Friday, 16 June 2017

ඉහල පුටුවල යටිකුට්ටු වැඩක්‌ නිසා විදේශ ශිෂ්‍යත්වයක් අහිමි විය .....

   කාලයේ අධ්‍යාපනයේ සේවය කළ කාටත්, සුදුසුකම් සහ ඇප කැපවීම පදනම් කර ගනිමින් විදේශ ශිෂ්‍යත්ව ලබා දීම හෝ විදේශ අධ්‍යාපන චාරිකා වලට අවස්ථාවක් ලබාදීම සිරිතක් විය. ශිෂ්‍යත්ව හෝ චාරිකා ගණන සිමිත් වුවත් ඒවායින් රටට මහත් ප්‍රයෝජන ලැබිණ.

වරක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් එවැනි ශිෂ්‍යත්ව තුනක් අධ්‍යාපන අමාත්‍යංශයට ප්‍රදානය කර තිබිණ. එම ශිෂ්‍යත්ව සඳහා අයදුම් කිරීමට  වයස අවුරුදු තිස් පහට  අඩුවීම, උපාධිධාරි ගුරුවරයෙකු ලෙස වසර අටක සේවයක් තිබීම, උපාධිය ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාරා තිබීම වැනි කොන්දේසි රාශියක් ඇතුළත් කර තිබිණ. ම්ටද සියලුම සුදුසු කම් තිබුණු නිසා අයදුම් පතක් යැවීමි.
  
අධ්‍යාපන අමාත්‍යංශයේ තිබුණු පළමුවෙනි සම්මුඛ පරීක්ෂණය සඳහා මට කැඳවීමක් ලැබිණ. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත වූ අතර  ඇමෙරිකා එක්සත් ජනපදයේ නියෝජිතයෙකුද එහි  සිටියේය. එදින සම්මුඛ පරීක්ෂණය සඳහා තිස් දෙනෙකු පමණ පැමිණ සිටියහ. මා හඳුනන කිසිවෙකු ඒ සමග නොවිය.

සති තුනකින් පමණ මට දෙවන සම්මුඛ පරීක්ෂණය සඳහාද  කැඳවීමක්  ලැබිණ. එදින මා ඇතුළු තවත් සිව් දෙනෙකු කැඳවා තිබිණ. අමාත්‍යංශ ලේකම් කාර්යාලයේ ආලින්දයේ වාඩිවී සිටි අපට ටික වෙලාවක් සුහදව  සාකච්ඡා කිරීමට හැකිවිය. අප පස් දෙනාගෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව සම්පුර්ණ කර තිබුණේ  මා පමණය. ඔවුන් දෙදෙනෙකු ළඟ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් ලබාගත් හොරතුරු පත්‍රිකාද විය.

අනික් සිව් දෙනාම මට කලින් සම්මුඛ පරීක්ෂණය සඳහා ඇතුලට ගියහ. ඔවුන් සැමදෙනාගේම තේරෙන බවට බලාපොරොත්තු ඇති බව මුහුණු වලින් පෙනිණ. මා සමග විනාඩි කිහිපයක් කථාකළ සම්මුඛ පරීක්ෂණ මණ්ඩල සාමාජිකයෝ මගේ අනාගත බලාපොරොත්තු ගැන දිගින් දිගටම ප්‍රශ්න කළහ. ඇමෙරිකාවේ වාසය කිරීම සඳහා අවශ්‍ය තොරතුරු තානාපති කාර්යාලයෙන් ලබාගත හැකි බවද ඇමෙරිකානු නියෝජිතයා වැඩිදුරටත් සඳහන් කළේය. මටද බලාපොරොත්තු ඇතිකර ගත හැකි විය.

දින දෙකකට පසු මා වැඩකළ කාර්යාලයේ අධ්‍යාපන අධ්‍යක්ෂක තුමා මගින් මට අමාත්‍යංශයේ පණිවුඩයක් ලැබිණ, එහි සඳහන් වුයේ පසුදින පෙරවරු නවයට අමාත්‍යංශ ප්‍රධානියා හමුවන ලෙසටය.

