Saturday, 5 August 2017

රසවත් සාහිත්‍ය පාඩමේදි තරමක සීමාවක් ........


  මෙය, මා ජේෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය සඳහා ඉගෙනුම ලබන කාලයේ සිද්ධියකි. (ඒ කාලයේ අපොස සාමාන්‍ය පෙළ වෙනුවට තිබුණේ S.S.C යනුවෙන් නම් කර තිබුණු මෙම විභාගයයි). මේ 1957 වසරයි. දෙසැම්බර් මාසයේ පැවැත්වෙන විභාගයට තව මාසයකට වඩා නැත. හැම විෂයයකම පුනරීක්ෂණ වැඩ කරනුයේ මේ කාලයේය. අප සිංහල සාහිත්‍යය ඉගෙන ගත්තේ එකල රටෙහි ප්‍රකටව සිටි ගරුතර භික්ෂූන් වහන්සේ නමකගෙන්ය. උන්වහන්සේ, ශ්‍රී ලංකාවේ රජයේ විදුහලක ගුරු පත්වීමක් ලැබූ පළමු භික්ෂූන් වහන්සේදවුහ.මේ මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මධ්‍ය විද්‍යාලයයි.

ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මැතිතුමා විසින් නිදහස් අධ්‍යාපන පනත මගින් ආරම්භ කළ මුල්ම මධ්‍ය විද්‍යාල කිහිපයෙන් ප්‍රධානතම එක වූයේ මතුගම, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මධ්‍ය විද්‍යාලයයි. මතුගම එතුමාගේ පාර්ලිමේන්තු ආසනයද විය. ඒ කාලයේ මෙම විද්‍යාලයට ඉතාමත් ප්‍රවීණ ගුරුවරු පත්කර එවීමද එතුමා සිරිතක් වශයෙන් කළේය. අපට සිංහල සාහිත්‍යය ඉගැන්වූ ස්වාමීන් වහන්සේද එවැනි ප්‍රවීණ භික්ෂූන් වහන්සේ නමකි.

උන්වහන්සේගේ දක්ෂ ඉගැන්වීම නිසාම, සිංහල සාහිත්‍යය අපට ඉතාමත් ප්‍රිය ජනක විෂයයක් විය. හංස සංදේශය,  දෛව යෝගය සහ එළු අත්තනගලු වංශය අපට සිංහල සාහිත්‍යය සඳහා නිර්දේශිත පොත් විය. සාහිත්‍ය රසාස්වාදනයේදී මෙම පොත්වලට අමතරව තවත් විවිධ පොත් පත් වලින් කරුණු ගෙන හැර දක්වා රසබර තොරතුරු රාශියක් අපට ලබාදීමට උන්වහන්සේ සමත් වුහ.

අපේ පන්තියේ සිටි සියලු දෙනාම, පහේ ශිෂ්‍යත්වධාරීන්ය. මේ නිසා සියල්ලෝම එක වගේ දක්ෂයින් වුහ. පන්තියේ සිටි ධර්මේ, සාහිත්‍ය විෂයයේ අති දක්ෂයෙක් විය. නිර්දේශිත සාහිත්‍ය පොත්වල ඇති ඕනෑම පාඨයක සම්බන්ධය දැක්වීමට, ඔහුට හැකියාවක් තිබිණ. අපට වසර අවසානයේදී, ස්වාමීන් වහන්සේ විසින් සාහිත්‍ය පුනරීක්ෂණ පැවරුම් ලෙස මාතෘකා රාශියක් වෙන්කරදී ලබාගත් තොරතුරු, ඊට සතියකට පසු, තර්කානුකුලව පන්තියට ඉදිරිපත් කරණ ලෙස නියම කරන ලදී. ධර්මේට ලැබුණේ හංස සංදේශයේ දියකෙළි වැනුමයි.
නියමිත දිනයේදී, පළමුවෙනි සහ දෙවෙනි ඉදිරිපත් කිරීම් වලට පසුව  තුන්වෙනුවට ඉදිරිපත් කිරීම ලැබුනේ ධර්මේටය. පන්තිය ඉදිරියට පැමිණි ඔහු දියකෙළි වැනුමෙහි එන කවි කිහිපයක් තාලයට ඉදිරිපත් කළේ ,

“මසෙක් ගොදුරු පතා...... මෙවුලේ මිණි  ගතා ..........නිල් සෙවලැයි සිතා........ සරල් වරල් ගතා .........”      ආදී කවි පන්තියයි.

