Monday 12 June 2017

කුරුළු පාරාදීසයට අධ්‍යාපන චාරිකාවක්.......

    සීෂෙල්ස් දුපත් වල අතිශයින් චමත්කාර දිවයින කුරුළු දිවයිනයි. මා සීෂෙල්ස්හි  බහු තාක්ෂණ ආයතනයේ සේවය කරන කාලයේ අපුරු අත්දැකිමක්‌ ලබාගැනීමට අවස්ථාවක් ලැබිණ.

ඉන්දියන් සාගරයේ  නිරක්ෂයේ සිට අක්ෂාංශ අංශක 3  ක් ( 3 N) දකුණට සහ දේශාංශ අංශක 55 නැගෙනහිරට (55 E) පිහිටා ඇති මෙම දුපත් සමුහය විවිධ ජෛව විවිධත්ව නිසා ලොව ප්‍රකට වී තිබේ. මෙයින් කුරුළු දිවයින සුවිශේෂිය.

උතුරු කරයේ සයිබීරියාව මොන්ගෝලියාව වැනි රටවල අධික ශීතල දේශ ගුණය නිසා පැටවුන් හදා වඩා ගැනීම දුෂ්කර බැවින් එම ප්‍රදේශවල ජීවත්වන පක්ෂීන් අභිජනන කාලයේදී නිරක්ෂය කිට්ටුව ඇති රටවල් වලට පර්යටනය වෙති. මෙසේ එනු ලබන එක්‌ පක්ෂි විශේෂයකි ‘සූටි ටර්න්’(sooty tern) යන නමින් හඳුන්වන මුහුදු ලිහිණියෝ. මොවුන් සැම වසරකම  මාර්තු සිට අප්‍රියෙල් දක්වා, සමුහ වශයෙන්, කුරුළු යුගල මිලියන හතක් පමණ  සීෂෙල්ස්හි කුරුළු දිවයිනට පැමිණෙති. මේ කාලයට වර්ග කිලෝ මීටර් එකක් පමණ වපසරියක් සහිත  දුපතෙන් 90 % ක්‌ පමණ සම්පුර්ණයෙන්ම කුරුල්ලන්ගෙන් වැසි යයි. මෙම මුහුදු ලිහිණියන්ගේ තවත් සුවිශේෂී ලක්ෂණයක් වනුයේ පොලොව  මතුපිට කුඩු සාදා ගැනීමයි. පොළොවේ පස්, පාද වලින් මෑත් කර බේසමක හැඩයට සාදාගන්නා කූඩුවෙහි  කෝටු කැබලි කිහිපයක් සහ කොළ රොඩු ස්වල්පයක් අතුරා තිබේ.

ඔවුන් පළමු වතාවට බිත්තර දෙකක් හෝ තුනක්‌ දැමීම සහ එම බිත්තර ඉවත් කළහොත් නැවත බිත්තර කිහිපයක් දැමීම තවත්  වැදගත් ලක්ෂණයකි. දෙවන වතාවේ බිත්තර ඉවත් කළහොත් තුන්වන වතාවටත් බිත්තරයක් හෝ දෙකක් දමන බව නිරීක්ෂණය කර තිබේ. මෙම සුවිශේෂී ලක්ෂණය පර්යටනය වන කුරුළු සමුහයේ සංඛ්‍යාව සමතුලිත තත්ත්වයක තබා ගැනීම පිණිස ස්වාභාවිකව සකස් වී ඇති වැදගත් අනුවර්තනයක් බව විද්‍යාඥ මතයයි.

