Wednesday, 16 August 2017

බාලිකා විදුහලක කණ්ඩායම් සමීක්ෂණයකදී මතුවූ ගැටළුවක් ........

   දිවංගත මහාචාර්ය රන්ජිත් රුබේරු මැතිතුමා, අධ්‍යාපන අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල් ලෙස සේවය කරන අවදියේදී, පාසැල්වල ඉගැන්වීමේ කටයුතු අධීක්ෂණය සඳහා  ‘කණ්ඩායම් සමීක්ෂණ’ නම් නව සංකල්පයක් හඳුන්වා දෙන ලදී. එයින් බලාපොරොත්තු වූයේ ප්‍රාදේශීය අධ්‍යාපන දෙපාර්තමේන්තුවක සේවය කරණ නිලධාරීන් වැඩි සංඛ්‍යාවක් එක් කණ්ඩායමක් ලෙස විදුහලකට ගොස්  විදුහලේ ඉගැන්වීමේ කටයුතු සහ විෂයය බාහිර ක්‍රියාකාරකම්, ගිණුම් කටයුතු වැනි සියළුම අංශ පිළිබඳව විධිමත් අධීක්ෂණයක් කිරීමයි.

කණ්ඩායම විදුහලට පැමිණෙන දිනය, ප්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්ෂක වරයා විසින් අදාළ විදුහලට කලින් දන්වන නිසා එය ‘හදිසි වැටලීමක්’ නොවීය. මෙම අධීක්ෂණ ක්‍රියාවලිය ඉතාමත් සාර්ථක වැඩ පිළිවෙලක් බවට පත්විය. එහෙත් එය හේතු රහිතව, දෝෂ දර්ශනයට ලක් කළ සමහර අංශ එය ‘කඩාපනින හමුදාවක්’ ලෙසද හඳුන්වන ලදී. බොහෝ අවස්ථාවලදී අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීහුද මෙම අධීක්ෂණ වලට සහභාගී වුහ.

 (දැනට ක්‍රියාත්මක වන  අධ්‍යාපන කලාප, වෙන්කිරීමට පෙර දිස්ත්‍රික්කයකට එකක් බැගින් වූ ප්‍රාදේශීය අධ්‍යාපන දෙපාර්තමේන්තු ස්ථාපිත කර තිබිණ.)

මා සේවය් කළ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන අධ්‍යක්ෂක වරයා විසින් සංවිධානය කරන ලද මෙවැනි කණ්ඩායම් සමීක්ෂණයක් සඳහා දිස්ත්‍රික්කයේ විශාලතම බාලිකා විද්‍යාලයය තෝරා ගෙන, අධීක්ෂණය පවත්වනු ලබන දිනය, කල් වේලා  ඇතිව විදුහලට දන්වා යවන ලදී. දිස්ත්‍රික් කාර්යාලයට අයත් සියළුම මාණ්ඩලික නිලධාරීන්ට  කණ්ඩායමට එකතු වීම සඳහා උපදෙස් ලැබිණ.

නියමිත දින, පසළොස් දෙනෙකුගෙන් පමණ සම්න්විත නිලධාරි පිරිසක් අධ්‍යාපන අධ්‍යක්ෂක තුමාගේ ප්‍රධානත්වයෙන්, විදුහල ආරම්භ කිරීමට පැය කාලකට පමණ කලින් විදුහලට ගියහ.

නියමිත වෙලාවට විදුහල ආරම්භ විය. විදුහල්පති තුමිය සහ ගුරු මණ්ඩලය සියලු කටයුතු මැනවින් සංවිධානය කර තිබිණ. දෙවන කාල ඡේදයේ සිට පන්ති අධීක්ෂණයට සුදානම් කරන ලදී. අංශ භාර ප්‍රධානීන් විසින් එක් එක් නිලධාරියා සඳහා අධීක්ෂණය කළයුතු පන්ති පිලිබඳ තොරතුරු සපයන ලදී. මා හට තොරතුරු ලබාදුන් ගුරු මහත්මිය,

‘සර්ට, 12 ශ්‍රේණිය රසායන විද්‍යාව පන්තියක් හොඳයිනේ. ඒක  මැද ශාලාවේ  F පන්තිය’   කියා ඇඟිල්ල දික් කර පන්තියද පෙන්වූවාය.

මම එම පන්තියට ගියෙමි.

එවෙලේ පන්තියේ ගුරුවරයෙකු නොවිය. පන්තියේ සිසුවියන් ආචාර කර මා පිළිගත්හ. ටික වේලාවක් සිසුවියන් සමග කථාකර,

‘දැන් රසායන  විද්‍යාවට ඉගෙන ගන්නේ කොයි ඒකකයද?’ මම ඔවුන්ගෙන් ඇසුවෙමි.

බාලිකාවන්ගෙන් කිසිම ප්‍රතිචාරයක් නොමැත. ඔවුන් තුෂ්නිම්භූතව සිටිති.

මට පන්තිය වැරදී ඇති බව ඔවුන් තේරුම් ගන්නට ඇත.

