Wednesday, 28 June 2017

හිතුවක්කාර ශිෂ්‍යයා කළ විහිළුව දුරදිග යයි...

  ය විද්‍යාලයයේ තුන්වන වාර විභාග කාලයයි. ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියයකට වඩා සිටි නවවන ශ්‍රේණි වල වාර විභාගය පැවැත්වුයේ ප්‍රධාන ශාලාවේය. මෙහි ශාලාධිපති ලෙස වැඩ කිරීම මාහට පැවරිණ.දෙවන දිනයේ උදයේම තිබුණේ ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්න පත්‍රයයි. මට සහාය වීම සදහා ගුරු මහත්මයෙකු සහ ගුරු මනත්මියන් තිදෙනෙකුද වුහ. සහායට සිටි ගුරු මහතා විද්‍යාලයයේ සිසු විනය භාරව සිටි රණවීර මහතාය.  ඔහු විද්‍යාලයේ කැඩෙට් භට හමුදාව භාර ගුරුවරයාද වු අතර ක්‍රීඩා කටයුතුවලත් දක්ෂයෙකු විය. වැරදි කර හසු වෙන සිසුන්ට විනය කමිටුවෙන් නිර්දේශිත දඬුවම් ක්‍රියාත්මක කරන්නේද ඔහුය.

එදින උදේ අටට නියමිත ප්‍රශ්න පත්‍රය බෙදාදී, විනාඩි පහකට පමණ පසු, ශාලවේ පසු පස ආසනයක සිටි සිසුවෙක් නැගිට ඒ අසල සිටි නිරීක්ෂක වරියකට යමක් පවසා වහා ශාලාවෙන් පිටතට ගියේය. ඔහු විද්‍යාලයේ සිටි ඉතාමත් අකීකරු සිසුවෙකු වූ සිසිර කුමාර ය. වයසට වඩා වැඩියයි සිතිය හැකි උස මහතින් යුක්ත ඔහු කරදරකාරයෙක්ම විය. ඔහු ශාලාවෙන් පිටවුයේ මන්ද කියා  සොයා බැලීමට මා ශාලාවේ ඉදිරියට ටික දුරක් ගියා පමණකි. මහ හඬක් නංවමින් පිපිරීමක් සිදුවිය. තරමක් අඩවන් කර තිබුණු ශාලාවේ පිටු පස දොර වේගයෙන් වැදී, ඒ අසල සිටි සිසුවියක්ද වාඩිවී සිටි පුටුවත් සමග පෙරළී බිමට වැටිණ.

ශාලාව තුළ මහා කලබලයක්‌ හට ගත්තේය. අනිත් පන්ති කාමර වලද වාර විභාගය කරමින් සිටි සිසුන් ද කලබල වන්නට ඇත. රණවීර මහතා වහා ක්‍රියායාත්මක වී ශාලාවේ සිටි සිසුන්ගේ කලබලය නතර කර ඔවුනට විභාගය කරගෙන යාමට සැලැස්විය. විදුහල්පති තුමාද සිද්ධිය දැනගෙන එතැනට පැමිණියේය.

‘කලබලයක් උනේ මොකක්ද?’

කියා ඔහු අසන විටත් බිමට වැටුණු  ශිෂ්‍යාව වත්තන් කරගත් ගුරු මහත්මීන් දෙදෙනා  ඇය අස්වසමින් සිටියහ.

‘සර්, දොර මුල්ලේ මොකක් හරි විශාල පිපිරීමක් සිදු උනා. දොර පියන වැදී මේ ළමයා  පුටුවත් එක්කම පෙරළුනා.’

ශිෂ්‍යාව ප්‍රථමාධාර කාමරයට යැවීමට උපදෙස් දුන් විදුහල්පති තුමා රණවීර මහතාත් සමග සිදුවී ඇති දේ සොයා බලන්නට වුහ.

පිපිරී ගිය විශාල රතිඤ්ඤයක කැබලි සහ පොල් කටු කැබලි කිහිපයක් ඒ අසල විය. දොර මුල්ලේ හඳුන් කූරු කොටසක්ද තිබුණි.

සිදුවී ඇති දෙය ඔවුනට වටහා ගත හැකි විය.

ඒ සමගම නිරීක්ෂක ගුරු මහත්මිය ඔවුනට රහසින් යමක්‌ කීවාය.

මෙය ඇසූ රණවීර මහතා වහාම   සිසිර කුමාර ව සෙවිය. ඔහු කිසිවක් නොදන්නා සේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියමින් සිටි. ඔහු වෙත ගිය රණවීර මහතා ඔහු ශාලාවෙන් පිටතට කැඳවිය. විදුහල්පති තුමාත් සමග මමද  ඒ සමග පිටතට ගියෙමි.

‘සිසිර කුමාරද මේ වැඩේ කළේ?’ 

කියා ප්‍රශ්න කරමින් රණවීර මහතා ඔහුගේ කණ අල්ලා ගත්තේය.

‘මොකක්ද සර්?, මම දන්නෙ නැහැ.’ කියා 

ඔහු අත ගසා දමා පහරක් එල්ල කිරීමට මෙන් සුදානම් විය.

සිසුවාගේ පිළිතුර සහ ඔහුගේ විලාශය ගැන කෝපවූ රණවීර මහතා ඔහුට පහරක් ගැසීමට සැරසෙන විට මම ඉදිරියට පැන එය වැලෑක්විමි. 

නඩුව එතැනදී විසඳීමට නොහැකි නිසා  සිසිර කුමාරට විදුහල්පති කාර්යාලයට යන ලෙස නියෝග කෙරින.

ශාලාවේ කලබලය සන්සුන්වී විභාගයේ වැඩ කෙරී ගෙන යන අතර රණවීර මහතා තමන්ට වූ මදි පුංචි කම ගැන සිතමින් කේන්තියෙන් සිටියේය. වරින් වර ඔහු අනිත් ගුරුවරුන්ටද යම් යම් දේ සෙමින් කිවේය.

නියමිත කාලය අවසන්වීමට කලින් උත්තර පත්‍රය භාරදුන් සිසිර කුමාර ශාලාවෙන් පිටවන විට රණවීර මහතාද ඔහු සමග විදුහල්පති කාර්යාලයට  ගියේය. ප්‍රථමාධාර කාමරයට ගිය ශිෂ්‍යාවද ශාලාවට පැමිණ පිළිතුරු සැපයීම කරගෙන ගියාය. ඇයගේ නළලේ සිරීම් තුවාලයකට පැලැස්තරයක් අලවා තිබිණ.

සිසිර කුමාර තමන් ඒ වරද කළ බව පිළිගත්තේ ම නැත. ලැබුණු සාක්ෂි අනුව ඔහු එම ක්‍රියාව කළ බව තහවුරු විය. එදින උදයේම විද්‍යා පාඩමකට අවශ්‍ය බව කියා ඔහු පොල් කටුවක් ලබාගත්  බවට ආපන ශාලාවෙන් සාක්ෂියක් ලැබී ඇත.

පසු දින පියා හෝ මව සමග මිස විදුහලට පැමිණිය නොහැකි බව ඔහුට දැන්වීමට සිදුවිය. 

එදින උදයේම විපතට පත් ශිෂ්‍යාවගේ මව, කෙලින්ම  විභාග ශාලාවට පැමිණ මා හමුවූවා ය.

‘සර්, අපේ දුවට ඊයේ කරදරයක් වෙලා. ඒක ගැන කතා කරන්නයි ආවේ.’ ඇය මට  කීවාය.

‘ඔව්, මේ පිරිමි ළමයෙක්, ඒකේ බරපතල කම ගැන කල්පනා නොකර, නොහොබිනා විහිළුවක් කරලා. ඒකට දඬුවමක් දෙන්නට තීරණය කරළා. අද ඒ ළමයාට පියාත් සමග එන්නට කියා දන්වලා.’ 
‘මම පොලිසියට යන්නට හිතාගෙනයි ආවේ.’ ඇය තවදුරටත් කීවාය.

‘පොලිසි යන්නට අවශ්‍ය නැහැ. අපි මේක මේ මට්ටමෙන් බේරා ගනිමු. දුවට සීරීම් තුවාලය විතරක් නේද? වෙන මොකුත් අමාරුවක් නැහැනේ. වැරැද්දට ගැලපෙන දඬුවමක් ලැබෙයි.’ කී 

මම ඇයට  විදුහල්පති තුමාද හමුවී යන ලෙස කීවෙමි.  

ඇය ස්තුති කර පිටත්ව ගියාය.

එදින දහවල් වන තුරුම සිසිර කුමාරත් ඔහුගේ පියාත් නැත. සිසුවා එදින පැමිණ නැති ලෙසට නාම ලේඛනයේ ලකුණු කර ඇත.

