Monday, 18 February 2019

ඉලක්කම් ‘හරඹයකින්’ අපූරු ජීවිත පාඩමක් ......


  දී මානවයින් තම  අදහස් හුවමාරු කර ගැනීම සඳහා කතා බස් කිරීම පිණිස භාෂාවක් භාවිතය පිළිබඳව විවිධ මත ඉතිහාසයට එකතු වී තිබේ.  මෙයටම සමගාමීව ගණන් කිරීම සඳහා විවිධ ක්‍රමවේද භාවිතය පිළිබඳවද  අදහස් රාශියක් තිබේ. කෙසේ වෙතත් අද ලොව පුරා බහුලව භාවිත වන හින්දු - අරාබි ඉලක්කම් සකස්වූ  ආකාරය පිළිබඳව නිරවුල් ව්‍යුහාත්මක පදනමක් තිබෙන බව පෙනේ. 1 සිට ...... 9, 0 වශයෙන් දැනට භාවිත වන මෙම සංකේත දහය, හින්දු - අරාබි ඉලක්කම් ලෙස පිළිගැනේ. හයවන සිය වසේදී පමණ ගණන් කිරීම සඳහා ඉන්දියාවේ ආරම්භ කරන ලද මෙම අංක, දොළොස්වන සිය වසේදී  පමණ, මැද  පෙරදිග  සිටි  ගණිතඥයින් විසින් යුරෝපීය රටවලට යොමු කර ඇතැයි විශ්වාසයක් පවතී.

අංක භාවිතය පිලිබඳ ඇති  දීර්ඝ ඉතිහාසයට සහ අංක භාවිතයට හාත්පසින්ම වෙනස්, වෙනත් අංක හරඹයක් මගින් අපගේ එදිනෙදා ජීවිතය වඩාත් සාර්ථක කරගැනීම සඳහා උපයෝගී කර ගත  හැකි යහපත් ගුණාංග  කිහිපයක් හෙළි කිරීම මෙම  සටහනේ අරමුණ වේ.

මෙය, අංක විද්‍යාව (numerology) සම්බන්ධ  හෝ අංක භාවිත කරන ‘මැජික්’ ගණයට අයත් ඇස් බැන්දුමක්ද නොවේ. අංක වලින් පෙන්නුම් කරන අගයයන් තුලින්, යහපත් ජීවිතයකට අදාළ කරුණු කිහිපයක වැදගත්කම විදහා දැක්වීම පිණිස ගණිතමය ක්‍රමවේදයක නිරවද්‍යතාවයක්ද  සහිතව තහවුරු කිරීමකි.

කෙනෙකුගේ ජීවිතය සාර්ථක කර ගැනීම පිණිස  දැනුම, ඇපකැපවීම සහ ආකල්ප බෙහෙවින් ප්‍රයෝජනවත් වන බව අප බොහෝ විට අසා ඇත. අපගේ පිවිසුමට අදාළ වන මෙම යහපත් ගුණාංග ඉංග්‍රීසි භාෂාවෙන්  

දැනුම - KNOWLEDGE,  ඇපකැපවීම - HARDWORK සහ ආකල්ප - ATTITUDE ලෙස දැක්වේ.
 
යම්කිසි කෙනෙකු තුළ, ඉහත දැක්වෙන යහපත් ගුණාංග සියයට සියයක්ම තිබෙතොත් එම පුද්ගලයා ඉතාමත් ඉහලම ගණයේ කෙනෙකු ලෙස පිළිගත හැකිය. විභාගයකදී හෝ වෙනත් සම්මුඛ පරීක්ෂණයක් වැනි අවස්ථාවකදී  ලබාගතහැකි උපරිම ලකුණු ප්‍රමාණය සියය වශෙයන් හැඳින්වීම සාමාන්‍ය ව්‍යවහාරයේ පවතී. එසේ වුවත්, බොහෝවිට  උපරිමය සියයට වඩා අඩුවෙන් ලබාගන්නා අයද  විභාග සමත් වෙති. එසේම යම් යම් රැකියා හෝ තනතුරු සඳහාත් තෝරා පත්කර ගැනේ.

ඉහත දක්වා ඇති මිනිස් ගුණාංග එකිනෙකට ඇති ගණිතමය වටිනාකමෙහි  උපරිමය  සියය ලෙස සැලකියහැකි  මිනුම් දණ්ඩකින් මැනීමේ ක්‍රමයක් ගැන කියවීමට අවස්ථාවක්, මට මෑතදී හමුවිය. මෙය කෙලින්ම ගණිත ක්‍රමයක් හෝ ගණිත සූත්‍රයක් නොවුවද, අප කලින් සඳහන් කළ පරිදි ඉලක්කම් වල අගයයන් සමග එක්තරා ක්‍රමයකට සම්බන්ධ කිරීමෙන් බොහෝ දුරට යථාර්ථය හෙළි කර ගත හැකි  පිවිසුමකි. කෙසේ වෙතත් මෙය අහඹු ගැලපීමක් මිස, කොයිම ආකාරයකින්වත්,  ගණිත සංකල්පයක් නොවන බව විශේෂයෙන් සඳහන් කළ යුතු වේ.

දැනුම, ඇපකැපවීම සහ ආකල්ප යන යෙදුම් සඳහා භාවිත වන ඉංග්‍රීසියෙන් කියවෙන  KNOWLEDGE, HARDWORK සහ  ATTITUDE යන වචන ගැන මඳක් විමසා බලමු. අපගේ පළමු පියවර වනුයේ, එම එක් එක්  වචනයේ ඉංග්‍රීසි අක්ෂර සඳහා ගැලපෙන අංකයක් යෙදීමයි.

ඒ සඳහා නියමිත අංක තෝරා ගනුයේ කෙසේද? මේ සඳහා පහසුම ක්‍රමය වන ඉංග්‍රීසි හෝඩිය වෙත සිත් යොමු කරමු.







ඉහත දැක්වෙන පරිදි, ඉංග්‍රීසි හෝඩියේ  මුල් A අකුරේ සිට, අවසාන Z අකුර දක්වා, අනුපිළිවෙලට  අංකණය කළ හැකිය. මෙසේ කළ විට A අකුර අංක 1  ලෙසත්  Z අකුර අංක 26 ලෙසත් දැක්වේ.

දැන් අපගේ යහපත් ගුණාංග ගැන සලකා බලමු. මේ සඳහා මුලින්ම   



                 දැනුම - KNOWLEDGE යන වචනය ගනිමු.
මෙම වචනයේ එක් එක් අක්ෂරයට හිමි අංකය දමා, එසේ ලැබෙන සියලුම අංක වල එකතුව ගනිමු. මෙය 96 බව පෙනේ. අපගේ මිනුම් දන්ඩේ උපරිම අගය 100 ලෙස සළකන බැවින් මෙම අගය 96% ලෙස දැක්විය හැකිය. 

දෙවනුව, අපගේ ඊළඟ යහපත් ගුණාංගය සලකා බලමු. 
  

                  ඇපකැපවීම - HARDWORK එම  වචනයයි.  
මෙම වචනයද කලින් ආකාරයටම විග්‍රහ කර බලමු. එම වචනයේ අක්ෂර වලට  නියමිත අංක යොදා, එම අගයයන් එකතු කල විට 98 ක් ලැබේ. අප තීරණය කර ගත් පරිදි මෙයද ප්‍රතිශතයක් ලෙස යෙදු කළ 98% වේ.

මීළඟට තුන්වන  යහපත් ගුණාංගය ගෙන  බලමු.  


