මගේ කලින් ලිපියක සටහනක් තැබූ සහෘදයෙකු ලියා
තිබුනා සමහර ආයතනවලින් (විභාග දෙපාර්තමේන්තුව නොවේ) සකස් කරනු
ලැබූ ප්‍රශ්න පත්‍ර වල බොභෝ අඩුපාඩු තිබෙන බව. මෙසේ සිදුවිය හැකි අඩුපාඩු
මගහරවා ගැනීම සඳහා ප්‍රශ්න පත්‍රයක් සකස් කිරීමේදී අනුගමනය කරනු ලබන සැලසුම් කිරීම
ව්මසා බැලීමක් මෙහි දැක්වේ. විභාග ප්‍රශ්න සකස් කිරීමේ විද්‍යාත්මක ක්‍රම්වේදයක්
තිබෙන අතර විෂයය නිර්දේශයේ සීමා නොඉක්මවන බව, භාෂාව හැසිරවීම, ව්‍යාකරණ නිවැරදි
බව, සරල බව ආදී කරුණු රාශියක් සැලකිල්ලට ගත යුතුය. ඒ සියල්ලටම අමතරව ප්‍රශ්න සකස්
කිරීමේ කලාවක්ද තිබෙන බව සඳහන් කළ යුතුය. ඔහු සඳහන් කර තිබුණු පරිදි අපට දකින්නට ලැබුණු
වැඩිහිටියන් විසින් සකස් කරන ලද සමහර විභාග ප්‍රශ්න වලද හාස්‍ය ජනක අවස්ථා තිබුණු බව සත්‍යයකි.
මෙහිදී විස්තර කිරීමේ පහසුව සඳහා අපොස සාමාන්‍ය
පෙළ විභාගය ගනිමු. මෙහිද
මා වැඩිපුර අවධානය යොමු කරනුයේ විද්‍යාව
විෂයයටය. මෙසේ ලියන තොරතුරු බෙහෙවින් අදාළ
වනුයේ දශක දෙකකට පමණ ඉහතදී තිබුණු තත්ත්වයටය. මේ නිසා දැනට භාවිත වන නව ක්‍රමවේදයන්හි යම් යම් සුළු
වෙනස්වීම් තිබෙන්නට පුළුවන.
විභාග කටයුතු පහසුවීම සඳහා ප්‍රශ්න බැංකුවක්
තිබිය යුතුය යන අදහස කලක සිට පැවතියේය. ඒ ඒ විෂයය අනුව වෙන්කරන ලද සම්මත ඉගෙනුම්
නිපුණතා වලට ගැලපෙන පරිදි වර්ගීකරණය කළ ප්‍රශ්න, විභාග ප්‍රශ්න පත්‍ර වලට ඇතුලත් කිරීම
සඳහා ප්‍රශ්න බැංකුවේ රැස්කර තැබිය හැකිය. මේ මගින් ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ
බැරැරුම් කාර්යය තරමක් පහසු වනු ඇත. බොහෝ සංවර්ධිත රටවල විභාග කටයුතුවලදී ප්‍රශ්න බැංකු බහුල වශයෙන් ප්‍රයෝජනයට ගනු ලැබේ.
ශ්‍රී ලංකාවේද ප්‍රධාන විභාග පැවැත්වීම විමධ්‍ය ගත කර නොමැති නිසා, ප්‍රධාන
විඝාග සඳහා අයදුම් කරුවන් ලක්ෂ තුන හතරක්
ඉදිරිපත් වෙති. මේ නිසා රහස්‍ය භාවය ආරක්ෂා කර ගනිමින් මෙම විභාග පැවැත්වීම ඉතාමත්
භාරදුර කාර්යයකි.