විවේක වේලාවේදී, කාර්යාලයට පැමිණෙන ලෙස මට පණිවුඩයක් ලැබිණ. මා එහි යන විට සිසිර කුමාරගේ පියා සහ රණවීර මහතා විදුහල්පති තුමා සමග කතා කරමින් සිටියහ. සිසිර කුමාර පැත්තකට වී කල්පනා කරමින් සිටියේය.

‘සිසිර කුමාර බරපතල වැරදි තුනකට කලිනුත් අහුවෙලා. මේ විධියට ගියොත් අපි කවුරුත් අමාරුවේ වැටෙනවා. මොකද කරන්නට බලාපොරොත්තුව?’ කියා විදුහල්පති තුමා පියාගෙන් ඇසිය.
‘තුවාල සිදුවූ ළමයාගේ මවත් උදේ මේ ගැන ඇවිත් කතා කළා. පොලිසි යන්නට සුදානම් වී සිටියේ. අපි ඒක නතර කළා.’

සිසිර කුමාරට කතා කළ විදුහල්පතිතුමා

‘දරුවෝ අද ඉඳලාවත් මේ වැරදි වැඩ නොකරන බවට පොරොන්දු උනොත් මෙහෙ ඉන්නට පුළුවන්. නැත්නම් වෙන අතක් බලා ගන්නට වෙනවා.’ යයි කීවේය.

ටික වෙලාවක් කල්පනා කළ එම හැඩි දැඩි ශිෂ්‍යයා

‘සර්ලා, මට සමාවෙන්න මම  වැරැද්ද පිළිගන්නවා’ 

කියා අපට දණගසා වැඳ තම පියාටද වැන්දේය.

සියල්ල සමථයකට පත්විය. සිසිර කුමාර ද නැවත විදුහලට පැමිණියේය.

පසුව, අපොස සාමාන්‍ය පෙළ පළමු වසරේ සිටි ඔහු, විදුහලෙන් අස්වී ගිය බව දැනගන්නට ලැබිණ. ඔහු ඉගෙනීම අත්හැර දමා මැණික්‌ ව්‍යාපාරයේ නිරත වී සිටින බව ආරංචි විය.

වසර දහයක් පමණ ගතවිය. විදුහල්පති තුමා, රණවීර මහතා හෝ මා දැනට විදුහලේ නැත. මා පදිංචිය සඳහා නිවසක් තැනීමේ වැඩවල නිරතවී සිටියෙමි. වහලයේ වැඩ කිරීමට මා දන්නා වඩු කාර්මිකයෙකුට පවරුවෙමි. අවශ්‍ය ලිදඬු වල මිනුම් ලබාගත් ඔහු  ඒවා මිළදී ගැනීමට සුදුසූ  ළී මඩුවක්ද මට යෝජනා කළේය.

නිවාඩු දිනක මම මේ ළී මඩුවට ගියෙමි. එහි සිටි තරුණ අයිතිකරු ඉතා නිහතමානි කෙනෙක් විය. තරමක රැවුලක්ද වවා සිටි ඔහු රත්රන් මුදු කිහිපයක් පැළඳ රත්රන් චේන් පටවල් කිහිපයක්ද බෙල්ලේ දමාගෙන සිටියේය. ළී මඩුවට මඳක් ඈතින් තිබුණු නව පන්නයේ නිවසද ඔහුගේ විය හැකිය.

මට අවශ්‍ය ලිදඬු තෝරණ ලෙස  සේවකයෙකුට පැවරූ ඔහු, නිවස දෙසට ගියේය. ටික වෙලාවකින් මට කතා කළ ඔහු

‘එන්න සර්, මේ අපේ ගෙදර. ළී තෝරන්න තව ටික වෙලාවක් යයි.’ කියා

මට ආරාධනයක් කළේය. ඔහුගේ ඉල්ලීම ප්‍රත්ක්ෂේප කළ නොහැකි වූ මම ගෙතුළට ගියෙමි.
මම සාලයේ පුටුවක හිඳ ගතිමි. එය නවීන පන්නයේ නිවසකි. මේ තරුණ වයසේදී මෙතරම් අගනා නිවසක හිමිකරු වන ඔහු පොහොසතෙකු බව මම සිතාගතිමි.

‘මේ මහත්මයාගේ නම මොකක්ද? මාව හඳුනනවාද?’ මම ප්‍රශ්න කලෙමි.

එවිටම බන්දේසියක බිස්කට්, කේක්, තවත් කැවිලි වර්ග සහ කෙසෙල් ඇවරියක් තබාගත් තරුණ කාන්තාවක් පැමිණ, බන්දේසිය ස්ටූලය මත තබා පසකට වුවාය.

‘සර්, මේ මගේ වයිෆ්, නිසංසලා. අපි තේ ටිකක් බොමු.’

කියා මට බන්දේසිය පිළිගැන්වූයේය. මට සියල්ල සිහිනයක් මෙනි. ආගන්තුක මා හට මෙතරම් සත්කාරයක් ඇයිද යන්න මට ගැටළුවකි.
මා බිස්කට් එකක්‌ පමණක් අතට ගත් විට ඔහු කෙසෙල් ගෙඩියක් කඩා මට දුන්නේය. අතට ගත් දෙය කන්නට පෙර

‘මහත්මයා මා හඳුනනවාද?’  කියා නැවත අසීමි.

‘ඔව්, මම දන්නවා ........... අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්ෂක තුමා නේද?’ කියා ඇසිය.

මම ‘ඔව්’ කීවෙමි.

‘සර්ට මතක නැතුවා ඇති. සර් මට ලොකු උදව්වක් කර තිබෙනවා’ යයි

ඔහු කී විට මම පුදුමයට පත්වීමි. මෙ වෙලේ ඔහුගේ භාර්යාව තවත් කරුණක් හෙළි කළාය.

‘සර් අපිදෙන්නාම එක පන්තියේ හිටියේ’

මට තවමත් සියල්ල ගැටලුවකි.
ළී තේරූ සේවකයා ගණන් මිනුම් සියල්ල ලියන ලද බිල් පොත ඔහුට ගෙනවිත් දුන්නේය.

 ‘හොඳම ළී වලින් දැම්මා නේද?’ කියා අසා
බිල් පොත පැත්තකින් තැබිය.

ගෙදර නිවැසි යුවලගේ හැසිරීම් විලාසය සහ මට පෙන්වන කුළුපග භාවය මට මහත්ම ගැටලුවකි.
නැවත බිල් පොත අතට ගත් ඔහු

‘මේ දවස් වල ලී දඬු හරි ගණන්. ලී මෝලට කඳන් හොයා ගන්න හරි අමාරුයි. මම සර්ට හොඳම ලී වලින් දැම්මා. ගේ හදන තැනටම ගෙනැවිත් දෙන්නම්.’
කියා 
‘අද මුදල් අවශ්‍ය නැහැ පහසු වෙලාවක දෙන්න.’ කීවේය.

'මුළු ගණන තිස් හත් දාහක් වෙනවා. මට විසි පන් දාහක් දෙන්න. එ ඇති.’ කී ඔහු

‘ස්පෙෂල් ඩිස්කවුන්ට්’ කියා බිල හරහට ලියා රුපියල් විසිපන්දහස සටහන් කර අත්සනක් තැබීය.

‘එහෙනම් සර් මගේ විස්තරේ අහන්නකො.’

කියන විට බිරියද පැමිණ ඔහු අසලින්ම හිඳ ගත්තාය.

‘අපි අවුරුදු  දහයකට විතර ඉස්සර හිටියේ  ඉස්කෝලේ නවය වසරේ. සර්ට මතක ඇති වාර විභාග දවසක මේන් හෝල් එකේ රතිඤ්ඤයක් පුපුරවපු සිසිර කුමාර . කියන්නත් ලැජ්ජයි.  ඒ මමනෙ සර්’

මම පුදුමයට පත්වීමි. වසර දහයකට උඩදී සිදුවූ මට අමතකවී ගොස් තිබුණු එම සිද්ධිය චිත්‍ර පටියක මෙන් මැවී පෙනෙන්නට විය.

‘ඉතින් මම කරපු අමතක නොවෙන උදව්ව මොකක්ද?’ මම නොඉවසිල්ලෙන් ඇසීමි.

‘ඇයි සර්, එදා මම පිස්සෙක් වගේ කැඩෙටින් සර්ට  ගහන්නට අත ඉස්සුවා. ඒ සර් මට ගහන්න හදන කොට සර් ඒක නැවැත්තුවා. එදා මට පහරක් වැදුනානම්, මාත් ආපසු පහර දීලා විශාල කරදරයක් වෙනවා.’ ඔහු දිගටම කියාගෙන ගියා.

‘ඊට පස්සේ මම සිද්ධිය ගැන හරියට කම්පා උනා. පාසල් ගමනත් එපාම උනා. වෙන ඉස්කෝලයක තවත් අවුරුදු දෙකක්‌ ඉඳලා ගෙදරින් පිටවෙලා පොඩි පොඩි බිස්නස් කළා.’

