Sunday, 4 June 2017

භීෂණ සමයේ ආපදාවට ලක්වූ කෙනෙකුට විභාග උදව්වක් කළෙමි.


  අසුව දශකයේ ආරම්භ වූ භීෂණය නිසා බොහෝ විට බැට කෑවේ ඈත එපිට පිටිසර පලාත්වල අහිංසක දුප්පත් ජනතාවය. මෙවැනි කෙනෙකුට විභාග සම්බන්ධව මට කළ හැකිවූ උපකාරයක්‌ මෙසේ සටහන් කර තබමි.

හිටි ගමන් බෝම්බ පුපුරා ගිය අවිනිශ්චිත සමයේ රාජකාරි කටයුතු අඩාල වූවාටත් වැඩියෙන් දකුණේ ත්‍රස්ත කළබල පැවතුනු සමයේදී අඩාල වූ බව ඒ කාලයේ රාජකාරි කළ කාටත් ඔතක ඇත.

‘උදේ දහයට පෙර කාර්යාලයෙන් පිට නොවුවහොත් මරණය’

යන තර්ජනාත්මක පාඨය සහිත කඩදාසි කැබලි තම කාර්යාල මෙසය මත තිබෙනු දකින රජයේ සේවකයාට කාගේ පිලිසරණක්ද? හෙමිහිට කාර්යාලයෙන් පිටවීම හැර අන් කිසි ගැලවීමක් නොමැත. මා එකළ වැඩ කළේ විභාග දෙපාර්තමේන්තුවේය.

මෙවැනි වාතාවරණයක් තිබුණු කාලයේ එක් දිනක්‌ මා කාර්යාලයේ  සිට ලියුමක් තැපෑල් කිරීම සඳහා ගේට්ටුවෙන් පිටතට පැමිණියෙමි. ගේට්ටුවෙන් පිටත  තරුණියක් සමග සිටි මහලු මවක්. ඉතාමත් බැගෑපත් අන්දමින්

‘මහත්මයා අපට උදව්වක් කරන්න’ කියමින් මට අත පෑවාය.

මඳක් නතරවූ මම ගේට්ටුවේ සිටි මුරකරුගෙන් මේ කාන්තාව ගැන විමසීමි. ඔහු එක්වරටම් දුන් පිළිතුර වුයේ

‘සර්, කිසිම ලියවිල්ලක් නැතුව මේ දෙන්නා සහතිකයක් ගන්න ඇතුලට යන්න ඉල්ලුවා. මට එහෙම යන්නට දෙන්න බැහැනේ.’ යන්නයි.

ඔවුනට  විනාඩියක් සිටින ලෙස කි මා, ලියුම් තැපෑල් කර පැමිණ ඔවුන්ගේ තොරතුරු මඳක් විමසීමි. ඔවුන් පැමිණ සිටියේ, තරුණියගේ  රැකියා සම්මුඛ පරීක්ෂණයක් සඳහා, විභාග සහතිකයක පිටපතක් ලබාගැනීමටය. ඇය අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇත්තේ වසර දහයකට පමණ ඉහත දී ත්‍රිකුණාමළ දිස්ත්‍රික්කයේ ගම්බද පාසැලකිනි. ඇයගේ  සහතික සියල්ල භීෂණ සමයේදී විනාශ වී ගොස්ය.

ඔවුන්ගේ අවශ්‍යතාව තේරුම් ගත් මා, අමුත්තන් සඳහා දෙපාර්තමේන්තුවට ඇතුල් වීම පිණිස තිබුණු පෝරමයක් ගේට්ටුවෙන් ලබාගෙන, එය සම්පුර්ණ කරදෙන ලෙස ඔවුනට දුනිමි. තම පුද්ගල හැඳුනුම් පත්ද නොමැති බව කි ඔවුන් පොලිසිය විසින් නිකුත් කර තිබුණු කල් ඉකුත් වී ගිය ලියවිල්ලක් පෙන්විය. 