                ආකල්ප - ATTITUDE යන වචනයයි.
මෙම වචනයේ සියලුම අක්ෂර වලට හිමි අංකය යොදා එම අංක එකතු කළ විට එකතුව ලැබෙනුයේ 100කි. මෙය ප්‍රතිශතයක් ලෙස යෙදු විට 100% ලැබේ.

අප විසින් සලකා බලනු ලැබූ ගුණාංග සියල්ලටම කලින් තීරණය කරනු ලැබූ මිනුම් දණ්ඩේ, 96%, 98% සහ 100%  ලැබී තිබෙන බව පෙනේ. මෙසේ ඉතා ඉහල ලකුණු ප්‍රතිශතයක්  ලබන මෙම  ගුණාංග සියල්ලම ජීවිතයට  වැදගත් බව මෙම අහඹු මිනුම් මගින් පැහැදිලි වේ. මේ අතරින්ද ආකල්ප  ඉතාමත්  වැදගත් බව 100% ලැබීමෙන්  හෙළි වේ.    

 දැනුම - KNOWLEDGE              96%                                                           ඇපකැපවීම-HARDWORK               98%                                                              
 ආකල්ප - ATTITUDE                  100%

අධ්‍යාපනික වශයෙන් මෙම කරුණු ගැන විමසා බැලුවත්, මෙම අංක හරඹයෙන් ලැබෙන ප්‍රතිඵලය ඉතාමත් නිවැරදි බව පෙනේ.  කෙනෙකුට කෙතරම් දැනුම් සම්භාරයක් තිබුනත්, තමන් කරනු ලබන ඕනෑම කාර්යයකින් උපරිම ප්‍රතිඵල ලබාගැනීම සඳහා දැනුම මෙන්ම මනා ඇපකැපවීමක්ද  අවශ්‍යවේ. 

මෙය තවත් දීර්ඝ වශයෙන් විග්‍රහ කිරීමේදී  දැනුම සහ ඇපකැප වීමටත් වඩා,  ඕනෑම කෙනෙකුට තම ජීවිතය සාර්ථක කර ගැනීම පිණිස    තිබිය යුතු උසස්ම  ගුණාංගය වනුයේ යහපත් ආකල්ප බව පැහැදිලිය. සාමුහිකව වැඩ කටයුතු කිරීම, සෙසු අයගේ අදහස් වලටද ගරු කිරීම, ඉවසිලිවන්ත බව, බුද්ධිය මෙහෙයවා තීරණ ගැනීම, සුහදශීලී බව ආදිය ප්‍රධානතම යහපත් ආකල්ප වලින් කිහිපයකි.

මේ අතින් බලනකළ, කිසියම් අදෘශ්‍යමාන ගණිතමය පසුබිමක්ද ආදේශ කර ගනිමින්, ATTITUDE නමින්  හැඳින්වෙන යහපත් ආකල්පමය ගුණාංග, කෙනෙකුගේ ජීවිතය සාර්ථක කරගැනීමට ඉවහල් වන බවට හේතු  විය හැකි බව සනාථ කළ හැකිවේ.




Friday, 15 February 2019

අපගේ විද්‍යා අධ්‍යාපනය පසුබෑමකට ලක්වී තිබේද ?



   ශ්‍රී ලංකාවේ විද්‍යා අධ්‍යාපන උන්නතිය සඳහා, දශක කිහිපයක් තිස්සේ හැකි සෑම අයුරකින්ම දායක වූ මා විදේශ ගත වී, වසර පහකට පමණ පසුව, නිවාඩුවක් සඳහා ආපසු මව් බිමට ගියවිට දකින්නට ලැබුණු විද්‍යා අධ්‍යාපන ‘සෝදාපාළුව’ ගැන මහත් විමතයට පත්වීමි. විද්‍යා අධ්‍යාපනයට අදාලව දියත් කර තිබුණු සුවිශේෂී වැඩ සටහන් සියල්ල අහෝසි වී ගොස් ඇති බවක් දකින්නට ලැබුණි. එවකට තිබුණු ‘විද්‍යා ප්‍රබෝධය’ අතුරුදහන්වී ගොස් මෙනි.
පරිසරයට අදාළ ක්‍රියාකාරකම්, ක්‍ෂේත්‍ර අධ්‍යයන වැඩ සටහන්, සිසු ව්‍යාපෘති, සොබා මං පෙත් ඔස්සේ අධ්‍යයන ආදිය අධ්‍යාපනයෙන් තුරන් වී තිබේ. මේ සියල්ලටම හේතුව ‘ටියුෂන් උන්මාදය’ බව පෙනේ.
මෙම අධ්‍යාපන සෝදාපාළුව මඟ හරවා ගැනීම පිණිස බලධාරීන්ගේ අවධානය යොමු කරවීම සඳහා , මා විසින් කලකට පෙර පළකරන ලද  Blog  සටහනක් සංශෝධනය කර නැවත මෙසේ පළ කරමි. මෙසේ නැවත මේ ගැන ලිවීමට සිත් වුයේ විශේෂ සිද්ධියක් නිසාය.
මා මෙහි සඳහන් කරණු ලබන සුවිශේෂී විද්‍යා අධ්‍යාපන වැඩ සටහන සඳහා  පුරෝගාමියෙකු වූ, හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල් ඩී.ඒ. පෙරේරා මහතාගේ නිවසෙහි, 2019 ජනවාරි මාසයේදී පවත්වනු ලැබූ දිවා භෝජන සංග්‍රහ අවස්ථා වේදී  අධ්‍යාපන පසුබෑමට මුලික වී ඇති බොහෝ දේ  පිලිබඳව සකච්ඡා විය.  එහිදී හෙළිවූ සමහර කරුණු වලට අදාලව, මෙම වැදගත් වැඩ සටහන නැවත දියත් කිරීම සඳහා විද්‍යා අධ්‍යාපන බළධාරීන් උනන්දු කරවීම මාගේ අභිප්‍රායයි.  

