Friday 13 October 2017

අමතක වීම පිලිබඳ සිත සසල කරණ තවත් කතාවක්......

   මෙහිද කතා නායකයා මගේ හිතවත් ආරියරත්න සහෝදරයාමය. ස්ථානයද එම විදුහලම ය. වකවානුවද එයමය.

මෙම මධ්‍ය විද්‍යාලයය පළාතේ තිබුණු ක්‍රීඩා විදුහලද වූ නිසා  පාසල් වේලාවෙන් පසුව ක්‍රීඩා පිටිය නොයෙකුත් ක්‍රීඩා පුහුණුවීම් වල යෙදෙන ශිෂ්‍ය  ශිෂ්‍යාවන්ගෙන් පිරී යයි. ක්‍රීඩා කටයුතු භාර ගුරු මහත්මා මහත්මින් සහ ගුරු මණ්ඩලයේ සෑහෙන පිරිසක්ද සවසට පැමිණ බැඩ්මින්ටන්, ටේබල් ටෙනිස් වැනි ක්‍රීඩාවක නිරත වෙති.

ශිෂ්‍ය නිවාසයේ නේවාසිකව සිටින අපි බොහෝ දිනවල සවසට බැඩ්මින්ටන් ක්‍රීඩා කිරීම  සඳහා ක්‍රීඩා පිටියට පැමිණෙන්නෙමු.

ජේෂ්ඨ ශිෂ්‍ය භට කණ්ඩායමද භාරව කටයුතු කරණ ගුරුවරයා වන ආරි ක්‍රීඩා කිරිමට හැම අතින්ම ඔබින ඇඳුම කට්ටලයකින් සැරසී ක්‍රීඩා පිටියට පැමිණීම කවුරුත් අගය කළ දෙයකි. මෙය ඔහු හැඳින්වුයේ ‘army discipline’ ලෙසටය. ගුරු මණ්ඩලයේ බොහෝ අය බැඩ්මින්ටන් ක්‍රීඩාවට විශේෂ කැමැත්තක් දක්වන  නිසාත් එකල එය ජනප්‍රිය ක්‍රීඩාවක්ව ව තිබුණු නිසාත් ඔවුන් අතර සුහද තරඟ මාලාවක් පැවැත්වීමට ක්‍රීඩා කටයුතු භාර ගුරු මහතා යෝජනා කළේය. මෙයට කවුරුත් කැමති වුහ. මාස කිහිපයක් තිස්සේ  මුලික තරඟ පවත්වා  අවසාන, මිශ්‍ර යුගල තරඟය පැවැත්වීමට නියමිතව තිබුණේ එදිනය.

අවසාන තරඟයට තේරී ආ ආරි සහ තවත් ගුරු මහත්මියක්, එක්‌ යුගලයක් වූ අතර මා සහ තවත්  ගුරු මහත්මියක් ප්‍රතිවාදීන් වුහ. ක්‍රීඩා කටයුතු භාර ගුරු මහතා විසින් එදින පස්වරු 3.30 ට තරඟය ආරම්භ කිරීමට සියල්ල සුදානම් කර තිබිණ.

පස්වරු තුන පමණ විට මා සුදානම් වී ආරිගේ  කාමරයට ගිය විට ඔහු පුවත් පතක්  කියවමින් සිටියේය. ඔහුට තරඟය සම්පුර්ණයෙන්ම අමතක වී ගොස්ය. මා ඒ බව මතක් කළ විට කලබල වූ ඔහු,

‘හානේ!...... මට ඒක අමතක උනා නේ..... කීයටද පටන් ගන්නේ? හතරට නේද?’කියා ඇසිය.

‘හතරට නෙමෙයි. තුනහමාරට. තව විනාඩි විස්සකට වැඩිය නැහැ. ඔය අමතක වීම අමුතු දෙයක් නෙමෙයිනේ ’ මම කීවෙමි. 

ඔහු ඉක්මනට සුදානම් විය.

අවසාන වටයට තේරුණු  දෙපිලක් අතර තරඟයක් නිසා, කවදත් කඩවසම් ලෙස ඇඳුම් අඳින ඔහු, එදින වඩාත් පිළිවෙලක් සහිත,   සුදු කොට කලිසමක් සහ සුදු ටී ෂර්ට් එකක් හැඳ, සුදු සපත්තු කුට්ටමක්ද දා ගත්තේය.

ක්‍රීඩාව ආරම්භ කිරීමට තව විනාඩි දහයකට වඩා නොමැති නිසා අපි ඉක්‌මණටම පිටත් වීමු.

