Monday, 10 July 2017

ඉතා වැදගත් අධ්‍යාපන ක්‍රියාවලියක් අතරමගදී නතර වීම.......

  සුගිය ’70 – ’80 දශක වලදී රටෙහි විද්‍යා අධ්‍යාපනය කෙරෙහි විශාල උනන්දුවක් ඇති විය. රජයද  ‘සැමටම විද්‍යාව’ යන නව සංකල්පය යටතේ බොහෝ වැඩ සටහන් දියත් කරන ලදී. මෙම රැල්ලත් සමගම එවකට සිටි විද්‍යා අධ්‍යානඥයන් අතලොස්සකගේ


                                             ශ්‍රී ලංකා විද්‍යා සහ ගණිත අධ්‍යාපන සංගමයේ ලාංඡනය  

මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා විද්‍යා සහ ගණිත අධ්‍යාපන සංගමය - ශ්‍රී ලං වි ග අ ස  (Sri Lanka Association for Science and Mathematics Education –SLASME) පිහිටුවා ගන්නා ලදී. 1984 දී ආරම්භ කරන ලද මෙම සංගමයේ ආරම්භක සභාපති වුයේ පේරාදෙණිය ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය වැලන්ටයින් බස්නායක මැතිතුමාය. අධ්‍යාපන අමාත්‍යංශයේ විද්‍යා අධ්‍යාපන අධ්‍යක්ෂක ධුරය ඉසිලු ජිනපාල අලස් මැතිතුමා  උප සභාපති විය. ඒ කාලයේ විද්‍යා අධ්‍යාපනයට සම්බන්ධ තවත් නිලධාරින් කිහිප දෙනෙක්ද, විද්‍යා සහ ගණිත ගුරුවරු රාශියක්ද, විවිධ ක්ෂේත්‍ර වල නියැලී ව්ද්‍යා අධ්‍යාපනයට  ලැදි තවත් අයද සියයක් පමණ සංගමයේ සාමාජිකයින් වුහ. සංගමයේ ආරම්භක සාමාජිකයින් වී එය විසුරුවා හරින තෙක්ම, එහි සභාපති ධුරය සහ වෙනත් නිලතල වරින් වර දරා, රටෙහි සිසු පරපුර වෙනුවෙන් අගනා මෙහෙයක්‌ කරන ලද විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල්, ඩි.ඒ. පෙරේරා  මැතිතුමා සහ විශ්‍රාමික විභාග කොමසාරිස් ජනරාල්, ස්ටර්ලින් පෙරේරා මැතිතුමාද බැති සිතින් සඳහන් කරමි.


මහා බ්‍රිතාන්‍යයේ සුප්‍රකට විද්‍යා සංගමයක්  වන පොදු රාජ්‍ය මණ්ඩලීය විද්‍යා ගණිත අධ්‍යාපන සංගමයේ (Commonwealth Association for Science and Mathematics Education- CASME) ආකෘතිය අනුව සකස් වූ මෙම සංගමයට ටික කලකදීම එම ජාත්‍යන්තර සංගමයේ සාමාජිකත්වයද ලබාගත හැකි විය.

විශේෂයෙන්ම පාසල් අධ්‍යාපනයේ, ඉහල ප්‍රාථමික, කනිෂ්ඨ. සහ ද්විතීය මට්ටම් වල ඉගෙනුම ලබන දරු දැරියන්ගේ විද්‍යාත්මක දැනුම සහ අවබෝධය වැඩි දියුණු කිරීම   සංගමයේ මුලික පරමාර්ථය වූ අතර, ඔවුනට විද්‍යාත්මක ක්‍රමය ආශ්‍රීතව සරල ගවේෂණ  කිරීම සහ ඒවායේ තොරතුරු ඉදිරිපත් කිරීමට වේදිකාවක්  සකස් කිරීමද සංගමයේ අභිප්‍රාය විය. සංගමයේ ලාංඡනයද මෙයට ගැලපෙන ආකාරයටම සකස් විය. එහි ඇති ළමා හිස, අත සහ හදවත යන නිරූපණ වලින් සංකේතවත් වනුයේ කුඩා කළ සිටම, දැනුම හෝ අවබෝධය, හසුරු කුසලතා සහ ආකල්ප සංවර්ධනය කළ යුතු  බවයි.  මෙයින් හිස (මොළය) දැනුම සඳහාත්, අත කුසලතා සඳහාත්, හදවත ආකල්ප සඳහාත් මුලික වන බව පෙන්නුම් කෙරේ. 
  
