පහසුකම් ඉතාම අඩු ඈත පිටිසර පාසැලක ගුරුවරයෙකුගේ කැපවීම පිළිබඳව මේ සටහන තබමි.
රත්නපුර නගරයේ සිට කිලෝමීටර් 30 ක පමණ දුරින් පිහිටි එම පාසැලේ 1 ශ්‍රේණියේ සිට 8 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වින. ගමන් අපහසුව සහ නවාතැන් නොමැති කම නිසා ගුරුවරු යාමට ඉතා අකමැති පාසැලකි. වසර ගණනක සිට විද්‍යා ගුරුවරයෙකු නොසිටි මෙම විදුහලට යාමට කැමති තරුණ ගුරුවරයෙකු මට හමුවිය. කෑගල්ල දිස්ත්‍රික්කයේ පිටිසර ගමක රත්නපාල නමැති තරුණයෙක් වූ ඔහු නගරයේ විදුහලක උසස් පෙළ අධ්‍යාපනය ලබා විද්‍යා ධාරාවෙන් විෂයය දෙකක් පමණක් සමත් වී තිබිණ.
මෙය ඔහුගේ පළමු පත්වීමයි. කාර්යාලයට ලැබී තිබුණු ලේඛනයෙන් පුරප්පාඩු තිබුණු පාසැල් වලට විද්‍යා ගුරුවරු නිර්දේශ කිරීම මට පැවරී තිබුණු රාජකාරියයි. තම විදුහලට වසර තුනක සිට විද්‍යා ගුරුවරයෙකු නොමැති බව එම විදුහලේ විදුහල්පතිවරයා මා හට පවසා තිබී, පසුව ඒ බව සිහිපත් කර ලිපියක්ද ඒවා තිබුණි. ගුරු පත්වීම් ලේඛනයේ සිටියේ පිරිමි තිදෙනෙක් පමණකි. ඉතිරි සියලු දෙනාම කාන්තාවන්ය. පාසැල් තෝරා දීම මහත් ගැටළුවක් විය. සෑම කෙනෙක්ම ඉල්ලා සිටියේ නගරයේ පාසැල්මය. බොහෝ අයට එසේ ඉල්ලීමට හේතුද තිබිණ. විවාහ වීමට ආසන්න බව, දරුවෙකු ලැබීමට සිටින බව, වයසක දෙමාපියන් බලා ගැනීමට ඇති බව ආදිය එවැනි හේතු විය. මට එම මැසිවිලි වලටද කන් දීමට සිදුවිය. නවක ගුරුවරුන්ගේ සහතික බලා පාසැල් තෝරා, පත්වීම් දීම සඳහා නිර්දේශ කිරීම මට සහ පරිපාලන නිලධාරි සිරිසෝමටත් පැවරිණ. හතරවන අංකයට සිටි රත්නපාල සහතික බැලීම සඳහා කැඳවීමු.
උප්පැන්න සහතිකය චරිත සහතික ආදිය පරීක්ෂා කළේ සිරිසෝම විසිනි. එම ගුරුවරයා මනා පෞරුෂයකින් සහ ආචාරශීලී බවෙන් යුක්ත අයෙකු බව තේරුම් ගෙන ඔහුගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසීමට සිතාගත් මා 'රත්නපාල මහත්මයාගේ ගම් පළාත කොහේද ?'
කියා විමසුවෙමි. 'මම කෑගල්ලේ ......... ගමේ'
'පත්වීම ලැබුනහම මෙහෙ නවාතැන් ගන්න වෙනවා නේද?
ඒ මගේ දෙවන ප්‍රශ්නයයි.
'පත්වීම ලැබෙන තැන අනුව තැනක් සොයා ගන්නවා'.
ඔහු නොපැකිලව උත්තර දුන්නා.
ගුරුවරයෙකු නොමැතිව උග්‍ර ප්‍රශ්නයකට මුහුණ පා තිබෙන, මා කලින් සඳහන් කළ විදුහල ගැන මට එක්වරම මතක් විය.
'ටිකක් ඈතක, හොඳට වැඩ කරන්නට හැකි විදුහලක් තිබෙනවා. පත්වීම එතනට ලැබුනොත් යන්නට කැමතිද?
'මම ලැබෙන ඕනෑම විදුහලකට පිළි ගන්නට කැමතියි. අගු පිලක හෝ නතර වී රාජකාරිය කරනවා'.
