·
සුරතල් සතුන් වුවද
පාලනයෙන් ගිලිහී ගියහොත් විනාශකාරී විය හැකිය.
·
දඩාවතේ යන බළලුන් මහා
විපතකි.
·
බළලුන් සඳහා ‘ඇඳිරි නීතියක්’
බොහෝ අය සුරතල් සතුන් ඇති කිරීමට මහත් කැමැත්තක්
දක්වති. සමහර සුරතල් සතුන් ගෙදර සාමාජිකයින්ම ලෙස
සැලකීමක් දක්වන අයද සිටිති. බල්ලන් සහ
බළලුන් සුරතල් සතුන් ලෙස ඇති කිරීම, මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම පැවති බව
පෙනේ. වසර හාරදහසකට පමණ පෙර සිටි ඊජිප්තු වාසීන්ද බළලුන් හීලෑ කර සුරතල් සතුන් ලෙස ඇතිකර තිබෙන
බව කියැවේ.
D.L. Brown විසින් රචිත The Adventures of An Awful House Cat යන ළමා පොත කියවා ඇති අය,
ගෙදර ඇතිකරනු ලබන බළලෙකුගේ, අපූර්ව රාත්‍රී චාරිකා පිලිබඳ හොඳ අවබෝධයක්
ලබන්නට ඇති බව නිසැකය. මෙම පොතෙහි
සඳහන් ‘නොරිස්’ නමැති සුරතල් බළලාගේ හාස්‍ය ජනක ගමන් බිමන් සහ මිතුරු මිතුරියන්
ඇසුරු කිරීම ළමා සිත් ඇද ගන්නාසුළු විය. සුරතල් සතුන් අතරින් බල්ලා තම ස්වාමියාට
සහ ගෙදර අන් අය සමග ඉතා ලෙන්ගතුව සිටී. එසේ වුවත් බළලුන් හිතවත් කම පෙන්වුවද, බොහෝ
විට ආත්මාර්ථකාමී සුරතල් සතුන් බව ප්‍රකටය.
විද්‍යාත්මකව බළලුන් හඳුන්වනුයේ Felis catus වශයෙනි. ගෙවල ඇතිකරනු ලබන බළලුන් Felis catus domesticus
ලෙසද හැඳින්වේ. බළලා ‘pussy’යන ඉංග්‍රීසි වචනයෙන් බිඳී ආ ‘පූසා’ යන සුරතල් නමින් හැඳින්වීම කාගේත් කටට
හුරු වදනකි. බළලුන් ඇතිකිරීම පහසුය. ඔවුන්, තමන්ට අවශ්‍ය ව්‍යායාම් තනිවම කර ගන්නා
අතර, තනිවම ඇඟපත පිරිසිදු කරගැනීමද ඔවුනට
කළ හැකිය. ගෙදරට මීයන් වැනි අහිතකර සතුන්
පැමිණීම පාලනය කිරීමටද බළලා සමතෙකි. පොදුවේ Cats යන නමින් හඳුන්වනු ලබන Felidae හෙවත් බිළාල ගෝත්‍රයට අයත් කොටි, සිංහයින්, ව්‍යාඝ්‍රයින් වැනි මාංශ භක්ෂක
විශාල ශරීර සහිත බිළාලයින් බළලුන්ගේ පරිණාමික ඥාතීහු වෙති.
මුල් අවදියේදී යුරෝපීය සංක්‍රමණිකයින් විසින් ඕස්ට්‍රේලියාවට ගෙනෙන ලද බළලුන්, දඩාවතේ ගොස් වල් වැදී වෙනත්
සතුන්ට මහත් තර්ජනයක් වී තිබේ. එම තර්ජනයේ ස්වභාවය සහ එම තත්ත්වය මර්දනය කිරීම
සම්බන්ධයෙන්, ‘Live Science Essentials’ හි ජේෂ්ඨ ලේඛිකාවක් වන Mindy Weisberger විසින් 2019 අප්‍රියෙල් 29 වන දින එම ප්‍රකාශණයට ලියන ලද ලිපියක, මහා බළල් සංහාරයක් පිළිබඳ තොරතුරු
දක්වා තිබේ.