එසේ කවි ඉදිරිපත් කළ ඔහු, ස්වාමීන් වහන්සේගේ මුහුණ දෙස බලාගෙන සිටියේය.

‘මොකද ධර්මයෝ! .... තාලයට කවි කියවලා නිශ්ශබ්ද උනේ?  කෝ විවේචන?’ ස්වාමීන් වහන්සේ ඇසුහ.

‘මට දියකෙළි වැනුමේ පොඩි ගැටළුවක් තියෙනවා හාමුදුරුවනේ !’ධර්මේ කීවේය.

‘කියනවකො බලන්න අපී හරියට තේරුම් ගන්නට බලමු’ පැවසූ ස්වාමීන් වහන්සේ හරිබරි ගැසී පුටුවෙහි හිඳ ගත්හ.

තරමක් අදි මදි කළ ධර්මේ පන්තියේ වටපිට බලා ඇඹරෙන්නට විය. මෙය කාගේත් සිනහවට කරුණක් විය. එවිට ස්වාමීන් වහන්සේ,

‘මොනවද මිනිහෝ පන්තියේ කියන්නට බැරි දෙයක් ඕකේ නැහැනේ. නොතේරෙන දේ කියනවා බලන්න.’

‘හාමුදුරුවනේ අර තුන්වෙනි කවියේ, විස්තර කරලා තියෙන මිණි මෙවුළ ගැන’ ඔහු නොතේරුන දේ කීවේය.

‘මොකක්ද මිණි මෙවුළ කියන්නේ?. ‘මණි මේඛළාව’ ඒ කාලේ කාන්තාවන්ගේ ඉනේ බඳින  පළඳනාවක්. ‘මණි’ කියන්නේ ‘මැණික්’,  ‘මේඛළාව කියන්නේ බඳ පටිය වගේ රනින් කළ එකක්’ ඉතින් මොකක්ද ඕකේ තියෙන ගැටලුව?’

‘නැහැ හාමුදුරුවනේ, මට නොතේරෙන්නේ  ඔය පළඳනාව අඳින්නේ ඇඳුම් වලට උඩින්ද යටින්ද කියන එකයි.’

පන්තියේ පොඩි කසු කුසුවක්ද ඇසුනි.

මඳක් කල්පනා කළ ස්වාමීන් වහන්සේ ‘ ඇයි මිනිහෝ! මැණිකක් ඇල්ලු රත්තරන් පටියක් ඇඳුමට උඩින් මිසක් යටින් අඳින මෝඩයොත් ඉන්නවද?’

ස්වාමීන් වහන්සේගේ පිළිතුරෙන් සෑහීමට පත් නොවූ ධර්මේ,

‘එහෙනම් හාමුදුරුවනේ ඔය කාන්තාවෝ දිය නාන්නේ වටිනා ඇඳුම් පිටින්මද? කොහොමත් මැණික් අලල්පු රත්තරන් පටියක් දාන්නේ ඒවගේ වටිනා ඇඳුම් ඇඳලානේ ඒවාට පිටින්නේ ?  කියා කීවේය.

පන්තියේ ‘කිචි, බිචිය’  සහ නොසන්සුන් කම තරමක් වැඩිවිය.

‘එහෙනම් ඔය මණි මේඛලාව නාන ඇඳුමක් වෙන්නට ඇති. නේද හාමුදුරුවනේ?’ ධර්මේ නැවත ඇසීය.

‘මම දන්න මළ ඉලවු නාන ඇඳුමක් නැහැ. සාහිත්‍ය රස විඳින්න ඔය කවි පෙළේ තාලය, ශබ්ද රසය, ශෘංගාරය වගේ දේවල් හොඳටම ඇති. ඕක ඔතනින් නවත්වමු’

ස්වාමීන් වහන්සේ  තරමක් උස් හඬින් කියා ඊළඟ ශිෂ්‍යයා කැඳවීය.