ඔහුගේ ප්‍රකාශයෙන් අපට පුදුමයකුත් ඇති විය. ඔහු එම විදුහලට යවා ඉදිරියටත් හැකි අයුරින් උදව කිරීමට මා තීරණය කර ගත්තා.
නවක ගුරුවරු සියලු දෙනාටම යන්තමින්වත් සාධාරණය ඉටුවන අයුරු පත්වීම් ලේඛනය අවසන් කිරීමට හැකි වීම ගැන අප දෙදෙනාට සතුටක්ද ඇතිවිය. නවක ගුරුවරුන්ට පත්වීම් ලිපි සකස් කර දෙන තුරු ඔවුනට පැය කිහිපයක් නතරවී සිටින ලෙස උපදෙස් දී අපගේ අනිකුත් කටයුතුවල නිරත වුවා.
ටික වෙලාවකට පසු දුෂ්කර විදුහලේ විදුහල්පති මගේ කාමරයට එබිකම් කර
'සර්, අපට ගුරුවරයෙක් දැම්මාද?'
කියා මගෙන් ඇසුවා.
අලුතින් ගුරුවරු පැමිණ තිබෙන ආරංචිය ඒ වන විටත් විදුහල් වලට ගොස් තිබෙන බව මට තේරුනා.
'මහත්මයා හොඳ වෙලාවට ආවේ. රත්නපාල නමින් ගුරුවරයෙක් ඒ විදුහලට දැම්මා. එයා එළියේ ඇති. කෑගල්ලේ ළමයෙක්. කතා කරගෙන කොහොමහරි නවාතැනක් සොයා දෙන්න.'
කුමන හේතුවක් නිසාදෝ මා විදුහල්පතිගෙන් ඉල්ලීමක් කළා.
'ගුරු නිවාසයේම නතර වෙන්නට පුළුවන්. මම විතරයි ඒකේ ඉන්නේ. මම ඒ මහත්මයා සමග කතා කරගන්නම්. සර්ට ස්තුතියි.'
කී ඔහු මහත් සතුටකින් පිටවී ගියා.
කෙසේ වෙතත් මගේ ඉල්ලීම පැකිලීමකින් තොරව පිළිගත් එම ගුරුවරයාට නවාතැන් සපයා දීමට මටද අවස්ථාවක් ලැබීම ගැන මමද සතුටට පත්වීමි. නවක ගුරුවරයෙකු වූ ඔහුට ඉංග්‍රීසි විෂයය ගැනද දක්ෂ කමක් තිබිණ.
අලුතින් ගුරුවරු පත් කළ පසු ඔවුනට අවශ්‍ය උපදෙස් දීම පිණිස එම පාසල්වලට නිතර යාම මගේ සිරිත විය. පත්වීම් ලබාදී මසකින් පමණ මට එම විදුහලට යාමට අවස්ථාවක් ලැබිණ. කලක් තිස්සේ විද්‍යා විෂයය උගන්වා නොතිබුණු විදුහලේ අලුත් ගුරුවරයා නිසා මහත් විද්‍යා ප්‍රබෝධයක් ඇතිවී තිබෙන බව විදුහල්පති වරයා මට මුලින්ම පවසා ස්තුතියක්ද කළේය.
ඒ විගසම ඔහු මා විද්‍යා කාමරයට කැඳවාගෙන ගියේය. ඒ වන විටත් රත්නපාල මහතා 8 ශ්‍රේණියට උගන්වමින් සිටියේය. ඔහුගේ පාඩම උෂ්ණත්ව මාන සහ උෂ්ණත්වය මැනීම පිළිබඳව විය. ගුරු මේසය මත සාමාන්‍යඋෂ්ණත්ව මාන දෙකක්, ශරීර උෂ්ණත්වය මැනීම සඳහා උපයෝගී කර ගන්නා 'උණ කටුවක්', ප්ලාස්ටික් බේසමක් සහ ඉවතලන ප්ලාස්ටික් බෝතල් කපා සකස් කර ගන්නා ලද බීකර වැනි බඳුන් කිහිපයක් විය. ඔහු සිසුන්ද සමග මා සාදරයෙන් පිළිගත්තේය. ඔහු පාඩම නතර කිරීමට සැරසෙන විට, පාඩම කරගෙන යාමට ඉල්ලා සිට මා පන්ති කාමරයේ පිටුපස ආසනයක වාඩිවී පාඩමට සවන් දුනිමි.