දොර වසා යතුරු දමා මා සමග ටික දුරක් ගිය ආරි,

‘ආ... හරි වැඩේනෙ! .....  මට එක දෙයක් අමතක උනා.’ කියමින් 

කලිසම් සාක්කුව අතගා  බලා 
   
‘ලේන්සුව අමතක උනානේ’ කියා නතර විය.

‘දැන් හොඳටම පරක්කුයි. ලේන්සුව ඕනෑ නැහැ. ඔන්න ඔහේ යමු’ කියා මම ඔහුගේ අතින් අද්දෙමි.

‘බෑ...... බෑ........ දාඩිය දානවා ලේන්සුව නැතුවම බැහැ කියමින් ඔහු කාමරයට යාමට ආපසු හැරුණේය.

‘එහෙනම්, මම හෙමිහිට යන්නම්. ඉක්මන් කරලා එන්න. නැත්නම් අර මිනිස්සුන්ගෙන් බැනුම් අහන්නට වෙයි.’  කි මම  ඉදිරියට ගියෙමි.

කාමරයට ගිය ආරි ඉක්මණටම ආපසු පැමිණියෙන් අප දෙදෙනාම එක විට ක්‍රීඩා පිටියට පිවිසියෙමු.

නියමිත වෙලාවට ක්‍රීඩාව  ආරම්භ විය. 
තරඟය ඉතා උණුසුම් ස්වභාවයක් ගත්තේය. ගුරුවරුන් අතර තරඟයක් නිසා එය බැලීමට ශිෂ්‍ය ශිෂ්‍යාවෝ දරාශියක්ද එකතු වුහ.

ක්‍රීඩාව ඉතා උණුසුම් තත්ත්වයක් ගෙන තිබියදී, ආරිගේ කලිසමේ දකුණු පසින් යම්කිසි දෙයක් ගලාගොස් ඔහුගේ කකුල දිගේ වැගිරෙන බව මම දුටුවෙමි.  ටිකකට තරඟය නතර කිරීමට තීරක වරයාට සඥාවක් දුන් මම  ආරි වෙත ගොස් ඒ බව ඔහුට රහසින් කීවෙමි.

ඔහු එතෙක්‌ එය දැක නොතිබුණි. පාත්වී තම පාදය දෙස බැලූ ඔහු

කලිසමේ එම ප්‍රදේශය එක අතකින් වසා ගනිමින් මා සමග මඳක් ඉවතට යාමට සැරසිණ.

ක්‍රීඩාව නරඹමින් සිටි අයට මෙය මහත් කුතුහලයකි. අප සමග ක්‍රීඩා කළ ගුරු මහත්මියන් දෙදෙනාද රහසින් යමක්‌ කොඳුරමින් පිටියහ. ඒ වන විට ඒ වැගිරෙන ද්‍රව්‍යය ඔහුගේ දණහිස් වලින් පහලටත් ගලායමින් තිබුණි. යම්කිසි නොසිතු විරු දෙයක් සිදුවී ඇති බව තේරුම් ගත් කාන්තා ක්‍රීඩිකාවන් දෙදෙනා මඳක් පැත්තකට විය.

කර කියා ගත හැකි කිසිවක් නොවුයෙන් මම වැගිරෙන ද්‍රව්‍යය හොඳින් පරික්ෂා කලෙමි. ඒ බිත්තර සාරු බව ප්‍රත්‍යක්ෂ කර ඔහුගේ සිහිය අවදි කලෙමි. වහාම සාක්කුවට අත දැමු ආරී බිඳී ගිය බිත්තරයක කටු එලියට ගත්තේය.

මහත් ලජ්ජාවට පත්වූ ආරි ‘මම කලබලේට මේසය උඩ තිබුණු ලේන්සුව වෙනුවට සාක්කුවේ දමාගෙන තියෙන්නේ බිත්තරයක්නේ.’ කියමින් කෑගැසිය.

නැවත මගේ කනට කෙඳුරු ආරි 
‘ඔක්කොටම වැඩිය මගේ කලිසම් සාක්කුවේ පොඩි හිලක් තියෙනවානේ . ඒක තමයි මේකේ ලොකුම පරහට හිටියේ.’

මට කේන්තියත් සමග ආ සිනහව නතර කර ගැනීමට නොහැකි විය

‘Clean suit. Hole in the pocket’ මට ඉබේටම කියවිණ.