පසුදින මම ඔහු හමුවීමට ගියෙමි. ඇමෙරිකාවට යාම සහ  එහි වසර දෙකක් ගත කිරීම පිළිබඳව සිහින මවමින් අධ්‍යාපන අමාත්‍යංශ කාර්යාලයට ගොස් ස්ථිර ලේකම් තුමා හමුවීමි.

ඔහු මා සමග ඉතාමත් සුහද ලෙස කතා කළේය.

‘සම්මුඛ පරීක්ෂණය හොඳට කරළ තියෙනවා’

කි ඔහු ලිපි ගොනුවක පිටු පෙරලන්නට විය. එය මගේ පෞද්ගලික ලිපි ගොනුව බව පිට කවරයේ මගේ නම තිබුණු නිසා දැන  ගතිමි. එහි එක්‌ පිටුවක් හරවා

‘අධ්‍යාපන ඩිප්ලෝමාව කළේ කොයි අවුරුද්දේද?’ කියා මගෙන් ඇසිය

‘ගිය අවුරුද්දේ’ මම කීවෙමි.

‘ඒකට අධ්‍යයන නිවාඩු ගත්තාද?’ ඔහුගේ ඊළඟ ප්‍රශ්නය විය.

මේ සියලු තොරතුරු ගොනුවේ ඇතත් ඒ සියල්ල ආපසු මගෙන් අසන්නේ මන්ද යන්න මට ගැටළුවක් විය.

ටික වෙලාවකට පසු ඔහු

‘පොඩි ප්‍රස්නයක් තිබෙනවා.  ඒකයි මම කල්පනා කළේ’ කියා.

‘අධ්‍යාපන ඩිප්ලෝමාව සඳහා ගිය වසරේ අධ්‍යයන නිවාඩු ගත් නිසා ආපසු වසර දෙකක්‌ විදේශ නිවාඩු දෙන්න අමාරුයි’ යයි කිවේය.

මගේ සියලු බලාපොරොත්තු සුන්වි ගොස් මවමින් සිටි සිහින බොඳ වී ගියේය. මා තුෂ්තුනිම්භුතව බලා සිටින විට ලේකම් තුමා ඒ සඳහා කළහැකි විකල්පයක් යෝජනා කළේය.

‘අපි මෙහෙම කරමු. ඔය මහත්මයාට අපි ලබන අවුරුද්දේ අමාත්‍යංශයට ලැබෙන්නට තිබෙන  අවුරුදු දෙකක ශිෂ්‍යත්වයක් දෙන්නම්. එතකොට නිවාඩු ලබා දෙන්නට පුළුවන්’

රාජකාරියට නවකයෙකු වූ මට දෙපාර්තමේන්තු අණපනත් ගැන වැඩි අවබෝධයක් නොවිය. ඉහලම නිලධාරියා කි දෙය මට අස්වැසිල්ලක් විය.

‘එහෙනම් ලබන අවුරුද්දේ ලැබෙන ශිෂ්‍යත්වයක්  සඳහා මගේ නිර්දේශය සඳහන් මේ   ලිපියට  අත්සන් කරන්න’ කියා

මට අමාත්‍යංශ ලිපි ශිර්ෂයක සකස් කර තිබුණු ලිපියක් දුන්නේය. මමද එය කියවා බලා අත්සන් කලෙමි. ලිපියේ ඔහුගේ අත්සන සහිත  පිටපතක් මා අතටද දුන්නේය.

සුන්වූ බලාපොරොත්තු සහිතව කාර්යාලයෙන් පිටවූ මට මේ සියල්ල පිළිබඳව සැකයක්ද සිතෙහි වැඩ කළේය.

පසුදින අපගේ අධ්‍යක්ෂක තුමා හමුවී සිදුවූ දේ කී විට ඔහු මහත් පුදුමයට පත්විය. මා එම අසීරු තත්ත්වයට පත්කිරීම ඉහළ නිලධාරියා විසින් නොකළ යුතු දෙයක් බව ප්‍රකාශ කළ ඔහු

‘එහෙනම් ලබන අවුරුද්දෙවත් බලමු.’ යයි කිවේය.

