Tuesday 18 July 2017

දෙහිවල සත්වෝද්‍යානයේ පැවැත්වූ දින තුනක නේවාසික අධ්‍යාපන වැඩ මුළුවකට සහභාගී වුයෙමි.


   විද්‍යාව ඉගැන්විමේ නව පිවිසුම් සෙවීම පිලිබඳ උද්‍යෝගයක් 60 සහ 70 දශක වලදී ලොව පුරා දකින්නට ලැබිණ. නව තාක්ෂණය විද්‍යාව සඳහා උපයෝගී කර ගැනීම පිණිස බොහෝ සංවර්ධිත රටවල් අතර  තියුණු තරඟයක් ඇතිවිය. මෙම ප්‍රබෝධයත් සමගම ශ්‍රී ලංකාවේද 'සැමටම විද්‍යාව' යන සංකල්පය පාසැල් පද්ධතියට ඉදිරිපත් කරන ලදී. මේ වකවානුවේදී අත්හදා බැලීම සඳහා කරන ලද පසුව අතහැර දමා ඇති වැදගත් ව්‍යාපෘතියක්‌ පිලිබඳව මෙසේ සටහනක් තබමි.

විද්‍යා අධ්‍යාපන  නිලධාරිවරයෙකු ලෙස පත්වූ මුල් දිනවලම; දෙහිවල සත්වෝද්‍යානයේ සංවිධානය කරන ලද නේවාසික අධ්‍යාපන වැඩ සටහනකට සහභාගී වීමට මට අවස්ථාව ලැබිණ. එහිදී බලාපොරොත්තු වුයේ අප ලබාගන්නා ප්‍රයෝගික දැනුම පාසැල් පද්ධතියේ ඉගැන්වීම්-ඉගෙනුම් ක්‍රියාවලියට බද්ධ කිරීමයි.
 
සත්වෝද්‍යානයේ  අලුතින් ආරම්භ කරන ලද මින් මැදුර විවෘත කිරීමේ උත්සවයද මෙයට සමගාමිව පැවැත්විණ. 

දෙහිවල සත්වෝද්‍යානය

සත්වෝද්‍යානය හුදෙක් විනෝදය සඳහා පමණක් තිබෙන ස්ථානයක් නොවන බව එම වැඩ මුළුවේදී අපට මැනවින් පැහැදිලි විය.

අප කණ්ඩායමේ දහසය දෙනෙක් සිටියහ. සාමාන්‍ය මට්ටමේ නේවාසික පහසුකම් සහ අහාරපාන උද්‍යාන පරිශ්‍රයේම සපයන ලදී. එවකට සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂක වරයා වුයේ ලීන් ද අල්විස් මහතාය.
අපගේ පුහුණුවට අංශ කිහිපයක් ඇතුළත් කර තිබුණි.
·   සතුන්ගේ චර්යා අධ්‍යයනය සහ සංරක්ෂණ ක්‍රියාවලිය
·   සතුන් රැක බලා ගැනීම, ඔවුන් ගේ ආහාර , පෝෂණය, සෞඛ්‍යය සහ වර්ධනය පිලිබඳ විමසිලිමත්ව ක්‍රියා කරන ආකාරය  
·   සත්වෝද්‍යානය අධ්‍යාපන කටයුතු සඳහා උපයෝගී කර ගැනීම

මෙම වැඩ මුළුව ඉතාමත් ප්‍රයෝජනවත් එකක් වු අතර අප පිරිස කුඩා කණ්ඩායම් හතරකට බෙදා  උපදේශක වරයෙකු සමග දවසෙන් වැඩි කාලයක් සතුන් නිරීක්ෂණය කිරීමටත් ඔවුන්ගේ චර්යා රටා පිලිබඳ සුවිශේෂී ලක්ෂණ අධ්‍යයනය කිරීමටත් හැකිවිය. සතුන් නිරීක්ෂණය සඳහා පමණක් සඳහා දින තුනේම උදේ 5.30 සිට පැයක්  සහ සවස  6.00 සිට තවත් පැයක් වෙන්කර තිබුණි. උදයෙන්ම අවදි වන කුරුල්ලන්ගේ ඉමිහිරි සංගීත රටාවන් ඉතාමත් ප්‍රිය ජනක අත්දැකීම් ය. කුරුල්ලන්ගේ ශබ්ද ඇසෙන විට අප සිටින්නේ වනාන්තරයක් තුළදෝ යන සුන්දර හැගීමක්ද ඇතිවිය. ඒ සමගම දහවල් වන තුරු තද නින්දේ සිටින කොටි වලසුන් සහ සිංහයින්, අප විසින් ඔවුන්ගේ චර්යා සටහන් කළ බවක් වත් නොදත්හ. වරින් වර ඇසෙන විවිධ කුකුළන්ගේ, මොණරුන්ගේ සහ, කෑඳැත්තා වැනි පක්ෂීන්ගේ නාද කන් බිහිරි කරවන තරම් විය.

