Friday 29 March 2019


පරිසරය සුරැකීමේ, පහසු පියවරක් වන ‘මිහිකත හෝරාව’ සඳහා දායක වෙමු.


ද, 2019 මාර්තු මස 30 වෙනි සෙනසුරාදා, රාත්‍රී 8.30 සිට 9.30 දක්වා කාලය මෙම වර්ෂයේ මිහිකත හෝරාව යෙදෙන කාල පරාසයයි.

මිහිකත හෝරාව(Earth hour) යනු කුමක්ද

ලෝකයේ රටවල් දෙසියයක පමණ වාසය කරන සමස්ත ජනගහනයෙන් සැලකියයුතු ප්‍රතිශතයක් මගින්, එකම දිනයක තෝරාගත් පැය එකක පමණ කාලයක් තුලදී, එකාවන්ව සහභාගිවන පරිසර හිතකාමී සංකලපයකි “මිහිකත හෝරාව” (Earth hour).

පරිසරය සුරැකීමට අදාළ සම්මන්ත්‍රණ, සමුළු, සාකච්ඡා ආදියේදී විවිධ තීරණ ක්‍රියාත්මක කරනුයේ අදාළ සංවිධාන වල මෙහෙයවීම යටතේ වුවත් මිහිකත හෝරාවනම් මෙම සරල වැඩ සටහන අනුව, පරිසර හිතකාමී එම සංකල්පය ප්‍රයෝගිකව ක්‍රියාත්මක කරවනුයේ, පහලම තලයේ බලශක්ති පාරිභෝගික ජනතාව  මගින් වීම සුවිශේෂි ලක්ෂණයකි.

ඉතාමත් සරල ආකාරයකට මෙම සංකල්පය විග්‍රහ කළහොත්, එයින් ගම්‍ය වනුයේ, යෝජිත  දිනයේ  රාත්‍රී 8.30 සිට 9.30 දක්වා ඇති පැයක කාලය  තුළදී, පාවිච්චි කරන විදුලි පහන් හෝ විදුලි බලය අවශ්‍ය වන උපකරණ හැකි පමණ විසන්ධි කර තබා විදුලි බලය වැයවීම අඩුකර ගැනීමයි.

මෙම අගනා සංකල්පය කෙරෙහි අද මුළු ලෝකයේම අවධානය යොමු වෙමින් පවතී.

2019 වසරේ  මිහිකත හෝරාව(Earth hour) ලෙස තෝරාගෙන ඇත්තේ  මාර්තු මස 30 වන සෙනසුරාදා  රාත්‍රී 8.30 සිට 9.30 දක්වා වන මිනිත්තු හැටක කාලයයි.


මෙම සංකල්පය මුලින්ම ලොවට හඳුන්වා දුන්නේ, 2007 මාර්තු මස 31 වන සෙනසුරාදා, රාත්‍රී 8.30 සිට 9.30 දක්වා පුරා පැයක්‌, ඕස්ට්‍රේලියාවේ ජනාකීර්ණ සිඩ්නි නුවර, විදුලි ආලෝකය සම්පූර්ණයෙන්ම පාහේ විසන්ධි කර දැමීමෙනි.  මේ සඳහා පුරෝගාමීව කටයුතු කරනු ලැබුවේ, ජගත් සොබාදහම සුරැකීමේ අරමුදල’ (World Wide Fund for Nature - WWF), නම් ලෝක ව්‍යාප්ත පරිසර සංවිධානය මගින්ය. WWF මගින් ආරම්භ කරන ලද මෙම ක්‍රියාවලිය අපගේ පෘථිවි ග්‍රහයා රැක ගැනීමට අදාළ  ලොව විශාලතම වැඩ සටහන ලෙස සැලකිය හැකිය.

එදින, මිලියන 2.2 ක ජනතාවක්, වෙළඳ ආයතන සහ වෙනත් විවිධ ආයතන දහස් ගණනක් හරහා  මෙම ක්‍රියාවලියට සහයෝගය දක්වමින්, මිනිත්තු 60 ක කාලය  අඳුරේ සිට, කාලගුණ විපර්යාස තම තමන්ට බලපාන ගැටළුවක් බව බලධාරීන්ට පෙන්වා දීමට සමත්වූහ.