‘මම යනවා..... මම යනවා ......’ කියමින් ක්‍රීඩාව අතහැර දැමු  ඔහු කාමරය වෙත දුවන්නට විය.
රැස්වී සිටි පිරිස පිළිගත්තත් නොගත්තත්  සිදුවී ඇති දෙය ඔවුනට නොවලහා පැහැදිලි කිරීමට  මම උත්සාහ ගත්තෙමි.

බැඩ්මින්ටන් තරඟය දින නියමයක් නොමැතිව කල් දමන ලදී.
.......................................................................
ශිෂ්‍ය නිවාසයේ සිසුන්ගේ ආහාර වේල් සඳහා මිලදී ගනු ලබන බිත්තර සියල්ලම එකවර කුස්සියේ ගබඩා කාමරයට නොදමා ශිෂ්‍ය නිවාස පාලකවරයාගේ කාමරයේ තබාගැනීම සිරිතක් වශයෙන් කරන ලදී. එදින ඔහු කලබලයෙන් මෙන්ම  හෝ ඔහුගේ හුරු පුරුදු චිත්ත ස්වභාවය නිසාම ලේන්සුව වෙනුවට බිත්තරයක් සාක්කුවේ දමා ගන්නට ඇතැයි සිතිය හැකිය.

කරුණාවෙන් සලකන්න:

මගේ හිතවත් මිතුරාගේ මෙම ගති ලක්ෂණය විස්තර කළේ ඔහුට අපහාස කිරීමට හෝ ඔහු හෙලාදැකීම පිණිස නම් නොවේ. මේවා, මෙවැනි සුවිශේෂී ලක්ෂණ සහිත අය අප අතර බොහෝ සිටින බව පෙන්වීමට පමණක් කරනු ලබන සටහන් වේ.  මෙම සත්‍ය සිද්ධීන් වල නම් ගම් උචිත පරිදි යොදන ලද ව්‍යාජ ඒවා වේ. 

26 comments:

  1. Replies
    1. ස්තුතියි තඩි මල්ලි,

      Delete
  2. වහ කාලා කැලේ රිංගන්න හිතෙනවා කියන්නේ මේ වගේ වැඩ වලට තමයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි උදය,
      අපේ මිතුරාගේ ස්වභාවය දන්නා නිසා, එදා ඒ සිද්ධිය කවුරුවත් සිනහවට ලක් කළේ නැහැ. කවුරුත් ඒ ගැන අනුකම්පාපාව දැක්වුවා. ඒ නිසාම ඔහුටත් ඒ ගැන වැඩි ලජ්ජ්ජාවක් ඇති උනේ නැහැ.

      Delete
  3. සිත් සසල කරන කතාවක් නේන්නං. ඔය විදියට ඔය මනුස්සය කොහොම ජීවත් උනාද මංදා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැලප මල්ලි.
      එයා ජීවත් උනේම ඔය වගේ සිද්ධි සමාගමයි. අපට සැඟවූ තවත් බොහෝ දේ තිබෙන්නෙට ඇති. සුළු සුළු දේවල් නම jokes වලට හරවලා අමතක කර දැමු වාර ඕනෑ තරම්.

      Delete
  4. මා විශ්‍රාමික විදුහල්පතිවරයෙක්. මෙම කතාවේ සදහන් ගුරුවරයෙක් සිටියේ නම් ඔහුව ගුරු සේවයෙන් ඉවත්කළ යුතුයි.

    දයා, ඔබ කල ඇත්තේත් වරදක්. තරුණ වියේ නිසා ඔබට ඒ බව නොසිතෙන්නට ඇති. මෙවැනි දෑ ආරංචි වූ විට මා නම් තදින් ක්‍රියාකොට විනය රැකීමට ක්‍රියාකොට තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක නම් එතරම් හොඳ දෙයක් නෙවෙයි. පළමුව හිතන්න ඒ යමෙක්ගේ රස්සාව. අනෙක මෙවැනි අතපසුවීම් කාටවත් හානිදායක නැහැ. මෙයට වඩා හානිකර දේවල් කා අතිනුත් වෙනවා. මෙවැනි සුලු දෙයකට ඒ මනුස්සයා රස්සාවෙන් අස් කරන්නට කැස කවන ඔබ හරි අපූරු විදුහල්පතිවරයෙක්. ඔබට එතනින් ඉහළට යන්නට බැරිවීම ගැන සතුටුයි.