පසුගිය ’70 – ’80 දශක වලදී, ශ්‍රී ලංකාවේ විද්‍යා අධ්‍යාපනය කෙරෙහි, විශාල උනන්දුවක් ඇති විය. රජයද, ‘සැමටම විද්‍යාවයන නව සංකල්පය යටතේ බොහෝ වැඩ සටහන් දියත් කරන ලදී. මෙම රැල්ලත් සමගම එවකට සිටි, විද්‍යා අධ්‍යාපනඥයන් අතලොස්සකගේ මෙහෙයවීමෙන්, 1984 දී, ශ්‍රී ලංකා විද්‍යා සහ ගණිත අධ්‍යාපන සංගමය - ශ්‍රී ලං වි ග අ ස  (Sri Lanka Association for Science and Mathematics Education –SLASME)  පිහිටුවා  ගන්නා ලදී.  මෙම සංගමයේ ආරම්භක සභාපති වුයේ, පේරාදෙණිය ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයයේ, වෛද්‍ය විද්‍යා මහාචාර්ය වැලන්ටයින් බස්නායක මැතිතුමාය. 
අධ්‍යාපන අමාත්‍යංශයේ   විද්‍යා අධ්‍යාපන අධ්‍යක්ෂක ධුරය ඉසිලු, ජිනපාල අලස් මැතිතුමා,  එහි උප සභාපති විය. ඒ කාලයේ විද්‍යා අධ්‍යාපනයට සම්බන්ධ තවත් නිලධාරින් කිහිප දෙනෙක්ද, විද්‍යා සහ ගණිත ගුරුවරු රාශියක්ද, විවිධ ක්ෂේත්‍ර වල නියැලී විද්‍යා අධ්‍යාපනයට  ලැදි තවත් අයද, සියයක් පමණ සංගමයේ සාමාජිකයෝ වූහ. සංගමයේ ආරම්භක සාමාජිකයින් වී එය විසුරුවා හරින තෙක්ම, එහි සභාපති ධුරය සහ වෙනත් නිලතල, වරින් වර දරා, රටෙහි සිසු පරපුර වෙනුවෙන් අගනා මෙහෙයක්‌ කරන ලද විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල්, ඩි.ඒ. පෙරේරා  මැතිතුමා සහ විශ්‍රාමික විභාග කොමසාරිස් ජනරාල්, ස්ටර්ලින් පෙරේරා මැතිතුමාද මෙහිලා බැති සිතින් සඳහන් කරමි.
මහා බ්‍රිතාන්‍යයේ සුප්‍රකට විද්‍යා අධ්‍යාපන සංගමයක්  වන, පොදු රාජ්‍ය මණ්ඩලීය විද්‍යා ගණිත අධ්‍යාපන සංගමයේ (Commonwealth Association for Science and Mathematics Education- CASME) ආකෘතිය අනුව, සකස් වූ මෙම සංගමයට, ටික කලකදීම එම ජාත්‍යන්තර සංගමයේ සාමාජිකත්වයද ලබාගත හැකි විය.
විශේෂයෙන්ම පාසල් අධ්‍යාපනයේ, ඉහල ප්‍රාථමික, කනිෂ්ඨ සහ ද්විතීය මට්ටම් වල, ඉගෙනුම ලබන දරු දැරියන්ගේ, විද්‍යාත්මක දැනුම සහ අවබෝධය වැඩි දියුණු කිරීම, සංගමයේ මුලික පරමාර්ථය වූ අතර, ඔවුනට විද්‍යාත්මක ක්‍රමය ආශ්‍රීතව, සරල ගවේෂණ  කිරීම සහ ඒවායේ තොරතුරු ඉදිරිපත් කිරීමට වේදිකාවක්  සකස් කිරීමද සංගමයේ අභිප්‍රාය විය. සංගමයේ ලාංඡනයද මෙයට ගැලපෙන ආකාරයටම සකස් විය. එහි ඇති ළමා හිස, අත සහ හදවත යන නිරූපණ වලින් සංකේතවත් වනුයේ, කුඩා කළ සිටම, දැනුම හෝ අවබෝධය, හසුරු කුසලතා සහ ආකල්ප සංවර්ධනය කළ යුතු  බවයි.  මෙයින් හිස (මොළය) දැනුම සඳහාත්, අත කුසලතා සඳහාත්, හදවත ආකල්ප සඳහාත් මුලික වන බව පෙන්නුම් කෙරේ.  