දැනට ලෝකයේ රටවල් දෙසියයකට පමණ ව්‍යාප්ත වී ඇති මෙම සංකල්පය මගින්,  එකම දිනයකදී, එම රටවල  ප්‍රධාන නගර හත්දහසක පමණ එකවර ක්‍රියාත්මකවන  මෙම වැඩසටහන, මෙතරම් විශාල ජන සංඛ්‍යාවක් එකවර සහභාගී වනු  ලබන ලෝකයේ ඇති විශාලතම ක්‍රියාකාරකම විය හැකිය. මිහිකත සුරැකීම සඳහා මිනිස් වර්ගයා  විසින් විවිධ වත් පිළිවෙත් අනුගමනය කරන අතරම, මෙම සුවිශේෂී කාර්යයේදී  නියමිත දින රාත්‍රී 8.30 සිට මිනිත්තු හැටක කාලයක් විදුලි පහන් නිවා දමා, කරනු ලබන විදුලි බල අර පිරිමැස්ම, සාමුහික වගකීම පෙන්වීමේ සංකේතයකි.    


මිහිකත හෝරාව සමග බැඳී  තිබෙන ලාංචනයද සුවිශේෂී එකකි.  මෙය  Wi-Fi     අන්තරජාල සම්බන්ධතාව පෙන්වීමේ සලකුණයි. Wi-Fi    අන්තරජාල සම්බන්ධවීම, ඕස්ට්‍රේලියාවේම ගවේෂණ නිර්මාණයක් වන බැවින්, ඕස්ට්‍රේලියාවෙන්ම දියත් කරන ලද මිහිකත හෝරාව  සඳහාද එම  Wi-Fi     සංකේතය, #CONNECT2EARTH  පාඨයත් සමග යෙදීම සාධාරණය. මෙහි ‘CONNECT TO EARTH’ ලෙස දැක්වෙනුයේ මිහිකත සමග සම්බන්ධ වෙමු යන අර්ථයයි. මිහිකත හෝරාව සහ ඒ සම්බන්ධ අනිකුත් ක්‍රියාකාරකම් වලින් බලාපොරොත්තු වනුයේ, අපගේ පෘථිවි ග්‍රහලෝකය ආරක්ෂා කර ගැනීම සඳහා කතිකාවතක් ගොඩ නැගීමයි. මෙහිදී කෙලින්ම සම්බන්ධ වනුයේ සොබා දහම සමගයි.  Wi-Fi    සංකේතය මගින් අන්තර්ජාලයට සම්බන්ධ වන්නා සේම, Wi-Fi     සංකේතය සමග ඇති  ‘#CONNECT2EARTH’    පාඨයෙන් මිහිකත සමග සම්බන්ධ වී, ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය සහ දේශයට ආවේනික, වන ජීවීන් ගැන සිත් යොමු කිරීම බලාපොරොත්තු වේ.  


මෙය මුළු ලොවටම මහත් ආදර්ශයක් වූ අතර, එම සංකල්පය ලොව පුරා ප්‍රචලිත වූ අතර, එයින් දිරිමත්වූ මිලියන ගණනක ජනතාව, WWF මගින් දියත් කරනු ලබන දේශගුණික වීපර්යාස අවම  කිරීමේ සහ පරිසරය සුරැකීමේ ව්‍යාපෘති වලට එකහෙලාම සහයෝගය දෙනු ලබන බවට ප්‍රතිඥා දුන්හ. එසේම කාලගුණය පිලිබඳව, ලොව පිළිගත්  සම්මුති වලට අදාළ දැනුවත්වීම සහ ක්‍රියාකාරී භාවය, තවතවත් ජනතාව අතරට ගෙනයාමටද  කැමැත්ත පළ කළහ.

WWF මගින් එළි දක්වන ලදLiving Planet 2016  වාර්තාවට අනුව, මිනිසාගේ අත්තනෝමතික ක්‍රියා නිසා, පෘථිවි ග්‍රහයා මත ති  ජෛව විවිධත්වය සහ පරිසර පද්ධති, ආපදා වලට ලක්වෙමින් පවතින අතර, මිනිසා, අනෙකුත් ජීවීන් සහ සමස්ත මිහිතලයම මහත් අවදානමකට පත්කරමින් ඇති බව හෙළිවී තිබේ. මේ නිසා මිහිකත හෝරාවසංකල්පය සහ තවත් එවැනි ක්‍රියාකාරකම් හැකිතරම් දුරට අනුගමනය කිරීමෙන්, ගෝලීයව පැතිරෙමින් පවතින  එම විෂම ප්‍රවණතාව වෙනස් කළ හැකි බව නොඅනුමානය. අපටද අද සිටම මේ සඳහා ක්‍රියාත්මක වීම මගින්, මිහිකත සුරැකීමේ මහා සංග්‍රාමයට දායක විය හැකිය.

