Tuesday 21 November 2017

‘ගුරුපියා’, ‘ගුරු සීයා’ සහ ‘ගුරු මුත්තා’........


    විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසුව මට, මා   අධ්‍යාපනය ලැබූ  දිවයිනේ  හොඳම මධ්‍ය විද්‍යාලයයක් ලෙස නම දරා තිබුණු විදුහලටම  විද්‍යා ගුරු පත්වීමක් ලැබිණ. මට එම විද්‍යාලයයේ උසස් පෙළ පන්තිවල විෂයය දෙකක් ඉගැන්වීමට සිදු විය. නවකයෙකු වූ මට උසස් පෙළට විෂයය දෙකක්ම ඉගැන්වීම තරමක අමාරු වුවත්, විශ්ව විද්‍යාලයයෙන් පිටවූ විගසම තිබුණු ජවයත්, ඉගැන්වීම සඳහා තිබුණු කැමැත්තත් නිසා, ඉගැන්වීමේ කටයුතු නොපිරිහෙලා ඉටු කළෙමි. එමෙන්ම උසස් පෙළ පන්තිවල සිටි සිසුන්ගේ සහ මගේ වයසේ වෙනස වසර තුන හතරකට වඩා නොවූ නිසා, සිසුන් සහ මා අතර ගුරු ගෝල සම්බන්ධයට වඩා සමීප සම්බන්ධයක් ගොඩ නඟා ගැනීමටද හැකිවිය. මේ නිසා මම සෑම වෙරක්ම දමා ඉගැන්වූ අතර, සිසුන්ද මා කෙරෙහි විශේෂ ලැදියාවක් දැක්වුහ. මගෙන් ඉගෙනගත් සිසුන් කිහිප දෙනෙක්ම දෙවන වසර අවසානයේදී විශ්ව විද්‍යාලයට ඇතුලත් වුහ. මොවුන් අතරින් කිත්සිරි ගුරු වෘත්තීය සඳහා විශේෂ කැමැත්තක් දක්වන්නෙකු විය.

වසර කිහිපයකට පසු මට උසස් වීමක් ලැබී අධ්‍යාපන අමාත්‍යාශයේම වෙනත් තනතුරක් ලැබිණ. මේ වන විට විශ්ව විද්‍යාල අධ්‍යාපනයට යොමුවූ මගේ සිසුන් කිහිප දෙනෙකු උපාධිය අවසන් කර සිටියහ. ගුරු වෘත්තීය සඳහා කැමැත්තෙන් සිටි කිත්සිරි, විද්‍යාලයයෙන් මා ඉවත්වූ නිසා ඇතිවූ පුරප්පාඩුව පිරවිම සඳහා පත්කර යැවීම පිණිස,  මට නිර්දේශ කළ හැකිවිය. ඔහු ටික කලකින්ම ඉතා ජනප්‍රිය විද්‍යා ගුරුවරයෙකු විය. සෑම වසරකම, ඔහුගෙන් ඉගෙන ගත් සිසුන් කිහිප දෙනෙකුටද  විශ්ව විද්‍යාල වරම් හිමිවිය.

මෙසේ වසර දහයක් දොළහක්‌ ගතවන විට කිත්සිරි  විදුහලේ නියෝජ්‍ය විදුහල්පති විය. අධ්‍යාපන අමාත්‍යාශයේ උසස් විමක්‌ ලැබූ මාහට පාසල් වල  විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක  කිරීමේ වැඩ සටහන භාර විය. මෙම  වැඩ සටහන නියාමක ව්‍යාපෘතියක් ලෙස පාසැල් නියැදියක ආරම්භ කළ යුතුව තිබිණ. මෙවැනි ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක කිරීමට ඇප කැපවී වැඩ කරන ගුරු මහත්මා මහත්මීන් සිටින පාසල් සොයා ගත හැකි වනුයේ පෞද්ගලික දැන හැඳුනුම් කම් මත පමණක්ම  විය.

මා ද, ආදී ශිෂ්‍යයෙකුවන, එසේම වසර කිහිපයක් ඉගැන්වීම කළ දැනට කිත්සිරි   ගුරු මහතා නියෝජ්‍ය විදුහල්පති ලෙස  සිටින විදුහල මගේ පාසල් නියැදියට ඇතුලත් කර ගතිමි.

විදුහලේ එවකට සිටි විදුහල්පති තුමා, මා පෞද්ගලිකව හඳුනන අයෙකු නොවිය. ව්‍යාපෘතිය ගැන සාකච්ඡා කිරීමට  මම දුර කථනයෙන් කිත්සිරි  ඇමතීමි.

