Monday, 21 August 2017

කොලඹ සිට ඕපනායකට, ’පුංචි කෝච්චියේ’ ගිය අමතක නොවන ගමනක් ........

     විශ්ව විද්‍යාලයයේ උද්භිද විද්‍යා තුන්වන වසරේ සිසුන් වන අපට  ක්‍ෂේත්‍රයෙන් සොයාගත් ශාක එකතුවක්‌  (“Herbarium”) සකස් කිරීම   අනිවාර්ය කර තිබුණි. මේ සඳහා පැලැටි එකතු කර ගැනීම පිණිස නගරයෙන් ඈත ප්‍රදේශයකට යාම අවශ්‍ය විය. රත්නපුරයෙන් එහා ගම් පලාතකට ගියහොත් අපගේ අවශ්‍යතාව සම්පුර්ණ කරගත හැකි බව අතපත්තු කීවේය.

‘අපේ ගමේ කෙනෙක් ඒ පැත්තේම, ඕපනායක ඉස්කෝලේ ලොකු මහත්තයා. එයාගෙන් උදව්වක්‌ ගන්නට හැකිවෙයි.’ මම කීවෙමි.

‘ඕපනායක නේද  කැලණිවැලි ලයින්  එකේ අන්තිම ස්ටේෂන් එක?’ කියමින් පතිරාජද අපට එකතුවිය.

‘අන්න හොඳම වැඩේ !. ඕපනායක තමයි අන්තිම ස්ටේෂන් එක. එහෙනම් අපී රට තොට බලන්නත් එක්ක කෝච්චියෙන් යමු’ මම යෝජනා කළෙමි.

ඊළඟ සති අන්තයේදී අමරසේන ලොකු මහත්මයා  ගමේදී හමුවූ මා අපේ අවශ්‍යතාව ගැන කී විට, ඔහු  ඉතාමත් සතුටු විය. ඔහුගේ පාසල කිට්ටුවම ලඳු කැලෑවක් සහිත ‘දන්දෙනිය එස්ටේට්’ නම් රබර් වත්තක් තිබෙන බවත්, පාලක වරයාද තමන් හඳුනන බවත් ඔහු කීවේය. අප තුන්දෙනාට පාසලේම නවාතැන් ගත හැකි බවත් ඔහුගෙන් දැනගන්නට ලැබිණ.

‘කෝච්චියේ නම් කොළඹ සිට ඕපනායකට  යන්න එන්නම දවස් දෙකක් ගතවෙනවා’ යයි  අතපත්තුගේ මාමා කෙනෙක් කියා තිබිණ.

මෙයද අපට ඉතාමත් හොඳ අත්දැකීමක් විය හැකි බව අපි සිතුවෙමු.

අපේ ක්‍ෂේත්‍ර ක්‍රියාකාරකමට අවශ්‍ය ‘ප්ලාන්ට් ප්‍රෙස්’ (plant press) සහ ‘වෙසිකියුලම්’ (vesciculum) උපකරණ, ෆෝමලින්, ඩැහි අඬු ආදිය විද්‍යාගාරයෙන් ලබාගෙන අප තුන්දෙනා ගමනට සුදානම් වූවෙමු.

මරදානෙන් දුම්රිය පිටත් වීමට තිබුණේ පෙරවරු හත පසුවී විනාඩි විස්සටය. මෙය ඕපනායකට පැමිණෙනුයේ සවස පහට පමණ බව දැනගන්නට ලැබිණ. අප තිදෙනාට දහවල් ආහාරය සඳහා බත්මුල් තුනක් සාදා දීමට අතපත්තුගේ මව කැමති වුවාය.

සිකුරාදා තිබුණු ‘ටියුට්‌ ක්ලාස් එක’ මග හැරදමු අපි අපේ ගමනට පිටත් වීමු. අතපත්තුගේ මව විසින් සකස් කර කොලපත්වල ඔතා එවා තිබුණු බත්මුල් අපගේ ගමන් මලු වලට දමා ගෙන කරේ එල්ලාගෙන අනිත් උපකරණද රැගෙන මරදාන දුම්රියපළට ගියෙමු.

ප්‍රවේශ පත්‍ර නිකුත් කරන කාර්යාලයට ගොස් ඔපනායකට ප්‍රවේශපත්‍ර ඉල්ලු විට තම උපැස් යුවළ ඉහලට ඔසවා නළල රැලිකර අප දෙස බැලු එහි සිටි නිලධාරියා 

‘කෝච්චිය ප්‍රමාද උනොත් ඔපනායකට යනකොට රෑ‍ වෙයි’ කියා අපගෙන් පිළිතුරක් බලාපොරොත්තුව සිටියේය.

‘අපි අද රෑට ඕපනායක ඉස්කෝලේ නතර වෙනවා’ කි විට ඔහු හිස් ටිකට් පත් කිහිපයක් සොයාගෙන ඒවායේ   ‘කොළඹ - ඕපනායක ‘ කියා  අතින් ලියා මුදලද සඳහන් කර අපට දුන්නේය.

එක්‌ අයකුට ප්‍රවේශ පත්‍රයේ ගාස්තුව රුපියල් පහයි ශත හතළිහක් විය.

දුම්රිය අංගනයේ අවසාන පේලියේ නවතා තිබුණු පුංචි කෝච්චියට අපි ගොඩ වූයෙමු. ඉතාමත් පටුවට ඇති  රේල් පිළි දෙක උඩ තිබුණු දුම්රිය සෙල්ලම් කෝච්චියක් මෙන් දිස්විය. එහි මගී මැදිරි  හතරක් සහ බඩු ගෙනයන මැදිරි රාශියක් විය. දුම්රිය වේදිකාවද මිටිය. අපී හිස් මැදිරියක එකතැන ආසන වල හිඳ ගතිමු. මාළු පෙට්ටි කිහිපයක් පටවා  ගත් මාළු වෙළෙන්දෙක් සහ ගෝනි මලු වල ඇසුරු වියලි මිරිස්, අර්තාපල් සහ රට ලුණු ආදිය සමග තවත් වෙළෙන්දෙක්ද අප සිටි මැදිරියට නැග ගත්හ. දුම්රිය පිටත් වීමට විනාඩි දෙකක් පමණ තිබියදී ගොඩවූ කවි කොළ කාරයෙක් වමතින් කන අල්ලාගෙන ‘ගෙදර පලහිලව්ව’ නම් ඛේදවාචකයක් මහ හඬ නගා තාලයට කියවන්නට පටන් ගත්තේය.

‘පස්වෙනි වේදිකාවේ ඇති දුම්රිය පෙරවරු හතයි විස්සට ඕපනායක බලා පිටත්වේ. මෙම දුම්රිය මරදානේ සිට ඕපනායක දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නතර කරනු ලැබේ.’ ඒ දුම්රිය පිටත් වීමේ නිවේදනයයි. එය ඉංග්‍රීසියෙන් සහ දෙමළෙන්ද නිකුත් කරන ලදී.

නලාව මහ හඬින් ශබ්ද කර දුම් ගුලි අහසට යවමින් දුම්රිය හෙමින් හෙමින් ඉදිරියට ගමන් කරන්නට විය. දුම්රිය විනාඩි විස්සක දී පමණ කොළඹ සිමාව පසුකර තවත් විනාඩි විස්සකදී නුගේගොඩට ලඟාවිය. 