1700 ගණන් වලදී ඔස්ට්‍රේලියාවේ පදිංචිය සඳහා පැමිණි යුරෝපීය සංක්‍රමණිකයින්
විසින් ඔවුන් සමග බළලුන්ද ගෙනැවිත් තිබේ.
එකළ, මෙම බළලුන්ගේ හැසිරීම් රටා පිලිබඳ පාලනයක් නොතිබුණු නිසා, සමහර බළල්ලු දඩාවතේ
යන්නට පටන් ගත්හ. එසේ දශක කිහිපයක් ගත වන විට,
වල් වැදුනු බළල්ලු බහුලව බෝවීම නිසා
ඉතා විශාල ගහණයක් ලෙස ව්‍යාප්ත වී තිබේ. දැනට මෙය ඕස්ට්‍රේලියාවේ
සිටින විශාලතම බළල් ගහණයයි.
මේ
ආකාරයටම අයිතිකරුවන් නොමැති, දඩාවතේ යමින්
ගෘහාශ්‍රීතව පමණක් හැසිරෙන දෙවන බළල් ගහණයක්ද බිහිවී තිබේ.
දඩාවතේ යාම සීමාවී
සිටින ගෙවල ඇතිකරන බළල්ලු තුන්වන
කණ්ඩායමයි.
වික්ටෝරියා ප්‍රාන්තයේ මොනෑෂ් කවුන්සිලයට අයිති ප්‍රදේශයේ පමණක්,
ලියාපදිංචි කරන ලද ගෙවල ඇති කරන බළලුන් 4,664 ක් සිටින බව වාර්තාවේ.
ලෝකයේ කුඩාම
මහාද්වීපය වන ඕස්ට්‍රේලියාවේ වල් වැදුනු බළලුන් මිලියන පහකට වැඩි සංඛ්‍යාවක් සිටින බව ඔබ විශ්වාස කරන්නෙහි
ද? 2017 වර්ෂයේදී ‘The Sydney Morning
Herald’ පත්‍රයට ප්‍රකාශයක් කළ ඕස්ට්‍රේලියාවේ, ‘වඳවී යාමට ආසන්න සතුන් පිලිබඳ
කොමසාරිස්’ ග්‍රෙගරි ඇන්ඩෘස් විසින් මේ බව පවසා තිබේ.
ඔහුගේ ඇස්තමේන්තුව අනුව, මහාද්වීපය පුරාම සහ අවට
දුපත් වලද වල් වැදී ඇති බළලුන් සිටිති.
මෑතදී ලබා ඇති දත්ත අනුව මෙම වල් බළලුන් විසින් ඕස්ට්‍රේලියාවේ වනාන්තර සහ මිනිස්
වාසස්ථාන ආශ්‍රිතව ජීවත්වන මිලියනයක් පමණ උරගයින්, එක දිනකදී විනාශ කර දමති.
එසේම
ඕස්ට්‍රේලියානු වනජීවී සංරක්ෂණ ආයතනයෙන් ලැබී ඇති තවත් තොරතුරකට අනුව, වල් වැදුණු බළලුන් විසින් වාර්ෂිකව,
කුරුල්ලන් මිලියන 316 සහ උරගයින් මිලියන 596 පමණ මරා, කා දමන බව සොයාගෙන තිබේ. මේ නිසා ඕස්ට්‍රේලියාවේ
දේශීය වනජීවින් හට වල්වැදුනු බළලුන්ගෙන් වන විපත ඉතාමත් භයානකය. ඕස්ට්‍රේලියාවේ,
තිරසාර බව, පරිසර, ජලය, ජනගහනය සහ ප්‍රජා කටයුතු පිලිබඳ දෙපාර්තමේන්තුවේ
(Department of
Sustainability, Environment, Water, Population and Communities - SEWPAC). වාර්තාවකට අනුව මෙම වල් වැදුණු බළලුන්ගේ ග්‍රහණයට
අසුවන කුරුළු විශේෂ 35 ක්, ක්‍ෂීරපායි විශේෂ 36 ක්, උරග විශේෂ 7 ක් සහ
උභයජීවී විශේෂ 3ක් සිටිති. ස්වාභාවික
පාලනයකින් තොර මෙම වල් වැදුනු බළලුන්ගේ ශීඝ්‍ර බෝවීම නිසා පසුගිය දශක කිහිපය
තිස්සේ වනජීවී විශේෂ රාශියක ගහණය තුනී වී ගොස් තිබේ.