ආරම්භයේදී, එවකට සිටි විද්‍යා සහ ගණිත අධ්‍යාපන නිලධාරීන්ගේ සහ විද්‍යා ගුරුවරුන්ගේද සහාය ඇතිව, සංගමයේ කටයුතු පහසුවෙන්  කරගෙන යාමට හැකිවිය. මෙම සංගමය මගින්,  පාසැල්  සිසුන්ට  සරල කෙටි කාලීන විද්‍යා ව්‍යාපෘති වල නියැලීමටත්, ඒවා අනුසාරයෙන් ගැටළු හඳුනා ගැනීමටත්, ඒවා නිරාකරණයට අදාළ උපකල්පන සකස් කර ගැනීමටත්, ඒ ඔස්සේ අවශ්‍ය ක්‍රියාකාරකම් මගින් දත්ත ලබාගැනීම සහ නිගමන වලට එළඹීමටත් අවස්ථාව සලස්වා දෙන ලදී. මේ ආකාරයෙන් සිසුන්ට නිරායාසයෙන්ම   ‘විද්‍යාත්මක ක්‍රමය’ (Scientific method) පිළිබඳව මනා පරිචයක් ලබාගැනීමට අවස්ථාව ලැබුණි.
සංගමය මගින්, 1984 වර්ෂයේ සිට, නොකඩවා, මාසික රැස්වීම් සහ වාර්ෂික මහා සභාවක් බැගින් පවත්වා, විද්‍යා අධ්‍යාපනය වඩාත් ප්‍රායෝගික සහ වඩාත් වැඩදායි එකක් කිරීමට කළ හැකි විවිධ දේ සාකච්ඡා කරන ලදි. සෑම වර්ෂයකදීම  සංගමය මගින් සිසු ව්‍යාපෘති සියයකට අධික සංඛ්‍යාවක් සඳහා උපදෙස් ලබාදී  ප්‍රාථමික, කනිෂ්ඨ සහ ද්විතීය  යන මට්ටම් වලින් තෝරා ගනු ලබන ව්‍යාපෘති, තිහකට අධික සංඛ්‍යාවක සවිස්තර වාර්තා සහිතව, විද්වත් මඬුල්ලක් හමුවේ ඉදිරිපත් කිරීමට ශිෂ්‍යයින්ට අවස්ථාව ලබාදෙන ලදී. වයස් මට්ටම් අනුව බලන විට, සමහර සිසුන් විසින් ඉදිරිපත් කරනු ලැබූ ව්‍යාපෘති විශිෂ්ට ගණයේ ඒවා විය. එක් වර්ෂයකදී ඉදිරිපත්වූ ව්‍යාපෘති මාතෘකා කිහිපයක් පහත දැක්වේ.    
  හය වන ශ්‍රේණියේ  සිසුවියකගේ මගේ යාලු කඩි ගුල ’                                                               පස්වන ශ්‍රේණියේ සිසුවෙකුගේ මකුළුවෙක් දැළ විවීම ’                                                          නවවන ශ්‍රේණියේ සිසුවියකගේ හොර ගසක බීජ/ඵල  ව්‍යාප්තිය ’                                              දහවන  ශ්‍රේණියේ සිසුවියකගේ සලබයෙකුගේ ජීවන චක්‍රයේ රහස ’                                                                                                                       
මේවා, එම වර්ෂයේ දී තෝරාගත් සරල ව්‍යාපෘති අතරින් කිහිපයකි. මේ සියල්ලම ඉතා සරල අදහස් වුවත්, ඒවා සැලසුම් කිරීම, දත්ත ලබාගැනීම, දත්ත විශ්ලේෂණය, නිගමනය ආදිය ඉතා හොඳින් සිදූකර තිබුණි.
කඩි ගුල පිලිබඳ අධ්‍යයනය කළ සිසුවිය, ගුලෙන් පිටතට පැමිණෙන කඩි, දස දෙනෙකු සලකුණු කර, දින කිහිපයක් ඔවුන් නිරීක්ෂණය කර තිබේ. ඇය, තමන්  විසින් ලකුණු කරනලද කඩි,  ඔවුන්ගේගුලෙහිසිට කොපමණ දුරකට ආහාර සොයා ගමන්  කරන්නේද යන්න මැනවින් අධ්‍යයනය කර, රූප සටහන්, වගු, ප්‍රස්තාර ආදිය ආශ්‍රීතව ඉතාමත් දක්ෂ අන්දමින් ඉදිරිපත් කරන ලදී.
දහවන  ශ්‍රේණියේ සිසුවියගේසලබයෙකුගේ ජීවන චක්‍රයේ රහසනම් ව්‍යාපෘතියේදී ඇය විසින් තම ගෙදර වත්තේ, රසකිඳ වැලක එල්ලෙන මුල් කා දමන සලබ දලඹුවෙකු,  අධ්‍යයනය  කර ඇති අතර, දින කිහිපයකට පසු එම දලඹුවා අදෘශ්‍යමාන වන බව නිරීක්ෂණය කර තිබේ. ඇය මේ සම්බන්ධව  අපගෙන් වැඩිදුර තොරතුරු විමසන ලදී. මේ  පිළිබඳව අපට තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, ගැටලුව කෘමි විද්‍යාඥවරියකට යොමු කරන ලදි.
එම විද්‍යාඥවරියට අනුව, ඉහතකී  සලබයා ඉතාමත් විරල එකෙක් බවත්, එම ප්‍රදේශයේ රසකිඳ වැල් වල පමණක් සිටින බවත් දැනගන්නට ලැබිණ. රසකිඳ වැලෙහි එල්ලෙමින් පවතින  මුල අග්‍රයේ සලබයා දමන බිත්තර වලින් එළියට පැමිණෙන කීට දළඹුවා , මුල කා දමමින් ඉහලට ගොස් ටික දිනකින්  එතනින් බිමට වැටී  ජීවන චක්‍රයේ ඊළඟ අවස්ථාව පොලොව යට කෝෂයක් සාදාගෙන  ගතකරන බව අපද දැන ගත්තේ ඊට පසුවය.
මෙම සලබයාගේ ජීවන චක්‍රයේ අදෘශ්‍යමාන අවස්ථාව ගැන සොයා බැලීමට, එම ශිෂ්‍යාව කර ඇති ගවේෂණය ඉතාමත් වැදගත් එකකි. ඇය ඒ මගින්විද්‍යාත්මක ක්‍රමයමැනවින් අවබෝධ කර ගෙන තිබුණි.
සෑම වර්ෂයකම සිසුන් විසින් ඉදිරිපත් කරනලද ව්‍යාපෘති යෝජනා වලින් බහුතරයක්. පරිසරයට අදාළ ක්‍රියාකාරකම් වීම, මෙහි තවත් විශේෂ ලක්ෂණයකි.
තමා විසින් ස්වාධීනව සකස් කරන ලද ව්‍යාපෘති වාර්තාව, ඉතාමත් දක්ෂ ලෙස සබකෝලයකින් තොරව, පිරිසක් ඉදිරියේ  ක්‍රමානුකූලව ඉදිරිපත් කිරීමට,  සිසුන් තුළ ඇති කුසලතාව හඳුනා ගැනීමට මෙම වැඩ සටහන් බෙහෙවින් ප්‍රයෝජනවත් වී තිබේ. මෙම වැඩ සටහන සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ විද්‍යා අංශයේද, ප්‍රාදේශීය විද්‍යා අධ්‍යාපන නිලධාරීන්ගේද සහයෝගය නොඅඩුව ලැබුණි.
එහෙත්,  2012  වර්ෂයෙන් පසුව, ආර්ථික ප්‍රශ්න, කාර්යාලය පවත්වාගෙන යාම සඳහා ස්ථානයක් නොමැති වීම, ගුරු සිසු උනන්දුව අඩුවීම, නිලධාරි සහයෝගය නොලැබී යාම වැනි කරුණු නිසා  එම විද්‍යා වැඩ සටහන, අක්‍රීය තත්ත්වයට පත්විය. මේ නිසා මෙම ඉතා වැදගත් අධ්‍යාපනික පිවිසුම, අතහැර දමන්නට සිදුවිය. අවසානයේදී එවකට සිටි විධායක මණ්ඩලය රැස්වී, සංගමයේ සියලුම අරමුදල් සහ වගකීම්, විද්‍යා ව්‍යාපෘති සඳහා උනන්දුවක් දක්වන ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයට (SLAAS) ව්‍යවස්ථානුකූලව හාර දෙන ලදී. වසර විසිපහක් තිස්සේ අඛණ්ඩව කරගෙන යනු ලැබූ, මහඟු අධ්‍යාපන ක්‍රියාවලියක ඉරණම මෙසේ වීම කණගාටුදායකය. (මා වසර දෙකක් මෙම  සංගමයේ සභාපති ලෙස කටයුතු කර තිබේ.)    
මෙයට සමගාමීව, ගුරු ව්‍යාපෘති සඳහා, එක්සත් රාජධානියේ, පොදුරාජ්‍ය මණ්ඩලීය විද්‍යා සහ ගණිත අධ්‍යාපන සංගමය (CASME) මගින් පවත්වන ලද තරඟ වලට, අපගේ විද්‍යා සහ ගණිත අධ්‍යාපන සංගමය (SLASME) මගින් ඉදිරිපත්කරන ලද, ගුරු ව්‍යාපෘති කිහිපයකටම විශේෂ ත්‍යාගද ලැබුණු අතර, ත්‍යාග ලාභීන්  එක්සත් රාජධානියට ගොස් එම ත්‍යාග සහ සහතික පත්  ලබාගත් අවස්ථාද  කිහිපයක් තිබේ.
පාසැල් සිසුන්, ගුරුවරුන්  සහ අධ්‍යාපනඥන්  අතර ඉතා ජනප්‍රිය වූ මෙම වැඩ සටහනවත්  නැවත ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගන්නේ නම් එය සිසු දරුවන් වෙනුවෙන් ගන්නා වැදගත් තීරණයක් වනු ඇත. 
අද දකින්නට ලැබෙන ‘විද්‍යා අධ්‍යාපන හිඩැස’ මග හරවා ගැනීම පිණිස මෙම වැඩ සටහන මහෝපකාරී වනු ඇතැයි යන්න අපගේ බලාපොරොත්තුවයි.


Saturday, 9 February 2019

ජීවිතයක ‘දෙපැත්ත ........’


(සති කිහිපයක නිවාඩුවක් සඳහා ශ්‍රී ලංකාවට ගොස් ආපසු පැමිණ දින කිහිපයක්ම, මහත් උදාසීන ගතියකින් සිටි නිසා කිසිවක් ලිවීමට රුචියක් නොවීය. එහෙත් පැරණි සිදුවීම් කිහිපයක්  නැවත අලුත් කරගැනීමට හැකිවූ, හදවතට දැනෙන මෙම සටහන කෙසේ හෝ  අවසන් කර ගත හැකි විය.)

ජීවිතයක දෙපැත්ත .....

   ලන්ගොඩ ‘ගූඩ් හෝප්’ වතුයායේ ලිපිකරුවෙකු ලෙස පැමිණි ගුණනාදන්, යාපනයේ උපත ලැබූ ද්‍රවිඩ තරුණයෙකි. චන්ද්‍රවතී, වත්ත අසල සිංහල ගැමි ගෙදරක ජීවත්වූ තරුණියකි. සුරූපී තරුණියක් වූ චන්ද්‍රවතීට පෙම්බැඳි ගුණනාදන්, නොයෙකුත් අපහසුතා සහ අවහිරතා මධ්‍යයේ, වුවද  ඇය විවාහ කර ගත්තේය. ඔවුනට පදිංචිය සඳහා වත්තේම නිවසක් ලැබිණ. එම යුවළගේ කුළුඳුල් දියණිය කමලාදේවීය. පිය උරුමයෙන් දෙමළ ආරයේ නමක් ලැබුණත්, පවුලේ එකම දියණිය වූ ඇය,  සිංහල මවගේ ආභාෂය නිසා, සිංහල දැරියක ලෙස වැඩුණාය. ඇය ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේද  සිංහල පාසැලකය. පාසැලේදී ඇය කමලා නම් වුවාය. ඇය  පස්වන ශ්‍රේණිය සමත්වී කිහිප දිනකින්, වත්තේ ඇතිවූ ආරාවුලකදී කම්කරුවන්ගේ පැත්ත ගත් නිසා, ගුණනාදන්ට රැකියාව අහිමි විය.  බලංගොඩට ආයුබෝවන් කී ගුණනාදන් පවුල, ආපසු යාපනයේ පදිංචියට ගියහ.

