Friday 27 July 2018

ස්වභාව ධර්මයේ ආශ්චර්යමත් සිදුවීම් කිහිපයක්.


  ස්වභාව ධර්මයේ නිරන්තරයෙන් දකින සියලුම දේවල් හොඳින් නිරීක්ෂණය කළහොත් ඒවායේ යම්කිසි රටාවක් තිබෙන බව අපට  හඳුනාගත හැකිය. උදාහරණයක් වශයෙන් අප දකින දේදුන්නෙහි නිශ්චිත වර්ණාවලියක් තිබේ. VIBGYOR  යන ඉංග්‍රීසි අකුරුවලින් කියැවෙන වර්ණ හතක් (දම්,  ලා දම්, නිල්,කොළ, කහ, තැඹිලි, රතු)   එහි ඇති බව අපි දනිමු. දේදුන්නට වර්ණ හතක් ලැබෙනුයේ, පැහැයක් නොමැති හෝ සුදු පැහැයෙන් යුක්ත හිරු රැස්  අහසේ වලාකුළු වල ඇති සියුම් ජල  බින්දු මත වැටි පරාවර්තනය වීමෙන් සෑදෙන වර්ණාවලිය නිසා බව අපි විද්‍යා පාඩම් වලදී ඉගෙන ගෙන ඇත. 

අපගේ ගෘහාශ්‍රිතව ජීවත්වන කපුටා තද කළු වර්ණයෙන් යුක්ත පක්ෂියෙකු බව නොදන්නා කෙනෙකු නැත. කපුටාට කළු පැහැ පියාපත් ලැබෙනුයේ  වර්ණදේහ වල සුවිශේෂී ජාන එකක් හෝ කිහිපයක් තිබෙන නිසා බවද සත්‍යයකි. 

මෙම සත්‍ය සංසිද්ධි වල පවා කලාතුරකින් සිදුවන විකෘති නිසා අසාමාන්‍ය දේවල් සිදුවන බව නොයෙක් විට නිරික්ෂණය කර තිබේ. මිනිස් වර්ගයා ඇතුළු සියලුම ජීවීන්ගේ පුං භාවය (පිරිමි) හෝ ජායා භාවය (ස්ත්‍රී) තීරණය වනුයේ ඩිම්බ සංසේචන අවස්ථාවේදී එකට සම්බන්ධවන වර්ණදේහ වල සුවිශේෂී ලක්ෂණ සහිත ජාන (genes) නිසාය. මෙහිදී නියමිත රටාවට පරස්පර ජාන සම්බන්ධයක් සිදුවුවහොත් විකෘති සහිත  මනුෂ්‍යයින් පවා හටගනී. මෙසේ සිදුවන බොහෝ විකෘති වීම් විද්‍යාත්මකව අවබෝධ කර ගත හැකිවේ.

විකෘති ස්වභාවයක් පෙන්වන සමහර සංසිද්ධි වලට ජානමය හේතු වලට අමතරව පරිසර හේතුද බලපාන බව පෙනේ. මේ කිසිම හේතුවක් නොමැතිව සිදුවන ස්වාභාවික සංසිද්ධි වශයෙන් පමණක් සැලකිය හැකි දේද වරින් වර දකින්නට ලැබේ. මෙම සටහන එවැනි සුවිශේෂී අවස්ථා කිහිපයක්‌ හඳුන්වා දීමටය.

1.     ෆ්ලැමින්ගෝ පක්ෂියා සහ ෆ්ලැමින්ගෝ පැටවා

අත්ලාන්තික් සාගරයේ බහමාස් දුපත් සමුහයේ ජාතික පක්ෂියා වන ෆ්ලැමින්ගෝ එරට රාජ්‍ය ලාංඡනයේද දකින්නට ලැබේ. ලාරතු පැහැයට හෝ රෝස පැහැයට හුරු පියාපත් සහිත විශාල පක්ෂියෙකු වන ෆ්ලැමින්ගෝ  මීටර් එකක් පමණ උසින් යුක්තය. මුහුදු වෙරළ සහ කලපු ආශ්‍රිතව ජිවත්වන මොවුන්ගේ දීප්තිමත් පිහාටු පැහැය ලැබෙනුයේ ආහාරය සඳහා  ගන්නා සමුද්‍ර ජීවින් සහ ඇල්ගී වර්ග නිසා බව සොයාගෙන තිබේ.

Flamingo යන නම යොදාගෙන ඇත්තේ ඔවුන්ගේ ශරීරය ගිනිදැල්ලක පැහැය ගන්නා නිසාය. මෙම අලංකාර පක්ෂියාගේ පැටවා මවගේ පැහැයට හාත්පසින්ම වෙනස්, සුදු හෝ ළා කහ පැහැයකින් යුක්තය. මොවුන් වසර දෙකක් පමණ ඔවුනට ආවේනික ආහාර ගන්නා  විට මවගේ පැහැය ගනිති. මව අසලක නොසිටියහොත් මෙම කුරුළු පැටවා ෆ්ලැමින්ගෝ පැටවෙකු බව කිසිසේත් කිව නොහැකිය.