ඔහු අනුයෝගී උපකරණද භාවිතා කරමින්, ඉතා අගනා පාඩමක් කරන ලදී. පාඩම අවසන් කිරීමට විනාඩි කිහිපයක් තිබියදී පන්තිය ඇමතු ඔහු, මා විද්‍යා අධ්‍යාපන නිලධාරිවරයා ලෙස හඳුන්වාදී ඔහු විදුහලට පැමිණියේ මා නිසා බවද ප්‍රකාශ කළේය. වහාම පන්තිය ඉදිරියට ගිය මා ගුරුවරයාගේ අවසරය ඇතිව සිසුන් සමග කතා කළෙමි. පන්තියේ සිසු සිසුවියන් 12 දෙනෙක් සිටියහ. එදින පාඩමේ අන්තර්ගත කරුණු පිළිබඳව මා විසින් අසන අලද ප්‍රශ්න වලට සිසුන් නොපැකිලව පිළිතුරු දුන්හ.
(විද්‍යාගාරයේ 'උණ කටුවක්' නොමැති නිසා සිසුනට පෙන්වීම සඳහා එය අසල බෙහෙත් ශාලාවකින් ඉල්ලා ගෙන තිබිණ. බීකර වෙනුවට, කපා ගන්නා ලද ප්ලාස්ටික් බෝතල් භාවිතා කළේය. ජලය රත් කර ගැනීමට පහසු කමක් නොතිබුණු නිසා, සිසුන් සඳහා තේ පිළියෙළ කරන ස්ථානයෙන් උණු ජලය ලබාගෙන ඇත. පාඩම සාර්ථක වුයේ මේ සියල්ල නිසාය.)
වල් බිහිව තිබුණු විද්‍යාගාරය සිසුන් සමග එකතුවී හෙළි පෙහෙළි කරගත් ආකාරයත් විදුහලේ තිබෙන විද්‍යා උපකරණ ස්වල්පය නම්කර පිළිවෙලකට අල්මාරියක තබාගත් ආකාරයත්, විද්‍යා කාමරය ඉදිරිපස කුඩා උද්භිද උයනක් සකස් කිරීමට සැලසුම් කරන බවත් ඔහු විස්තර කළේය. අඩුපාඩු උපකරණ ගැන මා ඔහුගෙන් අසන තුරුම ඔහු ඒ ගැන කිසිවක් කීවේ නැත.
විද්‍යාගාරයේ බීකර නොමැති නිසා ප්ලාස්ටික් බෝතල් කපා බීකර වැනි භාජන සාදාගත් ආකාරයත්, බෝතල් වල ඉහල කොටස පුනීල ලෙස භාවිත කළ හැකි බවත් ඔහු මට පෙන්වීය. ඒ සමගම, ප්ලාස්ටික් බෝතලයක් ඒ අයුරින්ම කපා තනාගත් වර්ෂා මානයක්ද විද්‍යාගාරයෙන් පිටත කුඩා බංකුවක් මත තබා වර්ෂාපතනය මැන ගන්නා ආකාරයත් ඔහු මට පැහැදිලි කර දුන්නේය. ඔහු ඉගැන්වීම් සටහන්, වාර සටහන් ආදියද ඉතාමත් ක්‍රමානුකුල ලෙස සකස් කර ගෙන තිබෙන බවද මට දැක ගන්නට හැකිවිය, මෙම පළමු අධීක්ෂණයෙන්ම ඔහු දක්ෂ ගුරුවරයෙකු බව මට නිගමනය කළ හැකි විය. ඔහු විද්‍යාව විෂයයට අමතරව ගණිතය සහ පන්ති කිහිපයක ඉංග්‍රීසිද උගන්වන බවද පසුව දැනගතිමි.
රත්නපාල විද්‍යා ගුරු මහතා පිළිබඳව ඉතා හොඳ සවිස්තරාත්මක ලොග් සටහනක් විදුහල් ලොග් පොතේ ලියා තැබීම මට මහත් ප්‍රීතියක් විය.
