Monday, 24 July 2017

ශ්‍රී ලංකාවේ සුවිශේෂී ශුෂ්ක පරිසරයක කරනලද ජෛව විවිධත්ව අධ්‍යයනයක්

    ශ්‍රී ලංකාවේ ජීවත්වන ජනතාවගෙන් ඉතා සීමිත ප්‍රමාණයකට පමණක් දකින්නට ලැබෙන, මන්නාරම දිස්ත්‍රික්කයේ ශුෂ්ක සහ  ලවණ වගුරු, එමෙන්ම වඩදිය බාදිය දෙකෙන්ම පීඩාවට පත්වන අච්ච්න්කුලම කඩොලාන පරිසරය පිලිබඳ අධ්‍යයනයක් සහිත වැඩ මුළුවක් මෙහෙය වීම සඳහා  මට අවස්ථාවක් ලැබුණි.


        මන්නාරම දිස්ත්‍රික් සිතියම

ඒ 2013 වසරේදී ආසියානු සංවර්ධන බැංකුවේ අනුග්‍රහයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙහෙයවනු ලැබූ  දැනුමැති සමාජයක් සඳහා අධ්‍යාපනය යන ව්‍යාපෘතියේ පරිසර විදා උපදේශක ලෙස මා කටයුතු කරද්දීය.
.

කොළ හැලී ඇති ‘බැඔබාබ්’Baobab ගසක්‌ (ගස ගලවා  මුල් උඩුකුරු වී සිටින ලෙස සිටුවා ඇති ආකාරයක් ලෙස දකින්නට ලැබේ.)

මන්නාරම ප්‍රදේශය දේශ ගුණය මෙන්ම ජෛව විවිධත්වය අතින්ද දිවයිනේ අනිකුත් ප්‍රදේශ වලට වඩා ඉඳුරාම වෙනස්ය. රටෙහි අන් කිසිම ප්‍රදේශයක දකින්නට නොලැබෙන බැඔබාබ් Baobab  (Adansonia digitata) ගස් තිබෙනුයේ මෙහි පමණකි. අප්‍රිකාවේ කාන්තාර ආශ්‍රීතව වැඩෙන මෙම ශාකය අරාබි නැවියන් විසින් එවකට ඔවුන් විසින් මෙහි ගෙනවිත් තිබුණු සිටි ඔටුවන්ට ආහාරය සඳහා වවන්නට ඇතැයි විශ්වාස  කෙරේ. දැනට ඔටුවන් නැතත් රූස්ස බැඔබාබ් ගස් ඉතිරිවී තිබේ. බැරලයක හැඩය ඇති මෙම ගසේ කඳ මීටර් 30 පමණ වටප්‍රමාණයකින් යුක්තය. බොහෝ විට ගසේ කඳෙහි උස ප්‍රමාණයට වඩා මහත වැඩි නිසා එය විශ්මිත ශාකයකි. පෙබරවාරි මාර්තු මාස වලදී මෙම ගස්වල කොළ වියළී හැලී යයි. කොළ හැලී ඇති ‘බැඔබාබ්’ ගසක්‌ දෙස බැලුවිට එය ගස ගලවා   මුල් උඩුකුරු වී සිටින ලෙස ආපසු සිටුවා ඇති ආකාරයක් ලෙස දකින්නට ලැබේ. මන්නාරම පල්ලිමුණේ හි තිබෙන ගස වසර 700 ක් පමණ පැරණි බව වාර්තාවී තිබේ. මෙම ගස් දෙමළ භාෂාවෙන්  පෙරුක්කු මරම් වන අතර සිංහලෙන් අලි ගස් කියාද හැඳින්වේ. ශුෂ්ක පරිසරයට අනුවර්තනය වී ඇති මෙම ගසක ජලය ලීටර 120,000 ක් පමණ රැස්කර තිබෙන බව හෙළි වී තිබේ.

