Saturday, 12 August 2017

විභාග ශාලාවේ හදිසි තීරණයක් ගැනීම ........

    ශ්‍රී ලංකා පරිපාලන සේවා විභාගය පැවැත්වූ විභාග ශාලාවක ශාලාධිපති ලෙස සේවය කිරීමට මට අවස්ථාවක් ලැබිණ. විභාග ශාලාව කොළඹ ප්‍රධාන විදුහලකය. එහි ප්‍රධාන ශාලාව සහ පන්ති කාමර දෙකක් විභාගය සඳහා සකස් කර තිබුණ අතර, නිත්‍ය නිරීක්ෂක වරියට අමතරව තවත් නිරීක්ෂකවරු  තිදෙනෙක්ද සපයා තිබුණි. අයදුම් කරුවන් සියයකට වැඩි පිරිසක් විභාගයට පෙනී සිටීමට නියමිතය. විභාගය ආරම්භ කිරීමට තිබුණේ පෙරවරු නවයටය. පැයකට පමණ කලින් විභාග ශාලාවට ගොස්, නිරීක්ෂක වරුද හඳුනා ගැනීමෙන් පසු   සංවිධාන කටයුතු සියල්ල සතුටුදායක බව තේරුම් ගතිමි.

විභාගය ආරම්භ කිරීමට විනාඩි දහයක් පමණ වන විට අයදුම් කරුවන් සියලු දෙනාම පාහේ ශාලාවට පැමිණ සිටියහ. අවසාන විනාඩි කිහිපය තලදී ප්‍රශ්න පත්‍ර පැකට්ටුව විවෘත කිරීමට සැරසෙන විටම, වැඩිහිටියෙකු සමග පැමිණි අයදුම් කරුවෙකු අප සිටි තැනට පැමිණ යමක් පැවසීමට උත්සාහ කරන විට, අතින් කළ සංඥාවක් මගින්  ඔවුන් නතර කර,  නිරීක්ෂක වරුන්ගේද සහාය ඇතිව වාඩිවී සිටි අයදුම් කරුවන්ට  ප්‍රශ්න පත්‍රය බෙදීමට පටන් ගත්තෙමි. මේ සඳහා විනාඩි කිහිපයක් ගතවිය. ප්‍රශ්න පත්‍රය බෙදා අවසන් කළ වහාම ශාලාධිපතිට වැදගත්ම වැඩ කටයුතු කිහිපයක් තිබේ. පැමිණීමේ ලේඛනය ලකුණු කිරීම, අයදුම් කරුවන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම, ලකුණු ලැයිස්තු සකස් කිරීම මෙයින් කිහිපයකි. ඒ සියල්ල තිබියදී මම පැමිණ සිටින අමුත්තන් සමග කතා කිරීමට ශාලාවේ ආලින්දයට ගියෙමි.

‘විභාග ශාලාවට පැමිණියේ මොකද ?’ මම ඔවුන්ගන් ඇසුවෙමි.

සිංහල නොදන්නා බව ඇඟවූ අමුත්තා ඉංග්‍රීසියෙන් කතා කළේය.

We are from Jaffna. Came by night train. The train was late by two hours. That’s why we are late ‘       
‘අපි යාපනේ. ඊයේ රෑ කෝච්චියේ ආවේ. කෝච්චිය පැය දෙකක් පමාවෙලයි කොළඹට ආවේ.  මෙතනට ඒමට ප්‍රමාද වූවේ ඒකයි.’ පියා කීවේය.

වැඩිහිටි අමුත්තා සමග සිටි තරුණයා දෘශ්‍යාබාධීත  තරුණයෙකි. ඔහු පැමිණ සිටියේ විභාගයට පෙනී සිටීමටය.
මම වහාම නාම ලේඛනය පරීක්ෂා කළෙමි. ඔහුගේ නම ලේඛනයේ තිබේ. හැඳුනුම් පත සහ විභාගයට ඇතුළත්වීමේ ලිපිය පරීක්ෂා කළ මම, ඔහුට යාබද කාමරයේ හිඳ  ගැනීමට සලස්වා, ඔහු සමග සිටි, වැඩිහිටි පුද්ගලයා වන ඔහුගේ පියාට, ශාලාවෙන් පිටත වාඩිවී සිටීමට උපදෙස් දුනිමි. එම විභාග අපේක්ෂකයා යාපනයේ ද්‍රවිඩ තරුණයෙකි. සිංහල කිසිවක් නොදනී. ඉංග්‍රීසි මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටීමට අයදුම් කර තිබේ. චතුර ලෙස ඉංග්‍රීසි කථාකළ ඔහු බ්‍රේල් උපකරණයක් සහ අවශ්‍ය බ්‍රේල් කඩදාසි ද  ගෙනැවිත් තිබිණ.