නුගේගොඩ සිට තරමක් වේගයෙන් ගමන් කර, පාදුක්ක පසුවූ පසු නැවතත් ඉබි ගමනින් ගිය දුම්රිය සමහර තැන් වලදී  පැයට කිලෝ මීටර් දහයක පමණයයි කිවහැකි  අඩු වේගයකින් ධාවනය වී අවිස්සාවේල්ලට පැමිණෙන විට මධ්‍යහ්න දොලහද පසුවිය. දුම්රිය අඩු වේගයකින් යාම නිසා අපට නම් වට පිට දේවල් බලාගැනීමට හැකිවූ නිසා එය ඉතාමත් ප්‍රිය ජනක විය. අවිස්සාවේල්ලේදී විවිධ භාණ්ඩ පැටවූ මැදිරි හුවමාරුවක් තිබුණු නිසා තවත් පැය භාගයක පමණ ප්‍රමාදයක් වන බව දැන ගතිමු. මෙසේ දුම්රිය නතරකර තිබියදී අප විසින් ගෙනෙන ලද බත්මුල් ලිහා ගෙන දහවල් ආහාරය ගතිමු. කැකුළු හාලේ බත් සමග බැදපු හාල්මැස්සන්, තෙලට පිසින ලද පරිප්පු සහ මුකුණුවැන්න මැල්ලුම නිසා කෑම වේල ඉතාම ප්‍රණීත ආහාරයක්‌ විය.

රබර් වතු සහ තේ වතු හරහාද, සොබා සිරියෙන් අනුන ගම්මාන මැදින්ද ඉබි ගමනින් ඇදීගිය දුම්රිය රත්නපුරයට පැමිණෙන විට සවස තුන පසුවී තිබිණ.

අප මැදිරියේ සිටි වෙළෙන්දෝ තම බඩු භාණ්ඩද රැගෙන රත්නපුරයෙන් බැස ගත්හ. මැණික් ගැරීමට යයි සිතිය හැකි ආම්පන්නද රැගෙන පැමිණි  තරුණයින් පිරිසක් රත්නපුරයේදී අප සිටි මැදිරියට ගොඩවුහ.  ඔව්හු මැණික්‌ පතල්, ඉල්ලම් කැඩීම, දෝනා  යාම, කරු හවුල් ගැනීම යනාදී වශයෙන් කතාබස් කළ බොහෝ දේ අපට හරිහැටි තේරුම් ගන්නට බැරි විය. 

V2 331 දරණ  පැරණි වාෂ්ප දුම්රිය එන්ජිම සහ සම්බන්ධ මැදිරි.

රත්නපුරයේ සිට පැල්මඩුල්ල දක්වා ගමනේදී මැණික්‌ පතල් සහ කඳු බැවුම් වල ‘terrace  ආකාරයට සකස්  කරන ලද සරු සාර කුඹුරු යායවල් දකින්නට ලැබුණි. මැණික් පතල් අසල පොල් අතු සෙවිලි කර සකස් කර තිබුණු වාඩි ඒ ගැමි පරිසරය තවත් ඔපවත් කර තිබේ. පැල්මඩුල්ලෙන් පසු දුම්රිය මාර්ගයද කඳු සහ වංගු වලින් යුක්ත වූ නිසා වේගය තවත් අඩුවූ බව දැනුනි.

හෝමාගම  සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වූ  අංක . 331, V2  දරණ පැරණි වාෂ්ප රේල් බස් රථය.

අපට සවස පහමාර පමණ වනවිට අවසාන දුම්රිපළ වන ඕපනායකට යාමට හැකිවිය. අමරසේන මහතා අප පිළිගැනීමට දුම්රියපළට පැමිණ සිටියේය.

අප දුටු විගසම සිනාමුසු මුහුනින් ආයුබෝවන්  කියා අප පිළිගත් ඔහු

‘අද කෝච්චිය ඉක්මනට ආවා. සමහර දාට පැය පහක්‌ හයක් ප්‍රමාද වෙනවා. අද ප්‍රමාද උනේ පැය භාගයක් විතර’

මම මගේ  මිතුරන් දෙදෙනා වන අතපත්තු සහ පතිරාජ ඔහුට හඳුන්වා දුනිමි.

‘මාත් එක්ක ගුරු විද්‍යාලයයේ හිටපු අතපත්තු කියන මහත්මයෙක් දැන් බණ්ඩාරගම පැත්තේ වීදාගම ඉස්කෝලේ විදුහල්පති’ යයි ඔහු එක්‌ වරටම කීවේය.

‘එ අපේ බාප්පා’ අතපත්තුගේ පිළිතුර විය.

දැන් අමරසේන මහත්මයාට අතපත්තු සමගද කිට්ටු සම්බන්ධයක් තිබේ. 
  
දුම්රියපළේ සිට කිලෝමීටර භාගයක් පමණ දුරින් වූ, ඔහු පදිංචිව සිටි පාසැලේ ගුරු නිවාසය වෙත අපි පයින්ම ගියෙමු. ටික වෙලාවක් ආගිය තොරතුරු කතාකිරීමෙන් පසු  ඔවුහු  අපට බෙලිමල් තැම්බූ වතුර සහ කිතුල් හකුරු වලින් සංග්‍රහ කළහ. ගමන් විඩාව සංසිඳවීම සඳහා බෙලිමල් වතුර අමෘතයක් වැනි පානයක් විය. රාත්‍රී ආහාරය සඳහාද ඇල් හාලේ බත්, අමු මිරිස් මාළුව, කිරිහොදි සහ මියන දළු තෙම්පරාදුවක් තිබුණි. 
 
අපට රාත්‍රියට නිදා ගැනීම සඳහා ගුරු නිවාසයේ කාමරයක ඇඳන් දෙකක් යාකර  පහසුකම් සලස්වා තිබුණි.

පසුදින උදයේ අපි අමරසේන මහතා සමග  දන්දෙනිය වතතේ වතු බංගලාව  ට ගියෙමු. වතු අධිකාරිවරයා  අප සතුටින් පිළිගත්තේය. ඔහුට අප බලාපොරොත්තුවන කාර්යය පිලිබඳ අවබෝධයක් තිබිණ. ඔහු මැට්‍රිකියුලේෂන් විභාගයට උද්භිද විද්‍යාව උගත් අයෙකි. ඒ බව අපට කි ඔහු, තමන්ගේ නම ස්ටීවන් බවත් ස්ථිර පදිංචිය මහනුවර බවත් කීවේය. අපට දහවල් ආහාරය සඳහා සැන්ඩ්විච් පාර්සලය බැගින්ද ඔහුගෙන් ලැබිණ. එ සමගම අපට උදව කිරීමට සින්නයියා නම් ඔහුගේ වයස්ගත වතු සේවකයෙකුද  ලබා දුන්නේය. යකඩ උලක්‌ සහ අත් මුල්ලුවක් සමගම අපට බීම සඳහා   විශාල වතුර බෝතලයක් ඔහුගේ මල්ලේ විය. අප සින්නය්යාට භාරකළ අමරසේන මහතා ආපසු ගියේය.

හොඳින් සිංහල කතාකල  සින්නය්යාගේ උච්චාරණය තරමක් වෙනස්ය. ඔහු ඉඳහිට ඉංග්‍රීසියෙන්ද කතා කළේය. ප්‍රිය මනාප පුද්ගලයෙකු වූ ඔහු ඉක්මණටම අප සමග කුළුපග විය. තමන් ඉන්දියාවෙන් පැමිණි ද්‍රවිඩ මිනිසෙකු බව කි ඔහු, දැනට වසර හැටක් පමණ වත්තේ ජීවත්වූ බවත්, තම බිරින්දෑ වසර තිහකට පමණ පෙර ගසක දර අත්තක් හිස මත කඩා වැටීම නිසා මියගිය බවත් කඳුළු පිරි දෙනෙතින් යුතුව අමුතු සිංහල උච්චාරණයකින් අප සමග කීවේය. දැනට ‘පෙරිය දොරේ’ ගේ බංගලාවේ වැඩ කරමින් ජීවත් වන බවත් ඔහු තමන්ට ඉතා හොඳින් සලකන බවද ආඩම්බරයෙන් සඳහන් කළේය.  අපට ඔහු ගැන අනුකම්පාවක් ඇතිවිය.
රබර් වත්තේ අඩි පාරක්‌ දිගේ ගිය අප ලඳු කැලෑවක් සහිත මුකලානකට පැමිණියෙමු. මෙහිදී අප නතර කළ සින්නය්යා ඔහුගේ මල්ලෙන් සබන් කෑල්ලක් සහ භාජනයකට වතුර වත්කර
‘දොරේලා මේ ෂබන් ඔන්දට කකුල් වෙල ගා...ගන්න, කුඩැල්ලෝ ලස්ස ගණන් ඉන්නවා.’ යයි කිවේය.