ප්‍රශ්න පත්‍රයක් සකස් කිරීම සඳහා තෝරා ගනු
ලබන්නේ අදාළ විෂයය පිළිබඳව පුළුල් දැනුමක් සහ අවබෝධයක් තිබෙන ප්‍රවීණයන්ය. විශ්ව
විද්‍යාල සහ ගුරු විද්‍යාල ආචාර්ය වරු, විෂයය මාලා සංවර්ධන නිලධාරීන්, ප්‍රවීණ අධ්‍යාපන
නිලධාරීන් වැනි අය මේ ගණයට වැටේ. එසේම ඒ සියලුම දෙනාම විභාග රහස්‍ය භාවය ආරක්ෂා
කිරීමට, හෘදය සාක්ෂියෙන්ම එකඟ විය හැකි අවංක අය බවට විභාග දෙපාර්තමේන්තුවට එත්තු
ගොස් තිබිය යුතුය. ඉගෙනුම් නිපුණතා පිළිබඳව මනෝවිද්‍යාත්මක පසුබිමක් සහිතව සකස් කර
තිබෙන බ්ලූම්ගේ වර්ගීකරණය (Bloom's Taxonomy) ප්‍රශ්න පත්‍ර සකස් කිරිමේදී බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.
විභාග දෙපාර්තමෙන්තුවේ පෙර සුදානම
විභාග දෙපාර්තමෙන්තුවේ සියලුම ශාඛා, (රහස්‍ය,
සංවිධාන, දත්ත සැකසුම්, ඇගයීම් ආදිය) ඉතාමත්
සංවිධානාත්මක ව සහ සාමුහිකව සැලසුම් කරනු ලබන වැඩ කොටස් රාශියක්, වර්ෂය මුළුල්ලේම,
යම්කිසි අනුපිළිවෙලකට කරගෙන යනු ලබයි. මේ කිසිම කාර්යයක් මගහැරීම හෝ පසුවට කල්
දැමීමක් කළ නොහැකිය. ජාලයක් ලෙස පවතින සියලුම කටයුතු නොපිරිහෙලා ඉටුවන විට විභාග
පැවැත්වීම කාර්යක්ෂමව සිදුවේ. විශේෂයෙන්ම පාසල් විභාග සැලසුම් කිරීමේදී අධ්‍යාපන
අමාත්‍යාංශය, ප්‍රාදේශීය අධ්‍යාපන දෙපාර්තමේන්තු, ජාතික අධ්‍යාපන ආයතනය වැනි ආයතන
සමගද සම්බන්ධතා ඇති කර ගැනීමට සිදුවේ.
කලින් වර්ෂයේ අගදී පැවැත්වූ අපොස සාමාන්‍ය පෙළ
විභාගයේ ප්‍රතිඵල පිටවී, නැවත සමීක්ෂණ වැඩ කටයුතුද, මැයි මාසය පමණ වන විට අවසන්වේ.
මේ සමගම එම වර්ෂය අවසානයේදී පැවැත්වෙන
විභාගයේ ඒ ඒ විෂයයන් සඳහා ප්‍රශ්න පත්‍ර සැකසුම් කමිටු පත් කරනු ලැබේ. අවශ්‍ය
තොරතුරු සහ විෂයය මාලාවේ පිටපතක්ද නියමිත විෂයය නිර්දේශයේ සීමාද ඔවුනට විභාග
දෙපාර්තමේන්තුවෙන් යවනු ලැබේ.
විෂයය නිර්දේශයේ සීමා නිර්ණය කර ගැනීමද වැදගත්
කාර්යයකි. එහිදී වර්ෂය අවසන්වන විට ඒ ඒ
විෂයයේ නියමිත නිර්දේශ විෂයය කොටස් වලින් උගන්වා නිම කළ හැකිවේ යයි බලාපොරොත්තු
විය හැකි ප්‍රතිශතය පිළිබඳව දළ අවබෝධයක් ලබාගැනීම අවශ්‍යය. මෙසේ කරනුයේ විවිධ
හේතුන් නිසා ඉගැන්වීම් ඉගෙනුම් ක්‍රියාවලියේ සිදුවන අඩු ලුහුඬු කම නිසා,
විශේෂයෙන්ම ගම්බද පාසල්වල සිසුනට සිදුවියහැකි අසාධාරණය අඩු කර ගැනීම සඳහාය. මේ සඳහා
දීප ව්‍යාප්තව, ස්තරීභුත අහඹු පාසල් නියැදියක (SRS–Stratified Random Sample) සමීක්ෂණයක් පවත්වනු ලැබේ. මේ මගින් ලබාගන්නා දත්ත විශ්ලේෂණය කර, අදාළ ප්‍රශ්න පත්‍ර සැකසුම්
කමිටු වෙත සපයනු ලැබේ. (ස්තරීභුත
අහඹු පාසැල් නියැදියක් ලබාගනුයේ සංඛ්‍යා විද්‍යාත්මක සිද්ධාන්ත ආශ්‍රීතව සකස් කෙරෙණ
වගුවකිනි) නියමිත දිනට සම්පුර්ණ කරන ලද ප්‍රශ්න පත්‍රය සහ එම ප්‍රශ්න පත්‍රයට අදාළ
ලකුණු දීමේ ක්‍රමයද (Marking
Scheme)
විස්තරාත්මකව, සකස් කර රහස්‍ය ශාඛාවට භාරදීම කමිටුවේ වග කීමයි.