ප්‍රවීණ ලිපිකරුවෙකු වූ ගුණනාදන්ට, පහසුවෙන්ම, යාපනයේ  රජයේ කාර්යාලයයක රැකියාව ලබාගත හැකිවිය. ස්ථාන මාරුවෙන් පසු, අකමැත්තෙන් වුවද කමලාදේවීට හයවන ශ්‍රේණියේ සිට ඉහලට ඉගෙනීමට සිදුවුයේ දෙමළ මාධ්‍යයෙනි. එසේ වුවත් මව සහ දියණිය සිංහලෙන් කථා කිරීමට පුරුදුව සිටියහ. ඉගෙනීමට දක්‍ෂ දැරියක් වූ කමලාදේවී, උසස් පෙළ සමත්වීමෙන් පසු, ඉන්දියාවේ විශ්ව විද්‍යාලයයක අධ්‍යාපනය සඳහා පිටත්ව ගියාය. විශ්ව විද්‍යාලයයේ විද්‍යා උපාධිය අවසන් කිරීමෙන් පසුව, ඇයට දකුණු ඉන්දියාවේ පෞද්ගලික විදුහලක ගුරුවරියක ලෙස සේවය කිරීමටද අවස්ථාව ලැබිණ. 

මේ අතරතුරදී ඇයගේ පියා හෘදයාබාධයකින් මිය ගියේය.

පියාගේ මරණය සැලවූ වහාම, ආපසු  ශ්‍රී ලංකාවට පැමිණි කමලාදේවි, මහත් කම්පාවකට පත්ව සිටියාය. මව පමණක් ගෙදර තනිවම දමා යාමට නොහැකි නිසා ඇයට රැකියාව සඳහා ආපසු ඉන්දියාවට යාමට නොහැකි තත්ත්වයක් උදාවිය. ඉන්දියාවේ පදිංචියට යාමටද  මවගේ කිසිම කැමැත්තක් නොවීය.  පියාගේ හදිසි මරණයත් සමග ඇතිවූ ගැටළු සියල්ල ඇයට උභතෝකෝටික ප්‍රශ්නම විය. යාපනය අතහැර යළිත් දකුණේ ප්‍රදේශයකට පදිංචිය සඳහා යාම පිණිස,  මව ඇයට කිහිප වරක්ම පෙරැත්ත කළත්, පිය පාර්ශවයේ  නෑදෑ හිතවතුන්ගේ බලපෑම නිසා, ඔවුනට ඒ පිළිබඳව ස්ථිර තීරණයක් ගැනීමට නොහැකි විය.

මේ අතර, පියාගේ නෑ පිරිසගේ බලවත් ඉල්ලීම නිසා, කමලාදේවිට, තම ඇවැස්ස මස්සිනා කෙනෙකු සමග විවාහ වීමට සිදුවිය. ක්‍රීඩා උපදේශක ගුරුවරයෙකු  මෙන්ම  කඩවසම් තරුණයෙකු වූ  ඔහු නමින්  ජයදේවන්ය.  විවාහය නිසා, ඇයට  රැකියාව සඳහා ආපසු ඉන්දියාවට යාමට තිබුණු ඉඩකඩ තවදුරටත් ඇහිරී ගියේය.

මේ කාලයේ, ශ්‍රී ලංකාවේ මහත් අධ්‍යාපන ප්‍රබෝධයක් දියත් වී, ‘සැමටම විද්‍යාව’   යන සංකල්පය ව්‍යාප්ත වෙමින් පැවතිණ.  එහෙත් ‘සැමටම විද්‍යාව’   වැඩ සටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය තරම් ගුරුවරු සොයා ගැනීම, රජයට දුෂ්කර කරුණක් විය. ඒ සමගම  පාසල්වල ඉගැන්වීමේ මාධ්‍යය ඉංග්‍රීසියේ සිට සිංහලට හෝ දෙමළට යොමු වෙමින් පැවතීම නිසා, විද්‍යා විෂයයන් මවු බසින් ඉගැන්වීම සඳහා සුදුසු ගුරුවරු සොයා ගැනීම අතිශයින් දුෂ්කර විය. අධ්‍යාපන අමාත්‍යාංශය විද්‍යා ගුරුවරුන් බඳවා ගැනීම සඳහා, පුවත්පත් දැන්වීම් පළ කරනු ලැබුවත්, දෙමළ මාධ්‍යයෙන් කෙසේ වෙතත්, සිංහලෙන් විද්‍යා විෂයයන් ඉගැන්වීම සඳහා  අවශ්‍ය තරම් ගුරුවරු සොයා ගැනීමට නොහැකි විය. 

තම රැකියාව සඳහා ආපසු ඉන්දියාවට යාමට, කිසිසේත් ඉඩක් නොලැබෙන බව හොඳින් අවබෝධ කරගත් කමලාදේවි,  සිය සැමියාගේද අනුමැතිය ඇතිව,  පුවත් පත් දැන්වීම් වල දක්වා තිබුණු, විද්‍යා ගුරු පත්වීම් සඳහා අයදුම් කළාය.

ඊට සති කිහිපයකට පසු, ඇයට ගුරු පත්වීම් සඳහා, සම්මුඛ පරීක්ෂණයක් පිණිස අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලිපියක් ලැබිණ. අවශ්‍ය සහතික සහ වෙනත් ලියකියවිලි සියල්ල සුදානම් කර ගත් කමලාදේවී, නියමිත දින  සිය මවත් සමග, කොළඹ අධ්‍යාපන අමාත්‍යංශයට ගියාය.

සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ නිලධාරීහු කිහිප දෙනෙක්ම වූහ. ඇගේ සහතික පරීක්ෂා කළ නිලධාරියා, තම උපැස් යුවල ඉහලට කර, ඇය දෙස බලා,

“පස්වෙනි ශ්‍රේණිය දක්වා ඉගෙනීම සිංහලෙන් ? ඒ කොහොමද?”  කියා සිංහලෙන්ම ඇසුවේය.

“සර්, මම බාගෙට සිංහල” ඇයගේ පිළිතුර විය.

“ඒ කියන්නේ......?” නිලධාරියා මවිතයෙන් නැවත ප්‍රශ්න කළේය.

“අපි කලින් පදිංචි වෙලා හිටියේ බලන්ගොඩ. මගේ අම්මා සිංහල” ඇය පිළිතුරු දුන්නාය.

ඇයගේ සිංහල උච්චාරණයේ තරමක වෙනසක් ඇති බව කාටත් පැහැදිලි විය.

සියලුම සහතික සහ වෙනත් ලියකියවිලි පරීක්ෂා කළ නිලධාරි මඬුල්ල, ටික වේලාවක් යම්කිසි කරුණක්  සම්බන්ධව සෙමින් සාකච්ඡා  කර,

“ඔබගේ ගම් ප්‍රදේශය  යාපනය උනත්, ස්වාමිපුරුෂයා ගුරුවරයෙකු නිසාත්, දෙදෙනාටම පහසු, බස්නාහිර පළාතේ සිංහල මාධ්‍ය පාසලකට යන්නට කැමතිද?” කියා එක් නිලධාරියෙකු ඇයගෙන් ඉංග්‍රීසියෙන් ඇසුවේය.

ඇය තරමක චකිතයකින් යුක්තව,

“සර් මට සිංහලෙන් උගන්වන්න අමාරු වේවි.” යයි සිංහලෙන් කියා, බැගෑපත් වූවාය.

