Saturday 26 August 2017

ඉබ්බාගේ සහ හාවාගේ දිවීමේ තරඟයට නව අර්ථ කථණයක්......

   සස් පෙළ සිසු සම්මන්ත්‍රණයක ධනාත්මක චින්තනය ගැන දේශනයක් පැවැත්වීමට පැමිණි දේශකයෙකු ඉබ්බාගේ සහ  හාවාගේ දිවීමේ තරඟය උදාහරණයක් ලෙස ගෙන, එහි ආදර්ශය කාලීනව වෙනත් අයුරකින් අර්ථ නිරුපණය කළ ආකාරය ගැනයි මේ සටහන.


“හොඳයි මම අභියෝගය පිලිගන්නවා”
ඉබ්බා ඉතා සෙමින් ගමන් කරන කෙනෙකු බව හොඳින් දන්නා හාවා තම දිවීමේ හපන් කම පෙන්වීම  සඳහා, ඉබ්බා හොඳම තැනැත්තා බව තීරණය කර ඔහු හමුවී  දිවීමේ තරඟයකට මෙසේ අභියෝග කළේය. 

‘ඉබි උන්නැහේට කිසිම දවසක බැහැ  මා එක්ක දුවලනම් දිනන්න. අපි දෙන්නා දුවලා බලමුද? 

ටික වෙලාවක් කල්පනා කළ ඉබ්බා

‘හා ... හොඳයි මම අභියෝගය පිලිගන්නවා’

හාවාගේ ආඩම්බර කම දන්නා ඉබ්බා කිවේය. හාවාට ඉබ්බාගේ ක්‍ෂණික පිළිතුර ගැන තරමක මදි කමක්ද ඇති විය.

නියම කරගත් දිනයේ දෙදෙනාම දිවීමේ තරඟය පවත්වන ස්ථානයට ගියහ. ගිවිස ගත් පරිදි තරඟය ආරම්භ කළහ. ආඩම්බර හාවා දිනුම් කනුව පෙනෙන තෙක් මානයට ගොස් ඒ අසල තිබුණු ගසක් යටට වී ගිමන් හරින්නට විය. ඉබ්බා තමන්ගේ සුපුරුදු ඉබි ගමනින් ගියේය, ගස යට ගිමන් හරිමින් සිටි හාවා කම්මැලි කම නිසාම තද නින්දට වැටුණි. හාවා අහම්බෙන් මෙන් නින්දෙන් අවදි වන විටම, දිනුම් කනුව පසු කරණ ඉබ්බා දැක තම උඩඟු කම නිසාත්, කුසීත කමෙන්, නින්දට ගිය නිසාත් තරඟයෙන් පරාජය වීම ගැන කම්පාවට පත්විය.


ඉබ්බා ජය කනුව වෙත පැමිණෙන විටත් හාවා ගස යට නිදි !

‘මන්දගාමිව වුවත්, ස්ථිරසාර අධිෂ්ඨානයකින්  යුතුව කටයුතු කරන්නා ජය ගනී’      (slow and steady wins the race) යන්න මෙයින් පැහැදිලි වේ. අප කවුරුත් කුඩා අවදියේදී ඉගෙන ගන්නේ මේ පාඩමයි.

නව අර්ථ කථණයට පිවිසුම මෙසේය.

පසු දිනකදී  ඉබ්බා සමග යළිත් සාකච්ඡා  කළ හාවා, නැවතත් දිවීමේ තරඟයක් පැවැත්වීමට යෝජනා කළේය. තම ජයග්‍රහණයෙන් උද්දාමයට පත්ව සිට ඉබ්බාද එයට එකඟ විය.
එදින, කුසිත කම සහ කම්මැලිකම නොමැතිව තරඟයට සහභාගිවූ හාවා පහසුවෙන් ජයග්‍රහණය කළේය.

එදින ඉබ්බා කළ දේ මෙසේ දැක්විය හැකිය

‘මන්දගාමිව වුවත්, ස්ථිරසාර අධිෂ්ඨානය යහපත්ය. එහෙත්  විශ්වාසනීයත්වයකින් යුතුව වේගවත්ව ක්‍රියා කිරීම  එයට වඩා වැදගත්ය.

(Fast and consistent will always beat the slow and steady but better to be fast and reliable.)

මෙයින් පසුබට නොවූ ඉබ්බා ටික දිනකට පසු,  හොඳින් කල්පනාකාර බලා

‘මල්ලි .... අපි වෙනත් ධාවන පථයක තරඟයකට දුවමු’ කියා හාවාට යෝජනා කළේය. 