      Delete
    2. මම දශක දෙකකට ආසන්න මගේ ගුරු වෘත්තීයෙන් ඉවත් වුයේ ශ්‍රී ලංකා පරිපාලන සහ ශ්‍රී ලංකා විදේශ සේවයේ විභාග සමත්වීමෙන් අනතුරුවයි. ඉන්පසු මා ශ්‍රී ලංකා විදේශ සේවයට අනුයුක්තව සේවය කල නිසා ඔබ පවසන පරිදි අධ්‍යාපනය ක්ෂේත්‍රයයේ රැකියාවෙන් විදුහල්පතිධුරයෙන් ඔබ්බට යෑමට නොහැකි වීම සත්‍යයකි.

      කෙසේවෙතත් මට විදුහල්පතිධුරයෙන් ඔබ්බට යෑමට නොහැකි වූ නිසා සතුටු වන ඔබගේ මව් පියාණන් දෙදෙනා අඩුම වශයෙන් විදුහල්පතිවරුන් වත් හෝ ඊට ඉහල මට්ටමේ රැකියාවක් කරන අය වෙන්නට ඇති. ඔබගේ රැකියාවත් ඊට ඉහල එකක් වෙන්නට ඇති. සුභ පැතුම්.

      Delete
    3. මගේ දෙමව්පියන් කුලීකාරයො, මං ආණ්ඩුවේ කන්තෝරුවක බොහොම පොඩි රස්සාවක් කරන්නෙක්. අපි කවුරුත් "විදුහල්පති" කියන ඉහළ තනතුරටවත් ඉන් ඉහළ "විදේශ සේවය" වගේ රස්සාවලටවත් යන්නෙ නෑ.

      නමුත් ඔබ වගේ ඉහළ විභාග සමත් නොවුනත් මනුස්සයෙක්ට තමුන්ගෙ රස්සාව කොයිතරම් වටිනවාද කියල නම් දන්නවා. පුළුවන් නම් කියවන්න "දිසාපති පන්හිඳ" බ්ලොග් එක. අන්න නියම පරිපාලන නිලධාරීන්

      Delete
    4. හිතවත් සමරවීර මහතාට,
      ඔබ තුමා විශ්‍රාමික විදුහල්පතිවරයෙක් ලෙස යෝජනා කර ඇති පරිපාලන ක්‍රියාවලිය මා නම් කිසිසේත් අනුමත කරන්නේ නැහැ. මට අධ්‍යාපන පරිපාලනයේ මට්ටම් කිහිපයකම වැඩ කරද්දී තවත් ඔවැනි දුර්වලතා (සහජ ගති ගුණද විය හැකිය) ඇති අය හමුවී තිබෙනවා. ඒ අය කෙරෙහි සෑමවිටම අනුකම්පාවෙන් උපේක්ෂා සහගතව ක්‍රියා කළා මිස දරදඬු තීරණ ගත්තේ නැහැ.
      ඉහල සුරන්ගමීර් සගයාගේ අදහස් ගැන මාද එකඟ වෙනවා.
      //ඔහුව ගුරු සේවයෙන් ඉවත්කළ යුතුයි.// මෙය නම් අසාධාරණ තීරණයක්‌. ඔය සුළු දේවල් වලට වඩා බරපතල විනය විරෝධී ක්‍රියා කරන ගුරුවරු ඇතුළු බොහෝ නිලධාරීන්ට දෙනු ලබන දඬුවම් පද්ධතියක් තිබෙනවා. සේවයෙන් නෙරපා හැරිම බලපාන්නේ ඉතාමත් භයානක සාහසික අපරාධ කාරයින්ට පමණයි.

      Delete
    5. රෝහණ සමරවීර සෑර් ලොකු මහත්තැං වෙලා හිටපු ඉස්කෝලඔල ගුරුඔරුන්ටයි ළමයින්ටයි අබ සරණයි වෙන්ටැති ඒ කාලෙ.. අම්මප මේ මහත්තැං කියනකං අපේ ආරි මහත්තයාට වෙච්චි ඇබැද්දි එකක්වත් 'විනය විරෝධී' කියල මට හාංකවිසියක් වත් නොවිච්චි හැටි..

      Delete
    6. ස්තුතියි කල්‍යාණ,
      ඔබ හරියට හරි. ඔය විධියට ගුරුවරුන්ගේ 'විනය විරෝධී' යයි සැලකෙන දේවල් වලට දඬුවම් කරන්නට ගියොත් අධ්‍යාපන බලධාරීන්ට වෙන අධ්‍යාපන සංවර්ධන කටයුතු වල නිරත වීමට අවස්තථාවක් නැති වෙනවා.