මෙය අප කිසිසේත් බලාපොරොත්තු නොවූ දෙයක් විය.

ඔහුගේ උපදෙස් පරිදි සෙරෙප්පු ගලවා දෙපාවල හොඳින් සබන් ගා ගත්තෙමු. ඔහු සබන් දියකළ වතුර සෙරෙප්පු වලටද දැමිය.

ඔහු කුඩැල්ලන් පිළිබඳව අපට තව උපදෙසක් දුන්නේය.

‘දොරේලගේ කකුලට කුඩැල්ලෙක් අවොත්.... ඌව අ..ඟිලි වලට මිරිකලා පොඩි කරලා වීසි කරන්න. එතකොට ..... ඌ  බාගෙ..ට  මැරෙනවා .....’

අපට කිහිප වරක්ම ඔහුගේ උපදෙස ක්‍රියාත්මක කිරීමට සිදුවිය.

වන වදුලට ඇතුල් වන විටම මල් රාශියක් පිපී තිබුණු නියඟලා වැලක් අපට හමුවිය. මම එයින් මල් සහිත ඉත්තක් කපා ගැනීමට සුදානම් වුයෙමි.

‘ෂා..... ෂා ..... මාතියා .... ඕක නම් අල්ලන්නවත් එපා. වෂ ....වෂ...වෂ...’

අපට තරමක බියක්ද ඇතිවිය.

නියඟලා අල කා වත්තේ තරුණියක් දිවි නසාගත් හැටි ඔහු අපට විස්තර කළේය.

කෙසේ වෙතත් අපද ප්‍රවේශමෙන් එයින් මල් සහිත රිකිලි කපා ෆෝමලීන් වල එබූ පුළුන් සහිත පොලිතීන් කවර වලට දමා ගතිමු.

තව ටික දුරක් ගිය විට ඔහු දොළ පාරක්‌ අසල තිබුණු දන් පඳුරකින් ඉදුණු ගෙඩි පොකුර බැගින් අපට කඩා දුන්නේය. අපට එය රසවත් පලතුරක් විය.

අපි ඒ අසලම තිබුණු මීවන වර්ග කිහිපයක්, බාඳුරා, කොක්මොට බිනර වැනි ශාක කිහිපයක්‌ එකතු කර ගතිමු. එතෙක් වේලා අසල තිබුණු ගල් තලාව මත හිඳගත් ඔහු බුලත් විටක් හපන්නට විය.

දොළෙන් එගොඩ වූ අප රබර් වත්තේ මායිමට පැමිණියෙමු. එහිදී අතපත්තුගේ කකුලේ කුඩැල්ලෙකු පිය මනිනු මම දුටුවෙමි. ඔහුට ඒ බව කී විට සින්නය්යාගේ ක්‍රමය භාවිත කර ඌ පහසුවෙන් ඉවත් කළ හැකිවිය.

අපි නැවත දෙපාවල සබන් ගා ගතිමු. රබර් වත්තේ කිරි කපමින් සිටි කාන්තාවන් දෙදෙනෙකුට දෙමළ බසින් කථාකර, අසලට කැඳවා,  බුලත් විට දුන් සින්නය්යා ඔවුනට අප පෙන්වා පුරසාරමක් වැනි දෙයක් දෙමළෙන් කීවේය. ඔවුන්ද එය අනුමත කළ බව හිස සලා පෙන්වුහ.
අපට රබර් වත්තේ තිබී කිඩාරම්, පණු අල, හාතාවාරියා වැනි භූගත කඳන් සහිත ශාක රාශියක් හමුවිය. මේවා හාරා ගැනීමට සින්නය්යා උදව් කළේය. රබර් වත්තේ ගල් දෙබලක් අස්සේ වැඩි තිබුණු බේඳුරු සහ තවත් වායව මීවන වර්ග කිහිපයක් ගලවා දීමට සින්නය්යා සමත් විය. මේ සඳහා ඔහුට පැය භාගයක් පමණ ගතවිය.

ස්ටීවන් මහතාගෙන් ලැබුණු සැන්ඩ්විච්, අපි සින්නය්යා සමගද බෙදාගෙන දහවල් ආහාරය සඳහා ගතිමු. ටික වේලාවක් විවේක ගැනීමෙන් පසු, තවත් ශාක වර්ග කිහිපයක් සොයා ගැනීමට හැකිවිය. අප ආපසු පිටත් වීමට සැරසෙන විටම සින්නය්යා තරමක් ඈතට ගොස්, අත්පුඩි ගසා අපට එතැනට කථා කළේය, අපි එතැනට ගියෙමු.

‘මට මතෙක නති උනා. පෙරිය දොරේ මේක පෙන්නන්න  කිව්වා....’

කියා රබර් ගසක තරමක් ඉහල අතු දෙබලක එක තැන වැවී තිබුණු ඉතාමත් විරල අපිශාකි මීවන වන, කුඩා හැඩයා සහ මහ හැඩයා  ශාක ගොන්නක් පෙන්වීය. මෙම ශාක වඳවී යාමේ තර්ජනයට ලක්වී තිබෙන  ශාක බව අප ඉගෙන ගෙන තිබිණ.

‘මම ගහට නැගල ගලවල දෙන්නම්’ කි ඔහු

රබර් වත්තේ වැවී තිබුණු, වැල් පොටවල් කිහිපයක් ගලවාගෙන ‘වළල්ලක්’ සාදා එහි ආධාරයෙන් ගසට නගින්නට සුදානම් විය. එම ශාක ගොන්න විනාශ නොකර අපට අවශ්‍ය කොටස් පමණක් ගලවාදෙන ලෙසට අපි ඔහු දැනුවත් කළෙමු.

වළල්ල භාවිත කරමින් රබර් ගස දිගේ බඩගා ගිය සින්නය්යා ඉතා ඉක්මණින් අතු දෙබලට ගොඩ විය.

වළල්ලක අධාරයෙන් ගස් නැගීමට නොදන්නා කම ගැන, අපට මහත් මදි කමක් දැනුනි.     
අපට අවශ්‍ය ශාක කොටස් ගලවා දුන් සින්නය්යා ගසෙන් බිමට බැස්සේය. අපි ඔහුට ස්තුති කළෙමු.

ශාක එකතුව ගැන අපට මහත් සතුටක් ඇතිවිය. අප ළඟ ඉතිරිවී තිබුණු මුදලින් සින්නය්යාට සුළු සංග්‍රහයක් කිරීමට අපි අමතක නොකළෙමු

අපි ආපසු වතු අධිකාරී ස්ටීවන් මහතාගේ බංගලාවට පැමිණ ඔහුගෙන් තේ පැන් සංග්‍රහයක්ද ලබා, කළ උපකාරය පිළිබඳව ඔහුට මුව නොසෑහෙන සේ ස්තුති කළෙමු. ම්හු මහත් ඕනෑකමින් ආරක්ෂා කර ගෙන තිබුණු විරල අපිශාකී මීමන වලින් කොටසක් අධ්‍යාපනික වැඩක්  සඳහා දීමට හැකිවීම ගැන ඔහු සතුටු විය.

එදින සවස් වරුවේ අමරසේන මහතාගේ නි‍වසේ සිට අපගේ ශාක එකතුව අප ගෙනැවිත් තිබුණු පැරණි පුවත්පත් කඩදාසි පිටු අතර පිළිවෙලට අසුරා සකස් කර ගතිමු. මේ සඳහාද පැය තුන හතරක් ගතවිය.