2017 වසරේදී,   මිහිකත හෝරාවසැමරීම සඳහා රටවල් සහ රාජ්‍යයන් 187 ක්‌ සහභාගී වී ඇති අතර, එය පසුගිය දශකය තුළදී, මුළු මහත් ජගත් මිනිස් ප්‍රජාවම ඉතා කැමැත්තෙන් පිළිගත් අගනා සංකල්පයක් බවට‍ පත්වී තිබේ. අද වනවිට, දේශගුණ විපර්යාස කරණකොටගෙන ලෝකයේ සිදුවෙමින් පවතින මහා ව්‍යසන ගැන සිතා බලන කළ, ඒවා  මැඩපැවැත්වීම සඳහා වහාම පියවර ගතයුතු බව මනාව පැහැදිලි වේ. එම මහා ආපදා වලින් කිහිපයක් මෙසේය.
  • පෘථිවියේආක්ටික් ප්‍රදේශයේ උෂ්ණත්වය ඉහළයාම නිසාමෙතෙක් නොවූ අන්දමේවැඩිම ග්ලෙසියර් ප්‍රමාණයක් දියවී යමින් ඇති බව  වාර්තා වී තිබේ    (සාගර ජල මට්ටම ඉහල යාමට මෙය එක් හේතුවකි) 
  • දශක දෙකකට වඩා අඩු කාලයකදී, සිව් වන වරටත් ඕස්ට්‍රේලියාවේ මහා බාධක    පරයේ  කොරල් විශාල ප්‍රමාණයක්  විරංජණය  (Bleaching)  වෙමින් පවතී. (මෙය ඉතාමත් ඉහල සාගර ජෛව විවිධත්වයක්‌ විනාශවී යාමේ ලක්ෂණයකි) 
  • ලොව බොහෝ ස්ථානවල පසුගිය වසර 800,000  තුළදී තිබුණු තරමට වඩා, වායු ගෝලීය  කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩිවෙමින් පවතී. (මේ නිසා පෘථිවි තලයේ උණුසුම වැඩිවේ)
2007 වසරේදී ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී දියත් කරන ලද, ‘මිහිකත හෝරාවවැඩ සටහනට අනුව, ලොව පුරා විසිරි ඇති නගර 7000 ක පමණ, ජීවත්වන මිලියන ගණනාවක් ජනතාව තම විදුලි පහන් නිවා දමා එයට අනුකුලතාව දැක්වුහ.  2013 සරේදී මිහිකත හෝරාවඅනුව යමින් ආජන්ටිනාවේ බලධාරීන්, තම රටේ හෙක්ටයාර මිලියන තුනක් පමණ වන මුහුදු තීරය සංරක්ෂිත කලාපයක් බවට පත්කර ගැනීම සඳහා නීති රීති සම්පාදනය කර ගත්හ. 2015 වසරේදී ලොව රටවල් 172 ක් දේශගුණ විපර්යාස මැඩලීමේ සම්මුතියට අනුකුලත්වය දක්වමින්, ලොව පුරා විසිරි ඇති දසදහසක් පමණවූ,  දර්ශණීය ස්මාරක, සිහිවටන ආදියේ විදුලි ආලෝකය පැයක්‌ තුළ නිවා දමනු ලැබිය. ඒ සමගම දේශගුණ විපර්යාස වලට තුඩු දෙනු ලබන, මිනිස් චර්යායයන්  පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ විවිධ ක්‍රියාකාරකම්, පනස් දහසක් පමණ ලොව පුරා දියත් කර තිබේ.

2017 වසරේදී   පරිසර සංවේදී ජගත් ප්‍රජාව වෙනුවෙන් පෙනීසිටින විද්වත්හු  තවත් වැදගත් පියවරක් ගන්නා ලදී. මේ වනාහි ජෛව විවිධත්වය සහ එහි  වැදගත්කම   පිලිබඳව  ලෝක ප්‍රජාව මැනවින් දැනුවත් කිරීමයි. මේ මගින් මිනිස් ප්‍රජාව විසින් දැනුවත් විය යුතු වැදගත් කරුණු වන,  මිහිපිට ඈති ඕනෑම ස්ථානයක -(රටක , දේශයක , මහාද්වීපයක හෝ මහා සාගරයේ) - ඇති   විශේෂ විවිධත්වය (species diversity), පරිසර පද්ධති විවිධත්වය (ecosystem diversity) සහ ජනක විවිධත්වය (genetic diversity) යන, පරිසර විවිධත්වයේ ත්‍රිවිධ සංඝටක පිලිබඳ අවබෝධයක් ලබා දීමට නියමිතය. 

අප ආහාර ගැනීමේදී , ජලය පරිහරණය  කිරීමේදී , සහ ස්වසනය කිරීමේදී  අප තුළ මෙම විවිධත්වය පිලිබඳ හැඟීමක්   තිබිය යුතුමය.

එය න්‍යායිකව  එසේ වුවත්, ජෛව විවිධත්වය  පිළිබඳ ජනතා දැනුවත් වීම ඉතාමත් අඩුය.

