Monday, 28 August 2017

භීෂණය (71 කැරැල්ල) ආරම්භ වූ දින මතක සටහනක්....

  ශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා තෝරාගනු ලබන්නේ අඩුම වශයෙන් වසර පහක් වත් ඉගැන්වීමේ පළපුරුද්ද ඇති ගුරුවරුන්ගෙන් ඉතා සුළු පිරිසකි. එවකට මෙම පාඨමාලාව පැවැත්වුයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ පමණකි. මේ සඳහා වසරක් අධ්‍යයන නිවාඩු  ලැබේ. 1970 වසරේ ජුනි මාසයේදී දී මෙම පාඨමාලාව සඳහා තේරුණු අපට අවසාන විභාගයට පෙනී සිටීමට නියමිතව තිබුනේ 1971 අප්‍රියෙල් මාසයේ දෙවන සතියේය.

විද්‍යා අංශයෙන් පාඨමාලාව සඳහා තේරුණු අප තිදෙනෙකුට, මාර්තු මාසයේ මැද සිට අප්‍රියෙල් මාසයේ විභාගය අවසන් වනතුරු පමණක්, ජේම්ස් පීරිස් නේවාසිකාගාරයේ නතර වීමට පහසුකම් ලැබිණ. බොභෝ දිනවල අපට දේශන හෝ නිබන්ධන පන්ති පැවැත්වුයේ උදය වරුවේ පමණකි. එදින අප්‍රියෙල් මස පස් වෙනිදාය  උදේ පළමු දේශනයෙන් පසු පැය දෙකක පමණ විවේකයක් ලැබුණු නිසා එක්තරා නිබන්ධනයකට අවශ්‍ය කරුණු සාකච්ඡා  කිරීම සඳහා පහල මාලයේ කොනක තිබුණු අපගේ කාමරයට ගොස් වැඩ කරමින් සිටියෙමු. එදින ඉතාමත් තද අව් රශ්මියක් තිබුණි. ශ්‍රී ලංකාවට හිරු මුදුන් වනුයේ අප්‍රියෙල් මාසයේ මුල් දින කිහිපයේදී නිසා තද හිරු රශ්මිය ඇති වන බව දැනගෙන සිටියෙමු.

මේ දිනවල විශ්ව විද්‍යාලය තුළ යම්කිසි අසහනකාරි බවක් උද්ගතවී තිබෙණු අපටද ආරංචි විය. එසේ වුවත් ඒ ගැන වැඩි තොරතුරක් අපට නොලැබුණි. නේවාසිකාගාරයේ සිසුන් වැඩිහිටියන් වු අප සමග වැඩි භජනයක් නොවිය. ඔව්හු අප ‘බාප්පලා’ යන අන්වර්ථ නාමයකින් හැඳින්වූ බව අපට ද දැන ගන්නට ලැබුණි.

එක් වරටම අපගේ කන් බිභිරි කරවන අති මහත් ශබ්දයකින් යුක්තව පිපුරුම් හඬක් සමගම යම්කිසි ඉදිකිරීමක් කඩා වැටෙනවාක් වැනි බිහිසුණු  ශබ්ද මාලාවක්ද ඇසෙන්නට විය. අපගේ කන් අගුල් වැටි, තොල කට වේලි, කථාකර ගැනීමටවත් නොහැකිව මඳ වෙලාවක් බිරාන්තව සිටියෙමු. ඇඳෙන් බිමට බැස ගැනීමටවත් නොහැකි තරමට දෙපා වෙව්ලන්නට විය.