පසු දින උදෑසන අමරසේන දෙමහල්ලන්ට ආචාර කර, සමුගත් අපි ඕපනායක දුම්රිය පලට පැමිණ කොළඹ බලා එන දුම්රියට ගොඩ වීමු.
                   



බර තබා වේලා සකස් කළ පැලැටි දර්ශක

--------------------------------------------

  ටු ධාවන පථය සහිත කැලණිවැලි දුම්රිය අද නැත. මෙම පැරණි දුම්රිය මාර්ගය කොළඹ සිට අවිස්සාවේල්ලට ආරම්භ කර ඇත්තේ 1902 වර්ෂයේදීය. 1912 දී එය රත්නපුරය දක්වා දීර්ඝ කර තිබේ. රත්නපුර ඕපනායක කොටස අවසන්කර විවෘත කර තිබෙන්නේ 1919 වසරේදීය. එකල රබර් සහ තේ වතුවල භාණ්ඩ ප්‍රවාහනය සඳහා දුම්රිය බෙහෙවින් භාවිත කර තිබේ.

1975 දී කැලණිවැලි දුම්රිය ධාවනය ටිකින් ටික අඩපනවී කොළඹ සිට හෝමාගමට පමණක් සීමාවිය. නැවත  1978 දී කොළඹ සිට අවිස්සාවේල්ල කොටස ක්‍රියාත්මක විය. 1993 දී කැලණිවැලි මාර්ගයේ පටු දුම්රිය පීලි ඉවත් කර පුළුල් රේල් පිලි දමා නවීකරණය කරන ලදුව, 1997 දී සිට සාමාන්‍ය දුම්රිය එන්ජින් සහ මැදිරි ස්ථාපිත කරන ලදී. මේ සමගම ඒ අසිරිමත් ‘පුංචි කෝච්චිය’ දුම්රිය ධාවනයෙන්  සදහටම තුරන් විය. මහා මාර්ගයේ, රත්නපුර නගරය පසු කර කළුගඟේ වරකාතොට පාලමෙන් යනවිට, ගඟ හරහා ඇති අත්හැර දැමු දුම්රිය පාලමේ නටබුන් අදටත් දකින්නට ලැබේ. මෙය දකින සෑම විටකම දශක පහකට හයකට ඉහතදී අප ඒ පාලම මතින් දුම්රියේ ගිය ගිය ගමන සිහි වේ.

පටු දුම්රිය ධාවන පථයේ පළල අඩි 2 අඟල් හයක් වූ අතර පුළුල් දුම්රිය ධාවන පථයේ පිලි අතර පරතරය අඩි 5 අඟල් හයකි.

 (දුම්රිය මාර්ගය පිලිබඳ තොරතුරු 2012 පෙබරවාරි 23 දින ‘ද අයිලන්ඩ්’ පුවත් පතෙහි පළවූ ලිපියක් ඇසුරෙනි.)


Wednesday, 16 August 2017

බාලිකා විදුහලක කණ්ඩායම් සමීක්ෂණයකදී මතුවූ ගැටළුවක් ........

   දිවංගත මහාචාර්ය රන්ජිත් රුබේරු මැතිතුමා, අධ්‍යාපන අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල් ලෙස සේවය කරන අවදියේදී, පාසැල්වල ඉගැන්වීමේ කටයුතු අධීක්ෂණය සඳහා  ‘කණ්ඩායම් සමීක්ෂණ’ නම් නව සංකල්පයක් හඳුන්වා දෙන ලදී. එයින් බලාපොරොත්තු වූයේ ප්‍රාදේශීය අධ්‍යාපන දෙපාර්තමේන්තුවක සේවය කරණ නිලධාරීන් වැඩි සංඛ්‍යාවක් එක් කණ්ඩායමක් ලෙස විදුහලකට ගොස්  විදුහලේ ඉගැන්වීමේ කටයුතු සහ විෂයය බාහිර ක්‍රියාකාරකම්, ගිණුම් කටයුතු වැනි සියළුම අංශ පිළිබඳව විධිමත් අධීක්ෂණයක් කිරීමයි.

කණ්ඩායම විදුහලට පැමිණෙන දිනය, ප්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්ෂක වරයා විසින් අදාළ විදුහලට කලින් දන්වන නිසා එය ‘හදිසි වැටලීමක්’ නොවීය. මෙම අධීක්ෂණ ක්‍රියාවලිය ඉතාමත් සාර්ථක වැඩ පිළිවෙලක් බවට පත්විය. එහෙත් එය හේතු රහිතව, දෝෂ දර්ශනයට ලක් කළ සමහර අංශ එය ‘කඩාපනින හමුදාවක්’ ලෙසද හඳුන්වන ලදී. බොහෝ අවස්ථාවලදී අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීහුද මෙම අධීක්ෂණ වලට සහභාගී වුහ.

 (දැනට ක්‍රියාත්මක වන  අධ්‍යාපන කලාප, වෙන්කිරීමට පෙර දිස්ත්‍රික්කයකට එකක් බැගින් වූ ප්‍රාදේශීය අධ්‍යාපන දෙපාර්තමේන්තු ස්ථාපිත කර තිබිණ.)

මා සේවය් කළ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන අධ්‍යක්ෂක වරයා විසින් සංවිධානය කරන ලද මෙවැනි කණ්ඩායම් සමීක්ෂණයක් සඳහා දිස්ත්‍රික්කයේ විශාලතම බාලිකා විද්‍යාලයය තෝරා ගෙන, අධීක්ෂණය පවත්වනු ලබන දිනය, කල් වේලා  ඇතිව විදුහලට දන්වා යවන ලදී. දිස්ත්‍රික් කාර්යාලයට අයත් සියළුම මාණ්ඩලික නිලධාරීන්ට  කණ්ඩායමට එකතු වීම සඳහා උපදෙස් ලැබිණ.

නියමිත දින, පසළොස් දෙනෙකුගෙන් පමණ සම්න්විත නිලධාරි පිරිසක් අධ්‍යාපන අධ්‍යක්ෂක තුමාගේ ප්‍රධානත්වයෙන්, විදුහල ආරම්භ කිරීමට පැය කාලකට පමණ කලින් විදුහලට ගියහ.

නියමිත වෙලාවට විදුහල ආරම්භ විය. විදුහල්පති තුමිය සහ ගුරු මණ්ඩලය සියලු කටයුතු මැනවින් සංවිධානය කර තිබිණ. දෙවන කාල ඡේදයේ සිට පන්ති අධීක්ෂණයට සුදානම් කරන ලදී. අංශ භාර ප්‍රධානීන් විසින් එක් එක් නිලධාරියා සඳහා අධීක්ෂණය කළයුතු පන්ති පිලිබඳ තොරතුරු සපයන ලදී. මා හට තොරතුරු ලබාදුන් ගුරු මහත්මිය,

‘සර්ට, 12 ශ්‍රේණිය රසායන විද්‍යාව පන්තියක් හොඳයිනේ. ඒක  මැද ශාලාවේ  F පන්තිය’   කියා ඇඟිල්ල දික් කර පන්තියද පෙන්වූවාය.

මම එම පන්තියට ගියෙමි.

එවෙලේ පන්තියේ ගුරුවරයෙකු නොවිය. පන්තියේ සිසුවියන් ආචාර කර මා පිළිගත්හ. ටික වේලාවක් සිසුවියන් සමග කථාකර,

‘දැන් රසායන  විද්‍යාවට ඉගෙන ගන්නේ කොයි ඒකකයද?’ මම ඔවුන්ගෙන් ඇසුවෙමි.

බාලිකාවන්ගෙන් කිසිම ප්‍රතිචාරයක් නොමැත. ඔවුන් තුෂ්නිම්භූතව සිටිති.