උදේ 6.30 ට පසු සතුන්ගේ දවසේ පළමු ආහාරය ලබාදෙන  වේලාවයි. නියමිත කාල සටහනකට පුරුදු වී සිටින සියළුම සත්තු මේ වන විට තම ආහාරය ලැබෙන තුරු නොඉවසිල්ලෙන් මෙන් බලා සිටිති. සමහර රෞද්‍ර සතුන්ද තම ආහාර වේල ගෙනෙන තැනැත්තාට ලෙන්ගතු කමක්ද  පෙන්වන ආකාරයක්   දකින්නට ලැබිණ.
සතුන්ගේ ආහාර සකස් කිරීමද ඉතාමත් ක්‍රමානුකුලව සිදු කරනු ලබන වැදගත් කාර්යයකි. දිනපතා සියළුම සතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිලිබඳ වාර්තාවක්  පශු වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කෙරේ. ඊට පසු ඔහුගේ නිර්දේශ අනුව නියමිත ආහාරයම දීම හෝ ආහාර වට්ටෝරුව වෙනස් කිරීම සිදුකෙරේ. සියළුම සතුනට ආහාරය සමග   නිර්දේශිත බෙහෙත්, විටමින වර්ග, අමතර පෝෂ්‍ය පදාර්ථ ආදියද එකතු කෙරේ. ආහාර වර්ගද ඒ ඒ සතාගේ භෝජන විලාසයන් අනුව වෙනස් වේ. ශාක භක්ෂක, මාංශ භක්ෂක, පළතුරු භක්ෂක, බහු ආහාර භක්ෂක ආදී වශයෙන් විවිධ සතූන්ගේ ආහාර ද විවිධ වේ. මේ සියළුම ව්ටෝරු වලට අනුව කෑම වේල් සකස් කිරීම සඳහා ආහාර සැපයීම් අංශය මනා පුහුණුවක් ලබා තිබේ.

සත්වෝද්‍යානයේ  කාර්ය මණ්ඩලයට හැර වෙනත් කිසිකෙනෙකුටවත් දකින්නට නොලැබෙන ආහාර දීමේ විශේෂ අවස්ථා කිහිපයක්ද අපට දැක ගන්නට ලැබුණි.
බස්සන්, බකමුණන් වැනි නිශාචර  සහ උකුස්සන් සහ රාජාලියන් වැනි පක්‍ෂීන්ට ආහාර සඳහා දෙනු ලබන්නේ මීයන් රටහාවුන් වැනි,  ඒ සඳහා වෙනමම  ඇති කරනු ලබන සතුන්ය. එම පක්ෂීන්ගේ කූඩුවලට ගොදුරු සතුන් ඇතුල් කළ විගසම ස්වාභාවික පරිසරයේදී මෙන්ම ඩැහැගෙන ලගින ස්ථානයට පියාසර කරති. 
උදේ අප බලා සිටියදීම සේවකයෙකු, කිඹුලන් සිටින ගැඹුරු ජල තටාකය  අසල ගස්වල වසා සිටි කපුටන්ට රබර් උන්ඩ වලින් වෙඩි තැබිය. සිහිසන්වූ කපුටන් වැටෙන විට අල්ලා ගැනීමට කිඹුලන් මුව අයා ගෙන  උඩට පැනීම බිහිසුණු දසුනක් විය. 
විශාල නාගයෙකු සිටි කුඩුවට උගේ ආහාරය සඳහා ගැරඬියෙකු  ඇතුල් කරන ලදි. එක් වරටම ගැරඬියා හිසෙන් අල්ලා ගත් නාගයා විනාඩි කිහිපයකදී ගැරඬියා සම්පුර්ණයෙන්ම ගිල දැම්මේය. 
නිදමින් සිටි සිංහයෙකුගේ කුඩුවට දිග රිටක ආධාරයෙන් විශාල මස් වැදැල්ලක්  තබා ඌ අවදි කළවිට, ගොරවමින් එය තදින් අල්ලාගෙන එය දුන් අය වෙතටම කඩා පැන්නේය. 
දරුණු සතෙකු වුවද කොටියෙකු, ආහාරය සඳහා මස් වැදැල්ලක් දුන් විට හීලෑ බළලෙකු මෙන් වලිගය උස්සා ගෙන කූඩුවේ තෙරපෙමින් ‘පුරු පුරු’ ගාමින් මෙන් සිටියේය. 
ආහාරය ලෙස පළතුරු වට්ටියක් ලැබුණු වානරයෙකු එයින් කිහිපයක් අපටද දීමට මෙන් අතට ගෙන  දික් කර පෙන්වීය. 
ගිරා පවුලේ කොකටුවන් ධාන්‍ය සහ ඇට වර්ග වලින් යුක්ත තම ආහාරය ගනිමින් තම සගයන් සමග අපට නොතේරෙන ‘භාෂාවකින්’ සතුටු සාමීචියේ යෙදී සිටිනු දකින්නට ලැබිණ.