“ඒකට අපි වැඩ පිළිවෙලක් යෙදීමට සුදානම් කර තිබෙනවා. ඔය මහත්මියට පත්වීම ලැබෙන විදුහලේ පළපුරුදු ගුරුවරයෙක් යටතේ මාස හත අටක්, සම්පූර්ණ වැටුප් සහිතව ‘under study’ කිරීමට (සීමාවාසිකව ඉගැන්වීමට)  අවස්ථාව ලබා දෙන්නට  පුළුවනි. ඒ කාලය තුළදී විද්‍යාවේ පාරිභාෂික වචන ඉගෙන ගන්නත් හැකිවේවි. අවශ්‍ය පොත්පත්, සටහන් ආදිය  ඒ ගුරුවරයාගෙන් ලබාගැනීමට සැලැස්විය හැකියි. ඒ කොන්දේසියට කැමතිනම් මෙහි නම ලියා අත්සන් කරන්න”

කියා ලේඛනයක් ඉදිරිපත් කළේය. ඒ වන විටත් එම ලේඛනයේ කිහිප දෙනෙක්ම අත්සන් කර තිබුණි. එහි දෙමළ නම් තුනක්ද තිබෙනු  ඇය දුටුවාය. වෙනත් ජාතිකයින් විය හැකි දෙදෙනෙකුගේ නම්ද එහි විය.

ටික වෙලාවක් කල්පනා කළ ඇය, ලේඛනයට අත්සන් කළාය.

පසුව සම්මුඛ පරීක්ෂණ කණ්ඩායමේ නායකයා ලෙස සිටි නිලධාරියා ඇයට කථා කර,

“ඔබට  කොළඹට කිට්ටු, හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයයට ගුරු පත්වීමක් ලබාදිය හැකියි. දැනට එහි පුරප්පාඩුවක් තිබෙනවා. එහි සිටින ජේෂ්ඨ ගුරුවරයෙකු සමග ‘under study’ කිරීම පිණිස ඔබ යොමු කරන ලෙස අපි විදුහල්පතිට උපදෙස් දෙන්නම්. නවාතැන් පහසුකම් ලෙහෙසියෙන් සොයා ගත හැකියි. ලබන මස පළවෙනිදා සිට වැඩ භාර ගැනීම පිණිස ලිපියක් තැපෑලෙන් එවන්නම්.”

කියා ඇයට සමු දුන්නේය.

පරීක්ෂණ කණ්ඩායමට ස්තුති කළ කමලාදේවී දෙගිඩියාවකින් යුතුව කාමරයෙන් පිට වූවාය.   
-------------------
ඊළඟ මාසයේ පළමු වැඩ කරන දිනයේ පෙරවරුවේ, විද්‍යාගාරයේ පන්තියක උගන්වමින් සිටි මා හට, කාර්යාලයයට පැමිණෙන ලෙස  විදුහල්පති තුමාගෙන් පණිවුඩයක් ලැබිණ. මා එහි ගිය විට, විදුහල්පතිතුමා විසින් අමුත්තන් දෙදෙනෙකු මා හට  හඳුන්වා දුන්නේය.

“මේ ජයදේවන් මහත්මයා, අපගේ අලුත් ක්‍රීඩා උපදේශක, මේ ජයදේවන් මහත්මිය, අලුත් විද්‍යා උපාධිධාරිණියක්. ඇයගේ ගුරු පත්වීමේ ලිපියත් සමග තවත් උපදෙස් ලිපියක් තිබෙනවා අධ්‍යාපන අමාත්‍යංශයේ ‘under study’ වැඩ සටහන ගැනත්. ඒකත් කියවා බලා අවශ්‍ය කටයුතු කරන්න. ඒ එක්කම කාල සටහන් ගැනත් බලන්න. ” 

කියා අධ්‍යාපන අමාත්‍යංශ ලිපිය මා අතට දුන්නේය.

අමුත්තන් දෙදෙනා සමග විද්‍යාගාරයට ගිය මා, අනිකුත් විද්‍යා ගුරුවරුන්, විද්‍යාගාර සහායකයින් සහ එවෙලේ පැමිණ සිටි පන්තිවල සිසුන් ඔවුනට හඳුන්වා දුන්නෙමි. 

විද්‍යා අංශය භාරව සිටි මටද, එම කටයුතු වලට අදාළ රාජකාරි  සමගම,  එම දිනවල පැවති උග්‍ර ගුරු හිඟය නිසා, උසස් පෙළ පන්ති දෙකක උද්භිද විද්‍යාව සහ සත්ත්ව විද්‍යාව කාල ඡේද තිස් දෙකක් සහ සාමාන්‍ය පෙළ පන්තියක රසායන විද්‍යාව කාල ඡේද පහක්ද  ඉගැන්වීමට නියමිතව තිබිණ. අලුත් ගුරු මහත්මියගේ පැමිණීම නිසා මගේ ඉගැන්වීමේ බර කොටසක් අඩුවේයයි මට සතුටක්ද ඇතිවිය.

එහෙත්, අධ්‍යාපන අමාත්‍යංශයේ උපදෙස් ලිපිය කියවා,  ඇය සමග ටික වේලාවක් කථා කරනවිට, ඇයට ඉදිරි මාස කිහිපය තුළදී ‘ඉගැන්වීම සඳහා ඉගෙනීමට’ සිදුවී ඇති බව තේරුම් ගතිමි. කෙසේ වෙතත්, අධ්‍යාපන අමාත්‍යංශයේ මෙම අලුත් අභියෝගය භාර ගැනීමටත්, එම ගුරු මහත්මියට හැකි තරම් උදව් කිරීමටත් මම තීරණය කර ගතිමි.

පසුදින, කමලාදේවී ‘under study’ සඳහා, මගේ පන්තියට පැමිණියාය. මම ඇය පන්තියට හඳුන්වා දුන්නෙමි. මගේ සිසුවෙකු  ඇයට හිඳ ගැනීම සඳහා, පන්තිය ඉදිරියට  පුටුවක්  ගෙන ඒමට සූදානම් වූ විට ඇය, එය ප්‍රතික්ෂේප කර මෙසේ කීවාය.

“මමත් තවම ගුරු ශිෂ්‍යයෙක්. මටත් මාස කිහිපයක් ඔයාල සමග පන්තියේ ඉගෙන ගන්නට වෙනවා. මම ඔයාලා එක්ක පන්තියේ හිඳ ගන්නම්. මට ‘under study’ කරන්න තියෙනවා”

පන්තියේ සිසුන් තුෂ්නිම්භූතව බලා සිටියදී ඇය පන්තිය පිටුපස පුටුවක හිඳ ගත්තාය.

ගුරුපත්වීමක් ලබා ඇති, මගේ වයසේම යයි සිතිය හැකි  කාන්තාවක්, තවදුරටත්  ‘ඉගැන්වීම සඳහා ඉගෙනීම’  පිණිස මගේ පන්තියට පැමිණීම නිසා මම තරමක අපහසුතාවයකට පත්වීමි. කෙසේ වෙතත් ගුරු හිඟය මඟ හරවා ගැනීම සඳහා, අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දියත් කර තිබෙන මෙම නවතම ක්‍රමෝපායය වන ‘ඉගැන්වීම සඳහා ඉගෙනීම’  යන නව සංකල්පය සාක්සාත් කර ගැනීමට, මාගේ සහායද දීමට හැකිවීම පිළිබඳව මට සතුටක්ද ඇතිවිය.