‘බකල, කොට ඉබ්බෙකුට මා සමග දුවන්නට පුලුවන්ද?’ යයි සිතමින් ආඩම්බර වූ හාවා අභියෝගය භාර ගත්තේය.

‘ඔබගේ හර නිපුණතා හඳුනාගෙන ඒවාට ගැලපෙන පරිදි වැඩ බිම සකස් කර ගන්න.’

(Identify your competency and then change the playing field to suit your competency.)

ඉබ්බා කර තිබෙන්නේ මෙයයි

නියමිත දිනයේදී තරඟය ආරම්භ විය. සුපුරුදු ලෙස හාවා  හැකිතරම් වේගයෙන් දුව ගියේය. එහෙත් ඉබ්බා, ඉබි ගමනෙනි. අලුත් ධාවන පථයේ, අවසානය කිට්ටුව ගඟක් තිබෙන බව හාවා නොදත්තේය. ජය කණුව ගඟට  එගොඩ පෙනෙන තෙක් මානයේය. එහෙත් ගඟෙන් එගොඩ වීමට නොහැකි බැවින්, කර කියා ගත හැකි දෙයක් නොමැතිව හාවා ලතවෙමින් සිටියේය. ටික වෙලාවකට පසු එතනට පැමිණි ඉබ්බා, ලතවෙමින් සිටි හාවා  නොදුටුවා සේ, ගඟට බැස පිහිනා එගොඩට ගොස් දිනුම් කණුව පසු කළේය.

හාවාට දෙවන වරටත් අත්වුයේ පරාජයකි.


දිවීමේ ඉතිරි කොටස ගගකින් එගොඩ පැත්තේය ...!

කෙසේ වෙතත් ඉබ්බා සහ හාවා දැන් ගජ මිතුරන්ය.

ඔව්හු තම ජය පරාජයන් සහ ඒවාට හේතු පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා කළහ. තමන් දෙදෙනාටම වෙන වෙනම හපන් කම් තිබෙන බව දෙදෙනාම පිළි ගත්හ.

පෞද්ගලිකව අති දක්ෂ වීම සහ  සවිමත් නිපුණතා තිබීමත් යහපත්ය.

(It is good to be individually brilliant and to have strong core competencies)

ඉබ්බාට පිහිනීමේ නිපුණතාවත්, හාවාට දිවීමේ නිපුණතාවත් තිබිම මෙම දක්ෂතාය.



හාවා ඉබ්බාගේ පිට උඩ නැග ගඟින් එතෙර විය

‘එහෙනම් අය්යේ..... අපි දෙදෙනාම එකතුවී සාමුහික දිවීමක් කරමුද?’ කියා හාවා යෝජනා කළේය.

‘ඒ උනාට මල්ලි, මට ඔයාගේ වේගයෙන් යන්නටත් බැහැ. ඔයාට මගේ ඉබි ගමනින් යන්නටත් බැහැ. ඉතින් කොහොමද සාමුහික දිවීමක් කරන්නේ’ ඉබ්බා ඇසිය.

‘අපි මෙහෙම කරමු.  අපි දෙදෙනා කලින් වගේ එකම වෙලාවට දුවන්න පටන් ගනිමු. ගඟ ළඟට එනතුරු  මම ඔබව කරේ තියාගෙන දුවන්නම්. ගඟෙන් එතෙර වීමට, ඔබගේ පිට උඩ මා තබාගෙන එගොඩට පීනන්න. ඊට පසු කොටසත්, මම ඔබව කරේ තියාගෙන ගොස් දෙදෙනාම එක වර දිනුම් කණුව පසු කරමු.’

‘හරිම හොඳ අදහසනේ. අපි එකිනෙකාගෙන් වෙන් වෙලා සිටින තාක් කල් උදම් ඇණිය හැකි දිනුමක් නැහැ......... මම කැමතියි. එහෙම කරමු.’

මෙම සාකච්ඡාවෙන් පසු තීරණය කරගත් පසු දිනක, දෙදෙනාම පිටියට පිවිස දිවීම ආරම්භ කරන ස්ථානයට පැමිණියහ. විධානය ලැබුණු විගසම ඉබ්බා කරට ගත් හාවා සාමාන්‍ය වේගයෙන් දුවගොස්  ගඟ අද්දරට පැමිණියේය.

හාවාගේ කර උඩ සිට  බිම තැබූ පසු, ඉබ්බා ගඟට බැස හාවා තම පිට උඩ තබාගෙන එගොඩට පිහිණුවේය. එගොඩදී නැවතත් ඉබ්බා කරට ගත් හාවා සාමාන්‍ය වේගයෙන් දුවගොස් දෙදෙනාම එකවර දිනුම් කනුව පසු කළහ.