තරුණිය විසින් පෝරමය පුරවා ආපසු දුන් විට, ඇයගේ අත් අකුරු දැක මම පුදුමයට පත්වීමි. ඒවා ඉතාමත් පැහැදිලිව මනා සංයමයකින් යුතුව ලියන ලද ලස්සන අත් අකුරු විය. ඇය කථා කිරීමේදීද විනීත සහ ආචාරශීලී භාවයක් පෙන්නුම් කළාය. ඔවුන්ට  ගේට්ටුවෙන් ඇතුලට යාමට කි විට මුරකරු එයට හරස් විය.
‘සර්, පොතේ සටහනක් නොකර පිට කෙනෙක් ඇතුලට යැව්වොත් මම අමාරුවේ වැටෙනවා.’ කි ඔහු,

‘සර්ගේ  කෙනෙක් කියලා පොතේ ලියන්න’ යයි ඉල්ලීමක් කළේය.

මම එසේ කළෙමි. 

දෙවනුව ඊළඟ කපොල්ලේ සිටි පොලිස් නිලධාරියාට සහ පොලිස් කාන්තාවට මම කාරණය පැහැදිලි කරදුනිමි. පොලිස් කාන්තාව විසින් එම අමුත්තන් දෙදෙනා ඇයගේ කුටිය තුළට කැඳවා ගෙන ගොස් කරන ලද පුර්ණ පරීක්ෂණයකින් පසුව, අදාළ පොලිස් පොතෙහිද තොරතුරු සටහන් කිරීමට පටන් ගත්හ. මේ සියල්ලටම පැය කාලක් පමණ ගතවිය. කෙසේ වුවත්, ජාතික හැඳුනුම් පත නොමැතිව ඇතුලට යාමට ඉඩදිය නොහැකි බව පැවසූ ඔව්හු මගේ බලවත් ඉල්ලීම නිසා, අමුත්තන්  සතුව තිබුණු එකම අනන්‍යතාව වන පොලිසියෙන් නිකුත් කරන ලද දින ඉකුත්වූ කඩදාසිය තම සන්තකයට ගත්හ. එය දින ඉකුත් වී තිබුණු බව ඔවුන් නොදුටුවා සේය. ඔවුන්ගේ පොතෙහිද මට අත්සනක් දැමීමට සිදුවිය.කෙසේ හෝ අමාරුම කපොලු දෙක පසු කිරීමට හැකිවිය.

ඊළඟ පියවර රාජකාරියට අදාලය. එහෙත් රාජකාරිය මගේ විෂයය පථයෙන් බාහිරය. අමුත්තන් දෙදෙනාට ආලින්දයේ වාඩිවී සිටීමට කි මම සහතික පත්‍ර ශාඛාවට ගොස් එහි ප්‍රධානියා වන මගේ මිතුරා සමග සිද්ධිය සාකච්ඡා  කලෙමි. වසර දහයක් පැරණි සහතික පිටපතක් ගැනීම පිලිබඳව  අනුගමනය කළ යුතු සියලු පියවර ඔහු මට පැහැදිලි කළේය.

ඔහු පැවසු ආකාරයට  තොරතුරු ඇත්තේ, ලේඛනාගාරයේය, එහිද පැරණි සහතික තොරතුරු ඇත්තේ ‘ක්ෂුද්‍ර ලේඛන සේයාපටි’ (micro films) ලෙසටය. එම අංශයට ඇතුල් වීම සඳහා ආයතන ප්‍රධානියාගෙන් අවසර ලබාගත යුතුය. ඊළඟට ලේඛනාගාරය භාර තාක්ෂණ නිලධාරියා විසින් අදාළ තොරතුරු ලබාදිය යුතුය.

මම ආයතන ප්‍රධානියාට කාරණය විස්තර කලෙමි. නළල රැළි කරගත් ඔහුගේ ස්වරුපයෙන්ම එම කාර්යයේ බරපතල කම තේරුම් ගතිමි. අමාරුවේ වැටි ඇති මවට සහ දියණියට කෙසේ හෝ උදව් කළ යුතු යයි මම තීරණය කළෙමි. ගොනුවක තිබුණු පෝරමයක් මට දුන් අප ප්‍රධානියා

‘මේක පුරවලා ඉල්ලීමක් කරන්න. ඊට පස්සේ ටෙක්නිකල් ඔෆිසර් වීරසිංහ ලවා වැඩය කරවා ගන්න’

කියා මට කාරුණිකව, පෝරමය අත්සන් කර දුන්නේය. මම එය රැගෙන විරසිහ වෙත ගියෙමි.