2.    තක්කාලි ගෙඩියක් තුළ කුඩා ගෙඩි කිහිපයක්
ඉදුණු තක්කාලි ගෙඩියක් දෙකට කැපු විට පෙනෙනුයේ එය තුළ යම්කිසි රටාවකට බීජ පිහිටිමය. එසේ තිබීම ස්වාභාවිකය. එහෙත් ඉහත රුපයේ දැක්වෙන කැපූ තක්කාලි ගෙඩිය තුළ තවත් කුඩා තක්කාලි ගෙඩි කිහිපයක් දකින්නට ලැබේ. ඒ සියල්ලේමත් බීජද දැකිය හැකිය. මෙය සිදුවිය හැකි ආකාරය සරල ක්‍රියාවලියක් විය නොහැකිය. එය තක්කාලි ඵලය හටගත් පුෂ්පයේ ඩිම්බ කෝෂය තුළ සිදුවූ විකෘතියක් විය හැකිය. නැතහොත්, පුෂ්පය පරාගණයේදී හෝ ඩිම්බ සංසේජනයේදී සිදුවූ විපර්යාසයක් විය හැකිය. 

3.     වර්ණ දෙකක  මිරිස් කරලක්
මෙහි රූපයේ ඇති මිරිස් කරල දෙස බලන්න. එය සත්‍ය ඡායාරූපයකී. මේ මිරිස් කරලේ සහ එහි නටුවේ හරි අඩක් සුදු පැහැ වන අතර අනික් කොටස කොළ පැහැයෙන් යුක්තය. මෙය ජාන විපර්යාසයක් නිසා සිදුවී ඇති දෙයක් බව විශ්වාස කළ හැකිය. එහෙත් ඒ ගැන ස්ථිර නිගමනයක් ලැබී නොමැත.

4.    දම් පැහැති අර්තාපල්
දකුණු ඇමෙරිකාවේ පීරු සහ බොලිවියාව වැනි රටවල වවනු ලබන විවිධ අර්තාපල් අතර, දම් පැහැති අර්තාපල්, සුවිශේෂී එකකි . මෙම අර්තාපල් අලයේ පොත්ත සහ ඇතුළත තද දම් පැහැයකින් යුක්තය. දම් පැහැය හට ගනු ලබන්නේ ඇන්තොසයනින් (anthocyanin) නමැති වර්ණකයක් නිසාය. මීට අමතරව දම් පැහැති අර්තාපල් වල ඇති

තවත් ඖෂධීය ගුණ සහිත රසායන ද්‍රව්‍ය කිහිපයක්, පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමට යෝග්‍ය බව සොයාගෙන තිබේ. විශේෂයෙන්ම ගුද මාර්ගයේ පිළිකා සඳහා එය ප්‍රත්‍යක්ෂ ඖෂධයක් බව හෙළිවී ඇත.

5.    සුදු කපුටා

අප නිරතුරුවම  දකින කපුටා තද කළු පැහැයෙන් යුක්තය. ඉතා කලාතුරකින් දකින්නට ලැබෙන සුදු කපුටෙකු පිලිබඳ විස්තරයකි මෙය. කපුටන්ගේ පිහාටුවල කළු පැහැය ඇතිවීමට මෙලනින් (melanin) නම් වර්ණකය අවශ්‍යය. කලින් සඳහන් කළ 
ෆ්ලැමින්ගෝ පක්ෂියාගේ මෙන් නොව කපුටාගේ වර්ණය සහ ඌ ගන්නා ආහාර අතර සම්බන්ධයක් නොමැත. සුදු වර්ණය උගේ ජාන වල සිදුවී අති විකෘතියක් නිසා සිදුවූ දෙයකි. Albinism යනුවෙන් හඳුන්වනු ලබන මෙම ස්වභාවය ‘ඇළිබව’ ලෙස හැඳින්වේ. කපුටාගේ ඇළි බව හටගන්නේ ජානවල විකෘති වීමක් මගින් මෙලනින් නිෂ්පාදනය අඩාළ වීම නිසා බව පක්ෂි විද්‍යාඥන්ගේ මතයයි. ඇළි කපුටාගේ ඇස් ද රෝස පැහැය ගනී. මිනිසුන් අතරද ලක්ෂයකට පස් දෙනෙකු පමණ ‘ඇළියෝ’ සිටින බව හෙළිවී තිබේ.

6.    කාම්බෝජයේ ‘අන්ග්කෝර් වැට්’ ආශ්‍රමයේ ආක්‍රමණික නුග ගසක්


            
කාම්බෝජයේ අන්ග්කෝර් වැට් (Angkor Wat) නමැති ආශ්‍රමය  වසර නවසියයක් පමණ පැරණි බෞද්ධ සහ හින්දු සිද්ධස්ථානයකි. හෙක්ටයාර් දෙසියයක් පමණ පැතිරී ඇති මෙම පුජා භුමිය ලෝකයේ ඇති විශාලතම ආගමික සිහිවටනය වේ. අන්ග්කෝර් වැට් යන නමෙහි අර්ථය ‘සිද්ධස්ථාන නගරය’ ලෙස දැක්විය හැකිය. 1992 වර්ෂයේදී මෙය යුනෙස්කෝව මගින් ජගත් උරුමයක් ලෙස නම්කර, සංරක්ෂණය කිරීම ආරම්භ කර තිබේ. මෙහි සමහර ගොඩනැගිලි ජරාවාස වී දිරා පත් වෙමින් පවතී. දැනට යුනෙස්කෝව මගින් මෙම ගොඩනැගිලි යථා තත්ත්වයට ගෙන එම සඳහා මහත් පරිශ්‍රමයක් ගනු ලැබේ.  ඡායාරුපයෙන් දැක්වෙන්නේ එවැනි ගොඩනැගිල්ලක් විශාල නුග ගසක මුල්වලින් වෙලාගෙන ඇති ආකාරයයි. නොසලකා හරින ලද ඉදිකිරීමකට මෙවන් ස්වාභාවික ආපදා වලට භාජන වීමට බොහෝ ඉඩකඩ තිබේ. මෙය  Ficus strangulosa  නම් විශේෂයේ නුග ගසකි. strangulosa  යන වචනයෙන් හැඳින්වෙන්නේද තදින් වෙලා ගැනීම වැනි අර්ථයකි.









