Monday, 30 October 2017

අතීත අධ්‍යාපන තොරතුරු ආවර්ජනා ......... 2 . ‘විශ්ව විද්‍යාලයේ මුල් සති වල නවක වදය .....’

    ලුත් නවාතැනේ සිට විශ්ව විද්‍යාලයට බසයේ යන එන ගමන දින කිහිපයකින්ම පුරුදු විය. ඒ කාලයේ කොළඹ නගරයේ බොහෝ පාරවල තට්ටු දෙකේ බස් රථ ධාවනය වුවත් මා ගමන් කළ 111 මාර්ගයේ ධාවනය වුයේ තනි හට්ටුවේ බස් රථ කිහිපයකි. අපට සතියේ දිනවල උදේ පැය දෙකක් දේශන පැවැත්වුනි. සෑම දිනකම උදේ 10.00 සිට, දේශන හෝ ප්‍රායෝගික වැඩ නොතිබුණි.  සඳුදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පස්වරු 1.00 සිට විෂයය තුනටම එක දිගට පැය තුනක  අදාළ ප්‍රායෝගික වැඩ වල නිරත වීමට සිදුවිය.

වැඩ පටන් ගත් දෙවන දිනයේම අපට  ජේෂ්ඨයින්ගෙන් නියෝගයක් ලැබිණ. එම නියෝගයේ සඳහන් වුයේ ඒ සතියේ බදාදා උදේ දේශනවලින් පසුව, තර්ස්ටන් පාරෙන් එහා  පැත්තේ ඇති ‘college house’ අසල ස්ථාන  තුනකට රැස්වන ලෙසටය. ඒ ඒ ස්ථාන වලට යාමට නියමිත අයගේ ලැයිස්තුද සකස් කර තිබුණි. මෙයට සහභාගී නොවන අයට දැඩි දඬුවම් පමුණුවන බවද  දැනගන්නට ලැබුණි. ඒ කාලයේ ‘college house’ විශ්ව විද්‍යාල ශිෂ්‍ය නෙවාසිකාගාරයකි.

ජේෂ්ඨයින්ගේ නියෝගයට අවනත  විය යුතු නිසා, කුමකින් කුමක් වේදෝයි බියෙන් සහ සැකයෙන් යුතුව එදින  නියමිත ස්ථානයට රැස් වූයෙමු. මේ ‘රැග්‍’ එක සඳහා බව අපි දැන සිටියෙමු. (‘නවක වදය’ යන නම ඒ කාලයේ භාවිත නොවිය). 

එතැන ජේෂ්ඨයෝ කිහිප දෙනෙකු සිටියහ. එක් අයෙකු අපගේ  නම් කියවා ලකුණු කළේය. අපේ කණ්ඩායමට තිස් දෙනෙක් පමණ සිටියහ. එක්‌ ජේෂ්ඨයෙකු මහත් ගොරහැඩි හඬින් අප ආමන්ත්‍රණය කළේ ඉංග්‍රීසියෙනි. ඔහු භාවිත කළ සම්මතයෙන් තොර අපහාසාත්මක ස්වරයේ සමහර වචන අපට නොතේරුණි. ඔහුගේ අණ කිරීම මෙවැන්නකි.

‘ගම් දනව් වලින් ඇවිත් සිටින, නිවට කැනහිලුන් වැනී........මෘගයින්සේ පෙනෙන ........... කනිෂ්ඨයෙනි, ගෞරවාන්විත ජේෂ්ඨයින් වන අප තොපට, අතවර කරන්නේ    නැත. තොප, මේ උතුම් සරසවි ජිවිතයට සූදානම් කළ යුතුය.  එම භාරදූර කාර්යය අපට පැවරී ඇත.’

‘You cowardly jackals like junior beasts, who have come from far off corners of the country. We, honourable seniors are here, not to mis use or ....... you ........., but to align you ......... to the main stream of this renowned University.’