අවශ්‍ය සහතිකය සොයා ගැනීමට අදාළ විභාග අංක වැනි වැදගත් තොරතුරු කිසිවක් නැත.  මතකයකට තිබෙන්නේ ඇය විභාගයට පෙනී සිටි පාසැලේ නම පමණකි. ඒ පාසලද භීෂණ සමයේදී විනාශ කර දමා තිබේ. මෙවැනි තත්ත්වයක් උඩ, සහතික පිටපත් සෙවීමට  මුලින් බලවත් අකමැත්තක් දැක්වූ ඔහු සේවකයෙකුට කථාකර,

‘කරුණාසේන, මෙන්න මේ සර් අපේ ‘අඳුරු ගුහාවෙන්’ කරගන්න වැඩක්‌ ගෙනැල්ලා’ මේක හොයලා බලමුද? අපි දැන් සති දෙක තුනකින් ඒ පැත්තට ගියේවත් නැහැනේ’ යයි කිවේය.

ඔහු ‘අඳුරු ගුහාව’ ලෙස නම් කළේ ලේඛනාගාරයයි.

මුහුණ ඇඹුල් කරගත් කරුණාසේන

‘කාටද සර්?, සර් ගෙම වැඩක්ද?, අදම කර ගන්න ඕනද? 
යනාදී ප්‍රශ්න රාශියක් අදී මදි කරමින් අසා

‘එහෙනම් යමු’ කියා

ඇතුළු කාමරයකට ගොස් කොස්සක් සහ විදුලි පන්දමක්ද රැගෙන ඉස්සර විය.

වීරසිංහ සහ මම  ඔහු පිටුපසින්  ගියෙමු. ලේඛනාගාරයේ දොර විවෘත කළ කරුණාසේන බිත්තියේ ස්විචයක් එබූ විට විශාල කාමරයේ එක විදුලි පහනක් පමණක් දැල්වී මඳ ආලෝකයක් වැටුණි. ඔහු ඊටපසු කළේ කොස්ස වනමින් ඉදිරියට යාමය.

මා ලේඛනාගාරයට ගිය පළමු වතාව එය විය. කරුනාසේන කොස්ස වනමින් ගියේ එහි බැඳී තිබෙන මකුළු දැල් කැඩිමට බව විරසිංහ ගෙන් දැන ගතිමි. විදුලි පන්දම ගෙන ගියේ අඳුරුකාමරය තුළ ආලෝකය මඳ නිසා ලේඛන කියවා තොරතුරු සොයා ගැනීමටය.

උදේ සිටම මගේ ආසනයට නොගිය මා අතුරුදන් වුවාදැයි මගේ අංශයේ අය සිතන නිසා, පැය භාගයකින් එන බව කියා මම ලේඛනාගාරයෙන් පිටවුයෙමි. 

මහලු කාන්තාව සහ දියණිය තවමත් එතෑනය.

පැය භාගයකින් ආපසු ගිය මට, විශාල ලිපිගොනුවක් පෙරලාගෙන කරුනාසේනගේ විදුලි පන්දමේ එළියෙන් පෝරමයක් පුරවන වීරසිංහ දකින්නට ලැබුණි.

‘විභාග ශාලාව ඒ අවුරුද්දේ මාස්ටර් ෆයිල් එකෙන් ඉක්මණටම හොයා ගත්තා.’  ‘ලැයිස්තුවල මුල් පිටුවේම නමත් තිබුනා.’ කී වීරසිංහ 

‘දැන්  ඉතින් සහතිකයේ පිටපතක්‌ මයික්‍රෝ එකෙන් ගත්තහම මගේ ජොබ් එකේ අමාරු කොටස  ඉවරයි’ කියා

යන්ත්‍රයේ  බොත්තමක්  එක් ස්ථානයකට කරකවා එම ස්ථානයේ කැමරාවක් වැනි මෙවලමක් ක්‍රියාත්මක කළේය. එවිට ඡායා රුපයක් වැනි යමක්‌ පිටතට එන ලදී. එය මුද්දරයක තරමට කුඩාකර තිබුණු සහතිකයේ සාමාන්‍ය ප්‍රමාණයේ පිටපතකි.