Thursday 19 July 2018

අපා, දෙපා, සිවුපා, ශඩ්පා, අෂ්ටපා, දශපා, සියපා සහ දහස්පා ..........

පෘථිවි ජෛව ගෝලය තුළ සිටින, ලක්ෂ සංඛ්‍යාත සතුන් වෙන වෙනම හඳුනා ගැනීම කිසිවෙකුට කළ හැකි දෙයක් නොවේ. මේ ගැන කල්පනා කළ, ස්වීඩන් ජාතික ලිනෙයස් නම් විද්‍යාඥයා විසින් ඒ සඳහා ඉතාමත් ප්‍රායෝගික ද්විපද නාමකරණය නම් ක්‍රමවේදයක් ඉදිරිපත් කරන ලදී. 

අප කවුරුත් විද්‍යා පාඩම් වලදී ඉගෙනගෙන ඇති පරිදි, මෙම නාමකරණයට අනුව මිනිසා, Homo  sapiens  වේ. මෙහි Homo යන්න වර්ගීකරණයේ ගණ නාමය ලෙසත් sapiens යන්න විශේෂ නාමය ලෙසත් හැඳින්වේ. වසර තුන්සියයකට පමණ ඉහතදී ඉදිරිපත් කළ අදහසක් වුවද, අදටත් මෙම හඳුනාගැනීමේ ක්‍රමය බහුලව භාවිත වේ.

සියලුම සතුන් සත්ත්ව රාජධානියට අයත් වන අතර, ඔවුන් ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. මොව්හු, පෘෂ්ඨවංශීන් (vertebrates) සහ අපෘෂ්ඨවංශීන් (invertebrates) ලෙස නම් කෙරේ.  කොඳු ඇට පෙළක් (vertebral coloumn) තිබීම හෝ නොතිබීම මෙම බෙදීමට මූලික වේ.

පෘෂ්ඨවංශීන් ලෙස විග්‍රහ කරනුයේ මත්ස්‍ය, උභයජීවී, උරග, පක්ෂි සහ ක්‍ෂීරපායි යන සත්ත්ව කොට්ඨාශ වේ. මෙයින්, උරග ගෝත්‍රයක් වන සර්පයින්ට පමණක් ගාත්‍රා  නොමැත. අනිකුත් සියල්ලටම ගාත්‍රා හතරක් තිබේ. පෘෂ්ඨවංශීන් හැර අනික් සියලුම සත්තු,  අපෘෂ්ඨවංශීන් වන අතර, ඔව්හු සාමාන්‍යයෙන්  කුඩා ශරීර සහිත  සත්තු වෙති. ඔවුන් අතරද, ගාත්‍රා (පා)  නොමැති සත්තු කොට්ඨාශයක් සහ පා සහිත කොට්ඨාශ රාශියක් සිටිති. සත්ත්ව රාජධානියේ සියලුම සතුන් පොදුවේ ගත්විට එකිනෙකාගේ පාද සංඛ්‍යාව හෝ පාද නොමැති බව සුවිශේෂී ලක්ෂණයකි.  අපෘෂ්ඨවංශීන් අතරද ගැඩවිල් පණුවන්, වෙනත් වට පණුවන් සහ තවත් සමුද්‍ර ජීවී සමුහයකට  පාද නොමැත. ගාත්‍රා හෝ පා සහිත  අපෘෂ්ඨවංශීකයෝ සියල්ලෝම පාහේ  තම ගාත්‍රා, ඇවිදීම සඳහා පා ලෙස භාවිත කරති.

සතුන්ගේ ගාත්‍රා හෝ පාද සංඛ්‍යා වල ඇති විවිධත්වය ගැන සිතා බැලීමට පෙර, අප නිතර දෙවේලේ භාවිත කරන කරණීය මෙත්ත සුත්‍රයේද, සියලු සත්ත්වයින් කෙරෙහි මෛත්‍රී කිරීමේදී සියලු සතුන් ආවරණය වන පරිදි,  අපූරු හැඳින්විමක් කර තිබෙන බව සිහියට නැගේ.
එය මෙසේය:

බෞද්ධ සම්ප්‍රදායට අනුව මෙත් වැඩීමේදී, මේ ආකාරයට ලොව සියළුම සතුන් ගැන සිත් යොමු කිරීම බුදු දහමෙහි පමණක් ඉගැන්වෙන ඉතාමත් වැදගත්, ජිවිතයට සමීප භාවනාවක් බව ඉතාමත් පැහැදිලිව පෙනේ.
එනම්:  
     
 

ආදී වශයෙනි.

මෙසේ බලන කළ වසර දෙදහස් පන්සියයකටත් වඩා අතීතයේ සිට, ලොව සිටිනතාක් සියලුම සතුන් ආවරණය වන පරිදි, සත්ත්ව විවිධත්වය පිළිබඳව, බුදු දහමේ ඉතාමත් පැහැදිලි සරල විවරණයක් කර තිබේ.

