අපි පාසැල් පොත් VPP මගින් ගෙන්වා ගතිමු.....
අප කුඩා කාලයේ තිබුණ ඉතාමත් වැඩදායී තැපැල් ක්‍රමයක්
පිලිබඳ සටහනකි මෙය.
දැනට දශක හයකට හතකට පමණ ඉහතදී ගම්බද පලාත්වල
තැපැල් කාර්යාල තිබුණේ ඉතාමත් කලාතුරකින් උප නගර වල පමණකි. එකල ගැමියා ලියුම්
ගනුදෙනු කරගත්තේද කලාතුරකිනි. ඒ කාලයේ මගේ
පියා කෘෂිකාර්මික සහ වැවිලි කටයුතු වල නිරතව සිටි නිසා, පේරාදෙණියේ කෘෂිකර්ම
දෙපාර්තමේන්තුව විසින් මාසික ප්‍රකාශණයක් ලෙස නිකුත් කරනු ලැබූ ‘ගොවිකම් සඟරාව’ තැපෑලෙන් ගෙන්වා ගත්තේය. එම
දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන විවිධ අත් පත්‍රිකා ද අපට නිතර තැපෑලෙන් ලැබුණි.
අපට තැපැලෙන් ලැබෙන ලිය කියවිලි ගෙදරටම ගෙනවිත් දෙන ‘පියුන් මාමා’ අපේ හිතවතෙකු
විය. ඔහු වැඩ කරන තැපැල් කාර්යාලය පිහිටා තිබුණේ අපගේ ගෙදර සිට සැතපුම් පහක් පමණ
දුරින්ය. ඔහු ලියුම් බෙදීම කළේ බයිසිකලයකිනි.
පස්වන ශ්‍රේණියේ සිටි මම, ශිෂ්‍යත්ව විභාගයෙන්
සමත් වී ප්‍රදේශයේ මධ්‍ය විද්‍යාලයයට තේරී සිටියෙමි. නව වර්ෂයට විද්‍යාලයය පටන්
ගැනීමට සති කිහිපයකට කලින් (නිවාඩු කාලයේ) අප නවකයින් සියලු දෙනාම විදුහලට ඇතුලත්
කර , සියලු උපදෙස් ලබාදී අලුත් පන්තිය සඳහා පොත් ලැයිස්තුව සහ අවශ්‍ය අනිකුත්
උපකරණ ලේඛනයක් ලැබුණි. අවශ්‍ය නිල ඇඳුම් සකස් කර ගැනීම සඳහාත් පොත්පත් සපයා ගැනීම
සඳහාත් අපට සති දෙකක පමණ කාලයක් තිබිණ.
ඊට දින දෙකකට පසුව ‘පියුන් මාමා’ හමු වූ වේලේ, මම
මගේ අලුත් පාසල සහ පොත් පත් ආදිය ගැන ඔහුට කීවෙමි.
මෙම විස්තරය ඇසු ඔහු, පන්තියට අවශ්‍ය සියලුම දේවල් කොළඹ ගුණසේන පොත්
සාප්පුවෙන්, වී.පී.පී තැපෑලෙන් ගෙදරටම ගෙන්වා ගතහැකි අලුත් ක්‍රමයක් තිබෙන බව මට
කිවේය.
මා, මේ බව පියාට කී විට, පියාද ඒ බව දැනුවත් වී
සිටින බවත්, ඒ ක්‍රමයට පොත් පත් ගෙන්වා ගැනීම පිළිබඳව සිතා සිටින බව සහ පසුවදාම ඒ සඳහා ලිපියක් යවන බවත් කිවේය.
වී.පී.පී තැපෑල ගැන කිසිම දැනුමක් නොතිබුණු මට
සැතපුම් පනහක් හැටක් ඈත කොළඹ සිට තැපෑලෙන් පොත් මිටියක් ලැබෙන සැටි සහ එයට ගෙවීම්
කරන ක්‍රමවේදය මහත් ප්‍රහේලිකාවක් විය. ඒ සතියේ සෙනසුරදා ‘පියුන් මාමා’ හමුවූ විට
මේ ගැන ඔහුගෙන් විස්තර අසා දැන ගතිමි. ඔහුගේ විස්තරය මෙසේය.
‘කොළඹ ගුණසේන පොත් සාප්පුව සහ තවත් එවැනි ආයතන
කිහිපයක්ම, තැපැල් දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර, පොත් පත් ඇතුළු වෙනත් භාණ්ඩ වෙළඳාම්
කිරීමේ වී.පී.පී නම් මේ අලුත් ක්‍රමය ගැන,
ලඟදි ගිවිසුමකට ඇවිත් තිබෙනවා.’