      Delete
  5. මාර මනුස්සයෙක්නෙ. බිත්තරයක් වගේ දෙයක් දාගෙන ආපු හින්ද හොඳයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      ඔහු මේසය උඩ තිබුණු බොහෝ දේ දකින්නට ඇති. ලේන්සුව ගැන සිතමින් අනුච්ඡානුගතව ඒ වෙනුවට බිත්තරය සාක්කුවේ දමා ගතතා වෙන්නට පුළුවනි. සමහර විට ක්‍රීඩා තරඟය සඳහා යාමට ප්‍රමාද වුවහොත් දෝෂ දර්ශනයට ලක්වේදෝයි යන අදහසද ඔහුගේ සිතෙහි ඒ වෙලාවේ වැඩ කරන්නට ඇති.

      Delete
  6. මේ වගේම අමතකවීම් නිසා මාත් සෑහෙන ලැජ්ජාවට පත්වෙලා ඇති. වැඩේ කියන්නෙ ඒවත් මට මතකනෑනෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුරන්ගමීර්,
      ඉහත ඔබ දක්වා ඇති අදහස් සමග මා එකඟ වෙනවා.
      මේ වගේ දේවල් කාටත් අඩු වැඩි වශයෙන් සිදු වෙනවා. මේවා දරුණු මානසික ආබාධ නොවෙයි. සාමාන්‍ය පාවිච්චි කරන භාෂාවෙන් කියතොත් සමහර වෙලාවට කාටත් 'වයර් මාරුවෙනවා'. මගේ මිතුරා මේ අංශයෙන් ටිකක් වැඩි පැත්තේ කෙනෙක්.

      Delete
  7. මේ මනුස්සයා හොඳයි
    මොකද සමහර උන්ගේ බඩේ බිජු.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික,
      ඇත්තමයි රසික, සාක්කුවේ තිබෙන 'බිජු' පොඩ්ඩ බැරි වෙන කොට පොඩිවෙලා වැගිරි ගොස් ඇති තතු සියල්ල හෙළි වෙනවා. ඒ උනත් බඩේ 'බිජු' තිබෙන කොට කිසි දෙයක් දන්නේ නැහැ. වැඩ වැරදුනාට පස්සේ තමයි ඒ බව හෙළි වන්නේ. ඒ නිසා ඔබ සටහන් කර තිබෙන පරිදි
      //මේ මනුස්සයා හොඳයි.//

      Delete
  8. මගේ බැචෙක් හිටියා නේවි එකේ.. ට්‍රේනින් කාලේ ඌටත් ඔය වගේමයි.. මේස් නොදා සපත්තු දාං එනවා, බෙල්ට් එක නොබැඳ එනවා.. වමට කියුවම දකුණට හැරෙනවා.. ඉතිම් කාඩ්ඩෙක 'වයර්' තමයි.. ඒ කාලේ පුහුණුවේ දී දීපු පීඩනය නිසා එහෙම වෙන්න ඇති.. ඒත් පහුකාලීනව ඔහු ඉතාම දක්ශ ඒ වගේම නිර්භීත නිලධාරියෙක් උනා..තාමත් සේවයේ ඉන්නව.. ඕක මහලොකු ලෙඩක් නෙවෙයි.. ඔලුවට වගකීම් හෝ රාජකාරී ගොඩක් එනකොට සමහර දේවල් අනිච්චානුකව අමතක කරනව.. සමහරු පාඩම් අමතක කරනව.. සමහරු බඩගින්න, කෑම බීම අමතක කරනව.. තවත් කොටසක් මේ වගේ සුළු සුළු දේට දක්වන අවධානය අඩු කරනව.. මම නම් අමතක කරන්නේ මිනිස්සුන්ගේ මූණු, නම්, නෑකම්, ටෙලිපෝන් නොම්මර වගේ දේවල්.. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කල්‍යාණ,
      ඔබගේ 'බැචාට' නම් අමතක වීමේ ආබාධය ටිකක් වැඩියෙන් තිබිලා තිබෙනවා. /ඒත් පහුකාලීනව ඔහු ඉතාම දක්ෂ ඒ වගේම නිර්භීත නිලධාරියෙක් උනා..තාමත් සේවයේ ඉන්නව./
      එක නේන්නම්, නේවි එකේ පුහුණු නිලධාරින් ඔය තත්ත්වය ගැන උපේක්ෂාවෙන් කටයුතු කර තිබීම කොයි තරම් අගේද? ඔහුගේ ඒ දුර්වලකම් එකක්වත් හමුදා නීති රීති අනුවවත් 'විනය විරෝධී' ලෙස සලකා නොමැති බව ඉතාමත් ප්‍රසංශනීයයි.

      Delete