Sunday, 30 July 2017

මන්නාරමේ ‘බැඔබාබ්’ ගසෙහි ගෙඩියට බොහෝ දුරට සමාන ගෙඩියක් ඇති ගසක් දකුණේ ද දකින්නට ලැබේ.

    න්නාරම අධ්‍යාපන චාරිකාවකදි දකින්නට ලැබුණු‘බැඔබාබ්’(Baobab) ගසක ඡායාරුප සහ ලබාගත් ඵල (ගෙඩි) කිහිපයක් අපොස උසස් පෙළ සිසුන්ගේ කාර්ය සැසියකදී පෙන්වා විස්තර කර දීමට මට අවස්ථාවක් ලැබිණ.


                                                                                                              
                    බැඔබාබ් ඵල                                                                   හල් ඵල

ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ පහත්  බිම්වල සරුවට වැඩෙන ඒක දේශීය ශාකයක් වන හල් ගසෙහි ගෙඩියද ‘බැඔබාබ්’ ගෙඩියට බොහෝ දුරට සමානය.  එම  සිසුනට ‘බැඔබාබ්’ ගෙඩියේ ව්‍යුහය විස්තර කරමින් එහි ඇති පිටි කර ගත හැකි මදයෙන්, අප්‍රිකානු රටවල ඉතාමත් පෝෂ්‍යදායී ආහාර සකස් කර ගන්නා බව පැහැදිලි කළෙමි. එය පෙනුමෙන් හල්ගෙඩියකට බොහෝදුරට සමාන බව කියන විට, එක් සිසුවෙක් අත ඔසවා, තම ගෙවත්තේ හල් ගසක් තිබෙන බවත් ඒ දිනවල ගසෙහි ගෙඩි බරවී ඇති බවත් කීවේය.  තවත් කිහිප දෙනෙක් හල් ගස් දැක තිබෙන බවත්, එහෙත් වැඩි විස්තර නොදන්නා බවත් කීහ.

බැඔබාබ් ගස ඉඹුල් (කොට්ට පුළුන්) ගස අයිති බොම්බේසී (Bombaceae} කුලයට අයත් වන අතර, හල් ගස (හොර ) ඩිප්ටෙරෝකාර්පේසී  (Dipterocarpaceae) කුලයට අයත් බව ඔවුනට පෙන්වා දුනිමි.  Vateria copallifera යන උද්භිද විද්‍යාත්මක නමින් හඳුන්වනු ලබන හල් ශාකය, ශ්‍රී ලංකාවට ආවේණික, ඒක දේශීය ශාකයක් වන නිසාත්, දැනට වඳවී යාමේ තර්ජනයට මුහුණ පා තිබෙන නිසාත්, මේ ගස ගැන උසස් පෙළ ව්‍යාපෘතියක් ලෙස අධ්‍යයනයක් කිරීම වැදගත් බව මම ඔවුනට පැහැදිලි කර දුනිමි.

සතිදෙකකට පමණ පසු එම සිසුන් විසින් හල් ගස ගැන ලියන ලද වාර්තා කිහිපයක් ඇගයීම පිණිස ගුරු මහත්මියක් විසින් මා වෙත  එවන ලදී. ඔවුන් ගස ගැන තොරතුරු රැසක් සොයාගෙන ඇත. මේ අතර හල් ඵලයේ  ව්‍යාප්තිය, ප්‍රරෝහණය, පුෂ්පයේ ව්‍යුහය, මදය ආහාර සඳහා ගැනීම, ගසේ පොතු භාවිතය ආදී කරුණු සඳහන් කර තිබිණ.  

ප්‍රරෝහනය වන හල් ඵලයක්

අප කුඩා කළ වාසය කළ මහ ගෙදර ගෙවත්තේද පැරණි හල් ගසක් තිබුණි. සෑම වසරකම එම ගසෙහි සෑදෙන ගෙඩි වල මදයෙන් හල් පිට්ටු, හල් හැලප හල් පුඩින් ආදි අතුරුපස සකස්කර, ආහාරයට ගැනීම මතකයට නැගුනු නිසා දැනට භාවිතයෙන් බොහෝ දුරට ඉවත්වී ගොස් ඇති  හල් ශාකය පිලිබඳ වැදගත් කරුණු අළලා සටහනක් තැබීමට අදහස් කලෙමි.

