Wednesday, 28 June 2017

හිතුවක්කාර ශිෂ්‍යයා කළ විහිළුව දුරදිග යයි...

  ය විද්‍යාලයයේ තුන්වන වාර විභාග කාලයයි. ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියයකට වඩා සිටි නවවන ශ්‍රේණි වල වාර විභාගය පැවැත්වුයේ ප්‍රධාන ශාලාවේය. මෙහි ශාලාධිපති ලෙස වැඩ කිරීම මාහට පැවරිණ.දෙවන දිනයේ උදයේම තිබුණේ ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්න පත්‍රයයි. මට සහාය වීම සදහා ගුරු මහත්මයෙකු සහ ගුරු මනත්මියන් තිදෙනෙකුද වුහ. සහායට සිටි ගුරු මහතා විද්‍යාලයයේ සිසු විනය භාරව සිටි රණවීර මහතාය.  ඔහු විද්‍යාලයේ කැඩෙට් භට හමුදාව භාර ගුරුවරයාද වු අතර ක්‍රීඩා කටයුතුවලත් දක්ෂයෙකු විය. වැරදි කර හසු වෙන සිසුන්ට විනය කමිටුවෙන් නිර්දේශිත දඬුවම් ක්‍රියාත්මක කරන්නේද ඔහුය.

එදින උදේ අටට නියමිත ප්‍රශ්න පත්‍රය බෙදාදී, විනාඩි පහකට පමණ පසු, ශාලවේ පසු පස ආසනයක සිටි සිසුවෙක් නැගිට ඒ අසල සිටි නිරීක්ෂක වරියකට යමක් පවසා වහා ශාලාවෙන් පිටතට ගියේය. ඔහු විද්‍යාලයේ සිටි ඉතාමත් අකීකරු සිසුවෙකු වූ සිසිර කුමාර ය. වයසට වඩා වැඩියයි සිතිය හැකි උස මහතින් යුක්ත ඔහු කරදරකාරයෙක්ම විය. ඔහු ශාලාවෙන් පිටවුයේ මන්ද කියා  සොයා බැලීමට මා ශාලාවේ ඉදිරියට ටික දුරක් ගියා පමණකි. මහ හඬක් නංවමින් පිපිරීමක් සිදුවිය. තරමක් අඩවන් කර තිබුණු ශාලාවේ පිටු පස දොර වේගයෙන් වැදී, ඒ අසල සිටි සිසුවියක්ද වාඩිවී සිටි පුටුවත් සමග පෙරළී බිමට වැටිණ.

ශාලාව තුළ මහා කලබලයක්‌ හට ගත්තේය. අනිත් පන්ති කාමර වලද වාර විභාගය කරමින් සිටි සිසුන් ද කලබල වන්නට ඇත. රණවීර මහතා වහා ක්‍රියායාත්මක වී ශාලාවේ සිටි සිසුන්ගේ කලබලය නතර කර ඔවුනට විභාගය කරගෙන යාමට සැලැස්විය. විදුහල්පති තුමාද සිද්ධිය දැනගෙන එතැනට පැමිණියේය.

‘කලබලයක් උනේ මොකක්ද?’

කියා ඔහු අසන විටත් බිමට වැටුණු  ශිෂ්‍යාව වත්තන් කරගත් ගුරු මහත්මීන් දෙදෙනා  ඇය අස්වසමින් සිටියහ.

‘සර්, දොර මුල්ලේ මොකක් හරි විශාල පිපිරීමක් සිදු උනා. දොර පියන වැදී මේ ළමයා  පුටුවත් එක්කම පෙරළුනා.’

ශිෂ්‍යාව ප්‍රථමාධාර කාමරයට යැවීමට උපදෙස් දුන් විදුහල්පති තුමා රණවීර මහතාත් සමග සිදුවී ඇති දේ සොයා බලන්නට වුහ.

පිපිරී ගිය විශාල රතිඤ්ඤයක කැබලි සහ පොල් කටු කැබලි කිහිපයක් ඒ අසල විය. දොර මුල්ලේ හඳුන් කූරු කොටසක්ද තිබුණි.

සිදුවී ඇති දෙය ඔවුනට වටහා ගත හැකි විය.