මන්නාරම් මුහුදු බොක්ක ප්‍රදේශය,  සාමාන්‍ය ප්‍රමාණයේ සාගර ක්ෂීරපායී සතෙකු වන මුහුදු ඌරන් (Dugong) රංචු වශයෙන් සිටින බවටද  ප්‍රසිද්ධියක් උසුලයි. අධික වශයෙන් මස් පිණිස දඩයම් කිරීමත් මත්ස්‍ය දැල්වල පැටලී මරණයට පත්වන නිසාත් මොවුන් දැනට වඳවී යාමේ  තර්ජනයට මුහුණ පා සිටිති.

තවත් වඳවි යාමේ තර්ජනයට  මුහූණ පා සිටින, මෙතෙක් ඉන්දියාවේ සීමිත ප්‍රදේශයක පමණක් සිටින බවට විශ්වාස කළ, දිවිමකුළු විශේෂයක්ද (Poecilotheria hanumavilasumica)  මන්නාරම ප්‍රදේශයේ සිටින බව සොයා ගෙන ඇත.

ඉහත සඳහන් කළ පරිසර අධ්‍යාපන කාර්ය සැසිය පවත්වන ලද්දේ දිවයිනේ ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථාන භාරව කටයුතු කරන ගුරු මහත්මා මහත්මීන් සඳහාය. කාර්ය සැසිය පවත්වන ලද්දේ මන්නාරම දූපතේ නගර මධ්‍යයේම පිහිටි සිත්ති විනායගර් හින්දු විද්‍යාලයයේ ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථානයේදිය. දිස්ත්‍රික්කයේ විද්‍යා අධ්‍යාපන නිලධාරිවරු සහ විදුහලේ ගුරුවරු කිහිප දෙනෙක්ද නිරීක්ෂක වරු ලෙස සැසියට සහභාගී වුහ.

අප විසින් කරන ලද ක්ෂේත්‍ර අධ්‍යයනය සඳහා සිත්ති විනායගර් හින්දු   විද්‍යාලයයේ සිසු සිසුවියන් විසි දෙනෙකු සහභාගී කර ගතිමු. අධ්‍යයන ක්‍ෂෙත්‍රය විදුහල් භූමියේ සිට කිලෝමීටර් හයක පමණ ඈතින් පිහිටි අච්චන්කුලම් සුවිශේෂී පරිසර පද්ධතියයි. මෙය ශ්‍රී ලංකාවේ ශුෂ්ක කලාපයේ තිබෙන ජෛව විවිධත්වයෙන් අනූණ ලවණ වගුරු බිම් පෙදෙසකි. රටෙහි වෙනත් කිසිම ප්‍රදේශයක මෙවැනි පරිසර පද්ධතියක් නොමැත.  ශ්‍රී ලංකාවේ දෙවෙනි දිගම ගංගාව වන, මධ්‍යම කඳුකරයේ උතුරු ප්‍රදේශයෙන් පටන් ගන්නා මල්වතු ඔය, මන්නාරම දිස්ත්‍රික්කයේදී හඳුන්වනු ලබන්නේ අරුවි ආරු යන නමින්ය. (මල්වතු ඔය, අරුවි ආරු ලෙසද හඳුන්වන බව දන්නේ ටික දෙනෙක් පමණකි)   මෙම ගඟ මුහුදට වැටෙනුයේ  අච්චන්කුලම් ලවණ වගුරු බිම් ප්‍රදේශය හරහාය. මෙම වගුරු බිම වර්ෂා කාලයේදී ගංගා ජලයෙන් යටවී යන අතර, මුහුදේ වාරකන් කාලයේදී මුහුදු ජලයෙන් යට වේ. මේ නිසා වරින් වර කරදියෙන් සහ මිරිදියෙන් යටවීම මෙහි විශේෂ ලක්ෂණයයි. මෙහි තිබෙන ශාක සහ ජීවත් වන  සතුන් මෙම විපර්යාස දෙකටම ඔරොත්තු දෙන පරිදි අනුවර්තනය වී තිබේ.