මාස කිහිපයක් ගතවිය. ජයදේවන් මහත්මිය ඉතා ඉක්මණින් සිංහලෙන් ඉගැන්වීම ප්‍රගුණ කර ගත්තාය. උසස්පෙළ පළමු වසරේ පන්තියක උද්භිද විද්‍යාව ඉගැන්වීම භාර ගතහැකි බව, ඇය මට පැවසුවාය. විදුහල්පතිතුමාගේද නිර්දේශය මත පන්තිය ඇයට භාර දුනිමි.

වචන උච්චාරණය කිරීමේ තරමක වෙනසක් තිබියද, ඇය ඉතාමත් දක්‍ෂ  ලෙස ඉගැන්වීමේ කටයුතු කළාය. ඇය ඉතා ඉක්මණින් සිසුන් අතර ජනප්‍රිය විද්‍යා ගුරු මහත්මියක් වූවාය. සති කිහිපයකට පසු විදුහලට පැමිණි අධ්‍යාපන අමාත්‍යංශ අධීක්ෂණ නිලධාරියෙක්, ඇයගේ  ඉගැන්වීම නිරීක්ෂණය කර ‘ඉතා හොඳ’ ලෙස ඇගයීමක්ද කර තිබිණ.

මට නියමිතව තිබුණු උද්භිද විද්‍යාව කාල ඡේද දහසයක් ඇයට පැවරීමට හැකිවිය. මේ නිසා මට ලැබුණු ‘බර අඩුවීම’ විද්‍යා අංශ ප්‍රධානියා වශයෙන් ඉටු කිරීමට තිබුණු රාජකාරි කටයුතු සඳහා වැය කිරීමට අවස්ථාව සැලසිණ.

විද්‍යාලයයේම ගුරුවරියක වූ මගේ බිරිඳ සමගද,  ඉතාමත් කුළුපග වූ ජයදේවන් මහත්මිය, අපගේ දරුවන්ටද මවක මෙන් සැලකුවාය. 
 
වසර දෙකකට පමණ පසු, මා හට උසස් වීමක් ලැබී අධ්‍යාපන අමාත්‍යංශයට යාමට සිදුවිය.

කමලාදේවී ජයදෙවන් මහත්මියගෙන් අධ්‍යාපනය ලැබූ බොහෝ සිසුහු  උසස් පෙළ සමත්වී විශ්ව විද්‍යාල වල වෛද්‍ය සහ විද්‍යා අංශ වලට ට ඇතුළත් වන්නට වූහ. ඇය ඉතා හොඳ  උද්භිද විද්‍යා ගුරුවරියක් ලෙස ජනප්‍රිය වූවාය.  විශ්ව විද්‍යාල වලට ඇතුළත් නොවූ සිසුන්ද ගුරු වෘත්තියේ හෝ, බැංකු සහ වෙනත් රජයේ ආයතන වල රැකියා ලබාගත්හ. අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන ලද  ‘ඉගැන්වීම සඳහා ඉගෙනීම’  නම්  නව සංකල්පය යථාර්ථයක් බවට පත්කිරීම සඳහා පුරෝගාමී වූ ගුරු මහත්මියක් ලෙස කමලාදේවී ජයදේවන් මහත්මිය හැඳින්විය හැකිය.

ක්‍රීඩා උපදේශකවරයෙකු වූ ජයදේවන් මහතාද ඉක්මණින්ම ජනප්‍රිය ගුරුවරයෙකු බවට පත්විය. මේ වනවිට ඔවුනට වසර හතරක් පමණ වයසැති පුතෙකු සහ එක් වසරක් වයසැති දියණියක්ද සිටියහ. එසේ වුවත්, ඇසුරු කළ සමහර මිතුරන්ගේ ආභාෂය  නිසා, ඔහු සුරාවට ලොල් බවක් දැක්වීය. යහපත් දෙමාපියන් සමග සිංහල සහ දෙමළ සාරධර්ම අනුව හැදුණු වැඩුණු කමලාදේවි, සිය සැමියාගේ ක්‍රියාකලාපය ගැන කළකිරීමට පත්වූවාය.

සිය සැමියාගේ සුරා ලෝලිත්වය ගැන, යාපනයේ සිටින සිය නෑදෑ හිතවතුන්ට දැන්වූ විට, වහාම ස්ථාන  මාරුවක්  ලබාගෙන යාපනයට පැමිණෙන ලෙස ඇයට උපදෙස් ලැබිණ. ඇයගේ ස්ථාන මාරු ඉල්ලීම සලකා බැලූ අධ්‍යාපන අමාත්‍යාංශය, ඇය හොරණ තක්ෂිලාවෙන් නිදහස් කර, යාපනේ සිංහල මහා විද්‍යාලයයට මාරු කරන ලදී.

‘ඉගැන්වීම සඳහා ඉගෙනීම’  ප්‍රගුණ කර, ප්‍රවීණ ගුරුවරියක වූ ඇය, වසර හතක් පමණ හොරණ සිංහල දරුවන්ට  ඉතා හොඳ අධ්‍යාපනයක් ලබාදී, යාපනේ සිටින සිංහල දරුවන් වෙනුවෙන් සිය දැනුම කැප කිරීම සඳහා, හොරණ තක්ෂිලා  මධ්‍ය විද්‍යාලයෙන් සමු ගත්තාය. 

යාපනයේ ජීවිතය ඇයට එතරම් ප්‍රිය ජනක නොවීය. හොරණදී ඇසුරු කිරීමට ලැබුණු සිංහල මිතුරු මිතුරියෝ  යාපනයේ ඇයගේ  නෑදෑ හිතවතුන්ට වඩා ඇයට  සමීප අය වූහ. ඇය ඔවුන් සමගත් තම ගෝල බාලයින් සමගත් නිරතුරුවම සම්බන්ධකම් පවත්වා ගත්තාය. මටද, අධ්‍යාපන අමාත්‍යංශයේ රාජකාරි කටයුතු සඳහා යාපනයට ගිය අවස්ථා දෙකක දී, සිංහල මහා විද්‍යාලයටම ගොස් ඇය හමුවිය හැකි විය.
 
මේ අතරවාරයේදී, ජයදේවන් හදිසි අනතුරකින් මිය ගියේය. 

ඒ වන විට වැඩිමහලු පුත්‍රයා වන මනෝහරන් සාමාන්‍ය පෙළ විභාගය අවසන් කළා පමණකි.  සැමියාගේ වියෝවෙන් පසු ආර්ථික සහ සමාජමය ගැටළු රාශියකට මුහුණ දෙමින්  කමලාදේවී, ඉගැන්වීමේ කටයුතු නොපිරිහෙලා ඉටු කළාය. එහෙත් නොසිතු  අයුරු, මුහුණ දීමට සිදුවූ හැලහැප්පීම් සහ කලකිරීම් නිසා, ඇය  වසර විස්සක සේවා කාලයෙන් පසු, විශ්‍රාම ගත් බව  දැනගන්නට ලැබිණ. 

ටික දිනකින් ඇයගේ දියණියද ප්‍රදේශයේම තරුණයෙකුට විවාහ කරදෙනු ලැබ, සියලු දෙනාම, එම බෑණනුවන්ගේ  නව නිවසෙහි පදිංචිය සඳහා ගියහ.