ප්‍රශ්න පත්‍ර සැකසුම් කමිටු වල කාර්ය භාරය
ප්‍රශ්න පත්‍ර සැකසුම් කමිටුවට අදාළ තොරතුරු
ලැබුණු විට නොපමාව එහි ඇති දත්ත ආශ්‍රීතව ඔවුන් විසින් විෂයයට අදාළ පිරිවිතර
වගුවක් (Table of
Specifications)
සකස් කර ගත යුතුය. පිරිවිතර වගුව ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය සඳහා තීරණාත්මක මෙවලමකි.
මෙය සකස් කිරීමේදී විෂයයේ ඒ ඒ ඒකක
ඉගැන්වීම සඳහා ඇති කාල ඡේද ගණන, අදාළ ප්‍රයෝගික ක්‍රියාකාරකම්, සිසු පැවරුම් ආදියද
සැලකිල්ලට ගැනේ. මෙ සියල්ල මුල් කර
ගනිමින් ප්‍රශ්න පත්‍රය සකස් වේ. ( පිරිවිතර වගුවක් සකස් කරනුයේ විෂයයේ ඒකක සියල්ල
උප කොටස් රාශියකට බෙදා - 50 ක් පමණ - ඒවා වගුවේ තිරස්ව සටහන් කර ප්‍රශ්න සංඛ්‍යාව
- බහු වරණ නම් 40 - වගුවේ සිරස්ව සටහන් කර ගැනීමෙනි. උදාහරණයක් වශයෙන්, 30 වන ප්‍රශ්නය
ගනිමු. මෙ සඳහා 7 වන ඒකකයේ 3 වන කොටස යෝග්‍යයයි හැගේ නම්, එම අදාළ කොටුවේ හරි
ලකුණක් දැමේ. මේ ආකාරයට වගුව සම්පුර්ණ වූ පසු, ඒ ඒ ප්‍රශ්නයේ නිපුණතා මට්ටම තීරණය
කරනු ලැබේ. පසුව ඒ ඒ විෂයය කොටසින් තීරණය කළ නිපුණතා මට්ටමට සුදුසුයයි හැඟෙන ප්‍රශ්නයක්
බැගින් නිර්මාණය කෙරේ. සමහර අවස්ථාවලදී එක් විෂයය කොටසකින් ප්‍රශ්න එකකට වැඩි සංඛ්‍යාවක්
වුවද පිළියෙළ කළ හැකිය )
විශේෂයෙන්ම බහු වරණ ප්‍රශ්න පත්‍රය සකස් කිරීමේදී
ඒකක අනුව ප්‍රශ්න විසිරවීමට සහ නිපුණතා මට්ටම වලට අනුරුප වන ලෙසට ප්‍රශ්න සංඛ්‍යා
තීරණය කිරීමටත් පිරිවිතර වගුව ප්‍රයෝජනවත් වේ. දෙවන ප්‍රශ්න පත්‍රයේද විෂයය මාලාවේ
වැඩි ‘බරක්’ (weightage) දැක්විය යුතු සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට
අදාළ ප්‍රශ්න තීරණය කිරීමද පිරිවිතර වගුව ආශ්‍රීතව කළ හැකිය.