සුවිශේෂී ජෛව විවිධත්වයකින් යුක්ත ඕස්ට්‍රේලියාවේ,
වනාන්තර ආශ්‍රීතව විලෝපියයෙකු (predator)
වී ඇති, වනවැදුනු බළලුන්ගේ, ගොදුරු බවට පත්වන අනිකුත් සතුන්, වඳවී යාමෙන් බේරා
ගැනීම සඳහා වනජීවී බලධාරීන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවී තිබේ. මොවුන් ආක්‍රමණශීලී
සත්ත්ව ප්‍රභේදයක ස්වරූපය ගෙන ඇති නිසා
ජෛව විවිධත්වය රැකගැනීම පිණිස ආක්‍රමණිකයන් ඉවත් කිරීම විනා, වෙනත් විකල්පයක් නොමැත.
මේ නිසා වටිනා ජෛව විවිධත්වය රැක ගැනීම සඳහා වනවැදුනු බළල් ගහණය සමග මහත්
සංග්‍රාමයක් කිරීමට සිදුවී තිබේ. පසුගිය දශක
කිහිපය තිස්සේ විවිධ ගහණ පාලන ක්‍රමවේදයන් භාවිත කරනු ලැබුවත්, දිනෙන් දිනම බළල්
ගහණය වැඩිවීම මහත් ගැටලුවකි. අවසානයේදී, මෙවැනි උපද්‍රවයකදී ගනු ලබන කෲරතම ක්‍රමය
ක්‍රියාත්මක කරන්නට සිදුවී තිබේ. එය නම් අධිකතර ගහණය තිරසාර වන පරිදි, සෙස්සන්
විනාශ කිරීමයි. මෙම තීරණය ගත් පසු, 2016 වසරේදී පමණක් වන බළලුන් 211,000 ක්
ජීවිතක්ෂයට පත්කළ බවට SEWPAC වාර්තාවක
දක්වා තිබේ. 2020 දක්වා කරගෙන යනු ලබන මෙම සංහාරය මගින්,
වන
බළලුන් මිලියන දෙකක් පමණ විනාශ කර දැමීම ඔවුන්ගේ ඉලක්කයයි.
මෙයට සමගාමීව ගෙවල ඇතිකරන සුරතල් ‘පූසන්’ රැක
ගැනීම සඳහාද ඉතාමත් සත්ත්ව හිතකාමී වැඩපිළිවෙලක් යෙදවීම
පිණිස ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ
මොනෑෂ් කවුන්සලය පියවර ගෙන තිබේ. එය නම්කර ඇත්තේ ‘බළලුන් සඳහා ඇඳිරි නීතියක්’ (A cat curfew) යනුවෙනි.
මොනෑෂ් ප්‍රාදේශීය කවුන්සලයේ 2019 මාර්තු නිල
පුවත් නිවේදනයට අනුව ‘බළල් ඇඳිරි නීතිය’ පිලිබඳ දැනුවත් කිරීමක් කර තිබේ.)
ඡායාරූපයේ දැක්වෙන පරිදි එම නිවේදනයේ අවසාන කොටස මෙසේය:
“Cats are great companins to many residents
in Monash. However, they are also natural predators and if they are left to
roam at night they can do enermous dmage to native wildlife and be a nuisance
to residents, and that is of concern to Council.
The
‘cat curfew’ is one of a number of measures in Council’s Domestic Animal
Management (DAM), plan which was adopted at the 31 st October 2017 Council
meeting.
මේ ආකාරයට ‘බළල් ඇඳිරි නීතිය’ ක්‍රියාත්මක
කර, බළලුන් ගෙවල් වලට කොටු කර තැබීම සඳහා අයිතිකරුවන්
දැනුවත් කිරීම සඳහා, මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක්
දී තිබේ. මේ මගින් බලාපොරොත්තු වන්නේ රාත්‍රී කාලයේ දඩාවතේ යමින්, විලොපියයන් ලෙස
හැසිරෙමින්, අනිකුත් සතුනට පීඩාකාරී වන
බළලුන් මර්දනය කර ගැනීම සඳහා සුදුසු පියවර ගැනීමට ඉඩකඩ සලසා ගැනීමයි.