හල් ගස්වල මල් පිපී ගෙඩි හටගන්නේ අප්‍රියෙල්, මැයි මාස වලදීය. අගෝස්තු මාසය වනවිට පැසුණු ගෙඩි බිමට වැටේ. ආහාරය සඳහා ගනු ලබන්නේ හල් ගෙඩියේ මදයයි නැතහොත් ඉතාමත් මාංශල බීජ පත්‍රයි. එක ගෙඩියක මදය ග්‍රෑම් සියයක් පමණ තිබේ. මෙහි මදය පිටි කර ගැනීම වෙනුවට සිහිනියට සූරා ගැනීම පිණිස ක්‍රමයක් ගැමියා භාවිත කරයි. මේ සඳහා සාදා ගන්නා උපකරණය ‘හල් කටුව’ ලෙස හැඳින්වේ. එය සාදනුයේ   තරමක් ඝනකමින් යුත් බෙලෙක් තහඩුවකිනි. යකඩ ඇණයකින් තහඩුව සිදුරු කළ විට අනික් පැත්තේ උල සහිත තුඩු සෑදේ.සම්පූර්ණ තහඩු කැබෙල්ලේම මෙසේ  තුඩු සෑදෙන ලෙස සිදුරු කරගෙන, තුඩු පිටතට සිටින සේ සිලින්ඩරාකාරව නවා ගත් විට  ‘හල් කටුව’ සෑදේ.  ‘හල් කටුව’ වර්තමානයේ කැරට් වැනි අල වර්ග සිහින් කර ගැනීම සඳහා පාවිච්චි කරන ‘ග්රේටරයක’ (Grater) ගැමි ආකෘතිය ලෙස සඳහන් කළ හැකි වේ. හල් ගෙඩි දහයක පමණ මද සූරා ගත්  විට සිහින් හල් මද කිලෝ ග්‍රෑම් එකක් පමණ ලැබේ.

හල් මද තද තිත්ත රසකින් යුක්තය. තිත්ත රස ඉවත් කිරීමටද ගැමියා පහසු උපක්‍රමයක් භාවිත කරයි. හල් මදයට තිත්ත රසය ගෙන දෙන එහි අන්තර්ගත (රසායන) ද්‍රව්‍යය ගලායන ජලයේ දියවී යන බව ඔහු දැනගෙන තිබේ. මේ  නිසා ඔහු පන්  මල්ලක අසුරා කට බැඳ සකස් කර ගත් හල් පිටි  ගැමි පරිසරයේම තිබෙන කුඹුරේ, ගලායන ජලය ඇති වක්කඩක බැඳ තබයි. වක්කඩේ බැස යන ජලය පන් මල්ලේ සිදුරු හරහා ගොස් හල් පිටි හොඳින් සේදී යන විට තිත්ත ද්‍රව්‍යයද ඒ සමග ඉවත්වේ. එක් දිනක පමණ කාලයක් මෙසේ වක්කඩේ බැඳ තැබූ විට හල්පිටි වල තිත්ත ගතිය සම්පූර්ණයෙන්ම නැතිවී යයි.

මෙසේ අකස් කර ගත් හල් පිටි වලට පාන් පිටි සීනි සහ ලුණු පදමට දමා හොඳින් අනා වියලි මුද්දරප්පලම්ද එකතු කර කොළපත් ගොටුවල අසුරා මුල් බැඳ, හොදින් වණ්ඩුවේ තම්බා ගනු ලැබේ. පැය දෙකක් පමණ තැම්බුණු පසු ඉතාමත් රසවත් ඇති හල් මුලක් / පුඩිමක්  ලැබේ.

හල් ගසේ පොත්තද ප්‍රයෝජනයට ගත හැකි අවස්ථාවක් පැරණි ගැමියා හඳුනාගෙන තිබේ. තෙත් කලාපයේ කඳු බෑවුම්වල කිතුල් ගස් බහුලය. මේ ප්‍රදේශ වල ගැමියා කිතුල් මල් මැද ලබාගන්නා තෙල්දියෙන් පැණි සහ හකුරු සාදා ගනියි. තෙල්දියෙන් කොටසක් පැසෙන්නට හැර ලබාගන්නා කිතුල් රා ගැමියාගේ ප්‍රණීත පානයකි. වැඩිපුර ඇති තෙල්දිය ස්වභාවිකව සිදුවන පැසීම නතර කිරීම සඳහා හල් පොතු පාවිච්චි කරනු ලැබේ. ගැමියා මෙම දැනුම පාරම්පරිකව ලබාගෙන ඇත.