මෙම වගුරු බිමෙහි දකින්නට ලැබෙන කඩොලාන විශේෂ රටෙහි වෙනත් ප්‍රදේශ වල ඇති කඩොලාන ශාක වලට වඩා බෙහෙවින් වෙනස්ය. අනිකුත් ප්‍රදේශ වල මීටර් 10 - 15 පමණ උසට වැඩෙන කඩොල්   (Rhizophora), කිරල (Soneratia) වැනි ශාක මෙහිදී සාමාන්‍ය උසට නොවැඩී ‘කුරු’ (Dwarf) ස්වභාවයකින් පැවතීම සුවිශේෂී ලක්ෂණයකි. පසෙහි පවතින අධි ලවණක සාන්ද්‍රතාවය නිසා මෙම තත්වය උදාවී ඇති බව පරිසර විද්‍යාඥයින්ගේ විශ්වාසයයි.


හීන් කඩොල් (Rhizophora sp.)
ජලාබුජ ප්‍රරෝහණයෙන් පසු  බීජාධර වැඩෙන ආකාරය (වර්ධනයේ සියළුම අවස්ථා ක්‍ෂෙත්‍රයේ  එකම ස්ථානයකදී සොයා    ගත හැකි විය.)


Salicornia brachiata (Glass-wort)
ලවණ වගුරු බිමේ බහුල ශාකයක් වන මෙය කොටස් වලට බෙදී ගිය මාංශල කඳක් සහිත කුඩා ශාකයකි. මෙහි ඉතා වැදගත් ලක්ෂණයක් වනුයේ පසෙන් උරාගන්නා වැඩිපුර ලවණ පිටකිරීම සඳහා විශේෂ යාන්ත්‍රණයක් තිබීමයි. වැඩිපුර එකතු වන ලවණ ශාකයේ අග්‍රස්ථ කොටසට එකතුවී එය වියලී කඳෙන් වෙන්  වී යාම  මෙම අනුවර්තනයයි.



හීන් කඩොල් (Rhizophora acuminata)   

දිවයිනේ වෙනත් පලාත්වල උසට වැඩෙන හීන් කඩොල් මෙම පරිසරයේදී  සාමාන්‍ය ප්‍රමාණයට වඩා මිටි  ‘කුරු’ ස්වරූපයක් පෙන්වයි




කිරල  ශාකය (Sonaratia alba)

වෙනත් පළාත්වල තරමක් උසට වැඩෙන ශාකයක් වුවද මෙහි ‘කුරු’ ශාකයක් ලෙසට උසින් අඩුව වැඩේ 

ශ්‍රී ලංකාවේ දකුණේ වැසියන් යාමට මැලිවන මන්නාරම ප්‍රදේශය ජෛව විවිධත්වයේ අපූරු අවස්ථා රාශියක්ම දකින්නට ලැබෙන සුන්දර ප්‍රදේශයකි. ලවණ සාන්ද්‍රණය අධික  ශුෂ්ක වගුරු බිමක් වන අච්චන්කුලම මිටියාවත ජීව විද්‍යාව හදාරන සිසුන්ට ඉතාමත් විරල අත්දැකීම් රාශියක් ලබාගත හැකි එළිමහන් විද්‍යාගාරයක් බඳුයයි කීම අතිශයෝක්තියක් නොවේ.  




19 comments:

  1. වටින සටහනක්... තව බයෝබැබ් ගස් තියෙනවා ඩෙල්ෆ්ට් දූපතේ... ඒ කාලෙ සුද්දො එහෙ බයෝබැබ් ගස් වැව්වෙ අස්සයන්ට කන්න දෙන්න... දැන් නන් ඩෙල්ෆ්ට් දූපතේ අස්සයන්ගෙ ඉරණම සෝචනීය යි... කන්න නැතුව තැන තැන වැටිලා මැරිලා ඉන්නවා... ඔය පින්තූරෙ තියෙන මන්නාරමේ තියෙන බයෝබැබ් ගහ ගාවට දෙතුන් පාරක්ම ගිහිල්ලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩියෝන්,
      ඩෙල්ෆ්ට් දූපතේත් තිබුන බයෝබැබ් ගස් දැන් වඳවී ඇති බව අසා තිබෙනවා. මන්නාරමට යන කෙනෙක් බයෝබැබ් ගස බැලිය යුතුම එකක්. වරක් පහේ ශිෂ්‍යත්ව විභාගයටත් මේ ගස ගැන අසා තිබුණා.