වන වැදී සිටින පීඩාකාරී බළලුන් මර්දනය කිරීම සඳහා
විවිධ ක්‍රමෝපායයන් භාවිත කරනු ලැබේ. වෙඩි තැබීම, උගුල් ඇටවීම සහ මරණීය විෂ සහිත
ආහාර දීම මගින් මෙම බළල් ගහණය තුනී කර ගැනීමට මහත් උත්සාහයක් ගනිමින් සිටින බව
දකින්නට ලැබේ.
මීට පෙරද, 1907 දී පමණ, සංක්‍රමණිකයින් විසින් ගෙනෙන
ලද,රටහාවුන් (rabbits) ශීඝ්‍රයෙන් බෝවීම නිසා, ඔස්ට්‍රේලියාවේ පාලනය කර ගත නොහැකි
වූ හාවුන්ගේ ගහණයක් නිසා, මෙවැනිම විපතක් සිදුවී ඇති බවටද වාර්තාවේ. එම
අවස්ථාවේදී, බටහිර ඕස්ට්‍රේලියාවේ ශීඝ්‍රයෙන් බෝ වීමට පටන්ගත් හාවුන් රටෙහි
අනිකුත් ප්‍රදේශ වලට සංක්‍රමණය වීම
වැලැක්වීම පිණිස, හාවුන්ට රිංගා
යාමට නොහැකි වැටවල් තුනක් ප්‍රාන්ත මායිමේ ඉදි කරන්නට සිදුවිය. වසර හයක් තිස්සේ
එසේ ඉදිකරන ලද වැටවල් වල දිග කිලෝමීටර් 3,256 ක් විය. මෙයින්, කිලෝමීටර්
1,139 ක් දිගින් යුත් වැට, ලෝකයේ දිගම වැට
ලෙස වාර්තාවක්ද පිහිටුවන ලදී. ඒ කාලයේ මෙම වැටෙහි කිලෝමීටරයක් ඉදි කිරීම සඳහා
ඩොලර් 250 පමණ වැයවූ බවද සටහන් කර ඇත.
යම්කිසි පරිසරයක සමතුලිත බව පවතින්නේ සහ එයට හානි
සිදුවන්නේ කෙසේද?
·
සීමිත
විලොපියයන් පමණක් සිටීම - ඕස්ට්‍රේරේලියාව, මහා
සාගරය නිසා භු ගෝලීයව සෙසු ලෝකයෙන් දුරස් වී තිබෙන මහාද්වීපයයි. මෙහි
සත්ත්ව පරිණාමයද තරමක් ‘සෙමින්’ සිදුවී ඇති නිසා ආදී කාලීනයින් යයි සැලකෙන උදරයේ
පැසක් (pouch) සහිත, කැන්ගරු
සහ වොලබි වැනි සේපාටිකයින් (marsupials) තවමත්
නිරුපද්‍රිතව සිටිති. මොවුන්ගේ
ගහණය ස්වභාවිකව පාලනය වේ. එසේම
උභය ජීවීන්, උරගයින්
සහ පක්ෂීන් වැනි දේශීය සතුන්ගේ ගහණද, දේශයට ආවේණික විලෝපියයන්ගේ බලපෑම නිසා
ස්වාභාවික සමතුලිත බවකින් පවතී.
·
මාංශ
භක්ෂක බළලා ආගන්තුක විලෝපියයෙකි - කුඩා
සතුන් දඩයම් කිරීම සඳහා අනුවර්තන සහිත බළලා ඕස්ට්‍රේලියාවේ ආවේනික සත්ත්ව ප්‍රජාවට
විලෝපියයෙකි. ආගන්තුක
විලෝපියයාගේ ග්‍රහණයෙන් මිදියාම සඳහා දේශීය සතුන්ට අනුවර්තන නොමැත. මේ
නිසා පහසුවෙන්ම ඔහුගේ ග්‍රහණයට හසුවේ.