ප්‍රශ්න පත්‍රයේ පිළිගත් රටාව නොවෙනස්ව පවත්වා
ගැනීමද වැදගත් කාර්යයකි. එසේම විද්‍යා විෂයයන්ගේ (රසායන, භෞතික සහ ජීව) සමෝධානය
ගැනද සැලකිලිමත් වීම අවශ්‍යය. මෙයින් බලාපොරොත්තු වනුයේ ස්වාභාවික හෝ සාමාන්‍ය
සංසිද්ධි රසායන, භෞතික හෝ ජීව ආදී වශයෙන් තොරව එකට සම්බන්ධව ක්‍රියාත්මක වීම
පිලිබඳ පණිවුඩයක් දීමය. එදිනෙදා ජීවිතයේදී හමුවන
සමහර සරල ගැටළු වලට විෂයය සීමා ඇතුළත,
විද්‍යාත්මකව විසඳුම් සෙවීම පිළිබඳව සිසුන්ගේ අවබෝධය මැනීම සඳහාද ප්‍රශ්න
වල කරුණු ඇතුලත් කිරීම වැදගත්ය.
සරල සංසිද්ධියක් විද්‍යාත්මකව පරීක්ෂණයට භාජන කර
තොරතුරු ලබාගැනීම සඳහා සරල ක්‍රියාකාරකම් නිර්මාණය කිරීමටද අවස්ථාවක් බොහෝ විට
විද්‍යාව ප්‍රශ්නයක දකින්නට ලැබේ.
මෙ සියල්ලෙන් පරිපුර්ණ විභාග ප්‍රශ්න පත්‍රය,
කමිටුව විසින්ම සකස් කරන ලද ලකුණු දීමේ ක්‍රමයක්ද (Marking Scheme) සමග
විභාග දෙපාර්ත මෙන්තුවේ රහස්‍ය ශාඛාවට නියමිත දිනට් පෙර භාර දිය යුතුය.
මෙසේ සකස් කර අවසන් කරනු ලබන ප්‍රශ්න පත්‍රය, ඉන්පසු
ප්‍රවීණ මධ්‍යස්ත අධ්‍යාපනඥයෙකු මගින් විෂයය කරුණු, ප්‍රායෝගික අදාල භාවය, භාෂා
නිවැරදී භාවය ආදිය පිළිබඳව ප්‍රමිත (Moderate) කිරීමෙන් පසුව මුද්‍රණ කටයුතු සඳහා සුදානම් කරනු ලැබේ.
මීට කලකට පෙර ප්‍රශ්න බැංකුව සකස් කිරීමේ මූලික
වැඩ කටයුතු මා භාරයේ පැවති පර්යේෂණ සහ සංවර්ධන ශාකාවට පැවරිණ. මෙහි ප්‍රථම පියවර
ලෙස තෝරාගත් නිලධාරීන් පිරිසකට අධ්‍යාපන මනෝ විද්‍යාත්මක ක්‍රමවේද අනුව ප්‍රශ්න
සකස් කිරීම පිළිබඳව සතියක පුහුණුවක් ලබාදෙන ලදී. ඒ සමගම සේවයේ දී සිටින ගුරු
මහත්මා මහත්මීන්ටද ප්‍රශ්න බැංකුව සඳහා සුදුසු ප්‍රශ්න සපයන ලෙස ඇරයුම් කරන ලදී.
(ගුරු පුහුණුවේදී සහ අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාවේදී ප්‍රශ්න පත්‍ර සකස් කිරීම ගැන සාකච්ඡා කෙරේ.) එසේ
ලැබුණු ප්‍රශ්න අතර ඉතාමත් අග්‍ර ගණයේ ප්‍රශ්නද විය. මෙම ප්‍රශ්න අවශ්‍ය සංස්කරණ
කිරීමෙන් පසු ප්‍රශ්න බැංකුවට ඇතුලත් කරන ලදී.