      Delete
  2. කරදියටයි මිරිදියටයි දෙකටම යටවෙනව කියන්නෙ එතන විශේෂ තත්වයක් තමයි තියෙන්න ඕන.

    අගනා විස්තරයක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      කරදියටයි මිරිදියටයි දෙකටම මුහුණ පාමින් ඒ ප්‍රදේශයේ තිබෙන ශාක සහ සත්තු විඳින පීඩාව දුටුවිට, ස්වභාව ධර්මයේ කුරිරු කමක්දෝ කියාත් සිතෙනවා.ඒ උනත් එම ජීවීන් ඒ සියලු බාධක වලට ඔරොත්තු දෙන ලෙස හැඩ ගැසී තිබීම ස්වභාව ධර්මය පරදවා ජය ගැනීමක්. මේවා විද්‍යාත්මක අධ්‍යයනයකින් හැර දැනගන්නට බැහැ.

      Delete
  3. අනුරාධපුර නගරය හරහා යන මල්වතු ඔය ලංකාවේ දෙවැනියට දිගම ගංගාව "මල්වතු ඔය" බව කිසිවිට සිති නැහැ.

    මන්නාරමේ සංචාරයක් යන්න කැමත්තෙන් ඉන්නේ."ලෝකයේ කොනක" කියන බ්ලොග් එකෙත් ඔය මන්නාරම ගැන ආස හිතෙන ලිපි ලියවී තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝජ්,
      මල්වතු ඔය මන්නාරම් දිස්ත්‍රික්කයට ඇතුල් වුවාට පසු 'අරුවි ආරු' කියන්නෙත් නමෙහි දෙමළ පරිවර්තනයද කියා දන්නෙත් නැහැ.

      Delete
    2. මනෝජ්,
      මන්නාරමේ සංචාරයක් යනවා නම් තලෙයිමන්නාරමටත් යා යුතුමයි. එහෙ කරවල වාඩි වල හාල්මැස්සන් වගේ කුඩා මසුන් වර්ග කිරීමට තෝරන්නේ අතින්. ඒ කාන්තාවන්ගේ අත් මැෂින් වගේ වැඩ කරනවා. හාලමස්සන් වර්ග හයකට පමණ වෙන් කරනවා. තවත් වැදගත් දෙයක් - සෑම දිනකම මධ්‍යම රාත්‍රිය වන විට cold room එකෙන් ඉස්සන් සහ කකුළුවන් container load එකක් කොළඹට එවනවා.

      Delete
  4. රන් දා හැඩය බයොබැබ් ගස විසිතුරුය
    බොන් සායි ගසක හැඩරුව ඉන් පිළිබිඹුය
    හින් දා ශුෂ්ක පරිසරයම උණුහුම්ය
    මන් නාරමෙත් දැණුමට දේ බොහො ඇතිය....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. රන් දා හැඩය බයොබැබ් ගස විසිතුරුව
      බොන් සායි ගසක් සේ දිස්වෙයි නිරතුරුව
      හින් දා ශුෂ්ක උණුහුමනම් බොහො සරුව
      මන් නාරමේ දැණුමට බොහො ඇත දරුව....

      ජයවේවා!!!

      Delete
    2. කාල හමාරයි.
      කොමෙන්ට් එකත් දාල රිප්ලයි එකත් දාල. හැක්..