·
සම්පත්
සූරාකෑම සහ
අධික බෝවීම - බාහිර
බාධක නොමැති විට ආගන්තුක විලෝපියයා පරිසරයේ ඇති සතුන් අධික ලෙස ගොදුරු කර ගනිමින්
ශීඝ්‍ර ලෙස තම වර්ගයා බෝ කිරීමට පටන් ගනී.
·
ආගන්තුකයා
තමන්ට ගැලපෙන පරිදි පරිසරය වෙනස් කිරීම - ආගන්තුක
විලෝපියයන් විසින් පරිසරයට ආවේනික සතුන් අධිකලෙස ගොදුරු කර ගැනීම සම්පත් සූරාකෑමකි. මේ
නිසා ආවේණිනික දේශීය ගහණ ක්‍රමක්‍රමයෙන් තුනී වේ.
·
වෙනස්
වන පරිසරය, දේශීය සතුන්ට හිතකර නොවීම- විලෝපියයන්ගේ බලපෑම නිසා විකෘති වන පරිසරය
ආවේනික දේශීය සතුන්ට අහිතකර බවට පත්වේ.
·
ගහණය
තුනී වී වඳවී යාම - වෙනස්
වන පරිසරයට අනුවර්තනය වීමට නොහැකි වන දේශීය සත්ත්ව ගහණය ක්‍රමක්‍රමයෙන් තුනිවී
ගොස් අවසානයේදී වඳවී යාමට තුඩු දේ.
මෙසේ සලකා බලන කළ, ඕස්ට්‍රේලියාවේ ආරම්භ කර තිබෙන,
මහා වන බළල් සංහාරය පරිසර විද්‍යාත්මකව, ඉතාමත් නුවණට හුරු, පරිසර සංරක්ෂණ ක්‍රමවේදයක්
ලෙස සැලකිය හැකිය.
බළලා කියන්නෙ පිටින් ගෙනල්ල බෝ කරපු එකෙක් හින්ද උංගෙ ගහණය ස්වාභාවිකව පාලනය වෙන්න ක්‍රමයක් නැතුව ඇති. අනෙක් සත්තුන්ගෙ ජීවිත එක්ක බලනකොට මේ කරන වැඩේ වැදගත් වැඩක්.
ReplyDeleteහාවොනං පාලනය කරන එක එච්චර අමාරු දෙයක් නොවෙන්න ඇති හා මස් කන මිනිස්සු නිසා.
ස්තුතියි ප්‍රසන්න,
Deleteඕස්ට්‍රේලියාවේ අතීතය දෙස බලන විට, ආරම්භයේදී බොහෝ අඩුපාඩු සිදුවී තිබෙනවා. සුවිශේෂී සත්ත්ව ප්‍රජාවක් සිටින රටකට, යුරෝපිය රටවල බොහෝ කාලයක් තිස්සේ පරිණාමය වී ජීවත්වීම සඳහා නොයෙකුත් අනුවර්තන ලබාසිටි විවිධ සතුන් ගෙන ඒම එයින් එකක්. ඊළඟට වසර හැට දහසක පමණ අතීතයක් තිබුණු ආදී වාසී aborigine ජනතාව විනාශ කර දැමීම. පසු කාලයකදී මෙහි ඇති සම්පත් අත්පත් කර ගැනීමට පැමිණි අය තරමක් දුරට හෝ පරිසරය ගැන විමසිලිමත් වෙලා. ඒ නිසා තමයි හාවන් සඳහා කිලෝමීටර් 3000 ක් දිග වැටක් බැන්දෙත්. (පැරණි මෝඩ කමක්) මෑතදී පටන් ගෙන තිබෙන වන බළල් සංහාරයත් එවැනි එකක්. ඒ වගේම දැනට සීමිත ප්‍රදේශ කිහිපයකට පමණක් කොටුවී සිටින ආදී වාසීන් ගැන සොයා බැලීමට ආරම්භ කර තිබෙන්නේත් ඉතාමත් මෑත කාලයක් සිටයි. ඔවුන්ගේ සංස්කෘතියේ සමහර වත් පිළිවෙත් ගැන බලන විට පෙනීයනවා ඔවුන් ගහකොළ, සතා සීපාවා සහ අනිකුත් ස්වාභාවික සංසිද්ධි සමග යහපත් බැඳීමකින් යුක්තව කටයුතු කළ බව.