මා මෙහිදී විශේෂයෙන්ම අදහස් කළේ, ලොව සිටින සියලුම සතුන් පිළිබඳව, ඔවුන්ගේ චලණය සඳහා යොදාගන්නා  පාද හෝ ගාත්‍රා සංඛ්‍යා අනුව විමසීමක් කිරීමටය. මෙයට  “අපා, දෙපා, සිවුපා, .............. දහස්පා  ......” යනුවෙන් නම් කළේද ඒ නිසාය. මේ ගැන මඳක් සිතා බලමු.

·        ‘අපා’ -  (පාද නොමැති)  අපා යනු පාද නොමැති බවයි. (මෙහි ‘අ’ උපසර්ගයකි)  පෘෂ්ඨවංශීන් (vertebrates) අතර පා හෝ ගාත්‍රා නොමැත්තේ සර්පයින්ට පමණකි. ගොඩබිම සිටින පණුවන්, ගොළු බෙල්ලන්, හංගොල්ලන් සහ කූඩැල්ලන්ද , බෙල්ලන්, ඉකිරියන් වැනි සමුද්‍ර ජිවින්ද පාද නොමැති  අපෘෂ්ඨවංශීන් (invertebrates) වෙති. බෙල්ලන්ගේ චලණය සඳහා උපයෝගිවන පේශිය  ‘ව්‍යාජ’ පාදයකි. (false foot)

·       ‘දෙපා’- (පාද දෙකක් සහිත) - පෘෂ්ඨවංශීන් අතර, පාද දෙකක් ඇත්තේ මිනිසාට සහ පක්ෂීන්ට පමණකි. ගාත්‍රා වශයෙන් ගතහොත් මිනිසාගේ අත් සහ පක්ෂීන්ගේ අත්තටු පූර්ව ගාත්‍රා වේ. මොවුන් ඇවිදීම සඳහා භාවිත කරනු ලබන අපර ගාත්‍රා පාද වේ. ‘දෙපා’ සහිත අපෘෂ්ඨවංශීන් නොමැත.

·       ‘සිව්පා’- (පාද සතරක් සහිත) - මිනිසා සහ පක්ෂීන් හැර අනිකුත් සියලුම  පෘෂ්ඨවංශීන් සිව්පාවුන්ය. සිව්පා අපෘෂ්ඨවංශීන්ද නොමැත.

·        ‘ශඩ්පා’- (පාද හයක් සහිත) - මී මැස්සන්, සමනළයින් වැනි කෘමින් (insects) සියල්ලෝම පාද සයක් සහිතය. ලෝකයේ බහුලම සතුන්ද මොවුන් වෙති.

                                                                                                                 
                                            
·        ‘අෂ්ඨපා’ – (පාද අටක් සහිත) - සියලුම මකුළුවන් (spiders) සහ ගෝනුස්සන් මේ ගණයට වැටේ.

·       ‘දශපා’ – (පාද දහයක් සහිත) - මෙම සතුන් වනුයේ ඉස්සන්, කකුළුවන් වැනි ක්‍රස්ටේසියානුන්ය.

·       ‘සියපා’ – (පාද සියයක් සහිත) - Centepede යන නමින් හඳුන්වන පත්තෑයින් හට පාද සියයක් ඇතැයි විශ්වාස කෙරේ. එසේ වුවත් මෙය වෙනස් විය හැකිය. සෑම පත්තෑයෙකුගේම ශරීරයේ එක් ඛණ්ඩයක පාද යුගලයක් බැගින් තිබේ. විශේෂය අනුව ශරීරයේ  ඛණ්ඩ සංඛ්‍යාව 20 සිට 110 දක්වා විය හැකිය.


                    
                                        
·       ‘දහස්පා’ – (පාද දහසක් සහිත) - Millipede යනුවෙන් ඉංග්‍රීසියෙන්  හඳුන්වන හැකරැල්ලන්, කංකුන්ඩන් වැනි සතුන්ට පාද දහසක් තිබේයයි සිතා එසේ නම් කර ඇත. මොවුන්ගේ එක් ඛණ්ඩයක පාද යුගල දෙකක් තිබේ. එහෙත් මේ සතුන්ට ඇත්තේ පාද 50 සිට 400 දක්වා ගණනක් බව නිරීක්ෂණය කර තිබේ.

කුමන ආකාරයක වර්ගීකරණයක් අනුගමණය කළත්, කරණිය මෙත්ත සුත්‍රයේදී පෙන්වා දී ඇති ආකාරයට ලොව ඇතිතාක් සියලුම සතුන් හොඳින් ආවරණය වන බව පෙනේ. මෙහි තවත් වැදගත් කරුණක් වනුයේ, විද්‍යාත්මක වර්ගීකරණයට හමු නොවන, උපදින සත්තු සහ ඉපදීමට සිටින සත්තු පවා මෙහිදී හඳුන්වා  තිබීමයි. මෛත්‍රී කිරීම සඳහා උපදින සත්තු සහ ඉපදීමට සිටින සත්තු පවා සඳහන් කර තිබීම විද්‍යා ඤාණයටත් ඔබ්බට යන ධර්ම සංකල්පයක්ම වේ.
  



Tuesday 10 July 2018

එඬේර කොලුවා, දේශපාලනඥයා සහ නව තාක්ෂණය .......