‘දැන් මගේ වැඩේ ඉවරයි  සහතික   පත්‍ර  ශාඛාවෙන් පිටපතක් අරගෙන ලොක්කාගෙන් අත්සනක් ගත්තම ඔක්කොම හරි’

කියමින් සහතික උධෘතය මා අතට දී විශාල ලිපිගොනුව වසා දැමිය.

විරසිහටත්, කරුනාසේනටත් ස්තුති කළ මා, සහතික පත්‍ර ශාඛාව ට ගොස් නියමිත සහතික පිටපත   ලබාගෙන ආයතන ප්‍රධානියාගේ අත්සනද ලබාගතිමි.

විභාග සහතිකය ඇයගේ අතට දෙන විට පස්වරු දෙක පමණ වී තිබිණ. එය අතට ගත් පසු මවගේ සහ දියණියගේ මුහුණු වල තිබුණු පැහැපත් භාවය සහ මඳ සිනහ වලින් පිළිබිඹු වුයේ කියා නිම කළ නොහැකි සතුටකි.

මට ආයුබෝවන් කියා යන්නට පිත් වූ  මහලු කාන්තාව ආපසු හැරි මගේ නම ඇසුවාය. ඇයගේ පෙරැත්තය නිසා මට නම කීමට සිදූවිය.

සති දෙකකට පසු මට මවගෙන් ලිපියක් දෙපාර්තමේන්තු ලිපිනයට ලැබුණි.එම ලිපියේ කිහිප තැනකම මටත් විභාග දෙපාර්තමේන්තුවටත් ස්තුති කර තිබුණි. දියණියට ගුවන් විදුලි ආයතනයක නිවේදිකාවක් ලෙස රැකියාව ක් ලැබුණු බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබීම මටද මහත් සතුටක් විය. එදින මගේ වැඩ සෑහෙන ප්‍රමාණයක් අතපසු වුවත්, මගේ සීමාවෙන් පිටතට ගොස් අසරණ වූ කෙනෙකුට පිහිට වීමට හැකිවිම ගැන මම මහත් ප්‍රමෝදයට පත්වීමි.

මේ සිද්ධිය ප්‍රධානියාට, වීරසිංහට සහ කරුනාසේනටත් කී විට ඔවුන්ද සතුටට පත්වූහ.        


22 comments:

  1. Kudos Mr. Dayawee. You did good.

    ReplyDelete
  2. තමන් හට යම් කෙනෙකු වෙණුවෙන් කළහැකිද උපකාරයක්
    ඉතින් යළි නොහිතාම ඒ දෙය කරයිනම් ලොකු සහනයක්
    හදින් තුතිකර ලැබුණු ලිපියම ගෙනෙයි අපමණ සැනසුමක්
    මිලෙන් මුදලින් නොහැක ගැණුමට එවන් වූ සන්තෝශයක්.......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමි,
      මහා වියවුල් වලින් බැට කෑ දුගී දුප්පත් මිනිස්සුන් හට
      කුමන ලෙසකින් වුවත් ලැබුනොත් අවස්තාවක් පිහිට වන්නට
      ලැබෙයි සතුටක් නොහැකි වෙන යම් කිසිම ලෙසකින් ලබාගන්නට
      අපේ මිනිසුන් සැදී පැහැදී සිටිති නීති යුතුකම් කරන්නට
      ඔබට ජයම !

      Delete
  3. ඔවුන්ගේ කෘතවේදීත්වය ඔබ ලැබූ ත්‍යාගයයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝජ්,
      ඔබ හරියටම හරි. මම හිතුවෙත් ඒ ආකාරයටමයි.