එසේ ලැබුණු ප්‍රශ්න අතර තිබුණු හාස්‍ය ජනක ප්‍රශ්න
කිහිපයක්ද මෙහි සඳහන් කරමි. ඒවායේ ඇති වැරදි සොයා ගැනීම ඔබට භාර කරමි. මෙවැනි අඩු
ලුහුඬුකම් ඇති ප්‍රශ්න කිසි විටක විභාග
දෙපාර්තමේන්තු ප්‍රශ්න පත්‍ර වලට ඇතුල් වීමට ඉඩකඩ නොමැති බව විශේෂයෙන් සඳහන් කරමි.
ප්‍රශ්න
බැංකුවේ අපොස සාමාන්‍ය පෙළ සඳහා, විවිධ අයගෙන් ලැබුණු ප්‍රශ්න වලින් තෝරා ගත්,
කිසිසේත් ප්‍රශ්න පත්‍රයකට ඇතුලත් කළ නොහැකි සරල බහු වරණ ප්‍රශ්න කිහිපයක් ගැන
සලකා බලමු. අහඹු ලෙස තෝරාගන්නා ලද මෙම ප්‍රශ්න නිපුණතා වර්ගීකරණයේ පහලම මට්ටම වන
‘මතක’ (Recall) ගණයට වැටෙන බහු වරණ (multiple choice) ඒවා වේ.
මෙම ප්‍රශ්න තෝරා ගනු ලැබුවේ හුදෙක් හාස්‍ය ජනක
නිසාම බව කරුණාවෙන් සලකන්න.
·
ඝර්ම කලාපීය රටවල සාමාන්‍ය උෂ්ණත්වය වැඩි කුමක්
නිසාද? පිළීතුරු:
1. සුර්යයා
නිසා 2 නිරක්ෂය නිසා 3. හිම කඳු නැති නිසා, 4.
කාන්තාර නිසා
·
ධාන්‍ය, අල, බතල වැනි ශාක කොටස් වල පිෂ්ටය බහුලය.
මෙයින් පිෂ්ටය රැස්කර තබන ශාකය කුමක්ද?
පිළිතුරු:
1.බතල 2.
අර්තාපල් 3. කඩල 4 සහල්
·
11, 12, 13 ....
ශ්‍රේණියේ ඊළඟ සංඛ්‍යා දෙක ලියන්න. පිළිතුරු:
1. 14 සහ 15,
2. 15 සහ 16 , 3. 16 සහ 17
4. 17 සහ 18
·
මුඛයේ දත් වලින් මුලින්ම හැලෙන්නේ කුමන දත්ද?
පිළිතුරු:
1. බලු දත්
2. අනවශ්‍ය දත් 3. නලදත් 4. පණු දත්
·
වැලි සාම්පලයක විවිධ කොටස් වෙන්කර ගන්නේ කෙසේද? පිළිතුරු:
1. ගැරීම
2. පෙලීම 3, ඇහිලීම
4. සුළං කිරීම
·
කෘමි නාශක යෙදු එළවලු හඳුනා ගත හැක්කේ...... පිළිතුරු:
1. අවර්ණ වී ඇති නිසාය,
2. සරුවට තිබෙන නිසාය, 3. මිල අඩු නිසාය, 4. ප්‍රචාරය
අඩු නිසාය.
·
මෙයින් නොදිරවන ආහාර කොටසක් වන්නේ....... පිළිතුරු:
1. පාන්
, 2. කුකුල් මස්, 3.
මුංඇට, 4. පළතුරු
·
පස්වග මහණුන් කී දෙනාද ?
පිළිතුරු :
1. දෙදෙනාය
2. තුන්දෙනය 3. හතර දෙනාය 4. පස්දෙනාය
·
සමහර අවස්ථාවලදී
මිනිසාගේ උණ්ඩුක පුච්ඡය ශල්‍ය කර්මයකින් ඉවත් කරනුයේ ඇයි? පිළිතුරු:
1. එලියට නෙරා සිටින නිසා, 2. මුහුණ
අවලක්ෂණ වන නිසා, 3. බර
ඉසිලිය නොහැකි නිසා 4. ආහාර දිරවීම අපහසු
වනනිසා
·
වායු ගෝලය හරහා තාපය ගමන් කරන්නේ කෙසේද? පිළිතුරු:
1. 1. වලාකුළු නිසා 2. සුළඟ නිසා
3. වර්ෂාව නිසා 4. ගුරුත්වය නිසා
·
‘දිඹුල මල නිසා වෙහෙසුණු වැනි දියැද’ මෙම කවි
පදයේ ‘දිඹුල’ යනු කුමක්ද?