ආරම්භයේදී, එවකට සිටි විද්‍යා සහ ගණිත අධ්‍යාපන නිලධාරීන්ගේ සහ විද්‍යා ගුරුවරුන්ගේද සහාය ඇතිව සංගමයේ කටයුතු පහසුවෙන්  කරගෙන යාමට හැකිවිය. මෙම සංගමයේ මූලික පරමාර්ථය වූයේ පාසැල්  සිසුන්ට  සරල කෙටි කාලීන විද්‍යා ව්‍යාපෘති වල නියැලීමටත්, ඒවා අනුසාරයෙන් ගැටළු හඳුනා ගැනීමටත්, නිරාකරණයට අදාළ උපකල්පන සකස් කර ගැනීමටත්, ඒ ඔස්සේ අවශ්‍ය ක්‍රියාකාරකම් මගින් දත්ත ලබාගැනීම සහ නිගමන වලට එළඹීමටත් අවස්ථාව සලස්වා දීමයි. මේ ආකාරයෙන් සිසුන්ට නිරායාසයෙන්ම   විද්‍යාත්මක ක්‍රමය පිළිබඳව මනා පරිචයක් ලබාගැනීමට අවස්ථාව ලැබුණි.

1984 වර්ෂයේ සිට නොකඩවා සංගමයේ මාසික රැස්වීම් සහ වාර්ෂික මහා සභාවක් බැගින් පවත්වා විද්‍යා අධ්‍යාපනය වඩාත් ප්‍රායෝගික සහ වඩාත් වැඩදායි එකක් කිරීමට කළ හැකි විවිධ දේ සාකච්ඡා කරන ලදි. සෑම වර්ෂයකදීම  සංගමය මගින් සිසු ව්‍යාපෘති සියයකට අධික සංඛ්‍යාවක් සඳහා උපදෙස් ලබාදී  ප්‍රාථමික, කනිෂ්ඨ සහ ද්විතීය  යන මට්ටම වලින් තෝරා ගනු ලබන ව්‍යාපෘති තිහකට අධික සංඛ්‍යාවකට සවිස්තර වාර්තා සහිතව විද්වත් මඬුල්ලක් හමුවේ ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙන ලදි. වයස් මට්ටම් අනුව බලන විට සමහර සිසුන් විසින් ඉදිරිපත් කරනු ලැබූ ව්‍යාපෘති විශිෂ්ට ගණයේ ඒවා විය. එක් වර්ෂයකදී ඉදිරිපත්වූ ව්‍යාපෘති මාතෘකා කිහිපයක් පහත දැක්වේ. 

           හය වන ශ්‍රේණියේ  සිසුවියකගේ     ‘මගේ යාලු කඩිගුල’  
          පස්වන ශ්‍රේණියේ සිසුවෙකුගේ    ‘මකුළුවෙක් දැළ විවීම’   
          නවවන ශ්‍රේණියේ සිසුවියකගේ   ‘හොර ගසක බීජ ව්‍යාප්තිය’ 
          දහවන  ශ්‍රේණියේ සිසුවියකගේ     ‘සලබයෙකුගේ ජීවන චක්‍රයේ රහස‘     

මේවා එම වර්ෂයේ දී තෝරාගත් සරල ව්‍යාපෘති අතරින් කිහිපයකි. මේ සියල්ලම ඉතා සරල අදහස් වුවත් ඒවා සැලසුම් කිරීම, දත්ත ලබාගැනීම, දත්ත විශ්ලේෂණය, නිගමනය ආදිය ඉතා හොඳින් සිදූකර තිබුණි.

‘කඩි ගුල’ පිලිබඳ අධ්‍යයනය කළ සිසුවිය ගුලෙන් පිටතට පැමිණෙන කඩි දස දෙනෙකු සලකුණු කර, දින කිහිපයක් ඔවුන් නිරීක්ෂණය කර ගුලෙහි සිට කොපමණ දුරකට ඔවුන් ආහාර සොයා ගමන්  කරන්නේද යන්න මැනවින් අධ්‍යයනය කර රූප සටහන්, වගු, ප්‍රස්තාර ආදිය ආශ්‍රීතව ඉතාමත් දක්ෂ අන්දමින් ඉදිරිපත් කරන ලදී.