Cheena kolaniyak australiawe athi karamu.miliyana 5 awurudden iwarayi
ReplyDeleteCheena aakramanaya danatama ithaamath pahadililesa dakinnata labenawaa. Loku salli kaarayo hungak cheennu. e unath owun balal mas kana bawa nam ahalaa naha. mehe sitina aya eya athahara damala wennata athi.
Deleteඔබතුමාගේ ලිපියත්, Praසන්ன මහතාගේ පිළිතුරත් දැක්කාම මටත් පිළිතුරක් ලියන්න හිතුනා. වර්තමානයේ ඔස්ට්‍රේලියාව තම රටේ පරිසරය සහ එහි සමතුලිතභාවය ගැන ඉතාම ඉහලින් සලකන රටක්. නමුත් ඔවුන් අතීතයේදීත් ඒ විදියට හිතුවා නම් වර්තමානයේ ඇති වී තිබෙන අර්බුද බොහොමයක් ඇති වන්නේ නැහැ.
ReplyDeleteනොයෙකුත් අවශ්‍යතාවයන් සඳහා මිනිසුන් විසින් වනසතුන් ඝාතනය කිරීම නිසා (මස් පිණිස, හම් හෝ තෙල් ලබා ගැනීම, වෙනත් ශරීර කොටස් ලබාගැනීම සඳහා ) සත්ත්ව වර්ග රාශියක් ලොවෙන් තුරන් වී ගොස් තිබෙනවා. නමුත් "මිහිතලය මතින් වඳ කිරීමේ අරමුණ ඇතිව ඝාතනය කර, එම අරමුණ සපුරා ගත්" (මා දන්නා ) එකම සත්ත්වයා තස්මේනියානු කොටියා (Thylacine) පමණයි. අපමණ බොරු වලින් සඟවන්න උත්සාහ කලත් එම සතා මිහිමතින් තුරන් කලේ රාජ්‍ය අනුග්‍රහය සහිතවයි.
ඒ හැර එංගලන්තයෙන් මෙහි ගෙනැවිත් අතහැර දැමූ සාවුන්, බළලුන්, ඌරන්, අශ්වයන්, නරියන් (red fox ) යුරෝපියන් කාප් (එනම් මත්ස්‍ය විශේෂය) ආදී සතුන් හා ඔටුවන් (ඉන්දියාව/ ඇෆ්ඝනිස්තානය), මී හරකුන් (ඉන්දුනීසියාව) ගෝණුන් සහ මුවන් (ලංකාව/මලයාසියාව/ඉන්දියාව), උක් ගෙම්බා cane toad (දකුණු ඇමරිකාව) වැනි සතුන්ගේ ගහනය පාලනය කිරීමට වසරකට ඩොලර් බිලියන ගණනක් වියදම් කරනවා. එනමුත් පරිසරයට හා ඔස්ට්‍රේලියාවට ආවේනික සත්ත්ව ප්‍රජාවට වන හානිය මිල කල නොහැකියි.
මේ අවස්ථාවේ මට මතක් වූ තවත් දෙයක් ලියන්නම්. වික්ටෝරියාවේ දකුණු ගිප්ස්ලන්ත ප්‍රදේශයේ තෝප්ඩේල් (thorpdale, south gippsland, victoria )හි පිහිටි ඉතාම විශාල ගසක් ලෝකයේ උසම ගස විය හැකි බවට සැකයක් එකල (1884) ඇති වී තිබුනාලු. මේ ඥානවන්ත මිනිසුන් ඒ සැකය සහමුලින්ම දුරු කරගන්න කටයුතු යොදා තිබුනා. ඒ කියන්නේ ගහ කපලා උස හරියටම මැනලා (අඩි 375) ලෙස සොයාගත්තාම ඒක එකල මුළු ලෝකයේම උසම ගහ කියලා තහවුරු කරගෙන තිබුනා. කොහොමද ටිකිරි මොලේ !