පරුෂ වචන වියහැකි අප නොදන්නා වචනද සහිත එම රෞද්‍ර ආමන්ත්‍රණයෙන් අප බිරාන්තයට පත්වූයෙමු. (ඒ කාලයේ නාගරික ආභාෂය ලැබූ බොහෝ අය කතාබස් කිරීමේදී බොහෝ ග්‍රාම්‍ය (colloquial) වචන සහ අකුරු හතරේ ඉංග්‍රීසි වචන  භාවිතයට පුරුදුව සිටියහ .)

අප කණ්ඩායමේ ශිෂ්‍යාවන් සිටියේ දස දෙනෙකුටත් අඩු සංඛ්‍යාවකි. ජේෂ්ඨයාගේ රෞද්‍ර විලාසයත් ඔහුගේ වාග් මාලාවත් නිසා ශිෂ්‍යාවන් කිහිප දෙනෙකුගේ ඇස් වලින් කඳුළු වැටෙන්නට ඇත.

‘අපි කියන විධියට හරියට වැඩ කළොත් ඊට පස්සේ "සතුටු කඳුලු" ’ යයි සිංහලෙන් කියමින් ඔහු ශිෂ්‍යාවන්ගේ මුහුණු වලට එබිකම් කළේය.

මිට පසු ජේෂ්ඨයින්ගේ නියෝග ප්‍රකාශයට පත් කරන ලදී.

‘හෙට ඉඳලා දින තුනක්  මේ කුමාරිහාමිලා, මැණිකෙලා, පොඩි නෝනලා චීත්ත ගවුම් ඇඳගෙන එන්නට ඕනෑ. ගෙදර වැඩකාර කෙල්ලෝ වගේ.’ 
'මේක වැදගත් නියෝගයක්. දැන් නෝනලට යන්න පුළුවන්.’

මෙම විධානය සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් දෙන ලදී.

ශිෂ්‍යාවන් කිහිප දෙනා කිචි, බිචි ගා සිනහ වෙමින් පිටතට ගියහ.

ඊළඟට පැමිණියේ අපගේ වාරයයි.

එක් ජේෂ්ඨයෙක් අප කිහිප දෙනෙකුගේ නිකට අතගා බැලිය.

‘මොකද මේ තවම රැවුල් ඇවිල්ලවත් නැහැනේ. තවම කිරි බොනවද?’

කිසිවක් කතා නොකළ ඔව්හු සිනාසුනහ.

මෙයින් කෝපයට පත්වූ බව පෙන්වූ ඔහු, එක් අයෙකුට ඇඟිල්ල උරුක් කර

‘මේ නරියා මෙතන හිනහ බැහැ. මේක සීරියස් වැඩක්. මේකට කියන්නේ ‘socialisation for future existance’ තේරුනාද?’

ඔහු හිමිහිට ‘ඔව්’ කිවේය.

‘පුදුමයි, ඉංග්‍රීසිත් පුළුවන්නේ, එහෙනම් කියනවාකො ඒකේ තේරුම’ යයි මහා හඬින් තර්ජනය කළේය.

දන්නා දෙයක්වත් කියම්දෝ නොකියම්දෝ යයි තීරණය කර ගැනීමට නොහැකි නිසාදෝ ඔහු නිශ්ශබ්දව සිටියේය.

ඊළඟට මා වෙත පැමිණි ජේෂ්ඨයා මගේ කලිසම් සාක්කු දෙක එළියට අදින්නට කිවේය.

මම එසේ කළෙමි.

එක් සාක්කුවක තිබී  කාසි කිහිපයක් සහ ලේන්සුවත්, අනික් සාක්කුවේ තිබී යතුරු කැරැල්ලත් බිමට වැටුණි. 
බිම ඇන තබාගෙන වාඩිවී අත් දෙක ඉදිරියෙන් තබා බිම තිබුණු යතරු කැරැල්ල කටින් ගන්නා ලෙස ඔහු මට අණ කළේය.

මම එසේ කළෙමි.

පිරිස දෙස බැලු ඔහු,
‘මොකද මේ බිල්ලෝ වගේ ඉන්නේ?, දැක්කද හරකෙක් වගේ යතුරු කැරැල්ල කටින්  ගත්තා. ඒ වික්‍රමයට අත්පුඩියක් ගහනවා. යුතුකම් වත් දන්නේ නැති ........... ලා ටිකක්නේ.’