මෙවැනි දෘශ්‍යාබාධීත අයදුම් කරුවෙකු සිටින බවට කිසිම තොරතුරක් විභාග ශාලාධිපති වන, මා වෙත සපයා නොතිබුණි. බ්‍රේල් ප්‍රශ්න පත්‍රද නොමැත. දැන් කාලයද විනාඩි දහයක් පමණ පසුවී ඇත. මෙම ගැටලුව පිළිබඳව ඔහු සමග සුහදව කථා කළ විට ප්‍රශ්න පත්‍රය ඉංග්‍රීසියෙන් කියවුවහොත් ඔහුට බ්‍රේල් යන්ත්‍රයෙන්, ඔහු ගෙනවිත් තිබුණු බ්‍රේල් කඩදාසි වල සටහන් කර ගත හැකි බව කීවේය.

මෙය මට මහත් අස් වැසිල්ලක් විය.

ශාලාධිපති ලෙස, මට නියමිත වැඩ කටයුතුද වහාම කළ යුතු නිසා, නිත්‍ය නිරීක්ෂක වරිය කැඳවු මා ප්‍රශ්න පත්‍රය කියවීම ඇයට පැවරීමට සුදානම් වුයෙමි. ඇයට ඉංග්‍රීසි කියවීමේ දුෂ්කරතාවක් ඇති බව කීවාය. අනිකුත් නිරික්ෂක වරුන්ගේ ප්‍රතිචාරයද එයම විය. 

මට නියමිත විභාග ශාලාවේ අත්‍යවශ්‍ය වැඩ කටයුතුද පමාකළ නොහැකිය. මෙම අයදුම් කරුට ප්‍රශ්න පත්‍රයද දිය යුතුමය. ඒ සමගම විභාග දෙපාර්තමේන්තුව අමතා විසඳුමක්ද ලබා ගත යුතුය. (ඒ කාලයේ ජංගම දුරකථන නොතිබුණි)

විදුහලේ කාර්යාලයෙන් විභාග දෙපාර්තමේන්තුවේ හදිසි අංශය අමතා, මෙම සිද්ධිය දන්වන ලෙස එක් නිරීක්ෂක වරයෙකුට පැවරුවෙමි.

ප්‍රධාන ශාලාව නිත්‍ය නිරීක්ෂක වරියට සහ තවත් එක නිරික්ෂකවරයෙකුට පවරා, දෘශ්‍යාබාධීත අයදුම් කරු වෙත ගියෙමි. දැන් විභාගය ආරම්භකර විනාඩි විස්සක් පමණ ගතවී තිබේ.

‘වීභාග ශාලාවකට පැමිණෙන අව්‍යාජ අයදුම්කරුවෙකුට කුමන හේතු තිබුනත් විභාගයට පෙනී සිටීමට ඉඩකඩ සැලැස්විය යුතුය. අනිකුත් සියලුම ගැටළු පසුව තෝරා බේරා ගත හැකිය’ යනුවෙන්  අපට ලැබී තිබුණු මහඟු උපදෙස අනුගමනය කිරීමට තීරණය කළ මා, දෘශ්‍යාබාධීත අයදුම් කරු සමග කථාකර,

‘මම ප්‍රශ්න පත්‍රය කියවන්නම් ඔබ එය බ්‍රේල් කඩදාසි වල සටහන් කරගන්න’

කියා ඔහු ළඟ තිබුණු කඩදාසි පරීක්ෂා කර බලා, ඒවායේ කලින් කළ සටහන් නොමැති බවට‍ සෑහීමට පත්වී, එම කඩදාසි වල ඉහල දකුණු කොනේ, මගේ කෙටි අත්සන යොදා, ඔහුට දුන්නෙමි.
ඔහු ළඟ තිබුණේ කඩදාසි දෙකක් පමණකි.
ප්‍රශ්න පත්‍රයේ කොටස් සතරකි. එක කොටසක ප්‍රශ්න හතර බැගින් ප්‍රශ්න දහසයකි. එක් කොටසකින්  ප්‍රශ්න එක බැගින් තෝරාගෙන ප්‍රශ්න හතරකට පමණක් පිළිතුරු සැපයීමට උපදෙස් දී තිබේ.