Praසන්ன මහතා කියන ආකාරයට හා මස් තුන් වේලටම කෑවත් හාවුන් ඉවර කරන්න ටිකක් කල් යාවි. 1859 දී පරිසරයට මුදා හැරියා යැයි සැලකෙන(ජෝඩු 12ක් කියලයි කියන්නේ ) හා ගහනය 1910 දී බිලියන 10 වූ බව සැලකෙන අතර 1950 දීත් 1996 දීත් ඔවුනට කෘතිමව බෝ කල වෛරස මගින් යම් පාලනයක් ඇති වූ බැවින් වර්තමානයේ හාවුන් මිලියන 200 ක ප්‍රමාණයක් ඉතිරි වී ඉන්නවාලු.
ස්තුතියි සෑම්,
ReplyDeleteඔබගේ පිළිතුරෙන් මා තවත් බොහෝ කරුණු දැන ගත්තා.තස්මේනියානු කොටියා (Thylacine) පිලිබඳ වසන් කිරීමට තැත් කරන කරුණු දැන් බොහෝ හෙළිවී තිබෙනවා.
කිසිම වග විභාගයක් නොමැතිව ගෙනෙන ලද විවිධ සතුන් නිසා, සිදුවෙමින් පවතින හානිය ගැන, ශත වර්ෂ කිහිපයකට පසු දැන් පියවර ගැනීමට උත්සාහ කරන බව පෙනෙනවා. දැනටමත් ප්‍රමාද වැඩි බවයි පෙනෙන්නේ.
හාවුන් සංහාරයක් ගැනත් වහා පියවර ගන්නට සිදු වන බවත් පෙනෙන්ට තිබෙනවා. ශත වර්ෂයකට ඉහතදී වගේ වැටක් බැඳීමේ හාස්‍ය ජනක දේ නැවතත් කරන එකක් නැතැයි සිතනවා.
ගසක් උස මැනීමට ඒ ගස කපා බිම හෙලූ සිද්ධිය නම් මීට කලින් අසා නැහැ. ඒ කාලය වන විටත් ප්‍රචලිතව තිබුණු මූලික ත්‍රිකෝණමිතික න්‍යායයන් ආශ්‍රීතව ගසක උස ලබාගත හැකි බව ඔවුන් නොදැන සිටියාවත්ද?
මා ටික කලක් රජයේ අධ්‍යාපන කටයුත්තක් සඳහා ගොස් සිටි සීෂෙල්ස් දූපත් වල්දී, ඔය වගේම සිද්ධියකට මුහුණ දුන්නා. ඝර්මකලාපීය රටක් වන එහි, කෙසෙල් ඉතා හොඳින් වැවෙනවා. ඒ උනත් එහේ මිනිස්සු ඇපල්, මිදි වාගේ පලතුරු මිස කෙසෙල්ගෙඩි කන්නේ නැති තරම්. මා සිටි නිවස තිබුණු ඉඩමේ, ඉතා හොඳින් වැඩි තිබුණු ඇඹුල් කෙසෙල් ගසක ලොකු කැනක් සෑදී තිබුණා. එක් දිනක් වත්ත පිරිසිදු කිරීමට පැමිණි එරට සේවකයෙකුට, මා කිව්වා කෙසෙල් කැනේ, කෙසෙල් මුව අප ආහාරයට ගන්නා නිසා, එය කඩා දෙන්නට කියා. ඔහු එක්වරටම useless tree කියා කෙසෙල් ගස කපා බිම හෙලා, කෙසල් මුවය මට කඩා දුන්නා. ඔහු කළ දේ ගැන මා පුදුම වූ බව දුටු විට ඔහු කීවේ, ඔවුන් ඉදුණු කෙසෙල් දෙන්නේ ඌරන්ට පමණක් බවයි. අධිරාජ්‍ය වාදීන්ගේ අණසකට යටත් වී සිටි ඔවුන්ට ඒ වගේ බොරු ආඩම්බරයක් තිබෙනවා.
සෑම් මහත්තයගෙ කොමෙන්ට් එකෙනුත් දයා මහත්තයගෙ පිළිතුරෙනුත් පෝස්ට් එකට අමතරව තවත් කරණු දැනගන්න පුලුවන් උනා.
Deleteබලාගෙන යනකොට ගහ බිම දාල උස මනින මහදැන මුත්තලගෙ පරම්පරාවෙ කට්ටිය එහෙත් ඉඳල තියෙනව.