දැනට කලකට පෙර මිහිකත උණුසුම් වීම’ (Global warming) පිලිබඳ සංකල්පයද ජනතාවගෙන් බොහෝ දුරස්වූ,  සම්මන්ත්‍රණ, වාර්තා ආදියට පමණක් සිමා වූ සංකල්පයක් බවට පත්ව තිබිණ. එසේ සාකච්ඡා වලට භාජන වෙමින් පැවති, ‘මිහිකත උණුසුම් වීමමගින්  සිදුවෙමින් පවතින ආර්ථික, සමාජයීය සහ පාරිසරික ව්‍යසන ගැන    ජනතා දැනුවත් වීම පැවතියේ මඳ වශයෙනි. එහෙත්, කල්යාමේදී ඒවායේ  අනිටු විපාක විඳීම ආරම්භ වීමත් සමගම ජනතාවට ඒ පිලිබඳ හැඟීමක්‌ ඇතිවෙමින් පවතී.

ජෛව විවිධත්ව සංකල්පය පිළිබඳවද ජනතා ප්‍රතිචාරය  මෙසේමය. ජෛව විවිධත්වය පීඩාවට පත්වීම නිසා මිනිසාට  විඳීමට සිදුවිය හැකි ආර්ථික, සමාජයීය සහ පාරිසරික ගැටළු පිළිබඳව පොදු වශයෙන් ජනතා අවබෝධය තවමත් පහත් මට්ටමක පවතී. මෙසේ පැවතීම උග්‍ර උපද්‍රව වලට මුලික විය හැකිය.

මේවා සැලකිල්ලට භාජන කරගනිමින්, ජාත්‍යන්තරව පිළිගත්, ජෛව විවිධත්වය පිලිබඳ ප්‍රඥප්තිය   (The Convention on Biological Diversity –CBD ) මගින්  2017 – 2020 තෙවසර තුලදී, ලෝක ප්‍රජාව හැකි තරම් දුරට ජෛව විවිධත්වය ගැන දැනුවත් කිරීමට බලාපොරොත්තු වේ. මේ සඳහා ක්‍රමවේද රාශියක් ඉදිරිපත්කර තිබෙන අතර ඒවා මගින් පරිසර සංරක්ෂණ වත් පිළිවෙත්  සහ පරිසරයේ තිරසාර බව රැකගැනීම සඳහා ගතයුතු පියවර ගැන මනා අවබෝධයක් ලබාදීමට නියමිතය. මෙය, යම්තමින් හෝ පරිසර දැනුවත් භාවයේ සිටින ජනතාව,  ක්‍රියාකාරී පරිසර සංරක්ෂකයින් බවට පරිවර්තනය කිරීමේ අඩිතාලමයි.

කාලගුණ විපර්යාස වැනි මහා පරිමාණයේ ව්‍යසන වලට ප්‍රධාන හේතු කාරක වනුයේ මිනිස් ක්‍රීයාකාරකම් බව අද අවිවාදයෙන් පිළිගෙන තිබේ. කාලගුණ විපර්යාස මැඩපැවැත්වීමේ ප්‍රධානතම මුරභටයන් වශයෙන් සැලකිය හැකි, වනාන්තර සහ  සාගර පරිසර පද්ධති ආදියට එල්ලවී ඇති තර්ජන   සියලුදෙනාගේම විමසිල්ලට භාජන විය යුතු කාලය එළඹ තිබේ. පෘථිවි තලය තුළ ජීවය රඳා පවත්වා ගැනීමේ ප්‍රධානතම සාධකය වනුයේ ජෛව විවිධත්වය බව මැනවින් තේරුම් ගත් බ්‍රසීලය, ජපානය, යුක්රේනය වැනි රටවල් වල බලධාරීන් විසින්,  2017 වසරේ මිහිකත හෝරාවජෛව විවිධත්වය පිළිබඳව  ජනතාව දැනුවත් කිරීමට පමණක් නොව, එම සංකල්පය ඔස්සේ  ජෛව විවිධත්වය රැකගැනීම පිණිස ක්‍රියාකාරී මෙහෙයුම්ද දියත් කර තිබේ.

පරිසර විද්‍යාත්මක පා සටහන’ *(Ecological Footprintනම් නව සිද්ධාන්තයට අනුව පරිසර දුෂණය කෙරෙහි කෙලින්ම, 50% ක පමණ බලපෑමක් ඇති කරනුයේ  ෆොසිල ඉන්ධන දැවීම නිසා බව ගණනය කර තිබේ. මේ නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි අපට ටිකින් ටික ෆොසිල ඉන්ධන දැවීමෙන් ඉවත්වීමට සිදුවී ඇත. මෙම අන්තර්කාලය තුළදී, රාජ්‍යයන් විසින් තිරසාරව නිපදවෙන ප්‍රතිජණනීය ඉන්ධන කෙරෙහි ජනතා ප්‍රසාදය ඇතිකිරිම සඳහා ප්‍රතිපත්ති සකස් කළ යුතුව තිබේ.