විනාඩි දහයක් පමණ වන විට දේශන ශාලාවල සහ නේවාසිකාගාර වල සිටි සිසු සිසුවියන් මහත් ඝෝෂා කරමින් තැන්තැන් වල රොක් වන්නට විය. විශාල කලබලයක් හටගෙන තිබෙන බව අපට පැහැදිලි විය. අපී කළ යුත්තේ කුමක්ද යන්නවත් සිතා ගන්නට නොහැකිව තුෂ්නිම්භූතව බලා සිටියෙමු. පැය භාගයක් පමණ ගතවන විට පොලිස් රථ සහ යුද හමුදා රථ රාශියක් පැමිණ සන්නද්ධ හමුදා භටයින් සෑම තැනකම මුරකාවල් දමා සිසුන් තැන් තැන් වලට රැස්කර වට කර තැබීම ආරම්භ කළේය. දේශන ශාලා ගොඩනැගිල්ල ඉදිරියේ සිය ගණනක හමුදා බල ඇණියකි. අප සිටි  නේවාසිකාගාරය  තුළ සිටි සිසුන් සියලු දෙනාම පිටතට ගොස් ඇති බව අපට දැනුණි.

ටික වෙලාවකින් අවි අමෝරාගත් හමුදා භටයන් දෙදෙනෙකු අප සිටි තැනට පැමිණ

‘තවම මේක ඇතුලේ  මොන මගුලක්  කරනවද?  බහිනවා .... එලියට .....’
කියමින් මොර දෙන්නට විය.

‘අපි ...... මේ ..... මේ ....... ඩිප්......’ 

මගේ මිත්‍ර හරිස්චන්ද්‍ර යමක්‌ කීමට තැත් කරන විටම හමුදා භටයා අප තිදෙනා කාමරයෙන් එලියට තල්ලු කර

‘එලියට ගිහින් පෙළ ගැහෙනවා .....’

කියමින් එයට තවත් පරුෂ වචන කිහිපයක්ද එකතු කළේය.

අපද, සිසුන් සිටින තැනම පැත්තකට වී සිටියෙමු.

නේවාසිකාගාරය භාරව සිටි අප හඳුනන ආචාර්ය වරයා සිසුන් දෙස බලමින් නම් ලකුණු කරමින් සිටියේය. ඔහු අප ළඟට පැමිණි විට සිද්ධිය කුමක්දැයි ඔහුගෙන් ඇසුවිට

‘රට හැමතැනම කලබල. මෙහෙ බෝම්බයක් පුපුරලා’ යයි කීවේය.

එසේ කියා අපට වෙනත් ස්ථානයක් පෙන්වා එතැනට යන්නට කිවේය. අප නොහඳුනන, වැඩිහිටියන් යයි කිව හැකි තවත් කිහිප දෙනෙක් එතැන සිටියහ. ඔවුන්ද අප මෙන්ම සිදුවන්නේ කුමක්ද කියා කිසිවක් නොදන්නා බව අපට තේරුම් ගත හැකි විය.

දැන් දැන් ඝෝෂාව සහ කලබලකාරී තත්ත්වය වැඩිවන බව අපට දැනුනි. හමුදා රථ, පොලිස් රථ, කැරලි මර්දන සේනා, හමුදා භට පිරිස් ආදිය තවත් පැමිණෙන බව පෙනුනි.

සියලුම සිසුන් සවස හතරට ප්‍රථම නේවාසිකාගාර වලින්  පිටවිය යුතු බව ශබ්ද විකාශන යන්ත්‍ර මගින් විකාශනය වන්නට විය.

ටික වෙලාවකින් උසස් පොලිස් නිලධාරියෙක් අප සිටි තැනට පැමිණ අපගේ තොරතුරු විමසිය. අපගේ විශ්ව විද්‍යාල හැඳුනුම් පත් (එවකට පෞද්ගලික හැඳුනුම් පත් නොතිබුණි) පරික්ෂා කර සටහන් පොතක විස්තර ලියාගත් ඔහුට   ඩිප්ලෝමා පාඨමාලාව ගැන අවබෝධයක් තිබිණ. තව සතියකින් අපට විභාගය තිබෙන බව ඔහුට කී විට

‘ඕනෑ කරන පොත්පත් අරගෙන පේරාදෙණිය පොලිසියට යන්න වෙනවා.’

යයි අපට කීවේය. ඒ සමගම පොලිස් කොස්තාපල් වරයෙකු කැඳවු ඔහු

‘මේ මහත්වරු එක්ක ඇතුලට ගිහින් ඒ අයගේ පොත් පත් අරගෙන ජීප් එකෙන් පොලිසියට එක්කරගෙන යන්න. එතන සිටින ඕඅයිසීට භාරදෙන්න.’