   මෙය ඇමෙරිකාවේ මහා තණබිම් සහිත ප්‍රදේශයකදී අසන්නට ලැබුණු පුවතකි. එහි යතාර්ථය අපගේ වත්මන් තත්ත්වය හා සැසඳීමට හැකි නොවේදැයි මට සිතේ.
(මට මෙය ලැබුණේ ඇමෙරිකාවේ  මොන්ටානා ප්‍රාන්තයේ සිටින ශ්‍රී ලාංකික මිතුරෙකුගෙනි)
රොබට් නමැති  එඬේරෙකු, සතුන් දහස් ගණනක් සිටින තම විශාල පට්ටිය තැනිතලා තණ බිමක,  තණ කෑම සඳහා යොදවා, ගුරු පාර අයිනේ ගසක් යට සෙවනේ වාඩිවී ගිමන් හරිමින් සිටියේය. ඈත සිට ගුරු පාරේ දුවිලි නංවමින් වේගයෙන් පැමිණි, නව පන්නයේ BMW මෝටර් රථයක්, මහා දුවිලි වලාවක් නංවමින්,  ඔහු අසල නතර කළේය.
මෝටර් රථයේ ඉදිරිපස දොර විවෘත කළ, එය පදවාගෙන ආ තරුණයා දුටු  එඬේර කොලුවා මවිතයට පත්විය. ඒ තරුණයා ඉතාමත් වටිනා  Armani® ඇඳුම් කට්ටලයකින් සැරසී,  Gucci® පාවහන් දමා, RayBan® අව් කන්නාඩි පැළඳ, YSL® ටයි පටියක්ද දමා, ඇඳුමෙන් පැළඳුමෙන් මනා කඩවසම් භාවයක් පෙන්නුම් කළේය.
එඬේර කොලුවා මවිතයට පත්වී, තමා වාඩිවී සිටි තැනින් නැගිට ගත් විටම, ඔහුට කතාකළ අමුත්තා,
‘ඒයි.... මල්ලී,  මම ඔයාගේ පට්ටියේ සිටින හරක් ගණන හරියටම කිව්වොත් මට වහු පැටියෙක් දෙනවාද?”  කියා අද්භුත  ප්‍රශ්නයක් ඇසීය.
දහස් ගණනක් සතුන් සිටින තම පට්ටියේ සිටින සංඛ්‍යාව දින කිහිපයකට පෙර, පැය තුනක්  තිස්සේ  ගණන් කර තිබුණු නිසා, ඔහුට සංඛ්‍යාව ගැන ගැටළුවක් නොවිය. අමුත්තාට සතුන් සංඛ්‍යාව කෙසේවත් ගණන් කළ නොහැකි බව  දත් එඬේර කොලුවා, මෙම අති නවීන පන්නයේ අමුත්තා දෙස තව වරක් හොඳින් බලා, පෙනෙන තෙක් මානයේ සිටින තම පට්ටිය පෙන්වා,  
“හරි....., නිවැරදිව කිව්වොත් නොවරදවාම දෙන්නම්” කියා පොරොන්දු විය.
වාහනයේ හරිබරි ගැසී වාඩිවූ අමුත්තා ඔහුගේ  Ipad2 උපකරණය පිටතට ගෙන Motorola Razr 4GLte® ජංගම දුර කථනයට සම්බන්ධ කළේය. එසේ කර අන්තර්ජාලයේ  NASA පිටුවකට පිවිසුණේය. අයි පෑඩ  අකුරු පුවරුවේ, බොත්තමක් ඔබා ඔහු  GPS satellite සම්බන්ධය ලබාගත්තේය. ඊටපසු තමා දැනට සිටින ස්ථානය සහ ඒ අවට ප්‍රදේශය ආවරණය වන අති සූක්‍ෂම ඡායාරුපයක් ලබාදෙන ලෙස වෙනත් NASA චන්ද්‍රිකාවකට උපදෙස් දුන්නේය.
මෙම අද්භූත අමුත්තා, ඊට පසු තමාට ලැබුණු ඡායාරුපය Adobe Photoshop® පිටුවක විවෘත කර, ජර්මනියේ හැම්බර්ග්හි, ඉලෙක්ට්‍රොනික  ඡායා පිටපත් දත්ත සැකසුම්, මධ්‍යස්ථානයකට යොමු කළේය.
තත්පර කිහිපයකදී, ඔහුට විද්‍යත් තැපෑලෙන් ලැබුණු පණිවුඩයක සඳහන් වුයේ Excel® විසුරුම් පත්‍රිකාවක සියලු විස්තර සඳහන් කර ඇති බවයි.
වහාම ක්‍රියාත්මක වූ ඔහු තම මෝටර් රථයේම තිබෙන, විශාලනය අවම කර ඇති   HPLaserJet® උපාංගයෙන්, මුද්‍රිත පිටපතක් ලබාගෙන, යන්ත්‍රයේ  තිරය මත තම ඇඟිලි තුඩු හසුරුවා එය විශාල කර ගත්තේය.
එය කියවා බැලු ඔහු,
“ඒ...යි....... යාලුවා!  ...., ඔයාගේ පට්ටියේ හරියටම එළ දෙන්නු සහ වසුපැටියෝ එක්දහස් පන්සීය අසු හය දෙනෙක් සිටිනවා.” යයි මහ හඬින් කෑගසා කිවේය.
“ගණන හරියට.... හරි .....,   අපේ පොරොන්දුවේ ආකාරයට ඔබට කැමති වහු පැටියෙක් තෝරාගන්න.”  එඬේර කොලුවා කිසිම තැති ගැනීමක් නොමැතිව කීවේය.
කඩවසම් තරුණ අමුත්තා, වාහනයෙන් එලියට අවුත්, වසු පැටියෙකු තෝරණ ආකාරය ඔහු හොඳින් බලා සිටියේය. ඔහු තමන් තෝරාගත් සතා, ඔසවා වාහනයේ පසුපස කොටසට දමාගත්තේය.
වාහනයේ දොර වැසීමට පෙර අමුත්තාට  කථාකළ  එඬේර කොලුවා,
“ඒ...යී ......, මගේ අලුත් යාලුවා......, මම ඔයාගේ තරාතිරම හරියටම කිව්වොත් මට මගේ වහු පැටියා ආපසු දෙනවාද?” කියා ඔහුගෙන් ප්‍රශ්න කළේය.
මොහොතක් කල්පනා කළ තරුණයා මහත් ආඩම්බර ලීලාවකින්
“ඔට්ටුයි හරියට කියන්න බැරුව...ට” කියා තම දබරැඟිල්ල ඔහු වෙත එල්ල කර ඉල්ලීමට එකඟ විය.
“ යාලුවා ...... ඔයා  අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් !” යයි ඔහු එක්වරටම කිවේය.
“ටක්කෙටම ......හරියට හරි !. ඔයා කොහොමද ඒක අනුමාන කළේ ?” අමුත්තා පුදුමයෙන් ඇසීය.
“අනුමානයක් නොවෙයි.”
“ මෙන්න මේ නිසයි මම දැනගත්තේ”
“ඔයා, කිසි කෙනෙකුගේ ඉල්ලීමක් නැතිව මෙතනට ආවා. 
    