ඒ සමගම නිරීක්ෂක ගුරු මහත්මිය ඔවුනට රහසින් යමක්‌ කීවාය.

මෙය ඇසූ රණවීර මහතා වහාම   සිසිර කුමාර ව සෙවිය. ඔහු කිසිවක් නොදන්නා සේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියමින් සිටි. ඔහු වෙත ගිය රණවීර මහතා ඔහු ශාලාවෙන් පිටතට කැඳවිය. විදුහල්පති තුමාත් සමග මමද  ඒ සමග පිටතට ගියෙමි.

‘සිසිර කුමාරද මේ වැඩේ කළේ?’ 

කියා ප්‍රශ්න කරමින් රණවීර මහතා ඔහුගේ කණ අල්ලා ගත්තේය.

‘මොකක්ද සර්?, මම දන්නෙ නැහැ.’ කියා 

ඔහු අත ගසා දමා පහරක් එල්ල කිරීමට මෙන් සුදානම් විය.

සිසුවාගේ පිළිතුර සහ ඔහුගේ විලාශය ගැන කෝපවූ රණවීර මහතා ඔහුට පහරක් ගැසීමට සැරසෙන විට මම ඉදිරියට පැන එය වැලෑක්විමි. 

නඩුව එතැනදී විසඳීමට නොහැකි නිසා  සිසිර කුමාරට විදුහල්පති කාර්යාලයට යන ලෙස නියෝග කෙරින.

ශාලාවේ කලබලය සන්සුන්වී විභාගයේ වැඩ කෙරී ගෙන යන අතර රණවීර මහතා තමන්ට වූ මදි පුංචි කම ගැන සිතමින් කේන්තියෙන් සිටියේය. වරින් වර ඔහු අනිත් ගුරුවරුන්ටද යම් යම් දේ සෙමින් කිවේය.

නියමිත කාලය අවසන්වීමට කලින් උත්තර පත්‍රය භාරදුන් සිසිර කුමාර ශාලාවෙන් පිටවන විට රණවීර මහතාද ඔහු සමග විදුහල්පති කාර්යාලයට  ගියේය. ප්‍රථමාධාර කාමරයට ගිය ශිෂ්‍යාවද ශාලාවට පැමිණ පිළිතුරු සැපයීම කරගෙන ගියාය. ඇයගේ නළලේ සිරීම් තුවාලයකට පැලැස්තරයක් අලවා තිබිණ.

සිසිර කුමාර තමන් ඒ වරද කළ බව පිළිගත්තේ ම නැත. ලැබුණු සාක්ෂි අනුව ඔහු එම ක්‍රියාව කළ බව තහවුරු විය. එදින උදයේම විද්‍යා පාඩමකට අවශ්‍ය බව කියා ඔහු පොල් කටුවක් ලබාගත්  බවට ආපන ශාලාවෙන් සාක්ෂියක් ලැබී ඇත.

පසු දින පියා හෝ මව සමග මිස විදුහලට පැමිණිය නොහැකි බව ඔහුට දැන්වීමට සිදුවිය. 

එදින උදයේම විපතට පත් ශිෂ්‍යාවගේ මව, කෙලින්ම  විභාග ශාලාවට පැමිණ මා හමුවූවා ය.

‘සර්, අපේ දුවට ඊයේ කරදරයක් වෙලා. ඒක ගැන කතා කරන්නයි ආවේ.’ ඇය මට  කීවාය.

‘ඔව්, මේ පිරිමි ළමයෙක්, ඒකේ බරපතල කම ගැන කල්පනා නොකර, නොහොබිනා විහිළුවක් කරලා. ඒකට දඬුවමක් දෙන්නට තීරණය කරළා. අද ඒ ළමයාට පියාත් සමග එන්නට කියා දන්වලා.’ 
‘මම පොලිසියට යන්නට හිතාගෙනයි ආවේ.’ ඇය තවදුරටත් කීවාය.

‘පොලිසි යන්නට අවශ්‍ය නැහැ. අපි මේක මේ මට්ටමෙන් බේරා ගනිමු. දුවට සීරීම් තුවාලය විතරක් නේද? වෙන මොකුත් අමාරුවක් නැහැනේ. වැරැද්දට ගැලපෙන දඬුවමක් ලැබෙයි.’ කී 

මම ඇයට  විදුහල්පති තුමාද හමුවී යන ලෙස කීවෙමි.  