කවි පෙළෙහි තව දුරට ගියානම් තව නොයෙක් අදහස් උදහස් මතු වන්නට ඉඩ තිබෙන බව ස්වාමීන් වහන්සේ තේරුම් ගන්නට ඇත.

එදින විවේක වෙලාවේ ස්වාමීන් වහන්සේ පන්ති නායකයා වු, මා  සහ ධර්මේ උන්වහන්සේගේ කාමරයට කැඳවූහ.

අපී එකත් පස්ව සිටියෙමු. ස්වාමීන් වහන්සේ මහ හඬින් සිනාසී....

‘පන්තියේදී මොන දෙය උනත් සීමාවකට කතා කරන්න ඕනෑ. පන්තියේ කෙල්ලෝ නොසිටියානම් මම උඹලට ගෑණු නාන හැටි හොඳට කියලා දෙනවා.’ කීහ.

අපී තරමක් අපහසුතාවයකින් සිටින බව දැනගත් ස්වාමීන් වහන්සේ

‘දිය කෙළි කෙළින්නේ  ඇඳුම් නැතුව වෙන්න ඇති’ යයි අපට කීවෝය.

‘සමාවෙන්න හාමුදුරුවනේ’ යයි ධර්මේ කීවිට

‘ඔහොම තමයි තීක්ෂණ බුද්ධියකින් යුතුව කටයුතු කරන එක හොඳයි. ඒ උනත් තැන නොතැන බලා ප්‍රවේශමෙන් කටයුතු  කිරීමත් ඉතාම වැදගත්.’

යයි ධර්මානුකුල අවවාදයක් දුන් ස්වාමීන් වහන්සේ ධර්මේගේ හිස අත ගෑහ.

-----------------------------------

සිංහල විෂයයක් සහිතව කළා උපාධියක් සහ පශ්චාත් උපාධි කිහිපයක් ලබාගත් මගේ පාසැල් මිතුරු ධර්මේ, වසර ගණනාවක් විදේශ සේවයේ යෙදී රටවල් රාශියක  රාජකාරි කර, මෑතදී පරලෝ සැපත් විය.   


  

20 comments:

  1. හැක්.. ගෑණු ළමයි ඉන්න තැන ඔහොම ප්‍රශ්න විග්‍රහ කරන්න ගියාම කවුරු උනත් කොර වෙනව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      අපේ හාමුදුරුවෝ ළමයින්ට හරිම ආදරෙයි. ඒ උනාට හරිම නීති ගරුකයි. වැරදි වලට හිටි ගමන් හොඳ ටොක්කක් අනිනවා. මම හිතන්නේ ඔය දියකෙළි වැනුම් වල තිබෙන විස්තර හුඟක් ගුරුවරු මග හරිනවා.

      Delete
  2. එකල සාහිත පොත පතේ ඇති කවි ටිකම මතකයක රැඳුණේ
    සිහල පදවල රැදී හැමදෙන කරයි කවියෙන් පෙනෙන වරුණේ
    ඉහළ දැණුමක් තියෙන ධර්මෙගෙ කලා හැකියා හොඳට තිබුණේ
    සිහල බස පද ළෝකයේ ඇති මිහිරි මී පැණි ලෙසට සිතුණේ....


    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමි,
      හොඳ ම මැදි විදුහලකි එය රට තොටෙහි කවදත් නම දැරු
      ක දි ම තැන සිප් සතර ලැබුමට ඇසුරෙ හිඳ හොඳ ගුරුවරු
      එහෙ ම කාලෙක සිටිය ලබමින් සැමගෙ ආදරයත් ගරු
      සැවොම සිහියට නගති අදටත් එවැනි ගුණ ඇති හිමිවරු

      ඔබට් ජය!

      Delete
  3. මේ ධර්මෙගේ සම්පූර්ණ නම ඇහුවොත් අකමැතිද?

    ReplyDelete
    Replies
    1. හැලප මල්ලි,
      ධර්මසේන අතුකෝරල. වැඩිය දන්නේ A D කියල.