එසේම ව්‍යාපාරිකයින් විසින් ෆොසිල ඉන්ධන ලබාගැනීම සඳහා මුදල් ප්‍රතිපාදන නොයෙදවීමටත්, එවැනි ඉන්ධන  ඔවුන්ගේ බලශක්ති අවශ්‍යතා සඳහා යොදා නොගැනීමටත්, ජනතාවගේ  ප්‍රතිජනනීය ඉන්ධන ඉල්ලුම් සඳහා වැඩි වැඩියෙන් ආයෝජනය කිරීමටත් ඒවා ලබාගැනීමට පහසුකම් සැලසීමටත් ක්‍රීයා කළ යුතුය. 2017 වර්ෂයේදී ඉන්දියාව, දකුණු අප්‍රිකාව, හංගේරියාව සහ ඔස්ට්‍රේලියාව යන රටවල් මිහිකත හෝරාවව්‍යාපාරය ප්‍රයෝජනයට ගනිමින් ජනතාව, පෞද්ගලිකව හෝ ප්‍රජා සංවිධාන හරහා, නව තිරසාර බලශක්ති විසඳුම් සොයා යාමට උනන්දු කරවා තිබේ.

ජෛව විවිධත්වය සුරැකීමේ ක්‍රියාවලිය සඳහා සමස්ත මිනිස් වර්ගයාගේම සහයෝගය ඉතාමත් අවශ්‍ය බව දැන් ඉතාමත් පැහැදිලිය.  මිහිකත හෝරාවක්‍රියාදාමය මගින් ලබාදිය හැක්කේ ඒ සඳහා දැනුවත් කිරීමක් පමණකි. අපට ජීවත් වීමට තිබෙනුයේ මෙම පෘථිවි ග්‍රහයා පමණක් බව නිතර සිහියේ තබාගත යුතුය. මුළු ලෝකයේම මිනිස් ප්‍රජාව විසින් පරිසරය වෙනුවෙන් තම යුතුකම ඉටු කළහොත් අනාගතයේදී අදට වඩා ප්‍රසන්න, බලගතු ආපදා වලින් තොර මිහිකතක්‌ නිර්මාණය වනු ඇත.
[*Ecological Footprint යනුවෙන් හැඳින්වෙනුයේ, පරිසර දුෂණය කෙරෙහි බලපාන කාබන්ඩයොක්සයිඩ් වායු ඒකක සංඛ්‍යාවේ එකතුවයි]  

('මිහිකත හෝරාව' ආශ්‍රිතව පළවී ඇති ලිපි ලේඛන කිහිපයක් ඇසුරෙනි.)  

Sunday 17 March 2019

විදේශ වෙළඳපල ඉහලින්ම ජයගත් ‘ශ්‍රී ලංකා තේ’ (CEYLON TEA)

විදේශ වෙළඳපල  ඉහලින්ම ජයගත් ‘ශ්‍රී ලංකා තේ’ (CEYLON TEA)
    
හොඳම තේ නිෂ්පාදනය කරනු ලබන රටක් ලෙස ශ්‍රී ලංකාව කීර්ති නාමයක්ද සහිතව ලෝකයේ ප්‍රසිද්ධියට පත්වී තිබේ. නිෂ්පාදනය සඳහා  ශ්‍රී ලංකාවේ තේ වගාකිරීම ආරම්භකර තිබෙන්නේ දැනට වසර 150 කට පමණ පෙර, ජේම්ස් ටේලර් නමැති බ්‍රිතාන්‍ය ජාතික වැවිලිකරුවෙකු විසිනි. රටෙහි  කඳුකරයේ, මහනුවර සහ නුවරඑළිය  අවට ප්‍රදේශයේ ආරම්භ කරන ලද තේ වගාවන්, මධ්‍යම කඳු කරයේ වෙනත් ප්‍රදේශවලට සහ සබරගමුව පලාතටත් ඉක්මණින්ම ප්‍රචලිත විය. 

අද ලෝකයේ තේ නිෂ්පාදනයේ හතරවන ස්ථානය ලබාගැනීමට  ශ්‍රී ලංකාව සමත්වී තිබේ. අපට ඉදිරියෙන් සිටිනුයේ ඉන්දියාව, චීනය සහ කෙන්යාවයි. ඒ අතරම 2013 වසරේදී ලෝකයේ වැඩියෙන්ම තේ අපනයනය කළ රට ලෙසද ශ්‍රී ලංකාව ගෞරවයට පාත්‍ර විය. එම වර්ෂයේදී, විවිධ රසයෙන් යුක්ත තේ කිලෝග්‍රෑම් මිලියන 340 ක් අපනයනය කිරීමෙන්, ශ්‍රී ලංකාවට වාර්තාගත ආදායමක් ලැබී ඇති බවද  දැක්විය හැකිය. 