විද්‍යානුකුලව, සීනි ද්‍රාවණයක් ලෙස සලකිය් හැකි තෙල්දිය පැසීම සිදුවනුයේ වාතයේ ඇති යීස්ට් විශේෂ මගිනි. මෙම පැසීම හල් පොතු මගින් වැලකෙනුයේ එහි ඇති යීස්ට් නාශක හෝ හෝ යීස්ට් වලට සීනි මද්‍යසාර වලට හැරවීමේ ක්‍රියාවලිය නතරකිරීමේ හැකියාවක් තිබෙන නිසාය. මෙම හැකියාව  පාරම්පරික ගැමි දැනුමකි.

හල් ගසේ මුල්වල පොත්තෙන් වැගිරෙන  ලාටු වලින් දුම්මල විශේෂයක්ද ලැබේ. මෙම හල් දුම්මල දහනය කිරීමෙන් ලැබෙන දුම් විෂබීජ නාශකයක් ලෙසද මදුරුවන් පළවා හැරීමටද භාවිත කෙරේ.

අප ගෙවත්තේ වැඩුණු විශාල හල් ගසේ තවත් සුවිශේෂී ලක්ෂණයක්ද සිහියට නැගේ. වනාන්තර වල තිබෙන, තුරු වියනට උඩින් නෙරා  වැඩෙන  නෙරු ශාක විශේෂ වලට සුළඟට නොපෙරලී සමතුලිතව සිටීම සඳහා මුල් වලින් කොටසක් පොලොව මතුපිටට නෙරා ගොස් ගස වටේට ආධාරක ලෙස විදේ. මේවාට කයිරු  මුල් යයි කියනු ලැබේ.  විශාල හල් ගස් වල පොලොව මතුපිට මුල්වල ගසට සම්බන්ධ කොටස තරමක් ඉහලට කයිරු මුල් ලෙස දකින්නට ලැබේ. අප ගෙවත්තේ වැඩුණු විශාල හල් ගසේ මේ මුල් කෙතරම් උසට වැඩී තිබේදැයි කියතොත්, කුඩා අප හැඟී මුත්තන් සෙල්ලම් කරන විට මේ මුල් අතර සැඟවී සිටීම අපට මහත් ආශ්වාදයක් විය.

හල් ගසේ විශාල කයිරු මුල්
හල් ගසේ පොතුවලින් මෑතදී  ‘කොපලිෆෙරෝල්’ (Copalliferol) නමැති බැක්ටීරියා නාශකයක්ද  නිස්සාරණය කර තිබේ. මෙම නිස්සාරකයට එම නම යොදා ඇත්තේ එහි උද්භිද විද්‍යාත්මක නාමය වන Vateria copallifera  හි විශේෂ නාමය  ඇසුරෙනි.

ශ්‍රී ලංකාවට ආවේනික හල් ශාකය වඳවී යාමට ඉඩ නොදී සංරක්ෂණය කරගැනීම කාලීන අවශ්‍යතාවකි.







22 comments:

  1. මද අරන් පිටි ලෙසින් සකසා ගැමියො කෑමක් සැකසුවේ
    අද කොහෙද එම අහර ගුණපිරි දැකබලා ගන්නට නොවේ
    වඳ වෙලා යන අපේ හල් ගස රැකිය යුතුවෙයි මේ භවේ
    හොඳ ය ලියමන දැණුම ලැබදෙයි කාහටත් මා පැවසුවේ...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමි,
      කටට රස හොඳ අතුරුපසයන් රැසක් යහ ගුණයෙන් අගේ
      අපට ලැබ දුන් නමූත් මදයෙන් තිත්ත රසයක් නම නැගේ
      දැනට දුලබව පෙනෙන වැනසී යන්ට සූදානම් වගේ
      රටට ආවේනිකයි හල් ගස. රැකුම එය යුතුකමකි අපගේ

      ඔබට ජය!

      Delete
  2. හල් ගහ ගැන හොඳ විස්තරයක් තියෙනව. මාත් පොඩිකාලෙනං ඔය හල් පිට්ටු කාල තිබුණට මෑතකදිනං කන්න ලැබන් නෑ.

