Sunday, 8 October 2017

මැංගුස් ගසට ‘උප්පැන්න සහතිකයක්’ ......

    මා SSC (අපොස සාපෙළ) විභාගය සමත් වූයේ 1956 වසරේදීය. විශිෂ්ට සම්මාන සහිතව සමත්වූ මට පියාගේ හිතවතෙකුගෙන් ලැබුණු තෑගි පාර්සලයක මැංගුස් ගෙඩි සතරක්ද විය. ප්‍රදේශයේ ආදර්ශ ගොවිපලේ කළමනාකරු වු ඔහු මැංගුස් ගෙඩි පිළිබඳව වැදගත් විස්තරයක් කළේය.

‘1950 වර්ෂයේ අපගේ ආදර්ශ ගොවිපල ආරම්භ කළ දිනයේ, මැලේසියානු තානාපතිවරයාගෙන් තෑගී ලැබුණු මැංගුස් පැලයක්, එදින, අගමැතිතුමා විසින් රෝපණය කරනු ලැබුවා. අවුරුදු පහකට පස්සේ, ඒකේ මේ අවුරුද්දේ ගෙඩි හයක් හැදුනා. මේ එයින් නෑඹුල් ගෙඩි හතරක්’

මට එය ඉතාමත් වටිනා තෑග්ගක් බව හැඟී ගියේය.



තෑගී ලැබුණු නෑඹුල් මැංගුස් ගෙඩි

‘ඔය ගෙඩි වල ඇට කිහිපය බැගින් ඇති. ඒවා පැල කරන්න.’කි ඔහු

මැංගුස් ඇට හොඳින් සෝදා පිරිසිදු කර දින කිහිපයක්  අව්වේ වෙලා, දිරා යන තෙතමනය ඇති පොල් ලෙල්ලක රෝපණය කළ විට මාස දෙකකදී පමණ බිජ පැල හටගන්නා බව තවදුරටත් විස්තර කළේය.

අපට ලැබුණු මැංගුස් ගෙඩි සතරෙන් තුනක හොඳින් වැඩුණු බිජ පහක් තිබුණු අතර අනික් ගෙඩියේ බිජ නොතිබුණි.

ගොවිපල කළමණාකාර මාමාගෙන් ලැබුණු  උපදෙස් පරිදි මැංගුස් බිජ රෝපණය කලෙමි. මාස කිහිපයකදී ඒවා පැල විය.
මේ අතර, ශිෂ්‍යත්ව ධාරියෙකු වු, මා උගත් විදුහලේ  උසස් පෙළ විද්‍යා පන්තිය සඳහා අවශ්‍ය ගුරුවරු හිඟ වීම නිසා මට වේයන්ගොඩ මධ්‍ය විද්‍යාලයට යාමට සිදුවිය.

නව විදුහලේ නේවාසිකව සිටි මට, රටේ විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටින මිතුරන් රාශියක්ම හඳුනා ගැනීමට හැකි විය. අපට උසස් පෙළට ඉගැන්වීමට  ද්‍රවිඩ ගුරුවරුද කිහිප දෙනෙක් සිටියහ. ශිෂ්‍ය නිවාසයේම නතර වී සිටි කුගදාසන් සර් අපට  උද්භිද විද්‍යාව සහ සත්ත්ව විද්‍යාව  උගන්වන ගුරුවරයා විය. ඔහු බොහෝ ප්‍රායෝගික අත්දැකීම් සහිත දක්ෂ ගුරුවරයෙක් විය.

ශ්‍රී ලංකාවට නිදහස ලැබී දස වසරක් සම්පුර්ණ වන 1958 වසරේදී රටතුළ, නිදහස සැමරීමේ විවිධ උත්සව රාශියක් සංවිධානය කර තිබිණ. අධ්‍යාපන අමාත්‍යාංශයද පාසල්වතු අලංකරණය භෝග නිෂ්පාදනය වැනි කටයුතු කරන ලෙස විදුහල්වලට දන්වා තිබිණ. වර්ෂය මුලදීම විද්‍යා සිසුන් ඇමතු කුගදාසන් සර්, ‘පාසල්වතු අලංකරණය’ තේමාව යටතේ ‘උද්භිද උයනක්’ සකස් කිරිමට යෝජනා කරණ ලදී.
මේ සඳහා ශිෂ්‍ය නිවාසයටත් විද්‍යාගාරයටත් අතර බිම් කොටස සුදුසු බව තීරණය විය. එම බිම් කොටස හෙළි පෙහෙළි කරන විට, එහි පැමිණි විදුහල්පතිතුමාද එය ඉතා අගනා අදහසක් බව අනුමත කර යෝජිත බිම් කොටස වෙන් කිරීම සඳහා කම්බි වැටක් තැනීමට අවශ්‍ය ද්‍රව්‍ය සහ ගේට්ටුවක්ද සැපයිය හැකි බව කියා අප සැම තවත් දිරිමත් කළේය.