‘කිත්සිරි  ... මම, මේ අධ්‍යාපන අමාත්‍යංශයේ ....... . අධ්‍යාපන අමාත්‍යාංශයෙන්  පරිසරය සම්බන්ධ පාසල් ව්‍යාපෘති සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. එය භාරව සිටින්නේ මමයි. මම අපේ ඉස්කෝලෙත් නියාමක පාසලක් ලෙස ඇතුලත් කළා. විදුහල්පති තුමා සමගත් සාකච්ඡා කර මට කැමැත්ත දන්වන්න. අවශ්‍ය ලියකියවිලි සියල්ලම මම හෙට තැපැල් කරනවා.’

‘හරි සර්, කිසිම ප්‍රශ්නයක් නැහැ. මම විදුහල්පති තුමාටත් කතාකර සර්  අමතන්නම්.’  කිත්සිරිගෙන් ක්ෂණික ධනාත්මක පිළිතුරක් ලැබිණ.

පැය භාගයකට පමණ පසු මට කිත්සිරිගෙන් නැවත ඇමතුමක් ලැබිණ.

‘සර් අපි ඕනෑම ව්‍යාපෘතියක් කිරීමට භාර ගන්නම්, මම දැන් නියෝජ්‍ය විදුහල්පති නිසා  රාජකාරි වැඩ කොටසකුත් තිබෙනවා. මම දැන් උගන්වන්නේ එක පන්තියකට විතරයි. අපේ විද්‍යා අංශය  භාරව සිටින්නේ මේ විදුහලේම ඉගෙන ගත් මගේ  ගෝලයෙක් වන ගුරු මහත්මියක්. එයාගේ මව, සර් මෙහෙ උගන්වන කාලේ ගුරු මණ්ඩලයේ හිටි කෙනෙක්.’

ඊට පසු මා සමග කථාකළ විදුහල්පති තුමාද ව්‍යාපෘතිය සඳහා පුර්ණ සහයෝගය ලබාදෙන බව පැවසිය.

මට මේ ආකාරයට නියාමක ව්‍යාපෘතිය සඳහා විදුහල් දහයක්‌ පහසුවෙන්ම තෝරා ගත හැකි විය.

ව්‍යාපෘතියට අදාළ ලියකියවිළි හුවමාරු  කර ගැනීමෙන් පසු, ඒ පිලිබඳ  පළමුවෙනි රැස්වීම සඳහා, තෝරාගත් විදුහල්වල විදුහල්පතිවරු සහ ව්‍යාපෘතියට සම්බන්ධ වීමට බලාපොරෝතුවන ගුරුවරුන් දෙදෙනෙකු බැගින්ද අධ්‍යාපන අමාත්‍යංශයට කැඳවා අවශ්‍ය තොරතුරු ලබාදිය හැකිවිය.

ඊට සති දෙකකට පමණ පසු තම විදුහලේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ නිල උත්සවයට සහභාගී වීම සඳහා, කිත්සිරිගේ සහ විදුහල්පති තුමාගේද අත්සන් සහිත ලිපියකින් මටද ඇරයුමක් ලැබිණ. මම ආරාධනය සතුරින් පිලිගතිමි.

නියමිත දින විදුහලට ගිය මට එහි විශේෂ වෙනස්කම් කිහිපයක්‌ දකින්නට ලැබිණ. වසර තිහකට පමණ ඉහතදී මා සිසුවෙකුව සිටි කාලයේ සහ පසුව මා ගුරුවරයෙකු ලෙස පරිහරණය කල විද්‍යා ගාර දැන් බොභෝ සේ වෙනස් වී ඇත. ඒ කාලයේ මා ආරම්භ කළ උද්භිද උයනේ සිටවූ කුඩා පැලෑටි දැන් මහ ගස් වී තිබේ. කුඩාවට තිබුණු පිට්ටනිය දැන් විශාලය. අලුත්          ගොඩනැගිලිද රාශියකි.

ව්‍යාපෘති හඳුන්වාදීමේ රැස්වීම සුදානම්කර තිබුනේ විද්‍යාගාරවලට යාබදව  අලුතින් ගොඩ නගා ඇති සම්මන්ත්‍රණ ශාලාවේය. සිසු සිසුවියන් සියයක් පමණ සහ කිත්සිරිද ඇතුළුව  ගුරු මහත්මා මහත්මීන්ද හත් අට දෙනෙකු රැස්වීමට පැමිණ  සිටියහ.