මා වැඩිදුර විමසීමක් නොමැතිව කර ඇත්තේ අදුරදර්ශී ක්‍රියාවක් බව වැටහුණේ එවිටය.

වසරක් ගතවිය. අධ්‍යාපන ඇමති මාරුවක් සිදුවිය. ලේකම් වරයාද ඉවත් විය. මට දුන් පොරොන්දුවද කුණු කුඩයට යන්නට ඇත. මට නියමිත ශිෂ්‍යත්වය අහිමි විය. දේශපාලන වශයෙන් බලගතු තිදෙනෙක් ශිෂ්‍යත්ව ලබා ඇමෙරිකාවට ගොස් ඇත.

දෙපාර්තමේන්තුවේ නීති රීති වලට අනුව වරක් අධ්‍යයන නිවාඩු ලබාගත් නිලධාරියෙකුට, අවශ්‍යතාවයක් සඳහා  ඒ සමගව වුවද යළිත් අධ්‍යයන නිවාඩු ලබාගත හැකිය. ඒ සඳහා බැඳුම්කරය දීර්ඝ කිරීම පමණක් නැවත කළයුතු බව පසුව දැනගතිමි.
------------------------------------------------------
මෙම සිද්ධියට වසර දහයකට පමණ පසු.අධ්‍යාපන අමාත්‍යංශයේ තරමක් ඉහළ තනතුරක සිටි මා හට පාසැල් පොත් සකස් කිරීම සම්බන්ධව පැවති වැඩ මුළුවකට සහභාගී වීමට අවස්ථාවක් ලැබුණි. එහි මාද සිටි එක් කුඩා කණ්ඩායම් සාකච්ඡාවක්‌ මෙහෙය වුයේ කලකට පෙර මට හරිමග කියා නොදුන් ඉහල නිලධාරියාය. ඔහු ඒ වන විට වයස් ගත විශ්‍රාමිකයෙකි. මට ඔහු දුටු විගසම මහත් චිත්ත සන්තාපයක් ඇතිවිය.

සාකච්ඡාව ආරම්භ කිරීමට පෙර එකිනෙකා හඳුනාගැනීම සිරිතය. ඔහු වසර තිහක හතලිහක පමණ අතීතයට ගොස් ඒ කාළයේ සිට තමන් හඳුන්වා දුන්නේය. මගේ වාරය පැමිණි විට එවකට දැරූ තනතුරෙන් හැන්දින්විම කළෙමි. ටික වෙලාවක් මාදෙස බලා සිටි ඔහු

‘දැකලා පුරුදු වගෙයි. කලින් වැඩ කළේ කොහෙද?’ කියා මගෙන් ඇසිය.

‘සර්, ඒක දිග කතාවක්. කෙටියෙන් කියන්නද?’ මම ඇසීමි.

'දිගට උනත් කමක් නැහැ.කාටත් දැනගන්න හොඳ නේ. කියන්න. කියන්න.' ඔහු මා දිරිමත් කළේය.   

මම ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගතිමි.

‘මිට අවුරුදු දහයකට ඉස්සර මට ලැබුණු ශිෂ්‍යත්වයක් කපා හැරිය එක වෙන්න ඇති මතක.’ මම එඩිතරව කීවෙමි.

පිරිස කවුරුත් එකිනෙකාගේ මුහුණු බලන්නට විය. එතුමාගේ මුහුණ රතුවී මහත් බැගෑපත් විලාසයකට පත්වි

‘ඊළඟ අවුරුද්දේ  ශිෂ්‍යත්වය ලැබුනද?’ කියා මගෙන් ඇසිය.

‘ඒ කිසිවක් ලැබුනේ නැහැ. එදා මට ඒ ශිෂ්‍යත්වයට යන්නට අවස්ථාව ලැබුණානම් මේ කණ්ඩායම මෙහෙය වන්නට සර් වෙනුවට, මට සිටින්නට තිබුණා.’ යයි මට ඉබේටම මෙන් කියවිණ

‘සිද්ධියට මට කණගාටුයි. මට ඇමතිවරු තුන්දෙනෙකුගේ ඉල්ලිම් ඉෂ්ට කරන්නට සිදු වුවා’ යයි ඔහු දුක්මුසු ස්වරයකින් පැවසිය.