මම උපදෙස් පැහැදිලිව කියවුවෙමි. ඔහු අසා සිටිනවා පමණකි.

‘ඇයි, ........  සටහන් කර ගන්නේ නැද්ද?’ මම ඇසුවෙමි.

තම කණ දෙසට ඇඟිල්ල දිගු කල ඔහු තමා අසාගෙන සිටින බව ඇඟවීය.

මම පළමුවන ප්‍රශ්නය කියවුවෙමි. ඔහු නිහඬය. ඊළඟ ප්‍රශ්නය  කියවන ලෙස ඔහු ඇඟිලි දෙකකින් සංඥාවක් කළේය. එයටත් ඔහු නිහඬය. ඔහුගේ නිශ්ශබ්දතාව මට ගැටලුවකි. මම තුන්වන ප්‍රශ්නය කියවන විට ම්හු මා කියවන වේගයෙන්ම බ්‍රේල් ටයිප් කරන්නට විය.

‘හතරවන ප්‍රශ්නය එපා. ඊළඟ කොටසට යන්න’ ඔහු සෙමින් කීවේය.

මේවන විට විභාග දෙපාර්තමේන්තුවට පණිවුඩය දීමට පැවරු නිරීක්ෂක වරයා පැමිණ පණිවුඩය භාරගත් බවත් අවශ්‍ය සියලුම දේ රැගෙන නිලධාරියෙක් පැය භාගයක් ඇතුලතදී පැමිණෙන බවත් දැන්වීය. එසේ පැමිණෙන නිලධාරියා මා සමග එකට වැඩ කරන අයෙකි.

අයදුම්කරු දෙවන කොටසේ  ප්‍රශ්න කිසිවක් සටහන් කර ගත්තේ නැත.

‘සෑම  කොටසකින්ම එක ප්‍රශ්නයක් තෝරා ගන්නට ඕනෑ නේද?’ මම ඔහුට මතක් කළෙමි.

‘මම දන්නවා. කරුණාකර දෙවන කොටසේ පළමුවෙනි ප්‍රශ්නය නැවත කියවන්න.’ ඔහු ඉල්ලා සිටියේය.

මම එය නැවත කියවීමි. මා කියවන වේගයෙන්ම, ඔහු බ්‍රේල් යන්ත්‍රය ක්‍රියාත්මක කළේය.

මේ ආකාරයට තුන්වන සහ හතරවන කොටස් වලින්ද ඔහුට අභිමත ප්‍රශ්න තෝරාගෙන සටහන් කර ගත්තේය.

‘තෝරාගත් ප්‍රශ්න නැවත කියවන්නට අවශ්‍යද? ‘ මම ඔහුගෙන් ඇසීමි.

‘නැහැ. මම සටහන් කර ගත් ඒවායින් කියවන්නම්. කරුණාකර, හරිද කියා ප්‍රශ්න පත්‍රයෙන් බලන්න’ යයි කී ඔහු

පියවි ඇසින් බලාගෙන කියවන වේගයෙන්ම ඇඟිලි තුඩු හසුරුවමින් සටහන් කරගත් ප්‍රශ්න සියල්ලම කියවීය.
ඔහු සටහන් කරගත් ප්‍රශ්න වල කිසිම අඩුවක් නොවිය.

මම ඔහුට සුබ පැතීමි. ඔහු මඳ සිනහවක් පා

’ඔබට ඉතාමත් ස්තුතියි’  කියා

බ්‍රේල් යන්ත්‍රය මත ඇඟිලි වේගයෙන් හසුරුවන්නට පටන් ගත්තේය, ඒ වන විට විනාඩි හතලිහක් පසුවී තිබිණ. ඔහුට එවෙලේ සිට නියමිත කාලය ලැබෙන බව පවසා මම අතපසුවූ මගේ රාජකාරි වැඩ කොටස ආරම්භ කළෙමි.  

මේ වන විට විභාග දෙපාර්තමේන්තුවේ මගේ රාජකාරි මිතුරා අවශ්‍ය සියලු  දේ රැගෙන පැමිණියේය. දෘශ්‍යාබාධිත අයදුම්කරුගේ ඉතිරි නිරීක්ෂණ කටයුතු සියල්ල භාරගත් ඔහු,  මගේ ඉතිරි වැඩ කටයුතු කරගන්නා ලෙස  ඉල්ලා සිටියේය.

සිද්ධිය පිළිබඳව කෙටි ජර්නල් සටහනක්  වහාම ලියා තැබූ මම, කඩිනමින් මගේ ඉතිරි වැඩ කටයුතු පටන් ගත්තෙමි.