මෙම සංසිද්ධිය උපයෝගී කර ගනිමින් වැඩිපුර ලබාගතහැකි කුරුළු බිත්තර එකතු කර රටට ආදායමක් ලබාගැනීමටද වැඩ පිළිවෙලක්‌ සකස්කර ඇත. විද්‍යාත්මක දත්ත අනුසාරයෙන් කරනු ලබන බිත්තර එකතු කිරීම නිසා කුරුළු ප්‍රජාවේ සංයුතියට කිසිම හානියක් සිදු නොවන බව වාර්ෂිකව තබාගන්නා දත්ත වලින් පැහැදිලිවේ.
මෙම දිවයිනේ සිටින දහදොළොස් දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලය සහ වෙනත් කාර්යයන්හි නියුතු අය පනස් දෙනෙක්‌  පමණ වේ. කුරුල්ලන් ගැවසෙන කාලයේදී, එක දිනකදී දිවයිනට ඇතුල් වීමට අවසර ලැබෙන අමතර පුද්ගල සංඛ්‍යාව දොළොස්  දෙනෙකුට සීමාකර තිබේ. කුරුළු බිත්තර එකතු කරන කාල සීමාවේදී එසේ පැමිණෙන අමුත්තන්ට බිත්තර එකතු කිරීමේ ඉතා විරළ ක්‍රියාකාරකමටද සම්බන්ධ විය හැකිය.

1991 වසරේදී එරට බහුතාක්ෂණික ආයතනයේ සේවය කළ මටද ශිෂ්‍ය කණ්ඩායමක් සමග බිත්තර එකතු කිරීම සඳහා, කුරුළු දිවයිනට යාමට අවස්ථාවක් ලැබුණි. අප ආයතනයේ අනුමැතිය ඇතිව, අපට ලැබුණු එම අවස්ථාව ක්‍ෂේත්‍ර අධ්‍යයන චාරිකාවක් කර ගැනීමටද මම ක්‍රියා කළෙමි. කුරුළු දිවයින පාලක බලධාරීන්ට මේ බව දැන්වූ විට, ඔවුන් ඒ සඳහා බලවත් කැමැත්ත ප්‍රකාශ කර, පළපුරුදු උපදේශක වරයෙකුද ලබාදිය හැකි බව දැන්විය.

පන්තිවල සිසුන් සියලු දෙනාම මෙම ගමන යාමට එක හඬින් කැමැත්ත ප්‍රකාශ කළ නිසා, ඔවුන්ගෙන් දස දෙනෙකු තෝරා ගැනීම මට මහත් ගැටලුවක් විය. පසුව ආයතන පාලන අධිකාරිය මගින් නිර්ණායක රාශියක් අනුගමනය කර, සිසු සිසුවියන් දස දෙනෙකු තෝරා දෙන ලදී. ඔවුන් අතර ශිෂ්‍යයින් සය දෙනෙකු සහ ශිෂ්‍යාවන් හතර දෙනෙකු විය. ගමනට අවශ්‍ය ගුවන් ටිකට් පත්වල වියදමෙන් අඩක් ආයතනය මගින් දරණ ලදී.

අපගේ අධ්‍යයන චාරිකාවේදී කුරුළු දිවයිනේදී කළහැකි විද්‍යාත්මක ක්‍රියාකාරකම් රාශියක් එහි පාලන අධිකාරිය විසින් අපවෙත දන්වන ලදී.

මෙයින් කිහිපයක් මෙසේය
1.    කුරුළු ගහණ ඝනත්වය ගණනය කිරීම
2.    කුඩු විසිරි ඇති ආකාරය සටහන් කිරීම
3.    කුඩු නියැදියේ ඇති බිත්තර සංඛ්‍යාව සෙවීම
4.    නිශ්චිත කාල සීමාවක් තුළදී එක කුඩුවක කිර්ල්ලිය සහ කුරුල්ලා පැටවුන් සඳහා ආහාර ගෙන එන වාර ගණන සෙවීම.
5.    එක පැටවෙකු එක් දිනක් තුළ ගන්නා අහාර ප්‍රමාණයේ බර දළ වශයෙන් ගණනය කිරීම.
6.    අවසානයේදී පැය භාගයක් තුළදී අපට වෙන් කර තිබුණු කොටසෙහි ඇති කුඩු වලින් බිත්තර නිර්දේශිත සංඛ්‍යාවන් එකතු කර  නියමිත ඇසුරුම් වලට දැමීම.
මෙම ක්‍රියාකාරකම් සඳහා ඔවුන් විසින් භුමියේ එක් ප්‍රදේශයක් වෙන්කර එහි එක් කොටසක මිටර් 10 X 10 අධ්‍යයන අනුච්ඡද (quadrats) කිහිපයක්ද බිම සටහන් කර තිබුණි. සරල මිනුම් ලබා ගැනීමට අවශ්‍ය විද්‍යා උපකරණද සපයන බව දැන්විය. මෙසේ නුහුරු ක්‍රියාකාරකම් රාශියක් සීමිත කාලයක් තුළදී කිරීම අපට තරමක අභියෝගයක් විය. මේ නිසා අපි කළයුතු වැඩ ගැන පෙරහුරු කිහිපයක්ද පන්ති කාමරයේදී කළෙමු.