මුලික වැඩ අවසන් කළ පසු කුගදාසන් සර්ගේ උපදෙස් අනුව උද්භිද උයන තුළ, ජලජ පරිසරයක්, ශුෂ්ක පරිසරයක්, අපිශාක, පරපෝෂිත ශාක, භුගත කඳන් සහිත ශාක, විවිධ ආරෝහණ ශාක, මීමන, ඕකිඩ්, බාඳුරා වැනි සුවිශේෂ ශාක වැවිය හැකි ස්ථාන, ඒ ඒ ශාක වලට ගැලපෙන පරිදි සකස් කරණ ලදී. විදුහල් භූමියට ආසන්නයෙන්ම දිවෙන උඩරට දුම්රිය මාර්ගය පැත්තේ හොඳින් ආලෝකය වැටෙන කොටසේ  විශාලව වැඩෙන ප්‍රදේශයේ බහුලව නොමැති පලතුරු ශාක හෝ මල් දරණ ශාක කිහිපයක්ද රෝපණය කිරිමට තීරණය විය.

සිසු සිසුවියන් සියලු දෙනාම රෝපණය කිරිමට තම තමන්ට ගෙන ආහැකි ශාක වර්ග එදිනම තෝරා ගත්හ. විවේක ලැබුණු සෑමවිටම කව්රුත් බීම හෝ පාත්ති  සකස් කිරීම, වලවල් කැපීම, පොහොර දැමීම, පැල ඉනි සිටුවීම, ශාක ආධාරක සකස් කිරීම, පොකුණ සකස් කිරීම වැනි කටයුතු වල නිරත වුහ.

ජනවාරි මාසය අවසන් වීමට ප්‍රථම  උද්භිද උයනෙහි සියළුම මුලික කටයුතු අවසන් කිරිමට හැකි විය.



රෝපණය කළ කුඩා පැලය

මෙහි රෝපණය කිරිමට මා  විසින් සකස් කර ඇති මැංගුස් පැලයක් ගෙන ඒමට මම තීරණය කර ගතිමි. එය සිටුවීම සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගැනිමටද මට හැකිවිය. මේ වන විට තාවකාලික භාජන වල වවන ලද නොයෙකුත් උද්භිද වැදගත්කම් වලින් යුක්ත  විවිධ ශාක වර්ග සියගණනක් විද්‍යාගාරය අසලට ගෙනැවිත් තිබුණි.

පෙබරවාරි හතර වන දින කෙටි උදය රැස්වීමකින් පසු විදුහල්පතිතුමා විසින් මුලින්ම, උද්භිද උයනෙහි ඇහැල පැලයක් සිටුවන ලදී. මේ වන විට සෙන්ටිමීටර් දහයක් පමණ උසට වැඩි තිබුණු මගේ මැංගුස් පැලයද එයට දකුණු පසින් සිටුවීමට හැකිවිය.

නිදහස් සමරු දින සකස් කරනලද උද්භිද උයන, පොහොර සහ වතුර දැමීම වැනි සැලකිල්ල නිසා ඉක්මණටම ඉතාමත් අලංකාර උද්භිද විද්‍යාත්මක වටිනාකමකින් යුක්ත අධ්‍යයන ස්ථානයක් විය.

ඊළඟ වසර අවසානයේදී උසස්පෙළ ව්භාගයට පෙනී සිටීමෙන් පසුව මට විදුහලින් ඉවත් වීමට සිදුවිය. විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට පෙර මගේ මැංගුස් පැලය අසලට ගොස් එය හොඳින් දැක බලා ගතිමි.