මට පන්තිය වැරදී ඇති බව ඔවුන් තේරුම් ගන්නට ඇත.

ටික වෙලාවකට පසු එක් සිසුවියක් නැගිට,

‘සර්, අපි උසස් පෙළට කරන්නේ බටහිර සංගීතය, අද සංගීත මිස් ඇවිත් නැහැ. රසායන විද්‍යා පන්තිය තිබෙන්නේ එහා ශාලාවේ’ යයි කීවාය.

මම තරමක් අසීරු තත්ත්වයකට පත්වූයෙමි. ඒ බව නොපෙන්වූ  මම , 

‘එහෙනම් අපි බටහිර සංගීතය ගැන ටිකක් බලමු’ කියා පන්ති වාර්තා පොත පෙරලා බැලුවෙමි.

වාර්තා පොතට අනුව, ඔවුන්ට  අවසාන වරට සංගීත භාණ්ඩ වල ව්‍යුහය පිලිබඳව හැඳින්වීමක් කර තිබුණි. මෙය මට හොඳම ප්‍රවේශයක් විය. බටහිර සංගීතය ගැන වැඩි යමක්‌ මා නොදැන සිටියත්, වසර හතලිහකට පමණ ඉහතදී උසස් පෙළ භෞතික විද්‍යාව ඉගෙන ගනිද්දී  ‘ධ්වනිය’ ඒකකය යටතේ ශබ්ද තරංග සහ ඒවා සංගීත  භාණ්ඩ වල උපයෝගී කරගන්නා ආකාරය උගත් බව මට මතක් විය.

මෙහිදී තරමක සම්‍යක් ප්‍රයෝගයක් ගැන කල්පනා කළ මම  බටහිර සංගීත භාණ්ඩ කිහිපයක් නම් කරන ලෙස සිසුවියකට කීවෙමි. ඇය භාණ්ඩ කිහිපයක නම් කීවාය.

මේ වන විට, මා  මෙම පන්තියට යොමුකළ විද්‍යා අංශ ප්‍රධාන  ගුරු මහත්මිය, කලබලයෙන් මෙන් පන්තියට පැමිණ,

‘සමාවෙන්න සර්, මට පොඩි වැරදීමක් උනා. රසායන විද්‍යා පන්තිය තිබෙන්නේ ඊළඟ ශාලාවේ. ඒක සයන්ස් F.  මේ පන්තියට දැන් තිබෙන්නේ  සංගීතය’ කියා මට නියමිත පන්තිය පෙන්වූවාය.

‘ඒකට කමක් නැහැ මම මේ කාල ඡේදය  සංගීත පන්තියේ වැඩ කරන්නම්’ කීවෙමි.

ඇය ඉතාමත් බැගෑපත්ව ‘නැහැ සර්, රසායන විද්‍යා  පන්තියේ ගුරු මහත්මිය සියල්ල සුදානම් කරගෙන බලා සිටිනවා. මට වැරදීමක් උනේ ’ කියා නැවත වරක් කීවාය.

‘මම ඊළඟ කාල  ඡේදයේදී  ඒ පන්තියට එන බව කියන්න’ මම කීවෙමි.

ඇය ආපසු ගියාය. මම සංගීත පන්තියේ සිසුවියන් සමග සංගීත භාණ්ඩවල විද්‍යාත්මක පැත්ත ගැන සාකච්ඡා කළෙමි.

තත් කම්පනය සහ වාතය කම්පනය මගින් ධ්වනිය හටගන්නා ආකාරයත් මෙම මුලධර්ම ඇසුරෙන්  සංගීත භාණ්ඩ සකස් කර ඇති බවත් මම පැහැදිලි කළෙමි.  ඊට පසු බටහිර සංගීත භාණ්ඩ කිහිපයක් සහ අනුරුප දේශීය සංගීත භාණ්ඩ වල ලක්ෂණ පිලිබඳ සංසන්දනයක්, බාලිකාවන්ගේ අදහස්ද ඇතිව කළ හැකි විය. විද්‍යාගාරයේ තිබෙන සරසුලක ආධාරයෙන් සංගීත භාණ්ඩයක  කම්පනය වන තතක කම්පන සංඛ්‍යාතය දළ වශයෙන් නිගමනය කළ හැකි බවද පහදා දුනිමි.

මේ වෙලාවේදී එක් ශිෂ්‍යාවක් තරමක් කුතුහලයකින් යුතුව,

‘සර්, අපට ගිටාරයේ තත්වල සංඛ්‍යාත හඳුනාගන්නා හැටි භෞතික විද්‍යාව උගන්වන මිස් ගෙන් අසාගන්නට පුලුවන්ද?  කියා මගෙන් ඇසීය

‘ඇයි?,....... කිසිම බැරිකමක් නැහැ. විදුහලේ තිබෙන උපකරණ කාටත් පොදු ඒවානේ. මම ඒ ගැන විද්‍යා ගුරු මහත්මියන්ට කියන්නම්’ කීවෙමි.

වසර හතලිහකට පමණ පෙර පාසැල් යන කාලයේ උගත් දෙයක්, නැවත මතක්‌ කර පාසැල් සිසුවියන්ට ප්‍රයෝජනවත් සාකච්ඡාවක් කිරීමට හැකිවීම ගැන මම සතුටට පත්වීමි.

ඊළඟ කාල ඡේදයේදී රසායන විද්‍යා පන්තියට ගියවිට සංගීත සිසුවියන්ගේ අවශ්‍යතාව පිළිබඳවද එම ගුරු මහත්මිය දැනුවත් කළෙමි.

පන්ති අධීක්ෂණයෙන් පසු ගුරු මණ්ඩලය සමග පැවැත්වූ සකච්ඡාවේදී, මා මුහුණ පෑ සිද්ධිය යන්තමින් සඳහන් කළෙමි. 

එය සඳහන් කළ විගසම නැගී සිටි විද්‍යා අංශ භාර ගුරු මහත්මිය,

‘අතපසුවීමක් නිසා මගෙන් සිදුවූ වරදට සමාවන්න’ යයි කීවාය.

‘ඒ අතපසු වීම නිසා, මට වසර හතළිහකට පමණ ඉහතදී ඉගෙනගත් දේ අහම්බෙන් නැවත සිහි කරන්ගන්නට අවස්ථාවක් ලැබුණා. ඒ සම්බන්ධයෙන් මම ඔබ තුමියට ස්තුති කරනවා’ යයි  මම කීවෙමි.

මෙම සිද්ධිය එදින පන්ති අධීක්ෂණයේ රසවත්ම කොටස  බව අධ්‍යාපන අධ්‍යක්ෂක තුමාගේ සම්පිණ්ඩන කථාවේදී  ප්‍රකාශ විය. 
      

  

Saturday, 12 August 2017

විභාග ශාලාවේ හදිසි තීරණයක් ගැනීම ........

    ශ්‍රී ලංකා පරිපාලන සේවා විභාගය පැවැත්වූ විභාග ශාලාවක ශාලාධිපති ලෙස සේවය කිරීමට මට අවස්ථාවක් ලැබිණ. විභාග ශාලාව කොළඹ ප්‍රධාන විදුහලකය. එහි ප්‍රධාන ශාලාව සහ පන්ති කාමර දෙකක් විභාගය සඳහා සකස් කර තිබුණ අතර, නිත්‍ය නිරීක්ෂක වරියට අමතරව තවත් නිරීක්ෂකවරු  තිදෙනෙක්ද සපයා තිබුණි. අයදුම් කරුවන් සියයකට වැඩි පිරිසක් විභාගයට පෙනී සිටීමට නියමිතය. විභාගය ආරම්භ කිරීමට තිබුණේ පෙරවරු නවයටය. පැයකට පමණ කලින් විභාග ශාලාවට ගොස්, නිරීක්ෂක වරුද හඳුනා ගැනීමෙන් පසු   සංවිධාන කටයුතු සියල්ල සතුටුදායක බව තේරුම් ගතිමි.