මෙවන් දසුන් නිසා එම වැඩමුළුවේ ආස්වාදජනක භාවය දෙගුණ තෙගුණ විය.

අලුතින් ආරම්භ කරන ලද මින් මැදුර,  දැනුම ගෙන දෙන තවත් මහා සම්පතකි. එහි සිටි ඉතා දැකුම්කලු මත්ස්‍යයින් අතරින් දැවැන්ත මෝරා කාගේත් සිත් ගත් මත්ස්‍යයෙක් විය. මින් මැදුරේ අභ්‍යන්තරයේ ඇති සිත්ගන්නාසුළු භාවය මෙන්ම, නරඹන්නට ප්‍රදර්ශනය නොකරණ එහි බාහිරව සවී  කර ඇති තාක්ෂණික උපකරණ ස්වභාවික භෞතික සංසිද්ධි රාශියක් පාලනය කරනු ලබයි. කරදිය මසුන්ට අවශ්‍ය ජලයේ ලවණතාව, සහ උෂ්ණත්ව පාලනය, මිරිදිය මසුන් සඳහා ජලයේ  පීඑච් (pH) පාලනය, ජල තටාක වල ඔක්සිජන් සාන්ද්‍ර පාලනය වැනි කටයුතු රාශියක්‌ නිරතුරුවම සිදුවන නිසා, එම පරිශ්‍රය ස්වයංක්‍රීය  තාක්ෂණ විද්‍යාගාරයක් වැනිය.

තවත් සුවිශේෂී අංගයක් ලෙස දකින්නට ලැබුණේ සත්වෝද්‍යානය නැරඹීමට පැමිණෙන කුඩා දරුවන් සහ හීලෑ සතුන්ගේ පෝතකයින් එකතු වී සෙල්ලම් කරන ළමා කෙළි බිමයි.
මෙහි සිටි මුව පොව්වන්, හා පැටවුන්, ගිනි හාවුන්, එළු පැටවුන්  තාරාවූන්  ආදී සතුන් කුඩා දරුවන්ගේ සෙල්ලම් බඩු මෙන් විය. කෙළි බිම භාරව සිටින එක් නිලධාරිනියක්‌ විසින් වරින් වර එහි ගෙන එනු ලබන අලිපැටියාද කුඩා දරුවන් සහ අනිකුත් පෝතකයින් සමග හැසිරෙන ආකාරය විශ්මය ගෙනදේ. අලි පැටියාද කුඩා දරුවෙකු මෙන් නොයෙක් දඟකාර වැඩ කරනු දකින්නට ලැබුණි. එහෙත් අණට කීකරු වී ටික වෙලාවක් නිසොල්මනේ සිටීමටද ඌ පුරුදු වී තිබේ. එය තුළ සිටින යෝධ ඉබ්බන්ද කුඩා දරුවන්ගේ ප්‍රියතම සතුන් විය. සතුන්ගේ කුඩා අවදියද දරුවන්ගේ කුඩා අවදිය මෙන්ම සුන්දර බව අපට පහසුවෙන් අවබෝධ විය.