ඇය ස්තුති කර පිටත්ව ගියාය.

එදින දහවල් වන තුරුම සිසිර කුමාරත් ඔහුගේ පියාත් නැත. සිසුවා එදින පැමිණ නැති ලෙසට නාම ලේඛනයේ ලකුණු කර ඇත.

විවේක වේලාවේදී, කාර්යාලයට පැමිණෙන ලෙස මට පණිවුඩයක් ලැබිණ. මා එහි යන විට සිසිර කුමාරගේ පියා සහ රණවීර මහතා විදුහල්පති තුමා සමග කතා කරමින් සිටියහ. සිසිර කුමාර පැත්තකට වී කල්පනා කරමින් සිටියේය.

‘සිසිර කුමාර බරපතල වැරදි තුනකට කලිනුත් අහුවෙලා. මේ විධියට ගියොත් අපි කවුරුත් අමාරුවේ වැටෙනවා. මොකද කරන්නට බලාපොරොත්තුව?’ කියා විදුහල්පති තුමා පියාගෙන් ඇසිය.
‘තුවාල සිදුවූ ළමයාගේ මවත් උදේ මේ ගැන ඇවිත් කතා කළා. පොලිසි යන්නට සුදානම් වී සිටියේ. අපි ඒක නතර කළා.’

සිසිර කුමාරට කතා කළ විදුහල්පතිතුමා

‘දරුවෝ අද ඉඳලාවත් මේ වැරදි වැඩ නොකරන බවට පොරොන්දු උනොත් මෙහෙ ඉන්නට පුළුවන්. නැත්නම් වෙන අතක් බලා ගන්නට වෙනවා.’ යයි කීවේය.

ටික වෙලාවක් කල්පනා කළ එම හැඩි දැඩි ශිෂ්‍යයා

‘සර්ලා, මට සමාවෙන්න මම  වැරැද්ද පිළිගන්නවා’ 

කියා අපට දණගසා වැඳ තම පියාටද වැන්දේය.

සියල්ල සමථයකට පත්විය. සිසිර කුමාර ද නැවත විදුහලට පැමිණියේය.

පසුව, අපොස සාමාන්‍ය පෙළ පළමු වසරේ සිටි ඔහු, විදුහලෙන් අස්වී ගිය බව දැනගන්නට ලැබිණ. ඔහු ඉගෙනීම අත්හැර දමා මැණික්‌ ව්‍යාපාරයේ නිරත වී සිටින බව ආරංචි විය.

වසර දහයක් පමණ ගතවිය. විදුහල්පති තුමා, රණවීර මහතා හෝ මා දැනට විදුහලේ නැත. මා පදිංචිය සඳහා නිවසක් තැනීමේ වැඩවල නිරතවී සිටියෙමි. වහලයේ වැඩ කිරීමට මා දන්නා වඩු කාර්මිකයෙකුට පවරුවෙමි. අවශ්‍ය ලිදඬු වල මිනුම් ලබාගත් ඔහු  ඒවා මිළදී ගැනීමට සුදුසූ  ළී මඩුවක්ද මට යෝජනා කළේය.

නිවාඩු දිනක මම මේ ළී මඩුවට ගියෙමි. එහි සිටි තරුණ අයිතිකරු ඉතා නිහතමානි කෙනෙක් විය. තරමක රැවුලක්ද වවා සිටි ඔහු රත්රන් මුදු කිහිපයක් පැළඳ රත්රන් චේන් පටවල් කිහිපයක්ද බෙල්ලේ දමාගෙන සිටියේය. ළී මඩුවට මඳක් ඈතින් තිබුණු නව පන්නයේ නිවසද ඔහුගේ විය හැකිය.

මට අවශ්‍ය ලිදඬු තෝරණ ලෙස  සේවකයෙකුට පැවරූ ඔහු, නිවස දෙසට ගියේය. ටික වෙලාවකින් මට කතා කළ ඔහු

‘එන්න සර්, මේ අපේ ගෙදර. ළී තෝරන්න තව ටික වෙලාවක් යයි.’ කියා

මට ආරාධනයක් කළේය. ඔහුගේ ඉල්ලීම ප්‍රත්ක්ෂේප කළ නොහැකි වූ මම ගෙතුළට ගියෙමි.
මම සාලයේ පුටුවක හිඳ ගතිමි. එය නවීන පන්නයේ නිවසකි. මේ තරුණ වයසේදී මෙතරම් අගනා නිවසක හිමිකරු වන ඔහු පොහොසතෙකු බව මම සිතාගතිමි.