කියා අප ඔහුට භාර කළේය. රටෙහි තත්ත්වය පිළිබඳව ඔහුගෙන් විමසු විට

‘මුළු රටටම පැය විසි හතරටම බලපාන විදියට ඇඳිරි නීතිය දාලා’ යයි ඔහු කීවේය.

අපට මහත් අවිනිශ්චිත භාවයක් ඇතිවී කුමකින් කුමක් කරම්දෝයි සිතාගන්නටත් නොහැකි විය. අප තිදෙනාටම කුඩා දරුවන් සිටිති. ඔවුන්ගේ ආරක්ෂාව කෙසේ වී ඇද්ද? අප පොලිස් ස්ථානයට ගෙන යනුයේ කුමක් පිණිසද?  යනාදී දහසක් ප්‍රශ්න සිතෙහි වැඩ කරන්නට විය.

ගමන් මල්ලත් පසෙකින් තබාගෙන පොලිස් ස්ථානයේ බංකුවක් මත හිඳගෙන සිටි අප ගැන බලන්නට කිසිවෙකු නොමැත. දිවා ආහාරයවත් නොගත් බව සිහි වුයේ මෙවිටය. අප වැන්නවුන් යයි සිතිය හැකි තවත් කිහිප දෙනකු අනෙක් බංකු මත වාඩිවී සිටියහ. ටික වෙලාවකින් අප කැඳවු ස්ථානාධිපතිවරයා අපගේ විශ්ව විද්‍යාල හැඳුනුම් පත සහ පාඨමාලාව සඳහා කැඳවුම් ලිපි කියවා තොරතුරු සටහන් කරගෙන, අපගේ අත්සන් ලබාගෙන, එයටම ඇඟිලි සටහන්ද ලබා ගත්තේය. කිසිම දෙයක් ගැන නොදත් අපද මහත් වරදක් කර, අල්ලා ගත් අය ලෙස සලකන ලදී. රටෙහි මහත් භීෂණ තත්ත්වයක් ඇති බව ප්‍රකාශයට පත්කර තිබ්යදී එසේ කිරීම සාධාරණය. ටික වෙලාවකින් අපට පොලිස් ස්ථානය පිටුපස තිබුණු කුඩා ශාලාවකට යන්නට සිදුවිය. එහිදී අපට බනිස් ගෙඩියක්‌ සහ තේ කෝප්පයක්‌ ලැබිණ.

මේ වන විට හමුදා රථවල නංවාගත් විශ්ව විද්‍යාල සිසුන් වියහැකි තරුණ තරුණියන් පිරිසක්ද  පොලිස් ස්ථානයට ගෙන එනු දුටුවෙමු. අපගේ අවිනිශ්චිත භාවය තව තවත් වැඩිවෙන්නට විය. ටික වේලාවකට පසු අප සිටි තැනට පැමිණි පොලිස් නිලධාරියෙකු
‘කොළඹ පැත්තට යන අයට පොල්ගහවෙල ස්ටේෂන් එකට යාමට කැමතිනම් එහි යන්නට හැකි හමුදා ට්‍රක්‌ රථයක්‌ දැන් පිටත්වෙනවා. යන්නට කැමති කෙනෙක් ඉන්නවාද?’
කියා ප්‍රශ්න කළේය. එතැන සිටිනවාට වඩා පොල්ගහවෙලටවත් යන එක සුදුසුයි සිතු අපි යාමට කැමති බව කීවෙමු. අප, පොලිස් පොතේ නැවත අත්සන් කළ  පසු ට්‍රක්‌ රථයට ගොඩ වීමට අණ  ලැබිණ.