ඉතා හොඳ සැලකිල්ල නිසා එය මීටර් භාගයක් පමණ උසට, සරුවට වැඩි තිබිණ.

ඊළඟ දශක කිහිපය තුළදී රැකියා කටයුතු, විදේශ ගතවීම් ආදිය නිසා විදුහලට යාමට අවස්ථාවක් නොලැබිණ.

1987 වසරේදී විභාග රාජකාරි කටයුත්තක් සඳහා, මට විදුහලට යාමට සිදුවිය. විදුහලේ පරිසරය සම්පූර්ණයෙන් වෙනස් වී ඇත. 

විදුහල්පතිද නවකයෙකි. රාජකාරී  කටයුතු අවසන් කිරීමෙන් පසු මම මැංගුස් ගස ගැන ඇසීමි.

මොකද මේ හදිසියේම මැංගුස් ගහක් ගැන අහන්නේ.’ ඔහු ඇසිය

‘ඒක දිග කතාවක්. ලැබ් එකට එහා පැත්තේ මැංගුස් ගහ තවම තිබෙනවාද?’ මම ඇසීමි.

‘තියෙනවා. මේ දිනවල ගෙඩි පිරිලා. ඉතින් මොකක්ද ඒක ගැන දිග කතාව?’ නැවතත් මගෙන් ඇසිය.
 මම දිග කතාව කෙටියෙන් ඔහුට කීවෙමි.

ඔහු පුදුමයට පත්විය. මා  විදුහලේ ආදී ශිෂ්‍යයෙකු බව දැනගත් විට ඔහු මහත් ප්‍රීතියට පත්විය. ටික වෙලාවක් කල්පනාකළ ඔහු
‘හා එහෙනෙම් ගිහින් තමන් විසින්ම  සිටවන ලද ඓතිහාසික ගහ දැක බලාගෙන එන්න’ කියා විද්‍යාගාර සහායක සමග මා එතැනට යැවිය. 


එය රූස්ස ගසක් වී තිබේ.

විදුහල්පති කාර්යාලයේ සිට විද්‍යාගාරය දක්වා කොරිඩෝරය දිගේ යද්දී මා දශක කිහිපයකට ඉහතදී රැඳී සිටි පන්ති කාමර දැකීම ආශ්වාද ජනක විය. ඒවායේ අද වෙන අය ඇත. ඔව්හු වෙනත් ගුරුවරුන්ගෙන් අධ්‍යාපනය ලබති. ගොඩනැගිලි සහ පන්ති කාමරද වියපත් වී ඇති බවක්  පෙනේ.\

මා විදුහලේ සිටියදි වැඩි  කාලයක් ගතකල විද්‍යාගාර නව මුහුණුවරක් ගෙන ඇත. ඒවා බොහෝදුරට නවීකරණය කර තිබේ.

මා අතීතය ආවර්ජනා කරමින් සිතුවිලි ජාලයක පැටලී සිටිනවිට විද්‍යාගාර සහායක මට කථාකර

‘සර්, මැංගුස් හහ බලන්නට ඕනෑ මොකද? ඒකේ විශේෂ සම්බන්ධයක් තිබෙනවද? ‘ කියා ඇසිය. 
 
මගේ කතාව සැකෙවින් අසා ගත් ඔහු,\

‘අනේ! කොච්ච්ච්ර දෙයක්ද මම උපදින්නටත් ඉස්සරනේ මේ ගහ සිටවලා තියෙන්නේ. ඒක හිටවපු අය දැක ගන්නට ලැබීමත් හරීම වාසනාවක්.’ කිවේය.

මැංගුස්  ගස අසලට ගිය මට ගසෙහි වර්ධනය අදහා ගැනීමට බැරි විය. එය දැන් රූස්ස ගසකි. ගෙඩි වලින් බරවී තිබේ. තව සති කිහිපයකින් ඉදුණු මැංගුස් දස දහස් ගණනක පලදාවක් ලැබෙනු ඇත.