විදේශයක කුඩා දරුවන් සත්වෝද්‍යානයකදී විනෝදය ලබන ආකාරය මෙම වීඩියෝ පටයෙන් නරඹන්න

                                          

https://www.youtube.com/watch?v=y699qXKDVwE

සත්වෝද්‍යානයේ සමනළ උයනද එකම විද්‍යාගාරයකි. එහි සිටින එක්‌ එක් සමනළයින්ගේ ජීවන චක්‍ර වල විවිධත්වය, විවිධ කීට සහ කෝෂ අවස්ථා, ආහාරයට ගනු ලබන සුවිශේෂී ශාක පත්‍ර, භෝජන විලාස, ඔවුන්ගේ ප්‍රියතම පුෂ්ප  ආදිය පිලිබඳ දැනුම විද්‍යා පාඩම් රාශියකින්වත් ලබාගත නොහැකිය.

සත්වෝද්‍යානය තුළ නිදැල්ලේ හැසිරෙන කපුටන්, කොකුන්, මයිනන් වැනි සමහර සතුන් බොහෝ විට එහි නේවාසික සතුන්ට අවහිරයකි. ඔවුන් පාලනය කිරීමටද උපක්‍රම යොදා තිබේ. 
මිට අමතරව කලකට පෙර  කුඩුවල සිට මුදාහරිනු ලැබ, පසුව නිදැල්ලේ හැසිරෙන මාන කොකා, කලු කොකා වැනි පක්ෂීන් ආහාර සොයා පිටතට පියාඹා ගොස් ආපසු පැමිණ සුපුරුදු තුරු වදුල් වල රාත්‍රිය ගතකරන බවද දැනගන්නට ලැබිණ. මෙම පක්ෂීන් කුඩු තනාගැනීම, බිත්තර දැමීම සහ පැටවුන් හදාවඩා ගැනීම වැනි අභිජනන ක්‍රියාවලියන්ද එම පරිසරයේදීම කරගනිති. එහෙත්  ඔවුන්ගෙන් නේවාසිකයින්ට හානියක් නොවන බවද දැනගතිමි.

සත්වෝද්‍යානය, වන වදුල්, තුරුලතා, සොබා මං පෙත්, දිය කඩිති, දිය ඇලි, ජලජ පරිසර, වගුරු බිම්, ශුෂ්ක පරිසර ආදී විවිධාංගයන්ගෙන් සමන්විත වී තිබෙන නිසා එය ස්වාභාවික පරිසරයක් ලෙසම දිස්වේ.    
මේ සියල්ල කැටිකරගත් විට සත්වෝද්‍යානයක් යනු සෑම වයස් වල අයටම විනෝදය සහ අධ්‍යාපනයත් සමගම සොබා දහමේ අපුර්වතම සත්ත්ව චර්යා අත්විඳීමට හැකියාව ලැබෙන එළිමහන් විද්‍යාගාරයක් ලෙස හඳුන්වා දිය හැකිය.
-----------------------------------
ස්වාභාවික පරිසරය පිලිබඳ ඉතාමත් සංවේදී නව චින්තනය අනුව සත්වෝද්‍යාන සංකල්පයද මත භේද වලට තුඩු දෙමින් පවතී. මේ නිසා ‘විවෘත සත්වෝද්‍යාන’   (Open Zoo ) නම් නව ක්‍රියාදාමයක් සිදුවෙමින් පවතී. මේ නව සංකල්පයට අනුව සතුන් නිදැල්ලේ සිටින අතර සතුන් නිරික්ෂණය  සඳහා යන මිනිසුන් කුඩුවක් වැනි වාහනයක ගමන් කළ යුතුය. එහිදී ඇත්තටම නිදැල්ලේ සිටින සතුන්ට මිනිස් සත්ත්වයා පහසුවෙන් දැක ගැනීමට අවස්තාවක් උදාවේ. ශ්‍රී ලංකාවේද පින්නවල සහ හම්බන්තොට මේ ආකාරයේ සත්වෝද්‍යාන සකස් කිරීමට සැලසුම් කර තිබේ. දැනට වනෝද්‍යාන වල සතුන් නිරීක්ෂණය සඳහා අනුගමනය කරනුයේ මෙයට තරමක් සමාන ක්‍රම වේදයකි.