අප අසා තිබෙන මහදැනමුත්තලා නම් මනඃල්පිත ලෝකයක ජීවත්වූ හාස්‍ය ජනක සිද්ධි මගින් මිනිසාට රස විඳීමට යමක් දායාද කළ අයනේ. ඒ උනාට 'ගහ බිම දාල උස මනින' සහ 'හාවන්ගේ ආක්‍රමණය වැලැක්වීමට වැටක් බැඳීම' වැනි දේවල් නම් සත්‍ය වශයෙන්ම සිදුවූ දේවල් වගෙයි.
DeleteThis comment has been removed by the author.
Deleteඔස්ට්‍රේලියාවට හාවෝ, නරි එහෙම පිටින් ගෙනත් මහා වසංගතයක් වෙලා තියෙනවා කියලා දැනගෙන හිටියට පූසෝත් ඒ ගොඩටම වැටෙනවා කියලා දැනගෙන හිටියේ නැහැ.
ReplyDelete1859 එංගලන්තේ ඉඳන් වික්ටෝරියා ප්‍රාන්තයට පදිංචියට ආව තෝමස් ඔස්ටින් කියලා කෙනෙක් තමයි ලු මුලින්ම මෙහෙට ඔය හාවෝ 24 දෙනා ගෙනත් තියෙන්නේ. "The introduction of a few rabbits could do little harm and might provide a touch of home, in addition to a spot of hunting" කියලාලු එයා හිතුවේ. අන්තිමට මිනිහා ශතවර්ෂ කීපෙකට ඉතුරුවෙන ප්‍රශ්නයක් ඉතුරු කළා!
'බළල් ඇඳිරි නීතිය' අලුත්ම දහසක්. වල් වැදුණු බළලුන් මිලියන පහක් සිටීම සිතන්නටවත් බැරි තරම්. දහවල් කාලයට කැලෑවේ සැඟවී සිට දඩයම් කරන්නේ රාත්‍රි කාලයට. මග තොටේදී කැන්ගරුවෙක් දැක්කත්, කිසි දිනක බළලෙකු දැක නැහැ.
ReplyDeleteමං මේ ගැන මාධ්‍යයෙන් දැක්කා . ඔබ හොඳ විස්තරයක් දීල තියෙනවා.අපි ඉගෙන ගත් කයිබාබ් වනාන්තරය මතක් වුණා. මෙහෙත් ගේ කුරුල්ලන් අඩුවෙන්න බළලුන් හේතු වියහැකි බවට අදහස් පළ වෙනවා. මෙහේ වීදි සුනඛයොත් වැඩියි. මිනිස්සු වඳ සැත්කම් කරන්නේ නැහැ. තමාට ඒ කර්ම ඉදිරි ආත්ම වල පළ දෙයි කියල. හැබැයි බල්ලෝ පුසෝ පැටව් දැම්මම වීදි වලට,පන්සල් අසලට දැමීම පවක් කියල හිතන්නේ නැහැ.
ReplyDeleteස්තුතියි මාලිනි,
ReplyDeleteඒ කාලයේ සේවාස්ථ පුහුණු කටයුතු වලදී ජෛව විවිධත්වය ගැන විස්තර කරන විට කයිබාබ් වනාන්තරය ගැන සඳහන් කළා මටත් මතක් උනා. විශාල අධ්‍යයනයන් කර නොතිබුනාට ඕස්ට්‍රේලියාවෙත් විවිධ දේශගුණික ප්‍රදේශ වල මේ රටටම ආවේණික ජෛව විවිධත්වයන් තිබෙනවා. ඒවා ගැන විධිමත් අධ්‍යයනයන් දැන් කරගෙන යන බව පෙනෙනවා. අපේ ගේ කුරුල්ලන් ගහණය අඩු වීමට කෘමි නාශක භාවිතය, විවිධ හේතු නිසා බිත්තර කටුව තුනී වීම වැනි සාධකත් බලපානවා.
මට හිතෙන හැටියට නම් බල්ලන්ට සහ බළලුන්ට සුදුසු කාලයේදී වඳ සැත්කම් කිරීම පිනක්. දඩාවතේ යන සතුන්ගේ පැටවුන් විඳින අපමණ දුක දකින විට එසේ කිරීම යහපත් බව තීරණය කළ හැකියි.