මට හරිම සතුටක් දැනුණේය. මම ගස බදාගෙන ටික වෙලාවක් සිටියෙමි. දෑසට කඳුළු උනණු දැනී ඉක්මණටම ඉවත බලා පිසදා ගතිමි.
එදා අප සකස් කළ උද්භිද උයන අද එහි නැත. එය තණකොළ වැවී ඇති මුඩු බිමකි. එහි එක් කොනක ඝනට වැඩි තිබුණු වැල් ගාලක් වෙත මගේ නෙත් යොමුවුණි. එතනට ගිය මා වැල් ගොන්න හොඳින් පරික්ෂා කලෙමි. එහි සස්සඳ වැලක් සහ ඔලිඳ වැලක් එකට පැටලී තිබුණු අතර ඒ මත සීරැස්ස ශාකයක්ද හිස ඔසවමින් තිබෙණු දැක්කෙමි. මිරිදිය පොකුණ දැන් කුණු වළකි.

අප මෙහි උද්භිද උයනක් සකස් කළ ආකාරය විද්‍යාගාර සහායකට  විස්තර කරමින් සිටින විට ජීව විද්‍යාගාරයේ පන්තියක උගන්වමින් සිටි ගුරු මහත්මියක්ද එතැනට පැමිණියාය.

‘මේ සර් මෙහේ ආදී ශිෂ්‍යයෙක්, අර මැංගුස්  ගහ හිටෙව්වෙත් මේ සර්මලු. ඉස්සර මෙතන Biology Garden එකකුත් තිබුනලු.’
ඔහු මගේ දිග කතාව ඇයට සැකෙවින් කිවේය.

පැරණි උද්භිද උයන වල්බිහිවී ඇති ආකාරයත් ඉගැන්වීම සඳහා අත්‍යාවශ්‍ය එවැනි උයනක් නොමැති වීම ගැනත් ඇයට තරමක් මදි කමක් දැනෙන්නට ඇත.

‘අපී මෙතන Bio-Garden එකක් හදන්නට සිතාගෙන ඉන්නවා.’ ඇය කිවේ එපමණකි.

මම ආපසු විදුහල්පති කාර්යාලයට ගියෙමි. විදුහල්පති තුමාගෙන් ලැබුණු තේ කෝප්පයකින් සප්පායම් වු මට, ඔහුගෙන් මා නොසිතු විරු කතාවක් අසන්නට ලැබිණ.

‘ඔය මැංගුස් ගහ ගැන complains හරියට තිබෙනවා. ගහෙන් වැටි ළමයි කිහිප දෙනෙක්ම අතපය  කඩාගෙන තිබෙනවා. ළමයි ගෙඩි කඩාගැනිමට පොලු ගසා කිහිප වරක්ම විද්‍යාගාරයේ ජනෙල් විදුරු බිඳි තිබෙනවා. ඒ සියල්ලටම වඩා මේ පැත්තේ සිටි දාමරික සොරෙකු පොලිසියෙන් සොයද්දී ඔය ගස මුදුනේ සැඟවී සිට හසුවී, අපටත් වරක් පොලිසි යන්නට සිදු උනා.’

මම සාවධානව අසා සිටියෙමි. ඔහු තවත් විස්තර කිවේය.

‘පසුගිය අවුරුදු කිහිපයක් ගහේ ගෙඩි හැදුනේ නැහැ. ගිය අවුරුද්ද මුලදී පැවති  තද ඉඩෝර කාලයේදි  ගස මැරී යන්නට වගේ ආවා. අපි ගස කපා දැමීමට තීරණය කළා. ඒ උනත් දැනට මාස කිහිපයකට ඉහතදී විශ්‍රාම ගත්, විදුහලේ සිටි ගුරු මහත්මියක් එයට තරයේ විරුද්ධ වූවා. අද මට අසන්නට ලැබුණු ඔබගේ කතාවට බොහෝ දුරට ආසන්න කතාවක් ඇය අපට කිවා. ඇයද විදුහලේ ආදී ශිෂ්‍යාවක්.’

‘ඒ නිසාම ගස කපා දම්මේ නැහැ. කොහොම වෙතත් මේ ලඟදි සිට ගහ නැවත දළු ලා හොඳින් වැඩි, දැන් ගෙඩි වලින් බරවෙලා. දැන් ඉතින් තොරතුරු හොඳින් දැනගත් නිසා මොන බාධක තිබුනත් ගස කපා දමන්නේ නැහැ.’

මම ඔහුට ස්තුති කලෙමි.