එවකට අපගේ ප්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්ෂක වරයා වුයේ අරම්පත්ත මැතිතුමාය. ඉතාමත් කාර්ය ශූරයෙකු වු එතුමා පාසැල් පද්ධතිය, ගුරුවරු සහ අධ්‍යාපන නිලධාරීන් පිළිබඳව මනා අවබෝධයකින් යුතුව කටයුතු කළ අධ්‍යාපනඥයෙකි. අධ්‍යාපන සංවර්ධනය සඳහා කේෂ්ත්‍ර නිලධාරීන්ගේ ඇප කැපවීම ඉතාම වැදගත් වන බව ඔහු තදින්ම විශ්වාස කළේය. පාසැල් අධීක්ෂණයයේදී නිලධාරීන් විසින් තබන ලද ලොග් සටහන් පවා කාර්යාලයට ගෙන්වාගෙන නිරීක්ෂණය කර අඩු පාඩු පෞද්ගලිකව පෙන්වා දීම ඔහුගේ සිරිත විය. බොහෝ විට මාසික නිලධාරි රැස්වීමේදී, පන්ති අධීක්ෂණය කිරීමේ නව ශිල්ප ක්‍රම, ගුරුවරු සහ සිසුන් සමග කතාබස් කරන ආකාරය වැනිදේ පවා විස්තර කරදෙන අතර සමහර අවස්ථාවලදී නිලධාරීන් විසින් තබන ලද ලොග් සටහන් ද ඇගයීමට ලක් කළේය. මේවා නිසා නිලධාරීන්ගේ වැඩ කටයුතු වල ගුණාත්මක භාවය නිරතුරුවම වැඩිවිය.
අරම්පත්ත අධ්‍යාපන අධ්‍යක්ෂක තුමා අද ජීවතුන් අතර නැත.
ඒ මාසයේ නිලධාරි රැස්වීමේදී විවිධ දේවල් සාකච්ඡා කිරීමෙන් පසුව, මාසය තුළදී ලැබුණු හොඳම ලොග් සටහනද ඉදිරිපත්කරන ලදී. ඔහු එය කියවන විට කිහිප දෙනෙක් හැරී මා දෙස විමසිල්ලෙන් බලා සිටියහ.
ඇත්තෙන්ම, අධ්‍යක්ෂක තුමා කියවා ඇගයීමක් කළේ ම විසින් රත්නපාල ගුරු මහතා පිළිබඳව තැබූ ලොග් සටහනයි. මෙය මට මහත් පුදුමයක් විය.
මා නොසිතු අයුරු එම ලොග් සටහනෙහි තිබුණු වැදගත් කරුණු කිහිපයක් පිළිබඳවද අධ්‍යක්ෂක තුමා පැහැදිලි කළේය. ඒවා මෙසේය.
2. කෙටි අධීක්ෂණයකින් බොහෝ දේ අවබෝධ කර ගැනීම
3. දක්ෂතා ඇගයීමට ලක්කර ගුරුවරයාට ප්‍රසංශා කිරීම
4. ගුරු භූමිකාව සඵල කර ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීම
ටික දිනකට පසුව අධ්‍යක්ෂක තුමා මගේ පන්ති සමීක්ෂණය පිළිබඳව ප්‍රශංසාත්මක ලිපියක් නිකුත් කර, එහි පිටපතක් මගේ පෞද්ගලික ලිපි ගොනුවටද යවා තිබුණි.
(තවත් මාස දෙකකට පමණ පසුව, මා ඊළඟට එම විදුහලට ගිය අවස්ථාවේදී, ප්‍රාදේශීය විද්‍යා ගබඩාවෙන් ලබාගත් සරල විද්‍යා උපකරණ තොගයක් ගෙනගොස් දුනිමි.)
මෙම සිද්ධි මාලාවේ සම්බන්ධය පිළිබඳව මා බොහෝවිට කල්පනාකර තිබේ. එහෙත් ඒ සියල්ල එකට ගොනුවුයේ කුමක් නිසාදැයි යන්න නම් මට තවමත් ගැටලුවකි.
තමන්ගේ වාසිය නොව දරුවන්ගේ යහපත සඳහා වෙහෙසෙන විදුහල්පතිවරයෙක්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විස්තර කර හැකි ගුරු දෙවියෙක්, තමන්ගේ රාජකාරිය ඉහළම මට්ටමින් ඉටුකල විද්‍යා අධ්‍යාපන නිලධාරීවරයෙක්, තමන්ගේ කණ්ඩායමේ ඉහල සේවය අගැයෙමට පරිණත භාවයක් තිබූ අධ්‍යාපන අධ්‍යක්ෂක වරයෙක්, එකම කථාවකට ගොණු වීම අරුමයක්ම තමයි.
