Thursday, 19 July 2018

අපා, දෙපා, සිවුපා, ශඩ්පා, අෂ්ටපා, දශපා, සියපා සහ දහස්පා ..........

පෘථිවි ජෛව ගෝලය තුළ සිටින, ලක්ෂ සංඛ්‍යාත සතුන් වෙන වෙනම හඳුනා ගැනීම කිසිවෙකුට කළ හැකි දෙයක් නොවේ. මේ ගැන කල්පනා කළ, ස්වීඩන් ජාතික ලිනෙයස් නම් විද්‍යාඥයා විසින් ඒ සඳහා ඉතාමත් ප්‍රායෝගික ද්විපද නාමකරණය නම් ක්‍රමවේදයක් ඉදිරිපත් කරන ලදී. 

අප කවුරුත් විද්‍යා පාඩම් වලදී ඉගෙනගෙන ඇති පරිදි, මෙම නාමකරණයට අනුව මිනිසා, Homo  sapiens  වේ. මෙහි Homo යන්න වර්ගීකරණයේ ගණ නාමය ලෙසත් sapiens යන්න විශේෂ නාමය ලෙසත් හැඳින්වේ. වසර තුන්සියයකට පමණ ඉහතදී ඉදිරිපත් කළ අදහසක් වුවද, අදටත් මෙම හඳුනාගැනීමේ ක්‍රමය බහුලව භාවිත වේ.

සියලුම සතුන් සත්ත්ව රාජධානියට අයත් වන අතර, ඔවුන් ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. මොව්හු, පෘෂ්ඨවංශීන් (vertebrates) සහ අපෘෂ්ඨවංශීන් (invertebrates) ලෙස නම් කෙරේ.  කොඳු ඇට පෙළක් (vertebral coloumn) තිබීම හෝ නොතිබීම මෙම බෙදීමට මූලික වේ.

පෘෂ්ඨවංශීන් ලෙස විග්‍රහ කරනුයේ මත්ස්‍ය, උභයජීවී, උරග, පක්ෂි සහ ක්‍ෂීරපායි යන සත්ත්ව කොට්ඨාශ වේ. මෙයින්, උරග ගෝත්‍රයක් වන සර්පයින්ට පමණක් ගාත්‍රා  නොමැත. අනිකුත් සියල්ලටම ගාත්‍රා හතරක් තිබේ. පෘෂ්ඨවංශීන් හැර අනික් සියලුම සත්තු,  අපෘෂ්ඨවංශීන් වන අතර, ඔව්හු සාමාන්‍යයෙන්  කුඩා ශරීර සහිත  සත්තු වෙති. ඔවුන් අතරද, ගාත්‍රා (පා)  නොමැති සත්තු කොට්ඨාශයක් සහ පා සහිත කොට්ඨාශ රාශියක් සිටිති. සත්ත්ව රාජධානියේ සියලුම සතුන් පොදුවේ ගත්විට එකිනෙකාගේ පාද සංඛ්‍යාව හෝ පාද නොමැති බව සුවිශේෂී ලක්ෂණයකි.  අපෘෂ්ඨවංශීන් අතරද ගැඩවිල් පණුවන්, වෙනත් වට පණුවන් සහ තවත් සමුද්‍ර ජීවී සමුහයකට  පාද නොමැත. ගාත්‍රා හෝ පා සහිත  අපෘෂ්ඨවංශීකයෝ සියල්ලෝම පාහේ  තම ගාත්‍රා, ඇවිදීම සඳහා පා ලෙස භාවිත කරති.

සතුන්ගේ ගාත්‍රා හෝ පාද සංඛ්‍යා වල ඇති විවිධත්වය ගැන සිතා බැලීමට පෙර, අප නිතර දෙවේලේ භාවිත කරන කරණීය මෙත්ත සුත්‍රයේද, සියලු සත්ත්වයින් කෙරෙහි මෛත්‍රී කිරීමේදී සියලු සතුන් ආවරණය වන පරිදි,  අපූරු හැඳින්විමක් කර තිබෙන බව සිහියට නැගේ.
එය මෙසේය:

බෞද්ධ සම්ප්‍රදායට අනුව මෙත් වැඩීමේදී, මේ ආකාරයට ලොව සියළුම සතුන් ගැන සිත් යොමු කිරීම බුදු දහමෙහි පමණක් ඉගැන්වෙන ඉතාමත් වැදගත්, ජිවිතයට සමීප භාවනාවක් බව ඉතාමත් පැහැදිලිව පෙනේ.
එනම්:  
     
 

ආදී වශයෙනි.