‘මම මේ සිද්ධිය සෑමදෙනාටම දැනගැනීම පිණිස  ලබන සඳුදා උදේ රැස්විමේදී ප්‍රකාශයක් කරනවා.’ යයි විදුහල්පතිතුමා මහත් ආඩම්බරයකින් කිවේය.

‘මහත්මයාගෙන් ලැබුණේ අපේ මැංගුස්  ගසට ඉතා හොඳ ‘උප්පැන්න සහතිකයක්’ යයි ඔහු සිනාසෙමින් කිවේය. 

වසර හැටකට පමණ ඉහතදී මැංගුස් ගෙඩි තෑගී ලැබුණු අවස්ථාවේ සිට  බිජ රෝපණය, උද්භිද උයන සකස් කිරීම ආදී  මේ දක්වා සියල්ල මොහොතකින් ආවර්ජනය කිරිමට මට හැකිවිය.


26 comments:

  1. මමත් ම.ම. වී වේයන්ගොඩ ආදී ශිෂ්‍යයෙක්. ඔය මැංගුස් ගහ මට හොඳට මතකයි.

    ReplyDelete
    Replies
    1. කොයිකෙ ආදි සිස්සෙක් උනත් වැඩක් නෑ අර බ්ලොග් එක නොලියන හිංදා. ඇයි යකෝ අර පිටරටවල් ඔල ඇවිද්ද විස්තර ලියන්න බැරියැ ඇති තරං. හිටුකො මං හූනියමක් කොරනව ලිවිල්ල නවත්තන්න බැරි වෙන්න. කොටිම්ම හැලප මැතිනියටවත් බැරිවෙන්න.

      Delete
    2. සුරංගගේ ඉල්ලීම හොඳයි. පළපුරුද්දේ දේවල් ලියන්න
      ඔබට ජයම.

      Delete
    3. සුරංග,
      මගේ පෝස්ටුවේ අවසාන කමෙන්ටුවට මා දී ඇති පිළිතුර බලන්න.

      Delete
    4. මං ඒ බව දැක්කෙ නෑ නෙවැ. දැනුයි දුටුවෙ. අනේ හෙනං එතුමිය සුවපත් උනහම ලියන්න. හිත රිදුනනං සමාවෙන්න. බිරිඳ අසනීප වුනහම කාටත් ලියන්න තියා තුංවේල කෑමත් අමතක වෙනවනෙ. හැලපතුමියට ඉක්මන් සුවය පතනවා.

      Delete
    5. ගාණක් නෑ සුරංග. දන්නෙ නැතුව කියපු දේවලට මොකට හිත රිදව ගන්නද? ස්තුතියි.

      Delete
  2. දශක හයක මතක ගබඩා වෙච්චි දැනුම කන්දරාවක් වන ඔබතුමා ලිවිල්ල අත් හරින්න නං එපා. අතීතය නැවත නැවතත් සිද්දවෙන හංදා අතීතයේ ඔබතුමාගෙ පාඩං වර්තමානයේ අපිට වැදගත් වෙනවා.

    මැංගුස් ගහේ අඩි දෙකෙං දෙකට වගේ අතු තියෙන හංදා ඔය ගහට නගින්න ලේසියි. ගහකට නැගගන්න බැරි එකෙක් හැටියට හංවඩු ගැහිල තිවිච්ච මටත් ගස් නගින්න පුළුවං උනේ මැංගුස් ගහ හිංදයි. ඒ හංදා මං අපේ ආච්චම්මගෙ ටීවී එකේ ඇන්ටනාව මැංගුස් ගහ මුදුනෙම ගැටගැහුවා.

    මං පොඩිකාලෙනං මැංගුස් කන්න කම්මැලියි. අප්පිරියයි. එක හේතුවක් තමයි ඕක පලන්නෙ කකුල්දෙක අස්සෙ ගහලා වීම. අනික තමයි ඕකෙ තියෙන සුදුපාට සෙවල ස්වභාවය. කොයිහැටි වෙතත් දැන්නං ඉතිං මැංගුස් ගෙඩ්ඩක් අහක දානව බොරු.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුරංග,
      ලියන්න ලියන්න මතකය අලුත්වැඩියා වෙනවා. ඒ වගේම ලියන දෙයින් කියවන අයට ආශ්වාදයක් ලබන බව හැඟි යන විට තව ලියන්න හිතෙනවා.