‘සිසිරව හැමකෙනෙක්ම කොන් කරන විට එයාට අනුකම්පා කළේ මම විතරයි. ඒ අනුකම්පාව පස්සේ අවසන් උනේ විවාහයෙන්. අපි විවාහ උනේ ගිය අවුරුද්දේ.’ 

කාන්තාව ඔවුන්ගේ කතාව කෙටියෙන් කීවාය.

මා එදා කරන ලද්දේ මෙතරම් දුරට යන යහපත් ක්‍රියාවක් බව  වටහා ගත්තේ එවිටය.                                           

Monday, 26 June 2017

කරදරකාරී බාධක රැසකට පසු සාර්ථක වූ විදේශ ගමන .........

   මෙය දශක හතරකට පමණ ඉහතදී මුහුණ පෑ සිද්ධි මාලාවකි. ඒ මා විද්‍යා අධ්‍යාපන නිලධාරිවරයෙකු ලෙස සේවය ආරම්හ කළ මුල් කාලයේදිය. 

ආසියා පැසිෆික් අධ්‍යාපන සංවර්ධන ආයතනය (Asia Pacific Institute for Educational Development –APIED) මගින් මෙහෙයවූ ජීව විද්‍යාව වැඩ මුළුවක ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස සහභාගී වීමට මා තෝරාගෙන තිබිණ. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ බව මට ලිපියකින් දන්වන ලදී.  ඊට සති තුනකට  පසුව පිලිපීනයේ මැනිලා නුවරදී පවත්වනු ලබන එම වැඩ මුළුවේ වැඩ සටහනද එවා තිබුණු අතර, සහභාගී වීමට කැමැත්ත දක්වන ප්‍රකාශයක්ද අත්සන් කර යැවිය යුතුව තිබිණ. හදිසියකදී ඇමතීම සඳහා දුර කථන අංකයක්ද ඒ මගින් ඉල්ලා තිබිණ. මට පෞද්ගලික දුරකථනයක් නොතිබුණු නිසා එවකට උසස් නිලයක් දැරූ අසල්වැසි නිවසක හිතවතෙකුගේ දුරකථන අංකය, ඔවුන් සමග සාක්ච්ඡා කර අමාත්‍යංශයට යැවීමි.

දින දහයක් යනතුරුත් පණිවුඩයක් නොලැබුණු නිසා, අමාත්‍යංශයට ගොස් විපරම් කර බැලීමි. මා දී තිබුණු දුරකථන අංකයට පණිවුඩ දෙකක්ම දුන් බව විෂයය භාර ලිපිකරු මට පවසා, ඒ බවට ගොනුවේ තබා තිබුණු සටහනක්ද මට පෙන්විය. අසල්වැසියාට දුරකථන පණිවුඩය ලැබී ඇතත්, එය මට නොදුන්  බව මම වටහා ගතිමි. ඒ ගමනට පමණක් වලංගු හදිසි ගූවන් ගමන් බලපත්‍රයක් ලබාගැනීමටත්, ගුවන් ටිකට් පත් ලබාගැනීම පිණිසත් අවශ්‍ය අයදුම් පත් මිටියක්  ඔහුගෙන් ලැබිණ. ආධුනිකයෙකු වූ මට එම අයදුම් පත් පුරවන ආකාරය තේරුම් කර දීමට කාරුණික වූ ලිපිකරු මහතා ආගමන විගමන දෙපාර්තමේන්තුවට සහ ගුවන් ටිකට් පත් නිකුත් කරන ආයතනයට දීම සඳහා අවශ්‍ය ලිපිද සකස් කර දුන්නේය. මට නියමිත වේලාවට දුර කථන පණිවුඩය  නොලැබීම පළමුවැනි බාධකයයි.

පසුදින ආගමන විගමන දෙපාර්තමෙන්තුවට ගොස් අවශ්‍ය කටයුතු සම්පුර්ණ කරගැනීමට පැය පහක්‌ පමණ ගතවිය. විදේශ ගමන් බලපත්‍රය  සතියකින් ලබාගත හැකි බව දැනගන්නට ලැබුණි. ඊ ඟට ගුවන් ගමන් ටිකට් පත  නිකුත් කරනු ලබන ස්ථානයට ගියෙමි. විදේශ ගමන් බලපත්‍රය නොමැතිව ගුවන් ටිකට් පත නිකුත් කළ නොහැකි බව ඔවුහු පැවසිහ. මෙය දෙවන බාධකයයි. කෙසේ වෙතත් පොරොත්තු ආසන වෙන් කිරීමේ ලේඛනයේ මගේ නමද ඇතුලත් කළ හැකි බව දැන ගතිමි.

ගුවන් ගමන් සහ විදේශ සංචාර වලට ආධුනිකයෙකු වූ මට බොහෝ දේ නිරාකරණය කරගත යුතු විය. මෙවැනි ගමනක් යාමට ලැබී ඇති බව වැඩිපුර ප්‍රචාර නොකරන ලෙසද කිහිප දෙනෙක් උපදෙස් දුන්හ. මා එවකටත් බාලදක්ෂ සේවයේ නිරතව සිටි නිසා, උපදෙස් ලබාගැනීම පිණිස මගේ සමීප හිතවතෙකු වූ pබාලදක්ෂ කොමසාරිස් තුමා හමුවීමි. ඔහු මට සියලු විස්තර පැහැදිලි කරදී අවශ්‍ය වුවහොත් හමුවීම පිණිස මැනිලා නුවර බාලදක්ෂ මුලස්ථානයේ නිලධාරියෙකුට ලිපියක්ද දුන්නේය. මෙය මට මහත් අස්වැසිල්ලක් විය.සංචාරක චෙක්‌ පත් (Travellers’ cheques) මගින් විදේශ මුදල්ද සුළු ප්‍රමාණයක් තමන් ළඟ තිබිය යුතු බවද කි ඔහු එය ලබාගන්නා ආකාරයද විස්තර කර දුන්නේය.

ඒ කාලයේ එදේශ විනිමය නිකුත් කළේ කොළඹ හෝ ප්‍රධාන නගර වල පිහිටි බැංකු වලින් පමණකි.  එදින බැංකුවට ගොස්  විදේශ මුදල් ලබාගැනීම සඳහා ඉල්ලීමක් කළවිට, ගුවන් ටිකට් පත නොමැතිව නිකුත් නොකරන  බව දැන ගතිමි. මෙය තුන්වන බාධකයයි.   

ගුවන් ගමන් බලපත්‍රය, ගුවන් ටිකට් පත, විදේශ විනිමය යන සියල්ල එකිනෙකට තදින් බැඳී තිබෙන ජාලයක් බව තේරුම ගතිමි.

සියල්ලටම ඇත්තේ තව දින තුනකි. ආගමන විගමන කාර්යාලයෙන් ගුවන් ගමන් බලපත්‍රය ලබාගතිමි. එදින සවස් වනවිට ගුවන් ටිකට් පතද ලබාගතිමි.  කටුනායක ගුවන් තොටින් පිටත් වී, බැංකොක් ගොස් එහි පැය හතරක් සිට මැනිලා නුවරට යන බව ටිකට් පත නිකුත් කළ නිලධාරිනිය මට පැවසුවාය. මාද පළපුරුදු සංචාරකයෙකු ලෙස ඇයට සවන් දුන් නමුත්, ඒ නුහුරු නුපුරුදු දේ මගේ සිතෙහි තදින් වැඩ කරමින් තිබුණි. ලැබුණු ගුවන් ටිකට් පත තීරු දහයක් දොළහක් තිබුණු තරමක පොත් පිංචකි.

අවශ්‍ය ලිය කියවිලි සියල්ලම රැගෙන නැවත බැංකුවට ගොස් විදේශ විනිමය ගැන කථා කළෙමි. සංචාරක චෙක් පත් නිකුත් කරනුයේ නියමිත ගමන ආරම්භ කිරීමට පැය විසි හතරක්‌ ඇතුළතදී පමණක් බව එවෙලේ දැනගතිමි. මෙය හතරවන බාධකයයි. අවශ්‍ය නම් ගුවන් තොටුපලේ බැංකුවෙන් වුවද ලබාගත හැකි බවද බැංකු නිලධාරියා කිවේය.

ගමනට තව ඇත්තේ දින දෙකකි. විදේශ විනිමය අතේ නැතත් ගමන යා හැකිය. සවස ගෙදර යනවිට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලිපියක් ලැබී තිබිණ. එහි අවධාරණය කර තිබුණේ මා විසින් වැඩ මුළුවේදී, විෂයය පිලිබඳ  ශ්‍රී ලංකාවේ ප්‍රගති වාර්තාවක් (Country report) ඉදිරිපත් කළ යුතු බවත්, විදේශ නිවාඩු අයදුම් පතක් අමාත්‍යංශයට ඉදිරිපත් කළ යුතු බවත්ය. මේ සියල්ලටම ඇත්තේ හෙට දිනය පමණකි. මේ කිසිවක් මට කලින් නොකිව්වේ ඇයිද යන්න මට මහත් ගැටලුවකි. මෙය පස්වන බාධකයයි.