දහවන  ශ්‍රේණියේ සිසුවියගේ ‘සලබයෙකුගේ ජීවන චක්‍රයේ රහස‘ නම් ව්‍යාපෘතියේදී ඇය විසින් තම ගෙදර වත්තේ රසකිඳ වැලක එල්ලෙන මුල් කා දමන සලබ දලඹුවෙකු  අධ්‍යයනය  කර ඇති අතර දින කිහිපයකට පසු එම දලඹුවා අදෘශ්‍යමාන වන බව

                                                                         සලබ දළඹුවා 

නිරීක්ෂණය කර තිබේ. මෙ ගැන අපගෙන් තොරතරු විමසන ලදි. මෙ පිළිබඳව අපට තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූ නිසා ගැටලුව කෘමි විද්‍යාඥවරියකට යොමු කරන ලදි. එම විද්‍යාඥ වරියගෙන් එයට පිළිතුරක්‌ ලැබිණ. එම සලබයා ඉතාමත් විරල එකෙක් බවත් එම ප්‍රදේශයේ රසකිඳ වැල් වල පමණක් සිටින බවත් දැනගන්නට ලැබිණ. ඇය සඳහන් කළ පරිදි, රසකිඳ වැලෙහි එල්ලෙන මුල අග්‍රයේ, සලබයා බිත්තර දමයි. මේ බිත්තර වලින් එළියට පැමිණෙන කීට දළඹුවෙකු මුල කා දමමින් ඉහලට ගොස් ටික දිනකින්  එතනින් බිමට වැටි  ජීවන චක්‍රයේ ඊළඟ අවස්ථාව පොලොව යට කෝෂයක් සාදාගෙන  ගත කරයි. එසේ සිට තවත් දින කිහිපයකින් සුහුඹුලෙකු ලෙස පොළොවෙන් මතු වන බව අපද දැන ගත්තේ ඊට පසුවය.

මෙම සලබයාගේ ජීවන චක්‍රයේ අදෘශ්‍යමාන අවස්ථාව ගැන සොයා බැලීමට එම ශිෂ්‍යාව කර ඇති ගවේෂණය ඉතාමත් වැදගත් එකකි. ඇය ඒ මගින් විද්‍යාත්මක ක්‍රමය මැනවින් අවබෝධ කර ගෙන තිබේ.
                                            
                                                                     සුහුඹුල් සලබයා

සෑම වර්ෂයකම සිසුන් විසින් ඉදිරිපත් කරනලද ව්‍යාපෘති යෝජනා වලින් බහුතරයක් පරිසරයට අදාළ ක්‍රියාකාරකම් වීම විශේෂ ලක්ෂණයකි.

ව්‍යාපෘති වාර්තා ඉදිරිපත් කිරීම සහ වාර්ෂික සමුළුව සඳහා පහසුකම් සහිත පාසැලක් තෝරා ගැනීම සිරිතය. ඒ සෑම විටකම තෝරා ගත්  පාසලේ විදුහල්පති සහ ගුරු මණ්ඩලයේ නොමඳ සහයෝගය ලැබී ඇත. එහිදී ව්‍යාපෘතිය ඉදිරිපත්කරන සිසුවාට විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ තම ව්‍යාපෘතිය ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසේ. සිසුන්ගේ දෙමාපියන් ගුරුවරුන් සහ රටෙහි විවිධ ප්‍රදේශවලින් පැමිණි ව්‍යාපෘති ඉදිරිපත් කරන අනෙකුත් සිසුන්ද ඉදිරියේ තම ව්‍යාපෘතිය ඉදිරිපත් කිරීම සිසුනට මහත් ආඩම්බරයකි.

තමා විසින් ස්වාධීනව සකස් කරන ලද ව්‍යාපෘති වාර්තාව, ඉතාමත් දක්ෂ ලෙස සබකෝලයකින් තොරව, පිරිසක් ඉදිරියේ  ක්‍රමානුකූලව ඉදිරිපත් කිරීමට  සිසුන් තුළ ඇති කුසලතාව හඳුනා ගැනීමට මෙම වැඩ සටහන් බෙහෙවින් ප්‍රයෝජනවත් වී තිබේ. මෙම වැඩ සටහන සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ විද්‍යා අංශයේද ප්‍රාදේශීය විද්‍යා අධ්‍යාපන නිලධාරීන්ගේද සහයෝගය නොඅඩුව ලැබුණි. මෙම වැඩ සටහන් වලදී සිසුන් විසින් කරන ලද පරිසර අධ්‍යයන, අගැයීමක්‌ද කර එම වාර්තා මුද්‍රණය කර සිසුන් අතර බෙදා දීමටද වැඩ පිළිවෙලක් සකස් කර තිබුණි. 
 