මෙම රුප සටහනේ  දැක්වෙන, ‘ගුණාත්මක භාවයේ සංකේතය’ (Symbol of Quality) වන, සිංහ ලාංචනය සහිත CEYLON TEA, (‘ලංකා තේ’) අපනයනය කරනුයේ ශ්‍රී ලංකා තේ මණ්ඩලය මගින්ය. ලෝකයේ විවිධ රටවල සිටින තේ පානය කරන්නෝ, හොඳම තේ තෝරා ගැනීම පිණිස මෙම ලාංචනය හඳුනාගෙන තිබෙන බව පෙනේ. දැනට මෙම ලාංචනය, ලෝකයේ රටවල් සියයක පමණ, ලියාපදිංචි කර ඇති  බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ තේ ප්‍රචාරක පොත් පිංචක සඳහන්ය.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන තේ, ලොව පුරා ජනප්‍රිය වීමට හේතුවූ සාධක රාශියක් තිබෙන බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය තම අධ්‍යයන මගින් හෙළිකරගෙන තිබේ. මෙම අධ්‍යයන වලට අනුව, ලෝකයේ විවිධ ජනකොට්ඨාශ විසින් ප්‍රිය කරනු ලබන ‘විවිධ රස, පැහැය  සහ සගන්ධ ප්‍රභේද’ (a variety of taste, colour  and aroma) හඳුනාගෙන ඇත. මිනිසා ප්‍රියකරන එම තෘප්තිය ලබාදිය හැකි විවිධ මාදිලිවල තේ නිෂ්පාදනය කළ හැකි වීම, CEYLON TEA ජනප්‍රිය වීමේ රහසයි.

ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරයේ, සබරගමු ප්‍රදේශයේ සහ රුහුණේ  භු විෂමතා, වර්ෂාපතන රටා, උෂ්ණත්වය සහ වායුගෝලයේ ආර්ද්‍රතාව වැනි භෞතික සාධක රාශියක බලපෑම් නිසා ඇතිවන, දේශගුණික ලක්ෂණ වලට අනුකූලව, කෘෂි-දේශගුණික කලාප (Agro-climatic zones) හතක් හඳුනාගෙන තිබේ. මෙසේ හඳුනාගෙන ඇති  කලාප නුවරඑළිය, උඩපුස්සැල්ලාව, දිඹුල, කැන්ඩි (මහනුවර), ඌව, සබරගමුව සහ රුහුණ යනුවෙන් නම්කර තිබේ. 

මේ අනුව රසයෙන් ගුණයෙන් හෙබි සුවිශේෂී, කෘෂි-දේශගුණික කලාපීය තේ (Agro-climatic tea) ප්‍රභේද හතක් නිෂ්පදනය කර ගත හැකි විය. මෙම තේ ප්‍රභේද සියල්ල අදාල ප්‍රදේශ වලට සම්බන්ධ  සමාජයී ය, සංස්කෘතික හෝ වෙනත්   විශේෂිත ලක්ෂණයක් විදහා දක්වන සංකේත සහිත ලේබලයකින් හඳුන්වා දීමද වැදගත් කමක් ගනී. 

මේ අනුව, නුවර එළිය සංකේතයේ, කඳු සහ දියඇලි, මහනුවර සංකේතයේ, දළදා මාලිගාව සහ රත්නපුර සංකේතයේ, මැණික් ආදී වශයෙන් සංකේත අර්ථ ගැන්වී ඇත. මෙසේ හැඳින්වෙන කුමන තේ ප්‍රභේදයකින් වුවද,  ක්‍රමානුකූලව සකස් කර ගනු ලබන තේ කෝප්පයක, තේ වල පැහැය, සුවඳ සහ රස එකිනෙකට බෙහෙවින් වෙනස් වේ.  ලෝකයේ වෙනත් කිසිම රටකට,  මෙවැනි විවිධ කෘෂි-දේශගුණික කලාප සියල්ලක්ම නොමැති බැවින් අපට මෙන් විවිධ ගුණාත්මක භාවයන්ගෙන් යුක්ත තේ ප්‍රභේද  නිෂ්පාදනය කළ හැකි නොවේ.

මෙම සුවිශේෂී තේ ප්‍රභේද  ගැන මඳක් විමසා බළමු.