විභාගය ආරම්භ කිරීමට විනාඩි දහයක් පමණ වන විට අයදුම් කරුවන් සියලු දෙනාම පාහේ ශාලාවට පැමිණ සිටියහ. අවසාන විනාඩි කිහිපය තලදී ප්‍රශ්න පත්‍ර පැකට්ටුව විවෘත කිරීමට සැරසෙන විටම, වැඩිහිටියෙකු සමග පැමිණි අයදුම් කරුවෙකු අප සිටි තැනට පැමිණ යමක් පැවසීමට උත්සාහ කරන විට, අතින් කළ සංඥාවක් මගින්  ඔවුන් නතර කර,  නිරීක්ෂක වරුන්ගේද සහාය ඇතිව වාඩිවී සිටි අයදුම් කරුවන්ට  ප්‍රශ්න පත්‍රය බෙදීමට පටන් ගත්තෙමි. මේ සඳහා විනාඩි කිහිපයක් ගතවිය. ප්‍රශ්න පත්‍රය බෙදා අවසන් කළ වහාම ශාලාධිපතිට වැදගත්ම වැඩ කටයුතු කිහිපයක් තිබේ. පැමිණීමේ ලේඛනය ලකුණු කිරීම, අයදුම් කරුවන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම, ලකුණු ලැයිස්තු සකස් කිරීම මෙයින් කිහිපයකි. ඒ සියල්ල තිබියදී මම පැමිණ සිටින අමුත්තන් සමග කතා කිරීමට ශාලාවේ ආලින්දයට ගියෙමි.

‘විභාග ශාලාවට පැමිණියේ මොකද ?’ මම ඔවුන්ගන් ඇසුවෙමි.

සිංහල නොදන්නා බව ඇඟවූ අමුත්තා ඉංග්‍රීසියෙන් කතා කළේය.

We are from Jaffna. Came by night train. The train was late by two hours. That’s why we are late ‘       
‘අපි යාපනේ. ඊයේ රෑ කෝච්චියේ ආවේ. කෝච්චිය පැය දෙකක් පමාවෙලයි කොළඹට ආවේ.  මෙතනට ඒමට ප්‍රමාද වූවේ ඒකයි.’ පියා කීවේය.

වැඩිහිටි අමුත්තා සමග සිටි තරුණයා දෘශ්‍යාබාධීත  තරුණයෙකි. ඔහු පැමිණ සිටියේ විභාගයට පෙනී සිටීමටය.
මම වහාම නාම ලේඛනය පරීක්ෂා කළෙමි. ඔහුගේ නම ලේඛනයේ තිබේ. හැඳුනුම් පත සහ විභාගයට ඇතුළත්වීමේ ලිපිය පරීක්ෂා කළ මම, ඔහුට යාබද කාමරයේ හිඳ  ගැනීමට සලස්වා, ඔහු සමග සිටි, වැඩිහිටි පුද්ගලයා වන ඔහුගේ පියාට, ශාලාවෙන් පිටත වාඩිවී සිටීමට උපදෙස් දුනිමි. එම විභාග අපේක්ෂකයා යාපනයේ ද්‍රවිඩ තරුණයෙකි. සිංහල කිසිවක් නොදනී. ඉංග්‍රීසි මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටීමට අයදුම් කර තිබේ. චතුර ලෙස ඉංග්‍රීසි කථාකළ ඔහු බ්‍රේල් උපකරණයක් සහ අවශ්‍ය බ්‍රේල් කඩදාසි ද  ගෙනැවිත් තිබිණ.

මෙවැනි දෘශ්‍යාබාධීත අයදුම් කරුවෙකු සිටින බවට කිසිම තොරතුරක් විභාග ශාලාධිපති වන, මා වෙත සපයා නොතිබුණි. බ්‍රේල් ප්‍රශ්න පත්‍රද නොමැත. දැන් කාලයද විනාඩි දහයක් පමණ පසුවී ඇත. මෙම ගැටලුව පිළිබඳව ඔහු සමග සුහදව කථා කළ විට ප්‍රශ්න පත්‍රය ඉංග්‍රීසියෙන් කියවුවහොත් ඔහුට බ්‍රේල් යන්ත්‍රයෙන්, ඔහු ගෙනවිත් තිබුණු බ්‍රේල් කඩදාසි වල සටහන් කර ගත හැකි බව කීවේය.

මෙය මට මහත් අස් වැසිල්ලක් විය.

ශාලාධිපති ලෙස, මට නියමිත වැඩ කටයුතුද වහාම කළ යුතු නිසා, නිත්‍ය නිරීක්ෂක වරිය කැඳවු මා ප්‍රශ්න පත්‍රය කියවීම ඇයට පැවරීමට සුදානම් වුයෙමි. ඇයට ඉංග්‍රීසි කියවීමේ දුෂ්කරතාවක් ඇති බව කීවාය. අනිකුත් නිරික්ෂක වරුන්ගේ ප්‍රතිචාරයද එයම විය. 

මට නියමිත විභාග ශාලාවේ අත්‍යවශ්‍ය වැඩ කටයුතුද පමාකළ නොහැකිය. මෙම අයදුම් කරුට ප්‍රශ්න පත්‍රයද දිය යුතුමය. ඒ සමගම විභාග දෙපාර්තමේන්තුව අමතා විසඳුමක්ද ලබා ගත යුතුය. (ඒ කාලයේ ජංගම දුරකථන නොතිබුණි)

විදුහලේ කාර්යාලයෙන් විභාග දෙපාර්තමේන්තුවේ හදිසි අංශය අමතා, මෙම සිද්ධිය දන්වන ලෙස එක් නිරීක්ෂක වරයෙකුට පැවරුවෙමි.

ප්‍රධාන ශාලාව නිත්‍ය නිරීක්ෂක වරියට සහ තවත් එක නිරික්ෂකවරයෙකුට පවරා, දෘශ්‍යාබාධීත අයදුම් කරු වෙත ගියෙමි. දැන් විභාගය ආරම්භකර විනාඩි විස්සක් පමණ ගතවී තිබේ.

‘වීභාග ශාලාවකට පැමිණෙන අව්‍යාජ අයදුම්කරුවෙකුට කුමන හේතු තිබුනත් විභාගයට පෙනී සිටීමට ඉඩකඩ සැලැස්විය යුතුය. අනිකුත් සියලුම ගැටළු පසුව තෝරා බේරා ගත හැකිය’ යනුවෙන්  අපට ලැබී තිබුණු මහඟු උපදෙස අනුගමනය කිරීමට තීරණය කළ මා, දෘශ්‍යාබාධීත අයදුම් කරු සමග කථාකර,

‘මම ප්‍රශ්න පත්‍රය කියවන්නම් ඔබ එය බ්‍රේල් කඩදාසි වල සටහන් කරගන්න’

කියා ඔහු ළඟ තිබුණු කඩදාසි පරීක්ෂා කර බලා, ඒවායේ කලින් කළ සටහන් නොමැති බවට‍ සෑහීමට පත්වී, එම කඩදාසි වල ඉහල දකුණු කොනේ, මගේ කෙටි අත්සන යොදා, ඔහුට දුන්නෙමි.
ඔහු ළඟ තිබුණේ කඩදාසි දෙකක් පමණකි.
ප්‍රශ්න පත්‍රයේ කොටස් සතරකි. එක කොටසක ප්‍රශ්න හතර බැගින් ප්‍රශ්න දහසයකි. එක් කොටසකින්  ප්‍රශ්න එක බැගින් තෝරාගෙන ප්‍රශ්න හතරකට පමණක් පිළිතුරු සැපයීමට උපදෙස් දී තිබේ.

මම උපදෙස් පැහැදිලිව කියවුවෙමි. ඔහු අසා සිටිනවා පමණකි.

‘ඇයි, ........  සටහන් කර ගන්නේ නැද්ද?’ මම ඇසුවෙමි.