දෙදෙනාම දිණුම් ......~

‘හරියට හරි......... එකතු වෙලා වැඩ කළ නිසා අප දෙදෙනාම දිණුම්’ කියමින් හාවා සතුටින් ඉපිලෙමින්  බඩ  පිනුමක්‌ ගැසිය.

එකිනෙකාගේ හර නිපුනතා විධිමත්ව උපයෝගී කර ගනිමින් සාමුහිකව කටයුතු නොකළහොත්, අවසාන කාර්ය සාධනය, සම්මතයන්ට අනුකුල නොවන අතර, ඔබගේ ප්‍රතිදානයද හීන වී, එවැනි අවස්ථාවලදී  අනිකෙකු ඔබට වඩා පෙරමුණේ සිටිනු ඇත.

(Unless you are able to work as a team  and harness each other’ core competencies you will always perform below par, because there  will always be situations at which you will do poorly and someone else does well.)

යම්කිසි කාර්යයක් කිරීමේදී, එයට අදාළ හර නිපුණතා සහිත සමුහයක් විසින්, එකාවන්ව කටයුතු කර, සම්මුතියකට එළඹීම, කණ්ඩායම් වැඩක් ලෙස සැලකේ.

(Team work, Is mainly about a situational leadership letting to perform a task  with the relevant core competencies at hand to handle the situation)


22 comments:

  1. //එදින, කුසිත කම සහ කම්මැලිකම නොමැතිව තරඟයට සහභාගිවූ ඉබ්බා පහසුවෙන් ජයග්‍රහණය කළේය.//
    //ලතවෙමින් සිටි ඉබ්බා නොදුටුවා සේ// මේ තැන් දෙකේ ඉබ්බා හාවා වෙන්න ඕන නේද?

    මොනව උනත් අගේට අර්ථ නිරූපණය කරල තියෙනව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      අඩුපාඩුව පෙන්වා දුන්නාට නැවත වරක් ස්තුතියි. මේ දැන් නිවැරදි කළා. මා හිතන්නේ දැන් හැදෙන ළමයින්ට උගන්වන්නට ඕනෑ ඔය ආකාරයටයි. පැරණි විධියට දෙන්නාටම නැති බැරි කම් තිබෙනවා. අලුත් වීධියට දෙදෙනා එකමුතු වූ විට ඒ සියල්ල මග හැරෙනවා.

      Delete
  2. තමන් ළඟ ඇති දක්ෂතාවය හිතට ගෙන පමණට වඩා
    හදින් උඩගුව ඉද්දි පැරදුම ඒවි ළඟටම අඬ අඬා
    හොඳින් අන් අය සමග වැඩ කර සුහදතාවෙන් දොඩ දොඩා
    ඉතින් එකමුතු වීම වටිනව ළෝකෙ වෙන දේකට වඩා....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies

    1. ස්තුතියි දුමි,
      පුංචි කාලේදී ඉගෙන ගත්තේ තරඟයට දුවනා බවයි.
      එයම තරමක් වෙනස් කරලා තවත් හැඩ වැඩ කර තිබෙයි
      හොඳින් බැලු විට පෙනෙනවා මෙය දුවන තරඟයකුත් නොවෙයි
      සාමුහික වගකීම ඇත්නම් ලැබෙන වාසිය නම් වැඩියි.

      ඔබ්නට ජයම !

      Delete
  3. දයා මහත්තයට මම හිතන්නෙ මතක ඇති හෙන්රි තෙන්නකෝන්..අර හැත්තෑගණංවල ලංකාදීපෙ සමාජ සමයං කාටූන් එක ඇන්දෙ හෙන්රි තෙන්නකෝන් තමයි....

    එතකොට නවයුගය පත්තරේ මතකයිනේ? නවයුගයෙ පලවුනා "අද එතැන් සිට" කියල තීරු ලිපියක්. ඒකෙ තිබ්බෙ ඔය පරණ ජනකතා එහෙම අවසන් වෙන තැන ඉඳල ඉස්සරහට ලියපුව.

    එල්.සී. ජයසිංහ කියන නමින් ඒ තීරු ලිපි ලියල තියෙන්නෙ හෙන්රි තෙන්නකෝන් මහත්මයාමයි. ලංකාදීපෙ වැඩ කරන ගමන් ලේක් හවුස් පත්තරේකට තමන්ගෙම නමින් ලියන එක හරි මදියි කියල හිතලයි එයා එහෙම කලයි කියන්නෙ. එල්.සී. ජයසිංහ කියන්නෙ හෙන්රිගෙ නෝනගෙ නම.