‘මේ මහත්මයාගේ නම මොකක්ද? මාව හඳුනනවාද?’ මම ප්‍රශ්න කලෙමි.

එවිටම බන්දේසියක බිස්කට්, කේක්, තවත් කැවිලි වර්ග සහ කෙසෙල් ඇවරියක් තබාගත් තරුණ කාන්තාවක් පැමිණ, බන්දේසිය ස්ටූලය මත තබා පසකට වුවාය.

‘සර්, මේ මගේ වයිෆ්, නිසංසලා. අපි තේ ටිකක් බොමු.’

කියා මට බන්දේසිය පිළිගැන්වූයේය. මට සියල්ල සිහිනයක් මෙනි. ආගන්තුක මා හට මෙතරම් සත්කාරයක් ඇයිද යන්න මට ගැටළුවකි.
මා බිස්කට් එකක්‌ පමණක් අතට ගත් විට ඔහු කෙසෙල් ගෙඩියක් කඩා මට දුන්නේය. අතට ගත් දෙය කන්නට පෙර

‘මහත්මයා මා හඳුනනවාද?’  කියා නැවත අසීමි.

‘ඔව්, මම දන්නවා ........... අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්ෂක තුමා නේද?’ කියා ඇසිය.

මම ‘ඔව්’ කීවෙමි.

‘සර්ට මතක නැතුවා ඇති. සර් මට ලොකු උදව්වක් කර තිබෙනවා’ යයි

ඔහු කී විට මම පුදුමයට පත්වීමි. මෙ වෙලේ ඔහුගේ භාර්යාව තවත් කරුණක් හෙළි කළාය.

‘සර් අපිදෙන්නාම එක පන්තියේ හිටියේ’

මට තවමත් සියල්ල ගැටලුවකි.
ළී තේරූ සේවකයා ගණන් මිනුම් සියල්ල ලියන ලද බිල් පොත ඔහුට ගෙනවිත් දුන්නේය.

 ‘හොඳම ළී වලින් දැම්මා නේද?’ කියා අසා
බිල් පොත පැත්තකින් තැබිය.

ගෙදර නිවැසි යුවලගේ හැසිරීම් විලාසය සහ මට පෙන්වන කුළුපග භාවය මට මහත්ම ගැටලුවකි.
නැවත බිල් පොත අතට ගත් ඔහු

‘මේ දවස් වල ලී දඬු හරි ගණන්. ලී මෝලට කඳන් හොයා ගන්න හරි අමාරුයි. මම සර්ට හොඳම ලී වලින් දැම්මා. ගේ හදන තැනටම ගෙනැවිත් දෙන්නම්.’
කියා 
‘අද මුදල් අවශ්‍ය නැහැ පහසු වෙලාවක දෙන්න.’ කීවේය.

'මුළු ගණන තිස් හත් දාහක් වෙනවා. මට විසි පන් දාහක් දෙන්න. එ ඇති.’ කී ඔහු

‘ස්පෙෂල් ඩිස්කවුන්ට්’ කියා බිල හරහට ලියා රුපියල් විසිපන්දහස සටහන් කර අත්සනක් තැබීය.

‘එහෙනම් සර් මගේ විස්තරේ අහන්නකො.’

කියන විට බිරියද පැමිණ ඔහු අසලින්ම හිඳ ගත්තාය.

‘අපි අවුරුදු  දහයකට විතර ඉස්සර හිටියේ  ඉස්කෝලේ නවය වසරේ. සර්ට මතක ඇති වාර විභාග දවසක මේන් හෝල් එකේ රතිඤ්ඤයක් පුපුරවපු සිසිර කුමාර . කියන්නත් ලැජ්ජයි.  ඒ මමනෙ සර්’

මම පුදුමයට පත්වීමි. වසර දහයකට උඩදී සිදුවූ මට අමතකවී ගොස් තිබුණු එම සිද්ධිය චිත්‍ර පටියක මෙන් මැවී පෙනෙන්නට විය.