මට කියන්නට අවශ්‍යව තිබුණු දේ මුහුණටම කියන්නට ලැබීම ගැන තරමක සතුටක්ද ඇතිවිය.  .                   


18 comments:

  1. දේශපාලනය නිසා වෙන අසාධාරණ. මගේ දැනීමට මෙය සිදුවූයේ මොන අවුරුද්දේද කියල කියන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්,
      දශක පහකට විතර ඉහතදී.

      Delete
  2. ITHIN HALO OYA;AMA NEDA MUNTA KAHIRE GAHALA PATH KARA GANNE .. APE RATE KALA KANNI HATHTHATA AWANAKA RATATA DEYAK KARANNA PULUWNA EWUNTA CHANDAYAK DENNA BAHA..
    E UNATA THAMANTA ARAKA UNA MEKA UNA KIYALA BORUWATA KA GAHANWA .. NEDAKIN LAJJA NADDA OWA DODWANA

    ReplyDelete
    Replies
    1. Dear Ransaku,
      /RATATA DEYAK KARANNA PULUWNA EWUN/
      How are you going to identify this category of ideal people?

      Delete
  3. ඔය වගේ වැඩ හින්ද තමයි ලංකාවෙ අධ්‍යාපනේ මැටි මෝල් වෙලා තියෙන්නෙ.

    මොනව උනත් කියන්න තියෙන දේ අර මනුස්සයට මූනටම කිවුව එකනං හොඳයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      උසස්ම නිලධාරියා උනත් ඔය වැනි අවස්ථා වලදී හරියට අසරණ වෙනවා!

      Delete
  4. කොතන බැලුවත් පෙනෙන්නේ මේ දෙයම පමණයි අප රටේ
    කරන උදවිය බලය පතුරා උරාගයි සාරය රටේ
    තියෙන දැණුමින් වැඩක් ගන්නට සුදුස්සට නැහැ ඉඩ රටේ
    කියන දේ මූනටම කිව්වට මසුරමක් දමනෙමි කටේ....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමි,

      ඉතා වටිනා චන්ද බලයත් අනිසි ලෙස ගොස් මරු කටේ
      දේසපාලුවො බලය පතුරති සුසුම් ලති දන රට වටේ
      සියලු යහගුණ වැනසිලා ගොස් මිනිස් කම් හැම බිඳ වැටේ
      කොසොල් රජු දුටු සිහින පෙළ දැන් සැබෑ වී එනවා රටේ

      ඔබට ජය !

      Delete
  5. Replies
    1. This comment has been removed by the author.

      Delete
  6. මූණටම කියපු එකනම් පට්ටයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රස්.....
      ඒ උනත් එවෙලේ පිරිසක් ඉදිරිපිට ඔහු පත්වූ අසීරු තත්ත්වය ගැන මට පසුව අනුකම්පා හිතුනා.

      Delete
  7. ඇත්තටම බොහෝ දෙනා දන්නවාට ලංකාවේ (හා වෙනත් 'දියුණු' රටවල පවා) ඔවැනි දේ සිදුවෙනවා.
    මටත් ඔවැනිම දෙයක් සිදුවුනා. නමුත් දැන් එය එසේ වුන එකක් එක අතකට හොඳයි කියා සිතෙනවා.

    ReplyDelete
  8. වි.මල්ලි,
    මේවා බොහෝවිට වෙනවා. වසන් කරගෙන සිටිනවා. මගේ සිද්ධියේදී ඊළඟ අවුරුද්දේ දීමට සිතා ගත්තද දන්නෙත් නැහැ.