පැයකින් පමණ විභාගයට අදාළ මගේ සියලු කටයුතු අවසන් කර, මෙම විශේෂ අයදුම්කරු සිටින ස්ථානයට ගියෙමි. ඒ වන විට ඔහු කඩදාසි හත අටක්ම බ්‍රේල් වලින් අවසන් කර තිබුණි.

නියමිත කාලය අවසානයේදී, උත්තර පත්‍ර එකතු කර ගැනීමෙන් පසුව, සියලුම අයදුම් කරුවන් සාවධානව ශාලාවෙන් පිටවී ගියහ.

‘ඔබට තව විනාඩි හතලිහක් තිබෙනවා’ මම ආබාධිත අයදුම්කරුට දැන්වීමි.

අවසන්කර තිබුණු උත්තර පත්‍ර එකින් එක ගෙන ඒ මත ඇඟිලි තුඩු වේගයෙන් මෙහෙය වූ ඔහු, සෑම පිටුවකම දකුණු පස ඉහල කෙලවර හොඳින් ස්පර්ශ කර කඩදාසි අංක පිළිවෙලට ගොනු කර, සපයා තිබුණු නූල් කැබෙල්ලෙන් එකට ගැට ගැසීය. තව විනාඩි කිහිපයක් කල්පනා කරමින් සිටි ඔහු

‘මම පිළිතුරු සැපයීම අවසානයි. එළියට යන්නට පුලුවන්ද?’ කියා මගෙන් ඇසීය

‘තව පැය භාගයක්‌ පමණ තිබෙනවා. වැඩ අවසාන නම් යන්නට පුළුවනි.’ මම කීවෙමි.

ඔහු නැවත වරක් අපට ස්තුති කර ශාලාවෙන් පිටවිය. ඔහුගේ පියාද ශාලාවේ අප සිටි තැනට පැමිණ අප සියලු දෙනාටම ස්තුති කළේය.

ක්ෂණිකව විසඳා ගත යුතු ගැටළු රාශියක් එවලේම විසඳා, ඉතාම තීරණාත්මක විභාගයක අයදුම් කරුවෙකුට, කරදර බාධක මධ්‍යයේ වුවද, විභාගයට පෙනී සිටීමට ඉඩකඩ ලබාදීමට හැකිවීම ගැන අපි සතුටට පත්වීමු.

මෙහිදී, සංවිධාන කටයුතු වලදී වරදක් සිදුවී ඇති බව පැහැදිලිය. අයදුම් කරු තම විභාග අයදුම් පත්‍රයේ තමා දෘශ්‍යාබාධිත බව සඳහන් කර නොමැතිනම් එය ඔහුගේ වරදකි. ඔහු එසේ සඳහන් කර තිබේ නම්, විභාගය සංවිධානයේදී එය නොසලකා හැර තිබීම බරපතල වරදකි.

කෙසේ වෙතත්, අයදුම් කරු අසහනයකට පත්නොවී, විභාගයට පෙනී සිට උත්තර පත්‍රයක් ලබාදීම නිසා තිබිය හැකි සියලු අඩු ලුහුඬු කම් මගහැර ගැනීමට අපට හැකිවිය. වරදක් සිදුවී තිබේනම් පසුව කරනු ලබන  විමර්ශන වලින් ඒවා හෙළිදරවු කරගත හැකිය.


මෙම අයදුම් කරු විභාගය සමත් වී ඇති බව පසුව දැන ගතිමි.                    

14 comments:

  1. ප්‍රශ්ණ එන්නේ විසඳුම් සමඟමයි. ප්‍රශ්ණය සහ එයට කවුරු වගකිවයුතුද යන්න සෙවීම පසෙකලා විසඳුම පැත්තේ සිට ප්‍රශ්ණය දෙස බලන ඔබේ අත්දැකීම් ගැන කීමට වචන නැහැ. මටනම් එකක් පැහැදිලියි. ඔබ ඔබගේ රාජකාරි ජීවිතය ගතකර ඇති ආකාරය ගැන සත්‍ය වශයෙන්ම සෑහීමකට පත්වන කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්,
      බොහෝ අය විසඳුම දකිමින්ම ගැටලුව මග හරිනවා.මා හිතන්නේ හේතු ඵල ධර්මයට අනුවත් සෑම ප්‍රශ්නයකටම වහාම ගතහැකි තාවකාලික විසඳුමක් හෝ දිගු කාලීනව ලැබෙන විසඳුමක් තිබෙනවා. අත්දැකීම් මෙසේ සටහන් කරතැබීම හොඳයි කියා සිතුන නිසයි මේ මාධ්‍යය තෝරා ගත්තේ.