‘ඉතින් මම කරපු අමතක නොවෙන උදව්ව මොකක්ද?’ මම නොඉවසිල්ලෙන් ඇසීමි.

‘ඇයි සර්, එදා මම පිස්සෙක් වගේ කැඩෙටින් සර්ට  ගහන්නට අත ඉස්සුවා. ඒ සර් මට ගහන්න හදන කොට සර් ඒක නැවැත්තුවා. එදා මට පහරක් වැදුනානම්, මාත් ආපසු පහර දීලා විශාල කරදරයක් වෙනවා.’ ඔහු දිගටම කියාගෙන ගියා.

‘ඊට පස්සේ මම සිද්ධිය ගැන හරියට කම්පා උනා. පාසල් ගමනත් එපාම උනා. වෙන ඉස්කෝලයක තවත් අවුරුදු දෙකක්‌ ඉඳලා ගෙදරින් පිටවෙලා පොඩි පොඩි බිස්නස් කළා.’

‘සිසිරව හැමකෙනෙක්ම කොන් කරන විට එයාට අනුකම්පා කළේ මම විතරයි. ඒ අනුකම්පාව පස්සේ අවසන් උනේ විවාහයෙන්. අපි විවාහ උනේ ගිය අවුරුද්දේ.’ 

කාන්තාව ඔවුන්ගේ කතාව කෙටියෙන් කීවාය.

මා එදා කරන ලද්දේ මෙතරම් දුරට යන යහපත් ක්‍රියාවක් බව  වටහා ගත්තේ එවිටය.                                           

31 comments:

  1. මේ සිසිර කුමාර විවාහ වුණේ නලල සීරිච්ච කෙල්ලත් එක්කම ද???
    නැත්නම් නිසංසලා කියන්නේ වෙනම කෙල්ලෙක් ද???

    කොහොම වුණත් ඇත්තටම හොඳයි ගුටියෙන් බේරා ගත්ත එක නම්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චතුරංග,
      ගුටියෙන් බේරා ගත් එක අප හිතනවාට වඩා බොහෝ ඉදිරියට ගොස්, ඒ පුද්ගලයා හොඳ මිනිහෙක් වෙන්නට හේතුව වෙලා තියෙන්නෙත් ඒකමයි.

      නළල සීරීම සහ නිසංසලා අතර සම්බන්ධයක් තිබේද යන්න ඔබටම සිතා ගැනීමට ඉතිරි කළා.

      Delete
  2. තමන් දඬුවම් කල/නොකළ ගෝලයින් ගැන ආපසු හිතා බලන්න වටිනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලිඛිතා,
      මට හිතෙන විධියට කාලයාගේ ඉක්ම යාමත් සමග සමහර රසබර සිද්ධීන් අමතක වෙනවා. ඒ උනත් නැවත හදිසියෙන් හෝ අහම්බෙන් අදාළ පුද්ගලයින් මුණ ගැසුනොත් හෝ ඔවුන් ගැන අසන්නට ලැබුනොත් ඒ පැරණි දේවල් නිරායාසයෙන්ම සිහියට නැගෙනවා.

      Delete
  3. නලල තුවාල උනේ නිසංසලාගෙද

    ReplyDelete
    Replies
    1. ස්තුත්යි,
      මෙය ඔබටම සිතා ගන්නට මා ඉතිරි කළා.

      Delete
  4. අපේ ගුරුවරුන්ගේ විනය පාලනය කිරීම ගැන නම් කතා කරලා වැඩක් නෑ. ගොඩක් ඔය විනය පාලනය කියන එකට මුවා වෙලා බුලින් කරන උප ගුරුවරුන් මානසික රෝග තියෙන අය. විනය කියල බොරු අනවශ්‍ය පීඩනයක් පොඩිකාලේ ඉදලම දීමෙන් වෙන්නේ ළමයින් නීති කැඩීම විනෝදයක් කරගන්නවා. අද සමාජයේ නීති කැඩීම විනෝදයක් කරගත් බහුතර වැඩිහිටි ගහනයක් නිර්මාණයේ කිරීමේ අගෞරවය පාසල් ගුරුවරුන් වෙතටයි මම පවරන්නේ. හිංසාකාරී දෙමවුපියනුත් ඒ අගෞරවයේ හවුල් කාරයෝ.