NUWARA-ELIYA   (නුවර එළිය)

නුවරඑළිය දිස්ත්‍රික්කය, දිවයිනේ වැඩිපුරම කඳු සහිත ප්‍රදේශයයි. ඉස්තරම්ම තේ වගාව සඳහා හොඳම දේශගුණික තත්ත්ව ඇත්තේ මෙහි බව මුල් වගාකරුවෝ තේරුම් ගත්හ. මුහුදු මට්ටමේ සිට අඩි 6,200 කට වඩා  වැඩි මෙම කඳුකරයේ, ශීතල දේශ ගුණික තත්ත්ව යටතේ වැඩෙන තේ දල්ලෙන්  ලැබෙන, තේ වල ඉමිහිරි සුවඳක් තිබෙන අතර තේ වල පැහැයද රන්වන්ය. කහට රසයද මඳ තරමින්ය. ඉතා ඉහල ඉල්ලුමක් ඇති, තරමක් විශාල කැබලි සහිත ඔරේන්ජ් පැකෝ  (Orange Pekoe - OP) සහ කුඩා කැබලි සහිත (Broken Orange Pakoe - BOP) යන තේ වර්ග සඳහා නුවරඑළිය ප්‍රසිද්ධියක් උසුලයි.

UDA-PUSSALLAWA  (උඩපුස්සැල්ලාව)  

නුවරඑළිය ප්‍රදේශයට ආසන්නයේ පිහිටි උඩ පුස්සැල්ලාවේ තේ, නුවරඑළියේ තේ වලට සමකල හැකි වුවත්, විශාල කඳුවැටියක් සහිත එම ප්‍රදේශයේ  පවතින එකිනෙකට වෙනස්, වාර්ෂික  දේශගුණික කාල සීමා දෙකක් නිසා නිෂ්පාදිත තේ වල වෙනස් කම් පවතී. වර්ෂයේ මුල් මාස කිහිපය තුලදී ප්‍රදේශයේ පවතින වියලි බවෙන් යුත් ශීතල දේශගුණය නිසා, නිපදවනු ලබන තේ වලින් ලැබෙනුයේ රෝස පැහැයට හුරු අග්‍රගණයේ තේ පානයකි. ඉතිරි කාලයේදී ලැබෙනුයේ උස් කඳුකරයට පොදු නිෂ්පාදන වේ.

DIMBULA (දිඹුල)

උස් කඳු සහිත නුවරඑළිය ප්‍රදේශයට සහ තැනිතලා හෝර්ටන් තැන්න පිහිටි භූමියට මැද පිහිටි, මුහුදු මට්ටමෙන් අඩි 3500 සිට 5500 පමණ වන   දිඹුල ප්‍රදේශයේ තේ, ‘උස් බිම් තේ’ (High-grown Tea)  ලෙස හැඳින්වේ. මෙහි භුමි පිහිටීම් සහ පවතින මෝසම් සුළං අනුව, සංකීර්ණ ක්ෂුද්‍ර  දේශගුණික කලාප කිහිපයක්ම ඇත. මේ නිසා, ප්‍රදේශයේ නිෂ්පාදිත තේ විවිධ ගුණාංග වලින් පරිපූර්ණවේ. මෙහි නිෂ්පාදනය කරනු ලබන තේ වලින් සාකස් කරගන්නා පානය සිත්ගන්නා සුළු රන්වන් මිශ්‍ර දුඹුරු පැහැයක් ගනී.

UVA (ඌව)
මධ්‍ය කඳුකරයේ නැගෙනහිර බෑවුමේ  පිහිටි ඌව පළාතට,  නිරිතදිග සහ ඊසාන දිග මෝසම් දෙකේදීම මඳ වශයෙන් වැසි ලැබේ. මෙම ප්‍රදේශය මුහුදු මට්ටමෙන් උස අඩි 3000 සිට 4500 දක්වා යුක්ත නිසා, ඌව තේ වල, විවිධ රස පද්ධතියක්ම තිබේ.  මේ නිසා එම  තේ, විවිධ මිශ්‍රීත තේ සකස් කිරීමේ පාදකය ලෙසද  භාවිත වේ. කෙසේ වෙතත්, එයටම ආවේණික රසවලට ප්‍රිය කරන්නවුන් සඳහා ඌව තේ හොඳම නිෂ්පාදනයකි. ඇමෙරිකාවට මුලින්ම හඳුන්වා දී ඇත්තේ, ඌව තේ බවද කියැවේ.

KANDY (කැන්ඩි)

1867 වර්ෂයේදී,  ශ්‍රී ලංකාවේ පළමු තේ වගාව ආරම්භකර තිබෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේය. මුහුදු මට්ටමේ සිට අඩි 2000 සිට 4000 දක්වා උසකින් යුක්ත මෙම ප්‍රදේශයෙන් ලැබෙන තේ ‘මධ්‍ය කඳුකර තේ’ (Mid-grown tea) ලෙස හැඳින්වේ. සාමාන්‍ය වර්ෂා පතනයක් සහ සෞම්‍ය දේශගුණයක් පැවතීම නිසා ‘කැන්ඩි තේ’ ඉතාමත් ආකර්ශනීය සහ දිව පිනවන කහට රසයන්ගෙන් යුක්ත බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. මෙයින් සකස් කෙරෙන තේ තද දුඹුරු වර්ණයකින් යුක්තය.
                          