සියල්ලටම ඇත්තේ තව එක් දිනයක් පමණකි. ප්‍රගති වාර්තාව සකස් කිරීමට කාලයක් නැත. මේ හයවන බාධකයයි. 

සතියකට අවශ්‍ය ඇඳුම් සකස් කර ගැනීම, ගුවන් ගමන තහවුරු කර ගැනීම, අධ්‍යාපන අමාත්‍යංශයට ගොස් නිවාඩු ලියවිල්ල අත්සන් කිරීම, විදේශ විනිමය ලබාගැනීම  වැනි අත්‍යවශ්‍ය කටයුතු කිරීමටත් ඇත්තේ තව පැය කිහිපයකි.

පසුදින, කෙසේ හෝ සියල්ල යාන්තමට හෝ අවසන් කරගෙන කටුනායක ගුවන් තොටට ගියෙමි. එය මගේ පළමු ගුවන් ගමන විය. අනිකුත් අය කරන දේ නිරීක්ෂණය කර මමද  ගුවන් තොටෙහි  අවශ්‍ය දේ සියල්ල කරගතිමි. පිටත්වීම් මැදිරියට ගොස් වාඩිවී සැනසුම් හුස්මක් හෙලා, පසුගිය දින කිහිපයේදී කඩිමුඩියේ කළ කී දේ සියල්ලත්, මුහුණ පෑ බාධක මැඩගත් ආකාරයත්   ආවර්ජනය කළෙමි. නියමිත වේලාවට ගුවන් යානයට ඇතුල්වී සුව පහසුවට වාඩිවී වැඩ මුළුව සඳහා අවශ්‍ය අපගේ ප්‍රගති වාර්තාව සකස් කිරීමට පටන් ගත්තෙමි.  පැය දෙකකදී පිටු පහක පමණ වාර්තාවක් සකස් කර ගත හැකි විය. මේ වන විට අමාරු බාධක කිහිපයකින් පැන ගෙන සිටියෙමි. තවත් පැය දෙකකින් පමණ ගුවන් යානය බැංකොක් ගුවන් තොටට ලඟාවිය. ගමනේ ඉතිරි කොටස ආරම්භ කිරීමට තවත් පැය කිහිපයක් තිබුණු නිසා විවේකාගාරයට ගොස් සැනසිල්ලේ සිටියෙමි.

මෙහි ටික වේලාවක් සිටින විට, එහි පැමිණි තවත් මගියෙකු  මා ඉදිරිපිට වූ  ආසනයක වාඩිවි APIED නම පිට කවරයේ තිබුණු වාර්තාවක් කියවන්නට විය. ඔහුද මා යන ගමනම යන කෙනෙක් බව එයින් අවබෝධ කර ගත්තෙමි. සුදුසු අවස්ථාවක් බලා මම ඔහු සමග  කථා කළෙමි. වැඩ මුළුවේ ඉන්දියාව නියෝජනය කරනුයේ ඔහුය.

ඔහු නමින් මිශ්රා  ය. ඔහු මෙවැනි  වැඩ මුළු වලට සහභාගිවී පළපුරුද්ද ඇති අයෙකි. ආගිය තොරතුරු කතාබස් කිරීමේදී, ඔහු ඉන්දියාවේ ගුරු විද්‍යාලයක ජීව විද්‍යා අධ්‍යාපනය පිලිබඳ උපදේශකවරයෙකු බව දැනගතිමි. අප දෙදෙනා අපගේ වාර්තා හුවමාරු කරගෙන කියවිමු. පිටු තිහක් පමණ වූ ඔහුගේ වාර්තාව පරිගණක ගතකර පොතක් ලෙස සකස් කර තිබුණි. ඔහු සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මගේ වාර්තාවටත් අලුත් කරුණු කිහිපයක් ඇතුලත් කළ හැකි විය. එහෙත් මගේ වාර්තාව තවමත් සංස්කරණය නොකළ අත් පිටපතකි.

අපගේ ගමනේ ඊළඟ කොටසට නියමිත  ගුවන් යානයට ගොඩවන වේලාව එළඹියේය. මිශ්රාට ලැබුනේ යානයේ තරමක් පසුපස ආසනයකි. අපි පැය තුනකින් පමණ  මැනිලා ගුවන් තොටින් බැස්සෙමු. අප පිටතට එනවාත් සමගම අපගේ නම් විශාලයට ලියන ලද කාඩ් බෝඩ් තීරු ඔසවාගත් කිහිප දෙනෙකු අප බලාපොරොත්තුවෙන් සිටියහ. බංගලාදේශ නියෝජිත වරියත්, නේපාල රටේ නියෝජිතයාත් අප ආ යානයේම  ගමන් කර තිබුණි. පැමිණ සිටි අය විසින් අප සිව් දෙනා කැටුව හෝටලයකට ගොස් අපගේ නවාතැන් පහසුව සලසා දුන්හ. එදින රාත්‍රී ආහාරයට පෙර පැයක පමණ, අවශ්‍යතා පිලිබඳ අවිධිමත් සාකච්ඡාවක්‌ හෝටලයේදී පවත්වන බවත් දැනුම් දෙන ලදී.

රටවල් සියල්ලේම නියෝජිතයෝ සාකච්ඡාවට සහභාගී වුහ.  ටික වෙලාවක් සාකච්ඡා කිරීමෙන් පසු පිටපත් සකස් කිරීම සඳහා සියලු දෙනාගේම වාර්තා එකතු කර ගන්නා ලදී. මගේ වාර්තාව පිළිබඳව උද්ගතවී ඇති තත්ත්වය, සාකච්ඡාව මෙහෙයවූ නිලධාරිනියට කී විට, එය පරිගණක ගත කර පිටපත් සකස් කිරීම ලිපිකාරිණියකට පවරන ලදී. ඇය  විනාඩි දහයක්‌ ඇතුළතදී එය සකස් කර කියවා බැලීමට ආපසු මට දුන්නාය. එහි තිබුණු අපගේ ශ්‍රී ලාංකික නම් ගම් පවා සියල්ල නිවැරදිව පරිගණක ගත කිරීම ගැන මම පුදුමයට පත්වීමි. එය සංස්කරණය කර ආපසු දී විනාඩි කිහිපයකදී පොතක් මෙන් සකස් කර නියමිත පිටපත් සංඛ්‍යාව මා අත පත් කළාය. තවත් එක් බාධකයකින් පහසුවෙන්ම පැන ගතිමි.

පසුවදා, මැනිලාහි ‘ක්වෙසෝන් සිටි’(Quezon City) නගරයේ  පිලිපීන විශ්ව විද්‍යාලයේ විද්‍යා අධ්‍යාපන මධ්‍යස්ථානයේදී (UPSEC) වැඩ මුළුව ආරම්භ විය. ආසියාතික සහ පැසිෆික් කලාපයේ රටවල් වල නීයෝජිතයින් පසළොස්  දෙනෙකු සහ තවත් රටවල් කිහිපයකින් පැමිණ සිටි නිරික්ෂක්යින්ද ඇතුළුව පිරිස විසි පස් දෙනෙක් සිටියහ. ආරම්භක දේශනය, වැඩ මුළු අධ්‍යක්ෂක තුමාගෙන් විය. මේ සඳහා පැමිණියේ මා හොඳින් දැන සිටි ශ්‍රී ලංකාවේ මහාචාර්ය වැලන්ටයින් බස්නායක මැතිතුමාය. එතුමා වැඩ මුළු අධ්‍යක්ෂක ධුරය හෙබවීම මටද ආඩම්බරයක් විය. 

උදේ වරුව වෙන් කර තිබුණේ ඒ ඒ රටවල වාර්තා ඉදිරිපත් කිරීමටය. ඊට කලින් වාර්තා ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ සටහන් කරන ලෙස ඉල්ලන පත්‍රිකාවක් අප අතට එවන  ලදී. ජපන්. මැලේසියානු, ඉන්දුනිසියානු  සහ කොරියන් සගයින් ලේඛනයේ තිබුණු උපකරණ සියල්ලම පාහේ ලකුණු කර තිබුණි. මගේ වාරය පැමිණි විට මට ලකුණු කළ හැකි වුයේ ශීර්ෂ ප්‍රක්ෂේපකය (Over-head Projector- OHP) පමණකි. එයට වුවද මගේ සුදානමක් නොවිය. මම නැවතත් අසරණ තත්වයකට පත්වීමි. එය හත්වන බාධකයයි. 