      Delete
  2. ඔබ ඒ අවස්ථාවේදී ක්‍රියාකර ඇති ආකාරය අගය කළ යුතුයි. ඒ වගේම ඒ තරුණයාත් කලබලයකින් තොරව සුහදව කටයුතු කර ඇති නිසා එය ඔබට මහත් අස්වැසිල්ලක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      මෑ එවෙලේ එසේ නොකළානම් විභාග දෙපාර්තමේන්තුවේ හොඳ නමට කැළලක් වෙනවා.
      /‘වීභාග ශාලාවකට පැමිණෙන අව්‍යාජ අයදුම්කරුවෙකුට ............. ඉඩකඩ සැලැස්විය යුතුය./ යන මහඟු උපදෙස මා එවෙලේ අකුරටම ක්‍රියාත්මක කළා

      Delete
  3. ඇසත් නොපෙනුනත් එය නොකියමින් අඬා
    ඔහුත් පෙනී හිටියලු කිසිවක් නොදොඩා
    ඔබත් උදව් කෙරුවේ සේවයට වඩා
    නෙතත් රතුවෙලා වැටෙනව කඳුලු කඩා....

    ඔබතුමාගේ උතුම් සේවාව හැමදාමත් ගරු කරමි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමි,
      ආබාදයක් ඇති කෙනෙකුට සැලකීම
      උතුම් ගුණයක්ය ලබනා සැනසීම
      කළ උපකාරයත් සිහිකර සැමදාම
      තුති පුද කරති සමහරු නොවරදවාම

      ඔබට ජය!

      Delete
  4. හොඳ අත්දැකීමක්!
    හොඳ කතාවක් අපට!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික,
      අත්දැකීමත් එක්කම වැඩ කළ විභාග දෙපාර්තමේන්තුවේ හොඳ නමත් බේරාගන්නට හැකි උනා.

      Delete
  5. අපි බොහෝ වෙලාවට දකින්නේ තමන්ගේ තනතුරේ (නැති ) රැස් පෙන්නන්න හදන මිනිස්සු. වැඩක් නොකරන්න හේතු තමයි හොයන්නෙ. ඒ අතින් ඒ තරුණයාට සාධායණයක් කරන්න ඔබ ගත් උත්සාහය බොහොම අගෙයි. එක් විභාගයකදී මටත් හැඳුනුම්පත නැතිව පොඩි ප්‍රශ්නයක් ආවා. නමුත් මගේ පාසලේ ගුරුවරයෙකුගේ මාර්ගයෙන් මගේ අනන්‍යතාවය තහවුරු කරගන්න ශාලාධිපති කටයුතු කලා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිසර,
      /තනතුරේ (නැති ) රැස්/ මා හිතන්නේ ඔය කියන විදියට 'රැස්' පෙන්නන්න හදන්නේ සුදුසුකම් නොලබා තනතුරු වලට එන අය. ඔහු දෘශ්‍යාබාධිත වුවත් අති දක්ෂයෙක් බව තේරුණා. කොහොමත් එවැනි එක අඩුපාඩුවක් තිබෙන අයගේ අනිකුත් ප්‍රතිචාර ඉතාමත් තීව්‍රයිනේ. ඔනෑම අයදුම්කරුවෙකුට සාධාරණ උදව්වක් කිරීමට ශාලාධිපතිට අවසර තිබෙනවා.

      Delete
  6. දැන් නම් විශේෂ අවශ්‍යතා සහිත අයට නිසි පහසුකම් ලැබෙනවා විභාගවලදී.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Pra Jay,
      ඉස්සරත් ඔය කියන විශේෂ පහසුකම් තිබුණා. මෙහිදී අයදුම්කරුගෙන් හෝ සංවිධාන කටයුතු වලදී අඩුපාඩුවක් වෙලා තිබෙනවා. හැකිනම් දෙපැත්තම බේරා ගැනීමයි ශාලාධිපතිගේ යුතුකම.

      Delete
  7. අගෙයි. හැමදෙනාම කියවන්න ඕනි ලිපියක්.. වැඩ නොකෙරෙන විදියම හොයන නිළධාරීන් මට පේන්න බෑ..

    ReplyDelete
  8. ස්තුතියි කල්‍යාණ මිත්‍ර,
    වැඩ නොකර සිටින්නේ වැඩ බැරි අයයි !.

    ReplyDelete