තම කණ දෙසට ඇඟිල්ල දිගු කල ඔහු තමා අසාගෙන සිටින බව ඇඟවීය.

මම පළමුවන ප්‍රශ්නය කියවුවෙමි. ඔහු නිහඬය. ඊළඟ ප්‍රශ්නය  කියවන ලෙස ඔහු ඇඟිලි දෙකකින් සංඥාවක් කළේය. එයටත් ඔහු නිහඬය. ඔහුගේ නිශ්ශබ්දතාව මට ගැටලුවකි. මම තුන්වන ප්‍රශ්නය කියවන විට ම්හු මා කියවන වේගයෙන්ම බ්‍රේල් ටයිප් කරන්නට විය.

‘හතරවන ප්‍රශ්නය එපා. ඊළඟ කොටසට යන්න’ ඔහු සෙමින් කීවේය.

මේවන විට විභාග දෙපාර්තමේන්තුවට පණිවුඩය දීමට පැවරු නිරීක්ෂක වරයා පැමිණ පණිවුඩය භාරගත් බවත් අවශ්‍ය සියලුම දේ රැගෙන නිලධාරියෙක් පැය භාගයක් ඇතුලතදී පැමිණෙන බවත් දැන්වීය. එසේ පැමිණෙන නිලධාරියා මා සමග එකට වැඩ කරන අයෙකි.

අයදුම්කරු දෙවන කොටසේ  ප්‍රශ්න කිසිවක් සටහන් කර ගත්තේ නැත.

‘සෑම  කොටසකින්ම එක ප්‍රශ්නයක් තෝරා ගන්නට ඕනෑ නේද?’ මම ඔහුට මතක් කළෙමි.

‘මම දන්නවා. කරුණාකර දෙවන කොටසේ පළමුවෙනි ප්‍රශ්නය නැවත කියවන්න.’ ඔහු ඉල්ලා සිටියේය.

මම එය නැවත කියවීමි. මා කියවන වේගයෙන්ම, ඔහු බ්‍රේල් යන්ත්‍රය ක්‍රියාත්මක කළේය.

මේ ආකාරයට තුන්වන සහ හතරවන කොටස් වලින්ද ඔහුට අභිමත ප්‍රශ්න තෝරාගෙන සටහන් කර ගත්තේය.

‘තෝරාගත් ප්‍රශ්න නැවත කියවන්නට අවශ්‍යද? ‘ මම ඔහුගෙන් ඇසීමි.

‘නැහැ. මම සටහන් කර ගත් ඒවායින් කියවන්නම්. කරුණාකර, හරිද කියා ප්‍රශ්න පත්‍රයෙන් බලන්න’ යයි කී ඔහු

පියවි ඇසින් බලාගෙන කියවන වේගයෙන්ම ඇඟිලි තුඩු හසුරුවමින් සටහන් කරගත් ප්‍රශ්න සියල්ලම කියවීය.
ඔහු සටහන් කරගත් ප්‍රශ්න වල කිසිම අඩුවක් නොවිය.

මම ඔහුට සුබ පැතීමි. ඔහු මඳ සිනහවක් පා

’ඔබට ඉතාමත් ස්තුතියි’  කියා

බ්‍රේල් යන්ත්‍රය මත ඇඟිලි වේගයෙන් හසුරුවන්නට පටන් ගත්තේය, ඒ වන විට විනාඩි හතලිහක් පසුවී තිබිණ. ඔහුට එවෙලේ සිට නියමිත කාලය ලැබෙන බව පවසා මම අතපසුවූ මගේ රාජකාරි වැඩ කොටස ආරම්භ කළෙමි.  

මේ වන විට විභාග දෙපාර්තමේන්තුවේ මගේ රාජකාරි මිතුරා අවශ්‍ය සියලු  දේ රැගෙන පැමිණියේය. දෘශ්‍යාබාධිත අයදුම්කරුගේ ඉතිරි නිරීක්ෂණ කටයුතු සියල්ල භාරගත් ඔහු,  මගේ ඉතිරි වැඩ කටයුතු කරගන්නා ලෙස  ඉල්ලා සිටියේය.

සිද්ධිය පිළිබඳව කෙටි ජර්නල් සටහනක්  වහාම ලියා තැබූ මම, කඩිනමින් මගේ ඉතිරි වැඩ කටයුතු පටන් ගත්තෙමි.

පැයකින් පමණ විභාගයට අදාළ මගේ සියලු කටයුතු අවසන් කර, මෙම විශේෂ අයදුම්කරු සිටින ස්ථානයට ගියෙමි. ඒ වන විට ඔහු කඩදාසි හත අටක්ම බ්‍රේල් වලින් අවසන් කර තිබුණි.

නියමිත කාලය අවසානයේදී, උත්තර පත්‍ර එකතු කර ගැනීමෙන් පසුව, සියලුම අයදුම් කරුවන් සාවධානව ශාලාවෙන් පිටවී ගියහ.

‘ඔබට තව විනාඩි හතලිහක් තිබෙනවා’ මම ආබාධිත අයදුම්කරුට දැන්වීමි.

අවසන්කර තිබුණු උත්තර පත්‍ර එකින් එක ගෙන ඒ මත ඇඟිලි තුඩු වේගයෙන් මෙහෙය වූ ඔහු, සෑම පිටුවකම දකුණු පස ඉහල කෙලවර හොඳින් ස්පර්ශ කර කඩදාසි අංක පිළිවෙලට ගොනු කර, සපයා තිබුණු නූල් කැබෙල්ලෙන් එකට ගැට ගැසීය. තව විනාඩි කිහිපයක් කල්පනා කරමින් සිටි ඔහු

‘මම පිළිතුරු සැපයීම අවසානයි. එළියට යන්නට පුලුවන්ද?’ කියා මගෙන් ඇසීය

‘තව පැය භාගයක්‌ පමණ තිබෙනවා. වැඩ අවසාන නම් යන්නට පුළුවනි.’ මම කීවෙමි.

ඔහු නැවත වරක් අපට ස්තුති කර ශාලාවෙන් පිටවිය. ඔහුගේ පියාද ශාලාවේ අප සිටි තැනට පැමිණ අප සියලු දෙනාටම ස්තුති කළේය.

ක්ෂණිකව විසඳා ගත යුතු ගැටළු රාශියක් එවලේම විසඳා, ඉතාම තීරණාත්මක විභාගයක අයදුම් කරුවෙකුට, කරදර බාධක මධ්‍යයේ වුවද, විභාගයට පෙනී සිටීමට ඉඩකඩ ලබාදීමට හැකිවීම ගැන අපි සතුටට පත්වීමු.

මෙහිදී, සංවිධාන කටයුතු වලදී වරදක් සිදුවී ඇති බව පැහැදිලිය. අයදුම් කරු තම විභාග අයදුම් පත්‍රයේ තමා දෘශ්‍යාබාධිත බව සඳහන් කර නොමැතිනම් එය ඔහුගේ වරදකි. ඔහු එසේ සඳහන් කර තිබේ නම්, විභාගය සංවිධානයේදී එය නොසලකා හැර තිබීම බරපතල වරදකි.

කෙසේ වෙතත්, අයදුම් කරු අසහනයකට පත්නොවී, විභාගයට පෙනී සිට උත්තර පත්‍රයක් ලබාදීම නිසා තිබිය හැකි සියලු අඩු ලුහුඬු කම් මගහැර ගැනීමට අපට හැකිවිය. වරදක් සිදුවී තිබේනම් පසුව කරනු ලබන  විමර්ශන වලින් ඒවා හෙළිදරවු කරගත හැකිය.


මෙම අයදුම් කරු විභාගය සමත් වී ඇති බව පසුව දැන ගතිමි.                    

Wednesday, 9 August 2017

ඔහු ‘ඇඳ’ උඩ ......... වැඩි පරෙස්සමට මෙට්‍රසය ‘ඇඳ’ අසල බිම .......