කෙසේ වෙතත් සත්වෝද්‍යාන සංකල්පය නිසා, වඳවී යන සතුන් සංරක්ෂණය සහ අභිජනනය, ඒක දේශීය සතුන් සංරක්ෂණය, විවිධ පරිසර පද්ධති වල ජීවත්වන සතුන් රාජ්‍යයන් අතර හුවමාරු කර ගැනීම, සතුන් පිලිබඳ නව තොරතුරු ගවේෂණය. ආබාධ වලට ගොදුරුවී ඇති සතුන් සුවපත් කිරීම වැනි පිළිවෙත් දහසකුත් එකක් ක්‍රියාදාමයන් මගින් සතුන් වෙනුවෙන්  සිදුවන මෙහෙය බොහෝ වැඩදායකය.

සත්වෝද්‍යාන පවත්වාගැනීමේ අහිතකර බව  හුවා දක්වන පරිසරවේදීන් බොහෝවිට සඳහන් කරනුයේ සතුන් ස්වාභාවික පරිසරයෙන් ඉවත්කර කූඩු වල සිරකර සිටීම සත්ත්ව හිංසනයක් බවයි. නව විවෘත සත්වෝද්‍යාන සංකල්පය මගින් මෙම දුර්වලකම බොහෝ දුරට අඩුවී යයි.

සත්වෝද්‍යාන පවත්වාගෙන යාමේ  යහපත හෝ අයහපත පිලිබඳ තීරණ ගැනීම ඔබට භාර කරමි.


        
  


13 comments:

  1. පහුගිය කාලෙ ඕකෙ හිටපු සත්තු ගොඩ දෙනෙක් නොසැලකිළිමත්කමෙන් මියගියා නේද?
    ඔහොම කූඩුකරල තියෙනවට වඩා විවෘත සත්වෝද්‍යාන හදන එක හොඳ දෙයක් කියලයි මාත් හිතන්නෙ.

    ReplyDelete
  2. ස්තුතියි ප්‍රසන්න,
    කැප වීමෙන් වැඩ කරන, සතුන් ගැන අනුකම්පාවක් දක්වන අය නොමැතිව සීමිත ඉඩකඩ සහිත සත්වෝද්‍යාන වලට වඩා සතුන් නිදැල්ලේ හැසිර්ණ විවෘත උද්‍යාන ප්‍රයෝජනවත්. ඒවා තුළත් පර්යේෂණ සහ අධ්‍යාපන කටයුතු සඳහා එළිමහන් විද්‍යාගාර තිබිය යුතුයි.

    ReplyDelete
  3. වඳ වෙලා යන සත්ව ශාඛද රැකුම රටකට හොඳ වැඩක්
    හිඳ එතුළ නිති ලබන්නට ඇති දැණුම් ගඟ නම් මහ ගොඩක්
    වද නොදී ඒ ජීවියන් හට දෙන්න හැකිනම් නිදහසක්
    හොඳ යි එනමුත් එය කරන්නට ඕන කරනව පිළිවෙළක්....

    තරුණ සත්වවේදීන්ගේ සංගමයේ සමාජිකයෙක් (රුචිර ) මාර්ගයෙන් මමත් පාසල් කාලෙදී තරුණ සත්වවේදීන්ගේ සංගමයට ගියා එක දවසක්. එතන දැණුමට නියම තැනක්. ඒත් කුරුණැගල ඉදන් සතිපතා යන්නවෙන හින්දා ඒ වැඩේ නතරවුණා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමි,

      සතුන් ගේ හැසුරුම් රටාවන් නියම අයුරින් බලාගන්නට
      වනන් තර මිස වෙන තැනක් නැත සොබා සිරියේ රස විඳින්නට
      එවන් තැන්වල ඉන්ට ඉඩහැර උන්ගෙ පාඩුවෙ දිවි ගෙවන්නට
      ඉතින් අදිටන් කරගනිමු අපි අපේ යුතුකම ඉටු කරන්නට

      මමත් මුල් කාලයේදී තරුණ සත්වවේදීන්ගේ සංගමයේ සමාජිකයෙක් ලෙස කටයුතු කළා. පසුව රාජකාරි බහුලත්වය නිසා විවේකය අඩුවූ විට ඒවා මගහැරී ගියා.