    ඔය හාව ඉබ්බගෙ රේස් දිවිල්ලෙ කතාවෙත් ඊට පස්සෙ වෙච්චි හරිය එක අද එතැන් සිට තීරු ලිපියක පලවුනා මට මතකයි. ඒ මෙහෙමයි..

    ඉතිං ඉබ්බට පැරදිච්චි එක හාවට හරිම හිතට අමාරුයි. කල්පනා කරල කරල හාව ආයම ඉබ්බට චැලේන්ජ් කලා රී-මැච් එකකට. ඒ කිව්වෙ ආයම රේස් එකක් තියන්ට. ඉබ්බත් කැමති වුනා.

    ඔන්න ආයම රේස් එක පටන් ගත්ත. හාව පුරුදු විදිහට පිම්ම ගහල ගිහිල්ල දිනුම් කණුව පේනතෙක් මානෙට ආව. ඉබ්බ නෑ අහල ගං හතක. කලිං දවසෙ නින්ද ගිය සීන් එක නිසා හාව මේ පාර නිදාගත්තෙ නෑ. පාර අයිනට වෙලා බලා හිටිය ඉබ්බ කොයි වෙලාවෙ ගාට ගාට ඇවිදිං මතුවෙයිද කියල කෝචොක් එකකුත් දාල දුවල ගිහිල්ල දිනුම් කනුව පහු කරන්ට හිතාගෙන.

    දැං ඔය අතරෙ ඉබ්බ ඔන්න ගාට ගාට පාර දිගේ එනව.ඒ අස්සෙ ඔතනිං බයිසිකලේක නැඟල ආව ගමේ ඉලන්දාරියෙක්. මිනිහ මේ ආපහු ගෙදර යනව ටවුමට ගිහිල්ල අරක්කු බෝතලේකුත් අරගෙන. හැඬල් එකේ එල්ලපු පං මල්ලක අරක්කු බෝතලෙත් තියනව.

    හෙමීට හෙමීට ගාට ගාට පාර දිගේ යන ඉබ්බ දැක්කම මිනිහට ඉහිලුම් නැති සංතෝසයක් ආව.

    "යකෝ දෙන දෙයියො ඇන ඇන දෙනව කියන්නෙ මෙව්වටනෙ. නැත්තං කවද්ද ඉබ්බො පාරවල් දිගේ ගියේ. මූ නියමයි මේ බෝතලේ ගහන්ට බයිට් එකට" එහෙම හිතල මනුස්සය කරන්නෙ බයිසිකලේ නවත්තල ඉබ්බව අරගෙන අර පං මල්ලටම දාගන්නව. දැං ඔන්න මිනිහ ආයම පාගල යනව පාර දිගේ ඉස්සරහට.

    ඔන්න ඊලඟ වංගුවෙන් හැරිච්චි ගමං හාවත් ඉන්නව පාර අයිනෙ. මිනිහ හාවව දකින්නෙ නෑ.

    ඒත් පං මල්ල අස්සෙං බලා ඉන්න ඉබ්බ හාවව දකිනව. හාවව පහුකරගෙන හැටට හැටේ බයිසිකලේ යනකොටම ඉබ්බ පං මල්ලෙන් ඔලුව එලිය දාල කෑගහනව.

    "ඒයි හාවෝ උඹ අදත් පරාදයි හූ..හූ..හූ.."

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රවී,
      ඉබ්බගෙයි හාවගෙයි ඔය කතන්දරේ මම දැනගෙන හිටියේ නැහැ. එහෙම වූවානම් මට කතන්දරේ කොටස් කිහිපයකට ලියන්නට තිබුනා. ඒකේ ඉබ්බා හොද්දට යන්න ටික වෙලාවක් තිබෙද්දිත් හාවට කෝචෝක් එකක් දාපු එකනම් හරි මරු. අර මිනිහට කිව්වද දන්නේ නැහැ හා මස් ඉබි මස් වලට වඩා හොඳයි කියා.

      ඉතීන්, ඔය හෙන්රි තෙන්නකෝන් මගේ හොඳ මිතුරෙක්. එයා ඒ කාලේ කළුතර විද්‍යාලයේ ගුරුවරයෙක්. විද්‍යාලය තිබුනේ කළුතර අධ්‍යාපන කාර්යාලය අසලම. ඔහු නිතරම අප හමුවන්නට එනවා. 'නැද්ද බොස් ජෝක් එකකට මොකුත්' කියා අපෙන් අසනවා. එයාගේ wife මගේ යාලුවෙකුගේ නංගි.