"මම ඔබගෙන් නොඇසූ, මම හොඳින් දන්නා, මගේ සතුන් ගණන, මගෙන් ප්‍රශ්න කර, ඔබම උත්තරය කිව්වා."  

"මට එසේ කියා, ඔබ එයින් ලාභයක් උපයා ගැනීමටත් කල්පනා කළා.”
“ඔබ මේවාට අමතරව, මට වඩා දැනුවත් කෙනෙක් බව පෙන්වීමට, ඩොලර් මිලියන ගණනක් වටිනා උපකරණ රාශියක් පරිහරණය කළා. ඒවා ඔබට නිල බලයෙන් නොමිලේ ලැබෙන පහසුකම් වෙන්නට ඇති”
“ඒ කෙසේ වෙතත්,  අප වැනි සාමාන්‍ය ජනතාව ජීවිතය ගැට ගසා ගන්නා ආකාරයවත්, මේ තණබිම් වල කටුක බවවත්  ඔබ දන්නේ නැහැ.”
“ඒ සියල්ලටමත් වඩා, ඔබ ගවයින් ගැනවත් දන්නේ නැහැ." 
"මගේ පට්ටියේ සිටින්නේ ගවයින් නොවේ බැටළුවෝ......”
“කරුණාකර, ඔබ වසු පැටවෙකැයි සිතා වාහනයට දමාගත්, මගේ එඬේර බල්ලා ආපසු දෙන්න.” 
මෙයින් කලබලවූ අමුත්තා 
“ආ ..... ඒ වසු පැටියෙක් නොවෙයිද? මට හරියට හඳුනා ගන්නට බැරි උනානේ?”  කිවේය. 
“ බැටළු පට්ටියක කොයින්ද...... වසු පැටව්,..... වැදගත් මහත්මයෝ.....?”
කියා එඬේර කොලුවා උපහාසාත්මකව කී විට,  තුෂ්නිම්භුතවූ දේශපාලක අමුත්තා, මහත් ලජ්ජාවට පත්වී, බල්ලා ආපසු භාරදී, වාහනය පණගන්වා, පෙරටත් වඩා දුවිලි නංවමින් වේගයෙන් ඉදිරියට ඇදී ගියේය.
ඇමෙරිකාවේ සිදුවූයේ යයි පැවසෙන  මෙවැනි සිද්ධි  අපේ රටෙත් වෙනවා නේද?


 


Friday 6 July 2018

ඉස්සර කාලේ තිබුණු, වී.පී.පී (V.P.P) තැපෑල......


අපි පාසැල් පොත් VPP මගින් ගෙන්වා ගතිමු.....

අප කුඩා කාලයේ තිබුණ ඉතාමත් වැඩදායී තැපැල් ක්‍රමයක් පිලිබඳ සටහනකි මෙය.

දැනට දශක හයකට හතකට පමණ ඉහතදී ගම්බද පලාත්වල තැපැල් කාර්යාල තිබුණේ ඉතාමත් කලාතුරකින් උප නගර වල පමණකි. එකල ගැමියා ලියුම් ගනුදෙනු කරගත්තේද කලාතුරකිනි. ඒ කාලයේ මගේ පියා කෘෂිකාර්මික සහ වැවිලි කටයුතු වල නිරතව සිටි නිසා, පේරාදෙණියේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මාසික ප්‍රකාශණයක් ලෙස නිකුත් කරනු ලැබූ  ‘ගොවිකම් සඟරාව’ තැපෑලෙන් ගෙන්වා ගත්තේය. එම දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන විවිධ අත් පත්‍රිකා ද අපට නිතර තැපෑලෙන් ලැබුණි. 

අපට තැපැලෙන් ලැබෙන ලිය කියවිලි ගෙදරටම ගෙනවිත් දෙන ‘පියුන් මාමා’ අපේ හිතවතෙකු විය. ඔහු වැඩ කරන තැපැල් කාර්යාලය පිහිටා තිබුණේ අපගේ ගෙදර සිට සැතපුම් පහක් පමණ දුරින්ය. ඔහු ලියුම් බෙදීම කළේ බයිසිකලයකිනි.