ටික වෙලාවකට පසු එක් සිසුවියක් නැගිට,

‘සර්, අපි උසස් පෙළට කරන්නේ බටහිර සංගීතය, අද සංගීත මිස් ඇවිත් නැහැ. රසායන විද්‍යා පන්තිය තිබෙන්නේ එහා ශාලාවේ’ යයි කීවාය.

මම තරමක් අසීරු තත්ත්වයකට පත්වූයෙමි. ඒ බව නොපෙන්වූ  මම , 

‘එහෙනම් අපි බටහිර සංගීතය ගැන ටිකක් බලමු’ කියා පන්ති වාර්තා පොත පෙරලා බැලුවෙමි.

වාර්තා පොතට අනුව, ඔවුන්ට  අවසාන වරට සංගීත භාණ්ඩ වල ව්‍යුහය පිලිබඳව හැඳින්වීමක් කර තිබුණි. මෙය මට හොඳම ප්‍රවේශයක් විය. බටහිර සංගීතය ගැන වැඩි යමක්‌ මා නොදැන සිටියත්, වසර හතලිහකට පමණ ඉහතදී උසස් පෙළ භෞතික විද්‍යාව ඉගෙන ගනිද්දී  ‘ධ්වනිය’ ඒකකය යටතේ ශබ්ද තරංග සහ ඒවා සංගීත  භාණ්ඩ වල උපයෝගී කරගන්නා ආකාරය උගත් බව මට මතක් විය.

මෙහිදී තරමක සම්‍යක් ප්‍රයෝගයක් ගැන කල්පනා කළ මම  බටහිර සංගීත භාණ්ඩ කිහිපයක් නම් කරන ලෙස සිසුවියකට කීවෙමි. ඇය භාණ්ඩ කිහිපයක නම් කීවාය.

මේ වන විට, මා  මෙම පන්තියට යොමුකළ විද්‍යා අංශ ප්‍රධාන  ගුරු මහත්මිය, කලබලයෙන් මෙන් පන්තියට පැමිණ,

‘සමාවෙන්න සර්, මට පොඩි වැරදීමක් උනා. රසායන විද්‍යා පන්තිය තිබෙන්නේ ඊළඟ ශාලාවේ. ඒක සයන්ස් F.  මේ පන්තියට දැන් තිබෙන්නේ  සංගීතය’ කියා මට නියමිත පන්තිය පෙන්වූවාය.

‘ඒකට කමක් නැහැ මම මේ කාල ඡේදය  සංගීත පන්තියේ වැඩ කරන්නම්’ කීවෙමි.

ඇය ඉතාමත් බැගෑපත්ව ‘නැහැ සර්, රසායන විද්‍යා  පන්තියේ ගුරු මහත්මිය සියල්ල සුදානම් කරගෙන බලා සිටිනවා. මට වැරදීමක් උනේ ’ කියා නැවත වරක් කීවාය.

‘මම ඊළඟ කාල  ඡේදයේදී  ඒ පන්තියට එන බව කියන්න’ මම කීවෙමි.

ඇය ආපසු ගියාය. මම සංගීත පන්තියේ සිසුවියන් සමග සංගීත භාණ්ඩවල විද්‍යාත්මක පැත්ත ගැන සාකච්ඡා කළෙමි.

තත් කම්පනය සහ වාතය කම්පනය මගින් ධ්වනිය හටගන්නා ආකාරයත් මෙම මුලධර්ම ඇසුරෙන්  සංගීත භාණ්ඩ සකස් කර ඇති බවත් මම පැහැදිලි කළෙමි.  ඊට පසු බටහිර සංගීත භාණ්ඩ කිහිපයක් සහ අනුරුප දේශීය සංගීත භාණ්ඩ වල ලක්ෂණ පිලිබඳ සංසන්දනයක්, බාලිකාවන්ගේ අදහස්ද ඇතිව කළ හැකි විය. විද්‍යාගාරයේ තිබෙන සරසුලක ආධාරයෙන් සංගීත භාණ්ඩයක  කම්පනය වන තතක කම්පන සංඛ්‍යාතය දළ වශයෙන් නිගමනය කළ හැකි බවද පහදා දුනිමි.

මේ වෙලාවේදී එක් ශිෂ්‍යාවක් තරමක් කුතුහලයකින් යුතුව,

‘සර්, අපට ගිටාරයේ තත්වල සංඛ්‍යාත හඳුනාගන්නා හැටි භෞතික විද්‍යාව උගන්වන මිස් ගෙන් අසාගන්නට පුලුවන්ද?  කියා මගෙන් ඇසීය

‘ඇයි?,....... කිසිම බැරිකමක් නැහැ. විදුහලේ තිබෙන උපකරණ කාටත් පොදු ඒවානේ. මම ඒ ගැන විද්‍යා ගුරු මහත්මියන්ට කියන්නම්’ කීවෙමි.