ඔහු කී කරුණ මට එතරම් පැහැදිලි නොවුවත් මම ඔහුට
ඇහුම් කන් දුන්නෙමි.
‘පුතාගේ පොත් ලැයිස්තුව, ආවරණ ලිපියකුත් සමග
ගුණසේන සාප්පුවට යැවූ විට, ඒ අය නියමිත ආකාරයට පොත් පාර්සලය සකස් කර, බිල්පත සහ
තැපැල් ගාස්තුව වැනි කරුණු අඩංගු විස්තරයක් සහිතව පාර්සලය අපේ තැපැල් කාර්යාලයට
එවනවා. පොත් පාර්සලය සමග එවන මේ ලියවිල්ලට කියන්නේ වවුචරය කියලා.’
වවුචරය යනු ඉංග්‍රීසි භාෂාවෙන් සකස්වූ වචනයක් බව
මම වටහා ගත්තෙමි.
‘මෙම තොරතුරු ලැබුණ විට, අපේ පෝස්ට් මාස්ටර්,
පුතාගේ තාත්තාට මේ බව පෝස්ට් කාඩ් එකකින් දන්වනවා. ගෙවිය යුතු මුදලත් එහි සඳහන්
කරනවා.’
‘පොත්වල මිල, තැපැල් ගාස්තුව වැනි වියදම් වල
එකතුව තැපැල් කාර්යාලයට ගෙවූ විට, පාර්සලය අයිති කරුට දෙනවා.’
‘ඒ මුදල් ගුණසේන සාප්පුවට යවන්නේ කොහොමද?’ මම
විමසිලිමත් වීමි.
‘හා..... හොඳ ප්‍රශ්නයක්!’ කී ඔහු
‘තැපැල් කාර්යාලයේ ඒකටත් පහසු වැඩ පිළිවෙලක්
තිබෙනවා. අපි මුදල ලබාගෙන, මුදල් ලබාගත් බවට,
අයිති කරුට කුවිතාන්සියක් දෙනවා. ඊට පසු එම මුදල මනි ඕඩරයක් මගින් ගුණසේන
සාප්පුවට යවනවා.’
‘ඉතින්, ගුණසේන සාප්පුවට මනි ඕඩරයෙන් මුදල්
ලැබෙන්නේ කොහොමද?’ මම ඇසීමි.
‘අපේ කාර්යාලයෙන් යවන මනි ඔඩරයේ කොපියක් කොළඹ මහ
තැපැල් කාර්යාලයටත් යවනවා. ගුණසේන සාප්පුවේ මුදල් භාර කරුට එහි ගොස්, තමන්ගේ පිටපත
පෙන්වා මුදල් ලබාගත හැකියි. එහෙම නැත්නම් සාප්පුවේ බැංකු ගිණුමකට මුදල් යැවිය
හැකියි.’
‘කොහොමත් අවශ්‍ය පොත්පත් ඉල්ලා ගුණසේන සාප්පුවට
ලියුමක් යවලා සුමාන තුනක් විතර යනකොට පොත් පාර්සලය ලැබේවි.’
මම ‘පියුන් මාමා’ට ස්තුති කලෙමි.
මම ඊළඟ සති දෙක ගත කළේ අලුත් පොත් සහ අනිකුත්
ලිපිද්‍රව්‍ය ගුණසේන සාප්පුවෙන් ලැබෙන තුරු නොඉවසිල්ලෙනි.
සති දෙකකදී පමණ බලාපොරොත්තු වූ තැපැල් පත, තැපැල් කාර්යාලයෙන් ලැබිණ.
තාත්තා එය රැගෙන තැපැල් කාර්යාලයට ගොස් පොත්
පාර්සලය ගෙන ආවේය. එදින මට මහත් ප්‍රීතිමත්
දිනයක් විය. පොත් පාර්සලය දුටු විටම මට මහත් සතුටක් ඇතිවිය.
පාර්සලයේ මතුපිට රුපියල් දහයක පමණ වටිනාකම සඳහා
මුද්දර රාශියක් අලවා තිබිණ. පොත් පාර්සලය දුඹුරු පැහැති කඩදාසියකින් ඔතා, රත්රන්
පැහැති ඝන නුලකින් බැඳ, ගැට වලට ලාකඩ සීල්ද තබා තිබිණ. හය වන පන්තිය සඳහා මගේ
සියලුම පොත් සහ මල්ලිලාගේ පහල පන්ති වල සියලුම පොත්ද පාර්සලයේ විය.
