Sunday 18 June 2017

ආධුනික ගුරු මහතාගේ ‘ලටපට’ පෙට්ටිය.......

  ධුනික ගුරුවරයෙකු පහසුකම් ඉතාමත් අඩු පාසැලක අපතේ යන ද්‍රව්‍ය භාවිත කර සිසු දරු දැරියන්ට ඉගැන්වීම පිලිබඳ ආදර්ශමත් සටහනකි.

එය ඉතාමත් පිටිසර පෙදෙසක කණිෂ්ඨ විද්‍යාලයකි. බලන්ගොඩ සිට කිලෝමීටර් විසිපහක් පමණ දුරින් පිහිටි ගමන් බිමන් දුෂ්කර ප්‍රදේශයකි. රත්නපුර දිස්ත්‍රික්කයේ උතුරු මායිමට ආසන්න, ඉතාමත් මනරම් පරිසරයක පිහිටා ඇති පාසැල රටේ මධ්‍යම කඳුකරයේ ඇති හෝර්ටන් තැන්න පාමුල වීම තවත් ලක්ෂණයකි. පරිසර සෞන්දර්යයෙන් අනුන මෙම විදුහලට යාමට මට අවස්ථා වක් ලැබීම ගැන සතුටු වෙමි.

දරු දැරියන් සියයක්වත් නොමැති එම පාසැලේ ගුරු මණ්ඩලය පස් දෙනෙකි. ඔවුන්ගෙන් තුන්දෙනෙක්ම ආධුනික ගුරුවරු වුහ.  ගුරු හිඟයක් පැවති ඒ කාළයේ විද්‍යා සහ ගණිත විෂයයන්ගෙන් සම්මාන  සහිතව අපොස සාමාන්‍ය පෙළ සමත් අයට ආධුනික විද්‍යා ගුරු පත්වීම් ලබාදෙන ලදී. පාසැලේ ඉහලම පන්තිය හයවන ශ්‍රේණියයි.

විදුහල්පති හමුවී, පාසැලේ තොරතුරු මඳක් සාකච්ඡා කිරීමෙන් පසුව, එහි ඉහළම පන්තිය වන හයවන ශ්‍රේණිය අධීක්ෂණය සඳහා ගියෙමි. එම පන්තිය තිබුණේ කුඩා විද්‍යා කාමරයේය. එහි පන්ති භාර ගුරුවරයා වූයේ අලුත් පත්වීමක්‌ ලැබූ ආධුනික ගුරු මහත්මයෙකි. ඔහු සමග විනාඩි කිහිපයක් කථා කර, මා විද්‍යා අධ්‍යාපන නිලධාරිවරයා බව කීවෙමි.

පන්තියේ සිසු සිසුවියන් සිටිනුයේ හය දෙනෙක් පමණකි. එයින්ද එදින පැමිණ සිටියේ පස් දෙනෙක් පමණය. ඔහුට  එම පන්තියේ විද්‍යාව, ගණිතය සහ ඉංග්‍රීසි යන විෂයයන් සියල්ලම ඉගැන්වීම පවරා ඇත.
ඒ වෙලාවේ ඔහුට නියමිතව තිබුණේ විද්‍යාව විෂයයේ ‘ආහාර සහ පෝෂණය’ පාඩමයි. මා පන්තියට යන විටත් සිසුන් කිහිප දෙනා පන්තිය ඉදිරිපිට තිබෙන කාඩ්බෝඩ් පෙට්ටියක ඇති යම්කිසි දෙයක් සොයමින්  සිටියහ.
ඔවුන් කරන්නේ කුමක්දැයි මම ගුරුවරයාගෙන් වීමසීමි.

‘අපට අමතර පොත්පත් එහෙම නැති නිසා ඉවත දමන දේවල් පාඩම් සඳහා එකතුකර ගෙන  තිබෙනවා. ඒකෙන් පාඩමට අවශ්‍ය තොරතුරු තෝරනවා. අපී ඕකට කියන්නේ “ලටපට” පෙට්ටිය කියලා’ ඔහුගේ පිළිතුර විය.
ඒ වන විටත් සිසුන් සියලු දෙනාම පෙට්ටියෙන් සොයාගත් මුද්‍රිත අහාර දවටනය (කිරි පිටි ඇසුරුම් හිස් පැකට්ටු) ) බැගින් අතට ගෙන තම ආසනවලට ගොස් වාඩිවී සිටියහ.