මෙසේ බලන කළ වසර දෙදහස් පන්සියයකටත් වඩා අතීතයේ සිට, ලොව සිටිනතාක් සියලුම සතුන් ආවරණය වන පරිදි, සත්ත්ව විවිධත්වය පිළිබඳව, බුදු දහමේ ඉතාමත් පැහැදිලි සරල විවරණයක් කර තිබේ.

මා මෙහිදී විශේෂයෙන්ම අදහස් කළේ, ලොව සිටින සියලුම සතුන් පිළිබඳව, ඔවුන්ගේ චලණය සඳහා යොදාගන්නා  පාද හෝ ගාත්‍රා සංඛ්‍යා අනුව විමසීමක් කිරීමටය. මෙයට  “අපා, දෙපා, සිවුපා, .............. දහස්පා  ......” යනුවෙන් නම් කළේද ඒ නිසාය. මේ ගැන මඳක් සිතා බලමු.

·        ‘අපා’ -  (පාද නොමැති)  අපා යනු පාද නොමැති බවයි. (මෙහි ‘අ’ උපසර්ගයකි)  පෘෂ්ඨවංශීන් (vertebrates) අතර පා හෝ ගාත්‍රා නොමැත්තේ සර්පයින්ට පමණකි. ගොඩබිම සිටින පණුවන්, ගොළු බෙල්ලන්, හංගොල්ලන් සහ කූඩැල්ලන්ද , බෙල්ලන්, ඉකිරියන් වැනි සමුද්‍ර ජිවින්ද පාද නොමැති  අපෘෂ්ඨවංශීන් (invertebrates) වෙති. බෙල්ලන්ගේ චලණය සඳහා උපයෝගිවන පේශිය  ‘ව්‍යාජ’ පාදයකි. (false foot)

·       ‘දෙපා’- (පාද දෙකක් සහිත) - පෘෂ්ඨවංශීන් අතර, පාද දෙකක් ඇත්තේ මිනිසාට සහ පක්ෂීන්ට පමණකි. ගාත්‍රා වශයෙන් ගතහොත් මිනිසාගේ අත් සහ පක්ෂීන්ගේ අත්තටු පූර්ව ගාත්‍රා වේ. මොවුන් ඇවිදීම සඳහා භාවිත කරනු ලබන අපර ගාත්‍රා පාද වේ. ‘දෙපා’ සහිත අපෘෂ්ඨවංශීන් නොමැත.

·       ‘සිව්පා’- (පාද සතරක් සහිත) - මිනිසා සහ පක්ෂීන් හැර අනිකුත් සියලුම  පෘෂ්ඨවංශීන් සිව්පාවුන්ය. සිව්පා අපෘෂ්ඨවංශීන්ද නොමැත.

·        ‘ශඩ්පා’- (පාද හයක් සහිත) - මී මැස්සන්, සමනළයින් වැනි කෘමින් (insects) සියල්ලෝම පාද සයක් සහිතය. ලෝකයේ බහුලම සතුන්ද මොවුන් වෙති.

                                                                                                                 
                                            
·        ‘අෂ්ඨපා’ – (පාද අටක් සහිත) - සියලුම මකුළුවන් (spiders) සහ ගෝනුස්සන් මේ ගණයට වැටේ.

·       ‘දශපා’ – (පාද දහයක් සහිත) - මෙම සතුන් වනුයේ ඉස්සන්, කකුළුවන් වැනි ක්‍රස්ටේසියානුන්ය.

·       ‘සියපා’ – (පාද සියයක් සහිත) - Centepede යන නමින් හඳුන්වන පත්තෑයින් හට පාද සියයක් ඇතැයි විශ්වාස කෙරේ. එසේ වුවත් මෙය වෙනස් විය හැකිය. සෑම පත්තෑයෙකුගේම ශරීරයේ එක් ඛණ්ඩයක පාද යුගලයක් බැගින් තිබේ. විශේෂය අනුව ශරීරයේ  ඛණ්ඩ සංඛ්‍යාව 20 සිට 110 දක්වා විය හැකිය.