මේ විධානය ලැබුණු විගසම කව්රුත් අත්පුඩි ගැසුහ.

ජේෂ්ඨයා බිම වැටුණු මගේ ලේන්සුව සහ කාසි කිහිපය අහුලා මා අත තැබිය. 

මම ‘thank you’ කිවෙමි.

ඔහු නැවත උරණ විය.

‘මොකක්ද ඒ පාර ඉංග්‍රීසි? ඒකත් සිංහලෙන්  කියනවා !’ කියා මගේ කට මිරිකුවේය.
මම හෙමිහිට ‘ස්තුතියි’ කිවෙමි.

අප සියලු දෙනාටම වද දීම සඳහා, ජේෂ්ඨයින්  කිහිප දෙනාට පැය භාගයක පමණ කාලයක්  ගතවිය.

ඊටපසු ගොරහැඩි නායකයා නැවත අප ඇමතුවේය. එම ඇමතුමද ඉංග්‍රීසියෙනි

Starting from tomorrow, daily for three days,   you have to gather here at 10.15 For this occasion you ....... will have to  wear the ‘tie’ that we will be giving you.’                                                                                                                                  

මෙසේ කියන විටම ඔහුගේ සගයෙකු කඩදාසි බෑගයක්‌ තුළ තිබුණු ගෝනි පඩංගු වලින් කපන ලද දිග පටි එක බැගින් අපට බෙදා දුන්නේය. ඔවුන් සඳහන් කළ ‘ටයි පටි’  මේවාය.

‘These are called “freshers’ ties” and we have got them specially from Oxford for you oxen. Everybody will have to wear the ‘imported tie’ nicely. At the same time roll up the right leg of your trouser above the knee. This special dress is for you fools  to march from hear, up to Bambalapitiya junction and come back.’

අපට උඩ බිම බැලිණ. මෙය තදබල නියෝගයකි. කෙසේ හෝ එය ඉටුකළ යුතුය.

‘Starting from tomorrow, do it for three days.’
‘Now clear out from here !’

නවකයින් වන අපට කාගේ පිහිටද ? අපි කරබාගෙන ආපසු ගියෙමු. කළයුතු දේ ගැන අන් අය සමග යමක් කතාබස් කිරීමටවත් බියක් ඇතිවිය.

අප සමග සිටි අනික් කණ්ඩායම් දෙකටද එම උපදෙස්ම ලැබී ඇති බව පසුව දැන ගතිමි.

බ්‍රහස්පතින්දා අපි නියමිත ස්ථානයට ගියෙමු. කිහිප දෙනෙකු පමණක් ගෝනි පඩංගු ‘ටයි පටිය’ බැඳගෙන සිටියහ. 
එතැනට පැමිණි ගොරහැඩියා  
‘You ..........,  wear your ties.  Hurry up ....! යයි මහ හඬ නැගිය.

කවුරුත් පඩංගු ‘ටයි පටිය’ ඉක්මණින් බැඳ ගෙන දකුණු කලිසම් කකුල ඉහලට නවාගත්හ.

එවලේම අපට ‘ගමනේ යාමට’ අණ ලැබිණ.

අපි පිටත් වීමු.

ඒ කාලයේ තුන්මුල්ල හන්දිය හෝ බම්බලපිටිය හන්දිය අද තරම් විශාල නොවිය. බෞද්ධාලෝක මාවතේ නම බුලර්ස් පාර විය. ඩුප්ලිකේෂන් පාරද නොවිය. මාර්ගවල රථවාහන කලබලයක්ද නොවිය. තුන්මුල්ලේ හෝ බම්බලපිටිය හන්දියේ මාර්ග වර්ණ සංඥාද නොවිය. පාරේ මංතීරුද වෙන්කර නොතිබුණි.