ඊට පසු   රටේ නමෙහි අකාරාදී පිළිවෙලට වාර්තා ඉදිරිපත් කරන ලදී. ඒ ඒ රටෙහි තාක්ෂණ ප්‍රගතියද වාර්තා ඉදිරිපත් කිරීමේදී දකින්නට ලැබිණ. වාර්තා කියවීම ආරම්භ වීමත් සමගම ලිපිකාරිණිය, මගේ වාර්තාවේ තිබුණු වගු තුනක පාරදෘශ්‍ය පිටපත් (Transparencies) මට ගෙනවිත් දුන්නාය. මා සඳහන් කළ එකම ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණයට ගැලපෙන එකම දෙය වන වගු,  මගේ වාර්තාවෙන් හඳුනා ගෙන ඇය එසේ කරන්නට ඇත. ජපානයේ මිතුරා තම වාරය පැමිණිවිට වෙදිකාවට ගොස් සියලු දෙනාටම හිස නමා ආචාර කර, යම් කිසි උපකරණ කිහිපයක් මේසය උඩ සකස් කර, ආපසු පැමිණ තම ආසනයේ වාඩිවී, දුරස්ථ පාලකයක් හසුරුවමින් තම වාර්තාව ඉදිරිපත් කළේය එය කාගේත් ප්‍රශංසාවට ලක්විය. මගේ වාරයේදී, ලිපිකාරිණියට ස්තුති වන්නට සකස් කර දුන් පාරදෘශ්‍ය පිටපත් නිසා අපේ  ජාම බේරා ගතහැකි විය.

ඒ දින හතරේදී ජීව විද්‍යා අධ්‍යාපනයේ නව ප්‍රවණතා, සරල ප්‍රායෝගික ක්‍රියාකාරකම්, නව ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ භාවිතය, පරිසර අධ්‍යාපනය, අපද්‍රව්‍ය කළමනාකරණය වැනි විෂයය කොටස් ගැන මනා අවබෝධයක් ලබාගැනීමට හැකිවිය. මෙසේ ලබාගත් දැනුම අපගේ විෂයය මාලා සංවර්ධනයේදී මහෝපකාරි විය.


ඒ වන විට. තාක්ෂණය අතින් අප බොහෝ පසු පසින් සිටියත්, අද අප ලබා ඇති දියුණුව ප්‍රසංශනීයය. කෙසේ වෙතත් ලෝකයේ බොහෝ රටවල්මේ වන විට අධ්‍යාපනයට නව තාක්ෂණය ශීඝ්‍රයෙන් භාවිත කරන ආකාරය නම් අපට තවමත් බොහෝ  දුරස් බව පෙනේ.    

Thursday, 22 June 2017

මොණරුන් නිදැල්ලේ සැරිසරන කොහොඹ තුරු අරණක පැවති පරිසර සමුළුව.....




 න්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ, අහමදාබාද් නගරයේ, ශ්‍රී ජවහර්ලාල් නේරු පරිසර අධ්‍යාපන මධ්‍යස්ථානයේ පැවැත්වූ පරිසර අධ්‍යාපන සමුළුවකට සහභාගී වීමට මට අවස්ථාවක් ලැබුණි. එවකට මා  සේවය කරන ලද්දේ  ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යංශය යටතේ පැවතී  ‘නොරාඩ්’ (NORAD) පරිසර ව්‍යාපෘතියේ වැඩ සටහන් නිලධාරි වරයා ලෙසටය.

එම මධ්‍යස්ථානයේ පවත්වන ලද ආරම්භක  පරිසර අධ්‍යාපන පර්යේෂණ වැඩ සටහන මෙය විය. මේ පිලිබඳව පරිසර අමාත්‍යංශයට දන්වා  තිබුණු ලිපියකට අනුව සමුළුවට සහභාගී වීම සඳහා මා නම් කරන ලදී.


ශ්‍රී ජවහර්ලාල් නේරු පරිසර අධ්‍යාපන මධ්‍යස්ථානය

සමුළුවට කලින් දින, ශ්‍රී ලංකාවෙන් පිටත්  වූ මට මදුරාසියෙන් ගොඩ බැස, මදුරාසියේ සිට බොම්බායටත් බොම්බායේ සිට අහමදාබාද් නගරයටත් අභ්‍යන්තර ගුවන් සේවා මගින් යාමට සිදුවිය. අහමදාබාද් නගරයේ කුඩා හෝටලයක එදින නවාතැන් ගත් මා හට පසුදින උදයේම, සමුළුවට යාම සඳහා වාහනයක් එවා තිබුණි.සමුළුව හරියටම පෙරවරු 8.00 ට ආරම්භ විය. ආරම්භක සැසියේ ප්‍රධාන අමුත්තා වූ ප්‍රාන්ත අධ්‍යාපන අමාත්‍යවරයා ගුජරාට් භාෂාවෙන් සහ ඉංග්‍රීසියෙන් සිය දේශනය කළේය. විනාඩි පහකට පමණ සීමාකළ ඔහුගේ දේශනයේදී, අනාගතයේදී බලාපොරොත්තු විය හැකි ස්වාභාවික විපත් ගැන සඳහන් කර ඒවා කළමනාකරණය සඳහා දරුවන් වහ වහා යොමු කළ යුතු ආකාරය ගැන කදිම විස්තරයක් කරන ලදී.

ඉන්දියාවේ ප්‍රාන්ත සියල්ලෙන්ම පරිසර අධ්‍යාපන නියෝජිතයින් (ගුරුවරු සහ නිලධාරින්) පැමිණ සිටියහ. විදේශිකයෙකු සිටියේ මා  පමණකි. 

පැදුරු මත වාඩිවී, දේශන වලට සවන් දීම

සියලු දෙනාම බිම එලන ලද පැදුරු මත වාඩිවී, දේශන වලට සවන් දීම එම සමුළුවේ විශේෂත්වයක් විය.  මට වාඩිවීම සඳහා මිටි පුටුවක් දුන් නමුත් මා, බිම වාඩිවී සිටිය හැකි බව පවසා එය බැහැර කළෙමි. කාල සටහනට අනුව පළමු සැසියේ වුයේ එක් එක් නියෝජිතයාගේ ප්‍රාන්තයේ පරිසර අධ්‍යාපන කටයුතුවල ප්‍රගතිය පිළිබඳව කෙටි විග්‍රහයක් කිරීමයි. එම අවස්ථාව එළඹී විගසම කාටත් අවශ්‍ය වුයේ එකම විදේශික අමුත්තා වූ මගෙන් ශ්‍රී ලංකාවේ පරිසර අධ්‍යාපනය ගැන දැනගැනීමටයි. මට කළ ආරාධනය සතුටින් භාර ගතිමි. මා හට අපේ පරිසර ක්‍රියාකාරකම් ගැන මනා අවබෝධයක් තිබුණු නිසා ඉතා හොඳ විස්තරයක් කළ හැකි විය. එය අසා කව්රුත් සතුටට පත්වූහ. 

සමුළුව සඳහා තිස් හය දෙනෙක් සහභාගී විය. තුන් වන දිනය වන විට සියල්ලෝම වගේ මා සමග ඉතා කුළුපග විය. මෙම සමුළුවට සහභාගී වුවන්ගේ තවත් විශේෂත්වයක් වුයේ පිරිසේ අය විවිධ ප්‍රාන්ත භාෂා කථා  කරන අය වීමයි. කාටත් පොදු භාෂාව වුයේ ඉංග්‍රීසි යි. පිරිමින් කලිසම, ෂර්වානිය, හෝ පන්ජාබි ඇඳුම ඇඳ සිටියහ. තලප්පාව බැඳගත් එක් අයෙක් සහ සුදු පැහැති මුස්ලිම් හිස් වැසුම පැළඳි දෙදෙනෙක්ද විය.   පිරිසේ සිටි  කාන්තාවන් කිහිප දෙනාද සාරිය, සල්වාරිය, ඩෙනිම් කලිසම  වැනි විවිධ ඇඳුම් ඇඳි අය වුහ.

අපට දින පතාම විවිධ පරිසර පද්ධති නිරීක්ෂණය කිරීමටත් ඒවායේ විවිධ අධ්‍යයන කිරීමටත් පහසුකම් සලසා තිබිණ. අප ක්ෂේත්‍ර අධ්‍යයන වල නිරත වූයේ  කුඩා කණ්ඩායම් වශයෙනි. දින පතාම අධ්‍යයන කණ්ඩායම වල සිටින පිරිස වෙනස් කළ නිසා සෑම කෙනෙක් සමගම සුහදව කටයුතු කිරීමට හැකිවිය. මෙම පරිසර අධ්‍යාපන ආයතනය පිහිටි භුමිය අක්කර පණහක පමණ විශාල ප්‍රදේශයකි. එම මුළු ඉඩමම කොහොඹ ගස් වලින් පිරුණු වනාන්තරයක් බඳු විය, ඒ වන විට ශීත ඍතුව එළඹ තිබුණු නිසා බිම පතිත වි තිබුණු ඉදී ගිය  කහ පැහැති කොහොඹ කොළ නිසා මුළු ප්‍රදේශයම කහ පැහැති පළසකින් වසා ඇති අයුරු දිස්විය
  
වන අරණ පුරාම මොණරුන් සිටිති


මෙහි තවත් සුවිශේෂී දෙයක් වුයේ එම වන අරණ පුරාම මොණරුන් සිය ගණනක් සිටීමයි. වරින් වර සම්මන්ත්‍රණ ශාලාව ඇතුළතටද එන මොණරු වැඩ කටයුතු වලටද තරමක් බාධා පමුණුවති. එහෙත් කිසිවකු ඒවා නොසලකා හරිති. කෙසේ වෙතත් මොණරකු ඉඳහිට පිල් විදහා නැටීම කාටත් ආශ්වාද ජනක දර්ශනයක් විය.