 ජයේ විභාග සඳහා නියමිත විෂයය නිර්දේශ, වසර හත අටකට වරක් සංශෝධනය කිරීම කාලීන අවශ්‍යතාවයකි. මෙයින් බලාපොරොත්තු වනුයේ යල් පැනගිය විෂයය කරුණු ඉවත් කර නව දැනුම විෂයය නිර්දේශ වලට ඇතුලත් කිරීමය. මෙසේ කළ විට එම සංශෝධන පිළිබඳව හැකි ඉක්මනින් විෂයය උගන්වන ගුරුවරුන් දැනුවත් කිරීම අධ්‍යාපන අමාත්‍යංශයේ වගකීමය. මේ සඳහා යොදා ගනු ලබන ක්‍රම වේදය වනුයේ, සේවාස්ථ ගුරු පුහුණුවයි. මෙම කඩිනම් වැඩ පිළිවෙල සාක්සාත් කර ගැනීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනය සහ විභාග දෙපාර්තමේන්තුවද සම්බන්ධ කර ගැනේ. අපොස උසස් පෙළ විද්‍යා විෂයය නිර්දේශ සංශෝධනය කළ එක් වතාවකදි ගුරු සේවාස්ථ පුහුණු සැසි කිහිපයක සේවය කිරීමට මටද ඇරයුමක් ලැබිණ.

හය දෙනෙකුගෙන් යුක්ත අප කණ්ඩායම භාරව සිටියේ රසායන විද්‍යා අධ්‍යක්ෂක වරයෙකු වූ අපගේ ජේෂ්ඨයෙකු වන තිලක්ය. ඔහු ප්‍රවේශමට වැඩ කිරීම ගැන ඕනෑවටත් වඩා උනන්දු වන කෙනෙකි. මෙම ලක්ෂණය නිසා සමහර අවස්ථාවලදී සාමුහික තීරණ ගැනීමද අපහසුවේ. එක් ගුරු සේවාස්ථ පුහුණුවක් පැවැත්වුයේ ම්හියංගණය මහා විද්‍යාලයේය. සේවාස්ථ පුහුණුව සඳහා ගුරුවරු තිස් දෙනෙක් පමණ සහභාගිවුහ.

නේවාසික පහසුකම් සැපයීම සඳහා සුදුසු ස්ථානයක් සපයා ගැනීමට විදුහල්පති තුමාට නොහැකිවී තිබීම නිසා අපට දින දෙකක් නතර වීමට සිදුවුයේ විද්‍යාලයේ විද්‍යාගාරයට යාබද පන්ති කාමරයකය. පුහුණුව සඳහා අවශ්‍ය සමහර විද්‍යා උපකරණ එකලස් කරගැනීම සහ ඉගැන්වීමේ උපකරණ සකස් කර ගැනීම වැනි වැඩ කටයුතු රාත්‍රී කාලයේදීත් කළයුතු නිසා අපී එසේ කිරීමට කැමති වූවෙමු. අපට රාත්‍රියේ නිදා ගැනීම සඳහා සුදානම් කර තිබුණේ පැදුරු සහ කොට්ට පමණකි.

‘මට පිට කොන්දේ වේදනාවක් තියෙනවා  බීම පැදුරක් උඩ  නිදා ගන්නට නම් බැහැ.’  කියමින් තිලක් පෙරැත්ත කරන්නට විය.

එවලේම අප ගැන සොයා බැලීමට විදුහල්පති තුමා පැමිණියේය.

‘අපි මේ රාජකාරි වැඩකට ඇවිත් තියෙන්නේ. මට කොන්දේ අමාරුවකුත් තියෙනවා මටනම් පැදුරක නිදාගන්නට බැහැ.ඇඳක් දෙන්න බැරිනම් මෙට්‍රස් එකක්වත් දෙන්න.’  තිලක් ඇවටිලි කළේය.

‘මෙහෙ ඇඳන් සොයා ගන්න නම් බැහැ සර්. අපේ පුතා බිම දමා නිදාගන්න මෙට්‍රස් එකවත් දෙන්නම්’ කී විට තිලක් කැමති විය.  

ඔහුගේ බලවත් ඉල්ලීම නිසා එක් මෙට්‍රසයක් පමණක් විදුහල්පති නිවසින් ලබාගතහැකි විය.

තිලක්, අපට වෙන්කර තිබුණු පන්ති කාමරයේ ගුරු මේසයට ඩෙස්ක් එකක් යාකර ඒ මත මෙට්‍රසය දමා තාවකාලික ඇඳක් සකස් කර ගත්තේය. ඔහු සිරිත් පරිදි වතුර වීදුරුවක්‌, ඉටිපන්දමක් සහ ගිනිපෙට්ටියක්, කුඩා විදුලි පන්දමක් තාවකාලික ඇඳ අසල පුටුවක් මත තබා ගත්තේය. අප අනික් පස්දෙනා පන්ති කාමරයේ බිම, පැදුරු දමාගෙන නිදා ගැනීමට තැන් පිළියෙළ කර ගතිමු.

පසුදින කිරීමට නියමිත ඉගැන්වීම් වැඩ වලට සුදානම් වීම සඳහා එදින  බොහෝ රෑ බෝ වන තුරු නිදා ගැනීමට නොහැකි විය. අපට සපයන ලද අති පැරණි මේස විදුලි පංකාවේ අමිහිරි නාදයත්, කණ අසලම ‘රුං..... රුං’ ගාමින් සිටින මදුරුවන් නිසාත් නින්ද අසලකවත් නොවිය.

රාත්‍රී එකොළහට පමණ විදුලි පහන නිවා නිදා ගතිමු. විනාඩි කිහිපයකින්  ගිනිකුරක්‌ ගසා ඉටිපන්දම දල්වාගත් තිලක් යමක්‌ කරන්නට සුදානම් විය.

‘මොකද තිලක් නැගිට්ටේ. ‘ඇඳ’ හොඳ මදිද? අපට නම් පැදුර ඇඳකට වඩා හොඳයි.’ මම කීවෙමි.

මම නැගිට විදුලි පහන දල්වීමි. නොනිදා සිටි කව්රුත් කලබල වුහ.

‘මම මේ කල්පනාකළේ මේ මේසේ ඇඳකට වඩා උසනේ. ඒ වගේම පටුයි. මාව මේකෙන් බිමට වැටෙයිද දන්නේ නැහැ කියල බය හිතුනා’ තිලක්‌ගේ පිළිතුර විය.

‘එහෙනම් මෙට්‍රස් එක බිම දමාගෙන ඒක උඩ නිදා ගන්න’ මම කීවෙමි.

‘බිම සීතලයි. එහෙම නම් බැහැ’ කී ඔහු මේසය සහ ඩෙස්ක් එක බිත්තිය අසලට තල්ලු කර මෙට්‍රසය බිමට දැම්මේය.

‘දැන් මොකක්ද කරන්න හදන්නේ.’ මම ඇසුවෙමි.

‘මේසය උස නිසා ඒකෙන් බිමට වැටෙයි කියා මට බය හිතුනා. දැන් බිමට වැටුනත් මෙට්‍රස් එක උඩටනේ. ඒක නිසා වැටුනත්  අතක් පයක්‌ කැඩෙන එකක් නැහැ.’ කියා

ඇතිරිල්ලක් මේසය උඩ දමා ඒ මත නිදාගත්තේය.

නින්දෙන් මෙන් සිටි, අන් සැමටම එය අසා සිනහව නතර කර ගැනීම අපහසු විය.

තිලක්, මෙවැනි බොහෝ අවස්ථාවලදී අනවශ්‍ය ලෙසට ප්‍රවේශම් වීමට පෙළඹීම නිසා ඔහුට අවාසි සිදුවී  ඇති බව කවුරුත් දනිති.