ReplyDeleteඅධ්‍යාපන ක්ශේත්‍රයේ නොවුණත් ඒ ගැන උනන්දුවක් ඇති අයකු ලෙස මේ කථාව සිතට සතුටක් ගෙනාවා. මේ කථාව ලිවීම ගැණ ස්තූතියි. ඔබ ඔබගෙඔ රාජකාරිය ඉටුකල ආකාරය පිළිබඳව හෝඩුවාවක් මේ කථාවෙන් ලැබෙනවා. ඔබට හිස නමා ආචාර කරනවා.
ස්තුතියි ඉයන් සහෝදරයාට
ReplyDeleteමගේ සිත තුල තිබුණු ගැටළු සහගත තත්ත්වයට ඔබගේ විශ්ලේෂණයෙන් සෑහෙන විසඳුමක් ලැබුණා. 'පණ්ඩිතානන්ච සේවනා' අවශ්‍ය වන්නේ මෙහෙම දේවල් වලට වගෙයි.
අරම්පත්ත නම් වාසගම ඇති අයෙකු පිළිබඳ මා දන්නවා. ඔහු ඉංජිනේරුවෙකු යි.
ReplyDeleteඑය ගමක නමක්ද?
Deleteයහම්පත් කොහොමද ආවෙ?
"යහම්පත්" යන නම තිබු ජනප්‍රිය ගුරුවරයෙක් මා උගත් පාසලේ සේවය කලා.ඔහු ගණිත ගුරුවරයකු වුවත් දෙමළ භාෂාව ඉගැන්වීමත් කරනු ලැබුවා.
Deleteයහම්පත් නමින් අධ්‍යාපන අධ්‍යක්ෂක වරියක් ඒ කාලයේ කොළඹ ප්‍රාදේශීය අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙත් වැඩකළා.
Deleteමෙන්න මෙහෙම් ලිව්වානම් ඔයිට වඩා හොඳයි, "අරම්පත්ත නමින් හඳුනවන්නෙකු මුලින්ම මට හමුවූයේ ආනන්දයේ උසස් පෙල කරන අතරයි. පසුව ඔහුත් මමත් එකට පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ ඉගෙන ගත්තෙමු. පසුව ඔහු කැනඩාවට සංක්‍රමණයවී මැවිසුරුවරයෙක්වනවිට, මම සිඩ්නි නුවර (පසුව සිනුවර) ඉංග්‍රීසි ඉගැන්වූයෙමි. දැන් මම වෙනත් අරම්පත්ත කෙනෙක් සමග ව්‍යාපෘති කළමනාකරණ මැවිසුරුවෙක් ලෙස සේවය කරමි. "
Deleteගුරු සේවයේ රස කතා නම් ඉස්සර ඉක්‍ෂලාම හරිම ජනප්‍රියයි. මට මකතයි පස්තර, සඟරාවල වෙනම කොලමක් යනවා ඒ දවස්වල!
ReplyDeleteදැන් එහෙම තොරතුරු දිගටම ලියන අය අඩුයි.
Deleteපියසේන කහඳගමගේ මහතාගේ 'ගුරු සේවයේ රස කතා ' මැයෙන් පොත් 2ක් තියෙනවා . (සරසවි පොත් සාප්පුවල )ඉතාම රසවත් . මම දයා මහතාගෙන් අහන්න කැමතියි වර්තමානයේ දරුවන් විද්‍යාව විෂයයෙන් ඈත් වීමක් දකින්න ලැබෙන්නෙ ඇයි කියලත් ඒකට පිළියම් ලෙස ඔබතුමාගේ යෝජනාවන් මොනවාදැයි කියාත් දැන ගැනීමට. විද්‍යාව උගන්වන ගුරුවරයකු ලෙස මම මෙය අහන්නෙ
Deleteගුරු සේවයේ රස කතා එම සේවයට පමණක් සීමා වෙනවා. මම අධ්‍යාපනයේ සෑම අංශයකම සේවය කර තීබෙන නිසා මගේ පරාසය ටිකක් වැඩියි. ගුරුවරුන්ට කෙලින්ම හමු නොවන අනිකුත් නිලධාරීන්ද සම්බන්ධ කතා රසයෙන් වැඩි බවයි මට හිතෙන්නේ.