රංචුවෙන් වෙන්වී හුදකලාවේ සිටි රිළවෙකු සහ මොණරුන් අතර තිබුණු මිත්‍රත්වයක්ද විශේෂයෙන් සඳහන් කිරීම වටි. මොණරුන් වතුර බිම සඳහා ජල කරාමයක් වෙත ආ විට මෙම රිළවා කරාමය ඇර ඔවුනට වතුර බිමට සලස්වා ආපසු කරාමය වසා දැමීම මෙහිදී දකින්නට ලැබුණු අරුම පුදුම දර්ශණයකි. ජලය අපතේ නොයැවීමේ වැදගත්කම  රිළවා පරිසර අධ්‍යයනයක් බලා සිට  ඉගෙන ගත්තාදැයි කිසිවෙකු නොදනිති.

සමුළුව පැවතී මුළු සතියේ සෑම කෑම වේලක්ම නිර්මාංශ ආහාර වීමද මෙහි තවත් සුවිශේෂී දෙයකි.  අපේ ආහාරයක්‌ සාදන ආකාරය පිළිබඳව ආපන ශාලා අංශයට විස්තර කර දෙන ලෙස මගෙන්ද  ඉල්ලීමක් කරන ලදී. මම පොල් සම්බලයක් සාදන ආකාරය කියා දුන්නෙමි. එය කිහිප දෙනෙකුට අමුත්තක් නොවිය. කෙසේ වෙතත් කවුරුත් පොල් සම්බලය රස කර කර ඉඳි ආප්ප සමග භුක්ති වින්දහ. මේ අයුරින් ඉන්දියාවේ එක් එක් ප්‍රාන්තවල ආහාර එම සතිය තුළදී අපගේ කෑම වේල් වලට එකතු වීම නිසා ආහාර රසයෙහි  විවිධත්වයක්ද විඳින්නට හැකිවිය.

වැඩ මුළුවේ දී විශේෂ අවධානය යොමු වූයේ පරිසරයට අදාළ  නව සංකල්ප පාසැල් විෂයය මාලාවලට අන්තර්ග්‍රහණය කිරීම පිළිබඳවයි. මෙහිදී ප්‍රාථමික සහ කණිෂ්ඨ ද්විතිය  අවදියේදී, සිසුනට සමුහ ක්‍රීඩා ආශ්‍රිතව ආහාර දාම, ආහාර ජාල, පරිසර සංරක්ෂණය, අපද්‍රව්‍ය කළමනාකරණය ආදී සංකල්ප ඉදිරිපත් කිරීමේ වැදගත් කම පෙන්වා දෙන ලදී. එසේම ‘ඉවත’ යනුවෙන් තැනක්‌ නොමැති බවත් ‘ඉවත දැමීම’ යන අදහස පරිසරයට බෙහෙවින් හානිකර වීම ඒත්තු ගැන්විය යුතු බවත් අවධාරණය කරන ලදී.

සමුළුවේ අවසාන රාත්‍රියේ පැවතී සුහද හමුවේදී, තමන් සම්බන්ධ වූ සාර්ථක පරිසර ව්‍යාපෘතියක් විස්තර කිරීමට සිදුවිය. මා විස්තර කළේ 1995  වසරේදී, පරිසර අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කළ, ‘පරිසර දුම්රිය’ වැඩ සටහනයි. මෙම වැඩ සටහනෙහි දී, දුම්රිය ගමන සඳහා තෝරාගත්  පාසැල් සිසු සිසුවියන් තුන් සියයක්‌ පමණ රැගෙන කොළඹ සිට මහනුවර දක්වා ගිය  දුම්රිය ගමනට එකතුවූ විද්වතුන් කිහිප දෙනකු,  විසින්  මග තොටේ පරිසර අසිරිය ශබ්ද විකාශන ක්‍රමවේද මගින් සියලුම සිසුනට පැහැදිලි කරණ ලදී.

අපගේ එම ව්‍යාපෘතිය සමුළුවට සහභාගී වූ කාගේත් පැසසුමට ලක් විය.         

   
  

Sunday, 18 June 2017

ආධුනික ගුරු මහතාගේ ‘ලටපට’ පෙට්ටිය.......

  ධුනික ගුරුවරයෙකු පහසුකම් ඉතාමත් අඩු පාසැලක අපතේ යන ද්‍රව්‍ය භාවිත කර සිසු දරු දැරියන්ට ඉගැන්වීම පිලිබඳ ආදර්ශමත් සටහනකි.

එය ඉතාමත් පිටිසර පෙදෙසක කණිෂ්ඨ විද්‍යාලයකි. බලන්ගොඩ සිට කිලෝමීටර් විසිපහක් පමණ දුරින් පිහිටි ගමන් බිමන් දුෂ්කර ප්‍රදේශයකි. රත්නපුර දිස්ත්‍රික්කයේ උතුරු මායිමට ආසන්න, ඉතාමත් මනරම් පරිසරයක පිහිටා ඇති පාසැල රටේ මධ්‍යම කඳුකරයේ ඇති හෝර්ටන් තැන්න පාමුල වීම තවත් ලක්ෂණයකි. පරිසර සෞන්දර්යයෙන් අනුන මෙම විදුහලට යාමට මට අවස්ථා වක් ලැබීම ගැන සතුටු වෙමි.

දරු දැරියන් සියයක්වත් නොමැති එම පාසැලේ ගුරු මණ්ඩලය පස් දෙනෙකි. ඔවුන්ගෙන් තුන්දෙනෙක්ම ආධුනික ගුරුවරු වුහ.  ගුරු හිඟයක් පැවති ඒ කාළයේ විද්‍යා සහ ගණිත විෂයයන්ගෙන් සම්මාන  සහිතව අපොස සාමාන්‍ය පෙළ සමත් අයට ආධුනික විද්‍යා ගුරු පත්වීම් ලබාදෙන ලදී. පාසැලේ ඉහලම පන්තිය හයවන ශ්‍රේණියයි.

විදුහල්පති හමුවී, පාසැලේ තොරතුරු මඳක් සාකච්ඡා කිරීමෙන් පසුව, එහි ඉහළම පන්තිය වන හයවන ශ්‍රේණිය අධීක්ෂණය සඳහා ගියෙමි. එම පන්තිය තිබුණේ කුඩා විද්‍යා කාමරයේය. එහි පන්ති භාර ගුරුවරයා වූයේ අලුත් පත්වීමක්‌ ලැබූ ආධුනික ගුරු මහත්මයෙකි. ඔහු සමග විනාඩි කිහිපයක් කථා කර, මා විද්‍යා අධ්‍යාපන නිලධාරිවරයා බව කීවෙමි.

පන්තියේ සිසු සිසුවියන් සිටිනුයේ හය දෙනෙක් පමණකි. එයින්ද එදින පැමිණ සිටියේ පස් දෙනෙක් පමණය. ඔහුට  එම පන්තියේ විද්‍යාව, ගණිතය සහ ඉංග්‍රීසි යන විෂයයන් සියල්ලම ඉගැන්වීම පවරා ඇත.
ඒ වෙලාවේ ඔහුට නියමිතව තිබුණේ විද්‍යාව විෂයයේ ‘ආහාර සහ පෝෂණය’ පාඩමයි. මා පන්තියට යන විටත් සිසුන් කිහිප දෙනා පන්තිය ඉදිරිපිට තිබෙන කාඩ්බෝඩ් පෙට්ටියක ඇති යම්කිසි දෙයක් සොයමින්  සිටියහ.
ඔවුන් කරන්නේ කුමක්දැයි මම ගුරුවරයාගෙන් වීමසීමි.