    කොන්ඩේ දිග, කලිසමේ රැලි ගණන, ෂර්ට් එකේ බොත්තම්, මේස් දෙකේ පාට බලනවා මිසක් වැඩදායී මිනිහෙක් හදන්න අවශ්‍ය වෙන අධ්‍යාපනයේ හික්මීම දෙන්න මහන්සි වෙන විනය-භාර-ගුරුවරු දැකලම නෑ අද වෙනකන්. මිනිහෙක් හදන්න මහන්සි වෙන ගුරුවරු දැකල තියෙනවා. ඒ කවුරුවත් ඔය බුලින් වැඩ වලට සම්බන්ධ විනය-භාර-ගුරු නම් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි PP,
      වැඩදායි මිනිසෙකුට විනයත් අවශ්‍යමයි. ස්වයං විනය තමා ඉතාම වැදගත් සහ ඉතාම ප්‍රායෝගික. ඔබගේ අවසාන වාක්‍යයේ කොටසට අයිති ගුරුවරු සියයට පනහක් පමණ තවමත් ඉන්නවා.

      Delete
  5. සිසුන් අතරේ හොඳ නොහොඳ හැම දෙනා සමගින් එක්වෙලා
    ඉතින් වැරදි දේ ගැනම සිසුවට කරුණු හොඳහැටි පහදලා
    යමින් හරි මග අනාගතයක ජීවිතේ හැම සරුවෙලා
    නෙතින් දුටුවම ගුරු හිතක එයි සතුට හැමදා ඉතිරිලා

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ලා යන්නෙන් ඉවර වෙන කවියට නිසංසලා කියා යොදා නොගත් එක හරි නෑ දුමී!

      Delete
    2. ගහලා හදන්න බැහැ ළමුන් හට වින කරලා
      අවවාදය යහපත්ය වරදට දෙන්න සමා
      අරගෙන යන්න හොඳ තැනකට ඔහු ගැන හිතලා
      කදිමයි එකතු වුනු හැටි නිසංසලා

      Delete
    3. ස්තූතියි රසික, දැන් හරිද ?

      හරියට කරුණු විසදන්නට හොඳින්බලා
      සිසුනට දෙවියො අත දෙනවා ගුරුන්වෙලා
      සිසිරට උදව්වට දිවියේ සුසුම්වෙලා
      තනියට ළඟින් උන් කදිමයි නිසංසලා

      ( මනොජ්ගේ කවියත් අගෙයි )

      ජයවේවා!!!

      Delete
    4. ඒකට ගැලපෙන්නට මගෙනුත් එකක් !

      වැරදි කළා කියමින් යහමග හරවා
      අයින්වෙලා සිටි විට හැමදෙන ඔරවා
      පවන් සලා මෙන් හරිමග හෙළි කරවා
      නිසන්සලා සිසිරට දැන් අත දෙනවා

      Delete
    5. ස්තුතියි දුමි,
      පොතපත ඇති දෙය පමණක් නොම ගෙන
      වතගොත බාහිර ලෝකයෙ ඇති වෙන
      වික සිත මල් වැනි දරු කැළ වෙත දෙන
      ගුරු සිත කවදත් ලොව තුළ බැබලෙන

      ඔබට ජය !

      Delete
    6. This comment has been removed by the author.

      Delete
  6. ඔය කැඩෙටින් කරන, විනය බාර වගේ ගුරුවරු ගැන නම් මගේ පැහැදීමක් නෑ. වරද සොයා නොබලා ගුටි දෙන්න තමයි එවුන් දන්නේ.
    වරදක් කළත් පහර දීම වැරදි තැන, කිසිත් නොබලා පහර දීම නම් අති තුච්ඡයි. දැන් පාසල්වලින් ඔය වැඩ නැති වෙලා යැයි සිතනවා.

    ReplyDelete
    Replies
    1. ඒ ගොල්ලන්ගේ මානසිකත්වය තිබෙන්නේ හැම තැනම Army discipline හදන්න මිසක් දරුවන්ගේ මානසික වර්ධනයයේ විවිධත්වය ගැන හැගීමක් නැහැ.