පාර්සලයේ පොත් වලට අමතරව පැන්සල්, අඩිකෝදු, මකන කෑලි, කවකටු
පෙට්ටිය, දිය සායම් පෙට්ටිය, කාල සටහන් ආකෘති
ආදී සියලුම අවශ්‍ය දේ එහි විය. මේ
සියල්ලටම අමතරව පොත්වලට පිටකවර දැමීම සඳහා ‘බ්‍රව්න් පේපර්’ දුසිමක්ද විය.
මේ සියල්ල දැක මට නිම් හිම් නැති ප්‍රීතියක්
ඇතිවිය. එදින මට බඩගින්න වත් නොදැනුණි. අලුත්ම පොත් වලින් නැගෙන නැවුම් සුවඳ මට
ඉතාමත් ප්‍රියජනක ආශ්වාදයක් විය.
ඊළඟ සඳුදා, මා පාසලට ගියේ මහත් ආඩම්බරයකිනි.
පන්තියේ සිටින අලුත් මිතුරන්ට මගේ පොත් කොළඹ ගුණසේන පොත් සාප්පුවෙන්, වී.පී.පී
තැපෑලෙන් ගෙදරටම ගෙන්වා ගත් ආකාරය විස්තර කරන තුරු මට ඉවසිල්ලක් නොවීය. මගේ
විස්තරය අසා ඔව්හු බොහෝ දෙනෙක් පුදුමයට පත්වූහ.
-------------------------------------------------------
අද වනවිට භාවිතයෙන් අත්හැර දමා තිබෙන, වී.පී.පී
තැපෑල පිළිබඳවද යමක් සටහන් කිරීම යෝග්‍ය යයි සිතේ. වී.පී.පී (V.P.P) යනු ඉංග්‍රීසියෙන් ‘value payable post’ යන පාඨයේ උධෘතයයි. එහි ‘value’ යනුවෙන්
හැඳින්වෙනුයේ පාර්සලයේ අඩංගු භාණ්ඩ වල මිලෙහි එකතුව, තැපැල් ගාස්තුව සහ
වෙනත් වියදම් යන සියල්ලයි. මෙයින් තැපැල් දෙපාර්තමේන්තුවට ලැබෙනුයේ, පාර්සලය තැපැල්
කාර්යාලයේ සුරක්ෂිතව තබා නියමිත අයිති කරුට භාරදීම සඳහා අය කරනු ලබන සුළු මුදල
පමණකි, අද මෙන් තාක්ෂණික, සන්නිවේදන සහ ප්‍රවාහණ
කටයුතු නොදියුණු භාවයක පැවති ඒ කාලයේ
වී.පී.පී තැපෑල මහජනතාවට මහත් ප්‍රයෝජනවත් තැපැල් ක්‍රමවේදයක්ම විය.
සමහරවිට, අද පවත්නා ‘කුරියර් සේවය’ (courier
services), ඊ-බේ (‘e-bay) වැනි ඉතාමත් ආකර්ශණිය භාණ්ඩ සැපයීමේ සහ ප්‍රවාහනය කිරීමේ
සේවාවන් නිසා වී.පී.පී ක්‍රමවේදය භාවිතයෙන් ගිලිහී යන්නට ඇත. කෙසේ වෙතත්
මෙවැනි නව ක්‍රමෝපායයන් පැරණි වී.පී.පී
සේවයෙන් ව්‍යුත්පන්න වූ නව භාවිත ලෙස
සැලකිය හැකිය. එසේ වුවත් ඒවායේ ආරම්භය, දශක හත අටකට ඉහතදී තිබුණු වී.පී.පී (V.P.P) සේවය බව බොහෝ අය නොදනිති.
පොතක වටිනකමනම් බොහොමයක් ඇතී
ReplyDeleteපෙරක දි දැණුම ලබනට වෙහෙසුමක් ගතී
රටක තැපැල් සේවය වටිනවා ඇතී
මතක ලිව්ව මින් දැණුමක් මටත් ඇතී.....
ජයවේවා!!!
ස්තුතියි දුමී,
Deleteපොත පතක් ගන්නට
නගරය වෙතට යන්නට
දුර බැහැර සිටි අයට
ගැලපුණි මෙයත් කදිමට
ඔබට ජයම !
ගම්වල ඉන්න ජනතාවට සැපයිච්ච අගනා සේවාවක් තමයි මේක.
ReplyDeleteදැන්නං බැංකුවට සල්ලි දාල ෆැක්ස් එක දැම්මම අදාල ආයතනයෙන් බඩුව කුරියර් කරල එවනව. ඒකෙදිත් කුරියර් ආයතනයේ මුදල ලබාගන්නෙ භාණ්ඩය ලබාගන්නා එක්කෙනාගෙන්.