පස්වන ශ්‍රේණියේ සිටි මම, ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වී ප්‍රදේශයේ මධ්‍ය විද්‍යාලයයට තේරී සිටියෙමි. නව වර්ෂයට විද්‍යාලයය පටන් ගැනීමට සති කිහිපයකට කලින් (නිවාඩු කාලයේ) අප නවකයින් සියලු දෙනාම විදුහලට ඇතුලත් කර , සියලු උපදෙස් ලබාදී අලුත් පන්තිය සඳහා පොත් ලැයිස්තුව සහ අවශ්‍ය අනිකුත් උපකරණ ලේඛනයක් ලැබුණි. අවශ්‍ය නිල ඇඳුම් සකස් කර ගැනීම සඳහාත් පොත්පත් සපයා ගැනීම සඳහාත් අපට සති දෙකක පමණ කාලයක් තිබිණ.

ඊට දින දෙකකට පසුව ‘පියුන් මාමා’ හමු වූ වේලේ, මම මගේ අලුත් පාසල සහ පොත් පත් ආදිය ගැන ඔහුට කීවෙමි.

මෙම විස්තරය ඇසු ඔහු, පන්තියට  අවශ්‍ය සියලුම දේවල් කොළඹ ගුණසේන පොත් සාප්පුවෙන්, වී.පී.පී තැපෑලෙන් ගෙදරටම ගෙන්වා ගතහැකි අලුත් ක්‍රමයක් තිබෙන බව මට කිවේය.

මා, මේ බව පියාට කී විට, පියාද ඒ බව දැනුවත් වී සිටින බවත්, ඒ ක්‍රමයට පොත් පත් ගෙන්වා ගැනීම පිළිබඳව සිතා සිටින  බව සහ පසුවදාම ඒ සඳහා ලිපියක් යවන බවත් කිවේය.

වී.පී.පී තැපෑල ගැන කිසිම දැනුමක් නොතිබුණු මට සැතපුම් පනහක් හැටක් ඈත කොළඹ සිට තැපෑලෙන් පොත් මිටියක් ලැබෙන සැටි සහ එයට ගෙවීම් කරන ක්‍රමවේදය මහත් ප්‍රහේලිකාවක් විය. ඒ සතියේ සෙනසුරදා ‘පියුන් මාමා’ හමුවූ විට මේ ගැන ඔහුගෙන් විස්තර අසා දැන ගතිමි. ඔහුගේ විස්තරය මෙසේය.

‘කොළඹ ගුණසේන පොත් සාප්පුව සහ තවත් එවැනි ආයතන කිහිපයක්ම, තැපැල් දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර, පොත් පත් ඇතුළු වෙනත් භාණ්ඩ වෙළඳාම්  කිරීමේ වී.පී.පී නම් මේ අලුත් ක්‍රමය ගැන, ලඟදි ගිවිසුමකට ඇවිත් තිබෙනවා.’

ඔහු කී කරුණ මට එතරම් පැහැදිලි නොවුවත් මම ඔහුට ඇහුම් කන් දුන්නෙමි.

‘පුතාගේ පොත් ලැයිස්තුව, ආවරණ ලිපියකුත් සමග ගුණසේන සාප්පුවට යැවූ විට, ඒ අය නියමිත ආකාරයට පොත් පාර්සලය සකස් කර, බිල්පත සහ තැපැල් ගාස්තුව වැනි කරුණු අඩංගු විස්තරයක් සහිතව පාර්සලය අපේ තැපැල් කාර්යාලයට එවනවා. පොත් පාර්සලය සමග එවන මේ ලියවිල්ලට කියන්නේ වවුචරය කියලා.’

වවුචරය යනු ඉංග්‍රීසි භාෂාවෙන් සකස්වූ වචනයක් බව මම වටහා  ගත්තෙමි.

‘මෙම තොරතුරු ලැබුණ විට, අපේ පෝස්ට් මාස්ටර්, පුතාගේ තාත්තාට මේ බව පෝස්ට් කාඩ් එකකින් දන්වනවා. ගෙවිය යුතු මුදලත් එහි සඳහන් කරනවා.’

‘පොත්වල මිල, තැපැල් ගාස්තුව වැනි වියදම් වල එකතුව තැපැල් කාර්යාලයට ගෙවූ විට, පාර්සලය අයිති කරුට දෙනවා.’

‘ඒ මුදල් ගුණසේන සාප්පුවට යවන්නේ කොහොමද?’ මම විමසිලිමත් වීමි.

‘හා..... හොඳ ප්‍රශ්නයක්!’ කී ඔහු

‘තැපැල් කාර්යාලයේ ඒකටත් පහසු වැඩ පිළිවෙලක් තිබෙනවා. අපි මුදල ලබාගෙන, මුදල් ලබාගත් බවට,  අයිති කරුට කුවිතාන්සියක් දෙනවා. ඊට පසු එම මුදල මනි ඕඩරයක් මගින් ගුණසේන සාප්පුවට යවනවා.’

‘ඉතින්, ගුණසේන සාප්පුවට මනි ඕඩරයෙන් මුදල් ලැබෙන්නේ කොහොමද?’ මම ඇසීමි.

‘අපේ කාර්යාලයෙන් යවන මනි ඔඩරයේ කොපියක් කොළඹ මහ තැපැල් කාර්යාලයටත් යවනවා. ගුණසේන සාප්පුවේ මුදල් භාර කරුට එහි ගොස්, තමන්ගේ පිටපත පෙන්වා මුදල් ලබාගත හැකියි. එහෙම නැත්නම් සාප්පුවේ බැංකු ගිණුමකට මුදල් යැවිය හැකියි.’

