්‍යාව 100 ක් පමණ වී තිබෙනවා. එසේ වුවත් මේ විශාල වෙනස් වීමේ තරමට අධ්‍යාපන ගුණාත්මක බවත් වැඩිවී තිබේද යන්න සැක සහිතයි.