                    
                                        
·       ‘දහස්පා’ – (පාද දහසක් සහිත) - Millipede යනුවෙන් ඉංග්‍රීසියෙන්  හඳුන්වන හැකරැල්ලන්, කංකුන්ඩන් වැනි සතුන්ට පාද දහසක් තිබේයයි සිතා එසේ නම් කර ඇත. මොවුන්ගේ එක් ඛණ්ඩයක පාද යුගල දෙකක් තිබේ. එහෙත් මේ සතුන්ට ඇත්තේ පාද 50 සිට 400 දක්වා ගණනක් බව නිරීක්ෂණය කර තිබේ.

කුමන ආකාරයක වර්ගීකරණයක් අනුගමණය කළත්, කරණිය මෙත්ත සුත්‍රයේදී පෙන්වා දී ඇති ආකාරයට ලොව ඇතිතාක් සියලුම සතුන් හොඳින් ආවරණය වන බව පෙනේ. මෙහි තවත් වැදගත් කරුණක් වනුයේ, විද්‍යාත්මක වර්ගීකරණයට හමු නොවන, උපදින සත්තු සහ ඉපදීමට සිටින සත්තු පවා මෙහිදී හඳුන්වා  තිබීමයි. මෛත්‍රී කිරීම සඳහා උපදින සත්තු සහ ඉපදීමට සිටින සත්තු පවා සඳහන් කර තිබීම විද්‍යා ඤාණයටත් ඔබ්බට යන ධර්ම සංකල්පයක්ම වේ.
  



4 comments:

  1. මෙලොව ඉපදෙන දෙපා සිවුපා අපා බහුපාවන් වෙතී
    තොරව එම ජීවියන්ගෙන් ලොව ජෛව විවිධත්වය නැතී
    බලව බුදු හිමි දෙසූ ධර්මයෙ සැමට මෙත් පතුරා ඇතී
    ලියුව මේ ලිපිවලට සැමදා මනාපය මගෙනම් ඇතී.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමි,
      පහ න් සිතකින් මෙත් කිරීමද කුඩා කළ සිට උගත් කරුණකි
      හොඳින් එය නීති මෙනෙහි කළයුතු බුදුන් වදහළ උතුම් දහමකි
      සතු න් පිලිබඳ හදාරන විට තවත් බොහො දේ සිතට ගතහැකි
      උප න් නුපන් සියලු සතුනට සුවය පැතුමත් මහඟු දැක්මකි !

      ඔබට ජයම !

      Delete
  2. ලිනෙයස්ගෙ ඒවනං උසස් පෙළට ඉගෙන ගත්ත. හැබැයි බුදු දහමෙ තිබ්බ ඒවන් එතන කියල දුන්නෙ නෑ.

    ReplyDelete
  3. ස්තුතියි ප්‍රසන්න,
    මා උත්සාහ කළේ ලිනේයස්ගේ වර්ගීකරණය වගේ එකක් බුධාගමේත් තිබෙන බවක් හුවා දක්වන්නට නම් නොවෙයි. ලිනෙයස් විවිධ ක්‍රම රාශියක් ගැන සිතා පර්යේෂණද කරමින් තමයි අදටත් භාවිත වන ද්විපද නාමකරණය ඉදිරිපත්කර තිබෙන්නේ. බුදු දහමේ පෙන්වා දී ඇති ආකාරයටත් ලොව ඇති සියලුම සතුන් ආවරණය වන බවත්, විශේෂයෙන්ම ද්විපද නාමකරණයට හසු නොවන උපදින සතුන් සහ උපදින්නට සිටීන සතුන්ටත් මෙත් වඩන ආකාරය පෙන්වා දී තිබෙන බවත් පෙන්වීමයි මට අවශ්‍ය වුයේ. ලිනේයස්ගේ වර්ගීකරණයට ඒවා හසු නොවන්නට ඇත්තේ කළල හෝ භෲණ වර්ධනය වුවාට පසු අදාළ සතුන් බවට පත්වන නිසා විය හැකියි. කෙස් වෙතත් මෙත් වැඩීමේදී මේවාත් ප්‍රාණය සහිත ජීවින් ලෙස සැලකීම නිවැරදියි.

    ReplyDelete