එහෙත් 2012  වර්ෂයෙන් පසුව ආර්ථික ප්‍රශ්න, කාර්යාලය පවත්වාගෙන යාම සඳහා ස්ථානයක් නොමැති වීම, ගුරු සිසු උනන්දුව අඩුවීම, නිලධාරි සහයෝගය නොලැබීයාම වැනි කරුණු නිසා අක්‍රීය තත්වයට පත්විය. මේ නිසා ඉතා වැදගත් වැඩ සටහනක් අතහැර දමන්නට සිදුවිය. අවසානයේදී එවකට සිටි විධායක මණ්ඩලය රැස්වී, සංගමයේ සියලුම අරමුදල් සහ වගකීම් විද්‍යා ව්‍යාපෘති සඳහා උනන්දුවක් දක්වන ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයට (SLAAS)  ව්‍යවස්ථානුකූලව හාර දෙන ලදී. වසර විසිපහක් තිස්සේ අඛණ්ඩව කරගෙන යනු ලැබූ මහඟු අධ්‍යාපන ක්‍රියාවලියක ඉරණම මෙසේ වීම කණගාටුදායකය. (මාද  වසර දෙකක් මෙම  සංගමයේ සභාපති ලෙස කටයුතු කර තිබේ.)  
 
මෙයට සමගාමීව, ගුරු ව්‍යාපෘති සඳහා, එක්සත් රාජධානියේ, පොදුරාජ්‍ය මණ්ඩලීය විද්‍යා සහ ගණිත අධ්‍යාපන සංගමය (CASME) මගින් පවත්වන ලද තරඟ වලට අපගේ විද්‍යා සහ ගණිත අධ්‍යාපන සංගමය (SLASME) මගින් ඉදිරිපත්කරන ලද ගුරු ව්‍යාපෘති කිහිපයකටම විශේෂ ත්‍යාගද ලැබුණු අතර, ත්‍යාග ලාභීන්  එක්සත් රාජධානියට ගොස් එම ත්‍යාග සහ සහතික පත්  ලබාගත් අවස්ථාද  කිහිපයක් තිබේ. 

පාසැල් සිසුන් අතර ඉතා ජනප්‍රිය වූ මෙම වැඩ සටහන නැවත ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගන්නේ නම් එය සිසු දරුවන් වෙනුවෙන් ගන්නා වැදගත් තීරණයක් වනු ඇත








15 comments:

  1. හදට ලෙන්ගතු පරිසරය හා නිතර සහයෝගෙන් බැඳී
    කරට කර සිසු දරුවො නිතරම කරයි දස්කම් තුටු විඳී
    සැමට විද්‍යා වැඩසටහනේ ඇති අගය සැමට පෙන්වා දිදී
    අදට සරිලන ලෙස හැදුවොතින් සතුටෙ වචන කියනට මදී.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමි,

      එ දා කව්රුත් වැඩ කළේ එය සේවයක් මෙන් සිතමිනි
      මෙදා ඒ ගැන සිතන්නටවත් බැරි තරම් වෙනසක් වූනි
      බ දා ගනිමින් වාසි ඇති සැම දේම පමණක් යහමිනි
      කි ඳා බැස ඇත මිනිස් සිත් තුළ යහ ගුණය ඉන් වැළකිණි

      ඔබට ජය !

      Delete
  2. අද ලංකාව විද්‍යාවට වඩා අවිද්‍යාව ප්‍රවර්ධනය කරන එක කනගාටුවට කරුණක්.මේ තරම් වටිනා වැඩපිළිවෙලවල් අක්‍රියව අතහැර දැමීමේ අනිටු ප්‍රතිපල තමයි අද අපි රටක් විදියට මේ විදින්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝජ්,
      මේ වගේ වැඩ සටහන් තනියම හෝ කිහිප දෙනෙකුට පමණක් කරන්නට බැහැනේ. NGO සම්බන්ධ කරගෙන කරන බොහෝ ව්‍යාපෘති වල තිබෙන්නේත් බොරු ආටෝපය විතරයි. නැවත කවදා හෝ අපේමයි කියන්නට පුළුවන් වැඩ සටහන් එලි දකීවා කියා පතමු.

      Delete
    2. ස්තුතියි මනෝජ්
      අනාගතයේදිවත් සත්‍යය තේරුම ගන්නා අය බිහිවේවායි පතමු.