      Delete
    2. හෙන්රි තෙන්නකෝන් / එල්.සී. ජයසිංහ ලියපු තවත් ඔය වගේ ම තීරු ලිපියක් තමයි "අනේ ඌ නොහිටියා නම්". ඒකේ තිබුණේත්, අප දන්නා උපමා කතාවලට අදාලව ලියූ විකල්ප කතා වගෙයි මගේ මතකය. මේ 70 දශකයේ අපේ පාසල් කාලයේ දී.

      Delete
    3. ස්තුතියි රසික,
      හෙන්රි තෙන්නකෝන් යුවලම මා දැනගෙන හිටියත් "අනේ ඌ නොහිටියා නම්" තීරු ලිපි පෙළ නම් කියවලා නැහැ. ඒ කාලයේ අප රාජකාරි කටයුතු වලම නිරත වෙලා සිටියා මිස අමතර දෙයක් කියවන්නටවත් තිබුණු කාලය සීමිතයි.

      Delete
  4. මෙය තරඟයක් නොවේ.. සාමූහික කාර්යයකි. එය ප්‍රතිඵලදායක වන්නේ දෙදනාටම ප්‍රතිලාභ ලැබේනම්ය...එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට සාමූහිකව විස්ථාපනය වීමෙන් ඉබ්බා සහ හාවා ලත් ප්‍රථිලාභ මොනවාද...ඔවුන් කොලෙස්ටරෝල් පුච්චන්නට දිව්වා වන්නට බැරිය..සමහරවිට ඉබ්බාට ගඟකුත් හාවාට ගඟෙන් එතෙර උඳුපියලිය පලසකුත් ලැබෙන්නට ඇත..විවිධාකාර නිපුනතා සහිතව සාමූහික ක්‍රියාවක් කිරීමේදී අවසන් ප්‍රතිඵලය සරු එකක් වීමද වටී..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි SDC,
      මෙය ආරම්භයේදී තරඟයක ස්වරුපය ගත්තත් පසුව ඵලදායි සාමුහික කාර්යයක් වීම තමයි අවසානයේදී තේරුම් ගත යුතු වන්නේ. මෙම දේශනයෙන් සහ පසුව පැවැත්වූ සරල ක්‍රියාකාරකම් කිහිපයක් නිසා සහභාගිවූ සිසුන්ගේ ආකල්පමය වෙනස්කම් ඇතිවූ බව දකින්නට ලැබුනා.

      Delete
  5. අද ඉරිදා පරණ සින්දුවක් අහමු!

    https://youtu.be/eR8G9m059_A

    ReplyDelete
  6. ඉතාමත්ම ස්තුතියි රසික,
    පැරණි ළමා ගී එකක් නෙමෙයි පහක් විතර ඇහුවා. නියම ළමා ලෝකයට ටික වෙලාවක් යන්නට ලැබුණා. ඒවා නිෂ්පාදකයින්ටත් මගේ ප්‍රණාමය.
    මේ ලින්ක් එක මම දන්නා කිහිප දෙනෙකුටම යැව්වා.

    ReplyDelete
  7. මේක ඊසොප් ගේ උපමා කතාවක් නේද? ඉබ්බා අහසින් ගිය කතාවේ විකල්ප කතා අහලා තිබ්බට මේකේ විකල්ප අහලා තිබ්බේ නෑ. අපි කිව්වට ඉබ්බත් සෑහෙන වේගෙන් දුවන්න පුලුවන් එකෙක් කියලා තේරෙනවා මේ වීඩියෝ එක දැක්කහම. බොරුවට හදපු එකක්ද කියලා නම් දන්නේ නෑ.

    https://www.youtube.com/watch?v=hyUmGHdK9e8

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිසර,
      මෙය ඊසොප් ගේ උපමා කතාවක් තමයි. මා සඳහන් කල දේශකයා එහි විකල්පය මගින් සිසුන්ගේ ආකල්ප වෙනස් කරන්නට සමත් උනා.
      ඉබ්බාගේ වීඩියෝ එක බැලුවා. ඒ තරම් වේගයෙන් නම් යන්නට නොහැකි බවයි මගෙත් අදහස.

      Delete
    2. වීඩියෝ එක එවීම ගැනත් ස්තුතිය පිළිගන්න

      Delete
  8. http://www.nikhilnishchal.com/motivations/-/asset_publisher/iBvSngqxlg6X/content/story-of-tortoise-and-hare-diffrent-version-with-diffrent-moral

    ReplyDelete
  9. ස්තුතියි Pra Jay,
    motivation ගැන බොහෝ දේවල් ඒ link ඒකෙන ඉගෙන ගත්තා.

    ReplyDelete