      Delete
  7. ගොඩක් ස්කොල වල විනය පාලක ගුරුවරු හරියට මරුමුස් ඝාතකයෝ වගේ."විනය" කියන දේ තියෙන්න ඕනේ.හැබැයි විනය හදන්න ඕනේ උපායෙන් මිසක් පහරදීමෙන් නෙමේ .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝජ්,
      දැන්නම් ඔය අංශයට එන ගුරුවරුන්ටත් ළමා මනෝ විද්‍යාව ගැනත් තරමක හෝ පුහුණුවක් ලබා දනවා මා දන්නා තරමට.

      Delete
  8. ඔය වගේ ඉස්කෝලෙදි මැර වැඩ කරපු කොල්ලො කීපදෙනෙක්ම පස්සෙ හොඳ ජීවිත ගතකරන බව මාත් දැකල තියෙනව. හැබැයි ඉතිං වැරදි පැත්තට ගියොත්නං පාතාලයෙක් වෙලා තමයි නවතින්නෙ.

    සිසිර කොච්චර නාහෙට අහන්නැති එකෙක් උනත් මිනිහට කල්පනා කරල බලන්න තරං මොළයක් තිබිල තියෙනව.

    ReplyDelete
    Replies
    1. මා දන්නා තවත් ඔවැනි සිද්ධි කිහිපයක්ම තිබෙනවා.15 - 18 වගේ වයස් වලදී හිතු මනාපයට වැඩ කිරීමට කැමැත්තත්, තමන් වීරයන් යයි සිතන අය අනුගමනය කිරීමට පෙළඹීමත් නිසා බොහෝ ගැටවරයින් යතාර්ථය තේරුම නොගත් විට කරදර වල වැටෙනවා.

      Delete
  9. අපේ ගම ප්‍රදේශයේ ඉන්නා අයතා ව්‍යාපාර වල නියුතු නොහොබිනා පුද්ගලයෝ බහුතරය, පාසලේ එවකට සිටි විදුහල්පතිවරගේ අපහාස/ වෛරකාරී දඬුවම් නිසා පාසල් හැර ගිය හෝ පාසලෙන් අස්කළ අය. විදුහල්පතිවරයා ඔවුන් සමග වෛර බැන්දේ සුළු දඟකාර කම් හෝ දෙමාපියන් ප්‍රතිවිරුද්ද දේසපාලන පක්ෂයේ අය වූ නිසා, ඔවුන්ට පාසල් අධ්‍යාපනය නිමකිරීමට හැකිවුවා නම් දේසපාලන සබඳතා නිසා පහසුවෙන් රජයේ රැකියා ලබාගෙන යහපත් පුරවැසියන් වීමටද අවස්ථාව තිබුනා, නමුත්... අපේ ගම හැදුවේ එම විදුහල්පතිවරයය කියා ගමේ හැමෝම කියනවා.

    ReplyDelete
    Replies
    1. //විදුහල්පතිවරගේ අපහාස/ වෛරකාරී දඬුවම්//

      යහපත් අධ්‍යාපනයක් ලබා, නියමිත සුදුසුකම් සහ පළපුරුද්ද ඇතිව ලොකු පුටුවට ආ කෙනෙක්නම ඔය කියන ආකාරයේ දඬුවම් දෙන්නේ නැහැ.

      Delete
  10. වරද තේරුම් ගත්තා කියන්නේ ඌ හොද කොල්ලෙක්

    ReplyDelete
    Replies
    1. වරද තේරුම ගත්තේ තව බරපතල වරදකට හසුවීම වැලක්වූ නිසයි. එදා ගුරුවරයාට පහර දුන්නානම් උසාවි යන්නත් වෙනවා. අන්තිම මොහොතේ හරි තේරුම ගත් එක ලොකු වාසනාවක්.

      Delete
  11. ලස්සන කථාව දයාවී. මේ ලමයින්ට සැර වැර කරන අය ගැන මම ලියපු සිංදුවක් තියෙනවා. ඒක වෙලාවක් දාන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්,
      මෙයා දැන් ප්‍රධාන පෙළේ ලි මෝල් හිමියෙක්.
      මම ඔබගේ සිංදුව අහන්න බලාපොරොත්තුවෙන් සිටිනවා.