      Delete
    2. Thanks,දැන් දන්නවා.

      Delete
  4. ඒ දිනවල එස් එස් සී පන්ති විද්‍යා වාණිජ කලා විෂයය ධාරාවන්ට බෙදා තිබුණේ නැද්ද අටේ පන්තියේ විභාගෙන්?
    ඔබ විද්‍යාව නම් ඉගෙන ගත්තේ සිංහල භාෂාව නේද අනිවාර්ය විෂයය?
    සිංහල සාහිත්‍යය කියන්නේ කලා ධාරාවේ විෂයයක් නේද?
    ඔය කියන දිනවල ම එස් එස් සී විභාගය කළ මගේ අම්මා කියූ කරුණු අනුව මා සිතා සිටියේ එලෙසයි.
    කරුණාකර පහදා දෙන්න.

    ReplyDelete
  5. ඒ දිනවල එස් එස් සී පන්ති විද්‍යා වාණිජ කලා විෂයය ධාරාවන්ට බෙදා තිබුණේ නැද්ද අටේ පන්තියේ විභාගෙන්?
    ඔබ විද්‍යාව නම් ඉගෙන ගත්තේ සිංහල භාෂාව නේද අනිවාර්ය විෂයය?
    සිංහල සාහිත්‍යය කියන්නේ කලා ධාරාවේ විෂයයක් නේද?
    ඔය කියන දිනවල ම එස් එස් සී විභාගය කළ මගේ අම්මා කියූ කරුණු අනුව මා සිතා සිටියේ එලෙසයි.
    කරුණාකර පහදා දෙන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික,
      ඒ කාලයේ දැන් වගේ විද්‍යා, කළා, වාණිජ කියා බෙදා තිබුණා. විද්‍යාවට භෞතික, රසායන, උද්භිද සහ සත්ත්ව යන හතරම තිබුණා. ගණිතය සඳහා ගණිතයට වීවහාරික ගණිතය සහ උසස් ගණිතකුත් තිබුණා. විෂයය ඔනීම අටක්වි තෝරා ගන්නට පුළුවන්. අපී සත්ත්ව විද්‍යාව වෙනුවට් කලේ සිංහල සාහිත්‍යය.

      Delete
    2. ඒ කාලයේ අනිවාර්ය සිංහල, ගණිතය, ඉංග්‍රීසි සහ බුද්ධාගම් පමණයි. කලා විෂයයන් කරන අයට ගණිතය වෙනුවට් අංක ගනිතය තිබුණා. වාණිජ කරන අයට වාණිජ අංක ගණිතය කියා විෂයයක් තිබුණ. ඉතිරි විෂයය හතර තෝරා ගැනීම සඳහා තව විෂයයන් පණහක විතර ලැයිස්තුවකුත් තිබුණා.

      Delete
  6. Replies
    1. ස්තුතියි ඉයන්.

      Delete
  7. මම තාම කවියේ තේරුම කල්පනා කරනවා :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිසර,
      ඇත්තටම කල්පනා කර බැලිය යුතු දෙයක්. හංස සංදේශය අරගෙන දියකෙළි වැනුම හොඳින් කියවා බලන්න. මගේ මිතුරු ධර්මේ අහපු ප්‍රශ්නයට හරි පිළිතුර මොකක්ද කියලා. තව එහාට යනකොට ඊටත් වඩා ගැඹුරු අදහසක් තිබෙනවා. කියවලාම බලන්න.

      Delete
  8. http://www.ebay.co.uk/bhp/jewelled-bikini

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Pra Jay
      /jewelled-bikini/ ලින්ක් එක බැලුවා . ඒක දැන් නැති පාටයි.කොහොම වෙතත් ඔය ඇඳුම අපේ ළඳුන්ගෙන් බටහිරට ගිය එකක් වෙන්න ඇති!

      Delete
  9. Replies
    1. කල්‍යාණ මිත්‍ර,
      ඔබටත් ස්තුතියි.

      Delete
  10. මිණි මෙවුල කියන්නෙ ඇඳුමට යටින් පළඳින Chastity belt එකක් කියලයි මම හිතන්නෙ

    ReplyDelete