පිළිතුරු :
1,
අතැඹුල වැනි ගසකි 2. මනඃකල්පිත
ගසකි 3. දෙව්ලොව ඇති ගසකි 4. මලින් බරවූ ගසකි
·
‘යා දෙක නොරත රත’ කවිය ඇත්තේ කුමන සාහිත්‍ය
පොතෙහිද?
පිළිතුරු:
1. සුභාෂිතය
2. අමාවතුර 3. හංස සංදේශය 4. තේරී ගී
ජාත්‍යන්තරව
පිළිගත් විද්‍යාත්මක පියවර අනුගමනය කර,
විෂයය පිලිබඳ ගැඹුරු දැණුමක් ඇතිව ප්‍රශ්න
සකස් කළහොත් කිසිවිටෙක ප්‍රමිතියක් නොමැති මෙහි දක්වා ඇති ආකාරයේ ප්‍රශ්න
එළිදැක්වෙනු නොමැත.
පහසුවක් ගෙන ලියා දැමුවත් ප්‍රශ්ණයට පිළිතුරු මම
ReplyDeleteමෙපමණක් කල් සිතුනෙ නැහැ මට ප්‍රශ්ණ සදනා අන්දම
තරගයක් වෙත ප්‍රශ්ණ හැදුමට විෂය කරුණු තේරීමම
පුදුමයක් මය එවැනි සේවය ගරු කරන්නෙමි නිති මම.....
ජයවේවා!!!
ස්තුතියි දුමි.
Deleteදැනුම් මට්ටම මැනීමයි සැම විභාගයකදී කෙරෙන්නේ
මිහුම් දඬු ලෙස විවිධ පැනයන් තමයි භාවිත කරන්නේ
සියුම් ලෙස ඒ ඇවැසි පිළිතුරු හොඳින් සිතලා බලන්නේ
දිනුම් කණුවට යාම සිකුරුයි. ගුරුවරුයි මෙය කියන්නේ
ඔබට ජය !
මම හිතන්නේ මෑත කාලීනව විභාග ප්‍රශ්න පත්තරවල ගොඩක් අවුල් සහගත තැන් මතු වුනේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු මගින් පවත්වන විභාග වලයි.
ReplyDeleteඑවැනි විභාගත් අධික්ෂණ මට්ටමේ රාජකාරියක් හෝ විභාග දෙපාර්තමේන්තුව විසින් කරනවාද ?
ස්තුතියි මනෝජ්,
ReplyDeleteඔබගේ අදහස හරි. මා ඒ ගැන විශේෂයෙන් සඳහන් කළේ නැහැ.
අධීක්ෂණය ගැන ඉල්ලීමක් කළහොත් ඉටු කර දෙනවා. ප්‍රාදේශීය අධ්‍යාපන දෙපාර්තමේන්තු වලත් අවශ්‍ය පුහුණුව ලබා තිබෙන නිලධාරින් සිටිනවා
විභාග ප්‍රශ්නපත්තර සකස් කරන ආකාරය ගැන පැහැදිලි විස්තරයක් මෙතන තියෙනව. ස්තුතියි.
ReplyDeleteස්තුතියි ප්‍රසන්න,
ReplyDeleteමේ ප්‍රශ්න සකස් කිරිමේ මුලිකම අවස්ථාවයි. ප්‍රශ්න පත්තරයක් මගින් විභාග අපේක්ෂකයාගේ දැනුම මැනිමත් සමගම ඔහු කුසලතා සහ යහපත් ආකල්ප වලටද සංවේදී බව යන්තමින්වත් හඳුනා ගැනීමට හැකි වෙතොත් එය ඉතාමත් සාර්ථක මිනුම් මෙවලමක් වෙනවා. දැනට ඕනෑම කෙනෙකුගේ නිපුනතා මට්ටම් හයක් හඳුනාගෙන තිබෙනවා.