      Delete
    3. මේ ප්‍රසන්නත් එක්ක බැරියෝ...හැක් හැක්.
      පළමු කවිය දැම්මට පස්සෙයි යවහන් දෝෂය දැක්කේ. එකයි ඒ වැරැද්ද හදලා දෙවෙනි කවිය දැම්මේ.

      ජයවේවා!!!

      Delete
    4. ස්තතියි දුමි,
      මන්නා රම ලිපිය හොඳහැටි කියවාලා
      දන්නා කවි බසින් තාලෙට රස කරලා
      පෙන්නා යවහනෙහි ඇති දොස් දුරු කරලා
      ඇන්නා නේද ටොක්කක් ප්‍ර.. දෙස බලලා

      ඔබට ජය

      Delete
    5. ස්තුත්යි ප්‍රසන්න,
      දුමි ගෙන් කවි ලියන්නට ඉගෙන ගත්තොත් නරකද? ඔය යවහන් දෝෂ ගැන දැන් ඉන්න බොහෝ කවි ලියන අය දන්නේ නැහැ.ඕවා වැඩිපුරම ඔනෑ වෙන්නේ සෙත් කවි, වස් කවි ආදිය ලියන අයටයි. හොඳම වැඩේ ඒ අකුරු හතර අගට නොදා සිටින එකයි.

      Delete
    6. දුමී හෝ දයාවී මහත්මයා යවහන් දෝශය වැනි දේවල් ගැන අපව දැනුවත් කරන්න.

      Delete
    7. ශාස්ත්‍රානුකකූලව නම් වැඩිපුර යමක් දන්නේ නැහැ. ඒ උනත් යවහන් දෝෂ, පුනරුත් දෝෂ, මාත්‍රා දෝෂ ආදිය මගහරින්නටනම් දන්නවා. තවත් තොරතුරු සොයා ගන්නට ලැබුනොත් ඔබගේ ඉල්ලීම ඉටුකරන්නම් ඉයන්.

      Delete
  5. ඔබතුමාගේ දැනීම අනාගත පරපුර සඳහා මෙවන් මාධ්‍යක හෝ ඇතුලත් කිරීම ඉතාමත් හොඳයි. මන්නාරමට වරක් ගියත් මෙවන් දේවල් ගැන දැනුවත් වී හිටියේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්,
      කවුරුත් හිතන්නේ ලංකාවේ සිතියමේ ශුෂ්ක ප්‍රදේශය කියා මන්නාරම ලකුණු කර තිබෙන නිසා කාන්තාරයක් කියා. එහෙට ජල හිඟය තරමක් බලපානවා වැස්ස අඩු නිසා. ඒ උනාට මල්වතු ඔය (අරුවි ආරු} වාරි මාර්ග වලින් එක කන්නයකටවත් ජලය සපයනවා. කුඹුරුත් හුඟක් සරුයි.

      Delete
  6. උඩු යටිකුරු කතාව
    http://www.ecoproducts.co.za/news/the-legend-of-the-upside-down-tree


    මාත් කැමතියි ඔය පලාත්වල පරිසරය ගැන කියවන්න. හුඟක් අය කැමති වැසි වනාන්තර බයෝ ඩයිවර්සිටි ගැන හදාරන්නනෙ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      බැඕබැබ් ගසේ උඩු යටිකුරු කතාව ගැන link එක බැලුවා. දේව ශාපයක් නිසා සිදුවූ දෙයක් බවයි ඒ කතාවෙන් කියන්නේ. මම ඒ link එක ඔස්සේ වෙන Link එකකින් තවත් තොරතුරු ටිකක් සොයා ගත්තා. ඒ අනුව ගසේ ගෙඩි වල මදය ආහාරයට ගන්නා අතරම එයින් වටිනා තෙලක්ද නිස්සාරණය කරනවා.මෙහි ගෙඩිය සහ මදය ලංකාවේ හල් ගෙඩි වලට සමානයි. හල් මදයේ පිටි වලිනුත් පිට්ටු, හැලප වගේ ආහාර සකස් කර ගන්නවා.

      Delete