අපි තර්ස්ටන් පාරට වැටී,  තුන්මුල්ල ඔස්සේ බම්බලපිටියට පෙළපාලියක් මෙන් ගොස් බම්බලපිටියෙන් ආපසු හැරි, බෞද්ධාලෝක මාවත ඔස්සේ තර්ස්ටන් පාර හරහා ආපසු පැමිණියෙමු. මේ ගමන සඳහා පැය භාගයක් පමණ ගතවිය. අපගේ ජේෂ්ඨයන් කිහිප දෙනෙකුද  කිසිවක් නොදන්නා අය මෙන් බයිසිකල් වලින්  අපට  ඉදිරියෙන් යන බවද දුටුවෙමු.

අප ආපසු විශ්ව විද්‍යාල භූමියට එනවිට, චිත්ත ගවුම් හැඳගත් අප මෙන්ම වදයට ලක්වන ශිෂ්‍යාවන් සියලු දෙනාම දෙපෙළකට ගැසී අප පිළිගැනීමට සැරසි සිටියහ. මෙසේ සිටින ලෙස පවසා , අප ඒමට පෙර ඔවුන්ට මේ ගැන පෙර පුහුණුවක්ද ලබාදී තිබුණු බව පසුව දැන ගතිමි. අපට ශිස්‍යාවන් දෙපෙළ අතරින් ඉදිරියට යාමට දන්වා තිබිණ.

අප එහි ලඟා වනවාත් සමගම ජේෂ්ඨයෙකුගේ විධානයක් ඇසින.

‘Female squad ...... !  Salute...... !!’

මේ සමගම අපගේ සහෝදරියන් පිරිස  වම් අතින් දකුණු කණ අල්ලාගන එක් වරම අපට දකුණු අතින් ආචාර (salute) කරගෙන පෙළපාලිය ඔවුන් පසු කරන තුරු, එසේ සිටියහ.

ඊට පසුව දෙදිනක්‌ම ‘socialisation for future existence’ යන නමින් ඔවුන් විසින් හඳුන්වනු ලැබූ මෙම නවක වදය අපි කැමැත්තෙන්ම මෙන් භුක්ති වින්දෙමු.

එම තුන්දිනට  පසුව එළඹී දිනයේදී සාමාන්‍ය ඇඳුමෙන් සැරසී පැමිණි අපට ජේෂ්ඨයින්ගෙන් සිසිල් පැන් සංග්‍රහයක් ලැබිණ. එම අවස්ථාවේදී අප සමග සුහදව කථාකල ඔවුහු අප සියලු දෙනාටම විශ්ව විද්‍යාල ජීවිතය සඳහා සුභ පැතූහ.


දින තුනක ‘රැග්‍’ එක  මෙයින් අවසන් වී ජේෂ්ඨයින් කවුරුත් අප සමග කුළුපග විය.

21 comments:

  1. මෙහෙමවත් රැග් කිරීමට මම නම් කැමති නැත. ඒ වුනත් අර ගැහැණු ළමයින්ට අපහාස නොවන පරිදි සැලකීම නම් පැසසිය යුතුය. අප උසස්පෙළ පන්තිවල සිටිද්දී මාස කිහිපයක් ප්‍රමාද වී අපේ පාසලට පැමිණි අයට නවකවදය දෙනවා මම දුටුවෙමි. නමුත් මම ඒවාට සහභාගි වන්නට නොගියේ එය අමිහිරි අත්දැකීමක් බව දන්නා හෙයිනි. තේ කම්හලේ රැකියාවේදීත් ඉතා දරුණුවටම නවක වදයට ලක්වුනෙමි. එහෙත් මා වෙතට ආ නවකයන්ට කිසිඳු නවක වදයක් නොදුන් අතර පසුව නවකයන් නිසා මා වදයට පත්වුනෙමි. ආණ්ඩුවේ රස්සාවෙදී නම් නවකවදය නොලැබුවෙමි. නමුත් ඒ වෙනුවට ආයතන ප්‍රධානියා සමග නිතරම වාද කරගන්නා බැවින් මා "ජ්‍යෙෂ්ඨ වදය" නම් නොඅඩුව දෙන්නෙක් වී ඇත.

    ReplyDelete
    Replies
    1. බොලාගෙ ඔය අන්ඩ ද ටී ෆැක්ටර් කතාව බ්ලොග් එකේ ලියන්න එහෙම අදහසක් නැද්ද?