Deleteඔබගේ ප්‍රශ්නයට බසිමු. දරුවන් විද්‍යාවෙන් ටික ටික ඈත් වීමට හේතු රාශියක් තිබෙනවා. මා හිතන ආකාරයට සාපෙළ ගත්තොත් විෂයය ධාරිතාව වැඩියි. එදිනෙදා ජීවිතයට අදාළ නොවන බොහෝ දේ ඉගැන්වීමට තිබෙනවා.ප්‍රායෝගික වැඩ සීමාවීම සහ කොහෙත්ම නැතිවීම තවත් හේතුවක්. දැන් දැන් පුහුණු ගුරුවරුන්ගේ ඉගැන්වීමේ ගුණාත්මක භාවයද බෙහෙවින් අඩුයි. විද්‍යාව පන්ති කාමරයටම සීමා කර නොගෙන පරිසරය පිළිබඳවද සොයා බැලීමට සිසුන් යොමු කිරීමත් අඩුයි.පෞද්ගලික පන්තිවලට යාමේ නැඹුරුව නිසා සිසුන් අවුල් සහගත තත්ත්වය ට පත්වන අවස්ථාත් තිබෙනවා. හමාහර ගුරුවරුත් පෞද්ගලික ඉගැන්වීම ගැන වැඩියෙන් සිත් යොමු කිරීමත් අවාසනාවන්ත දෙයක්. සමෝධාන විද්‍යාවේ සිට නැවත භෞතික, රසායන සහ ජීව යන විෂයය වෙන්කිරීම නිසා ගුරු සිසු දෙපක්ෂයම තරමක් අමාරුවේ වැටිලා. මේ සියල්ලටම වඩා දැන් අධීක්ෂණ නිලධාරීන්ද ඉස්සර වගේ ගුරුවරු සමීපයට ගොස් උපකාර කර ඇගයීමට ලක් කිරීමත් අඩු බවයි මට දැනෙන්නේ. මේ සඳහා උදාහරණ ඕනෑ තරම් තිබෙනවා.
උසස් පෙළ ගත්තත් මේ තත්ත්වයමයි. කෙසේ වෙතත් 'සැමටම විද්‍යාව' යන සංකල්පය යටතේ විද්‍යාව පිලිබඳ අවම දැනුමක්වත් සියලු දෙනාටම ලබාදීම එදිනෙදා ජීවිතයට පහසුවක් වී තිබෙනවා.
එහෙම එකට ගොනු වෙනව කියන්නේ ඒ වැඩ කරන ස්ථානය ඉතාමත් සාර්ථක තැනක් වෙනව. ඒ කියන්නෙ දක්ෂ ළමුන් පිරිසක් ඒ පාසලෙන් බිහි වේවි. එය කිසි කෙනෙකුට වළක්වන්නට බැහැ.අද බහුලව සිද්ධ වෙන්නෙ ගුරුවරු පාසලෙන් නූගන්වා ඒ වෙනුවට අමතර පන්ති පැවැත්වීමයි.එවැනි සමාජයක මෙවැනි දක්ෂ ගුරුවරුත්,එවන් ගුරුවරු හදුනාගත් ඔබ වන් නිලධාරින්ද , ගුරුවරුන්ට නිදහස් මානසිකත්වයකින් දැනුම ලබාදෙන්න ඉඩ ප්‍රසතාව සළසන ඉහත කී වන් විදුහල්පතිවරුන්ද අපේ රටට වාසනාවන්.....
ReplyDeleteඔබේ පැතුමත් රටට සෙතක්. ඇත්තටම ඒ කාලයේ හොඳ හික්මීමක් ඇතිව, සමබර මානසිකත්වයකින් යුතුව වැඩ කිරීමට පහසු වාතාවරණයක් අපට තිබුණා.
Deleteඉයන්ගේ හදුන්වාදීම මත ආමි... ගුරුවරයෙක් වුණානම් බොහෝ විට මෙතැනට (සමහරවිට)මම නේවි.