දියණියගේ විවාහයෙන් වසර කිහිපයකට පසු, මොවුනට ජීවිතයේ ඉතාමත් අභාග්‍ය සම්පන්න කාලය උදාවිය.  අවි ආයුධ ගෙන සිවිල් යුද්ධයක් ආරම්භ කළ එල්.ටී.ටී.ඊ සංවිධානයේ කුරිරු ග්‍රහණයට මෙම පවුලේ සාමාජිකයින්ද  ගොදුරු වූහ. ඇයට, තමන්ගේ විශ්‍රාම වැටුපෙන් නියමිත ප්‍රතිශතයක් මාසිකව සංවිධානයට බැර කිරීමට සිදුවිය. ඒ වනවිට කඩවසම් තරුණයෙක්ව සිටි, ඇයගේ  පුත්‍රයා  එල්.ටී.ටී.ඊය විසින් බලෙන්ම පැහර ගෙන යන ලදී. වසර කිහිපයක් වනාන්තර වල යුද හරඹ වල යෙදුණු ඔහු,  තදබල වකුගඩු ආබාධයකට ගොදුරු විය. රෝගය ඉතාමත් උත්සන්න වූ පසු, ඔහු ගෙදරට ගෙනවිත් දමන ලදී. යුද්ධය ඉතාමත් උග්‍ර තත්වයක තිබෙද්දී, ඔහු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු නිසා, රජයේ රෝහලකින් ප්‍රතිකාර ගැනීමට නොහැකි වී ඇත. එල්.ටී.ටී.ඊ සංවිධානයෙන්ද  කිසිම පිළිසරණක් නොලැබූ ඔහු මාස කිහිපයකදී  එම රෝගයෙන්ම මිය ගියේය.

තම දියණිය, බෑණනුවන්  සහ ඔවුන්ගේ දරු දෙදෙනා සමග, යාපනය නගර සීමාවේම පදිංචිවී සිටි ජයදෙවන් ගුරු මහත්මිය ඉතාමත් නිහඬ, අසරණ  ජීවිතයක් ගත කළාය. මාස කිහිපයකට වරක්වත්, ඉඩකඩ ලැබුණු විටක, මම දුර කථනයෙන් ඇය ඇමතීමී. ඒ සෑම  විටකම, හොරණ ගතකළ වසර කිහිපය ඇයගේ ජීවිතයේ ඉතාමත් සොඳුරු කාලය බව ඇය සැමවිටම සිහිපත් කළාය.

2014 වසරේදී අප විදේශ ගතවීමට  පෙර මට, බිරිඳ සහ පවුලේ තවත් අය කිහිප දෙනෙකු සමග යාපනයට ගොස් ඇය හමුවී පැය කිහිපයක් සතුටු සාමීචියේ යෙදීමට අවස්ථාව ලැබිණ. අප විදේශ ගත වන බව ඇසූ ඇය, මහත් කම්පාවට පත්වූවාය.

පාසල් යන වයසේ  දරුවන්  දෙදෙනෙකුගේ මවවන ඇයගේ දියණියද, හදිසියේම අභාවප්‍රාප්ත වූ බව පසුගිය දිනක දැනගන්නට ලැබිණ. මේ ගැන ඇයගෙන් විමසා සිටීමට මට කිසිසේත් සිත් නොදුන්නේය. මා මේ ගැන විපරම් කළහොත් ඇයට වාවා  ගත නොහැකි වන බව මට වැටහුණු නිසා නිශ්ශබ්දව සිටියෙමි.

විදේශ ගතවී වසර කිහිපයකට පසු,  2019 වසර මුලදී, මට සති කිහිපයක නිවාඩුවක් සඳහා ආපසු මව් බිමට යාමට  හැකිවිය. මා ශ්‍රී ලංකාවට ආ බව ආරංචි වී, තක්ෂිලාවේ මගෙන් අධ්‍යාපනය ලැබූ, සිසුන් කිහිප දෙනෙකු මා හමුවීමට පැමිණියහ. ඔවුන් සියලු දෙනාම වසර පණහකට ඉහතදී, තක්ෂිලාවේ සිටි මගේත්, ජයදේවන් මහත්මියගේත් ගෝලයින් වීම විශේෂ සිද්ධියකි. ඔවුන් අතර, විශ්‍රාමික රජයේ වෛද්‍යවරු දෙදෙනෙක්, විශ්‍රාමික බැංකු කළමණාකරුවන්  දෙදෙනෙකු, විශ්‍රාමික ගුරුවරුන් දෙදෙනෙකු සහ වෙනත් උසස් රැකියාවල නිරතව සිට විශ්‍රාමික නිලධාරීන් කිහිප දෙනෙකුද වූහ.

ඔවුන් සමග ජයදේවන් පවුලේ මා දන්නා සහ මගේ මතකයේ තිබුණු තොරතුරු කීවෙමි. එම තොරතුරු  අසා, මහත් කණගාටුවට පත්වූ ඔවුන් සියලු දෙනා, හැකි ඉක්මණිනින්ම  ඇය බැලීම සඳහා යාපනයට යාමට තීරණය කළහ.

මා ආපසු ඔස්ට්‍රේලියාවට පැමිණ දින දෙකකින් එක් ආදී සිසුවෙකුගෙන්  දුර කථන පණිවුඩයක් ලැබිණ.

“සර්, මේ කථාකරන්නේ  සිරිල්. අපි ජයදේවන් ටීචර් හමුවීම සඳහා යාපනයේ ඇයගේ ගෙදරට ආවා.  මෙන්න සර් කථා කරන්න” කියා දුර කථනය ඇයට දුන්නේය.

මම ඇය සමග විනාඩි කිහිපයක් දුර කථනයෙන් කථා කලෙමි. ආ ගිය තොරතුරු ඇසීමෙන්  පසුව, ඇය විසින් කරනු ලැබූ අගනා ප්‍රකාශය මෙසේය. 

“පසුගිය වසර දහය ඇතුළත, මා ඉතාමත් සතුටු වූ දිනය අදයි. අපගෙන් ඉගෙනගත් ගෝල බාලයින් පිරිසක්  මෙතරම් දුර ගෙවා, වයසට ගිය මා බැලීමට පැමිණීම, මගේ භාග්‍යයක්. අවුරුදු පණහකට පෙර, හොරණ ගතකළ ඒ සුන්දර ජීවිතය මට මැවී පෙනෙනවා. විදේශයක සිටින ඔබටත් ඔවුන් හමුවීම සතුටට කරුණක් වූ බව නොඅනුමානයි. ඔබට සැප, ජය හා දීර්ඝායුෂ පතනවා. දැන් මට සන්තෝෂෙන් මැරෙන්නට පුළුවනි. ”

ඉතා හොඳින් ගලපා, ඇය සිංහලෙන් කී ඒ වචන කිහිපය මගේ හදවතට තදින්ම දැනුණි. වයස් ගත වීම නිසා වචන උච්චාරණයේ වෙනස්කම් කිහිපයක් තිබුණද, ජීවිතයේ අටවන දශකයේ පසුවන ඇයගේ, නිහතමානි කම සහ සිංහල ගෝල බාලයින්  හට ඇති ලැදියාව ගැන මටද මහත් ආඩම්බරයක් ඇතිවිය.

ජයදේවන් මහත්මිය, එකිනෙකට වෙනස්,  පරිසර  දෙකක සහ ජන වාර්ගික දෙකක් අතර දෝලනය වූ, තම ජීවිතය, හමුවූ සියලු කම්කටොලු මැඩ ගනිමින්, අප්‍රතිහත ධෛර්යයකින් යුතුව, සිය මුනුපුරු මිනිපිරියන් සමග ගතකරන බව පෙනේ. ඇයගේ ජීවිතයේ පැහැදිලි “දෙපැත්තක්” තිබෙන නිසා මෙම සටහන ‘ජීවිතයක දෙපැත්ත’ලෙස නම් කළෙමි.

මෙම සටහන ඇයට උපහාරයක්ම වේවා. !

(සත්‍ය සිද්ධියකි. පුද්ගල නම් සහ ස්ථාන නාම වෙනස් කරන ලදී)