SABARAGAMUWA (සබරගමුව)

සබරගමුව ශ්‍රී ලංකාවේ විශාලතම දිස්ත්‍රික්කයයි. සබරගමු තේ වවනු ලබන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 600 සිට  2500 දක්වා උස්වූ ප්‍රදේශවලය. උතුරෙන් ශ්‍රීපාද අඩවියටත් දකුණෙන් සිංහරාජ වනාන්තරයටත් මැදින් පිහිටි තේ වගා ප්‍රදේශයේ ප්‍රශස්ත දේශගුණික තත්ත්ව නිසා කඩිනමින් වැඩෙන තේ පඳුරුවල සිහින් දිගටි දල්ලක් හට ගනී. මෙයින් සකස් කර ගනු ලබන තේ, තද දුඹුරු පැහැයෙන් යුක්තය.  මෙම තේ ප්‍රභේදයට විශේෂිතවූ සුවඳ සහ රස ඉතාමත් ප්‍රියජනකය.


 RUHUNA (රුහුණ)

දකුණු පළාතේ තේ වගා ප්‍රදේශ මුහුදු මට්ටමේ සිට අඩි 600 ට වඩා උසින් පිහිටා තිබේ. ‘අඩු උස් බිම් තේ’ (Low-grown tea) යන නමින් හඳුන්වන මෙම තේ ආවේණික  තද දුඹුරු හෝ කළු පැහැයක් ගනී. මෙම ප්‍රදේශයේ පාංශු ලක්ෂණ, දේශගුණික සහ ඉහල ආර්ද්‍රතාවය නිසා, දළු ඉක්මණින් වර්ධනය වේ. මේ නිසා තේ දල්ලේ අග්‍රස්ත හැකුළුණු කොටස වෙන්කර, ඒවායින්   විවිධ රස සහිත ප්‍රභේද සකස් කිරීම විශේෂත්වයකි. බොහෝ වටිනා ‘tips’ නම් විරල තේ ප්‍රභේද නිපදවීම සඳහා තේ දල්ලේ මෙම අග්‍රස්ථ භාවිත කෙරේ. රුහුණු තේ මැදපෙරදිග රටවල ඉතාමත් ජනප්‍රිය වී ඇති බැවින් හොඳ ඉල්ලුමක් තිබේ.

මේ අතින් බලන කළ, අපගේ දේශයේ භු විෂමතා සහ ඒ සමග ඇති සුවිශේෂී දේශගුණික රටා නිසා ලොව වෙනත් කිසිම රටකට නොමැති පරිසර විවිධත්වයක් අපට උරුමවී තිබේ. මෙය හේතු කොට ගෙන, රටෙහි සීමිත බිම් ප්‍රදේශයක තේ වගාකරන ශ්‍රී ලංකාවට ලෝකයේ හොඳම තේ ප්‍රභේද රාශියක් නිපදවීමට හැකිවී ඇත.

එකිනෙකට හාත්පසින්ම වෙනස් ‘නුවරඑළිය තේ’ සහ ‘රුහුණු  තේ’ වලින් සකස්වූ තේ කෝප්ප දෙකක භෞතික වෙනස් කම් මෙසේ දැක්විය හැකිය.
                                      

                             
නුවරඑළිය  තේ රන්වන් පැහැයක් ගන්නා අතර රුහුණු තේ තද දුඹුරු පැහැයට හුරු කලු පැහැයක් ගනී. රස, ගුණ, සුවඳ සහ කහට ගතිය අතින්ද එකක් අනිකට වඩා හාත්පසින්ම වෙනස් වේ. මේ සියල්ල මෙසේ සිදුවනුයේ තේ වවනු ලබන ප්‍රදේශවල භු විශමතා සහ දේශගුණික විවිධත්වය වැනි භෞතික සංසිද්ධි නිසාමය.

අනභිභවනීය වෙළඳ නාමයක් මෙන්ම  ‘ගුණාත්මක භාවයේ සංකේතය’ (Symbol of Quality) වන,  සිංහ ලාංචනය සහිත ‘CEYLON TEA’, එදත්, අදත් මෙන්ම අනාගතයේදීත් ලොව හොඳම තේ ලෙස කිරුළු පළඳිනු ඇත. 

(තොරතුරු ස්තුති පූර්වකව  'CEYLON TEA' ශ්‍රී ලංකා තේ ප්‍රචාරක පොත් පිංචකිනි)