      මම සඳහන් කළ අනිත් පැල වලින් එකක් අපේ මහගෙදර වත්තේ සිටවුවා. (කළුතර දිස්ත්‍රික්කයේ) ඒ ගස තවම තිබෙනවා. එකත් දැන් මහ රුස්ස ගසක්.

      මැංගුස් ගෙඩියේ ලෙල්ලෙන් වැගිරෙන ලාටුව නම් හරිම අප්පිරිය රහයි. පිහියකින් කැපුවොත් ලාටුව මදයට ගෑවී නීරස වෙනවා. ඒක තමයි ගෙඩිය පලාගැනිමට වෙනත් ක්‍රම යොදා ගන්නේ. /කකුල්දෙක අස්සෙ ගහලා.../ පලා ගැනිමනම් මා අහලා නැහැ. අපී නම් අත් දෙකේ අල්ලට වැර යොදා තද කර ගෙඩිය පලා ගන්නවා. ලෙල්ලේ කහට ඇඳුම් වල ගෑ උනොත් යවන්න බැහැ

      Delete
    2. ඔය අත් දෙකට තද කිරීමේ හයිය මදි මන්දා තමයි අත් දෙකට ගෙඩිය තද කරගෙන අත් දෙක කකුල් දෙකට තද කරලා එයිනුත් ගැම්මක් ගන්නෙ. මැංගුස් ලෙල්ලෙ කහපාට කිරි නං තිත්තයි තමා. ඈපෝ..තැප්.

      Delete
  3. හැලප මල්ලි,
    ස්තුතියි,
    මා විසින් ලියන ලද සිද්ධියට අදාළ පසුබිම ගැන දන්නා එක් අයෙක්වත් Blog රසිකයින් අතර සිටින එක ගැන මට සතුටුයි. මම විදුහලේ හිටියේ 1957-59 කාලයේ. ඔබ සිටින්නට ඇත්තේ ඊට බොහෝ පසුව වෙන්නට ඇති. තව විස්තර දැන ගැනීමට කැමතියි.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්. මා විදුහලට ඇතුල් වුනේ ඊට බොහෝ කලකට පසුවයි.ලැබෙන හැටියට විස්තර ලියමු.

      Delete
  4. අත් දෙක අතරට තියලා කඩන එකට අපි කියන්නෙ ,, මැංගුස් ඔරවනවා ,, නියලා

    ReplyDelete
    Replies
    1. ඔය වගේ සමහර පලාත්වල පොල් ලෙලි ගැසීමටත් පොල් ඔයනවා කියනවා. ඔරවනවා කියන එකනම් මිට පෙර අසා නැහැ

      Delete
  5. මැංගුස් ඇටයක් ගිහිල්ල තියෙන දුර.
    මොනව උනත් ගහ කැපෙන්නැතුව බේරෙන්න ඇත්තෙ ඔබතුමා ඉතා ඕනෑකමින් ඒ පැළේ හිටවහු හින්ද වෙන්න ඇති.

    //අපී මෙතන Bio-Garden එකක් හදන්නට සිතාගෙන ඉන්නවා// ගොඩ දෙනෙක් ඉන්නෙ මේ වගේ හිතාගෙන ඉන්න අය තමයි. ඒ අතින් කුගදාසන් සර් නියම ගුරුවරයෙක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      මා ඇත්තටම මේ මැංගුස් කතාව ලිව්වේ එයට අදාළ පැති කිහිපයක්ම ගැන හිතලා.
      1. අපගේ ඒ පැරණි හිතවතා විභාගයෙන් සමත්වූ මට අමතක නොවෙන මැංගුස් පාර්සලයක් තෑගී දීම.දහ
      2. ඒ මැංගුස් ලබාගත් ගස නිදහස ලැබී වසර දෙකක් ගතවන දිනයේ විදේශ තානාපතිවර්යේකුගෙන් ලැබී, එවකට සිටි අගමැති තුමා විසින් එදින ආරම්භ කරන ලද රජයේ ආදර්ශ ගොවිපලේ රෝපණය කර තිබීම.
      3.එම ගෙඩි ඒ ගසෙහි නෑඹුල් ගෙඩිම වීම.
      4.මැංගුස් ඇට පලකිරීමට තරමක් අමාරු බිජ වර්ගයක් වීම.
      5.මා ඉගෙනගත් විද්‍යාලයයේ උද්භිද උද්‍යානයේ එය පලකිරීමට හැකිවීම.
      6.ඒ ගස කපා දැමීමට ඔන්න මෙන්න කියා තිබියදී, යෙදුන වෙනත් රාජකාරි ගමනක් නිසා විදුහලට යාමට අවස්තථාවක් ලැබීම.
      7.මා ගිය දිනයේ මැංගුස් ගස ගෙඩි වලින් බරවී තිබීම.
      8.ගස තව ටික කලක් වත් ආරක්ෂා කර ගැනීමට මට පිහිට වීමට හැකිවීම