    ReplyDelete
  9. මටත් විදේශ ශිෂ්‍යත්වයක් අහිමි වුනා 2012 FUTA එක අධ්‍යාපනයට 6 % ක් ඉල්ලලා කරපු ස්ට්‍රියික් එකයි එකත් එක්ක ආපු අනධ්‍යන කාර්ය මණ්ඩලයේ ස්ට්‍රියික් එකයි නිසා. ඒ විශ්විද්‍යාලයෙන් මගේ ට්‍රාන්ස්ක්රිප්ට් එක තහවුරු කරන්න කියල මාස 3ක් යනතුරු වර්ජනය නිසා ඒක තහවුරු කරලා තිබුනේ නෑ. අන්තිමේ ශිෂ්‍යත්වය ලැබුනත් පාඨමාලාවට ඒ සමාසිකයේ ලියාපදිංචි වෙන්න බැරිවුණා නිසා ශිෂ්‍යත්වය අවලංගු වුනා. FUTA ඒක 6% එපා කියල වර්ජනය කල මාස 3 පඩියත් පඩි වැඩිවීමකුත් බැසිල්ගෙන් ඉල්ලගෙන සුනඛ සෙයියාවෙන් වැඩට ගියා. අවුරුදු දෙකක් විතර කට්ට කාල මං වෙන ශිෂ්‍යත්වයක් හදාගෙන ගියා.

    ReplyDelete
  10. ස්තුත්යි PP,
    ඔබට නම් නොවැලැක්වියහැකි අවාසනාවන්ත සිද්ධියක් නිසයි ශිෂ්‍යත්වය අහිමි වෙලා තිබෙන්නේ. මගේ සිද්ධිය නම් ඊට වඩා ටිකක් වෙනස්. පසුව හරි ඔබට වාසනාව පෑදිලා තිබෙන එක ලොකු ජයක්.

    ReplyDelete
  11. ඔබේ කතාව වෙනස් බව ඇත්ත. හැබැයි අනික් අදහස් දෙකටම නම් මන් එකඟ නෑ.

    ඒක වැළක්විය හැකිව තිබුණු එකක්. මොකද අධ්‍යනාංශ ප්‍රධානියා වර්ජනය නොකළ නිසා ඔහුට ඒ ලැබුණු විද්‍යුත් ලිපියට පිළිතුරක් දුන්නා නම් මට විදේශ විශ්වවිද්‍යාලයට ඒත්තු ගන්වන්න තිබුන ඇතිවී තිබුන ප්‍රශ්නය. මම නම් එය සලකන්නේ වගකීපන් තොරව රාජකාරිය පැහැර හැරීමක් ලෙස මිසක් නොවැලක්විය හැකි එකක් ලෙස නෙවේ.

    අනෙක වාසනාවක් පැදීමක් නෙවේ. මං ඒ කාලය ඇතුලත රැකියාවක් නොකර ටියුෂන් කරන ගමන් ආයේ කළා කලින් එක කල් ඉකුත් වුන නිසා. වොලුන්ටියර් රිසර්චර් කෙනෙක් විදියට අතේ සල්ලි වියදම් කරගෙන රිසර්ච් කරලා පොඩි පේපර් එකක් දා ගත්ත. ලෝකය පුරා විශ්විද්‍යාල සිය ගණනක මහාචාර්යවරුන් 3000 කට වැඩි ප්‍රමාණයකට පුද්ගලිකව ඊ මේල් යවමින් එකිනෙකට වෙනස් රිසර්ච් ප්‍රොපොසල් ලියමින් ඉල්ලුම් කළා. අන්තිමේ අවස්ථා 3ක් එකවර ලැබුනා. එයින් හොදම එක තෝරාගත්තා. ශක්තිමත් සිත වාසනාව පෑදීමක් නෙවෙයි. නොපසුබස්නා දැඩි කැපවීම සහ උත්සාහය පමණයි. මොනවා වුනත් ඒ සිද්දිය නිසා ලංකාවේ විශ්විද්‍යාල ගැන අදටත් මට තිබෙන්නේ නොපහැදීමක්.

    ReplyDelete
  12. එක නම් අධ්‍යාපන "රස" කතාවක් නෙමෙයි නේ

    ReplyDelete