නියමිත දින උදයේම ගුවන් තොට වෙත ගිය අප සඳහා මගින් දොළොස් දෙනෙකුට පමණක් ගමන් කළහැකි කුඩා අහස් යානයක් වෙන්කර කර තිබුණි. ගුවන් යානය පැය භාගයකදී පමණ කුරුළු දුපතේ කුඩා ගුවන් තොටට ලඟාවිය.


දුපතට යාම සඳහා ඇති කුඩා ගුවන් යානය
එය ධාවන පථයට සේන්දු වනවාත් සමග ඇසුණු කුරුල්ලන්ගේ නාදය ගුවන් යානයේ ශබ්දයට වඩා තීව්‍ර විය. ගුවන් නියමුවාද කුරුල්ලන් පියාසර කරන නිසා යානය ධාවන පථයට බැස්සවීමට මහත් පරිශ්‍රමයක් ගත්තේය. ගුවන් තොටට පැමිණ සිටි නිලධාරියෙක්,‌ අප පිළිගෙන අධ්‍යයනය සඳහා සහාය වීමට වෙන්කර සිටි උපදේශකවරයාද හඳුන්වා දුන්නේය.
වර්ග කිලෝමීටර එකක් පමණ වන කුරුළු දුපත
අප සඳහා වෙන්කර තිබුණු කුටි වලට ගොස් ක්‍ෂේත්‍ර අධ්‍යයනය  සඳහා සුදුසු ඇඳුම් හැඳගත් අපට ඔවුන්ගෙන් තේ පැන් සංග්‍රහයක්ද ලැබිණ.
පෙරවරු නවයට අපි අධ්‍යයන කටයුතු ආරම්භ කළෙමු. 

බිම ලගින කුරුල්ලෝ
මුලින්ම අපේ පිරිස කුඩා කණ්ඩායම් තුනකට වෙන් කර ගතිමු. එක් එක් කණ්ඩායම විසින් කළයුතු ක්‍රියාකාරකම්ද බෙදා ගතිමු. මේ සඳහා කාලය පැය දෙකක්‌ පමණ වෙන්කර තිබුණි. අවශ්‍ය පරිදි සියලුම දත්ත දළ විස්තර, රුප සටහන්, වගු, ප්‍රස්තාර කෙටි සටහන් ආදිය මගින් ක්ෂේත්‍ර පොත්වල ඇතුළත් කර ගතිමු. මේ සඳහා උපදේශක වරයාගේ සහාය ඉතා ප්‍රයෝජනවත් විය.