රාත්‍රී එකොළහට පමණ පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් අප බස්සවන ලදී. ඇඳිරි නීතිය නිසා මගීන්ගෙන් තොර දුම්ර්ය පලේ වේදිකාව අසල එක විදුලි පහනක් පමණක් දැල්වෙමින් තිබුණි. අප නැවතද මහත් අවිනිශ්චිත ස්වභාවයකට පත්වීමු. විදුලි පහන අසල තිබුණු බංකුවක වාඩිවී අපගේ ඉරණම කුමක් වේදෝයි සිතමින් සිටින විට, දුම්රිය ස්ථානාධිපති වරයා  අප අසලට පැමිණ අප සමග කතා කළේය. අප මුහුණ පා සිටින තත්ත්වය ඔහුට පැහැදිලි කළෙමු.

‘හෙට උදේ හතට විතර කොළඹට කෝච්චියක් යන්නට නියම  කර තිබෙනවා. ඒකේ යන්නට පුළුවනි. මේ  ලයිට් එකත් නිවන්නට කියා පොලිස් නියෝගයක් තිබෙනවා.’ ඔහු කීවේය.

‘අපි අද උදේ සිට කිසිම දෙයක් කෑවේ නැහැ’ මට ඉබේටම කියවිණ.

‘මේ වෙලාවට නම් කෑම ගන්න තැනක්‌ නැහැ .  ඇඳිරි නීතිය නිසා කඩ වහලා.’ කී  ඔහු යන්නට පිටත්වී ආපසු හැරී

‘ටිකක් ඔහොම ඉන්න. මම විනාඩි පහකින් එන්නම් කියා තම නිල නිවාසය වෙත ගියේය.

තද කුස ගින්න ඇතිවිට, බැගෑපත්වී, ඕනෑම කෙනෙකුගෙන් පිහිටක් යැදිය හැකි බව මට වැටහුණි.

ස්ථානාධිපතිවරයා  පිඟානක තැබූ පාන් පෙති හයක්‌  සහ සම්බෝල ස්වල්පයක්ද. වතුර බෝතලයක්ද, ඉටිපන්දමක් සහ ගිනිපෙට්ටියක්ද අපට ගෙනැවිත් දී,  දුම්රිය විවේක කාමරයේ සිටින ලෙස උපදෙස් දී, විදුලි පහනද නිවා දැම්මේය

අපට ඔහුගෙන් ලැබුණු උදව්ව ජීවිතයට මෙතෙක් ලැබුණු ලොකුම උපකාරය විය හැකිය. කුස ගින්නෙන් ඉතා සුළු ප්‍රතිශතයක් පමණක් සන්සිඳවාගත් අපි එළිවන තුරු නින්දේ දෝ නොනින්දේ දෝ යයි කිව නොහැකි මානසික තත්ත්වයකින් පසුවීමු. අඹු දරුවන් සහ ගේ දොර සිහිවී වරින් වර මහත් හද කම්පාවන් ඇතිවිය.
 
පසුදින උදයේ සන්නද්ධ හමුදා භටයින් විසින් මුරකාවල් යෙදු කොළඹ බලා යන දුම්රියක් වේදිකාවට ලඟාවිය. ස්ථානාධිපති තුමාට මුව නොසෑහෙනසේ ස්තුති කර හමුදා භටයින්ගේ සියුම් පරීක්ෂාවලින්   පසුව දුම්රියට ගොඩ වීමු. වෙනදා දුම්රියේ තිබුණු විනෝදජනක වට පිටාව එදා නැත. කවුරුත් අනිකා දෙස බැලුවෙත් බිය මුසු සැකයකිනි.

මන්දගාමි ස්වභාවයකින් ධාවනය වූ දුම්රිය සෑම දුම්රියපලකදීම දැඩි සෝදිසියට ලක් විය. මග දිගටම පෙනෙන තෙක් මානයේ කඩ සාප්පු සියල්ල වසා දමා ඇත. මහාමාර්ග වල රථවාහන නොමැත. වෙනදා ජනාකීර්ණ දුම්රිය ස්ථාන හිස්වී ඇත. ඇඳිරි නීතියත් සමග රටම අඳුරු ස්වභාවයක්  ගෙන ඇති බව පෙනේ. එදින පස්වරු එක පමණ වන විට කොළඹට සේන්දු වූයෙමු.