      Delete
    2. ස්තුතියි සුරංග,
      ඇත්තෙන්ම නවක වධය කුමන ස්වරුපයෙන් උනත් එයට මාද විරුද්ධයි. අපට පසුව ආ නවකයින්ට වද දීම් වලට මා නම් කිසිසේත් සම්බන්ධ වුයේ නැහැ. ඒ උනත් සියලු දෙනාම එක ආකාරයට සිතන්නේ නැහැනේ.ඔබ සඳහන් කර තිබෙන "ජ්‍යෙෂ්ඨ වදය" ගැන නම් මේ ඇසුවාමයි. ඒගැන අපටත් දැනගැනීමට ලියන්න.

      Delete
    3. ප්‍රසන්න මතක් කර තිබෙන පරිදි 'ද ටී ෆැක්ටරි'කතාවත් Blog post එකකට ලිව්වොත් විශ්ව විද්‍යාල වල හැර වෙනත් ස්ථානවලත් විවිධ ස්වරූප වලින් 'වද දීම' තිබෙන බව කාටත් දැනගන්නට හැකි වේවි

      Delete
  2. බෙදා ගෙන අත්දැකීමන් මුල් දිනේ සරසවි බිම මතේ
    එදා විඳගත් ඒ අහින්සක සිහිනයන් මතකේ ඇතේ
    බදා ගත් සෙනෙහසම කවදත් මතක තුළ සිරවී ඇතේ
    හොඳා මේ ගැන ලියා තැබුවට ස්තූති දෙන්නට දැන් හිතේ....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමී,
      සරසවි දිවියෙ සුන්දර සිහිවටන ඇත
      ඒවා සිහි කළොත් මිහිරක් ලබයි සිත
      එනමුත් දරුණු අයුරින් සිදු කරන කැත
      'වදයට නවක' කාලය දැන් තබන තිත.
      ඔබට ජයම !!

      Delete
  3. නවය වසරේදී පාසල් මාරුකර නවක වදය දෙන්නට ආ එකම එක ශිෂ්‍යයා මා වෙත දිගුකල ලීයෙන් තැනූ පිහිය කඩා දමා දීර්ඝ කාලීන සතුරෙකු ඇතිකර ගත්තෙමි. වසර තුනකට පසු එම පාසලෙන් පිටව යන දවසේ පාසලෙන් පිටත, ඔහු මට පහරදීමට රඳවා සිටි පිරිස ගැන කලින්ම තොරතුරු ලැබුණු නිසා කරදරයක් නොවී වෙන පාරකින් පැනගත්තෙමි.

    උසස් පෙල සඳහා ඇතුළු වූ පාසලේ නවක වදයකට වඩා තිබුණේ මුදල් කොල්ලකෑමයි. නමුත් වරක් මා අසල සිටි අනිත් නවකයාට ගීතයක් ගායනා කිරීමට සිදුවූ විට ඔහු 'මම දන්නේ යුග ගීත පමණයි' කියූ නිසා මගේ ගායන හැකියාව ද ලොවට විදහා පෑමට අවස්ථාවක් ලැබුණි. පසුව කලගුණ සැලකීම සඳහා මිතුරාව හිස් කබඩ් එකක දමා වසා තැබුවෙමි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිසර,
      නවය වසරේදීත් 'නවක වාදය' දුන් කතාවක් මම ඔය ඇසුවාමයි. ඒ දරුණු ශිෂ්‍යයා වසර කිහිපයකට පස්සෙත් පළිය ගන්නට සිටීමෙන්ම පේනවා ඔහු මහා දාමරිකයෙකු බව. ඔහු පසුකාලයේදී නතර උනේ හිර ගෙදරකද? මුදල් කොල්ලකෑම ගැන නම් අසා තිබෙනවා.