බිත්තරයක් අසළ සිටින කිරිල්ලියක්

පොළොවේ කූඩුවක දමා ඇති බිත්තර
අපට වෙන්කර තිබුණු වර්ග මීටර් සියය තුළ කුරුළු කුඩු 48 ක් වාර්තා විය. මෙම කුඩු 48 හි  හයක බිත්තර නොතිබුණි. 17 ක බිත්තර තුන බැගින්ද, පහක බිත්තර දෙක බැගින්ද ඇති බව සටහන් විය. පැටවුන් දෙදෙනා බැගින් සිටින කුඩු 20 ක්ද ඇති බව නිරීක්ෂණය කරන ලදී. මේ අවස්ථාව වන විට අපට වෙන්කර තිබුණු කොටසෙහි පැටවුන්ද සහිතව කුරුල්ලන් 136 දෙනෙක් සිටියහ. මේ නිසා එදින අප අධ්‍යයහය කළ කොටසෙහි කුරුළු ගහණ ඝනත්වය වර්ග මීටරයට කුරුල්ලන් 1.36 ක් විය.

අපට, කුරුළු බිත්තර එකතු කිරිමේ වැදගත්ම කාර්යය ඊළඟට කිරීමට සිදුවිය. ලැබුණු උපදෙස් අනුව, අවසාන අඩ පැය තුළදී කුඩුවලින් බිත්තර එකතු කරන ලදී. මෙහිදී බිත්තර තුන බැගින් තිබුණු කුඩුවලින් දෙක බැගින්ද, බිත්තර දෙක බැගින් තිබුණු කුඩු වලින් එක බැගින්ද බිත්තර 39 ක්‌ එකතු කර ගැනීමට හැකිවිය.

මේ අයූරින් දිනකට බිත්තර 25,000 ක්‌ පමණ එකතුවේ. මෙම බිත්තරයක් සාමාන්‍ය කිකිළි බිත්තරයකට වඩා කුඩාය. කිකිළි බිත්තරයක් ග්‍රෑම් 65 ක්‌ පමණ බරින් යුක්ත වන අතර මෙම බිත්තරයක් ග්‍රෑම් 40 ක්‌ පමණ බරකින් යුක්තය. පෝෂණ ගුණයෙන් අධික මෙම බිත්තර සඳහා ඉහල ඉල්ලුමක්‌ තිබේ. මේ බිත්තර ලංකාවේ තිබෙන වටු බිත්තර වලට බොහෝ දුරට සමානය. බිත්තරයේ දම් පැහැති තිත් තිබේ. දුපතේ කාර්යාලයේ සහ වෙනත් අමුත්තන් ගැවසෙන ස්ථානවල තම්බන ලද මෙම බිත්තර නොමිලයේ ලබාගැනීමට  තබා තිබිම තවත් විශේෂ දෙයකි.

මුහුදු ලිහිණියන්ගේ ආහාරය අවට නොගැඹුරු මුහුදේ බහුලව වෙසෙන හාල්මැස්සෙකුට  වඩා තරමක් විශාල මත්ස්‍ය විශේෂයකි. කුරුල්ලා සහ කිරිල්ලිය මාරුවෙන් මාරුවට පියාඹා ගොස් මුහුදේ කිමිදී මත්ස්‍යයා බැගින් අල්ලා ගෙනෑවිත් පැටවුන්ට කවති. නිරීක්ෂණය කළ පැයක්‌ ඇතුළතදී එක කුරුළු යුවලක් පැටවුන් සඳහා ගෙනෙන ලද උපරිම මසුන් සංඛ්‍යාව 8  ක්‌ විය. අවමය 3  කි. උපදේශක වරයා ගෙන් ලැබුණු දත්ත වලට අනුව මෙම මත්ස්‍යයෙකුගේ සාමාන්‍ය බර ග්‍රෑම් 10 ක්‌ පමණ වේ. මේ අනුව එක් කුරුළු පැටවෙකු දිනකදී මසුන් ග්‍රෑම් 200 පමණ ආහාර වශයෙන් ගන්නා බව දළ ගණනය කිරීමකින් හෙළිවේ.

ක්‍රියාකාරකම් රාශියක් කර, අප සකස් කළ අධ්‍යයනයේ සවිස්තර වාර්තාවක් උපදේශකවරයාට භාරදී සැමටම ස්තුති කළ අපි,  පස්වරු  දෙකට පමණ තිබුණු ගුවන් යානයෙන් ආපසු අප පදිංචි මාහේ දිවයිනට පැමිණියෙමු.