මා පුදුමයෙන් මෙන් බලා සිටින විට ඔහු තවදුරටත් විස්තර කළේය. ‘මේ පාඩමට ගැලපෙන කිරිපිටි පැකට්, බිස්කට් පැකට් වගේ දේවල් වල දවටන අපී කලින්ම එකතු කර තිබෙනවා. ළමයිත් ලැබෙන වැදගත් හැමදෙයක්ම මේ පෙට්ටියට ගෙනත් දානවා’ කි ඔහු  පෙට්ටිය මෙසය උඩ තැබුවේය. සිසුන් කිහිප දෙනාද මෑ ඒ ගැන විමසන විට මවිතයට් පත්වී සිටියහ.

‘අද පෝෂණ පාඩමට අවශ්‍ය ආහාර දවටන පෙට්ටියෙන් තෝරා ගන්නට මම මුලින්ම උපදෙස් දුන්නා.’ ඔහු කිවේය.
‘පාඩම කරන්න.’ කියා 

මම පන්තිය පිටුපස වූ ආසනයක හිඳ ගතිමි.

අප ආහාර වශයෙන් ගන්නා දේවල් කිහිපයක් නම් කරන ලෙස ඔහු එක් සිසුවෙකුට කිවේය.

‘අපේ ආහාර බත්, බතල, මඤ්ඤොක්කා, කුරක්කන් පිට්ටු, ඉරිඟු’ ඔහුගේ පිළිතුර විය

අත් ඔසවාගෙන සිටි තවත් සිසුවියක් ‘කිරිපිටි, බිස්කට්, පළතුරු’ යනුවෙන් ඌණ පුරණයක් කළාය.

‘තම තමන් ළඟ තිබෙන දවටන වල සටහන් කර තිබෙන පෝෂක කියවා  බලන්න.’ කී ගුරු මහතා සිසුන් වෙත ගොස් එය සොයා ගැනීමට උදව් කළේය.

මොහොතකින්, සිසු සිසුවියන් සියලු දෙනාගේම අත් ඉහළට ගියේය. ගුරු මහතාගේ විධානය අනුව එක් එක් සිසුවා ‘කාබෝහයිඩ්රේට. ප්‍රෝටීන’ ආදී වශයෙන් හඬ නගා කිහ.

ඔහු කාබෝහයිඩ්රේට ලැබෙන ආහාර වර්ග නම් කර එහි සංයුතිය ගැනද විස්තර කර කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් යන මුල ද්‍රව්‍ය සහ ඒවායේ සංකේත ගැනද ඉතාමත් පැහැදිලි විස්තරයක් කර පන්තියට කෙටි සටහනක්ද දුන්නේය.

‘සර්, ප්‍රෝටීන ගැන?’ එකී සිසුවියක් මහත් උනන්දුවෙන් ප්‍රශ්න කළාය.

‘අද වෙලාව නැහැ. ඊළඟ පාඩමේදි බලමු.’ කි ගුරු මහතා

 යමක් බලාපොරොත්තු වන ආකාරයෙන් මාදෙස බැලිය.

පන්තිය ඉදිරියට ගිය මා, ගුරු මහතාගේ ඉගැන්වීම ගැන ප්‍රසංශා කර එදින උගත් දේ ගැන සිසුන්ගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසීමි. ඔව්හු සියළුම ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු දුන්හ.

පන්තියේ තිබුණු ‘ලටපට’ පෙට්ටිය පරික්ෂා කළ මට එය තුළ විවිධ දේ දකින්නට ලැබිණ. ඇණ සහ මුරිච්චි, බෝතල් මුඩි, පාෂාණ සාම්පල කිහිපයක්, කුරුළු පිහාටු, සතුන්ගේ කංකාල කොටස්, රිජිෆෝම් කැබලි ආදී නොයෙකුත් දේ එය තුළ විය.