      Delete
  4. දැන් තියෙන ඒවත් එක්ක බලනකොට මේවනං මොනවද.
    අපිටනං ඉතිං හෝඩියෙ ඉඳල 13 වෙනකල් එකම ඉස්කෝලෙක ගිය හින්ද ඔය වද මොකුත් හම්බඋනේ නෑ. උසස්පෙල සයන්ස් කරන්න පිට ඉස්කෝලවලින් ආපු අයටනං ගිනිකූරකින් ලැබ් එක වටේ මැනීම වගේ වද ටිකක් අපි විසින් ලබා දුන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      ඔය ක්‍රියාකාරකමට 'නවක වාදය' කියන එක මා හිතන්නේ එතරම් ගැලපෙන්නේ නැහැ. අපේ කාලයේදී 'ගෞරවාන්විත ජේෂ්ඨයින්' විසින් තමන් කරන කාර්යය හැඳින්වීම සඳහා භාවිත කළ යෙදුම වන ‘socialization for future existence’ යන්න නම් ඇත්ත වශයෙන්ම ගැලපෙනවා. එක අතකින් මෙයින් කෙරෙන්නේ නව සමාජයට අනුගත කිරීමක් ලෙසත් හැඳින්විය හැකියි. දැන් මෙය අමානුෂික වදයක් වීම නිසයි පිළිකුලට පත්වී තිබෙන්නේ.
      ඔබගේ ගිනිකුරු ක්‍රියාකාරකම ඉතාම අහිංසක, ජිවිත කාලයම මතක සිටින දෙයක් නේද?

      Delete
  5. මම කරන්න අකමැති දෙයක් මට කරන්න බල කිරීම සුන්දර දෙයක් ලෙස මම නම් දකින්නේ නැහැ.නවක වදය අදට වඩා එදා මානුෂියයයි කියලා කියනවා නම් එකටත් මම විරුද්ධයි.මොකද කොහොම කරත් කරන්නේ වදයට භාජනය කිරීමක් නම් එතැන ඇති මානුෂික බවක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝජ්,
      මෙය අමානුෂික වදයක් නොවී මානුෂික විහිළුවක් වෙනවා නම් නව 'සමාජයට අනුගත කිරීමක්' සඳහා දෙනු ලබන මුලික පුහුණුවක් ලෙස සැලකිය හැකි නේද?

      Delete
    2. මම හිතන්නේ එත් වෙන්නේ ඇස් රතු වෙන එක විතරයි.මේ පහළින් ප්‍රා ජේත් කියා තිබෙන විදියට තමයි අන්තිමට සමාජයට අනුගත කරන්නේ.

      Delete
  6. ඔහොම සෞම්‍ය විදිහට පටන්ගෙන තමයි දැන් අසීමිත කෲර වදයක්වෙලා තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. Pra Jay,
      ජිවිතයම මහත් කාලකන්නි භාවයට පත්කරවන කෲර වදය නම එකහෙලාම පිටු දැකිය යුතුයි. එවැනි වද හිංසා කරන්නේ විකෘති මානසික ස්වභාවයන් ඇති අයයි.එවැනි අයට නම් නිසි දඬුවම් ලබාදිය යුතුමයි.

      Delete
  7. Replies
    1. ස්තුතියි,
      තඩි මල්ලි

      Delete
  8. මං අහල තියෙනව පේරෙ හරිම අමානුෂික රැග් එකක් තියෙනව තියල. හරියට දන්නෑ. අනික, මේක කියවද්දි මතක් උනා ත්‍රී ඉඩියට්ස් එකේ පටං ගන්න තැන තියෙන රැග් එක...

    ReplyDelete
  9. ස්තුතියි Draki,
    තවමත් විශ්ව විද්‍යාලවල බොහෝ අන්තවාදී (මානසික ලෙඩ්ඩු) අමානුෂික රැග් කිරීමට පෙළඹෙනවා. මේවා නම් එකහෙලාම විරුද්ධ විය යුතු වධ දීම්. දැනට දශක පහකට ඉහතදී අපට දුන් මා ඉහත විස්තර කළ රැග් එකනම් 'අහිංසක විහිළුවක්' ලෙස සිහි කළ හැකියි.

    ReplyDelete
  10. හොඳ වෙලාවට කැම්පස් යන්න නොලැබුණේ ..

    ReplyDelete