රැස්වීම ආරම්භ කළ විදුහල්පති තුමා ව්‍යාපෘතිය පිලිබඳ විස්තරයක් කර, එය විදුහලට ලබාදීමට පුරෝගාමී වූ මා ද විදුහලේ ආදී ශිෂ්‍යයෙකු මෙන්ම ආදී විද්‍යා ගුරුවරයෙකුද බව පැවසිය. මෙය අසා සිසුහු පුදුමයට පත්වුහ.

ඊළඟට කථාකල නියෝජ්‍ය විදුහල්පති කිත්සිරි මට ගුරු පියා ලෙස  ආමන්ත්‍රණය කරමින්  හිස නමා ආචාර කර,  ඒ කාලයේ තොරතුරු රාශියක් මතක් කර දුන්නේය.

මීළඟට සභාව ඉදිරියට පැමිණි විද්‍යා අංශ භාර ගුරු මහත්මිය කතාව ආරම්භ කලේ මේ ආකාරයටය

‘විදුහල්පති තුමාගෙන් අවසරයි , මගේ ගුරු පියාණන් වන නියෝජ්‍ය විදුහල්පති කිත්සිරි මැතිතුමනි. අද දින මෙහි විශේෂ අමුත්තා ලෙස පැමිණ සිටින අපගේ කිත්සිරි ගුරු පියාගේත් ගුරු පියාණන් වන ගුරු සීයාගෙන්ද අවසරයි.’

මෙසේ කියමින් ඉදිරියට පැමිණි ඇය  දෑත් එකතු කර මට ආචාර කළාය.

‘ගුරු සීයා’ යන යෙදුම අසා සිසු සිසුවියන් මහත් හඬින් සිනාසෙමින් අත් පොළසන් දුන්හ.
මටද ‘ගුරු සීයා’ යන කියමන සිතට හොඳින් කා වැදුනේය.

එම හැඳින්වීම් වලට පසුව දිනයේ නියමිත කටයුතු ආරම්භ කිරීමට සැරසෙන විටම ඉදිරි පෙළෙහි වාඩිවී සිටි සිසුවියක් නැගිට

‘සර් අපේ අමුත්තාට ස්තුති කිරීම සඳහා  මටත් වචන කිහිපයක් කතාකිරීමට අවස්ථාවක් දෙන්න’ යයි ඉල්ලීමක් කළාය.

විදුහල්පති තුමාද කිත්සිරි සමග සාක්චඡා කර සිසුවියට අවස්ථාව ලබාදුන්නේය. ඇය විද්‍යා අංශ භාර ගුරු මහත්මියගේ උසස් පෙළ විද්‍යා පන්තියක සිසුවියක්ය.

පීරිස ඉදිරියට පැමිණි ඇය

‘විදුහල්පති තුමා ඇතුළු මුළු සභාවෙන් අවසරයි’

‘මගේ පන්ති භාර ගුරු මෑණියෙනි,

ගුරු මෑණියන්ගේ ගුරු පියාවන නියෝජ්‍ය විදුහල්පති කිත්සිරි ගුරු සීයා ණෙනි,

කිත්සිරි  ගුරු සියාගේද ගුරු පියාණන් වන අපගේ විශේෂ අමුත්තා ලෙස පැමිණ සිටින අපගේ ගුරු මුත්තාණෙනි’

කියමින් මාවෙත පැමිණ දෑත් එකතු කර පහත්වී වැඳ ආචාර කළාය.

මුඛරි බාලිකාවක් වන ඇයගේ කතා විලාසයට සහ ඇයගේ ආමන්ත්‍රණ මාලාවට සභාවෙන් පැන නැගුනු සිනහ හඬ සහ අත් පොළසන් නාදය විනාඩි කිහිපයක්ම පැවතින.

‘අප විදුහලට මෙම ව්‍යාපෘතිය ලබාදීම ගැන, අප විදුහලේම ආදී ශිෂ්‍ය සහ ආදී ගුරුවරයෙකුද වන, ගුරු නෑකම වශයෙන් සලකා බලන විට අපගේ මෙම ‘ගුරු මුත්තාට’, සියලුම සිසුන් වෙනුවෙන් අනේක වාරයක් ස්තුති කරමි.’

කියා තම ආසනයට ගොස් හිඳ ගත්තාය. 