    දැන්නං කුඹුරු වක්කඩක ඔහොම හල් පිටි බැඳල තියල කෑවොත් එහෙම දවසකින් යටිපස්ගම යන්න පුලුවං වෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      දැන් නම් හල් ගැන අහන්නවත් නැහැ. 'අපෝ ගම' දේශීය ගම්මානයේ වරක් ප්‍රදර්ශනයකදී හල් රසකැවිලි තිබුණා.
      ඔබ හරි. දැන් වක්කඩේ හල් බැඳලා පිට්ටු කෑවොත් කෘමි නාශක විෂවෙලා තමයි මැරෙන්න වෙන්නේ.

      Delete
  3. කඩුවෙල වැලිවිට වෙරලුවිල පාරෙ ඉස්පොට් එකක් තියේ... හල්දුම්මුල්ල කියල (දැන්නං පට්ට වෙනස් වෙලා ඇති. මේ අසූ ගනං වල මැද.. හරිය. හරි හරියට මහවෙල වපුරන කො‍ටු හිටෝන මුල්ලේරියා වැව වැස්සට සෝක් එකට වතුර පිරිල උදේ රෑ වෙනසක් නැතුං අපි ඔරු පදින වතුර බැස්සම මුලු වැවම විවිදාකාරේ එලෝලු කො‍ටුවලින් පිරෙන කාලෙ.) මේක තියෙන්නෙ කැලනිග‍ඟෙන් වෙල්යායට වතුර එන , වතුර යන ඇලක් අග්ගිස්සෙ.ඇලක් කිවුවට ඒ කාලේ ගඟ වගේ තමයි පුල් තයිස්. මෙතනට නම වැටිල තියෙන්නෙ හල් ගස් ඕසෙට තිබ්බ නිසා සහ මිනිස්සු දුම්මල ගත්ත තැන නිසා. ඔය හල් දුම්මල උනුකරල අපේ ඔරුවල හිල් වැහුව අපි ඉස්සර. පාංකඩ කෑලි හිල් වලට ඔබල දුම්මල උනුකරල වක්කරල. අපි ඉස්කෝලෙ යනකාලෙ පැය ගනං ජබු ගහල, හල් ගෙඩි එකතු කරල, මාලු අල්ලං එනව. ඔය පොට් එකේ මනමාලයො හිටිය ඕසෙට. බට්ටො, කොරලි, ආ‍ඳො, ලූල්ලු, හුංගො නහුතෙට ඇල්ලුව. අපි හල්ගහේ ගැඹුරු ඉරි අඳිනව දුනු පිහියෙං(ඒ කාලෙ අපේ කොල්ලොංගේ අතේ අනිවාර්‍යයෙන් තියෙන ආයුදයක්ඊ).ලඟ දවසෙ ගිහිල්ල වෑස්සිලා ගල්වෙලා තියෙන දුම්මල ටික කඩාගන්නව. ඔය දුම්මල වලිං තව වැඩක් ගත්ත. ඔය රේඩියෝ එහෙම මස්කොරල පාස්සන්න. ලිපේදාල රත්කොරන බවුත් එකකුත් අපි හදං හිටිය. දුම්මල රත්කරල තිබ්බම මීහරක් කූඩැල්ලො සිං ගාල හැලැනව. දැකල ඇතිනෙ මීහරක් කූදැල්ලො. වලලු කරට එක කොනක් තිබ්බම ඊලඟ කොන කෙලින්ම දනිස්ස ගාව. ටොම්බ තයිස්. දැන්නං ඉන්නවද දන්නෙ නෑ. (වෙලේ යනකොට කොහොමද දුම්මල රත්කරන්නෙ කියල අහන්න එපා. දුනු පිහිය වගේම ගිනි පෙට්ටියකුත් අතේ තිබ්බ. හල් එකතු කරන මාලු බාන තර‍ඟෙට පීනන තැඹිලි කඩන පිපිඤ්ඤ කො‍ටු පීරන කර්මාන්ත වලට අමතරව ගඟ අයිනෙ වාඩිවෙලා පඩමිටියක් පාවට්ට දලුවල ඔතල බොන අහින්සක සාමකාමී කර්මාන්තෙට)