      Delete
    3. PraJay ටත් ස්තුතියි

      Delete
  3. සාත්තර කීම, හඳහන් බැලීම, කොඩිවිණ කැපීම, ගම්මිරිස් ඇඹරිම වගේ විෂයයන් ගැන අධ්‍යාපන ව්‍යාපෘති කළා නම්, ඕක තාමත් තියෙනවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික,
      අපේ මිනිස්සු මේ තරම් අවිද්‍යාව පසු පසම දුවන්නේ ඇයිද කියා සොයා බලා පිළියම් නොයෙදුවොත් අපට කිසි දිනක් ගොඩ යාමක් නැහැ නේද?
      දැන උගත් අය යයි කියා ගන්නා අයත් මේවාට සම්බන්ධ වෙන එකනේ පුදුමේ!

      Delete
    2. රටේ මිනිස්සු ඡන්දේ දීලා පත් කරන නායකයින් ගේ චර්යාව බලන්න. උං ඉන්නේ අවිද්‍යාවේ ගැලිලා.

      මෙන්න උදාහරණ කීපයක්.

      1. මහින්ද රාජපක්‍ෂ
      http://rasikalogy.blogspot.com/2014/11/blog-post.html
      ජනාධිපතිවරණයේ නැකත් බැලිල්ල නොහොත් රටට එදිරිව මම


      2. ම.රා. සහ මෙත්‍රීපාල සිරිසේන (පසුව රනිල් වික්ස් ද මේ ගොඩටම එකතු විය)
      http://rasikalogy.blogspot.com/2015/02/thirupathi-worshiping-yuk.html
      මී හරකයි, එළ හරකයි? - Thirupathi worshiping, yuk!


      3. පරණ නායකයෙක් - හෙක්ටර් කොබ්බෑකඩුව
      http://rasikalogy.blogspot.com.au/2015/03/our-politicians-and-their.html
      ඇයි ඉලෙක්ෂන් එකට අපි සියඹලා ගේන්න ම එපාද? - Our politicians and their foolishness


      Delete
    3. ස්තුතියි රසික.
      මම විශ්‍රාම ගත්තට පස්සේ SLIA එකේ ලේඛකාධිකාරී ලෙස කලක් වැඩ කළා. ඒ කාළේ රටට කරදර ඇති උනේ ඔය කියන තිරුපති දෙවාලයේම දේව රුපයක ඇස් බැල්ම කෙලින්ම ලංකාවට වැටෙන නිසා බව මහා දැන මුත්තතන් කියා තිබෙනවා. ඒ බලවේගය කැපී යන්නට ලංකාවෙත් මුතුරාජවෙල දේවාලයක් තැනවීමට මුදල් වෙන්කර, වාස්තු විද්‍යාඥයින් අතර තරඟයකුත් පැවැත්තුවා. මටත් මේකේ සංවිධාන වැඩ වලට සම්බන්ධ වන්නට සිදු වුවා. පසුව ආණ්ඩු පෙරලියක් නිසාදෝ එය අත හැර දැම්මා වගේ මතකයි.

      Delete
  4. ඕක දිගටම තිබුණනං මිත්‍යාව වපුරන හොරුන්ට මේ රටේ තැනක් නැතිවෙනව. වෙන රටවල් මිත්‍යාවෙන් විද්‍යාවට යද්දි ලංකාව විද්‍යාවෙන් මිත්‍යාවට යන එක කණගාටුදායකයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      කාටද මේකට පිහිටක් වෙන්නට පුළුවන්?

      Delete
  5. මිත්‍යාව, පසුගාමී ආකල්ප වෙනස් කිරීමේ මූලික පියවර ගත යුත්තේ මූලික අධ්‍යාපනය තුලමයි, මම හිතන විදිහට. මෙවැනි සංගම් වැසීයාමත්, රට තුල මිත්‍යාව පැතිරීමත් එකම ක්‍රියාවලියක ප්‍රතිඵල. රටක ආකල්ප වෙනස් කිරීමට සමත් දැක්මක් සහිත දේශපාලකයන් අද අපිට නැහැ. එතැනින් පටන් ගෙන සුදුස්සන්ට සුදුසු තැන් නොලැබීමෙන් තමයි අපි ටිකෙන් ටික පරිහානියටම යන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිසර,
      පාසැල් අධ්‍යාපනයෙන් නම් මේ මිත්‍යා මත ටික ටික ඈත් වෙනවා. ඒ උනත් වැඩිහිටියන් යයි කියා ගන්නා අය මේ ගැන දැනුවත් කිරීමට වැඩ පිළිවෙලක් තමයි අත්‍යාවශ්‍ය

      Delete