‘අපට අමතර පොත්පත් එහෙම නැති නිසා ඉවත දමන දේවල් පාඩම් සඳහා එකතුකර ගෙන  තිබෙනවා. ඒකෙන් පාඩමට අවශ්‍ය තොරතුරු තෝරනවා. අපී ඕකට කියන්නේ “ලටපට” පෙට්ටිය කියලා’ ඔහුගේ පිළිතුර විය.
ඒ වන විටත් සිසුන් සියලු දෙනාම පෙට්ටියෙන් සොයාගත් මුද්‍රිත අහාර දවටනය (කිරි පිටි ඇසුරුම් හිස් පැකට්ටු) ) බැගින් අතට ගෙන තම ආසනවලට ගොස් වාඩිවී සිටියහ.

මා පුදුමයෙන් මෙන් බලා සිටින විට ඔහු තවදුරටත් විස්තර කළේය. ‘මේ පාඩමට ගැලපෙන කිරිපිටි පැකට්, බිස්කට් පැකට් වගේ දේවල් වල දවටන අපී කලින්ම එකතු කර තිබෙනවා. ළමයිත් ලැබෙන වැදගත් හැමදෙයක්ම මේ පෙට්ටියට ගෙනත් දානවා’ කි ඔහු  පෙට්ටිය මෙසය උඩ තැබුවේය. සිසුන් කිහිප දෙනාද මෑ ඒ ගැන විමසන විට මවිතයට් පත්වී සිටියහ.

‘අද පෝෂණ පාඩමට අවශ්‍ය ආහාර දවටන පෙට්ටියෙන් තෝරා ගන්නට මම මුලින්ම උපදෙස් දුන්නා.’ ඔහු කිවේය.
‘පාඩම කරන්න.’ කියා 

මම පන්තිය පිටුපස වූ ආසනයක හිඳ ගතිමි.

අප ආහාර වශයෙන් ගන්නා දේවල් කිහිපයක් නම් කරන ලෙස ඔහු එක් සිසුවෙකුට කිවේය.

‘අපේ ආහාර බත්, බතල, මඤ්ඤොක්කා, කුරක්කන් පිට්ටු, ඉරිඟු’ ඔහුගේ පිළිතුර විය

අත් ඔසවාගෙන සිටි තවත් සිසුවියක් ‘කිරිපිටි, බිස්කට්, පළතුරු’ යනුවෙන් ඌණ පුරණයක් කළාය.

‘තම තමන් ළඟ තිබෙන දවටන වල සටහන් කර තිබෙන පෝෂක කියවා  බලන්න.’ කී ගුරු මහතා සිසුන් වෙත ගොස් එය සොයා ගැනීමට උදව් කළේය.

මොහොතකින්, සිසු සිසුවියන් සියලු දෙනාගේම අත් ඉහළට ගියේය. ගුරු මහතාගේ විධානය අනුව එක් එක් සිසුවා ‘කාබෝහයිඩ්රේට. ප්‍රෝටීන’ ආදී වශයෙන් හඬ නගා කිහ.

ඔහු කාබෝහයිඩ්රේට ලැබෙන ආහාර වර්ග නම් කර එහි සංයුතිය ගැනද විස්තර කර කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් යන මුල ද්‍රව්‍ය සහ ඒවායේ සංකේත ගැනද ඉතාමත් පැහැදිලි විස්තරයක් කර පන්තියට කෙටි සටහනක්ද දුන්නේය.

‘සර්, ප්‍රෝටීන ගැන?’ එකී සිසුවියක් මහත් උනන්දුවෙන් ප්‍රශ්න කළාය.

‘අද වෙලාව නැහැ. ඊළඟ පාඩමේදි බලමු.’ කි ගුරු මහතා

 යමක් බලාපොරොත්තු වන ආකාරයෙන් මාදෙස බැලිය.

පන්තිය ඉදිරියට ගිය මා, ගුරු මහතාගේ ඉගැන්වීම ගැන ප්‍රසංශා කර එදින උගත් දේ ගැන සිසුන්ගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසීමි. ඔව්හු සියළුම ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු දුන්හ.

පන්තියේ තිබුණු ‘ලටපට’ පෙට්ටිය පරික්ෂා කළ මට එය තුළ විවිධ දේ දකින්නට ලැබිණ. ඇණ සහ මුරිච්චි, බෝතල් මුඩි, පාෂාණ සාම්පල කිහිපයක්, කුරුළු පිහාටු, සතුන්ගේ කංකාල කොටස්, රිජිෆෝම් කැබලි ආදී නොයෙකුත් දේ එය තුළ විය.

ඔහු තමන්ට නියමිත අනිකුත් විෂයය ඉගැන්විමේදීත් ‘ලටපට’ පෙට්ටියේ තිබෙන දේවල් ආදර්ශක ලෙස භාවිත කරන බව දැනගන්නට ලැබිණ.

එම ගුරු මහතා ඉවත දමන ද්‍රව්‍ය ඉගැන්වීමේ ආදර්ශක ලෙස භාවිත කරන ආකාරය සහ පන්ති කාමරයේ තිබුණු ‘ලටපට’ පෙට්ටිය ගැන විශේෂ ඇගයීමක් සහිතව ලොග් සටහනක් තැබීමි.

නොයෙකුත් දුෂ්කරතා මධ්‍යයේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීම සඳහා සිය අනුයෝගිකරණ හැකියාව උපයෝගී කරගත් මෙම ආධුනික ගුරු මහතා ආදර්ශයට ගතහොත් ගුරු වෘත්තියේ භූමිකාව වඩ වඩාත් ඔප් නංවා ගත හැකි වනු නොඅනුමානය.                                                                                    

Friday, 16 June 2017

ඉහල පුටුවල යටිකුට්ටු වැඩක්‌ නිසා විදේශ ශිෂ්‍යත්වයක් අහිමි විය .....

   කාලයේ අධ්‍යාපනයේ සේවය කළ කාටත්, සුදුසුකම් සහ ඇප කැපවීම පදනම් කර ගනිමින් විදේශ ශිෂ්‍යත්ව ලබා දීම හෝ විදේශ අධ්‍යාපන චාරිකා වලට අවස්ථාවක් ලබාදීම සිරිතක් විය. ශිෂ්‍යත්ව හෝ චාරිකා ගණන සිමිත් වුවත් ඒවායින් රටට මහත් ප්‍රයෝජන ලැබිණ.

වරක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් එවැනි ශිෂ්‍යත්ව තුනක් අධ්‍යාපන අමාත්‍යංශයට ප්‍රදානය කර තිබිණ. එම ශිෂ්‍යත්ව සඳහා අයදුම් කිරීමට  වයස අවුරුදු තිස් පහට  අඩුවීම, උපාධිධාරි ගුරුවරයෙකු ලෙස වසර අටක සේවයක් තිබීම, උපාධිය ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාරා තිබීම වැනි කොන්දේසි රාශියක් ඇතුළත් කර තිබිණ. ම්ටද සියලුම සුදුසු කම් තිබුණු නිසා අයදුම් පතක් යැවීමි.
  
අධ්‍යාපන අමාත්‍යංශයේ තිබුණු පළමුවෙනි සම්මුඛ පරීක්ෂණය සඳහා මට කැඳවීමක් ලැබිණ. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත වූ අතර  ඇමෙරිකා එක්සත් ජනපදයේ නියෝජිතයෙකුද එහි  සිටියේය. එදින සම්මුඛ පරීක්ෂණය සඳහා තිස් දෙනෙකු පමණ පැමිණ සිටියහ. මා හඳුනන කිසිවෙකු ඒ සමග නොවිය.

සති තුනකින් පමණ මට දෙවන සම්මුඛ පරීක්ෂණය සඳහාද  කැඳවීමක්  ලැබිණ. එදින මා ඇතුළු තවත් සිව් දෙනෙකු කැඳවා තිබිණ. අමාත්‍යංශ ලේකම් කාර්යාලයේ ආලින්දයේ වාඩිවී සිටි අපට ටික වෙලාවක් සුහදව  සාකච්ඡා කිරීමට හැකිවිය. අප පස් දෙනාගෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව සම්පුර්ණ කර තිබුණේ  මා පමණය. ඔවුන් දෙදෙනෙකු ළඟ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් ලබාගත් හොරතුරු පත්‍රිකාද විය.

අනික් සිව් දෙනාම මට කලින් සම්මුඛ පරීක්ෂණය සඳහා ඇතුලට ගියහ. ඔවුන් සැමදෙනාගේම තේරෙන බවට බලාපොරොත්තු ඇති බව මුහුණු වලින් පෙනිණ. මා සමග විනාඩි කිහිපයක් කථාකළ සම්මුඛ පරීක්ෂණ මණ්ඩල සාමාජිකයෝ මගේ අනාගත බලාපොරොත්තු ගැන දිගින් දිගටම ප්‍රශ්න කළහ. ඇමෙරිකාවේ වාසය කිරීම සඳහා අවශ්‍ය තොරතුරු තානාපති කාර්යාලයෙන් ලබාගත හැකි බවද ඇමෙරිකානු නියෝජිතයා වැඩිදුරටත් සඳහන් කළේය. මටද බලාපොරොත්තු ඇතිකර ගත හැකි විය.