    ReplyDelete
    Replies
    1. අපිනං හල් ගාල වක්කඩේ ගැහුවෙ නෑ මඩ රහ එන නිසා. අනික ඊට පස්සෙ එකෙ තියෙන රොඩු බොඩු රොං මඩ අරින්න ගියහම ඉකපුරෙනව.අපි වතුරෙ දාල තිබ්බ දවසක්ම. හල් පිට්‍ටු සමග කූනිස්සො මරු. මිරිසට උයපු ලූල් මාලු, බට්ටො,තෙලියො එක්ක හෆ්ෆා හල් පිට්‍ටු මැරුව හැකි. කෙකටිය මල් කූනිස්සොත් එක්ක තෙල් දාල කිරට උයපු ආඳ මාලු .....හෆ්ෆා..... සැප කනේ....

      Delete
    2. ස්තුතියි මන්ජුරල්,
      ඔබගේ විස්තරය හරි අගෙයි. එහි භාෂා විලාසය නියමයි. මම නම් අහලා තියෙන්නේ බලංගොඩට එහා තියෙන හල්දුම්මුල්ල විතරයි. ඉතින් හල් ගැන අප අසා නොතිබුණු ඔරු පිළියම් කිරීම සහ කුඩැල්ලන් ඉවත් කිරීම ගැන දැනුවත් කලාට තුති.
      ඔබට ඒ අතීතයේ මතක බ්ලොග් වලට වත් ලියන්න.
      හල් පිට්ටු කුනිස්සන් සමග කන්නට නැවතත් ලැබෙයිද? දැන් හල් ගස වඳවී යන ජාත්‍යන්තර ලේඛනයටත් ඇතුල් වෙලා 2008 සිට.
      නරකද ගෙදර වත්තේ ඉඩ තිබේනම් හල් පැලයක්‌ සිටවුවොත්? !

      Delete
    3. මන්ජුරල්,
      එකක් අමතක උනා. අපේ කුඹුරු වල වක්කඩේ ඒ කාලේ තිබුනේ හරි පිරිසිදු ගලායන වතුර. ප්‍රසන්න කියලා තියෙනවා වගේ දැන් නම් වක්කඩේ වතුරේ කෘමි නාශක.
      අර පාවට්ට දළුවල් ඔතලා මොනවද මන්දා කරන 'මිටි' දැන් නැද්ද?

      Delete
    4. මමත් හරි ආසාවෙන් කියෙව්වේ

      Delete
  4. https://en.wikipedia.org/wiki/Buttress_root

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Pra Jay,
      කයිරු මුල් (Buttress roots) පිලිබඳ link එක හුඟක් වටිනවා. එහි ඒ මුල් වල කෘතිය හොඳින් විස්තර කර තිබෙනවා.

      Delete
  5. හල්පිටිවලින් කෑම සෑදීම අපේ ආච්චීත් කළ දෙයක්. ඇගේ ගම් පෙදෙසත් කළු ගඟ අසබඩ අගුරුවාතොට/දේවමුල්ල ප්‍රදේශයයි.

    මේ ගස වෙනත් පැතිවල වැවෙන්නේ නැති ද මන්දා?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික,
      කළු ගඟ අවට ගම වල හල් සුලභයි. ගෙඩි සෑදෙන කාලෙට පොලේ විකුණන්නත් තිබෙනවා.
      දේවමුල්ල හරි ලස්සන ගමක්. කළු ගඟට කුඩා ගඟ (කළු ගඟේ අත්තක්) එකතුවෙන මුල්ලේ තමයි දේවමුල්ල තිබෙන්නේ. ගම මැද තරමක් කඳු සහිතයි.

      Delete
  6. ස්තූතියි දයා මහත්මයා..හල් පිටි ගැන අහල තිබ්බට මෙහෙම පැහැදිලි විස්තරයක් දැනගෙන හිටියෙ නෑ...