ටික වේලාවක් සිසුන් අතර සහ ගුරුවරු අතරද කසු කුසු පැවතින. කිත්සිරිද සිනහ වෙමින් බිම බලාගෙන සිටියේය. විදුහල්පති තුමා මට කිට්ටුවී

‘කෙල්ල කියපු කාරණය හරිම ඇත්ත. බලනකොට මෙතන ගුරු පරම්පරා තුනක්ම සිටිනවානේ. හරියට හරි. සිසුන්ගේ ගුරු මහත්මිය ‘ගුරු මෑණියෝ’, ඒ ගුරු මෑණියන්ගේ ගුරු පියා සිසුන්ට වෙන්නේ ‘ගුරු සීයා’, ඒ ගුරු සීයාගේත් ගුරු පියා වන ඔබ තුමාට‌ සිසුන්ගේ නෑකම ‘ගුරු මුත්තා’. ඔබ තුමාට‌ දෙන්නට හැකි ඉහලම නම්බු නාමය ‘ගුරු මුත්තා’ කියන එකයි.’

මට ලැබුණු ‘ගුරුමුත්තා’ යන නම්බු නාමය ලබාගත හැකි ගුරුවරු ඉතාමත් විරල බව කාර්ය සැසිය අවසානයේදී, මම සිසුන්ට පැහැදිලි කර දුනිමි.     
    



    

16 comments:

  1. ඒකනං මරු නැදැ කමක් තමයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලක්මාල්,
      මේ 'ගුරු නෑකම' තිබෙන බොහෝ අය අප අතර ඇති. ඒ උනත් මේ ආකාරයට එකම වේදිකාවකදී හමු වන්නේ ඉතාමත් කලාතුරකින් නේද? සමහරවිට මෙහි අවසානයට කථාකළ සිසුවිය හෝ ඇයගේ සමකාලීනයෙක් විදුහලේම ගරු මණ්ඩලයට ආවොත් කිත්සිරිට් 'ගුරු මුත්තා' කෙනෙක් වෙනවා. එතකොට මම 'මී මුත්තා' නේද?

      Delete
  2. Replies
    1. ස්තුතියි ඉයන්, මගේ අඩවියට පිවිසීම වෙනුවෙන්.

      Delete
  3. ගුරු පරම්පරාවක්ම ඔහොම මුණගැහෙන එක බොහොම අහඹු සිදුවීමක් විය හැකියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      ගුරු පරම්පරා තුනක්ම එකතැනදී හමුවීම ඉතාමත් අහඹු සිදුවිමක් නිසයි මා මෙම සටහන තැබීමට හිතුවේ.

      Delete
  4. ඔය වගේම අනිත් පැත්තට ගුරුපුතයි, ගුරුමිණිබිරියයි. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිසර,
      මට ඒ පැත්ත ගැන නම් හිතුනෙම නැහැ. මතක් කර දීම ගැන ස්තුතියි. ගුරු පියා, ගුරු පුතා සහ ගුරු මිණිනිබිරිය. ඒ පැත්තටත් ගුරු පරම්පරා තුනක් !

      Delete
  5. තමන්ට හොඳින් ඉගැන්වූ අය පිළිබඳව සිතේ ප්‍රසාදයක් ඇති වීම පුදුමයක් නොවේ.

    නමුත් අනවශ්‍ය ගුරු ගෞරව ඇතිකරගෙන වරද දුටු තැන නිහඬව සිටීමත්, ඊටත් වඩා අන්තයට ගොස් අංගුලිමාලලා වීමත් අනුමත කරන්න නම් බැහැ!

    ReplyDelete
  6. ස්තුතියි රසික,
    මෙහිදී විශේෂත්වය වුයේ පරම්පරා තුනක්ම එක වේදිකාවට පැමිණීමයි.
    ඔබ දක්වා ඇති පරිදි පෞද්ගලික ලාභ සහ තාන්න මාන්න අපේක්ෂාවෙන් කෘතීම ගුරු ගෞරවය පෙන්වන අයත් සිටිනවානේ.
    අංගුලිමාල උන්මන්තකයෙකු ලෙස හැසුරුනේත් එවැනි ලාභ අපේක්ෂාවෙන් නේද?

    ReplyDelete
  7. මට නම් මෙහි විශේෂය ගුරු පරම්පරා තුනක් එකිනෙකට ගෞරවයෙන් ,ආදරයෙන් ,භක්තියෙන් සිහි කරන එක .

    ReplyDelete
    Replies
    1. මෙවැනි ගුරු පරම්පරා බොහෝවිට තිබෙන්නට හැකියි. එසේ වුවත් මෙහි විශේෂය වුයේ එකම පාසලේ එකම අවස්ථාවකදී සියලු දෙනාම හමුවීමයි. එසේ හමුවී අතීතය නැවත සිහි කිරීම කාටත් විශාල ආශ්වාදයක් වුවා

      Delete