ඔහු තමන්ට නියමිත අනිකුත් විෂයය ඉගැන්විමේදීත් ‘ලටපට’ පෙට්ටියේ තිබෙන දේවල් ආදර්ශක ලෙස භාවිත කරන බව දැනගන්නට ලැබිණ.

එම ගුරු මහතා ඉවත දමන ද්‍රව්‍ය ඉගැන්වීමේ ආදර්ශක ලෙස භාවිත කරන ආකාරය සහ පන්ති කාමරයේ තිබුණු ‘ලටපට’ පෙට්ටිය ගැන විශේෂ ඇගයීමක් සහිතව ලොග් සටහනක් තැබීමි.

නොයෙකුත් දුෂ්කරතා මධ්‍යයේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීම සඳහා සිය අනුයෝගිකරණ හැකියාව උපයෝගී කරගත් මෙම ආධුනික ගුරු මහතා ආදර්ශයට ගතහොත් ගුරු වෘත්තියේ භූමිකාව වඩ වඩාත් ඔප් නංවා ගත හැකි වනු නොඅනුමානය.                                                                                    

8 comments:

  1. /* එම ගුරු මහතා ඉවත දමන ද්‍රව්‍ය ඉගැන්වීමේ ආදර්ශක ලෙස භාවිත කරන ආකාරය සහ පන්ති කාමරයේ තිබුණු ‘ලටපට’ පෙට්ටිය ගැන විශේෂ ඇගයීමක් සහිතව ලොග් සටහනක් තැබීමි. */

    ලොග් සටහනෙන් පවතින ක්‍රමයේ කිසි ම වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ නේ.

    තාමත් ඒ ලටපට පෙට්ටි ඒවායේ නූතන වේශයෙන් පාසල්වල ඇති.

    :-(

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික,
      විදුහල්පතිවරු සහ ඉහල තැන්වල සිටින නිලධාරීන් පාසැල් ලොග් සටහන් වල තිබෙන ධනාත්මක නිර්දේශ අනුව අදාළ ගුරුවරුන්ට උසස් වීම් ලබාදුන් අවස්ථාත් තිබෙනවා. ඔබ කියන ආකාරයට /ඒ ලටපට පෙට්ටි ඒවායේ නූතන වේශයෙන්/ තිබෙන තැන්ද ඕනෑ තරම් තිබෙනවා.

      Delete
  2. ළමයින්ගෙන් දාස් ගණං ටියුෂන් පීස් බලාපොරොත්තුවෙන ගුරුවරු අතරෙ ඔහොම උගන්නන අය අගය කළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      මා දැක තිබෙන ආකාරයට නවක ගුරුවරු සහතික ඇතත් නැතත් හොඳින් වැඩ කරනවා. කල් යාමේදී සමහර අය නොයෙකුත් හේතු නිසා මන්දගාමී ස්වභාවයකට වැටෙනවා. ස්ථාන මාරු, උසස් වීම් ආදිය ක්‍රමානුකුලව නොමැති එකත් මෙයට හේතුවක්.

      Delete
  3. නාගරික සැප නොමැති ගම්බද පාසලේ ළමයින් නමින්
    කාරුණික වී අඩු පහසු මැද ශිල්ප බෙදලා දෙන පෙමින්
    ආධුනික ගුරුවරුන් තවමත් වැඩ කරයි දෙවිවරු වෙමින්
    කාරුනික වූ එවන් ගුරුවරු සිහිකරමි මම පුද දෙමින්.....

    ජයවේවා!!!

    ReplyDelete
  4. ස්තුතියි දුමි.

    උතු ම් රැකියා ලෙසට සැලකු වියත් කම ඉහලින්ම ඉසිලී
    පිදු ම් ලැබගෙන සිටිති ගුරුවරු අදත් රටතුළ බැබලි බැබලි
    'කෙරුම් කාරයො' අමන වැඩ කර කෙලෙසතත් එය නොවී පැකිලී
    රැවු ම් ගෙරවුම් කොතෙක් ආවත් ඔවුන් තාමත් සිටිති නොසැලී.

    ඔබට ජය !

    ReplyDelete
  5. Replies
    1. ස්තුතියි කල්‍යාණ මිත්‍ර.

      Delete