ස්වභාව ධර්මය විසින් නිර්මාණය කර තිබෙන, එකිනෙකට සාපේක්ෂව ක්‍රියාත්මක වන,  භෞතීය සහ ජෛව සම්බන්ධතා කිහිපයක් මෙම සංසිද්ධියෙන් අවබෝධ කරගත හැකිය. ඒවා මෙසේ දක්වමි.

1.    පෘථිවියේ උතුරුකරයේ ජිවත්වන බොහෝ පක්ෂීන්ට අභිජනනය කර පැටවුන් හදා වඩා, වර්ගයාගේ පැවැත්ම ස්ථිර කිරීම සඳහා දේශගුණය එරෙහි වේ. මේ  නිසා එම පක්ෂීහු  ඝර්ම කලාපිය ප්‍රදේශ වලට පර්යටනය (migration) වේ. මෙම දිගු ගමනට අහසේ තරු රටා,  සුර්යයා ඇතුළු අනිකුත් ග්‍රහ වස්තු වල පිහිටීම සහ එම සතුන්ගේ ශාරීරික රසායනික ද්‍රව්‍යද  ක්‍රියාත්මක වේ.

2.    එසේ පැමිණෙන පක්ෂීන්ට සාගරය මැද තනිවූ නිස්කලංක, හොඳින් සුර්ය රශ්මිය ලැබෙන විලොපියින් නොමැති දුපත් තිබේ.
3.   මෙම දුපත් වටා ඇති නොගැඹුරු මුහුදේ සූර්යයාගෙන් ආලෝක ශක්තිය ලබාගෙන සුවිශේෂී මුහුදු ඇල්ගී බහුලව වැඩේ.
4.   මුහුදු ඇල්ගී ආහාරයට ගන්නා කුඩා මසුන් අති විශාල ප්‍රමාණයක් එම නොගැඹුරු ජලයේ වර්ධනය වේ.
5.    එම මසුන්, දුපතට තාවකාලිකව පැමිණෙන මිලියන හතක්‌ පමණ වන පක්ෂීන්ගේ  සහ පැටවුන්ගේ  ප්‍රණීත ආහාරය වේ.
6.    පක්ෂීන් දමන වැඩිපුර බිත්තර මිනිසාගේ ආහාරය වේ.
7. ඔක්තොබර් මැද පමණ වනවිට දෙමාපිය කුරුල්ලන් අලුතින් හදා වඩා ගත් පැටවුන්ද සමග ආපසු සිය ගම් බිම් බලා යාමට පිටත් වෙති. මේ ගමනේදී දෙමාපියන්ගෙන් එක්තරා ප්‍රතිශතයක් ස්වභාවික මරණයට පත්වෙති. කෙසේ වෙතත් කුරුළු  ගහණයේ සංයුතිය  ස්ථායි තත්ත්වයක පවතී.
8.    කුරුල්ලන් ගිය පසුද ඔවුන් විසින් ඉතිරි කර යන කුරුළු බෙටි වලින්ද රටට හොඳ ආදායමක් ලැබේ. මෙම කුරුළු පොහොර ‘ගුවැනෝ’ (guano) යන නමින් හැඳින්වේ. කුරුළු දිවයිනේ වසරකට ‘ගුවැනෝ’ මෙට්‍රික් ටොන් 30,000 ක් පමණ එකතුවන බව ගණන් බලා තිබේ.
මිනිසාට කෙලින්ම ලබා ගත නොහැකි සුර්යයාගේ ශක්තිය උපරිමයෙන් ලබාගන්නා මුහුදු ඇල්ගී මසුන් සහ කුරුල්ලන් හරහා බිත්තර ලෙස මිනිසාට ලබාදෙන මෙම සංසිද්ධිය, ස්වභාව ධර්මයේ අපූරු නිමැවුමක් නොවේද ? එය සරල ආහාර දාමයක් ලෙස මෙසේ දැක්විය හැකිය.