      මේ කරුණු සියල්ලම එකට එකතුවීම පුදුම වීමටත් කරුණක් !.

      Delete
  6. Replies
    1. ස්තුතියි තඩි මල්ලි.

      Delete
  7. බොහොම අපූරු අත්දැකීම් සහ මතකයන් ! දිගටම ලියන්න...

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තුතියි උදය,

      Delete
  8. තත්තාලාගේ මහගෙදර වත්තේ අදටත් ඉන්නේ මේ මැංගුස් ගහේ සහෝදරයෙක් කියලා දැන් නේ දන්නේ. ඉස්සර මැංගුස් වාරෙට සීයාලාගේ ගෙදර යන්න අපි හරිම උනන්දුයි. මැංගුස් ගෙඩිය පලාගන්න දන්නේ නැතිව ඇඳුම්වල කහට ගත්තු වාර නම් අනන්තයි. දැන් නම් ඉතින් ආසවකටවත් ලැබෙන්නේ නැති ජාතියක්.

    ReplyDelete
    Replies
    1. මලී දුවටත් ස්තුතියි,
      ඒක නේන්නම්, එදා වේයන්ගොඩ විදුහල්පතිතුමා කියපු ආකාරයටමැංගුස් ගහට හොඳ 'උප්පැන්න සහතිකයක්' සකස් කළ නිසානේ සියල්ල හෙළි වන්නේ. අපේ මහ ගෙදර වත්තේ රෝපණය කරන ලද මේ මැංගුස් ගහේ සහෝදරයා නම් තවමත් නිරුපද්‍රිතව සිටිනවා. කර ගන්නට දෙයක් නැති තරමට ගෙඩිත් හැදෙනවා. දන්නා කියන හැම කෙනෙකුටම බෙදා දෙනවා.

      Delete
  9. ++++++++++++++++++++++++++++

    ReplyDelete
  10. ඉතා රසවත් සටහනක්...
    බොහොම ස්තුතියි අතීත කරුණු අපි එක්ක බෙදා හදා ගන්නවට...

    ReplyDelete
  11. ගස නිරුපද්‍රිතව තිබීම කොතරම් සතුටක්ද ? මම වසර 35ක් සේවය කල පිළියන්දල ම.ම.වී.හි ගස් දහස් ගණනක් සිටුවන්න ඇති. නමුත් මා හා දරුවන් හඬවමින් බොහෝ ඒවා සංවර්ධනයේ නාමයෙන් කැපී ගියා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාලිනී,
      හොරණ තක්ෂිලාවේ අප ආරම්භ කළ Field Centre ආශ්‍රිතව රක්ෂිත වනයක් සකස් කළා. වසර 25 ක් පමණ ජෛව විවිධත්වයකින් යුතුව් ස්වාභාවිකව වැඩුණු එය දැනට වසර කිහිපයකට උඩදී පිහිණුම් තටාකයක් සෑදීම සඳහා කපා ඉවත් කළා. එක් එක් අය නව තාක්ෂණය සහ සංරක්ෂණය ක්‍රියාත්මක කරන්නේ විවිධ ආකාරයට බව මේ උදාහරණ වලින් පේනවා. කලක සිට කරනලද වනරෝපණ ව්‍යාපෘති වලදී සිටුවන ලද ගස් මෙතෙක් කල් තිබුනානම් මුළු රටම වන වදුලක් වෙන්නට තිබුණා. ඔබ සේවය කළ පිළියන්දල මධ්‍ය විද්‍යාලයයේත් සිදුවී ඇත්තේ එයයි.

      Delete