වසර හතලිහකට පමණ පෙර පාසැල් යන කාලයේ උගත් දෙයක්, නැවත මතක්‌ කර පාසැල් සිසුවියන්ට ප්‍රයෝජනවත් සාකච්ඡාවක් කිරීමට හැකිවීම ගැන මම සතුටට පත්වීමි.

ඊළඟ කාල ඡේදයේදී රසායන විද්‍යා පන්තියට ගියවිට සංගීත සිසුවියන්ගේ අවශ්‍යතාව පිළිබඳවද එම ගුරු මහත්මිය දැනුවත් කළෙමි.

පන්ති අධීක්ෂණයෙන් පසු ගුරු මණ්ඩලය සමග පැවැත්වූ සකච්ඡාවේදී, මා මුහුණ පෑ සිද්ධිය යන්තමින් සඳහන් කළෙමි. 

එය සඳහන් කළ විගසම නැගී සිටි විද්‍යා අංශ භාර ගුරු මහත්මිය,

‘අතපසුවීමක් නිසා මගෙන් සිදුවූ වරදට සමාවන්න’ යයි කීවාය.

‘ඒ අතපසු වීම නිසා, මට වසර හතළිහකට පමණ ඉහතදී ඉගෙනගත් දේ අහම්බෙන් නැවත සිහි කරන්ගන්නට අවස්ථාවක් ලැබුණා. ඒ සම්බන්ධයෙන් මම ඔබ තුමියට ස්තුති කරනවා’ යයි  මම කීවෙමි.

මෙම සිද්ධිය එදින පන්ති අධීක්ෂණයේ රසවත්ම කොටස  බව අධ්‍යාපන අධ්‍යක්ෂක තුමාගේ සම්පිණ්ඩන කථාවේදී  ප්‍රකාශ විය. 
      

  

10 comments:

  1. /* මෙම සිද්ධිය එදින පන්ති අධීක්ෂණයේ රසවත්ම කොටස බව අධ්‍යාපන අධ්‍යක්ෂක තුමාගේ සම්පිණ්ඩන කථාවේදී ප්‍රකාශ විය. */

    ඒ කියන්නේ මේ අධික්‍ෂණ කටයුතු කියන්නේ මහා බෝරිං රැකියාවක්?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික,
      මම මෙතෙක් හිතාගෙන සිටියේ අධ්‍යාපන අධ්‍යක්ෂක තුමා ඒ වගන්තිය විහිලුවට කී දෙයක් ලෙසටයි. මේ අධීක්ෂණ වලදී බොහෝ දේ සාකච්ඡා කර නිරාකරණය කර ගැනීමට හැකිවූ නිසා 'බෝරිං' ක්‍රියාවලියක් කියා කියන්නට බැහැ.

      Delete
  2. එදා වැරදී ගියත් පන්තියෙ ළමුන් පිළිගන්නට ඇතී
    හොදා කාරව වරද සකසා දේශණා දෙන්නට ඇතී
    බෙදා ගත් ඒ පැරණි මතකය ඔබට සිහිවෙන්නට ඇතී
    එදා විද්‍යා ගුරුතුමීනම් බියවෙලා ඉන්නට ඇතී....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමි,
      වැඩක් ඇතිවන ලෙසට මෙහෙයක් නොගෙන පසුවන විට නීති
      කලක් ගතවෙන විටදී පාසැලෙ උගත් දේ අමතක වෙතී
      ඉඩක් ලැබුනොත් දැනුම දෙන්නට අවංකව සිතකින් සිති
      සැකක් නැත සැම විටම සතුටක් සමග ලැබෙතියි පුද තුති

      ඔබට් ජය !

      Delete
  3. අත්දැකීම් !!! මේ වගේ අවස්තා කලමණාකරනය කර ගැනීමට අත්දැකීම් ඉතාමත් වැදගත් වෙනව... ආධුනිකයෙක්නම් බොහෝ වෙලාවට මෙතනදි කලබල වෙනවා.. ඒ අතින් ඔබ බොහෝ ඇසූ පිරූ තැන් ඇති අයෙක්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කල්‍යාණ මිත්‍ර,
      පන්තියක 'ඉගැන්වීම' අධීක්ෂණය සඳහා අදාළ විෂයය පිලිබඳ පුළුල් දැනුමක් අවශ්‍ය නැහැ. ඒ උනත් කරන දේ බොහොම පරෙස්සමෙන් කරන්න ඕනෑ. සම්‍යක් ප්‍රයෝග සහ තැනට සුදුසු නුවණ පාවිච්චි කරන්නත් වෙනවා.

      Delete
  4. වැරදි පන්තියට ගියා උනත් කොර වෙන්නැතුව අගේට ඔය වැඩේ ගොඩ දාගෙන තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      වැරදි පන්තියට ගියත් මම නම් ජාම බෙර ගත්තා. ඒ උනත් අංශ භාර ගුරු මහත්මියට සිදුවූ දෙය ගැන හිතට අමාරූ උනා. පසුව විදුහල්පතිනියගෙන් ඇයට දෝස් මුරයකුත් ලැබී තිබෙනවා.

      Delete