දින දෙකකට පසු මා වැඩකළ කාර්යාලයේ අධ්‍යාපන අධ්‍යක්ෂක තුමා මගින් මට අමාත්‍යංශයේ පණිවුඩයක් ලැබිණ, එහි සඳහන් වුයේ පසුදින පෙරවරු නවයට අමාත්‍යංශ ප්‍රධානියා හමුවන ලෙසටය.

පසුදින මම ඔහු හමුවීමට ගියෙමි. ඇමෙරිකාවට යාම සහ  එහි වසර දෙකක් ගත කිරීම පිළිබඳව සිහින මවමින් අධ්‍යාපන අමාත්‍යංශ කාර්යාලයට ගොස් ස්ථිර ලේකම් තුමා හමුවීමි.

ඔහු මා සමග ඉතාමත් සුහද ලෙස කතා කළේය.

‘සම්මුඛ පරීක්ෂණය හොඳට කරළ තියෙනවා’

කි ඔහු ලිපි ගොනුවක පිටු පෙරලන්නට විය. එය මගේ පෞද්ගලික ලිපි ගොනුව බව පිට කවරයේ මගේ නම තිබුණු නිසා දැන  ගතිමි. එහි එක්‌ පිටුවක් හරවා

‘අධ්‍යාපන ඩිප්ලෝමාව කළේ කොයි අවුරුද්දේද?’ කියා මගෙන් ඇසිය

‘ගිය අවුරුද්දේ’ මම කීවෙමි.

‘ඒකට අධ්‍යයන නිවාඩු ගත්තාද?’ ඔහුගේ ඊළඟ ප්‍රශ්නය විය.

මේ සියලු තොරතුරු ගොනුවේ ඇතත් ඒ සියල්ල ආපසු මගෙන් අසන්නේ මන්ද යන්න මට ගැටළුවක් විය.

ටික වෙලාවකට පසු ඔහු

‘පොඩි ප්‍රස්නයක් තිබෙනවා.  ඒකයි මම කල්පනා කළේ’ කියා.

‘අධ්‍යාපන ඩිප්ලෝමාව සඳහා ගිය වසරේ අධ්‍යයන නිවාඩු ගත් නිසා ආපසු වසර දෙකක්‌ විදේශ නිවාඩු දෙන්න අමාරුයි’ යයි කිවේය.

මගේ සියලු බලාපොරොත්තු සුන්වි ගොස් මවමින් සිටි සිහින බොඳ වී ගියේය. මා තුෂ්තුනිම්භුතව බලා සිටින විට ලේකම් තුමා ඒ සඳහා කළහැකි විකල්පයක් යෝජනා කළේය.

‘අපි මෙහෙම කරමු. ඔය මහත්මයාට අපි ලබන අවුරුද්දේ අමාත්‍යංශයට ලැබෙන්නට තිබෙන  අවුරුදු දෙකක ශිෂ්‍යත්වයක් දෙන්නම්. එතකොට නිවාඩු ලබා දෙන්නට පුළුවන්’

රාජකාරියට නවකයෙකු වූ මට දෙපාර්තමේන්තු අණපනත් ගැන වැඩි අවබෝධයක් නොවිය. ඉහලම නිලධාරියා කි දෙය මට අස්වැසිල්ලක් විය.

‘එහෙනම් ලබන අවුරුද්දේ ලැබෙන ශිෂ්‍යත්වයක්  සඳහා මගේ නිර්දේශය සඳහන් මේ   ලිපියට  අත්සන් කරන්න’ කියා

මට අමාත්‍යංශ ලිපි ශිර්ෂයක සකස් කර තිබුණු ලිපියක් දුන්නේය. මමද එය කියවා බලා අත්සන් කලෙමි. ලිපියේ ඔහුගේ අත්සන සහිත  පිටපතක් මා අතටද දුන්නේය.

සුන්වූ බලාපොරොත්තු සහිතව කාර්යාලයෙන් පිටවූ මට මේ සියල්ල පිළිබඳව සැකයක්ද සිතෙහි වැඩ කළේය.

පසුදින අපගේ අධ්‍යක්ෂක තුමා හමුවී සිදුවූ දේ කී විට ඔහු මහත් පුදුමයට පත්විය. මා එම අසීරු තත්ත්වයට පත්කිරීම ඉහළ නිලධාරියා විසින් නොකළ යුතු දෙයක් බව ප්‍රකාශ කළ ඔහු

‘එහෙනම් ලබන අවුරුද්දෙවත් බලමු.’ යයි කිවේය.

මා වැඩිදුර විමසීමක් නොමැතිව කර ඇත්තේ අදුරදර්ශී ක්‍රියාවක් බව වැටහුණේ එවිටය.

වසරක් ගතවිය. අධ්‍යාපන ඇමති මාරුවක් සිදුවිය. ලේකම් වරයාද ඉවත් විය. මට දුන් පොරොන්දුවද කුණු කුඩයට යන්නට ඇත. මට නියමිත ශිෂ්‍යත්වය අහිමි විය. දේශපාලන වශයෙන් බලගතු තිදෙනෙක් ශිෂ්‍යත්ව ලබා ඇමෙරිකාවට ගොස් ඇත.

දෙපාර්තමේන්තුවේ නීති රීති වලට අනුව වරක් අධ්‍යයන නිවාඩු ලබාගත් නිලධාරියෙකුට, අවශ්‍යතාවයක් සඳහා  ඒ සමගව වුවද යළිත් අධ්‍යයන නිවාඩු ලබාගත හැකිය. ඒ සඳහා බැඳුම්කරය දීර්ඝ කිරීම පමණක් නැවත කළයුතු බව පසුව දැනගතිමි.
------------------------------------------------------
මෙම සිද්ධියට වසර දහයකට පමණ පසු.අධ්‍යාපන අමාත්‍යංශයේ තරමක් ඉහළ තනතුරක සිටි මා හට පාසැල් පොත් සකස් කිරීම සම්බන්ධව පැවති වැඩ මුළුවකට සහභාගී වීමට අවස්ථාවක් ලැබුණි. එහි මාද සිටි එක් කුඩා කණ්ඩායම් සාකච්ඡාවක්‌ මෙහෙය වුයේ කලකට පෙර මට හරිමග කියා නොදුන් ඉහල නිලධාරියාය. ඔහු ඒ වන විට වයස් ගත විශ්‍රාමිකයෙකි. මට ඔහු දුටු විගසම මහත් චිත්ත සන්තාපයක් ඇතිවිය.

සාකච්ඡාව ආරම්භ කිරීමට පෙර එකිනෙකා හඳුනාගැනීම සිරිතය. ඔහු වසර තිහක හතලිහක පමණ අතීතයට ගොස් ඒ කාළයේ සිට තමන් හඳුන්වා දුන්නේය. මගේ වාරය පැමිණි විට එවකට දැරූ තනතුරෙන් හැන්දින්විම කළෙමි. ටික වෙලාවක් මාදෙස බලා සිටි ඔහු

‘දැකලා පුරුදු වගෙයි. කලින් වැඩ කළේ කොහෙද?’ කියා මගෙන් ඇසිය.

‘සර්, ඒක දිග කතාවක්. කෙටියෙන් කියන්නද?’ මම ඇසීමි.

'දිගට උනත් කමක් නැහැ.කාටත් දැනගන්න හොඳ නේ. කියන්න. කියන්න.' ඔහු මා දිරිමත් කළේය.   

මම ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගතිමි.

‘මිට අවුරුදු දහයකට ඉස්සර මට ලැබුණු ශිෂ්‍යත්වයක් කපා හැරිය එක වෙන්න ඇති මතක.’ මම එඩිතරව කීවෙමි.

පිරිස කවුරුත් එකිනෙකාගේ මුහුණු බලන්නට විය. එතුමාගේ මුහුණ රතුවී මහත් බැගෑපත් විලාසයකට පත්වි

‘ඊළඟ අවුරුද්දේ  ශිෂ්‍යත්වය ලැබුනද?’ කියා මගෙන් ඇසිය.

‘ඒ කිසිවක් ලැබුනේ නැහැ. එදා මට ඒ ශිෂ්‍යත්වයට යන්නට අවස්ථාව ලැබුණානම් මේ කණ්ඩායම මෙහෙය වන්නට සර් වෙනුවට, මට සිටින්නට තිබුණා.’ යයි මට ඉබේටම මෙන් කියවිණ

‘සිද්ධියට මට කණගාටුයි. මට ඇමතිවරු තුන්දෙනෙකුගේ ඉල්ලිම් ඉෂ්ට කරන්නට සිදු වුවා’ යයි ඔහු දුක්මුසු ස්වරයකින් පැවසිය.

මට කියන්නට අවශ්‍යව තිබුණු දේ මුහුණටම කියන්නට ලැබීම ගැන තරමක සතුටක්ද ඇතිවිය.  .