      Delete
  4. /දියණියට ගුවන් විදුලි ආයතනයක නිවේදිකාවක් ලෙස රැකියාව ක් ලැබුණු බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබීම මටද මහත් සතුටක් විය. /

    ආ..මම දන්නව ඔය කියන ළමය...දයා මහත්තය ඔය කියන්නෙ අර මේ ඊයෙ පෙරේද ගංවතුරෙන් අනාත වුන උදවියට විෂ් කලාය කියපු ළමය ගැනනෙ...:)

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් රවී,
      දිගු කලකින් හමු උනේ.
      ඔබගේ comment එකට සමබන්ධ ගැහැණු ළමයා එයාමද කියලා හරියටම හදුනා ගත්තේ මොන ලක්ෂණ වලින්ද?

      Delete
    2. රවියාණෙනි..., මාව තරහ ගස්සන්න එපා..!!!!

      Delete
    3. Never mind take it easy !!!

      Delete
  5. හැක්... කොස්සකින් මකුළු දැල් කඩාගෙන යන්න තියෙනවනං ඒ තැන නඩත්තු වෙන හැටි හිතාගත්තැකි.

    මොනව උණත් කරපු වැඩේනං අගනේයි.

    ReplyDelete
    Replies
    1. ඔය විස්තර කළේ 'විභාග' මැලේ විදියේ තිබෙන කාලේ. දැන් බත්තරමුල්ලේ අලුත් තැන එහෙම නැහැ. නඩත්තුව බොහොම ඉහලයි.

      Delete
  6. ඔබ වැනි අයෙකු හමුවීම ඒ අයගේ වාසනාවක් බව පෙනේ!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික,

      Delete
  7. උසස් පෙළ විභාග සහතික දෙපාර්තමේන්තුවෙන් දෙනවාද?

    මා ළඟ ඇත්තේ පාසලෙන් දුන් ලිපියක් වැනි එකක් පමණයි. අත්සන් කර ඇත්තේ විදුහල්පති. ඒක කිසි දිනෙක මට අවශ්‍ය වුනේ නැති නිසා, එහි වලංගුකම ගැන කිසිවක් දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඉස්සර නම් සහතික දුන්නා. සමහරු ඒවා frame කරලා බිත්තිවල එල්ලා ගෙනත් සිටියා. දැන් කිසිකෙනෙක් ඉල්ලන්නේ නැහැ. රටේ අභ්‍යන්තර වැඩ වලට විදුහල්පති අත්සන් කර තිබෙන උධෘතය ප්‍රමාණවත්. රැකියාවකට ගිය පසු එම ආයතනය මගින් විභාග ප්‍රතිඵල සනාථ කරන ලෙස ඉල්ලීමක් කරනවා. එසේ කළ විට සහතික කරන ලද පිටපතක් අදාළ ආයතනයට යවනවා. මේ නිසා හොර සහතික ඉදිරිපත් කරන්නට බැහැ. පිට රටක ආයතනයකින් කෙනෙකුගේ විභාග සහතිකයක් ඉල්ලා සිටියොත් සහතික කළ ඉංග්‍රීසි පිටපතක් යවනවා.

      Delete
  8. බොහොම පින් වැඩක්. එදා ඔබගේ කැපවීම අද ඉතා තෘප්තියෙන් සිහිකරන්නත් බෙදා හදාගන්නත් පුළුවන්. හරි අගෙයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගස් (රවී කරන ආමන්ත්‍රණය කොපිකළා)

      ඒ ළමයා ලියු අත්අකුරු වලින් සහ මා සමග කථාකළ වචන ස්වල්පයෙන් යමක් කිරීමේ හැකියාවක් ඇති කෙනෙක් බව මට හැඟී ගියා.

      Delete
  9. Replies
    1. Sylvania, Thank you for your salute !

      Delete
  10. මවටත් දුවටත් දයා වී... :)

    අගෙයි.. මේ වගේ දෙකින් ලබන සතුට පඩි දාහක් අරන් ගන්න බෑ..

    ReplyDelete