    ReplyDelete
    Replies
    1. රවී,
      පමා වුවාට සමාවන්න කලකින් මේ පැත්ත බැලුවේ.
      හල් පිටි හදාගන්නා හැටිත්, ඒ පිටිවලින් හැලප, පිට්ටු ආදිය හදන හැටිත් දන්නා අය දැන් බොහොම අඩුයි. තීබෙන හල් ගස් ටිකත් කපා විනාශ කරනවා. කිතුල් ගසේ මලෙන් ලබාගන්නා තෙල් දිය, පැණි උණු කිරීම පිණිස ගන්නා තැන්වල ඒ තෙල්දිය පැසී, කිතුල් රා වීම වැලැක්වීම සඳහාත් හල් පොතු පාවිච්චි කරනවා.
      මෙතන තෙල් දිය රාවලට පැසවන 'යිස්ට්' ජීවින්ගේ ක්‍රියාකාරිත්වය නතර කිරීමට හල් පොතුවල යුෂයේ ඇති ඇරෝමටික සංයෝග වලට හැකි බව පැරණි ගැමියා දැන සිටි බව පෙනෙනවා. මෙය පාරම්පරික තාක්ෂණ දැනුමයි. (Appropriate technology)

      Delete
  7. හල් ගස ගැන වටිනා විස්තරය ඉතා අගනේය.හල් පිට්ටු මමත් කා තිබේ.තලංගම කුඹුරු යායක් ආසන්නයේ තිබු එම ගස දැන් නැත.හල් පොතු පැණි මුලට අපේ තාත්තා දැමුවා මට මතකය.ඒ ගාල්ලේ අක්මීමණ දී 1970 ගණන් වලදීය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විමල්,
      පමා වුවාට සමාවන්න කලකින් මේ පැත්ත බැලුවේ.
      හල් පිට්ටු සහ හල් හැලප ඉතා රසවත් මෙන්ම වාත ආබාධ සුව කරන ඖෂධ ගුණයෙන් යුක්ත බව අසා තිබෙනවා. පොල් හෝ කිතුල් තෙල්දිය වලින් පැණි සකස් කරන විට තෙල්දිය පැසීම වැලැක්වීම සඳහා හල්පොතු පාවිච්චි කරනවා.පැරණි ගැමියා මෙම රසායන ප්‍රතික්‍රියාව දැන ගෙන සිටි බව පෙනෙනවා.

      Delete
  8. ලස්සන වගේම වටිනා postඑකක්.ඒ වගේම ලස්සන comments.අපේ වත්තේ හල් ගහේ ගෙඩි හැදිල ඒත් අවාසනාවකට හදන හැටි දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Unknown,
      ඔබට අවශ්‍යනම් හල් වලින් පිට්ටු හෝ හැලප සාදන ක්‍රමය මට කියා දෙන්නට පුළුවන්. කරුණාකර දන්වන්න.

      Delete
  9. //විද්‍යානුකුලව, සීනි ද්‍රාවණයක් ලෙස සලකිය් හැකි තෙල්දිය පැසීම සිදුවනුයේ වාතයේ ඇති යීස්ට් විශේෂ මගිනි. මෙම පැසීම හල් පොතු මගින් වැලකෙනුයේ එහි ඇති යීස්ට් නාශක හෝ හෝ යීස්ට් වලට සීනි මද්‍යසාර වලට හැරවීමේ ක්‍රියාවලිය නතරකිරීමේ හැකියාවක් තිබෙන නිසාය. මෙම හැකියාව පාරම්පරික ගැමි දැනුමකි.//

    භාෂ්මික මාධ්‍යක Yeast (Saccharomyces sp.) ගහණය වර්ධනය වැළකේ. හල් පොතු පාවිච්චි කරන්නේ මේ සඳහායි. අවාසනාවකට දැන් කිතුල්ගල ප්‍රදේශයේ තෙලිජ්ජ මුට්ටි වල අළුහුණු අලේපකර මී රා ලබා ගනී. හල් පොතු භාවිතය අඩුවී ඇත.

    ReplyDelete
  10. ඉතා අගනා සටහනක්...
    මමනම් දැනට මාස කීපයකට කළින් හල් වලින් හදපු හැලප කන්න වාසනාවන්ත උනා...

    මම තරමක් විශාල හල් ගස් දැකල තියෙනවා, අපේ ගම් පළාතේ සහ සිංහරාජය අවට...
    හැබැයි ඔය වගේ කයිරු මුල් ගැන මට ඒ දැකපු කිසිම ගහක තිබුන බවට මතකයක් නැහැ...
    සමහර විට මගේ අවධානය ඒ දෙසට යොමු උනේ නැතුව වෙන්නත් ඇති...

    ReplyDelete