              මුහුදු ඇල්ගී à  කුඩා මසුන්  à   මුහුදු ලිහිණි  බිත්තර  à  මිනිසා


10 comments:

  1. සත්තුන්ගෙ ආරක්ෂාවත් තහවුරු කරගෙන ඔය වගේ වැඩ කරන එකනං ඉතා අගනේයි. ලංකාවෙ උනානං එක බිත්තරයක්වත් කුරුල්ලන්ට ඉතුරු නොවෙන්න තිබුණ. හොඳම උදාහරණෙ තමයි වැහි ළිහිණි කූඩු විනාශ කරන එක.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      රට කුඩා උනත් පරිසරය පිළිබඳව මිනිසුන්ගේ ආකල්ප ඉතාමත් උසස්. Reduce, Reuse සහ Recycle යන තෙවදෑරුම් පරිසර සංරක්ෂණ පිළිවෙත් අකුරටම පිළිපදිනවා.
      ලංකාවෙත් වවුල්පනේ වවුල් ලෙන් වල Guano තිබෙනවා.ප්‍රයෝජනයක් ගැනීම ගැන නම් අසා නැහැ.

      Delete
  2. වටිනා අත්දැකීමක් ලබාගෙන තියන්නෙ.

    ReplyDelete
  3. ස්තුතියි. 'බ' කියා අමතන්නම්.
    මේ වගේ චමත්කාරජනක දුපත් රාශියක්ම එහෙ තිබෙනවා.

    ReplyDelete
  4. තුරුළු වී ඒ දූපතේ එක යායකට නිති ගැවසිලා
    කුරුළු ලිහිනි රැළ දකින්නට ඔබ එදා හොඳහැටි පිංකලා
    පිරුළු උපමා කුමටදෝ ඒ ගමන දැණුමෙන් සරිවෙලා
    හුරුළු බුලතින් පුදන්නෙමි මෙය බැලූ මගෙ හිත තුටුවෙලා.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමි,

      සොබා දම නීති පිරී පවතින කොයි තැනත් හරි වටිනවා
      ල බා ගත් විට අලුත් දැනුමක් එවැනි දේ සිත පිනනවා
      නොබා එඩිතර වෙමින් ගිය හැටි සිහිනයක් මෙන් පෙනෙනවා
      ත බා ඇති සිශිවටන අදටත් මගේ මනසට දැනෙනෙවා

      ඔබට ජය !!

      Delete
  5. වර්ග කිලෝමීටර එකක් කියන්නේ බොහොම කුඩා ප්‍රමාණයක දුපතක්නේ.ඉතින් එවැනි දුපතක් පිරෙන්නේ කුරුල්ලෝ ඉන්නවා කියන එක අමුතුම චමත්කාරජනක අත්දැකීමක් නේ.මේ මුහුදු ලිහිණින්ට අමතරව වෙනත් කුරුළු වර්ග නිරීක්ෂණය කරන්න නොහැකිද මේ දුපතේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝජ්,
      ඔව්. මේ දුපතට තවත් කුරුළු වර්ග කිහිපයක් පැමිණෙනවා. Sooty tern කියා තරමක් කුඩා සුදුම සුදු ලස්සන කුරුල්ලෙක්, Alaskan gull කියා මුහුදු කිරලුන් වර්ගයක් සහ තවත් කිහිප වර්ගයක්. මොවුන් රංචු වශයෙන් එන්නේ නැහැ. යුගල වශයෙන් එනවා.

      Delete
  6. ඒකත් අමුතුම අත්දැකීමක්.ඒ වගේම දුර්ලභ අත්දැකීමක්... හොඳින් ප්‍රයෝජයනට අරන්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි,
      ලැබුණු අවස්ථාව ඒ විදෙස් රටේ දරුවන්ටත් ජීවිත අත්දැකීමක් කර දීමට හැකිවීම ගැන අදටත් ලොකු සතුටක් දැනෙනවා.

      Delete