      ඔබට ජයම!

      Delete
  4. ලින් ද අල්විස් ලංකාවෙ මෑත කාලෙ හිටපු හොඳම සත්වෝද්‍යාන අධ්‍යක්ෂක

    ReplyDelete
    Replies
    1. සිංගප්පුරුවේ සත්වෝද්‍යානය ඉදිකිරීමේ කටයුතු සඳහා උපදෙස් දුන්නේද "ලින් ද අල්විස්" මහතා බව අසා තිබෙනවා.

      Delete
    2. ස්තුතියි Pra Jay,
      සත්වෝද්‍යානය අධ්‍යාපනයට සම්බන්ධ කර ගැනීමේ වැදගත් කම හොඳින් දැන සිටි ලින් ද අල්විස් මහතා විසින්මයි මා සඳහන් කළ වැඩ සටහනත් සැලසුම් කර තිබුනේ. ඔහු ආරම්භක දේශනයේදී ලෝකයේ වෙනත් රටවල මෙම අධ්‍යාපන මාධ්‍යය ගැන දිග විස්තරයක් කළා. විවිධ හේතු නිසා එය ක්‍රියාත්මක කරන්නට බැරි උනා.

      Delete
    3. ස්තුතියි මනෝජ්,
      ඒ කාලයේ දෙහිවල සත්වෝද්‍යානය ලෝකයේ හොඳම සත්වෝද්‍යාන වලින් එකක්. ඔහුගේ දක්ෂතාවය නිසාම සිංගප්පුරුවේ සත්වෝද්‍යානය ඉදිකිරීමේ කටයුතු සඳහා ගෙන්වා ගන්නට ඇති.

      Delete
  5. පොඩි කාලේ දෙහිවල සත්ව උද්‍යානයට ගිහින් තියනවා. සත්ව උද්‍යාන වලට යනවට වඩා මම කැමති සතුන් සහ පරිසරය පිළිබඳ රූපවහිනී වැඩසටහන් නරඹන්න තමයි. ඩේවිඩ් ඇටෙන්බරෝ ගෙ වැඩසටහන් ඒ අතරින් විශේෂයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිසර,
      ප්‍රාථමික පන්තිවල ඉගෙන ගන්නා කාලේදී සත්ව උද්‍යානයට යන්නේ සත්තු බලන්න විතරයි. ඒ උනත් ඉහල පන්තිවල අයට ජෛව විවිධත්වය, සත්ත්ව වර්ගීකරණය වැනි පාඩම සඳහා සත්ව උද්‍යාන චාරිකාවක් ප්‍රයෝජනවත් වෙනවා. ඩේවිඩ් ඇටෙන්බරෝගේ වැඩ සටහන් ඕනෑම මට්ටමක කෙනෙකුට ප්‍රයෝජනවත්.

      Delete
    2. තාත්තා ට නම් මතක නැතිවත් ඇති, තාත්තා ඉස්සර සීෂෙල්ස් වලදී ඩේවිඩ් ඇටන්බරෝගේ වැඩසටහන් යද්දී ඒවායේ තිබුණු විස්තර අපිට කියලා දෙනවා. මම ඒ වැඩසටහන් බලන්න ආසා වුණේ එහෙමයි. මෙහෙදී මම පුතා එක්ක ඒ විදිහට ඒ වැඩසටහන් බලද්දී මට ඒක මතක් වුණා. අපි ජීවිත කාලයක්ම වගේ ඇටන්බරෝ ගේ වැඩසටහන් බලලා! ලඟදි එතුමා අනූ එක් වෙනි උපන්දිනේ සැමරුවා.

      Delete
    3. ඩේවිඩ් ඇටෙන්බරෝගේ සියලුම recordings අප ළඟ තිබුනා. ඒවාට මොනවා උනාද කියාවත් මතක නැහැ.

      Delete
  6. /සත්වෝද්‍යානයේ අලුතින් ආරම්භ කරන ලද මින් මැදුර විවෘත කිරීමේ උත්සවයද මෙයට සමගාමිව පැවැත්විණ. /

    දයා මහත්මයා...මේ කියන්නෙ 1974 වගේ නේද?

    ReplyDelete