      Delete
  12. සිංහල ඉස්කෝල කීපෙකම ආදර්ශ පාඨය හැටියට දාගෙන තියෙන කෑල්ලක් තමයි "විද්‍යා දදාති විනයං" කියන්නේ.

    මේකේ තේරුම තමයි විද්‍යාවෙන් ඒ කියන්නේ අධ්‍යාපනයෙන් ලැබෙන දැනුමෙන් විනය ඒ කියන්නේ හික්මීම ලැබෙනවා ය කියන එකයි.

    සමහරු හිතන්නේ මේ "විද්‍යා දදාති විනයං" කියන එක "අප්පමාදෝ අමතපදං" වගේ තවත් බණ පදයක් කියලයි. මං දැක්කා එක්තරා පාසලක සිසුන් විසින් කරගෙන යන වෙබ් අඩවියකත් මේක ධම්ම පදයේ ගාථාවක කොටසක්ය කියලා ලියලා තියෙනවා.

    නමුත් මං අහල තිබුණු විදියට නම් මේක පාලි නොවෙයි සංස්කෘත පාඨයක්. පොඩ්ඩක් තව හොයල බැලින්නම් මේක සංස්කෘත ශ්ලෝකයක මුල් පදය.

    සම්පූර්ණ ශ්ලෝකය මෙන්න මෙහෙමයි.

    විද්‍යා දදාති විනයම්, විනයාධ්‍යාති පාත්‍රතාම්
    පාත්‍රත්වාධනමාප්නෝතී, ධනාද්ධර්මම් තතා සුඛම්

    ඒ කියන්නේ අධ්‍යාපනයෙන් (දැනුමෙන්) විනය ලැබෙනවා, විනයෙන් කීර්තිය ලැබෙනවා, කීර්තියෙන් ධනය ලැබෙනවා, ඒ ධනයෙන් හොඳ වැඩ කිරීමෙන් සතඔට ලැබෙනවා වගේ අදහසක්.

    සියල්ලටම මුල් වෙන්නේ දැනුම. ඒ දැනුම, අධ්‍යාපනය ලබා දෙන පාසල්වලට මේ පාඨය යොදන්නේ ඒ හින්දයි.

    ඒත් මේ විසි එක්වෙනි සියවසේ දෙවෙනි දශකයේ දී ත් අපේ පාසල් ගුරුවරු බොහෝ දෙනා හිතන්නේ "අධ්‍යාපනයෙන් විනය බිහිවේ!" කියලා නොවෙයි, "විනය හැදුවොත් අධ්‍යාපනය ලැබෙයි!" කියලා බවයි.

    ඒකනේ ළමයින්ට හරියට උගන්වන්න කලින්ම ඉස්සෙල්ලා දඬුවම් කරන්නේ. එහෙම කරන්නේ විනයගරුක කරලා අධ්‍යාපනය ඉබේම පිහිටුවන්නයි.

    "විද්යා දදාති විනයම්" කියන සංස්කෘත ශ්ලෝකයේ මුල්පදය කණපිට පෙරළිලා "යාද්වි තිදාද ම්යනවි" - කියා දාන්න ඕනෑ!
    http://kathandara.blogspot.com/2013/07/topsy-turvy.html

    ReplyDelete
  13. හිතවත් රසික,
    ඔබගේ සටහන තරමක් ප්‍රමාද වෙලයි දැක්කේ. ඒ ගැන කනගාටුයි. අධ්‍යාපනය සහ විනය ගැන ඔබ ප්‍රාචීන භාෂා ආශ්‍රීතව කර තිබෙන විග්‍රහය ඉතාමත් කාලෝචිතයි. මෙයට වඩාත් හොඳ ප්‍රචාරයක් දීම සඳහා ලංකාවේ පුවත් පතකට යැව්වොත් නරකද? අපේ වර්තමාන ගුරුවරු බොහෝ දෙනෙක් යමක් සොයා බලා තීරණ ගන්නේ නැහැ. ඔය පාඨය ධම්ම පදයේද කියා සොයා බලන එක එතරම් අමාරු කාර්යයක් නොවෙයි. එය නොසැලකිල්ල.

    අවසානයේදී ඒ පාඨය කණපිට පෙරලා ඇති ආකාරය හරි අගෙයි. ඒක mirror image එකක්ද?

    ReplyDelete