ස්තුතියි ප්‍රසන්න,
Deleteඒ කාලයේ ගම්වල සිටි අපට පොතක් පතක් මිලදී ගැනීමට පොත් සාප්පු තිබුණේ කොළඹ හෝ අනිකුත් ප්‍රධාන නගර වල පමණයි. වි.පී.පී ක්‍රමය නිසා අපටත් අලුත්ම පොත් පහසුවෙන් කිට්ටුවම තිබුණු තැපැල් කාර්යාලයට ගෙන්වා ගැනීමට හැකි උනා.
ඒකාලේ පුවත්පත් දැන්වීම් වල වී.පී.පී මඟින් එවනි ලැබේ කියල තියෙනව මතකයි. ඊට පස්සෙනෙ ජේ වී පී ආවෙ. :)
ReplyDeleteස්තුතියි ඉයන්,
Deleteඔය වී.පී.පී ක්‍රමයෙන් නාසානන්දය වගේ තෙල් බෙහෙත්, කුෂ්මාන්ඩ රසායනය වගේ විවිධ අසනීප වලට ප්‍රත්‍යක්ෂ බව කියන සකස් කළ බෙහෙත් වර්ගත් නිතරම පත්‍රයේ දැන්වීම් වල තිබුණා මතකයි.
වී.පී.පී, ජේ වී පී ඊළඟට වී.අයි.පී
Deleteවී.අයි.පී නම් දැන් හරි සුලභයි නේද?
Deleteපළාත් සභා ආවට පස්සේ දේශපාලන මට්ටමේ සහ නිලධාරි මට්ටමේ වී.අයි.පී ළා වැහි වැහැලා.
මගේ සහෝදරයෙක් පත්තරේ තිබුණු දැන්වීමක් අනුව බැටරි නැතුව වැඩකරන රේඩියෝවක් ගෙන්වා ගත්ත වීපීපී කරලා, ලැබුනේ සුරුට්ටුපෙට්ටියක් වගේ පුංච් පෙට්ටියක්,එකෙන් වයර් කෑලි හතරක් එලියට තිබුනා. උපදෙස් පත්‍රිකාවේ තිබුනේ කෙටි වයර් දෙක හෙඩ්ෆෝන් එකකටත් දිග වයර් දෙකින් එකක් අඩි 100ක් දිග කම්බියකට සවිකර උස ගසක රඳවා අනෙක බිම්ගත කරන්නය කියා, කාලයක් උත්සහ කරලත් හෙඩ්ෆෝන් එකක් හොයාගන්න බැරිවුනා නිසා පෙට්ටිය ඇරලා බැලුවම, කාඩ්බෝඩ් කැල්ලක් ඔතපු කොඉල් කම්බි රවුම් කීපයක් සහ ඩයොඩ් එකක් සම්බන්ද කරලා තනු ලෝකයේ සරලම රේඩියෝව එහි තිබුනා :). වීපීපී මගින් ගෙන්වාගත හැකි, බෙහෙත් තෙල් වර්ග, වශී ගුරුකම්, වගේ වංචාවල් වගේම කුමාරසිංහ රේඩියෝ ආයතනයෙන් පවත්වාගෙන ගිය තැපැල් මාර්ගික පාඩම්/ උපකරණ කට්ටල ගැන දැන්වීම් පත්තරේ තිබුනා මතකයි.
ReplyDeleteස්තුතියි ඇණ මල්ලි,
Deleteවී.පී.පී එකෙන් විශාල සේවයක් සිදුවූ අවස්ථාවක් මට මතක් වෙනවා. මේ 1980 ගණන් වලදී. අපොස සාමාන්‍ය පෙළ විෂයය නිර්දේශයට electronics ඇතලත් කළ විට රටේ ආන්දෝලනයක් ඇතිඋනා, ඒ කොටස ඉගැන්වීමට විද්‍යා ගුරුවරු පුහුණුවක් ලබා නැත කියා. මේ නිසා ඒ කාලයේ විද්‍යා අධ්‍යාපන නිලධාරින්වූ අපට පැවරුවා මාස තුනක් ඇතුලතදී සියලුම විද්‍යා ගුරුවරුන්ට අවශ්‍ය පුහුණුව ලබාදීමට. මෙය අපට මහත් අභියෝගයක් වූවා. අපගේ සහෝදර නිලධාරියෙක් අවශ්‍ය උපාංග සියල්ලම සහිත සරල කට්ටලයක් සකස් කළා. නිෂ්පාදන වියදම පමණක් ගෙන මේ කට්ටලය වී.පී.පී තැපෑලෙන් අවශ්‍ය අයට යැව්වා. මේ කට්ටලය හරිම ජනප්‍රිය උනා. අයිතිකරු patent එකකුත් ලබාගත්තා. අද ඔහු ඉතා සාර්ථක electronic උපාංග නිෂ්පාදක ව්‍යාපාරිකයෙක්