කොටුව දුම්රිය පලේ සිට හමුදා ආරක්ෂාව යටතේ යොදවා තිබුණු බස් රථයකින් එදින සවස පහට පමණ ගෙදරට පැමිණියෙමි. කෙසේ වෙතත් අප නිරුපද්‍රිතව නිවෙස් බලා එමින් සිටින බවට අප පදිංචි ප්‍රදේශ වල පොලිසි හරහා, කලින් දින රාත්‍රියේම අපගේ නිවෙස් වලට පණිවුඩ යවා තිබිණ.

එතරම් භීෂණයක් තිබියදීත් පොලිසිය සහ හමුදාව, කිසිම වරදක් නොකර අතරමං වූ අයට පිහිට වීම ඉතාමත් අගනා ගුණාංගයක්‌ බව මෙසේ සටහන් කරමි.


එදින ජේම්ස් පීරිස් නේවාසිකාගාරයේ පුපුරා ගොස් තිබෙනුයේ කැරැල්ලට සම්බන්ධ සිසුන් විසින් ගෙනෙන ලද අත් බෝම්බයකි. එය  සඟවා තිබුණු ස්ථානයට තද අව් රශ්මිය වැටි ජනේලයේ වීදුරු තහඩුවේ කැටයම් උත්තල කාච මෙන් ක්‍රියා කර ආලෝක කිරණ බෝම්බය මත නාභිගත වී උෂ්ණත්වය වැඩිවූ නිසා එය පුපුරා යන්නට ඇති බව පසුව දැන ගන්නට ලැබුණි.   

12 comments:

  1. කැරැල්ලට සම්බන්ධ අයට කොහොම වෙතත් සාමාන්‍ය වාසියන්ට ඒ අවස්ථාවෙ හමුදාව සහ පොලීසිය ක්‍රියා කළ ආකාරය අගය කරනව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      සෑම තැනකම අන් අයට හැකි පමණින් උදව කිරීමට සුදානම් අය සිටීම අපේ සංස්කෘතියේ ලක්ෂණයක් නේ !

      Delete
  2. මේ දවස මට පොඩි කාලෙ ගැන තියෙන මතක වලින් එක දවසක්. පාසැල් යන්න ලෑස්ති වෙනකොට පාසැල් ඔක්කොම වහලා කියලා රේඩියෝ එකේ කිව්වා. හම්මේ ඒක අහල තිබ්බ සැප.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්,
      ඔබගේ ඒ රසවත් අතීතයෙන් බිඳක් නැවත මතක් කිරීමට ලැබීම ගැන මටත් සතුටක් ඇති වෙනවා. එක දිගට දින තුනක් පමණ ඇඳිරි නීතිය තිබුනා වගේ මට මතකයි.

      Delete
  3. ඔබගේ ඊමේල් එක සඳහන් කරනවද ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Trans Sylvania,
      ඕනෑම දෙයක් මෙහි ලියන්න. මම කියවනවා.

      Delete
  4. Replies
    1. ස්තුතියි ඩියෝන්,

      Delete
  5. ඒකාලෙ කතාවක් තිබ්බද ගම්වල අහස් යානා යනකොට කෝටු දික් කරන්න එපා වෙඩි තියයි කියලා?

    ReplyDelete
  6. මම නම් එහෙම කතාවක් අසා නැහැ ප්‍රසන්න.

    ReplyDelete
  7. ලිපියක් නුඹේ බැලුවිට කවි ලිවිය යුතුයි
    කවියක් ලියන්නට හිත සැනසී තිබිය යුතුයි
    අවියක් ලෙසට පදවැල් ටික ආව යුතුයි
    කවියක් නොදුන්නට තරහා නොවිය යුතුයි....

    ජයවේවා!!!

    ReplyDelete
  8. ස්තුතියි දුමි,
    දිනයකි එදා තද වැහි වැටෙමින් තිබුන
    ලිපියකි මෙයත් අත්දුටු දේ සිහි කරන
    සතුටකි ඔ‍බගෙ අදහස් මෙහි පල කරන
    කවියකි එයත් හොඳහැටි පද'රුත් ගලන

    ඔබට ජය !

    ReplyDelete