ReplyDeleteස්තුතියි නුවන්. ඔබ හරි. ගුරු සේවය කියා කිව්වාට අනිත් professions වල වගේ පිළිගැනීමක් නැති නිසා තමයි සියලුම අසහනයන් තිබෙන්නේ.තවමත් අධ්‍යාපන සේවය වත් (Education Service) වෘත්තිකයින්ගේ සංගමයට (Professionals Association) බඳවා ගෙන නැහැ.
Deleteඉයන්ගේ මග වෙන්වීම මත ආවේ...
ReplyDeleteවෙලාව ලැබෙන හැටියට ඉතිරියත් කියවන්නම්...
ජය වේවා...!
ස්තුතියි ලොකු පුතා. නැවත හමුවෙමු.
Deleteඉයන් තමා බ්ලොගයට මග පෙන්නුවේ.. ඔබතුමා ළඟ බ්ලොග් පොස්ට් ලක්ෂයක් දෙකක් ලියන්න තොරතුරු ඇති කියල මම හිතනවා.. දිගටම ලියන්න.. රසවත් හරවත් දෑ තව තවත් ලියන්නට ශක්තිය දහිරිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා..
ReplyDeleteස්තුතියි.ඒ තරමටම තිබෙනවා.ඉඩ ලැබෙන හැටියට ලියන්නම්.
Deleteඉයන් නිසා මටත් එන්නට අවස්ථාව ලදිමි. ලිපි පෙළ ඉදිරියට යමින් තිබිම මහත් සතුටකි. මම ද අරම්පත්ත යුගයේ රත්නපුර දිස්ත්‍රික්්කයේ ගුරුවරයකු ලෙස දුෂ්කර පාසලක පත්වීම ලද්දෙක්මි. ඔබේ ලිපි ඉදිරියට කියවාගෙන යන්්නට ඉටා ගතිමි
ReplyDeleteMPP, හරි අපුරුයි. එහෙනම් ඔබ මා දන්නවා ඇති. පසුව තව තොරතුරු දැන ගනිමු.
Deleteඉයන් තමයි මෙහෙට එන පාර කිව්වේ... නිවාඩු පාඩුවේ ඔක්කොම ලියපුවා කියවන්නම්කෝ...
ReplyDeleteස්තුතියි තුෂානි.
Deleteමෙව්ව රස කථා... රස විතරක් නෙමෙයි... ගුණත් ඇති කථා..
ReplyDeleteජයවේවා..!!
ස්තුතියි.
ReplyDeleteරසයෙන් ගුණයෙන් පිරි ආහාර හොඳින් දිරවනවා වගේ මේවත් කියවලා පෝෂණයක් ලබනවානම් මගේ වෑයම සාර්ථකයි කියා සතුටු වන්නට පුළුවන්
මේ වගේ පහසුකම් අඩු පාසල් ගොඩක් ඇති විස්තර දැනගන්න ලැබුනොත් බ්ලොග් සටහනකින් කියන්න. හැකි පමණින් උදව් කරන්න පුළුවන් වේවි.
ReplyDeleteස්තුතියි හංසි,
Deleteඉතාම හොඳ අදහසක්.මා කියන්නේ දශක තුන හතරකට ඉස්සර දේවල්.තවමත් එවැනි සමහර පාසැල් තිබෙනවා.මා විදේශ ගතවී සිටින නිසා නව තොරතුරු ලැබෙනවා අඩුයි. ලැබූනොත් ලියන්නම්.
ඉයන් ගේ ඔත්තුවකින් ආවේ. ඇත්තටම ඉතා සතුටක් දැනුන මේ ලිපිය කියවල. මේවා හැබැයි අතීත කතා නිසා ටිකක් වේදනා සහගතයි. දැන් මේ තත්වය බොහෝ විට නැති නිසා කියල. දැන් ඉන්නේ පන්ට්ඨියෙන් පසු තමන්ගේම ටියුෂන් පන්තියට ආවේ නැත්නම් දඬුවම් දෙන ගුරුවරුලු නේද?
ReplyDeleteස්තුතියි අජිත්,
Deleteහැම ගුරුවරයෙක්ම එහෙම නැහැ. ඉතාමත් හොඳ අය තවමත් ඉන්නවා.
ඉයන්ගේ බ්ලොගය හරහා පැමිණියෙමි. ඉතා රසවත් බ්ලොගයකි, දිගටම ලියන්න හැකිවේවායි පතමි.
ReplyDeleteRobert ඔබට ස්තුතියි. නැවත හමුවෙමු.
Delete