‘කොහොමත් අවශ්‍ය පොත්පත් ඉල්ලා ගුණසේන සාප්පුවට ලියුමක් යවලා සුමාන තුනක් විතර යනකොට පොත් පාර්සලය ලැබේවි.’

මම ‘පියුන් මාමා’ට ස්තුති කලෙමි.

මම ඊළඟ සති දෙක ගත කළේ අලුත් පොත් සහ අනිකුත් ලිපිද්‍රව්‍ය ගුණසේන සාප්පුවෙන් ලැබෙන තුරු නොඉවසිල්ලෙනි.

සති දෙකකදී පමණ බලාපොරොත්තු වූ  තැපැල් පත, තැපැල් කාර්යාලයෙන් ලැබිණ.

තාත්තා එය රැගෙන තැපැල් කාර්යාලයට ගොස් පොත් පාර්සලය ගෙන ආවේය. එදින මට  මහත් ප්‍රීතිමත් දිනයක් විය. පොත් පාර්සලය දුටු විටම මට මහත් සතුටක් ඇතිවිය.

පාර්සලයේ මතුපිට රුපියල් දහයක පමණ වටිනාකම සඳහා මුද්දර රාශියක් අලවා තිබිණ. පොත් පාර්සලය දුඹුරු පැහැති කඩදාසියකින් ඔතා, රත්රන් පැහැති ඝන නුලකින් බැඳ, ගැට වලට ලාකඩ සීල්ද තබා තිබිණ. හය වන පන්තිය සඳහා මගේ සියලුම පොත් සහ මල්ලිලාගේ පහල පන්ති වල සියලුම පොත්ද පාර්සලයේ විය.

පාර්සලයේ පොත් වලට  අමතරව පැන්සල්, අඩිකෝදු, මකන කෑලි, කවකටු පෙට්ටිය, දිය සායම් පෙට්ටිය, කාල සටහන් ආකෘති  ආදී  සියලුම අවශ්‍ය දේ එහි විය. මේ සියල්ලටම අමතරව පොත්වලට පිටකවර දැමීම සඳහා ‘බ්‍රව්න් පේපර්’ දුසිමක්ද විය.

මේ සියල්ල දැක මට නිම් හිම් නැති ප්‍රීතියක් ඇතිවිය. එදින මට බඩගින්න වත් නොදැනුණි. අලුත්ම පොත් වලින් නැගෙන නැවුම් සුවඳ මට ඉතාමත් ප්‍රියජනක ආශ්වාදයක් විය.

ඊළඟ සඳුදා, මා පාසලට ගියේ මහත් ආඩම්බරයකිනි. පන්තියේ සිටින අලුත් මිතුරන්ට මගේ පොත් කොළඹ ගුණසේන පොත් සාප්පුවෙන්, වී.පී.පී තැපෑලෙන් ගෙදරටම ගෙන්වා ගත් ආකාරය විස්තර කරන තුරු මට ඉවසිල්ලක් නොවීය. මගේ විස්තරය අසා ඔව්හු බොහෝ දෙනෙක් පුදුමයට පත්වූහ.
-------------------------------------------------------
අද වනවිට භාවිතයෙන් අත්හැර දමා තිබෙන, වී.පී.පී තැපෑල පිළිබඳවද යමක් සටහන් කිරීම යෝග්‍ය යයි සිතේ. වී.පී.පී (V.P.P) යනු ඉංග්‍රීසියෙන් ‘value payable post’ යන පාඨයේ උධෘතයයි. එහි ‘value’ යනුවෙන්  හැඳින්වෙනුයේ පාර්සලයේ අඩංගු භාණ්ඩ වල මිලෙහි එකතුව, තැපැල් ගාස්තුව සහ වෙනත් වියදම් යන සියල්ලයි. මෙයින් තැපැල් දෙපාර්තමේන්තුවට ලැබෙනුයේ, පාර්සලය තැපැල් කාර්යාලයේ සුරක්ෂිතව තබා නියමිත අයිති කරුට භාරදීම සඳහා අය කරනු ලබන සුළු මුදල පමණකි, අද මෙන් තාක්ෂණික, සන්නිවේදන  සහ ප්‍රවාහණ කටයුතු නොදියුණු භාවයක පැවති ඒ කාලයේ  වී.පී.පී තැපෑල මහජනතාවට මහත් ප්‍රයෝජනවත් තැපැල් ක්‍රමවේදයක්ම විය.

සමහරවිට, අද පවත්නා ‘කුරියර් සේවය’ (courier services), ඊ-බේ (‘e-bay) වැනි ඉතාමත් ආකර්ශණිය භාණ්ඩ සැපයීමේ සහ ප්‍රවාහනය කිරීමේ සේවාවන් නිසා වී.පී.පී ක්‍රමවේදය භාවිතයෙන් ගිලිහී යන්නට ඇත. කෙසේ වෙතත් මෙවැනි  නව ක්‍රමෝපායයන් පැරණි වී.පී.පී සේවයෙන් ව්‍යුත්පන්න වූ  නව භාවිත ලෙස සැලකිය හැකිය. එසේ වුවත් ඒවායේ ආරම්භය, දශක හත අටකට ඉහතදී තිබුණු වී.පී.පී (V.P.P) සේවය බව බොහෝ අය නොදනිති.